තැපැල් දෙපාර්තමේන්තුවේ මහා පරිමාණ වංචාවක් : තැපැල්පති හෙළි කරයි

තැපැල් දෙපාර්තමේන්තුවේ මහා පරිමාණ වංචාවක් : තැපැල්පති හෙළි කරයි


තැපැල් දෙපාර්තමේන්තුවේ මහා පරිමාණ වංචාවක් : තැපැල්පති හෙළි කරයි

(05.10.2025 – hirunews.lk)

තැපැල් සේවාවේ නිරත නිලධාරීන්ගේ වංචනික සහ අකාර්යක්ෂම සේවාව හේතුවෙන් තමන් දැඩි අපහසුතාවයට පත්ව සිටින බව තැපැල්පති රුවන් සත්කුමාර පවසනවා.

හපුතලේ පැවැති වැඩසටහනකට එක්වෙමින් ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ කැළැණිය තැපැල් කාර්යාලයේ විගණනයක් සිදුකර ඇති අතර, එහි විමර්ශන අවසන් වීමෙන් පසු තැපැල් සේවා නිලධාරීන් සහ තැපැල්කරුවන් බහුතරයක්ගේ වැඩ තහනම් වනු ඇති බවයි.

කෙසේ වෙතත්, තැපැල්පති රුවන් සත්කුමාරගේ එම ප්‍රකාශයට තැපැල් වෘත්තිය සමිති දැඩි විරෝධය පළකරනවා.

ඔක්තෝබර් 09 වැනිදාට යෙදෙන ලෝක තැපැල් දිනයට සමගාමීව තැපැල් සේවය පිලිබඳව ජනතාව දැනුවත් කරමින් පා ගමනක් සහ අත් ප්‍රතිකා බෙදා දීමක් හපුතලේ නගරයේදී සිදු කෙරුණා.

අනතුරුව බදුල්ල දිස්ත්‍රික් තැපැල් නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් වැඩසටහනක් පැවැත්වුණේ තැපැල්පති රුවන් සත්කුමාරගේ ප්‍රධානත්වයෙන්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ තැපැල්පතිවරයා සඳහන් කළේ, මේ වනවිට ගිය වසරේ සහ මේ වසරට අදාලව විගණන 400 ක් පමණ සිදුකර ඇති බවත්, ඉන් බහුතරයක් අතිකාල බවයි.

“කෝටි ගාණක් ඇඟිලි සළකුණු තියන්නේ නැතිව හොරට ඕටී අරන් තියෙනවා.. ඉරිදාට වාහන සර්විස් කරනවා.. ඒ කරන්නේ ඕටීවලට.. 10 දෙනෙක් විතර ඉන්නවා ඒ වැඩේට..”

එම වීඩියෝව පහතින් :

+++

+++

+


කීරි සම්බා හිඟය යළිත් ඔඩු දුවයි

(05.10.2025 – hirunews.lk)

වෙළෙඳපොළේ කීරි සම්බා හිඟයට හේතුව මහා පරිමාණ වී මෝල් හිමියන් කෘත්‍රිමව සහල් හිඟයක් මවාපෑම බව ගොවි සංවිධාන නියෝජිතයින් පවසනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ, මහා පරිමාණ වී මෝල් හිමියන් විසින් ආණ්ඩුව යටපත් කර අයුතු ලාභයක් ඉපයීමට සූදානම් වන බවයි.

ප්‍රමාණවත් සහල් සංචිතයක් රජය සතුව නොමැති වීම හේතුවෙන් දෙසැම්බර් මාසය වනවිට රට තුළ සහල් හිඟයක් මතු වීමේ අවදානමක් ඇතැයි ශ්‍රී ලංකා සහල් නිෂ්පාදකයින්ගේ ජාතික සම්මේලනය පසුගියදා පෙන්වා දුන්නා.

වෙළඳපොළ තුළ පවතින කීරි සම්බා හිඟය සම්බන්ධයෙන් මහා පරිමාණ සහල් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන ද ඊයේ (04) ප්‍රතිචාර දැක්වුවා.

මෙවන් පසුබිමක ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් පෙන්වා දෙන්නේ, මහා පරිමාණ වී මෝල් හිමියන් කෘත්‍රිම සහල් හිඟයක් මවාපාමින් අයුතු ලාභයක් ඉපයීමට උත්සාහ දරන බවයි ෴


ආගමික නායක විරෝධය උග‍්‍ර වෙයි.. LGBTQI හා ලමා දණ්ඩන නීති සංශෝධන අකුලාගනී..

(06.10.2025 – 00:02 +0530 – lankacnews.com)

බෞද්ධ හා කතෝලික නායකයන්ගෙන් එල්ල වූ දැඩි විවේචන හමුවේ, ශාරීරික දඬුවම් සම්බන්ධ නීති සංශෝධනය කිරීමෙන් රජය පසුබසින බව පෙනී යන අතර, රට තුළ LGBTQI සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනකට ශ්‍රී ලංකා සංචාරක අධිකාරිය දැක්වූ සහයෝගයෙන් ද එය ඉවත් වෙමින් පවතින බව ‘සන්ඩේ ටයිම්ස්’ වාර්තා කරයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක විදේශ කටයුතු අමාත්‍යවරයා මෙන්ම සංචාරක අමාත්‍යවරයා ද වන විජිත හේරත් සමඟින් අමෙරිකා එක්සත් ජනපදයේ හා ජපානයේ සංචාරයක නිරතව සිටි සතියේ මෙම කරුණු දෙකම උග්‍ර තත්ත්වයකට පත් විය.

නිකායත්‍රයේ මහානායක ස්වාමීන් වහන්සේලා සහ කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ LGBTQI සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමට මෙන්ම ශාරීරික දඬුවම් සම්බන්ධයෙන් දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීමේ අහිතකර බලපෑම්වලට එරෙහිව දැඩි ලෙස හඬ නැඟූහ.

සිකුරාදා දින මල්වතු හා අස්ගිරි පාර්ශ්වයන්හි මහානායක ස්වාමීන් වහන්සේලා බැහැ දුටු ජනාධිපතිවරයා, රටේ ‘සංචාරක ප්‍රවර්ධන සැලැස්ම’ එහි ඇති පොහොසත් සංස්කෘතික උරුමය, ස්වභාවික අරුමයන් සහ ආගන්තුක සත්කාරයට ලැදි ජනතාව ප්‍රදර්ශනය කිරීමට පමණක් සීමා වන බවට නැවත වරක් සහතික විය.

දණ්ඩ නීති සංග්‍රහයට කරන සංශෝධන සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ, අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ විවාදයට ගෙන ඇති නමුත් සම්මත කර නොමැති බැවින් තවදුරටත් සංශෝධන සඳහා ඉඩකඩ ඇති බවයි.

දණ්ඩ නීති සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත සැප්තැම්බර් මස 24 වැනි දින විවාදයට ගත් අතර, එහි විවාදය තවත් දිනක් සඳහා කල් තබන ලදී.

අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යවරිය ද වන අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය ද සහතික වූයේ, ශාරීරික දඬුවම් සම්බන්ධ නව නීතිය ගුරුවරුන්ගේ හෝ දෙමාපියන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය නොකරන බවත්, එය අරමුණු කර ඇත්තේ අපයෝජනයන්ට මුහුණ දෙන දරුවන් ආරක්ෂා කිරීම පමණක් බවත් ය.

මේ අතර, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති සංචාරක නායකත්ව සමුළුවේදී අදහස් දැක්වූ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසුවේ, LGBTQI සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමට හෝ සංචාරක කර්මාන්තයේ ගුණාත්මකභාවය පහත හෙළීමට රජයට කිසිදු අදහසක් නොමැති බවයි.

“LGBTQI සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම රජයේ ප්‍රතිපත්තිය නොවන අතර, අප කිසිදු විශේෂිත සංචාරක කණ්ඩායමකට වෙනස්කම් නොකරමු. අප ඔවුන් සියල්ලන්ටම සමාන ලෙස සලකනවා” යැයි ඔහු පැවසීය.

ජනාධිපතිවරයා සිය මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය මගින් සමලිංගික සබඳතා තහනම් කරන දණ්ඩ නීති සංග්‍රහයේ 365 සහ 365(අ) වගන්ති ඇතුළු වෙනස්කම් කරන්නා වූ නීති සංශෝධනය කිරීමටත්, LGBTQ+ ප්‍රජාවන් සඳහා සෞඛ්‍ය සේවා, නීතිමය සහාය, සමාජ ආරක්ෂණය සහ යුක්තිය වැනි රාජ්‍ය සේවාවන්ට ප්‍රවේශය වැඩි කිරීමටත් ප්‍රතිඥා දී තිබුණි ෴


හඳුන්කුරක් නිසා මුළු ගමක්ම පිරමීඩ ජාවාරමකට හසුවෙයි

(05.10.2025 – ada.lk)

අම්පාර දමන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ පිහිටා ඇති පන්නල්ගම ගම්මානයේ සියලුම ජනතාව ‘පිරමීඩ ජාවාරම’කට හසුව ණය කාරයන් බවට පත්ව තිබේ. දැනට මාස කිහිපයකට පමන පෙර පන්නල්ගම ගම්මානයේ ‘අරුණලු පහන්සිලු’ නැමති නාමයෙන් පහන්තිර සකස් කිරිමේ ස්ථානයක් එම ගම්මානයේ නිවසක ආරම්භ කර තිබේ.

ටික දිනක් යනවිට එය ‘හඳුන්කුරු බිස්නස්’ එකක් ලෙස ආරම්භ කර ගම්මානයේ ජනතාවට ටද එයට සහාභාගිවිමට අවස්ථාවක් ලබාදි තිබේ.

යම් පුද්ගලයෙකු රුපියල් 50,000 ක මුදලක් තැන්පත් කල විට ඒ අයට හදුන්කුරු සහ පෙට්ටි 1000 ක් ලබාදෙන අතර එම හදුන්කුරු පෙට්ටිවල බහා අලවා සකස් කර නැවත ගෙනත් භාර දෙන විට රුපියල් 75,000 ක මුදලක් මෙම ආයතනය විසින් ලබාදි තිබේ.

දිනෙන් දින එය පන්නල්ගම ගම්මානයේ දියත්වු අතර ගම්මානයේ විශාල පිරිසක් රුපියල් 50,000 ක් බැඳ හදුන්කුරු ගෙන ඒවා පැකට් කර ආපසු ලබාදි රුපියල් 75,000 ලබාගෙන තිබේ.

මෙම ව්‍යාපාරය ගම්මානයේ සෑම තැනකම මෙන්ම අවට ගම්මාන වලද ප්‍රචාරය වු අතර දෙවෙනි (2) අදියර වශයෙන් එක එක ස්ථානවලට නියෝජිතයන් පත්කර එම නියෝජිතයින් හරහා මුදල් ලබාගෙන මෙම ව්‍යපාරය තව දුරටත් පුලුල් කර තිබේ.

පසුව මෙම කුඨ ජාවාරම්කරු විසින් රුපියල් 50,000 මුදල වෙනුවට එය රුපියල් 250,000 දක්වා වැඩිකර හදුන්කරු පෙට්ටි 6000 ක් ලබාදි එලෙස ලබාදෙන හදුන්කුරු පැකට් කර නැවත ලබාදිමෙන් පසුව රුපියල් 250,000 ට අමතරව තවත් රුපියල් 150,000 ක් ලබාදි තිබේ.

මෙම ව්‍යාපාරය තමන් අතට පැමිණි විශාල වාසියක් ලෙස සිතු ගම්මනායේ ජනතාව තම කුඹුරු උකස් කර, පොලියට මුදල් ගෙන කණකර බඩු උකස් කර රුපියල් ලක්ෂ 10 ලක්ෂ 15 ලක්ෂ 30 ලක්ෂ 40 ලක්ෂ 100 වශයෙන් ලෙස මෙම ව්‍යාපාරිකයාට ලබාදි තිබේ.

ටික දිනක් යනවිට මුදල් වලට අවශ්‍ය අමුද්‍රව්‍ය ජනතාවට නොලබුන නිසා සමහර අය තම මුදල් ආපසු ලබාගෙන ඇති අතර අනෙක් අයට කඩිනමින් අමුද්‍රව්‍ය ලබාදෙන බව පවසා ඔවුන් මුලාකර තිබේ.

පසුව මෙය ගැටලු සහගත තත්වයක් නිසා මේ පිලිබදව විශේෂ රුස්විමක් 2025.09.29 වෙනි දින පන්නල්ගම විහාරස්ථානයේදි පැවැති අතර එම රැස්විම සදහා මෙම ගැටලුවට මුහුණ දුන් ජනතාව මෙන්ම ප්‍රාදේශිය සභාවේ මාලිමා දේශපාලඥයින්ද සහාභාගි වි තිබේ.

එහිදි මෙම ජාවාරම්කරු විසින් පවසා ඇත්තේ තමන් විසින් යවන ලද නිෂ්පාදන ගැටලුවක් නිසා නැවත එම නිෂ්පාදන ආපසු එවා ඇති අතර එම අර්බුදය විසඳා මාසයක් ඇතුලත ජනතාවගෙන් ලබාගත් මුදල් ගෙවන බවයි.

කෙසේ වෙතත් ඉකුත් 03 වෙනි දින සවස පන්නල්ගම ගම්මානයේ සියලුම වැසියන්ගේ ඇසට වැලිගසා මෙම ව්‍යාපරය කරන ලද පන්නල්ගම ගම්මානයේ පදිංචි ‘සුරංග සදරුවන්’ සහ ‘පියුමි බුද්ධිනි ජයතුංග’ යන දෙදෙනා (2) පන්නල්ගම ගම්මානයෙන් පැනගොස් තිබේ.

ඔවුන්ට දාව උපන් දරුවා ඔවුන් පිටත්වෙන අවස්ථාවේ රැගෙන ගොස් නැති අතර පසුව ඔවුන්ගේ ඥාතියෙක් විසින් දරුවාට බෙහෙත් ගැනිමට යන බව පවසා දරුවා රුගෙන ගොස් මවට සහ පියාට භාරදි තිබේ.

දැන් එම නිවසේ සිටින්නේ මෙම ව්‍යාපාරය කරන ලද කාන්තාවගේ මව සහ පියා පමණකි. 2025.10.04 වෙනි දින මුලු දවස පුරාම මුලු පන්නල්ගම ගම්මානයේ ජනතාවම එම නිවාස අසලට එක්ව සිටි අතර ඔවුන් ගේ මුදල් ආපසු ලබා ගැනීමට නොහැකි තත්වයක් උදාවි තිබේ. සමහර කාන්තාවෝ කඳුලු සලමින් මෙම මුදල් රැගෙන පලාගිය අයට ශාප කරමින් සිටියෝය.

මෙම අමු ද්‍රව්‍ය මිලදී ගැනීමේදි මුදල් දුන් අයට ලදුපතක් නිකුත් කර තිබෙන අතර එම ලදුපතේ ඔවුන් අත්සන් කර PAID නැමැති සීල් එකක් ගසා ඇති බව එම ලදුපත් නිරික්ෂණය කිරිමේදි දැක ගැනිමට හැකිවිය. එයින් හැඟී යන්නේ මුදල් ලබාදුන් අයට ආපසු මුදල් ගෙවා ඇති බවයි.

ඉතාම සුක්ෂම ලෙස වංචා සහගතව මුලු පන්නල්ගම ගම්මානය ද තොට්ටම, කුමන, බක්මිටියාව, හිගුරාන, තිඹිරිගොල්ල, මඩවලලන්ද, එක්ගල්ඔය, උහන අම්පාර කොක්නහර, සියඹාලාණ්ඩුව, වැල්ලවාය , මොණරාගල වැනි ප්‍රදේශවල ජනතාවද මෙම ‘පිරමීඩ ජාවාරාම’ට හසුවි තිබේ. පන්නල්ගම ගම්නායේම පමනක් රු. ලක්ෂ 100 ක් තැන්පත් කරන ලද කිහිප දෙනෙකු සිටින අතර නිළ නොවන ආරංචි සදහන් කරන්නේ මෙම හොර යුවල විසින් රු. කෝටි 200 ක පමන මුදලක් ජනතාවට වංචා කර ඇති බවයි.

දැනට පිරිසක් දමන පොලිස් ස්ථානයේ පැමිණිලි දමා ඇති අතර විශාල වශයෙන් මුදල් ගෙවන ලද පිරිස් අම්පාර පොලිස් අධිකාරි කාර්යාලයේ වංචා විමර්ශණ ඒකකයට පැමිණිලි කර තිබේ.

මෙම මුදල් වංචාවට ගමේ ජනතාව මෙන්ම සමහර ව්‍යාපාරිකයින්, සෞඛ්‍ය නිළධාරින්, පොලිස් නිළධාරින්, පවුල් සෞඛ්‍ය සේවිකාවන් , ගුරුවරුන් ද හසුව තිබේ.

දැනට මෙම ව්‍යාපාරය මෙහයවු මහ මොලකරුවන් පැනගොස් ඇතිඅතර ඔවුන්ගේ නියෝජිතයන් ලෙස පතක්කර සිටි පිරිස් ගම්මනාවල සිටින බවද වාර්තාවේ. එම නියෝජිතයින් ද ගම්වල ජනතාගේ මුදල් එකතුකර මෙම ජාවාරමට උදව් කර තිබේ.

මෙහි ශෝකජනක කාරණය වන්නේ කුලීවැඩ කරන සමහර කාන්තාවන් සියයට දහයේ පොලියට මුදල් රැගෙන මෙම ජාවාරම්කරුට රු. ලක්ෂ ගනනින් මුදල් ලබාදි ඇති අතර ඒ අයට දැන් පොලි මුදලාලිලාට මුදල් ගෙවිමට නොහැකිව අන්ත අසරණ වි තිබේ.

සමහර කාන්තාවන් තම ස්වාමි පුරුෂයාට හොරොන් මෙම ව්‍යාපරයට මුදල් ලබාදි ඇති අතර දැනට එම නිවෙස්වල අඹු සැමියන් රණ්ඩු විමට පටන් ගෙන තිබේ.

දැනට මුලු පන්නල්ගම ගම්මානයම එකම මල ගෙයක් බවට පත්වි ඇති අතර එළඹෙන මහා කන්නයේ කුඹුරු වගා කිරිමටත් හේන් වගා කිරිමටත් නොහැකි තත්වයට පන්නල්ගම ජනතාව පත්වි තිබේ.

මෙම තත්වය තේරුම් ගත් සමහර පිරිස් ගම්මානයේ ජනතාවට මෙම උගුලට හසුනොවන ලෙස දැනුවත් කරත් මුදල් වලට ඇති අධික ආශව නිසා මෙම ගම්මනායේ ජනතාව මෙම මහා වංචාවට හසුව තිබේ.

අම්පාර වසන්ත චන්ද්‍රපාල


වාහන පර්මිට් නැති වුනොත් දොස්තරලා රට හැර යයිලු…

(06.10.2025 – 16:40 +0530 – lankacnews.com)

2019 වසරෙන් පසුව තිරු බදු රහිත වාහන බලපත්‍ර ලබාදීම අත්හිටුවා ඇති බැවින් පසුගිය වර්ෂ හයක (6) කාල සීමාව පුරා සහන වාහන බලපත්‍රය ලබා ගත නොහැකි වු වෛද්‍යවරුන් පන්දහසකට (5000) ආසන්න ප්‍රමාණයක් දිවයින පුරා සිටින බව ‘වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ’ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කරයි.

මෙම වෛද්‍යවරුන් සැලකිය යුතු ප්‍රමාණයක් පවතින සමාජාරක්ෂණ ක්‍රමවේදයන් කෙරෙහි දැඩි කලකිරීමකින් පසුවන බැවින්ද ලැබෙන වැටුප් සහ බදු සම්බන්ධව පවතින ගැටළුද හේතු කරගෙන රටින් බැහැර යාමේ දැඩි අනතුරක් පවතින බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

තරුණ වෛද්‍යවරුන් වැඩි වශයෙන් රට තුළ රඳවා ගැනීම සඳහා වැඩසටහන් ක්‍රියාත්මක වීමේ අවශ්‍යතාව පෙන්වා දෙන ඔහු , මේ තත්ත්වය නොසලකා කටයුතු කළහොත් ඉදිරියේදී සෞඛ්‍ය පද්ධතියට වෛද්‍යවරුන් හිඟවීමේ දැඩි අර්බුදයකට මුහුණපාන බවද වැඩිදුරටත් සඳහන් කරයි.

දැනටමත් තරුණ වෛද්‍යවරුන් වැඩි ප්‍රමාණයක් විදේශීය වෛද්‍ය උපාධි පාඨමාලා සඳහා ඉල්ලුම් කොට රට හැර යෑමේ ප්‍රවණතාව තවදුරටත් පවතින බවත් අවම තරමේ මෙම නිදහස් වාහන බලපත්‍රය හෝ ලබා දීමට මෙම අයවැයෙන් කටයුතු කිරීමට ජනාධිපතිවරයාගේ අවධානය යොමු විය යුතු බවද ඔහු පවසයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ බදූ උගුල මත හිරවීම වෙනුවට ස්වෛරී රාජ්‍යයක් ලෙස ආර්ථික හා දේශපාලනික වශයෙන් නිදහස් තීරණ ගැනීමට දැන් ජනාධිපතිවරයාට හැකියාව පැවතිය යුතු බවද ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි.

ඇතිවී තිබෙන තත්ත්වයන් සම්බන්ධ ඉදිරි කාලයේදී ජනාධිපතිවරයා සමඟ තම වෘත්තිය සමිති සන්ධානය සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු සඳහන් කරයි.


දොස්තර මාරුකිරීම්වලට දැඩි දේශපාලන මැදිහත්වීම්.. GMOA උද්ඝෝෂණයේ…

(06.10.2025 – 13:20 +0530 – lankacnews.com)

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

රෝහල් පරිපාලන කටයුතු සහ වෛද්‍යවරුන්ගේ ස්ථානමාරු ක්‍රියාවලින්හට සිදු වන දේශපාලණික අතපෙවීම් පිලිබදව විරෝධතාවය තවදුරටත් තීව්‍ර කිරීම.

රටපුරා පවතින රෝහල් සහ සෞඛ්‍ය ආයතන වල පරිපාලන කටයුතු සහ සියලුම වෛද්‍යවරුන් කාණ්ඩ වල ස්ථානමාරු කටයුතු මේ වෙනතෙක් දේශපාලන බලපෑම් වලින් ස්වායන්තව නියමිත ක්‍රමවේදය ඔස්සේ, නීත්‍යානුකූල ආකාරයට සිදුවිය.

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ලෙස අප සැමවිටම නිශ්චිත නීතිමය ක්‍රමවේදය අනුගමනය කරමින් සිදුකරන, වෛද්‍යවරුන් ගේ ස්ථානමාරු ක්‍රියාවලියේ ස්වාධීනත්වය ආරක්ෂා කිරිම වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටින්නෙමු.

නමුත් මේ වන විට දෙහිඅත්තකණ්ඩිය මුලික රෝහල මුල් කරගනිමින් මීට හාත්පසින්ම වෙනස් තත්වයක් උද්ගතවී ඇති අතර රෝහල් පරිපාලනය සහ වෛද්‍ය ස්ථානමාරු ක්‍රියාවලීන් උල්ලංඝනය කරමින් එම කටයුතු සදහා සෘජුවම දේශපාලනික මැදිහත් වීම් සිදුකරගෙන යන ආකාරයක් දක්නට ලැබේ.

මෙම ගැටලුව විසදීම සදහ පියවරගන්නා ලෙස දිගින් දිගටම අප විසින් සෞඛ්‍ය බලධාරීන්ට යෝජනා කලද ඔවුන් මේ සදහා කඩිනමින් විසදුම් ලබාදීම වෙනුවට අනවශ්‍ය ලෙස කල්මරමින් විසදුමක් ලබාදීම හිතා මතා කල් දමන බව අපට නිරීක්ෂණය වී තිබේ.

ස්ථානමාරු මණ්ඩල වල සහ අදාල පාර්ශවයන්ගේ එකගතා මත සිදුවිය යුතු වෛද්‍යරුන්ගේ ස්ථානමාරු ක්‍රියාවලිය වෙනුවට, සියලු දුෂ්කරතා මධ්‍යයේ අඛණ්ඩ සෞඛ්‍ය සේවාවන් රටපුරා පවත්වා ගැනීමට කැපවී සිටින වෛද්‍යවරුන්ට අසාධාරණයක් වන ආකාරයෙන් දේශපාලණික අතපෙවීම් හරහා අනීතික සහ අත්තනෝමතික ලෙස සිදුකරන ස්ථානමාරුවීම් වලට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ලෙස අපගේ දැඩි විරෝධය ප්‍රකාශකර සිටින්නෙමු.

එමෙන්ම මෙම විරෝධතාවය පිලිබදව ඉදිරි කටයුතු සහ දැනට අම්පාර දිස්ත්‍රික්කයේ රෝහල් සහ සෞඛ්‍ය ආයතන තුල ක්‍රියාත්මක වන වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය පිලිබදව සාකච්ඡා කිරීම සදහා හදිසි විධායකය කමිටු රැස්වීමක් හෙට, 2025.10.07 දින උදෑසන 9 ට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්වීමට තීරණය කර ඇත.

එහිදි ඉදිරියේදී ගනු ලබන ක්‍රියාමර්ග සහ දැනට අම්පාර දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මකවන වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සමස්ථ නැගෙනහිර පලාතම ආවරණය වන පරිදි ව්‍යාප්ත කිරීමට අදාල තීරණාත්මක තීන්දු තීරණ වලට එලබීමට නියමිතය. මෙයට සමගාමීව හෙට දිනයේ නැගෙනහිර පලාතේ සියලු ප්‍රධාන රෝහල් ඉදිරිපිට දැවැන්ත උද්ඝෝෂණ මාලාවක් පැවැත්වීමට අවශ්‍ය කටයුතු ද සූදානම් කෙරෙමින් පවතී.

මේ හරහා වෛද්‍යවරුන්ගේ ස්ථානමාරු ක්‍රියාවලීන් දේශපාලණීකරණය කිරීම වැලැක්වීමට අවශ්‍ය කඩිනම් පියවර ගන්නා ලෙස අතිගරු ජනාධිපතිතුමන්, සෞඛ්‍ය අමාත්‍යතුමන් සෞඛ්‍ය ලේකම්තුමන් සහ සමස්ත සෞඛ්‍ය බලධාරීන්ටත් දැඩි ලෙස අවධාරණය කර සිටින්නෙමු.

මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ග තුලින් යම් සේවා බිදවැටීමක් හෝ මහජන අපහසුතාවයක් ඇතිවන්නේනම්, එහි පූර්ණ වගකීම මෙම දෙහිඅත්තකණ්ඩිය රෝහලේ ගැටලුව සදහා සාධනීය විසදුමක් දීමට මැලි වන සහ අපොහොසත් වන සෞඛ්‍ය අමාත්‍යංශ බලධාරීන් බාරගත යුතු බවටද සිහි කැදවීමට කැමැත්තෙමු ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *