කොළඹ සරසවියෙන් කළින් සොයා ගත් පිළිකා ප්‍රතිකාරය තවත් වැඩිදියුණු වෙයි

කොළඹ සරසවියෙන් කළින් සොයා ගත් පිළිකා ප්‍රතිකාරය තවත් වැඩිදියුණු වෙයි


කොළඹ සරසවියෙන් කළින් සොයා ගත් පිළිකා ප්‍රතිකාරය තවත් වැඩිදියුණු වෙයි

(03.10.2025 – hirunews.lk)

ස්වාභාවික දේශීය ඖෂධ කීපයක් උපයෝගි කර ගනිමින් මීට වසර තුනකට (3) පෙර සිදුකළ පර්යේෂණයකින් නිපදවූ පිළිකා සෛල විනාශ කළ හැකි පෝෂක ඖෂධ තවදුරටත් වැඩි දියුණු කරමින් ජාත්‍යන්තර වෙළඳපල වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරමින් පවතින බව කොළඹ විශ්ව විද්‍යාලයේ අණුක ජීවවේදී සහ ජෛව තාක්ෂණවේදී ආයතනයේ ‘මහාචාර්ය සමීර ආර්. සමරකෝන්’ සඳහන් කරනවා.

මෙරට පිළිකා රෝගීන් මෙය භාවිත කිරීම හේතුවෙන් සාර්ථක ප්‍රතිඵල ලබා ගෙන ඇති බවත් කැළණිය විශ්ව විද්‍යාලය මගින් සිදුකළ සමීක්ෂණයකදී පාරිභෝගික විශ්වාස සියයට 93 ක දිනා ඇති බවත් තහවුරු වු බව මහාචාර්වරයා පවසනවා.

වර්නෝනියා සෙලනිකා (Veonia zeylanica), නිගෙලා සටීවා (Nirella sativa), හෙමයිඩෙස්මස් ඉන්ඩිකස් (Hemidwsmus Indicus), ලූකාස් සයිලනිකා (Leucas Zeylanica) සහ ස්මිලැක්ස් ග්ලැබ්රා (Smilax glabra) යන ශාක වලින් ලබා ගත් ඖෂධ සංයෝගයන් 155 ක සම්මිශ්‍රණයකින් මෙම පෝෂක ඖෂධය නිෂ්පාදනය කිරීමට වසර 17 ක් පුරා තමා ඇතුලු කණ්ඩායම පර්යේෂණයන් සිදුකළ බව ද මහචාර්යවරයා සඳහන් කරනවා.

මෙම රසායනිකයන් මගින් පිළිකා සෛලයන් හී ප්‍රෝටීනවල ක්‍රියාකාරිත්වය පාලනය කරමින්, අතුරු ආබාධ නැති කරමින් පිළිකා සෛල විනාශ කරන බව තහවුරු වී ඇතැයි ද පැවසේ.

මහාචාර්ය සමරකෝන් ඇතුළු විද්‍යාඥයින් කණ්ඩායම කළ පර්යේෂණයේදී ස්වාභාවික ඖෂධ රසායනික සංයෝග 155 ක් හදුනා ගෙන තිබු අතර ඒවා AKT 1, BCL 2, CAST 3 වැනි පිළිකා සෛල ප්‍රෝටීන ක්‍රියාකාරිත්වය බලපාන බවත් EGFR HSP90AA1 සහ STAT3 වැනි ප්‍රෝටීනවල ක්‍රියාකාරිත්වය පාලනය කර පිළිකා සෛල විනාශ කිරීමට මැදිහත් වන බව සොයාගෙන තිබෙනවා.

මෙම පර්යේෂණ දේශීය වෛද්‍ය විද්‍යාව සහ නවීන විද්‍යාත්මක පර්යේෂණ එක් කිරිම මගින් ලංකාවේ සෞඛ්‍ය විද්‍යාත්මක ප්‍රගතියේ මීලඟ වැදගත් පියවරක් වනු ඇති බවට තමාගේ විශ්වාසය බවද මහාචාර්යවරයා පවසනවා.

මෙම පර්යේෂණ ජාලය ඖෂධ විද්‍යාවේදය උපයෝගි කරගෙන සිදුකර ඇති අතර එම පර්යේෂණ ක්‍රමය ලොව පුරා බහුලව යොදා ගන්නවා.

මේ පර්යේෂණ ක්‍රමය මගින් ඉහළ සාර්ථකත්වයක් මේ වන විට ලබාගෙන ත තිබෙනවා. වර්තමානය වන විට දිනෙන් දින පිළිකා රෝගීන්ගේ සංඛ්‍යාව වර්ධනය වෙනවා.

මෙම අලුත් සොයා ගැනීම ලොව පුරා ඉහළ පෙළේ විද්‍යා සඟරාවකට යොමුකර ඇති අතර දැනට එය ‘bioRxiv – the preprint server for biology’ ( https://www.biorxiv.org/ ) සඟරාවේ පල කර ඇති බව මහාචාර්වරයා සඳහන් කරනවා.

( https://www.biorxiv.org/search/sameera%252Br%252Bsamarakoon )

මෙම පෝෂක ඖෂධය මීට වසර තුනකට (3) පෙර සොයා ගත් අතර එය තවදුරටත් පර්යේෂණ සිදුකරමින් නවතම නිෂ්පාදනය බිහිකළ බව හෙතෙම පවසනවා.

දේශීය වෙළෙඳපල තුළ මෙය මේ වන විටත් පවතින අතර එය විදේශීය වෙළෙදපල වෙත ගෙනයාමට උත්සහ කරමින් තමයි වැඩිදුර පරික්ෂණයන් සිදුකළේ.

මේ වන විටත් ඒ සම්බන්ධ සාකච්ඡා පවත්වමින් සිටින බවද මහාචාර්යවරයා පැවසුවේය.

වසර 2027 දී ඇමරිකන් ඩොලර් මිලියන 2 ක් මාසිකව ලංකාවට ගෙන ඒමට තමයි අපේ බලාපොරොත්තුව.

මෙම පර්යේෂණය සදහා ලංකාවේ බටහිර සහ ආයුර්වේද වෛද්‍යවරුන් සහයෝගය ලබා දෙනවා.

මෙම පිළිකා අතිරේකය සම්බන්ධයෙන් කැළණි විශ්ව විද්‍යාලය මගින් සිදුකළ සමීක්ෂණයකදී සියයට 93 ක් පාරිභේගික විශ්වාස පවතින බව සොයා ගෙන ඇත.

මාධ්‍යවේදීන් ඇසිය යුතු ප්‍රශ්නය : වෙනත් කිසිඳු ප්‍රතිකාරයක් නොගෙන මෙම බෙහෙතෙන් පමණක් පිළිකා රෝග සුව වෙනවා ද?

+++

මෙරට දිනකට පිළිකා රෝගීන් 100 ක්

(03.10.2025 – 16:48 +0530 – sinhala.adaderana.lk)

මෙරට දිනකදී පිළිකා රෝගීන් 100 ක් වාර්තා වන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

ඒ මහතා පැවසුවේ මේ අනුව වසරකට පිළිකා රෝගීන් 35,000 ක් පමණ වාර්තා වන බවත් එයින් 35% ක් එනම් 13,000 කට ආසන්න ප්‍රමාණයක් මහරගම අපේක්ෂා රෝහලේ පිළිකා රෝගීන් ලෙස ප්‍රතිකාර ආරම්භ කරන බවත්ය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ සිව්වන (4) ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථානය මහනුවර දිස්ත්‍රික්කයේ පොල්ගොල්ල ප්‍රදේශයේදී ඊයේ (02) ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ වසරක ඖෂධ වියදමින් 30% ක් වැය වන්නේද පිළිකා රෝග සඳහා ප්‍රතිකාර සිදුකරන ඖෂධ සඳහා බවත් මෙයට විසඳුම් කුමක්ද යන්න සෙවීමේදී මෙය පාලනය කරගත හැකි අවස්ථාව මුල් අවස්ථාවේ රෝග හඳුනාගැනීම බවත් අමාත්‍යවරයා පැවසීය.

තවද වයස අවුරුදු 30 ත් – 70 ත් අතර මෙරට පිරිමි පාර්ශ්වයේ සිදුවන මරණවලට වැඩිම හේතු සාධක වී ඇත්තේ බෝ නොවන රෝග බවත් එම වයසේම කාන්තාවන්ගේ ද වැඩිම මරණවලට හේතුව වී ඇත්තේ පිළිකා තත්ත්වයන් බවද සෞඛ්‍ය දත්ත පෙන්වා දෙන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය‍.

කෙසේ නමුත් මෙම තත්ත්වය වර්තමානයේ වෙනස් වෙමින් පවතින බවත් පෙන්වාදුන් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ වැඩිම ප්‍රමාණයක් මියයාමට හේතුව වී ඇත්තේද බෝ නොවන රෝග බැවින් රටේ සංවර්ධනයට දායක වෙමින් සිටින කාණ්ඩයේ ජීවිතයන් මෙලෙස අහිමිවීම කනගාටුට කරුණක් වන බවත්ය.

ඒ අනුව මෙම ආරෝග්‍ය සුවතා මධ්‍යස්ථාන තුළින් ජනතාවට සෞඛ්‍ය උපදේශණය, ඖෂධ ලබා දෙන ස්ථානයක් පමණක් නොවන බවත් අදියරෙන් අදියර දේශීය සහ ආයුර්වේද ප්‍රතිකාර සේවාවන්ද ආරම්භ කරන බවත් පැවසූ අමාත්‍යවරයා පෙන්වා දුන්නේ තවද ශාරිරික ව්‍යායාම, යෝග, මියුසික් තෙරපි වැනි දේවල් ද ජීවිතයට හුරු කරන තැනක් බවට පත් කරන බවය.

බෝ නොවන රෝග සඳහා ප්‍රතිකාර සහ උපදේශන සේවා මූලික ශල්‍ය වෛද්‍ය ප්‍රතිකාර, වැඩිහිටි සත්කාර, පුනරුත්ථාපන සත්කාර, සහන සත්කාර, ප්‍රාථමික අක්ෂි සත්කාර, මුඛ සෞඛ්‍ය සත්කාර, මානසික සෞඛ්‍ය සත්කාර සහ උපදේශණ සේවා, පෝෂණ සත්කාර සහ උපදේශණ සේවා, මධ්‍යසාර පුනරුත්ථාපන සේවා මෙන්ම උපදේශණ තරුණ හා යොවුන් සත්කාර සේවා, තෝරාගත් රසායණාගාර පරීක්ෂණ, ප්‍රජා බල ගැන්වීම ඇතුළුව ප්‍රාථමික සෞඛ්‍ය සත්කාර සේවා රාශියක් මෙම මධ්‍යස්ථාන තුළින් ජනතාවට ලබා දීමට නියමිත බවත් එම අවස්ථාවට එක්වූ අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය ෴


From : https://www.facebook.com/srilankapoliceofficial/

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධව යම් තොරතුරක් ඔබ දන්නේ නම් පහතින් දක්වා ඇති නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ දුරකථන අංකයන් වෙත එම තොරතුරු රහසිගතව ඔබට ලබා දිය හැකියි. (03.10.2025)

+++

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධව යම් තොරතුරක් ඔබ දන්නේ නම් පහතින් දක්වා ඇති කොට්ඨාස භාර නිලධාරීන්ගේ දුරකථන අංකයන් වෙත එම තොරතුරු රහසිගතව ඔබට ලබා දිය හැකියි. (03.10.2025)

+


අම්පාරේ‍ වෛද්‍ය වැඩ වැරුමෙන් රෝගීන් පනස්දහසක් (50,000) අමාරුවේ

(03.10.2025 – hirunews.lk)

අම්පාර දිස්ත්‍රික්කයේ සියලුම රෝහල්වල වෛද්‍යවරුන් අද (03) දිනයේදී ආරම්භ කර ඇති වැඩ වර්ජනය හේතුවෙන් රෝගිහු 50,000 ට වැඩි සංඛ්‍යාවක් දැඩි අපහසුවකට පත්ව ඇතැයි වාර්තා වෙනවා.

නිසි ක්‍රමවේදයෙන් බැහැරව දෙහිඅත්තකණ්ඩිය රෝහලේ වෛද්‍යවරුන් දෙදෙනකුට (2) ලබා දී ඇති ස්ථානමාරුව වහාම අවලංගු කරන ලෙස ඉල්ලා පෙරේදා (01) දෙහිඅත්තකණ්ඩිය රෝහලෙන් ආරම්භ කළ වැඩ වර්ජනයට සාධාරණ විසදුමක් ලබා නොදීම හේතුවෙන් ඊයේ (02) දිනය වන විට අම්පාර දිස්ත්‍රික්කයේ සියලුම පර්යන්ත රෝහල් සහ මහඔය රෝහල් දක්වා වැඩ වර්ජනය ව්‍යාප්ත කිරීමට සිදු වූ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරනවා.

ගොඩනැගී ඇති ප්‍රශ්නය නිරාකරණය කිරීම සෞඛ්‍ය ලේකම්වරයාගේ අනුදැනුම මත සිව්දෙනෙකු (4) ගෙන් යුතු කමිටුවක් පත්කර එවන බවට පොරොන්දු වුවද එය සිදු නොවීමට හේතුවෙන් අද (03) දිනයේදී අම්පාර දිස්ත්‍රික්ක රෝහලද වර්ජනයට එක් වූ බැවින් අම්පාර දිස්ත්‍රික්කයේ සියලුම රෝහල් අද (03) දිනයේදී වැඩ වර්ජනයේ යෙදී සිටින බව සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස සඳහන් කරනවා.

වෛද්‍ය ස්ථානමාරු ක්‍රමවේදයන නිසි ලෙස ක්‍රියාත්මක නොකළහොත් වර්ජනය තවත් දිස්ත්‍රික්කයන් වෙත ව්‍යාප්ත විය හැකි බවද සංගමය අනතුරු අඟවා සිටියි.

සෞඛ්‍ය අමාත්‍යංශයේ අදූරදර්ශී ක්‍රියාවන්ට විරෝදය පළ කරමින් අද (03) දහවල් වෛද්‍යවරුන් අම්පාර රෝහල ඉදිරිපිට උද්ඝෝෂණයකට නිරත වූ අයුරු ඡායාරූපවලට හසුව තිබුණා ෴


අන්තර්ජාලය හරහා මුදල් වංචා කළ ගොවි කටයුතු පරීක්ෂණ හා පුහුණු කිරීමේ ආයතනයේ නිලධාරියෙකු අත්අඩංගුවට

(03.10.2025 – hirunews.lk)

අන්තර්ජාලය හරහා ව්‍යාපාරයක් මගින් මුදල් ඉපයීමට හැකි බව පවසා පුද්ගලයකුට ගිණුම් අංක කිහිපයක් ලබාදී රුපියල් 542,877 ක මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ‘කොබ්බෑකඩුව ගොවි කටයුතු පරීක්ෂණ හා පුහුණු කිරීමේ ආයතනයේ’ නිලධාරියෙකු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයේ වයඹ පළාත් උප ඒකකය විසින් අද (03) පස්වරුවේ සැකකරු අත්අඩංගුවට ගත් බවයි සඳහන් වන්නේ.

අම්පාර ලිපිනයේ පදිංචි හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පරීක්ෂණව පුහුණු කිරීමේ ආයතනයේ සේවය කරන ලද අවුරුදු 27 ක් වයසැති නිලධාරියෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ විමර්ශන නිලධාරීන් සඳහන් කර සිටින්නේ අන්තර්ජාල ව්‍යාපාරයක් මගින් මුදල් ඉපයීමට හැකි බව පවසා පුද්ගලයකුට ගිණුම් අංක කිහිපයක් ලබාදී ඒ මගින් මුදල් රුපියල් 542,877 ක් බැර කරවාගෙන ඉන් මුදල් රුපියල් 214,000/= ක් ලබාගෙන වංචා කළ බවය ෴


‘බෙලිඅත්තේ සනා’ ලබන 09 දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

(03.10.2025 – hirunews.lk)

තංගල්ල සීනිමෝදර මත්ද්‍රව්‍ය සිද්ධියේ යාත්‍රාව සමග අත්අඩංගුවට ගත් ‘සනත් වීරසිංහ’ හෙවත් ‘බෙලිඅත්තේ සනා’ ලබන 09 දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලිසියට අවසරය ලබා දී තිබෙනවා.

ඒ තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණය විසින් ෴


බාල වයස්කාර දැරියක අපයෝජනය කළ පුද්ගලයෙකුට වසර 12 ක සිරදඬුවමක්

(03.10.2025 – hirunews.lk)

බයිසිකල් පදවන මුවාවෙන් අවුරුදු 16 ක දැරියක්ව බරපතල ලිංගික අපයෝජනයට ලක් කිරීමේ චෝදනාවට වරදකරු වූ පුද්ගලයකුට වසර 12 ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් හෝමාගම මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ අද (3) නියම කළා.

රුපියල් 25,000 ක දඩ මුදලක් නියම කළ විනිසුරුවරයා එය නොගවෙන්නේ නම් චූදිතට තවත් මාස හයක (6) සිර දඬුවමක් නියම කළා.

අගතියට පත් වින්දිත දැරිය වෙනුවෙන් රුපියල් ලක්ෂ තුනක (3) වන්දි මුදලක් ගෙවීමට නියම කළ විනිසුරුවරයා එය නොගවන්නේ නම්, වසර එකක (1) සාමාන්‍ය සිර දඬුවමක්ද චූදිතට නියෝග කළා.

චුදිත විසින් සිදු කර ඇති ක්‍රියාව කිසිසේත්ම සුළු කොට තැකීමට හැකියාවක් නොමැති බරපතල වරදක් බව රජයේ නීතිඥවරිය අධිකරණයට දැන්වුවා.

රජයේ නීතිඥවරිය කරුණු දක්වමින් වැඩිදුරටත් අධිකරණයට දන්වා සිටියේ,

“ස්වාමීනි, අද දින මෙම චුදිත ඔබතුමාගේ ගරු අධිකරණය විසින් වරදකරු බවට පත්ව තිබෙන්නේ දණ්ඩ නීති සංග්‍රහයේ 365(අ)(2)(ආ) වගන්තිය යටතේ දඩුවම් ලැබිය යුතු බරපතල ලිංගික අපයෝජනය කිරීමේ වරදක් සම්බන්ධයෙන්. මෙම නඩුවේ ඉතාමක් කුඩා දරුවෙකුට තමයි මෙම චූදිත විසින් බරපතල ලිංගික අපයෝජනයට ලක් කර තිබෙන්නේ වයස අවුරුදු 03 ක තමාගේම භාර්යාවගේ සහෝදරියගේ දරුවා. දණ්ඩ නීති සංග්‍රහයේ 365(අ)(2)(ආ) වගන්තිය යටතේ මෙවන් වරදකට වරදකරු වන පුද්ගලයෙකුට වසර 7 කට නොඅඩු වසර 20 කට නොවැඩි දෙයාකාරයකින් එක් ආකාරයකින් බන්ධනාගාර ගතකිරීමකට හෝ සහ දඩයකින් දඩුවම් කිරීමටත්, ඊට අමතරව වින්දිතතැනැත්තියට වන්දියක් ලබාදීමටත් ඔබතුමාගේ අධිකරණයට ව්‍යවස්ථාදායකය විසින් බලය පවරා තිබෙනවා.”

“ස්වාමිනි, මෙම නඩුවේ සැලකිල්ලට ගත යුතු වැදගත්ම කාරණාව වන්නේ මෙම චූදිත දැරියගේම පවුලේ කෙනෙක්. අපේ රටේ සමාජය තුළ කුටුම්භයට තිබෙන්නේ ඉතාමත් වැදගත් තැනක්. අධිකරණයට දඬුවම් නියෝගයක් ලබාදීමට අවස්ථාව ලැබිලා තියෙන්නේ. තමාගේම සහෝදරියගේ ස්වාමිපුරුෂයා විසින් තමාගේ දරුවාව අපයෝජනයට සිදු කරනවා නම් එම දරුවාගේ භාරකාරීත්වය යම් ආකාරයකින් හෝ ටික වෙලාවකට හෝ බාරදීම සිදු කර තිබෙන්නේ මෙම වුදිත සම්බන්ධයෙන් එම දැරියගේ පවුලේ උදවියට තිබුණ විශ්වාසය හේතුවෙන්. එම විශ්වාසය මත පදනම්ව දැරියට කිසිඳු කරදරයක් නොකරයි යන විශ්වාසය මත පදනම්වයි බයිසිකල් පැදවීමේ ඉතා සීමිත කාර්යයට පවා දැරියව මෙම වුදිතට බාර කරන්නේ.”

“එම අවස්ථාවේ අයුතු ලෙස ප්‍රයෝජනයක් ගෙන මෙම විශ්වාසය අයුතු ලෙස අවභාවිතා කරමින් මෙම චූදිත විසින් මෙම දරුවාව බරපතලව ලිංගිකව අපයෝජනයක් සිදු කර තිබෙනවා. මෙවන් සිද්ධි දිගින් දිගටම වාර්තා වීමට ගියොත් කුටුම්භය තුළ තිබෙන විශ්වාසය යන පදනම ඉතාමත් බරපතල ආකාරයෙන් බිඳ වැටීමට තිබෙන බව පවා ඔබතුමාගේ ගුරු අධිකරණයේ අවධානයට යොමු කර සිටිනවා. සියළු කාරණා සළකා බලා ඔබතුමාගේ ගරු අධිකරණයට ලබා දිය හැකි උපරිම දණ්ඩනයෙන් මෙම චුදිතට දඩුවම් පමුණුවන කියලා මම අධිකරණයෙන් ඉල්ලනවා ” යනුවෙන් නීතිඥවරිය පැවසුවා.

චූදිත වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥවරයා සඳහන් කර සිටියේ, මගේ සේවා දායකයාට පෙර වැරදි වාර්තා නොවන බවත් අවුරුදු හතලිස්හයක (46) තැනැත්තෙක් හෙයින් ලිහිල් සිර දඬුවමක් ලබා දෙන ලෙසය.

දෙපාර්ශවයේම ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරයා අධිකරණයට දන්වා සිටියේ, මෙම නඩුවේ වුදිතට ගරු නීතිපතිවරයා විසින් ඉදිරිපත් කර ඇති අධිචෝදනා පත්‍රයේ සඳහන් චෝදනාව වන්නේ අවුරුදු 16 ට අඩු දැරියක්ව බරපතල ලිංගික අපයෝජනයට ලක් කිරීමේ චෝදනාවක් වන බවයි ෴


ටිකට් නොදුන් කොන්දොස්තරලා රැසක් මාට්ටු – බලපත්‍රයටත් තට්ටුවෙයි

(03.10.2025 – hirunews.lk)

ටිකට්පත් ලබා නොදීම සම්බන්ධව පෙරේදා (01) සහ ඊයේ (02) දිනය තුළ රිය සහායකවරු 33 දෙනෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර ඇතැයි බස්නාහිර පළාත් මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරියේ සභාපති ගාමිණී ජාසිංහ පවසනවා.

ටිකට්පත් ලබා නොදීම සම්බන්ධව ඔක්තෝම්බර් පළමු වැනි දා බස්රථ 347 ක් පරීක්ෂා කොට එයින් බස් රථ 22 ක් ද, ඊයේ (02) දිනයේදී බස් රථ 118 ක් පරීක්ෂා කොට බස් රථ 11 ක් ද හඳුනා ගැනීමට හැකි වූ බව ගාමිණී ජාසිංහ සඳහන් කළා.

“කලින් සියයට පනහක (50%) විතර ටිකට්පත් ලබා නොදීම් වාර්තා වුණා. මේ වන විට තත්ත්වය සතුටුදායක මට්ටමකට පත්වෙමින් තියෙනව. අපි හිතනවා සති දෙකක් (2) විතර යනකොට ඉතාම අවම ප්‍රතිශතයකට මේ තත්ත්වය ගෙන්න පුළුවන් වෙයි කියලා”

අද (03) දිනයේදීත් මේ හා සම්බන්ධ වැටලීම් ක්‍රියාත්මක වන බවයි බස්නාහිර පළාත් මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරිය සඳහන් කරන්නේ.

ටිකට්පත් ලබා නොදුන් රිය සහායකයන්ගේ බලපත්‍රය මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරිය භාරයට ගෙන දඩයක් අය කෙරෙන අතර එක් දින පුහුණුවක්ද ලබාදීමට කටයුතු කරන බව සභාපතිවරයා පවසා සිටියා.

ඒ අනුව ඔහු වැඩිදුරටත් පවසා සිටියේ මෙම මස සිට ටිකට් ලබා නොදෙන සහායකවරුන්ගේ බලපත්‍ර දින තුනකට (3) අවලංගු කරන බවයි ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *