මහින්ද රාජපක්ෂගේ ආරක්ෂකයාට හෙළි නොකළ රු. මිලියන 28 ක වත්කම් – අල්ලස් කොමිසම

මහින්ද රාජපක්ෂගේ ආරක්ෂකයාට හෙළි නොකළ රු. මිලියන 28 ක වත්කම් – අල්ලස් කොමිසම


මහින්ද රාජපක්ෂගේ ආරක්ෂකයාට හෙළි නොකළ රු. මිලියන 28 ක වත්කම් – අල්ලස් කොමිසම

(02.10.2025 – hirunews.lk)

රු. මිලියන 28 ක ට අධික වත්කම් උපයා ඇති බවට අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා වන නෙවිල් වන්නිආරච්චි ලබන 17 තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග බෝදරගම අද (17) නියෝග කළා.

සැකකරු නීති විරෝධීව ඉපයූ බව පැවසෙන දේපළ සම්බන්ධයෙන් සවිස්තරාත්මක වාර්තාවක් ඉදිරි දින අධිකරණයට ගොනුකරන ලෙසද මහේස්ත්‍රාත්වරයා අල්ලස් කොමිසමට නියෝග කළා.

සිද්ධියට අදාළ සැකකරු අල්ලස් කොමිසම විසින් අද (02) පස්වරුවේ අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

සිද්ධියට අදාළව විමර්ශන් නිලධාරීන විසින් බි-වාර්තාවක් ඉදිරිපත් කරමින් සඳහන් කර සිටියේ, සැකකරු දීර්ඝ කාලයක් තිස්සේ විමර්ශනයට සහාය නොදීම සහ වත්කම් සම්බන්ධයෙන් පවතින නඩු පහකට (5) සැකකරු වරද පිළිගැනීම මෙන්ම දිගින් දිගටම කළ නියෝග වලට පටහැනිව ක්‍රියා කළ ඇති බවයි.

2014 වසරට අදාල වත්කම් බැරකම් ප්‍රකාශ සැකකරු ලබා දී නැති බවත් වසර අටක් (8) තිස්සේ සිදුකරන විමර්ශනය වලින් සැකකරු මඟහැර සිට ඇති බවත් අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දුන්නා.

අල්ලස් කොමිසම වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නිලධාරීන් සඳහන් කර සිටියේ,

“ස්වාමීනී, සැකකරුට වලස්මුල්ලේ අක්කර 3.7 ඉඩමක ඉන්ධන පිරවුම්හලක් තිබෙනවා. පල්ලෙකැලේ රුපියල් ලක්ෂ හතලිස් පහක (45) ක් වැය කළ නිවසක් තිබෙනවා. මහරගම නාවින්නේ රුපියල් ලක්ෂ එකසිය විසිපහක (125) නිවසක් සහ රුපියල් දාසය ලක්ෂ පනස්දහසක (16,50,000) වටිනාකමින් යුත් යුත් නිවසක් දෙමටගොඩ ප්‍රදේශයේ තිබෙනවා. තිස්සමහාරාමේ පර්චස් 45.5 ක ඉදිකෙරෙන හෝටලයක් සැකකරු සතු වන අතර කෝට්ටේ මාදිවෙල රුපියල් ලක්‍ෂ හාරසියක (400) ඉඩමක් සහ බෙලිඅත්ත සහ වීරකැටිය ප්‍රදේශවල බදු පදනම මත ගත් කඩ සාප්පු දෙකක් (2) පවතින බව විමර්ශන අනාවරණය කර තිබෙනවා යනුවෙනි.

වැඩිදුරටත් කරුණු ඉදිරිපත් කරමින් අල්ලස් කොමිසම අධිකරණයට දන්වා සිටියේ,

“ස්වාමීනි, මේ විමර්ශනය සිදු කරන්නේ ලැබුණු පැමිණිල්ලකට අනුව. එම පැමිණිල්ලට අනුව 2016 දෙසැම්බර් සිට 2017 ජනවාරි දක්වා වත්කම් බැරකම් ලබා දෙන ලෙස සැකකරුට කොමිසම විසින් දැනුම් දුන්නා. ඒ අනුව මාස හතකට (7) පසුව දුන් තොරතුරු විමසා බැලීමේදී සත්‍ය ඒවා නොවන බවට අනාවරණය වීම මත නැවතත් සැකකරුට සත්‍ය තොරතුරු දෙන ලෙස දැනුම් දුන්නත් ලබාදී නැහැ. වසර අටක (8) සිට අවස්ථා කිහිපයකදී ආදයම් වියදම් වාර්තා සහ වත්කම් සම්බන්ධයෙන් විමසීම් කළත් 2025 අගෝස්තු තෙක් සම්පූර්ණ තොරතුරු ලබාදී නැහැ. සැකකරු විසින් 2013.01.01 සිට 2014.1.24 දක්වා වූ කාලය තුළ සැකකරුගේ ආදායම අභිබවමින් සැකකරු රුපියල් මිලියන විසිඅටක් (28) උපයා ඇති බවයි කොමිසම කළ විමර්ශනය අනාවරණය කර තිබෙන්නේ.

එම තොරතුරු ලබාදෙන ලෙස කරන දැන්වීම් වලදී දිගු කාලයක් ලබාගෙන ඉදිරිපත් කළත් ඒ තොරතුරුත් නිවැරදි සහ සම්පූර්ණ තොරතුරු නොවන ඒවා බවට විමර්ශනවලදී අනාවරණය වීම නැවත දිවුරුම් ප්‍රකාශයක් දෙන ලෙස දැනුම් දුන්නද තොරතුරු ලබා නොදීම මත 2025.09.26 දින පැමිණෙන ලෙස සැකකරුට දැනුම් දුන්නද කාලයක් ලබා දෙන ලෙස සැකකරු නැවත ඉල්ලා තිබෙනවා. විමර්ශනයට සහය දීම වෙනුවට සැකකරු කර ඇත්තේ වසර අටක් (8) තිස්සේ දින ඉල්ලමින් එක දිගට කාලය ගෙවා දැමීමයි.” යනුවෙනි.

“ස්වාමීනි, ඒ අනුව කොමිසමේ නිලධාරින් පිරිසක් සැකකරු පදිංචි අත්තනයායේ මැදමූලන පිහිටි සැකකරුගේ නිවසට ගියත් සැකකරු එහි සිට නැහැ. දුරකථනයෙන් සැකකරු සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළත් දුරකථනය විසන්ධි කර තිබුණා. එක අවස්ථාවක දුරකථන ක්‍රියාත්මක වී ඇමතුමට සම්බන්ධ වී තත්පර 52 ක වැනි කාලයක් තුළ වෙනත් දිනයක් දෙන ලෙස සැකකරු ඉල්ලා සිටියා. ඒ අනුව නැවත පදිංචි ලිපිනයට ඊයේ (01) ගොස් අද (02) පැමිණෙන ලෙස ඔහුට ලිපියක් ලබාරදුන්නා. සැකකරුට 2014 සිට මේ දක්වා කරුණු අනාවරණය නොකළ වත්කම් රැසක් පවතින බව විමර්ශනාවරණය කර තිබෙනවා. සැකකරුට අයත් ඉහත දේපළ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් කළ යුතුයි.

ආදායම් ලෙස බස් රථ, ටිපර් රථ කුලියට දීම සැකකරු සිදු කර තිබෙනවා. 2017 සිට 2025 වන තෙක් බස් රථ වල සේවය කළ අයගේ තොරතුරු දෙන ලෙස ඉල්ලුවත් දුන්නේ නැහැ. 2015 වසරේ වසරේ තොරතුරු කිහිපයක් ලබා දුන්නත් බස් රථවල සේවය කළ දෙදෙනෙක් හැර අනෙක් අය ඥාතීන් සහ හිතවතුන් බව ඔහු ප්‍රකාශ කර තිබෙනවා. ඒ අයගේ ප්‍රකාශ සටහන් කර විමර්ශන කළ යුතුයි. විමර්ශනයට බාධා කරමින් කල් හැරීමට කටයුතු කර තිබෙනවා. මෙතෙක් කළ විමර්ශනයේදී රුපියල් මිලියන 28 ක් උපයාගත් ආකාරය සම්බන්ධයෙන් තොරතුරු නැහැ. ඊට අදාළ බැංකු වාර්තා, ඉඩම් රෙජිස්ටර් කාර්යාලවල ලේඛන විශාල ප්‍රමාණයක් පරිශීලනය කළ යුතුය තිබෙනවා”

සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා ප්‍රමුඛ නීතිඥ මඩුල්ල කරුණු දක්වමින් මෙසේ අධිකරණයට කරුණු දැන්වීය :

“ස්වාමීනී, සැකකරු හමුදා නිලධාරියෙක්. ඔහුගේ බිරිඳගේ පවුලේ විස්තර දෙන්න කාලය අවශ්‍යයි. ඒකයි වෙලාව ඉල්ලුවේ. තමා සතු ලේඛනවල අඩුපාඩු පවතින බැවින් කල්ගත වන බවට දැනුම් දෙමින් දැනට පවතින ලේඛන උපරිමයෙන් ලබා දෙන බවට ඔහු සැප්තැම්බර් 26 අල්ලස් කොමිසමට දැනුම් දුන්නා. මේ සම්බන්ධයෙන් ඔහු දිව්රුම් ප්‍රකාශ ගණනාවක් විටින් විට දී තියෙනවා. ස්වාමීනී එම නිසා සුදුසු ඇපයක් මත මගේ සේවා දායකයා මුදා හරින්න.”

සියලු කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා විමර්ශන සම්බන්ධයෙන් සවිස්තරාත්මක වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොමිසමට නියෝග කරමින් සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළා ෴

+++

මහින්ද රාජපක්ෂගේ ආරක්ෂකයා බන්ධනාගාරයට (02.10.2025)

+


මත් ජාවාරම්කරුවකුට හැදුනුම්පත දුන් සාජන්ගේ වැඩ තහනම්

(02.10.2025 – hirunews.lk)

ජාවාරම්කරුවකුට මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමේදී භාවිතා කිරීමට සිය පොලිස් හැදුණුම්පත ලබාදුන් බව කියන බඩෝවිට පොලිස් ස්ථානයේ සේවයේ නිරත පොලිස් සැරයන්වරයකුගේ වැඩ තහනම් කිරීමට ගල්කිස්ස කොට්ඨාශය භාර පොලිස් අධිකාරීවරයා පියවර ගෙන තිබෙනවා.

පානදුර වලානේ පිහිටි මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ නිලධාරින් විසින් පසුගිය 30 දා පානදුර හිරණ දී කළ වැටලීමකදී රුපියල් කෝටි 15 ක් පමණ වටිනා කොකේන් කිලෝ 03 ක් සමග අත්අඩංගුවටගත් සැකකරුවන් දෙදෙනකු (2) ගෙන් ඒක් අයෙක් සතුව තිබී මෙම පොලිස් නිලධාරියාගේ පොලිස් හැදුණුම්පත හමුවී තිබුණා.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගෙන් කළ ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී ඇත්තේ පොලිස් පරීක්ෂාවන්වලදී මෙම හැදුණුම්පත පෙන්වමින් මත්ද්‍රව්‍ය නිදහසේ ප්‍රවාහනය කර ඇති බවයි.

විමර්ශනයේදී හෙළිවී ඇත්තේ මෙම පොලිස් නිලධාරියා ඒම මත්ද්‍රව්‍ය ජාවාරම්කරු සමඟ පසුගිය නොවැම්බර් 29 වෙනිදා මත්පැන්ද පානය කර ඇති බවයි.

සිය පොලිස් හැදුණුම්පත මත්ද්‍රව්‍ය ජාවාරම්කු අතට පත්කර ඇත්තේ ඒහිදී බව පෙනී ගොස් තිබෙනවා.

ඒ අනුව ඉදිරි විමර්ශන සඳහා පොලිස් සැරයන්වරයාගේ වැඩ තහනම් කර ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසුවා ෴


පවුල් සෞඛ්‍ය නිලධාරිනියගේ නිවස ඉදිරිපිට මාසයක බිළිඳියක් දමා ගිහින්

(02.10.2025 – hirunews.lk)

මහව කෝන්වැව ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියකගේ නිවස ඉදිරිපිට වයස මාසයක (1) පමණ බිළිඳියක් අද (2) දමා ගොස් ඇතැයි මහව පොලිසිය පවසනවා.

කෝන්වැව මහව ලිපිනයේ පදිංචි පවුල් සෞඛ්‍ය සේවිකාවක වූ ඉන්ද්‍රාණි අනුලා මහත්මියගේ නිවසේ ඉදිරිපස විවෘත කොටසේ පුටුවක් මත මෙම බිළිඳා දමා ගොස් ඇතැයි පොලිසිය සඳහන් කරනවා.

නිවැසියන් මෙම සිදුවීම මහව පොලිසියට දැනුම් දීමෙන් අනතුරුව පොලිස් නිලධාරීන් විසින් මෙම බිළිඳියව නිකවැරටිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මහව පොලිසිය මගින් මේ සිදුවීම පිළිබඳව විමර්ශන කටයුතු සිදු කරන අතර මෙම බිළිඳියගේ මව පියා කවුරුන් දැයි තවම අනාවරණය කරගෙන නොමැති බවද පොලිසිය සඳහන් කරනවා ෴


අපොස සාමාන්‍ය පෙළට අයදුම්පත් කැඳවීම 09 වැනිදා අවසන්

(02.10.2025 – hirunews.lk)

අධ්‍යයන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගයට පෙනී සිටීම සඳහා වන අයදුම්පත්‍ර කැඳවීම ඔක්තෝම්බර් 09 වැනිදා මධ්‍යම රාත්‍රී 12:00 ට අවසන්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත්කරමින් පවසනවා.

සැප්තැම්බර් 18 වැනිදා සිට මාර්ගගත ක්‍රමය ඔස්සේ පමණක් මෙම විභාගය සඳහා අයදුම්පත්‍ර කැඳවීම ආරම්භ කෙරුණා.

ඔක්තෝම්බර් 09 වැනිදා මධ්‍යම රාත්‍රී 12:00 පසු මාර්ගගත ක්‍රමවේදය වසා තබන අතර කිසිදු හේතුවක් මත අයදුම්පත් භාර ගැනීමේ අවසන් දිනය දීර්ඝ කිරීමක් සිදු නොකරන බවයි එම අමාත්‍යාංශය පවසන්නේ,

මේ සම්බන්ධයෙන් කිසියම් විමසීමක් අවශ්‍ය වන්නේ නම් පහත දැක්වෙන දුරකථන අංක මගින් මගින් විමසීම් කළ හැකිය.
011 278 4208 / 011 278 4537 / 011 278 5922 / 011 278 4422


රු. කෝටි පහක (5) බැංකු වංචාව කරලා තියෙන්නේ පිටරට ඉඳලා

(02.10.2025 – hirunews.lk)

මෙරට පෞද්ගලික බැංකුවක නිල වෙබ් අඩවියට සමානව සකසන ලද ව්‍යාජ වෙබ් අඩවි ගණනාවක් මගින් ඩිජිටල් ක්‍රමය ඔස්සේ රුපියල් කෝටි පහක් (5) වංචා කළ බව කියන සිද්ධියට විදේශ රටවල සිට ‘බයිනෑන්ස් ගිණුම්’ මෙහෙයවා ඇති බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අද (2) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම හමුවේ දැනුම් දුන්නා.

මෙම සිද්ධියට අදාළව වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියේ මෙම සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරු හෙවත් මහ මොලකරු සම්බන්ධයෙන් කරන ලද විමර්ශනය වලදී හොංකොං සිට කිසියම් පිරිසක් විසින් මෙම ජාලය මෙහෙයවා ඇති බවයි.

සිද්ධියට සම්බන්ධ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සැකකරුවන් හය දදෙනෙකු (6) ඔක්තෝබර් 16 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අනෙක් සැකරුවන් දෙදෙනා (2) ඇප මත මුදා හැරියා.

සිද්ධියට අදාළ සැකකරුවන්ට ඇප ලබා දුන්නොත් විමර්ශන කටයුතුවලට බාධා සිදුවන පරිදි සියලු දත්ත මෙම සැකකරුවන් විසින් මකා දැමීමට ඉඩ ඇති බව සඳහන් කළ අවස්ථාවේ එලෙස නැවත රක්ෂිත බන්ධනාගාරගත කළා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සඳහන් කර සිටියේ බන්ධනාගාර ගත කර සිටින සැකකරුවන් සතු ‘බයිනෑන්ස් ගිණුම්’ සම්බන්ධයෙන් ඉදිරියට කිරීමට බලාපොරොත්තු වන පියවර ඇතුළත් වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි ෴


කුරුණෑගල ‘එරාමිරකල් ජෙනිසිස්’ හී සියලු සැකකරුවන් අත්අඩංගුට ගන්න – උසාවිය

(02.10.2025 – hirunews.lk)

කුරුණෑගල ප්‍රදේශයේ ‘එරාමිරකල් ජෙනිසිස්’ නැමැති නීත්‍යානුකූල නොවන පිරමීඩාකාර මූල්‍ය ආයතනයක් පවත්වාගෙන යමින් තැන්පත්කරුවන් 3000 ට අධික පිරිසකගෙන් රුපියල් කෝටි 1000 ට අධික මුදලක් ලබාගෙන වංචා කළ බව කියන සිද්ධිය අදාළ සෙසු සැකකරුවන් අත්අඩංගුවට නොගැනීම සම්බන්ධයෙන් පූර්ණ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයාට අද (02) නියෝග කළා.

සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින එම පෞද්ගලික සමාගමේ අධ්‍යක්ෂකවරයකු වන ‘රණසිංහ ආරච්චිගේ ධම්මික කුමාර රණසිංහ’ (55) නැමැත්තා මෙම මස (08) දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසටද අධිකරණයෙන් නියම කෙරුණා.

සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකරන බැවින් සැකකරුට ඇප ලබා නොදෙන ලෙසට විමර්ශන නිලධාරීන් අධිකරණයට දැක්වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරුව එසේ තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කළා.

එම පෞද්ගලික සමාගමට එරෙහිව නව පැමිණිලි 1910 ක් සහ නව බැංකු ගිණුම් 65 ක් පිළිබඳව තොරතුරු ලැබී ඇති බව සහ විමර්ශන කටයුතු තවදුරටත් සිදු කිරීමට තිබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාශය පෙර නඩු වාරයේදී අධිකරණයට දැනුම් දුන්නා.

මෙම සිද්ධියට අදාළව අගතියට පත් පාර්ශවයගෙන් ලබාගත් ප්‍රකාශ අනුව එම සියලුම තැන්පත්කරුවන්ට අලාභයක් සිදුවී ඇති බවද මේ සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනවලදී තවත් සැකකාර අධ්‍යක්ෂකවරුන් 14 දෙනකු හඳුනාගෙන ඇති බවද විමර්ශන නිලධාරීහු අධිකරණයට දැනුම් දී තිබුණා.

එම සැකකරුගේ බිරිය වන ‘ගාල්ලේ වඩුගේ සමුද්‍රා සුරංගනී හේමචන්ද්‍ර’ නැමැත්තයට හා ‘සුදර්ශන මධුෂාන්’ නැමැත්තාට පෙර නඩු වාරයේදී ඇප නියම කෙරුන ද ඇප කොන්දේසි සපුරා ගැනීමට නොහැකි වීම හේතුවෙන් ඔවුන් දෙදෙනා (2) අද (02) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණා.

එම සැකකරුවන් දෙදෙනාට (2) පනවා ඇති ඇප කොන්දේසි ලිහිල් කරන ලෙස ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් කළ කරුණු දැක්වීමක් සලකා අනතුරුව අධිකරණය ඔවුන්ගේ ඇප කොන්දේසි ලිහිල් කරනු ලැබුවා ෴


මහනුවර නාගරික වැසිකිළි භාවිතයට සල්ලි ගනී : වතුර පානය අඩු වී ජනතාව බරපතල රෝග අවදානමක

(02.10.2025 – hirunews.lk)

මහනුවර නාගරික පොදු වැසිකිළි භාවිත කිරීමේ දී මාසිකව රුපියල් 1500-3000 ක් අතර මුදලක් ගෙවීමට සිදුවීම නිසා නගරයේ ව්‍යාපාරික ස්ථානවල සේවය කරන බහුතරයක් දෙනා දිවා කාලයේ ජලය පානය කිරීමෙන් වැලකී සිටින බවත් මේ නිසා ඔවුන් වකුගඩු රෝග හා මුත්‍රා මාර්ගයේ ආසාදනවලට ගොදුරුවීමේ දැඩි අවදානමක් පවතින බවත් පේරාදෙණිය ශික්ෂණ රෝහලේ නීති වෛද්‍ය නිලධාරී පාලිත බණ්ඩාර සුබසිංහ පවසයි.

විශේෂයෙන් තරුණ ගැහැණු දරුවන් මේ හේතුවෙන් දැඩි අපහසුතාවට පත්වන බවද ඔහු පවසයි.

මහනුවර නාගරික පොදු වැසිකිළි භාවිතයේ දී ජනතාව මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම වෙනුවෙන් ‘මහනුවර සුහද කාන්තා සංවිධානය’ මගින් සංවිධානය කළ වැඩසටහනක දී ඔහු මේ බව පැවසුවා.

ජාතික සාම මණ්ඩලයේ අනුග්‍රහයෙන් ප්‍රජා සහභාගිත්වය තුළින් අන්තර්කරණය සඳහා කාන්තාවන් සවිබල ගැන්වීම යටතේ මෙම වැඩසටහන මහනුවර කැප්පෙටිපොළ ශාලාවේ දී පැවැත්වුණා.

නාගරික පොදු වැසිකිළි 08 ක් මහනුවර මහ නගර සභාව මගින් වසර 05 ක කාලයක් සඳහා රුපියල් ලක්ෂ 313 ක මුදලකට ටෙන්ඩර් ලබා දී තිබෙනවා. වැසිකිළි භාවිත කිරීමේ දී රුපියල් 20 ක ගාස්තුවක් අය කළ හැකි බවට ටෙන්ඩරයේ සඳහන් වුවත් මේ වනවිට එම කොන්දේසි වලට පිටින් ටෙන්ඩර්කරු රුපියල් 30 ක මුදලක් අය කරන බව සාකච්ඡාවේ දී අනාවරණය වුණා.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ නීති වෛද්‍ය නිලධාරි පාලිත සුබසිංහ මහතා මෙසේද පැවසීය :

“පැය 08 ක සේවා කාලය තුළ අවම වශයෙන් දෙවරක් (2) පොදු වැසිකිළි භාවිත කළහොත් දෛනිකව රුපියල් 60 ක පමණ මුදලක් ගෙවීමට සිදුවනවා. මාසිකව ගණනය කිරීමේ දී එම මුදල රුපියල් 2000 කට ආසන්නයි. විශේෂයෙන් මහනුවර ටොරින්ටන් වෙළෙඳ සංකීර්ණයේ සේවය කරන ගැහැණු ළමුන් මෙහි දී දැඩි අපහසුතාවකට පත්වෙනවා.

මාසිකව උපයන 20,000-30,000 අතර මුදලෙන් වැසිකිළි යාම සඳහා රුපියල් 2000 ක් 3000 ක් වැය කිරීම මේ ළමයින්ට ඉතා අසීරුයි. මේ නිසා පිරිමි බෝතල්වලට මුත්‍රා කරලා කාණුවලට හලනවා. කාන්තාවන් වැසිකිළිවලට නොගොස් මුත්‍රා බර හිරකරගෙන ඉන්නවා.

මේ නිසා ඔවුන් නෙයෙක් රෝගාබාධ වලට ගොදුරු වන ප්‍රවණතාවක් ද දක්නට ලැබෙනවා. නාගරික ජනතාවට සනීපාරක්ෂක පහසුකම් සැළසීම නගර සභාවේ වගකීමක්. මේවා සේවා විදිහට තමයි නගර සභාව පවත්වාගෙන යායුත්තේ.

පොදු වැසිකිළි ටෙන්ඩර් දීලා ආදායම් මාර්ග බවට පත්කර ගන්න පනත අනුව නගර සභාවට බැහැ. අනිත් පැත්තෙන් ටෙන්ඩරය මගින් රුපියල් 20 ක් අය කරන්න ටෙන්ඩර්කරුට අවසර දීලා ඔහු රුපියල් 30 ක් අය කරද්දී නගර සභාව නිහඬව ඉන්නවා. මනුෂ්‍යයෙකුට පාලනය කර ගන්න බැරි ශාරීරික අවශ්‍යතාවක් මුදල් ගෙවීමෙන් පමණක් ඉටු කරගත හැකි තත්ත්වයක් නිර්මාණය වීම ඉතාම කණගාටුදායක තත්ත්වයක්” ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *