ශ්‍රී ලංකාවේ දිනකට පියයුරු පිළිකා රෝගීන් 15 ක් – දිනකට මරණ 3 ක්
ශ්‍රී ලංකාවේ දිනකට පියයුරු පිළිකා රෝගීන් 15 ක් – දිනකට මරණ 3 ක්
(24.09.2025 – 15:07 +0530 – sinhala.adaderana.lk)
ශ්‍රී ලංකා තුළ දිනකට පියයුරු පිළිකා රෝගීන් 15 දෙනෙකු වාර්තා වන බවත් පියයුරු පිළිකා රෝගීන් තිදෙනෙකු (3) පමණ දිනකට මියයන බවත් සෞඛ්‍ය අංශ අනාවරණය කරයි.
අද (24) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ජාතික පිළිකා මර්දන වැඩසටහනෙහි අධ්‍යක්ෂ, වෛද්‍ය ශ්‍රීනි අලහප්පෙරුම මහත්මිය මේ පිළිබඳ අදහස් දක්වමින් සඳහන් කළේ, 2022 දී වාර්තා වූ දත්ත අනුව ශ්‍රී ලංකාවේ කාන්තාවන් අතර සියලුම පිළිකා රෝගීන් 19,457 ක් හඳුනාගෙන ඇති බවය.
ඒ අතරින් කාන්තාවන් අතර පියයුරු පිළිකා රෝගීන් 5,477 ක් හඳුනාගෙන ඇති අතර, එය ප්‍රතිශතයක් ලෙස 28% ක් බව ද වෛද්‍යවරිය සඳහන් කළාය.
පියයුරු පිළිකාව පෙර සිට හඳුනාගැනීමෙන් සුව කළ හැකි වුවත් පියයුරු පිළිකා රෝගීන් 30% ක් පමණම අවසන් තත්ත්වයේ දී හඳුනාගැනීම තුළින් සුව කිරීම අසීරු වන බව ද වෛද්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.
වසරකට ලංකාවේ පිළිකා හේතුවෙන් 15,245 ක් මියයන අතර එයින් 798 ක් පියයරු පිළිකා හේතුවෙන් සිදුවන මරණ බව ද පැවසු වෛද්‍ය ශ්‍රීනි අලහප්පෙරුම මහත්මිය වැඩිදුරටත් සඳහන් කළ අතර, මෙම තත්ත්වය තුළ පියයුරු පිළිකා සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ මාසය ලෙස ඔක්තෝබර් මස 11 වන දින විශේෂ වැඩසටහනක් හැව්ලොක් සිටි හීදී පැවැත්වීමට නියමිත බව ද පැවසීය.
එහිදී වැඩිදුර අදහස් දැක්වූ වෛද්‍ය ශ්‍රීනි අලහප්පෙරුම :
“වැඩසටහන්වල පළවෙනි එක තමයි පිළිකා පිළිබඳ ප්‍රදර්ශනයක් තියෙනවා හැව්ලොක් සිටි සාප්පු සංකීර්ණයේ ඔක්තෝබර් මස 11 උදෑසන 10 සිට. ඒ වගේම විශේෂ වෛද්‍යවරුන් විසින් දැනුවත් කිරීමේ වැඩසටහනනක් තියෙනවා පස්වරු 2 ට ඒ වගේම තමයි පියයුරු පිළිකාව කලින් කියපු විදියට කලින් වේලාසනින් හඳුනාගෙන වේලාසනින් ප්‍රතිකාර කරලා අවසන් වන තෙක් ප්‍රතිකර කරලා ජයගත්ත රෝගීන් ඉන්නවා; අපි අතර ඉන්නවා. එහෙම පිළිකාවට ලක් වෙලා සුවය ලබපු අය විසින් කරන වැඩසටනකුත් අපි එදාට සූදානම් කරලා තියෙනවා.”
මෙම මාධ්‍ය හමුවට එක්වෙමින් ප්‍රජා වෛද්‍ය විශේෂ හසරැලි ප්‍රනාන්දු මහත්මිය පවසන්නේ, පියයුරු පිළිකා හඳුනා ගැනීමට අවුරුදු 20 ට වැඩි සියලු ගැහැනු දරුවන් විසින් ස්වයං පියයුරු පරීක්ෂාවක් සිදුකර ගත යුතු වන අතර, එසේ නොමැති නම් සායනික පියයුරු පරීක්ෂාවට යොමු විය යුතු බවය.
එහිදී පියයුරු පිළිකා ඇති වීමට බලපාන සාධක ලෙස එතුමිය සඳහන් කරන්නේ,
- 50% ක් පමණ කාන්තාවක් වීම සහ වයස අවුරුදු 50 ට වැඩි වීම.
- පවුල් ඉතිහාසයක් තිබීම.
- ජානමය විකෘතිතා.
- ඊස්ටජන් හෝමෝනයට නිරාවරණය වන කාලය වැඩිවීම.
(දරුවන් නොමැති හෝ අවුරුදු 11 ට වඩා අඩු වයසෙන් වැඩිවියට පත්වූ දරුවන් හෝ අවුරුදු 55 ට වැඩි ආර්තවහරණයට ලක්වූ කාන්තාවන්)
අවුරුදු 20-40 ත් අතර කාන්තාවන් සායනික පියයුරු පරීක්ෂාව සඳහා වසර තුනකට (3) වරක් යොමු විය යුතු බව ද අවුරුදු 40 ට වඩා වැඩි කාන්තාවන් වසරකට වරක් සායනික පියයුරු පරීක්ෂාව සඳහා යොමු වියයුතු බව වෛද්‍යවරිය වැඩිදුරටත් පෙන්වා දෙයි.
රෝග ලක්ෂණ ලෙස පියයුරේ ඇතිවන වේදනාවන්, පියයුරුවල ඇතිවන ගැටිති තත්ත්වයන්, සමේ හැඩය වෙනස් වීම, පියයුරේ ප්‍රමාණය වෙනස් වීම, වළ ගැසීම, තන පුඩුවල ඇතිවන වෙනස එනම් යම් කිසි ශ්‍රාවයක් පිට වීම මෙන්ම කිහිල්ලේ ඇතිවන ගැටිති පියයුරු පිළිකාවක මූලික ලක්ෂණ බව සඳහන්ය.
මෙවැනි රෝගී තත්ත්වයක් පවතින විට ළඟම ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සුවනාරී සායනය වෙත යොමු විය යුතු බවද මෙවැනි සායන ලංකාවෙහි 1,200 පමණ පවතින බවද රෝහල් ආශ්‍රිත ඇති සුවදිවි සායන වෙත යොමු වීමට හැකි බව වෛද්‍යවරිය වැඩිදුර සඳහන් කළාය.
එහිදී වැඩිදුර අදහස් දැක්වූ ප්‍රජා වෛද්‍ය විශේෂ හසරැලි ප්‍රනාන්දු :
“පියයුරු පිළිකාව කියන්නේ බයවෙලා හැංගිලා ඉන්න ඕනි එකක් නෙමෙයි. පියයුරු පිළිකාව කලින් හඳුනා ගත්තොත් සම්පූර්ණයෙන් සුව කරන්න පුළුවන් පිළිකාවක්. ඒක නිසා වුරුදු 20 ට වැඩි සියලුම කාන්තාවන් මසකට වරක් ඔබ වෙනුවෙන් ගත කරන්න. ස්වයං පියයුරු පරීක්ෂාවේ යෙදෙන්න. ඔබ යම්කිසි වෙනසක් හඳුනා ගත්තොත් වහාම ප්‍රතිකාර සඳහා යොමුවන්න” ෴
මත් ජාලය බිඳ දමන මෙහෙයුමට සම්බන්ධ වෙන්න රටටම අවස්ථාවක් : දුරකථන අංක රැසක්
(24.09.2025 – hirunews.lk)
මත් ජාලය බිඳ දමන මෙහෙයුමට සම්බන්ධ වෙන්න රටටම අවස්ථාවක් : දුරකථන අංක රැසක්
හෙරොයින්, අයිස්, කොකේන් සහ ගංජා ඇතුළු විෂ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් තොරතුරු ලබා දීම සඳහා මහජනතාව වෙත නව දුරකථන අංක මාලාවක් හදුන්වා දී තිබෙනවා.
පොලිස් මූලස්ථානය ප්‍රකාශ කරන්නේ දිවයිනේ විවිධ ප්‍රදේශවල ව්‍යාප්තව පවතින මෙම මත්ද්‍රව්‍ය උවදුර මැඩලීම සඳහා මෙම පියවර ගත් බවයි.
ඒ අනුව, අද (24) දින සිට සිය පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ ජංගම දුරකථන අංකයට සෘජුවම අමතා මෙම තොරතුරු ලබා දිය හැකි බවද පොලිස් මූලස්ථානය සඳහන් කරනවා.
මෙම වැඩපිළිවෙළ යටතේ මහජනතාව විසින් ලබා දෙන තොරතුරුවල රහස්‍යභාවය සම්පූර්ණයෙන්ම ආරක්ෂා කරන බවට පොලීසිය සහතික වන බව ද පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා.
මත්ද්‍රව්‍ය උවදුර රටෙන් තුරන් කිරීම සඳහා පුරවැසියන් ලබා දෙන සහාය ශ්‍රී ලංකා පොලීසිය ඉතා ඉහළින් අගය කරන බවද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.
ඒ අනුව, අදාළ පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ නම් සහ ඔවුන්ගේ ජංගම දුරකථන අංක මෙසේ සඳහන් කළ හැකියි :
බස්නාහිර පළාත : සංජීව ධර්මරත්න – 071 859 1991
දකුණු පළාත : කිත්සිරි ජයලත් – 071 859 1992
ඌව පළාත : මහේෂ් සේනානායක – 071 859 2642
සබරගමුව පළාත : මහින්ද ගුණරත්න – 071 859 2618
වයඹ පළාත : අජිත් රෝහණ – 071 859 2600
මධ්‍යම පළාත : ලලිත් පතිනායක මහතා – 071 859 1985
උතුරු මැද පළාත : බුද්ධික සිරිවර්ධන – 071 859 2644
උතුරු පළාත : ටී. සී. ඒ. ධනපාල මහතා – 071 859 2645
නැගෙනහිර පළාත : වරුණ ජයසුන්දර මහතා – 071 859 2640
මතට ඇබ්බැහි වුවන්ගෙන් බහුතරයට සාමාන්‍ය පෙළවත් නැහැ
(24.09.2025 – hirunews.lk)
‘අයිස් මත්ද්‍රව්‍ය’වලට ඇබ්බැහි වූවන් ඇතුළු බොහෝ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන්ගේ අධ්‍යාපන මට්ටම සාමාන්‍ය පෙළට (O/L) වඩා අඩු බව මෑතකදී කළ අධ්‍යනයකදී හෙළිදරව් වී තිබෙනවා.
මෙම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන්ට දැඩි පුනරුත්ථාපනයක් අවශ්‍ය වන අතර රැකියා විරහිතව සිටින නිසා රාජ්‍යයට දැඩි බරක් ද ඔවුන් එක් කරන බවයි කියවෙන්නේ.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය වසන්ත අතුකෝරල සහ ඔහුගේ කණ්ඩායම විසින් මෙම පර්යේෂණය සිදු කර ඇති අතර, එහිදී 2023 වසරේ බන්ධනාගාර දත්ත සහ මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි රටාවන් විශ්ලේෂණය කර තිබෙනවා.
ඔවුන්ගේ සොයාගැනීම් අනුව, 2023 වසරේදී විවිධ අපරාධ සඳහා පුද්ගලයන් 185,056 දෙනෙකු සිරගත කර ඇති අතර, ඉන් 46,939 දෙනෙකුට වරදකරුවන් වී තිබෙනවා. එම වරදකරුවන් වූවන්ගෙන් 29,192 දෙනෙකුගේ සිද්ධීන් සෘජුවම මත්ද්‍රව්‍යවලට සම්බන්ධ බව වාර්තා වන්නේ.
මෙම අධ්‍යයනයට අනුව ඇබ්බැහි වූවන් වැඩි වශයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ ප්‍රධාන වශයෙන් කොළඹ, ගම්පහ, කළුතර සහ කුරුණෑගල යන දිස්ත්‍රික්ක හතරෙන් බවයි.
වයස අනුව බැලූ විට, වරදකරුවන් වූ පුද්ගලයන්ගෙන් 8,491 දෙනෙකුගේ වයස අවුරුදු 22 ත් 30 ත් අතර වන අතර, 8,941 දෙනෙකුගේ වයස අවුරුදු 30 ත් 40 ත් අතර වනවා. මෙය තරුණ සහ මැදි වයසේ වැඩිහිටියන් වැඩි වශයෙන් මෙම තත්ත්වයෙන් පීඩාවට පත්ව ඇති බව පෙන්නුම් කරන්නෙ ෴
2025 වසරේ මේ දක්වා මත්ද්‍රව්‍ය වැටලීම්වලින් මත්ද්‍රව්‍ය කිලෝ ග්රෑම් 17,000 ක් අත්අඩංගුවට
(24.09.2025 – hirunews.lk)
2025 වසරේ මේ දක්වා සිදුකළ මත්ද්‍රව්‍ය වැටලීම්වලින් හෙරොයින් කිලෝ ග්රෑම් 1243 ක් සහ අයිස් කිලෝ ග්රෑම් 1845 ක් සිය බාරයට ගැනීමට හැකි වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා පවසනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක වැඩිදුරටත් සඳහන් කළේ වසරේ මේ දක්වා හෂිස් කිලෝ ග්රෑම් 472 ක්, කොකේන් කිලෝග්‍රම් 29 ක් සහ ගංජා කිලෝග්‍රෑම් 14,057 ක් අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබී ඇති බවයි ෴
මත්ජාලයට සම්බන්ධ අයෙක් රිමාන්ඩ්
(24.09.2025 – hirunews.lk)
‘කුඩු නිලංග’ නැමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ බව කියන ‘තරිඳු හෂාන් ජයසිංහ’ නමැත්තෙකු ඔක්තෝබර් මස 09 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද (24) නියෝග කළා.
රැදවුම් නියෝග මත පසුවන ‘කුඩු නිලංග’ නැමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා තබාගෙන අද (24) දක්වා ප්‍රශ්න කළ බව විමර්ශන නිලධාරීන් අධිකරණයට දැන්වුවා.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ආරක්ෂක ලේකම්වරයාට ලැබි තිබෙන බලතල අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාතබාගෙන ප්‍රශ්න කරමින් සිටි සැකකාර පුද්ගලයා අද (24) පස්වරුවේ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.
සැකකරු සන්තකයේ තිබී අත්අඩංගුවට ගන්නා ලද මත්ද්‍රව්‍ය පාර්සල් කීපයක් විමර්ශන නිලධාරීන් අධිකරණයට ඉදිරිපත් කළ අතර එම පාර්සල් රජයේ රස පරීක්ෂකවරයා වෙත යවා වාර්තාවක් කැඳවන ලෙසද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අධිකරණයෙන් නියම වුණා ෴
සම්බාහන මුවාවෙන් ‘අයිස්’ විකිණූ කතක් හා අයෙක් දැලේ
(24.09.2025 – hirunews.lk)
මහනුවර රාජසිංහ මාවතේ සම්බාහන මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන අතරතුර ‘අයිස් මත්ද්‍රව්‍ය’ ජාවාරමේ නිරත වූ කාන්තාවක් සමඟ තවත් අයකු (1) මහනුවර මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබෙනවා.
අත්අඩංගුවට ගත් අනෙක් පුද්ගලයා අදාළ කාන්තාවට ‘අයිස් මත්ද්‍රව්‍ය’ සපයන්නා බව පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වූ බව සඳහන්.
ඩුබායි හි සිට ‘ඉෂාර’ නැමැති පුද්ගලයා මෙම ජාවාරම මෙහෙයවා තිබෙන බව කරුණු හෙළිව තිබෙන අතර අත්අඩංගුවට ගත් පුද්ගලයින්ගේ ජංගම දුරකතන දත්ත ඔස්සේ පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.
සැකපිට අත්අඩංගුවට ගත් කාන්තාව සතුව ‘අයිස් මත්ද්‍රව්‍ය’ ග්රෑම් 05 ක් ද අනෙක් පුද්ගලයා සතුව ග්‍රෑම් 10 ක් ද තිබූ බව පොලිසිය පවසයි.
සම්භාහන මධ්‍යස්ථානයේ සේවා ලබා ගැනීමට පැමිණෙන පුද්ගලයින්ට අදාළ කාන්තාව ‘අයිස් මත්ද්‍රව්‍ය’ අළෙවි කර තිබෙන බවට පොලීසිය සැක කරනවා.
සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වැඩිදුර විමර්ශන සිදු කරනවා ෴
‘බැකෝ සමන්’ගේ සමීපතමයෙක් කේරල ගංජා තොගයක් එක්ක දැලේ
(24.09.2025 – hirunews.lk)
‘බැකෝ සමන්’ගේ සමීපතමයකු රුපියල් ලක්ෂ 15 කට ආසන්න වටිනාකමකින් යුත් කේරල ගංජා තොගයක් සමඟ අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පවසනවා.
‘අයිස් මත්ද්‍රව්‍ය’ නිපදවීමට ගන්නා රසායනික ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් දෙකක් (2) සඟවා තැබීමේ ප්‍රශ්න කරනු ලැබූ අගුණුකොලපැලැස්ස ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීධූර අපේක්ෂක ‘සම්පත් මනම්පේරි’ නමැත්තාගෙන් අනාවරණය වූ කරුණු මත මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කරනවා.
එම සැකකරු මිද්දෙණිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත්තේ කේරල ගංජා කිලෝ 6 ග්රෑම් 100 ක් සන්තකයේ තබාගෙන ජාවාරම් කිරීම සම්බන්ධයෙන් බව පොලිසිය පවසනවා.

ඉකුත් 17 වැනි දින සැකකාර ‘සම්පත් මනම්පේරි’ නැමැත්තා මෝසමක් මගින් අධිකරණය වෙත භාරවුණා.
එම සැකකරු දින හතක (7) රැඳවුම් නියෝග මත පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ රඳවාගෙන ප්‍රශ්න කෙරුණා.
සැකකාර සම්පත් මනම්පේරි නැමැත්තා අත්අඩංගුවට ගැනීම සඳහා සොයමින් සිටියදී ඔහුට නවාතැන් පහසුකම් ලබා දෙමින් ඔහු තැනින් තැනට රැගෙන යාම සිදුකළ කළුතර විදුලි බල මණ්ඩලයේ රියදුරකු ලෙස රැකියාව කරන පුද්ගලයකු අත්අඩංගුවට ගෙන සිදු කළ ප්‍රශ්න කිරීමේ දි ‘මනම්පේරි’ නැමැත්තාට අයත් බැංකු කාඩ් කිහිපයක්, ජංගම දුරකථනයක්, අයිස් මත්ද්‍රව්‍ය නිපදවීමට ගන්නා රසායනික ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් දෙක (2) මුදා ගැනීම සඳහා යොදාගත් රිසිට් පත් කිහිපයක් සැකකරු සන්තකයේ තිබී සොයාගැනීමට හැකිවූ බව පොලිස් මත්ද්‍රව්‍ය නාසක කාර්යාංශයේ නිලධාරියකු පැවසුවා.
ඊට අමතරව ‘සම්පත් මනම්පේරි’ නමැති සැකකරුගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය කරගත් කරුණු මත ‘බැකෝ සමන්’ නමැති අපරාධකරුගේ අනුගාමිකයකු වන මිද්දෙණිය ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි මෙම සැකකරු කේරල ගංජා තොගය සමඟ අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරනවා.
එම සැකකරු ද රැඳවුම් නියෝග ලබාගෙන රඳවාගෙන ප්‍රශ්න කරන බව ද පොලිසිය පවසනවා ෴
‘මිදිගම රුවන්’ට අයත් ගිනි අවි කිහිපයක් අත්අඩංගුවට
(24.09.2025 – hirunews.lk)
සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘මිදිගම රුවන්’ට අයත් ගිනි අවි කිහිපයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
T-56 ගිනි අවි 03 ක් සහ තවත් T-56 අවියක කොටසක් ඒ අතර වන බවයි පොලිසිය පවසන්නේ.
මිදිගම පිහිටි ඔහුගේ නිවස පිටුපස වළදමා තිබියදී මේවා සොයා ගැනීමටයි පොලිස් විශේෂ කාර්ය බලකාය සමත්ව ඇත්තේ ෴
‘මිදිගම රුවන්’ ගේ නිවස පිටුපස වළදමා තිබූ T-56 උණ්ඩ 27 ක් සහ මැගසිනයක් (1) ද විශේෂ කාර්ය බලකාය විසින් සොයාගෙන තිබෙනවා.
ඒ සමග ඔහුගේ සමීපතමයෙකු බව කියන අයෙකූ (1) ද අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ ෴
+
ඉන්දීය මහ කොමසාරිස් මහින්ද බලන්න තංගලු යයි
(24.09.2025 – hirunews.lk)
‘ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා’ අද (24) පෙරවරුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවී සුවදුක් විමසීමට තංගල්ල කාල්ටන් නිවසට පැමිණියා. මහ කොමසාරිස්වරියාගේ බිරිය ද ඔහු සමඟ පැමිණ සිටියා.

කාල්ටන් නිවෙසට පැමිණි කොමසාරිස්වරයා සහ ඔහුගේ බිරිය මල් කළඹක් පිරිනමා පිළිගැනීමට ශිරන්ති රාජපක්ෂ කටයුතු කළා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම්, හිටපු දකුණු පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන ද මෙම අවස්ථාවට එක්ව සිටියා ෴
කොළඹ මහාධිකරණ භූමියේ වීදුරුවක් කැඩු ඉන්දියන් ජාතිකයා රිමාන්ඩ්
(24.09.2025 – hirunews.lk)
කොළඹ මහාධිකරණයට අයුතුව ඇතුල් වී අනර්ථයක් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කෙසෙල්වත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගත් ඉන්දියන් ජාතිකයකු ලබන 07 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග බෝදරගම මහතා අද (24) නියෝග කළා.
ආගමන විගමන පාලකවරයාට සැකකරුගේ වීසා සම්බන්ධයෙන් අධිකරණයට වාර්තාවක් ලබා දෙන ලෙසටද මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.
එම්. පාර්තිබන් නැමති ඉන්දියන් ජාතිකයෙකු එසේ රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවා.
සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දක්වමින් කෙසෙල් වත්ත පොලිසිය සඳහන් කර සිටියේ මහාධිකරණ සංකීර්ණයේ තිබූ භාණ්ඩ තැන්පත් කරන වීදුරුවකට ගසා අනර්ථයක් සිදුකර ඇති බවයි ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴