මාලිමා ප්‍රතිපත්ති ප්‍රකාශයේ පොරොන්දු 1,329 ක් .. පලමු (1) වසරේ ඉටු කර ඇත්තේ පහයි (5) ..

මාලිමා ප්‍රතිපත්ති ප්‍රකාශයේ පොරොන්දු 1,329 ක් .. පලමු (1) වසරේ ඉටු කර ඇත්තේ පහයි (5) ..


මාලිමා ප්‍රතිපත්ති ප්‍රකාශයේ පොරොන්දු 1,329 ක් .. පලමු (1) වසරේ ඉටු කර ඇත්තේ පහයි (5) ..

(22.09.2025 – 15:50 +0530 – lankacnews.com)

පිවිතුරු හෙළ උරුමය මාධ්‍ය හමුවේ දී පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය :

“මාලිමා ආණ්ඩුව හෙට (23) දිනයට වසරක් (1) සම්පුර්ණ කරනවා බොහෝ දෙනෙක් මැතිවරණය පැවැත්වු දිනය වසරක් ලෙස සැලකුවත් අනුර කුමාර දිසානායක මැතිතුමා රටේ ජනාධිපතිතුමා ලෙස වැඩ භාර ගත්තේ සැප්තැම්බර් 23 එහෙනම් මේ ආණ්ඩුව සැප්තැම්බර් 23 ට වසරක් සම්පුර්ණ කරනවා. ආණුඩුව මොකද කලේ කියන එක මේ දවස්වල හැමෝම ප්‍රශ්න කරනවා.

මාලිමා ආණ්ඩුව තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුල ජනතාවට පොරොන්දු 1,329 ක් ලබා දුන්නා. නමුත් පළමු (1) වසරට ඉටු කරලා තිබෙන්නේ 5 ක් පමණයි. ඒවාත් අනාගත නායකයින්ගේ කොන්ද කඩන බෙදුම්වාදින් සතුටු කරන හිටපු ජනපතිවරුන්ගේ නිල නිවාස අහිමි කිරීම වැනි නිරර්ථක වෛරී පොරොන්දු විතරයි. වහාම ඉටු කරනවා කිව්ව පෙට්‍රල් මිල රු. 150 අඩු කිරීම සිද්ධ වුණේ නෑ. ඉතා කෙටි කලකින් විදුලි බිල 1/3 කින් අඩු කරනවා කිව්වත් දැන් ඔන්න ඒක වැඩි කරන්නයි යන්නේ. පළමු අයවැයෙන්ම අත්‍යාවශ්‍ය භාණ්ඩ මත තිබෙන වැට් බද්ද ඉවත් කරනවා කිව්වා. ඒක සිද්ධ වුණෙත් නෑ. පළමු (1) වසර තුල නිශ්චිතව කරනවා කියපු කිසිම දෙයක් මේ ආණ්ඩුව කලේ නෑ.

පළමු (1) වසර තුල මේ ආණ්ඩුව මුකුත් නොකර නිකන් සිටියා කියා අපි කියන්නේ නෑ. ආණ්ඩුව කළ වැඩ කොටසක් තිබෙනවා. කුහක නොවී අපි ඒවා සිහිපත් කරන්න ඕනේ. අත්තනගල්ල පැත්තේ නිධානයක් ගොඩ ගන්න රාජ්‍ය අනුග්‍රහයෙන් දැවැන්ත වලක් හෑරුවා. ජනාධිපතිතුමාගේ වාසනාවට තමයි ඒ නිධානය පහල වුණේ කියලා හඳුන්නෙත්ති ඇමතිතුමා කිව්වත් එතැන අන්තිමට තිබුණේ කළු ගලක්. ආචාර්ය උපාධිය සොයා ගෙන එන්න රන්වල කතානායකතුමාව ජපානය බලා පයින්ම පිටත් කලා. පයින් ගමන නිමා කරලා ලබන මාසයේ වෙනවිට එතුමා ලංකාවට එන්න ඕනේ. ඉතිහාසයේ ප්‍රථම වතාවට සතොස ටෙන්ඩරයක් හතර (4) වතාවක් ප්‍රතික්ෂේප වුණා. ඒ නිසා පෞද්ගලික අංශයට කැමති මිලකට හාල් විකුණන්න පුළුවන් වුණා.

රිලා සංගණනයක් කරලා රිලවුන්ගෙන් වගාවට තිබෙන කරදරය සදහටම අවසන් කලා. මේසයට ගහලා හාල් මිල වැඩි කලා. 1977 පස්සේ ප්‍රථම වරට සහල් පෝලිම් ඇති කලා. රතු ලේබල් බහාලුම් 323 ක් පරික්ෂා නොකර නිදහස් කලා. මහවංශයේවත් සඳහන් නොවන ලක් ඉතිහාසයේ පළමු වරට ලුණු හිඟයක් ඇති කලා. පොල්කිරි නැවක් ලංකාවට ගෙන්නුවා. බදු අඩු කරන්න ආපු ආණ්ඩුව විශ්‍රාමිකයින්ගේ පොලී ආදායමටත් 10% බද්දක් ගැහුව්වා.

යුද සමයෙන් පසු ප්‍රථම වරට මාස පහක් (5) ඇතුලත වෙඩි තැබීමේ අර්ධ ශතකයක් (50) වාර්තා කලා. ප්‍රයිවට් ජෙට් එකකින් ලංකාවට පැමිණි පළමු ජනපති ලෙස ඉතිහාසයට එකතු වුණා. ඒ වගේම ට්‍රම්ප් ජනාධිපතිට ලිපියක් යවලා මුළු ලෝකයටම තීරු බදු පැනවීම දින 90 කට කල් දාලා දුන්නා. ‘කොටි සටන් කලේ සාමය වෙනුවෙන්’ බවට ජනාධිපතිතුමා සොයා ගෙන රණවිරු සැමරුම් දිනයේ දී අපට දැනුම් දුන්නා.

බුදුන් වහන්සේ දේශනා කළ පස්පව් වලින් බොරු කීම ඉවත් කලා. දැන් බොරු කීම අයිතියක් මිස පාපයක් නොවේ. වෙසක් පෝය දවසේ ජනාධිපතිටත් හොරෙන් අපරාධකරුවෙකුට ජනාධිපති සමාව දුන්නා. හිරේ දාන්න පොරොන්දු වුණු මහින්ද සිරිවර්ධන මැතිතුමා ගැන ලොකු වර්ණනාවක් කරලා සම්මානයක් දුන්නා. පුංචි ඡන්ද වේදිකාවේ හොරු අපරාධකාරයෝ ලෙස හංවඩු ගහපු ස්වාධීන කණ්ඩායම් එක්ක විතරක් නොවේ සෑම පක්ෂයක් සමගම බලය සඳහා සන්ධානගත වෙලා ‘කාගෙත් සුන්දරී’ වාර්තාව තිබ්බා.

මේ ආණ්ඩුව මුකුත්ම කලේ නෑ කියලා කවුරු හරි කියනවා නම් එයාට ටොක්කක් ඇනලා මෙන්න මේ ලැයිස්තුව පෙන්වන්න.

+++

+


තංගල්ලේ ‘අයිස්’ සොයාගත් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට

(22.09.2025 – hirunews.lk)

තංගල්ල ගොඩැල්ලවෙල ප්‍රදේශයෙන් ‘අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය’ කිලෝ 200 ක් සහ ගිනි අවි සමග සොයාගත් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම ලොරි රථයෙහි මත්ද්‍රව්‍යවලට අමතරව නවීන පන්නයේ රිවෝල්වර ගිනි අවි 05 ක් සහ ටී-56 ගිනි අවි 01 ක් ඇතුළුව ගිනි අවි 06 ක් හමුවූ බවයි පොලිසිය සඳහන් කළේ.

මේ අතර, තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ මීට පෙර මළ සිරුරු සොයාගත් නිවසේ නවතා තිබූ තවත් ලොරි රථයක තිබී ‘අයිස් මත්ද්‍රව්‍ය’ බවට සැකකෙරෙන ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 200 කට අධික ප්‍රමාණයක් සොයාගත් බවද පොලිසිය ප්‍රකාශ කළා ෴

තංගල්ලේදී අද (22) අත්අඩංගුවට ගත් සමස්ථ මත්ද්‍රව්‍ය තොගය කිලෝග්‍රෑම් 634 ක් බව පොලිසිය පවසනවා.

‘අයිස් සහ හෙරොයින් යන මත්ද්‍රව්‍ය’ මෙසේ සොයා ගැනීමට සමත් වූ බවද පොලිසිය සඳහන් කළා.

මේවා ලොරි රථ තුනක (3) තිබියදී සොයා ගැනීමටයි හැකිව ඇත්තේ ෴

+++

තංගල්ල රෝහලේ දී මියගියේ කුඩු ලොරියේ හිමිකරු

(22.09.2025 – hirunews.lk)

සීනිමෝදර හෙරොයින් සිද්ධියට අදාළව තංගල්ල රෝහලේ දී මියගොස් ඇත්තේ එම මත්ද්‍රව්‍ය සහිත ලොරියේ හිමිකරු වන ‘තුසිත් වෙනුර කුමාර’ යන අය බව පොලිසිය කියයි.

මෙම ලොරිය නවතා තිබුණේ තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ අළුත් වැඩියා කරමින් තිබූ පැරණි නිවෙසක් අසලය.

මෙම සිද්ධියෙන් පුද්ගලයින් තිදෙනකු (3) ජීවිතක්ෂයට පත්ව ඇතැයි ද තංගල්ල මූලස්ථාන පොලිසිය පවසනවා.

මෙයින් දෙදෙනෙකුගේ (2) මළසිරුරු අද (22) අළුයම සීනිමෝදර නිවෙසේ තිබී සොයාගෙන ඇති අනෙක් පුද්ගලයා (1) වන ලොරි රථයේ හිමිකරු තංගල්ල මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය පවසනවා.

අදාළ ලොරි රථය පොලිස් භාරයට ගෙන ඇත්තේ මොවුන් රැඳී සිටි සිනීමෝදර නිවෙස අසළ තිබියදී වන අතර, එතුළ තිබී ‘අයිස් මත්ද්‍රව්‍ය’ පැකට් 10 ක් සොයාගත් බවද පොලිසිය පවසනවා.

මොවුන් තිදෙනා (3) තවත් පිරිසක් සමග එක්ව මත්ද්‍රව්‍ය ජාවාරමකට සහාය වන්නට ඇතැයි සැකකරන බවද පොලිසිය සඳහන් කරනවා.

මෙම සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ තංගල්ල උණාකූරුව, ලන්දෙවත්ත, ලිපිනයේ පදිංචිව සිටි සුවඳහැන්නදිගේ තුසිත් වෙනුර කුමාර (අවු 50), අම්බලන්තොට, ලුණම, රණවිරු මාවතේ පදිංචි ඩබ්ලිව්. ඊ. කවිදු කල්හාර සහ අම්බලන්තොට, ලුණම මණ්ඩගල පාරේ පදිංචි දිනුක ලක්ෂාන් හේවාවිතාරණ යන තිදෙනා (3) යි.

සිනීමෝදර නිවස අසල තිබූ ලොරි රථය මෙම තිදෙනා (3) ගෙන් ‘තුසිත් වෙනුර කුමාර’ නමැති අයට අයත් වූ අතර ඔහු තංගල්ල ප්‍රදේශයේ සංචාරක හෝටලයක සේවය කළ අයකු බවද පොලිසිය පවසනවා.

ඔහු සීනිමෝදර ප්‍රදේශයේ විදේශිකයකුට අයත් ඉඩමක් වටා තාප්පයක් බැදීමට කටයුතු කර තිබූ අතර, ඊයේ (21) සවස සේවය නිමාවී සීනිමෝදර යන බව පවසා නිවෙසින් පිටව ගොස් තිබූ බව පොලිසිය සඳහන් කරනවා.

පසුව රාත්‍රි නිවසට දුරකථන ඇමතුමක් ලබාදී ඔහුට ගැස්ට්‍රයිටිස් සැදී අමාරු බව පවසා ඇති බවත්, ඒ අනුව ඔහුගේ පුතකු යතුරුපැදියකින් සීනිමෝදර පියා සිටි නිවෙස අසළට ගොස් ඔහු තංගල්ල නගරයේ පුද්ගලික රෝහලකට රැගෙන විත් ඇති බවත් පොලිසිය පවසනවා. පසුව ඔහු පරීක්ෂා කළ වෛද්‍යවරයා ඔහුට එතරම් බරපතළ අසනීපයක් නැති බව පවසා ප්‍රතිකාර ලබාදී නිවෙසට පිටත් කර ඇති බවයි වාර්තා වන්නේ.

ඔහු නිවසේ සිටියදී තත්ත්වය අසාධ්‍ය වූ බැවින් තංගල්ල මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එහිදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මේ අතර නිවෙසට ලැබුණු දුරකථන ඇමතුමකින් සීනිමෝදර නිවස අසල දමා ආ ඔවුන්ගේ ලොරිය වහා එතැනින් ඉවත් කරගෙන යන ලෙස දන්වා තිබූ බවද වාර්තා වෙයි.

ඒ අනුව මියගිය අයගේ පුතුන් දෙදෙනෙකු (2) යතුරුපැදියකින් සීනිමෝදර අදාළ නිවෙස අසලට ගොස් එම නිවෙස පරීක්ෂා කිරීමේදී එතුළ වැටී සිටි මියගිය දෙදෙනෙකු (2) දැක ඇතැයි පොලිසිය පවසනවා.

පසුව එතැනට පැමිණි පිරිසක් ඔවුන්ට පහරදී පලවා හැර ඇති අතර ඔවුන් මාර්ගයේ දිවවිත් ත්‍රිරෝද රියක නැගී තංගල්ල පොලිසියට පැමිණ සිද්ධිය පිළිබඳව දැනුම්වත් කර තිබේ.

පහර කෑමෙන් තුවාල ලැබූ පුතුන් දෙදෙනා (2) ප්‍රතිකාර සදහා තංගල්ල මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මියගිය තිදෙනාගේ (3) මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (22) පස්වරුවේ සිදුකිරීමට නියමිතයි. පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්විමෙන් පසු මියගිය හේතුව අනාවරණය කරගැනීමට හැකි බවද පොලිසිය පවසයි.

තංගල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිපුණ දෙහිගමගේ උපදෙස් පරිදි තංගල්ල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල සේනාපති ද සිල්වා ඇතුළු නිළධාරින් සිද්ධිය ගැන පරීක්ෂණ පවත්වයි .

මේ අතර තංගල්ල කඳුරුපොකුණ ප්‍රදේශයේ ගරාජයක නවතා තිබූ තවත් කුඩා ලොරි රථයක තිබී මත්ද්‍රව්‍ය සහ ගිණිඅවි සොයාගත් බවද පොලිසිය පවසනවා.

‘අයිස් මත්ද්‍රව්‍ය’ කිලෝ 86 ක්, හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 100 ක් රිවෝල්වර 05 ක් සහ ටී 56 ගිණිඅවියක් එම ලොරිය තුළ තිබී සොයාගත් බවයි පොලිසිය සඳහන් කරන්නේ ෴

+


පොලිස් කොමිසමේ ‘ප්‍රින්ටර් ටෝනර්’ දොළහක් (12) සොරාගත් සිද්ධිය නීතිපතිට

(22.09.2025 – hirunews.lk)

ජාතික පොලිස් කොමිෂන් සභා කාර්යාලයේ තිබූ රුපියල් ලක්ෂ පහකට (5) අධික වටිනාකමන් යුත් ‘ප්‍රින්ටර් ටෝනර්’ 12 ක් එම ආයතනයේ කාර්යාල සහායකයකු සොරාගත් බව කියන සිද්ධියට අදාළව නීතිපතිවරයාගෙන් උපදෙස් ගෙන අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා අද (22) කුරුඳුවත්ත පොලිසියට නියෝග කළා.

සැකකාරයා පුද්ගලයා සිද්ධිය සම්බන්ධයෙන් වරද පිළිගෙන ඇති බවත් ඒ සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව නීතිපතිවරයාගේ උපදෙස් ලබාගෙන අධිකරණයට කරුණු වාර්තා කිරීම සඳහා නියෝගයක් ලබාදෙන ලෙසට කුරුඳුවත්ත පොලිසිය කරන ලද ඉල්ලීමක් සලකා බලමින් අධිකරණයෙන් එසේ නියම කෙරුණා.

සැකකාර පුද්ගලයා සොරාගෙන ඇති එම භාණ්ඩවල සම්පූර්ණ වටිනාකම රුපියල් 593,835 ක් බවට තක්සේරු කර ඇති බවද සැරයන්වරයා අධිකරණය හමුවේ පැවසූවා.

එම පොලිස් කොමිසන් කාර්යාලයේ තිබූ ‘ප්‍රින්ටර් ටෝනර්’ 12 ක් කිසියම් අයෙකු විසින් සොරාගෙන ඇති බවට එම කාර්යාලයේ සහකාර කළමනාකාරවරියක් කුරුඳුවත්ත පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව සැකකරු අත්අඩංගුවට ගත් බවද විමර්ශන නිලධාරියා අධිකරණයට දැන්වුවා.

මාතර ප්‍රදේශයේ පදිංචිකරුවකු බව කියන එස්.ආර්. චතුරංග නමැත්තෙකු මෙම සිද්ධියේ විත්තිකරු වන අතර සිද්ධිය සම්බන්ධයෙන් වරද පිළිගන්නා බවට ඔහු අධිකරණය හමුවේ ප්‍රකාශයක් ලබාදීම හේතුවෙන් ඔහු මේ වන විට ඇපමත මුදාහැර තිබුණා ෴


‘ශේඩ් ඔප් ප්‍රෝකෙයා’ තැන්පතුකරුවන්ගේ රුපියල් කෝටි හයසියකට (600) පොලු තියලා

(00.09.2025 – hirunews.lk)

මාර්ගගත ක්‍රමය ඔස්සේ රැකියා ලබා දෙන බව පවසා තැන්පතුකරුවන් සතු රුපියල් කෝටි 600 කට අධික මුදලක් වංචා කළ බව කියන ‘ශේඩ් ඔප් ප්‍රෝකෙයා’ නැමැති නීත්‍යානුකූල නොවන පිරමීඩ ආයතනය තැන්පත්කරුවන් සතු රුපියල් කෝටි 600 කට අධික මුදලක් වංචා කළ ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද(22) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නා.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඒ බව කියා සිටියේ සිද්ධිය සම්බන්ධය විමර්ශන ප්‍රගති වාර්තාවක් අධිකරණයට ඉදිරිපත්පත් කරමිණි.

එහිදි එම ආයතනයේ ප්‍රධාන අධ්‍යක්ෂකවරයා වන ‘මහාචාර්ය මංජුල රණසිංහ’ගේ විදෙස් ගමන් තහනම මාසයකට (1) ඉවත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම නියෝග කළා.

සැකකරු වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥවරයා සඳහන් කර සිටියේ සැකකරුට මාසයක (1) කාලයක් විදෙස් ගතවීම සඳහා අවසර ලබාදෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියා.

එසේ විදේශ ගමන් තහනම ඉවත් කිරිම සඳහා රුපියල් ලක්ෂ පහක (5) මුදල් තැන්පත් කළ යුතු බව නියෝග කළ මහේස්ත්‍රාත්වරයා රුපියල් ලක්ෂ 25 බැගින් ශරීර ඇප දෙකක් (2) ද සැකකරුට නියෝග කළා.

මේ සිද්ධියට අදාල අධ්‍යක්ෂකවරයා සහ ප්‍රධාන විධායකවරයා වන ‘අමිල විරාජ් ගලප්පත්ති’ මේ වන විට ශරීර ඇප මත මුදා හැර තිබෙනවා.

සිද්ධියට අදාළව එම ආයතනයේ සැකකරුවන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නිලධාරීන් සඳහන් කරනු ලැබුවේ, මාර්ගගත ක්‍රමය ඔස්සේ රැකියා ලබාදෙන බව පවසා එක් අයදුම්කරුගේන් රුපියල් 21,500 බැගින් මුදල් අය කරගෙන රැකියාව ලබා දෙන බව පවසා වංචා කර ඇති බවය.

අයදුම්කරුවන් රුපියල් ලක්ෂ 5 ක් වූ පසු රැකියා ලබා දෙන බවට අසත්‍ය ප්‍රචාර යවමින් විවිධ මාධ්‍ය හරහා ජනතාව රවටා මෙම ජවාරම කළ ඇති බවද විමර්ශන නිලධාරීහු අධිකරණට කරුණු දැක්වුවා.

මෙම අන්තර්ජාලය ඔස්සේ කරන ලද ජාවාරමට සම්බන්ධ තවත් සැකකරුවන් පිළිබඳව විමර්ශන කටයුතු සිදු කරන බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අධිකරණයට දැන්වුවා ෴


‘පද්මේ’ගේ ෆෝන් එකේ කෝඩ් එකක් ලෙස ප්‍රසිද්ධ බීම වර්ගයක නමක්

(22.09.2025 – hirunews.lk)

දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටින ‘කෙහෙල්බද්දර පද්මේ’ කොළඹ වරාය පොලිසියට රැගෙනවිත් බස්නාහිර උතුර අපරධ කොට්ඨාසය සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී කරුණු රැසක් අනාවරණ වී තිබෙනවා.

ඒ අනුව තමා විසින් ‘ගනේමුල්ල සංජීව’ සහ ‘ගම්පහ පස් පොඩ්ඩා’ නමැත්තා ඝාතනය සැලසුම් කළ බව ඔහු පිළිගත් බවයි විමර්ශන නිලධාරීන් සඳහන් කළේ.

එමෙන්ම ‘ගම්පහ ඔස්මන්’ නමැත්තා ඝාතනයට තැත් කිරීමෙ සම්බන්ධයෙන් ද බස්නාහිර උතුර අපරධ කොට්ඨාසය ඔහුගෙන් ප්‍රශ්න කර තිබෙනවා.

එහිදී ඔහු පවසා ඇත්තේ තමන්ට ‘ගම්පහ ඔස්මන්’ නමැත්තාව ඝාතනය කිරීමට අවශ්‍යතාවයක් නොතිබූ නමුත් ‘තම්මිට අවිශ්ක’ සහ ‘කමාන්ඩෝ සලින්ත’ගේ අවශ්‍යතාවය මත ඊට ආධාර අනුබල දුන් බවයි.

එමෙන්ම ‘කොකේන්, හෙරොයින්, අයිස්, කුෂ් සහ කේරල ගංජා යන සියලු මත්ද්‍රව්‍ය’ මෙරට තුළ අලෙවි කළ බව ද ඔහු පිළිගෙන තිබෙනවා.

මේ අතර ගිනිඅවි සම්බන්ධයෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී ‘කෙහෙල්බද්දර පද්මේ’ පවසා ඇත්තේ මේ වන විට තමා සතුව තිබු සියලු ගිනි අවි පොලිසිය විසින් සොයාගෙන ඇති බවත් තවත් එක් (1) ගිනි අවියක් පමණක් තමා සතුව තිබෙන බවයි.

එම ගිනි අවිය ද තමා භාර දීමට සූදානම් බව ඔහු පවසා තිබෙනවා.

එමෙන්ම තම පියා ඝාතනය වූ පසු පාතාල ලෝකයට පැමිණි බව ‘පද්මේ’ සඳහන් කළ ද ඔහුගේ පියා ඝාතනය වීමට පෙර ද ‘පද්මේ’ විසින් ‘පස් චමි’ නමැත්තෙකු ඝාතනය කර ඇති බව විමර්ශන නිලධාරීන් සඳහන් කළා.

‘ගනේමුල්ල සංජීව’ විසින් ‘පද්මේ’ගේ පියා ඝාතනය කර ඇත්තේ ඊට පළිගැනීමක් ලෙස බවයි විමර්ශනවලදී හෙළිව ඇත්තේ.

‘පද්මේ’ගේ ජංගම දුරකථනය පරික්ෂා කිරීමේදී ප්‍රසිද්ධ බීම වර්ගයක නමක්, කේතයක් ලෙස භාවිතා කිරීම සම්බන්ධයෙන් ද නිලධාරීන් ඔහුගෙන් ප්‍රශ්න කර තිබෙන අතර එහිදී ඔහු පවසා ඇත්තේ එම බීම වර්ගයේ නම භාවිත කළේ ‘කොකේන් මත්ද්‍රව්‍ය’ හැඟවීම සඳහා බවයි ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *