වැලිගමදී ‘අයිස්’ නිපදවූ බවට සැකකෙරෙන ස්ථානයක් වටලයි
(21.09.2025 – hirunews.lk)
වැලිගම, වැලිහිඳ ප්‍රදේශයේ ‘අයිස්’ (ICE) හෙවත් ‘මෙතම්ෆෙටමින්’ මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කළ බවට සැකකෙරෙන ස්ථානයක් පොලිසිය විසින් වටලා තිබෙනවා.
මෙම වැටලීමේදී ‘මෙතම්ෆෙටමින්’ නිෂ්පාදනය සඳහා යොදාගත් බවට සැකකෙරෙන ද්‍රව්‍ය තොගයක් සමග මෝල්ටා ජාතික 18 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.
දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත්ගේ උපදෙස් මත පොලිසිය විසින් වැලිගම ප්‍රදේශයේ පවත්වාගෙන ගිය හෝටලයක් පරික්ෂා කර තිබුණේ ලද තොරතුරක් මතයි.
එහීදී ‘අයිස් මත්ද්‍රව්‍ය’ නිෂ්පාදනයට යොදා ගන්න බවට සැක කරන අවර්ණ දියර සහිත ලීටර් 05 බැගින් වූ කෑන් 20 ක්, ප්ලාස්ටික් බෝතල්වල ඇසුරුම් කරන ලද රසායනික ද්‍රව්‍ය අඩංගු බෝතල් 04 ක්, ප්ලාස්ටික් කැබලි සහිත කිලෝග්‍රෑම් 05 ක් බරැති පැකට් 02 ක්, සුදු පැහැති කුඩු සහිත රසායනික ද්‍රව්‍ය අඩංගු කවර දෙකක් (02) පොලිස් නිලධාරීන් විසින් සොයාගෙන තිබෙනවා.
එමෙන්ම අදාල හෝටලයේ තිබී ‘අයිස් මත්ද්‍රව්‍ය’වලට සමාන මත්ද්‍රව්‍යයක් අඩංගු පාර්සලයක්, රසායනික ද්‍රව්‍ය දමා ඇති ප්ලාස්ටික් තැටි 10 ක්, තරාදියක්, උෂ්ණත්වමානයක් ඇතුළු උපකරණ රැසක් ද පොලිස් භාරයට ගැනුණා.
+
රු. ලක්‍ෂ 10 කට ආසන්න මත්ද්‍රව්‍ය සමග ‘පොට්ට අමිල’ අත්අඩංගුවට
(21.09.2025 – hirunews.lk)
මොරගහහේන පොලිසියට ලද තොරතුරක් මත මෙරට සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු සහ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘පොට්ට අමිල’ නමැත්තා සහ ඔහුගේ සමීපතමයන් තිදෙනෙකු (3) අද (21) දහවල් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන් සන්තකයේ තිබී රුපියල් ලක්‍ෂ 10 කට ආසන්න වටිනාකමකින් යුත් මත්පෙති 5,300 ක් සහ ‘අයිස්’ මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 15,000 ක් (ග්‍රෑම් 15 ක්) සහ ජාවාරම සඳහා යොදාගත් ජංගම දුරකථන 3 ක් පොලිස් භාරයට ගත් බවයි මොරගහහේන පොලිසිය සඳහන් කළේ.
ගෝනපොල කුඹුකවත්ත ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘පොට්ට අමිල’ නැමැත්තාගේ සමීපතමයෙකු ‘අයිස්’ බෙදාහැරීම සඳහා පැමිණෙමින් සිටින බවට මොරගහහේන කොට්ඨාස බුද්ධි අංශය සහ විශේෂ කාර්යාංශයේ නිලධාරීන්ට තොරතුරු ලැබී ඇති අතර, ඒ අනුව අත්අඩංගුවට ගත් එම සැකකරු සන්තකයේ තිබී ‘අයිස්’ මිලිග්‍රෑම් 2,200 ක් සොයාගැනීමට පොලිසිය සමත් වී තිබෙනවා.
අනතුරුව ඔහුගෙන් සිදුකළ දීර්ඝ ප්‍රශ්න කිරීම්වලදී, මෙම ‘අයිස්’ තොගය ‘පොට්ට අමිල’ නමැත්තා තවත් පුද්ගලයෙකුට ලබාදීම සඳහා තමන් වෙත ලබා දුන් බවට කරුණු අනාවරණය වී ඇති අතර, ‘පොට්ට අමිල’ අත්අඩංගුවට ගැනීම සඳහා ඔහුගේ නිවස සොයා යද්දී, ඔහු තවත් පුද්ගලයන් දෙදෙනෙකු (2) සමග මාර්ගයේ පැමිණෙමින් සිටියදී පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.
පොලිසිය එම සැකකරු පරීක්ෂා කිරීමේදී, ඔහු සන්තකයේ තිබී ‘අයිස්’ මිලිග්‍රෑම් 10,100 ක් සහ අත දරා සිටි පෙට්ටියක් තුළ තිබී මත්පෙති 5,000 ක් සොයා ගැනීමට හැකිවී ඇති අතර, අනෙක් සැකකරුවන් දෙදෙනා (2) පරීක්ෂා කිරීමේදී එක් අයෙකු සන්තකයේ ‘අයිස්’ මිලිග්‍රෑම් 2,100 ක් ද, මත් පෙති 300 ක්ද සොයා ගැනීමට හැකිවූ බවයි පොලිසිය සඳහන් කළේ.
අත්අඩංගුවට ගත් ප්‍රධාන ජාවාරම්කරු වන ‘පොට්ට අමිල’ නමැත්තා දැනට බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් වන ‘මෝල් කසුන්’ සහ ‘මන්නා රමේෂ්’ නමැත්තන්ගේ සමීපතමයෙකු ලෙස කටයුතු කර ඇති බව පොලිසිය සඳහන් කරනවා.
මීට වසර කිහිපයකට ඉහතදී ඇතිවූ ආරවුලකදී ඇසිඩ් ප්‍රහාරයකට ලක්වීමෙන් ඔහුගේ දෑස් අන්ධ වී ඇති බවටද පොලිසිය තොරතුරු අනාවරණය කරගෙන ඇති අතර, අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව්දෙනා (4) හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
+
විදුලිබල සේවකයන්ගේ තීරණය හෙට (22)
(21.09.2025 – hirunews.lk)
හෙට (22) පස්වරු දෙකට (02:00) කොළඹදී රැස්වී වෘත්තීය ක්‍රියාමාර්ගයේ ඉදිරි කටයුතු පිළිබඳ තීරණය කරන බව විදුලි ඉංජිනේරු සහ අධිකාරීවරුන්ගේ සංගමයේ සභාපති එන්.පී.එස්. සම්පත් පවසනවා.
ඒ අනුව වෘත්තීය ක්‍රියාමාර්ගයට සම්බන්ධ වී සිටින සියලුම වෘත්තීය සමිති ඉදිරි වෘත්තීය ක්‍රියාමාර්ගයන් පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා කරනු ඇති බවයි අනාවරණය වන්නේ.
විදුලි වෘත්තීය සමිති 25 කට ආසන්න සංඛ්‍යාවක් මේ වන විට ක්‍රියාත්මක ‘අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය’ සඳහා සහාය පළ කර තිබෙනවා ෴
මධ්‍යම සංස්කෘතික අරමුදලේ මිලියන 8,000 ක් අවභාවිතය ගැන විමර්ශනයක් – නියෝජ්‍ය ඇමති ගමගෙදර දිසානායක
(21.09.2025 – hirunews.lk)
මධ්‍යම සංස්කෘතික අරමුදලේ පාලක මණ්ඩලයේ අනුමැතිය නොමැතිව රුපියල් මිලියන 8,000 කට අධික මුදලක් අවභාවිතා වී ඇතැයි අනාවරණය වී තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් විමර්ශනයට පත්කළ කමිටුව හරහා එම තොරතුරු අනාවරණය කර තිබෙන බවයි වාර්තා වෙන්නේ.
බුද්ධ සාශන සහ ආගමික කටයුතු නියොජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක ද මේ බව පවසා තිබෙනවා.
ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ එම කමිටුවේ අවසන් වාර්තාවෙන් පසුව මහජන මුදල් අවභාවිතා කළ පුද්ගලයින්ට තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන බවයි ෴
උණවටුනේදී ජර්මානු ජාතිකයින් පිරිසකට පහරදීමක්
(21.09.2025 – 19:14 +0530 – sinhala.adaderana.lk)
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සවිමත් කරන ප්‍රධානතම ආදායම් මාර්ගයක් වන සංචාරක කර්මාන්තය තුළ මේ වනවිට කැපීපෙනෙන වර්ධනයක් පෙන්නුම් කෙරේ.
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ වාර්තා අනුව 2025 ජනවාරි පළමුවැනිදා සිට සැප්තැම්බර් 17 වැනිදා දක්වා කාලය තුළ මෙරටට පැමිණ ඇති විදෙස් සංචාරකයින් ගණන 1,656,916 කි.
මේ වසරේ විදෙස් සංචාරකයින් මිලියන 3 ඉලක්කය සාක්ෂාත් කරගැනීම බලධාරීන්ගේ අරමුණ වේ.
කෙසේවෙතත් එම සුබවාදී අපේක්ෂා බොඳ කරමින් විදෙස් සංචාරකයින්ට පහරදීමේ සහ හිරිහැර සිදුකිරීමේ අවස්ථා රැසක්ම මෙරට සංචාරක කලාපවලින් පසුගිය සමයේ වාර්තා විය.
එහි ආසන්නතම සිදුවීම ඊයේ (20) වාර්තා වුණේ උණවටුන ප්‍රදේශයෙනි.
උණවටුන සංචාරක හෝටලයක සාදයක සිටි යුවළ තුනකින් (3) සමන්විත ජර්මන් ජාතික සංචාරකයන් 6 දෙනෙකු සහ ලාංකිකයින් දෙදෙනෙකු (2) අතර ඊයේ (20) රාත්‍රියේ බහින්බස් වීමක් සිදුව තිබේ.
අනතුරුව ජර්මන් සංචාරකයින් පිරිස යතුරුපැදි දෙකකින් (2) සහ ත්‍රිරෝද රථයකින් (1) එම හෝටලයෙන් පිටව ගොස් තිබුණි.
ඒ අතරවාරයේ බහින්බස් වීමට සම්බන්ධ වූ ලාංකිකයින් දෙදෙනා (2) මෝටර් රථයකින් සංචාරකයින් පසුපස හඹාවිත් ඔවුන්ගේ මඟ හරස් කර විදෙස් සංචාරකයින්ට පහර දී තිබේ.
පහරකෑමට ලක්වූ ජර්මන් ජාතිකයින් සිද්ධිය සම්බන්ධයෙන් උණවටුන සංචාරක පොලිසියට පැමිණිලි කර ඇත.
ඒ අනුව ක්‍රියාත්මක වූ පොලිසිය පැයක් ගතවන්නට මත්තෙන් සංචාරකයින්ට පහරදීමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනා (2) අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා හබරාදුව පොලිසිය වෙත භාරදී තිබේ.
සැකකරුවන් පහරදීමට පැමිණි මෝටර් රථය ද එහිදී පොලිස් භාරයට ගැනුණි.
මෙලෙස අත්අඩංගුවට පත්වුණේ අවුරුදු 25 සහ 26 වයස්වල පසුවන රූමස්සල ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි (2).
ඔවුන් ද සංචාරක ව්‍යාපාරයේ නිරතවන්නන් බව පොලිසිය පැවසුවේය.
සැකකරුවන් හෙට (22) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර පහරකෑමට ලක්වූ සංචාරකයින් මේ වනවිට ප්‍රතිකාර ලබමින් සිටී.
කෙසේවෙතත් විදෙස් සංචාරකයින්ට එල්ල වූ මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රදේශයේ සංචාරක ව්‍යාපාරයේ නිරතවන්නන් ද විරෝධය පළ කළේය.
විවිධ අවස්ථාවල , විවිධ කාරණා වෙනුවෙන් ලාංකිකයින් සහ විදෙස් සංචාරකයින් අතර බහින්බස්වීම් ඇතිවූවත්, ඔවුන්ට පහරදීම කිසිලෙසකින්වත් අනුමත කළ නොහැකිය.
මෙවන් සිදුවීම් නිරන්තරයෙන් වාර්තා වීමෙන් සිදුවන්නේ ලොව සුන්දරතම සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රකට ශ්‍රී ලංකා සන්නාමයට තව තවත් කළු පැල්ලම් එකතු වීමය.
+
මත්ද්‍රව්‍ය භාවිතාකරන රියදුරන් පරීක්ෂා කිරීම සම්බන්ධයෙන් නව නියෝගයක්
(21.09.2025 – 18:20 +0530 – sinhala.adaderana.lk)
විෂ මත්ද්‍රව්‍ය භාවිතා කර රථ වාහන ධාවනය කරන රියදුරන් පරීක්ෂා කිරීමේදී පොලිස් නිලධාරීන් ක්‍රියාකළ යුතු ආකාර සම්බන්ධයෙන් ප්‍රවාහන, මහා මාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය නව නියෝගයක් නිකුත් කර තිබේ.
සැප්තැම්බර් මස 01 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි මෝටර් වාහන පනතේ 151 වන වගන්තියට අනුව මෙම නව නියෝගය නිකුත් කර ඇති බව වාර්තා වේ.
කිසියම් රියදුරෙකු මත්ද්‍රව්‍ය භාවිතා කර ඇති බවට පොලිස් නිලධාරියෙකු විසින් සාධාරණව සැකකරනු ලබන අවස්ථාවකදී රියදුරා සම්බන්ධයෙන් ක්‍රියාකල යුතු ආකාරය පිලිබඳව මෙම නියෝගයෙන් පැහැදිලි කර තිබේ.
ඒ අනුව රියදුරෙකුගේ සමේ යම් අසාමාන්‍ය ප්‍රතික්‍රියාවක්, අස්වාභාවික හැසිරීමක්, රියදුරුගේ කථාව, ක්‍රියාව, චලනය, සමබරතාවය සහ ඇස්වල පෙනුම අනුව මත්ද්‍රව්‍ය ගෙන ඇති බවට සාධාරණ සැකයක් හටගත් විට අදාල රියදුරු පරික්ෂාව සඳහා යොමු කිරීමට පොලිස් නිලධාරීන්ට හැකියාව පවතින බව ප්‍රවාහන, මහා මාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය පෙන්වා දෙයි.
එහිදි මත්ද්‍රව්‍ය ගෙන ඇති බවට හඳුනාගනු ලබන රියදුරෙකු ඛේට පරීක්ෂාවක් සඳහා යොමු කිරීමට පොලිස් නිලධාරියාට බලය හිමිවන අතර ඒ සඳහා අනුමත කරන ලද උපකරණ පොලිස් නිළධාරීන් වෙත ලබා දීමට නියමිතව තිබේ.
එම පරීක්ෂා කිරීම පොලිස් ස්ථානයකදී හෝ වෙනත් යම් පහසු ස්ථානයකදී සිදුකළ යුතු අතර එය මහජනතාවට නොපෙනෙන සේ සිදුකළ යුතු බව අදාළ නියෝගයේ සඳහන් වේ.
යම් හෙයකින් රියදුරෙකු ඛේට සාම්පල ලබාදීම ප්‍රතික්ෂේප කරනු ලබන්නේ නම් එම රියදුරා රජයේ වෛද්‍ය නිලධාරියෙකු හෝ බලයලත් නිලධාරියෙකු වෙත පරික්ෂණ සඳහා හැකි ඉක්මනින් ඉදිරිපත් කළයුතු බව ද එහි සඳහන් වේ.
ඛේට පරීක්ෂණයෙන් පසුව රියදුරු යම් මත්ද්‍රව්‍යක් හෝ මත්ද්‍රව්‍ය මිශ්‍රණයක් භාවිතා කර ඇති බවට පොලිස් නිලධාරියා සෑහීමකට පත්වන අවස්ථාවකදී එම රියදුරු හැකිතාක් ඉක්මනින් රජයේ වෛද්‍ය නිලධාරියෙකු හෝ රජයේ රෝහලක බලයලත් නිලධාරියෙකු වෙත වැඩිදුර පරීක්ෂණ සඳහා යොමු කළ යුතු වේ.
ඒ අනුව අදාළ රියදුරු විසින් එම වෛද්‍ය නිලධාරීන්ගේ ඉල්ලීම මත රුධිර, මුත්‍ර, ඛේට හෝ වෙනත් ශාරිරික ශ්‍රාවයන් වන සාම්පලයක් ඉදිරිපත් කළ යුතු බව එම නියෝගයේ සඳහන් වේ.
අදාළ සාම්පල පිලිබඳ රසායනාගාර පරීක්ෂණවලින් අනතුරුව රජයේ වෛද්‍ය නිලධාරිවරයා විසින් නිකුත් කරන අවසන් වාර්තාවට අනුව රියදුරු මත්ද්‍රව්‍ය භාවිතා කර ඇති බවට තහවුරු වන්නේ නම් ඒ සඳහා නිතීමය පියවර ගැනීමේ බලය පොලිස් ස්ථානාධිපතිවරයාට හෝ ඔහු විසින් බලය ලබා දෙන පොලිස් නිලධාරියාට හිමිවන බව ප්‍රවාහන, මහා මාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය නිකුත් කළ නව නියෝගයේ වැඩිදුරටත් සඳහන් වේ ෴
ලංගම කොන්දොස්තරවරයෙකුට පහරදීමක්
(21.09.2025 – 16:54 +0530 – sinhala.adaderana.lk)
කොළඹ සිට කතරගම දක්වා ගමන්ගත් ලංගම බස් රථයක කොන්දොස්තරවරයෙකුට ගාල්ල නගරයේ දී අද (21) පෙරවරුවේ පහරදීමක් සිදුව ඇත.
කටුබැද්ද ඩිපෝවට අයත් මෙම බස්රථය කළුතර නගරයේ දී කොළඹ සිට ගාල්ල බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් ඉස්සර කර තිබේ.
ඊට උරණ වූ පෞද්ගලික බස් රථයේ රියදුරු එම අවස්ථාවේ දී ලංගම කොන්දොස්තරවරයාට පහරදීමට උත්සාහ කර ඇතත්, බස් රථයේ මගීන්ගේ මැදිහත්වීම මත එය ව්‍යර්ථ වී ඇත.
කෙසේ වෙතත් ලංගම බස් රථය ගාල්ලට පැමිණ මගීන් බස්සවමින් සිටියදී, ත්‍රීරෝද රථයකින් පැමිණ ඇති පුද්ගලික බස් රථයේ රියදුරු කොන්දොස්තරවරයාට පහර දී තිබේ.
එහිදී ලංගම රියදුරු විසින් සිය බස් රථයෙන්ම තුවාල ලැබු කොන්දොස්තරවරයා මගීන් ද සමග ගාල්ල පොලීසියට රැගෙන ගොස් ඇත.
එම අවස්ථාවේ දී පොලීසිය මැදිහත්වී සුවසැරිය ගිලන් රථයකින් තුවාල ලැබූ කොන්දොස්තරවරයා රෝහල් ගතකිරීමට පියවර ගෙන තිබේ.
ඔහු මේ වනවිට ගාල්ල ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර, ලංගම බස් රථයේ පැමිණි මගීන් වෙනත් ලංගම බස් රථයක නංවා පිටත්කර යවා ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ගාල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
+
“ජනාධිපතිතුමණි, දුන්න එක අරගෙන ඇත්ත එක ඉදිරිපත් කරන්න” – උදය ගම්මන්පිල (21.09.2025)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴