රට හමුවේ නොබියව තොරතුරු හෙළි කළ ‘රිදීමාලියද්ද හිරු මාධ්‍යවේදියා’ට දැව ජාවාරමෙකුගෙන් ප්‍රහාරයක්

රට හමුවේ නොබියව තොරතුරු හෙළි කළ ‘රිදීමාලියද්ද හිරු මාධ්‍යවේදියා’ට දැව ජාවාරමෙකුගෙන් ප්‍රහාරයක්


රට හමුවේ නොබියව තොරතුරු හෙළි කළ ‘රිදීමාලියද්ද හිරු මාධ්‍යවේදියා’ට දැව ජාවාරමෙකුගෙන් ප්‍රහාරයක්

(20.09.2025 – hirunews.lk)

බදුල්ල – රිදීමාලියද්ද ‘හිරු ප්‍රාදේශීය වාර්තාකරු’ විමුක්ති සංජය මහතා දැව ජාවාරම්කරුවෙකුගේ ප්‍රහාරයකින් තුවාල ලබා මහියංගන රෝහලට ඇතුලත් කර තිබෙනවා.

දැව ජාවාරමක් සිදුවන බවට ව්‍යාජ තොරතුරක් ලබා දී එම මාධ්‍යවේදියාව උරණිය ප්‍රදේශයට ගෙන්වා ගැනීමෙන් අනතුරුව ප්‍රහාරය එල්ල කර තිබෙනවා.

බදුල්ල – රිදීමාලියද්ද ප්‍රදේශයේ කලක පටන් මහා පරිමානයෙන් දැවැන්ත දැව ජාවාරම් සිදුවන අතර ‘හිරු ප්‍රාදේශීය මාධ්‍යවේදී’ විමුක්ති සංජය අවස්ථා රැසකදි එම ජාවාරම්කරුවන් නීතියේ රැහැනට හසුකරදීමට කටයුතු කර තිබුණා.

වඩුගොඩකන්ද රක්ෂිතය අනවසරයෙන් ඩෝසර් කිරීම පිළිබඳවත් ඔහු රටහමුවේ නොබියව තොරතුරු රැසක් ‘හිරු ප්‍රවෘත්ති’ හරහා හෙළි කරා.

මෙවන් පසුබිමක විමුක්තිට ඊයේ (20) පස්වරුවේ රිදීමාලියද්ද – උරණිය ප්‍රදේශයේ දැව ජාවාරමක් සිදුවන බවට තොරතුරක් ලැබී ඇතැයි ප්‍රාදේශීය ලේකම්වරිය විසින් දැනුවත් කර තිබුණා.

ඒ අනුව රාජ්‍ය නිලධාරීන්ද සමග උරණිය ප්‍රදේශයට පැමිණෙමින් සිටි මාධ්‍යවේදියාගේ මග හරස් කිරීමටයි දැව ජාවාරම්කරුවෙකු කටයුතු කර ඇත්තේ.

අනතුරුව ඔහු මාධ්‍යවේදියාට ප්‍රහාරයක් එල්ල කර එය වීඩියෝ ගත කර තිබෙනවා.

මෙම පහර දීම පිළිබඳව ප්‍රාදේශීය ලේකම් විසින් පොලිසිය දැනුවත් කළ අතර පසුව පොලිසිය පැමිණ මාධ්‍යවේදියාව උරණිය රෝහලට ඇතුලත් කර තිබෙනවා.

පසුව ඔහුව මහියංගනය මුලික රෝහල වෙත මාරුකර යවා ඇත්තේ වැඩිදුර ප්‍රතිකාර සඳහායි.

‘හිරු මාධ්‍යෙව්දියා’ට එල්ල වු මෙම ප්‍රහාරය පිළිබඳව රිදීමාලියද්ද පොලිසියට පැමිණිල්ලක් ද සිදු කර ඇති අතර, මෙතෙක් සැකකාර දැව ජවාරම්කරු අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකි වී නැහැ.

+


රුපියල් කෝටි ගණනක මත්ද්‍රව්‍ය ගුවන්තොටේ වැසිකිලියෙන් මතුවෙයි

(20.09.2025 – 00:00 +0530 – sinhala.adaderana.lk)

රුපියල් එක් කෝටි හැට අට ලක්ෂ හතලිස් දහසක් (1,68,40,000) වටිනා ‘කුෂ්’ සහ ‘හෂීෂ්’ මත්ද්‍රව්‍ය තොගයක් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ, ගමන් මලු පථ අංක 05 අසළ පිරිමි වැසිකිළිය තුළ දමා ගොස් තිබියදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් අද (20) අත් අඩංගුවට ගෙන තිබෙනවා.

මෙහි ‘කුෂ්’ මත්ද්‍රව්‍ය ග්‍රෑම් 422 ක් සහ ‘හෂීෂ්’ මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 01 යි ග්‍රෑම් 262 ක් වෙන වෙනම අසුරා තිබී ඇතැයි පැවසෙනවා.

මෙම වැසිකිළියෙහි සේවය කළ සේවකයා අද (20) අලුයම 01:30 ට පමණ දැක, ඒ පිළිබඳ මුලින්ම කටුනායක ගුවන් තොටුපොළ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් දැනුවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඉන් අනතුරුව රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් දැනුවත් කර මෙම මත්ද්‍රව්‍ය තොගය අත් අඩංගුවට ගෙන තිබෙනවා.

කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනවා ෴


විදුලිබල සාකච්ඡාව මැද්දේ විරෝධය පා වෘත්තිය සමිති නියෝජිතයින් ඉවත්වෙයි

(20.09.2025 – 13:19 +0530 – sinhala.adaderana.lk)

විදුලි වෘත්තීය සමිති හා විදුලිබල මණ්ඩලයේ ප්‍රධානීන් අතර අද (20) පැවති සාකච්ඡාව අතරතුරදී විදුලි වෘත්තීය සමිති සමාජිකයින් විරෝධය පලකරමින් ඉන් පිටව ගිය බව වාර්තා වෙයි.

මෙම සාකච්ඡාව අද (20) විදුලිබල මණ්ඩල මූලස්ථානයේදී පැවැත්වුණි.

සාකච්ඡාව සඳහා ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ අධ්‍යක්ෂවරයාද සභාගිවී සිටි බවත් ඔහුට විරෝධය පළකරමින් විදුලි වෘත්තීය සමිති සමාජිකයින් මෙලෙස ඉවත් වී තිබේ.

මෙම සාකච්ඡාව සඳහා අමාත්‍යාංශ ලේකම්වරු 25 දෙනෙකු සහ වෘත්තීය සමති නියෝජිතයින් තිදෙනෙකු (3) සහභාගීවී සිටි බව සඳහන්ය.

විදුලි සේවකයින් විසින් ආරම්භ කළ අකුරට වැඩකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය එළැඹෙන 21 වනදා දක්වා ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ.

එමෙන්ම විදුලි වෘත්තීය සමිති සඳහන් කරන්නේ, ඉදිරි වෘත්තීය ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් 24 වනදා තීරණයක් ගැනීමට නියමිත බවය ෴

+++

+


‘සම්පත් මනම්පේරි’ සියල්ල වමාරයි ?? – මිද්දෙණියේ අයිස් ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක් (20.09.2025)

+


අනුරපුරයේ විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සිටින පාසලක සිදුවූ ලිංගික අපයෝජන

(20.09.2025 – 12:29 +0530 – sinhala.adaderana.lk)

විශේෂ අවශ්‍යතා සහිත දරුවෙකු සමාජයේ සියලු පුරවැසියන්ගෙන් විශේෂ අවධානයට ලක්විය යුතු වුවත් ඔවුන්ට හිරිහැර සිදුවන අවස්ථා පිළිබඳ දිනෙන් දින වාර්තා වෙයි.

ඊට ආසන්නතම සිද්ධිය වාර්තා වූයේ අනුරාධපුර ප්‍රදේශයෙනි.

අනුරාධපුර ප්‍රදේශයේ විශේෂ අවශ්‍යතා සහිත දරුවන් ඉගෙනුම විදුහලක එම දරුවන්ට සිදුවන අකටයුතුකම්, අපචාර සම්බන්ධයෙන් අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී ද ඊයේ (19) විශේෂ අවධානයට ලක්වුණි.

අනුරාධපුර නගරයේ පිහිටා ඇති මෙම විශේෂ විදුහලේ විශේෂ අවශ්‍යතා සහිත දරුවන් ඉගෙනුම ලබයි.

ගැහැණු සහ පිරිමි දරුවන් 69 කට ආසන්න ප්‍රමාණයක් අධ්‍යාපනය හදාරන මෙම පාසල, පෞද්ගලික ආයතනයක් විසින් නඩත්තු වන අතර එහි පරිපාලනය සිදුකරන්නේ පාලක මණ්ඩලයක් හරහාය.

උතුරු මැද පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුව යටතේ මෙය අධීක්ෂණය කෙරේ.

කණගාටුවට කරුණ නම්, විශේෂ අවශ්‍යතා ඇති දරුවන් පිරිසක් සිය අනාගතය ගොඩනැගීම අරමුණු කරගමින් අධ්‍යාපනය හැදෑරීමට මෙම පාසලට පැමිණියත් එහිදී ලිංගික අපචාරයන්ට හා විවිධ හිරිහැරවලට ලක්වීමය.

එලෙස පිරිමි දරුවන් තිදෙනෙකුට (3) ලිංගික අපචාර කිරීමත් තවත් දරුවෙකු (1) අපයෝජනය කළ බවටත් වූ චෝදනා සම්බන්ධයෙන් පාසලේ භාණ්ඩාගාරික ලෙස කටයුතු කළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන එළැඹෙන 29 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළ බව අනුරාධපුර පොලිසිය පැවසීය.

කතාකිරීමට නොහැකි කන් නොඇසෙන සිය දරුවන්ට සිදුවන අනේකවිධ අඩන්තේට්ටම් ඉවසා දරාගත නොහැකි මව්පියන් පසුගියදා විරෝධතාවක ද නිරත වූයේ පාසලේ පාලක මණ්ඩලයට දැඩි විරෝධයක් එල්ල කරමින්ය ෴

+++

+


වන්දනා බසයකට සිතුල්පව්වේදී ඇතෙක් පහර දීලා

(21.09.2025 – hirunews.lk)

සිතුල්පව්ව කිරින්ද මාර්ගයේ දී වන්දනා නඩයක් ගමන් කරමින් සිටි පෞද්ගලික බස් රථයකට අද (21) උදෑසන ඇතෙකු පහර දී තිබේ.

ඇතාගේ පහරදීම නිසා බස් රථයට අලාභ හානි සිදු වී ඇති අතර කිසිවෙකුටත් හානියක් සිදු වී නොමැත.

රියදුරු වහාම ක්‍රියාත්මක වී බස් රථය ඉදිරියට ධාවනය කිරීම නිසා විශාල විනාශයක් නවාතා ගැනීමට හැකි වී ඇති අතර මෙම සිදු වීම බස් රථය තුළ සිටි අයෙකුගේ ජංගම දුරකථන කැමරාවේ සටහන් වී තිබිණ.

+


කලුතර ‍රෝහලේ මැර තර්ජනය ගැන GMOA අනතුරු අඟවයි

(21.09.2025 – hirunews.lk)

කලුතර නාගොඩ රෝහ‌ලේ වෛද්‍යවරුන්ට සහ සෞඛ්‍ය කාර්ය මණ්ලයට මැර තර්ජන එල්ල කළ පිරිස වහාම අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර නොගතහොත් හෙට (22) දිනයේදී කලුතර රෝහලේ වෛද්‍යවරුන් වැඩ වර්ජනයකට අවතීර්ණ වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවනවා.

එම වෛද්‍යවරුන් ඇතුළුව සමස්ථ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව තහවුරු කරන ලෙස ද ඔවුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.

එම රෝහලේ වාට්ටු අංක 16 ප්‍රතිකාර ලබමින් සිටි පිළිකා රෝගියකු මිය යෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම පුද්ගලයාගේ ඥාතින් පිරිසක් ඉකුත් (17) දා අලුයම 02:00 ට පමණ රෝහල් වාට්ටුවට පැමිණ එහි රාජකාරි කළ වෛද්‍යවරුන්ට, හෙදියන්ට සහ අනෙකුත් සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයින්ට බැන වැදී ඔවුන්ගේ රාජකාරියට බාධවන අයුරුන් හැසිරී ඇති බව සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස පැවසුවා.

කළහාකාරී ලෙස හැසිරුණු මෙම පිරිස වාට්ටුවේ අනෙක් රෝගීන්ට ලබා දෙන ප්‍රතිකාරයන් පවා ලබා දීමට ඉඩ නොදී වෛද්‍යවරුන්ව සහ හෙදියන්ට තර්ජනය කරමින් පැයක පමණ කාලයක් වාට්ටුව තුළ රැදී සිට අතැයිද හෙතෙම සඳහන් කළා.

මේ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කර ඇතත් මේ වන තෙක් සැකකරුවන් අත්අඩංගුවට ගෙන නොමැති බව ද වාර්තාවේ.

කෙසේ නමුත් මියගිය පුද්ගලයාගේ දේහය ඊයේ (20) දිනයේදී අවසන් කටයුතු කර ඇති බවද සඳහන්.

රාජකාරියට බාධාකරමින් හැසිරුණු පුද්ගලයින්ව වහාම අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාමත්මක නොකරන්නේ නම් හෙට (22) දිනයේදී කලුතර රෝහලේ වෛද්‍යවරුන් වැඩවර්ජනයක නිරත වන බව සංගමය සෞඛ්‍ය ලේකම්වරයාට, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුලු සෞඛ්‍ය බලධාරීන්ට ලිඛිතව දැනුම් දී තිබෙනවා ෴


ඊයේ (20) ගින්නෙන් අළු වුණ පිටකොටුවේ බිල්ඩිමේ අද (21) තත්ත්වය

+++

පිටකොටුවේ ඊයේ (20) ගිනිගත් කඩ ටික අද (21) උදේම ඇවිත් ඩෝසර් කරලා දාපු හැටි (21.09.2025)

+


ඩෙබිට් – ක්‍රෙඩිට් කාඩ්පත් ගෙවීම් සඳහා පනවා ඇති අමතර ගාස්තු අහෝසි කිරීමට සාකච්ඡා

(21.09.2025 – hirunews.lk)

ඩෙබිට් සහ ක්‍රෙඩිට් කාඩ්පත් ගෙවීම් සඳහා පනවා ඇති අමතර ගාස්තු (Additional Charges) ඉවත් කිරීමට ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය මේ වනවිට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව වාර්තා වෙනවා.

මෙම යෝජනාව සහ එහි මූල්‍යමය බලපෑම් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අමාත්‍යාංශය විසින් මුදල් අමාත්‍යාංශය, ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව (IRD) සමඟ මූලික සාකච්ඡා පවත්වා තිබෙනවා.

කාඩ්පත් භාවිතයෙන් ගනුදෙනු කිරීමේදී දැනට පාරිභෝගිකයාට දැරීමට සිදුවන ගාස්තු සහ පාඩු පියවා ගැනීම සඳහා සුදුසු යාන්ත්‍රණ ගවේෂණය කිරීම කෙරෙහිද මෙම සාකච්ඡාවලදී අවධානය යොමු වී ඇති අතර, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ, මුදල් රහිත සමාජයක් (Cashless Society) කරා ශ්‍රී ලංකාව ගෙනයාමේ වැඩසටහනට සමගාමීව, අනාගතයේදී සියලුම ගනුදෙනු ක්‍රමයෙන් QR කේතය මත පදනම් වූ ජංගම ගෙවීම් වෙත මාරු කිරීමට සැලසුම් කර ඇති බවයි ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *