පාතාල නායක ‘පානදුර නිලංග’ගේ ප්‍රධාන සගයෙක් වූ ‘ඇඹිලිපිටිය සුරංග’ සහ තව එකෙක් අත්අඩංගුවට

පාතාල නායක ‘පානදුර නිලංග’ගේ ප්‍රධාන සගයෙක් වූ ‘ඇඹිලිපිටිය සුරංග’ සහ තව එකෙක් අත්අඩංගුවට


පාතාල නායක ‘පානදුර නිලංග’ගේ ප්‍රධාන සගයෙක් වූ ‘ඇඹිලිපිටිය සුරංග’ සහ තව එකෙක් අත්අඩංගුවට

(07.09.2025 – 22:38 +0530 – sinhala.adaderana.lk)

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට පත් සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ‘පානදුර නිලංග’ නැමැත්තාගේ අපරාධ සඳහා ආධාර අනුබල දුන් දෙදෙනෙකු (2) T-56 ගිනි අවියක් (1), මැගසිනයක් (1), පතුරම් 30 ක් සහ යතුරුපැදියක් (1) සමග අත්අඩංගුවට ගෙන තිබේ.

කළුතර අපරාධ කොට්ටාශවේ නිලධාරීන් විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ‘ඇඹිලිපිටිය සුරංග’ නමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වන අයෙකු (1) සහ හොරණ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි (1).

පොලීසිය පැවසුවේ සැකකරු අරුගොඩ ප්‍රදේශයේ කුලී නිවසක රැඳී සිට ඇති බවය.

වැඩිදුර පරීක්ෂා කිරීම් හමුවේ අනාවරණය වී ඇත්තේ මෙම යතුරුපැදිය පානදුර, හිරණ, මාලමුල්ල සහ මාදුපිටිය ප්‍රදේශයේ වෙඩිතැබීම් සඳහා යොදාගත් යතුරුපැදියක් බවට හඳුනාගෙන ඇත.

මීට අමතරව එම සැකකරු ‘පානදුර නිලංග’ නමැත්තා සිදුකළ වෙඩි තැබීම් සහ මනුෂ්‍ය ඝාතන සඳහා යතුරුපැදී ලබාදීම, වෙඩි තැබීම් සඳහා සැලසුම් කිරීම මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් චෝදනා ලැබූ පුද්ගලයෙකි.

සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් වලදී ‘පානදුර නිලංග’ නමැත්තා සිදුකළ වෙඩි තැබීම් සම්බන්ධයෙන් භාවිතා කළ ගිනිඅවි හොරණ, බටුවිට ප්‍රදේශයේ නිවසක සඟවා ඇති බවට තොරතුරු හෙළිව ඇත.

එම නිවස පරීක්ෂා කිරීමේදී එහි අල්මාරියක සඟවා තිබූ T-56 වර්ගයේ ගිනි අවියක් (1), එම මැගසිනයක් (1) සහ පතුරම් 30 ක්, මෙම වෙඩි තැබීම් සඳහා දුරකථන සන්නිවේදන සඳහා භාවිතා කළ ජංගම දුරකථන 07 ක් ද සොයාගැනීමට හැකිව තිබේ.

පළමු සැකකරු වන ‘ඇඹිලිපිටියේ සුරංග’ නැමැත්තා පානදුර අරුක්ගොඩ ප්‍රදේශයේ දී යතුරුපැදිය සහ ‘අයිස් මත්ද්‍රව්‍ය’ ග්‍රෑම් 5 ක් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය ෴

+++

+


මිද්දෙණියේදී හමුවුණේ විදේශ ඔත්තු සේවා රතු එළි දැල්වූ කන්ටේනර් දෙකක් (2)

(08.09.2025 – mawbima.lk)

මිද්දෙණිය, තලාව ප්‍රදේශයේ නිවසක වළ දමා තිබියදී හමුවූයේ පසුගිය වසරේ (2024) අග භාගයේදී ‘එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳ කාර්යාලයේ’ (UNDOC) ඔත්තු සේවා මගින් කල් ඇතිව දන්වා රේගුවේ රඳවාගෙන පරීක්ෂාවට ලක්කළ කන්ටේනර් දෙකක් (2) තුළ වූ රසායන ද්‍රව්‍ය තොගයක් බව අනාවරණය වී තිබේ.

එම කන්ටේනර් රේගුවෙන් පිට කළ අය සහ මෙම බහලුම් දෙකට (2) ආවරණය වී තවත් මත්ද්‍රව්‍ය තොගයක් රටට ඇතුළු වී ඇති ද යන්න පිළිබඳව මේ වනවිට පුළුල් විමර්ශන සිදුවෙමින් පවතින බව ද අනාවරණය වේ.

‘එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳව කාර්යාලයේ’ ඔත්තු සේවා ලබා දෙන තොරතුරු බොහෝ දුරට ඉතා නිරවද්‍ය වන අතර ඔවුන් විසින් දෙනු ලබන තොරතුරු සිදු කළ වැටලීම් රැසක් ම සාර්ථක වී තිබේ.

මෙම කන්ටේනර්, පිඟන් භාණ්ඩ නිෂ්පාදනයට ලබා ගන්නා අමුද්‍රව්‍ය ලෙස මෙරටට ගෙන්වා ඇති අතර එම අමුද්‍රව්‍යවලට මුවා වී ‘අයිස් මත්ද්‍රව්‍ය’ හෝ ඒවා නිෂ්පාදනයට ගන්නා අමුද්‍රව්‍ය ගෙනාවේ ද එසේ නැතහොත් මෙම බහලුම් දෙකට (2) මුවා වී තවත් මත්ද්‍රව්‍ය බහලුමක් (1) ගෙන ආවේ ද යන්න පිළිබඳව විමර්ශනය කරන බව විමර්ශන අංශ අනාවරණය කළේ ය.

එම තොරතුරුවලට අනුව මෙම බහලුම් රේගුවෙන් පිටවී ඇත්තේ, ජනවාරි මාසයේ අවසාන දින කිහිපයේදී බව ද හෙළි වී ඇත.

එම භාණ්ඩ පිට කළ පුද්ගලයන් මේ වනවිට අනාවරණය කරගෙන ඇති අතර වැඩිදුර විමර්ශන සිදුවෙමින් තිබේ.

කොළඹ වරායේ දැඩි තදබදයක් පැවැති කාලවකවානුවේදී මෙම බහලුම් දෙක පිටවී ඇති අතර පසුගිය දා මහත් ආන්දෝනයට ලක් වූ රේගුවෙන් පරීක්ෂාවකින් තොරව නිදහස් කෙරුණු බහලුම් 323 අතර එම බහලුම් දෙක (2) නොමැති බව පසුගිය සෙනසුරාදා (06) පැවැති මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වී.කේ. වුට්ලර් ප්‍රකාශ කළේ ය.

මේ අතර, ‘අයිස් මත්ද්‍රව්‍ය’ නිෂ්පාදනය සඳහා යොදාගනු ලබන බවට සැක කරන රසායනික ද්‍රව්‍ය තොගයක් තංගල්ල නොටොල්පිටිය ප්‍රදේශයේ ඉඩමක තිබී සොයා ගැනීමට තංගල්ල පොලිසියට ඊයේ (සැප්. 07) හැකිව තිබේ.

මෙම රසායනික ද්‍රව්‍ය පසුගිය දා මිද්දෙණිය, තලාව ප්‍රදේශයේ ඉඩමක වළ දමා තිබියදී සොයාගත් රසායනික ද්‍රව්‍යවලට සමාන බවක් දක්වන බව තංගල්ල පොලිසිය සඳහන් කරයි.

ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරකට අනුව නෙටොල්පිටිය, වැලිවැත්ත හරස් පාරට යාබදව පිහිටි ඉඩමේ සිදුකළ විශේෂ වැටලීමකදී සුදු පැහැති මෙම රසායනික ද්‍රව්‍ය තොගය සොයා ගෙන තිබේ.

විමර්ශනයේදී හෙළිව ඇත්තේ, මෙම රසායනික ද්‍රව්‍ය මීට මාස 4 කට පෙර කවුරුන් හෝ මෙම ඉඩමේ භූමියට දමා ඇති බව ය.

සොයාගත් රසායනික ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන සඳහා තංගල්ල පොලිසියට රැගෙන ගොස් ඇති අතර ඒවා රස පරීක්ෂකවරයාට ඉදිරිපත් කිරීමට නියමිත ය.

මෙවන් තොග තවත් එම ප්‍රදේශවල සඟවා ඇතැයි පොලිසිය සැක කරයි.

මේ අතර, පොලිස් මාධ්‍ය ප්‍රකාශක කීවේ කන්ටේනර් දෙකෙන් (2) ලබාගත් මත්ද්‍රව්‍ය ප්‍රමාණයේ සාම්පල 20 කින් සාම්පල 5 කම ‘අයිස් මත්ද්‍රව්‍ය’ අඩංගු බව ය.

එමෙන් ම, ඉකුත් දා මතභේදයට ලක්වූ කන්ටේනර් 323 ට මෙම කන්ටේනර් දෙක (2) සම්බන්ධ නැති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ඒම ආන්දෝලනාත්මක කන්ටේනර්වල අංක සමගින් පරීක්ෂණ සිදුකොට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ පරීක්ෂණයක් පැවැත්වූ බවත් මෙම කන්ටේනර් දෙක (2) වෙනත් කන්ටේනර් බවත් එය කන්ටේනර් 323 ට සබඳතාවක් නැති බව ද ඔහු අවධාරණය කළේ ය.

ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරකට අනුව නෙටොල්පිටිය, වැලිවැත්ත හරස් පාරට යාබදව පිහිටි ඉඩමේ සිදුකළ විශේෂ වැටලීමකදී සුදු පැහැති මෙම රසායනික ද්‍රව්‍ය තොගය සොයා ගෙන තිබේ.

විමර්ශනයේදී හෙළිව ඇත්තේ, මෙම රසායනික ද්‍රව්‍ය මීට මාස 4 කට පෙර කවුරුන් හෝ මෙම ඉඩමේ භූමියට කිසිවකු විසින් දමා ඇති බව ය ෴

Keerthi Mendis

+++

‘අයිස් අමුද්‍රව්‍ය’ බවට සැක තවත් රසායන ද්‍රව්‍ය තොගයක් කඳාන නිවසකින් සොයා ගනියි

(08.09.2025 – 07:42 +0530 – sinhala.adaderana.lk)

මිද්දෙණියෙන් සොයාගත් ‘අයිස් මත්ද්‍රව්‍ය’ නිෂ්පාදනය සඳහා භාවිත කරන බවට සැක කෙරෙන තවත් රසායන ද්‍රව්‍යය තොගයක් සොයා ගැනීමට පොලීසිය සමත්ව තිබේ.

පොලීසිය පැවසුවේ අදාළ රසායනික ද්‍රව්‍ය තොගය කඳාන ප්‍රදේශයේ නිවසක් තුළ තිබී සොයා ගැනීමට කටයුතු කළ බවය.

කළුතර අපරාධ කොට්ඨාසයට ලද තොරතුරක් මත ඊයේ (07) සවස මෙම නිවස සෝදිසි කර ඇති අතර එහිදී එම නිවස තුළ සහ නිවසේ ඉදිරිපිට භූමියේ තිබී මෙම රසායනික ද්‍රව්‍ය තොගය පොලීසිය විසින් සොයා ගෙන ඇත.

සොයාගත් ප්‍රමාණය සම්බන්ධව මෙතෙක් ගණනය කර නොමැති අතර මෙම ලිපිනය සහිත නිවස ද වසා දමා තිබූ පාලු නිවසක් වන බවත් සිද්ධිය සම්බන්ධයෙන් කිසිදු සැකකරුවෙකු මේ දක්වා අත්අඩංගුවට ගෙන නොමැති බවත් පොලීසිය පැවසීය.

දෙමහල් නිවසක් වූ මෙම නිවස පසුගිය අගෝස්තු මස 11 වැනි දින මසකට රුපියල් 150,000 ක කුළී පදනම මත ලබා ගත් බවත් එම නිවසේ අයිතිකරු පොලීසිය වෙත පවසා තිබේ.

එමෙන්ම පසුව සැප්තැම්බර් මස 05 වැනි දින එම නිවසේ යතුර, කුළී පදනම මත ලබා ගත් පුද්ගලයා දෙමහල් නිවසේ හිමිකරු හට නැවතත් ලබා දී ඇති බවත් එම නිවසේ හිමිකරු පොලීසිය වෙත පවසා ඇත.

සිද්ධිය සම්බන්ධව මේ වන විට පෑලියගොඩ අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් විසින් ස්ථාන පරීක්ෂණය සිදුකරමින් සිදුකරන අතර කළුතර අපරාධ කොට්ඨාසය විසින් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබයි ෴

+++

+++

කඳානේ ගෙදර අයිස් නිෂ්පාදනය කරලා.? |තිස්සමහාරාමේ පස්දෙනෙක් ඇවිත් ගේ ගත්තා |රෑට මැෂින් එකක සද්දේ ඇහුනා (08.09.2025)

+++

මිද්දෙණියේ ‘අයිස්’ සිද්ධියට සොයන සම්පත්, ‘රවිරාජ් ඝාතනය’ට අත්අඩංගුවට ගෙන නිදහස් වූ අයෙක්

(08.09.2025 – hirunews.lk)

මිද්දෙණිය කාරියමඩිත්තේ හිස් ඉඩමක වලදමා තිබී සොයාගත් ‘අයිස්’ නිෂ්පාදනයට යොදා ගන්නා බව සඳහන් ද්‍රව්‍ය එම ඉඩමේ වලදැමීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයන ‘සම්පත් ප්‍රීති විරාජ් මනම්පේරි’ නමැති සැකකරු දෙමළ ජාතික සංධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා නාරාහේන්පිටදී වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අත්අඩංගුවට පත්වූවෙක් බව හෙළිව තිබෙනවා.

අඟුණුකොලපැලැස්ස ප්‍රාදේශීය සභාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පසුගිය මැතිවරණයේදී තරඟ කළ මෙම සැකකරු හිටපු පොලිස් නිලධාරියෙක් බව පොලීසිය පවසනවා.

‘රවිරාජ් ඝාතනය’ට අත්අඩංගුවට ගත් සැකකරු පසුව අධිකරණයෙන් නිදහස් වී ඇති බවත් ඔහු සම්බන්ධයෙන් වෙනත් නඩු කිහිපයක් අධිකරණයන්හි විභාග වෙමින් ඇති බවත් පොලිස් තොරතුරු සඳහන් කරනවා.

කුරුණෑගල දිස්ත්‍රික්කයට නියෝජනය කළ හිටපු ඇමතිවරයකුගේ කාර්යාලයේ ද කටයුතු කර ඇති මෙම සැකකරු හිටි හැටියේම පොහොසත් වී ඇති බවට පොලිස් විශේෂ විමර්ශන කාර්යාංශයද බුද්ධි තොරතුරක් බලධාරීන් වෙත යොමුකර තිබි තිබෙනවා.

මෙම සැකකරු මේ වන විට ප්‍රදේශයෙන් පළාගොස් සිටින අතර ඔහුව අත්අඩංගුවට ගැනීමට අද (08) දිනයේත් පොලිස් මෙහෙයම් ක්‍රියාත්මක වී තිබෙනවා ෴

+++

‘අයිස්’ අමුද්‍රව්‍ය කන්ටේනර් ගැන විදෙස් බුද්ධි අංශයක් ඔත්තුව දීලා!

(08.09.2025 – hirunews.lk)

ඉදුනීසියාවෙන් අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ බැකෝ සමන් හෙළි කළ තොරතුරුවලට අනුව මිද්දෙණියේ ගෙවත්තක තිබී සොයාගත් ‘අයිස් මත්ද්‍රව්‍ය’ නිෂ්පාදනය කිරීම සඳහා රසායනික ද්‍රව්‍ය රැගෙන ආ බව කියන කන්ටේනර් දෙක (2) වරායට පැමිණි අවස්ථාවේම විදෙස් බුද්ධි ඒජන්සියක් ඒ බව මෙරටට දැනුම් දී ඇතැයි වාර්තා වෙනවා.

ඒ අනුව රේගු භාරයට ගත් එම කන්ටේනර් දෙක (2) පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය පවා පරීක්ෂාකොට පසුව නිදහස් කර ඇතැයි ද පොලිස් තොරතුරු අනාවරණය කරනවා.

මෙම කන්ටේනර් පසුගිය ජනවාරි මාසයේ නිදහස් කර ඇති අතර ඒවා රැගෙන යාමට පැමිණ ඇත්තේ සාමාන්‍ය පුද්ගලයෙක් බවද අනාවරණය වී තිබෙනවා.

ටයිල් අමුද්‍රව්‍ය අතර සඟවා ‘අයිස්’ නිෂ්පාදනය සඳහා යොදා ගන්නා රසායනික ද්‍රව්‍ය මෙම කන්ටේනර් තුළ සඟවා මෙරටට රැගෙන විත් ඇතැයි අනාවරණය වන්නේ ඉරානයේ සිටයි.

විදෙස් බුද්ධි එජන්සියක් විසින් මෙරට බලධාරීන් දැනුවත් කර ඇත්තේ එම කන්ටේනර් තුළ ‘අයිස්’ නිෂ්පාදනය සඳහා යොදා ගන්නා රසායනික ද්‍රව්‍ය ඇති බවයි.

එසේ තිබියදීත් මෙම කන්ටේනර් සම්බන්ධයෙන් රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව දැනුවත් කර නිදහස් කිරීමට පෙර පරීක්ෂා කිරීමක් කර සිදු වී නොමැති බවද පොලිස් තොරතුරු අනාවරණය කරනවා.

මෙම කන්ටේනර් රථ දෙක (2) ‘බැකෝ සමන්’ගේ තොරතුරු මත සොයා ගැනීමත් සමඟ අනිත් කන්ටේනරය පරික්ෂා කිරීමට මේ වන විට අවශ්‍ය පියවර ගෙන ඇති බව ද පොලිස් තොරතුරු අනාවරණය කරනවා.

මෙම කන්ටේනර් දෙකේ (2) සඟවා රැගෙන ආ රසායනික ද්‍රව්‍ය ‘කෙහෙල්බද්දර පද්මේ’ මුදල් ආයෝජනය කළ බව කියන නුවරඑළියේ පිහිටි ‘අයිස් නිෂ්පාදනාගාරය’ වෙත රැගෙන ගොස් ඇති බවද කියැවෙනවා.

එම රසායනික ද්‍රව්‍ය සඟවා රැගෙන ආ බහලුම් දෙක (2) තිබී ඇත්තේ දකුණු පළාතේයි.

නුවරඑළියේ ‘අයිස් නිෂ්පාදනාගාරය’ ගැන මාධ්‍ය තුළින් තොරතුරු එළියට ඒමත් සමඟ ‘බැකෝ සමන්’ගේ ගෝල බාලයේ එම කන්ටේනර්වල තිබූ සෙසු ද්‍රව්‍ය වලදමා ඇති බවද අනාවරණය වී තිබෙනවා.

එම ස්ථානය හෙළි කරගත් බස්නාහිර පළාත් උතුරු දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරින් ඊයේ (07) සිට එම ස්ථානයේ පරීක්ෂණ කටයුතු සිදු කරනු ලබයි ෴


රතු මුහුදේ කේබල් කැපිලා : ආසියා මැද පෙරදිග අන්තර්ජාලයට බාධා

(08.09.2025 – hirunews.lk)

රතු මුහුදේ මුහුදු පතුලේ කේබල් බිඳවැටීමක් හේතුවෙන් ඉන්දියාව සහ පකිස්ථානය ඇතුළු රටවල් රැසක අන්තර්ජාල සම්බන්ධතාවයට බලපෑම් එල්ල වී ඇති බව අන්තර්ජාල නිරීක්ෂණ කණ්ඩායමක් වන Netblocks පවසනවා.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ Etilasat සහ Du ජාලවල ද මෙවැනිම අන්තර්ජාල බාධා නිරීක්ෂණය වූ බවයි Netblocks පෙන්වා දෙන්නේ.

හානියට වගකිව යුත්තේ කවුරුන්ද යන්න මෙතෙක් පැහැදිලි නැහැ.

නමුත් සෞදි අරාබියේ ජෙඩා අසල කේබල් පද්ධතිවලට බලපාන බිඳවැටීම් ගැන අවධානය යොමු වී තිබෙනවා.

Azure පරිශීලකයින්ට රතු මුහුදේ මුහුද යට තන්තු කැපීම් හේතුවෙන් වැඩි ප්‍රමාදයක් අත්විඳිය හැකි බව Microsoft නිවේදනය කරනවා.

මැද පෙරදිග හරහා මාර්ගවලින් එන තම පරිශීලකයින්ට සේවා බාධා ඇති විය හැකි බවයි සමාගම පවසන්නේ.

මෙය මැද පෙරදිග හරහා ගමන් කළ සමහර ගමනාගමන සඳහා වැඩි ප්‍රමාදයක් අපේක්ෂා කළත් මැද පෙරදිග හරහා ගමන් නොකරන ජාල ගමනාගමනයට බලපෑමක් නැති බව මයික්‍රොසොෆ්ට් නිවේදනය කරනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *