ඇල්ල – වැල්ලවාය මාර්ගයේ බස් අනතුරට හේතුව සොයන රසපරීක්ෂක ලොක්කා හෙට (08) ඇල්ලට

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ බස් අනතුරට හේතුව සොයන රසපරීක්ෂක ලොක්කා හෙට (08) ඇල්ලට


ඇල්ල – වැල්ලවාය මාර්ගයේ බස් අනතුරට හේතුව සොයන රසපරීක්ෂක ලොක්කා හෙට (08) ඇල්ලට

(07.09.2025 – hirunews.lk)

ඇල්ල – වැල්ලවාය මාර්ගයේදී ජීවිත 15ක් බිලිගත් බස් රථය අනතුරට ලක්වූයේ කාර්මික දෝෂයක් නිසාමදැයි නිශ්චිත ලෙස තහවුරු කර ගැනීමේ විමර්ශන සඳහා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ ඒ සම්බන්ධයෙන් සිටින විශේෂඥ නිලධාරියා හෙට (08) ඇල්ලට පැමිණ බස් රථයේ සුන්බුන් පරීක්ෂා කිරීමට නියමිතව තිබෙනවා.

අනතුර සිදුවන අවස්ථාවේදී බස් රථය පැයට කිලෝ මීටර් 70 වැඩි වේගයකින් ධාවනයකර ඇති බවයි විමර්ශනවලින් පෙනී ගොස් ඇත්තේ.

එවන් වේගයක් බස් රථයේ තිබෙන්නට ඇත්තේ තිරිංග ක්‍රියා විරහිත වී තිබීම හේතුවෙන් බව පොලිසිය සැක කරයි. බස් රථය ධාවන තත්ත්වයෙන් තිබෙන බවට වූ යෝග්‍යතා සහතිකයද බස් රථයේ තිබී හමුවී ඇත. එම යෝග්‍යතා සහතිකය සම්බන්ධයෙන්ද සොයා බැලීමක් කරන බව පොලිසිය සඳහන් කරනවා.

ගොඩගත් බස් රථයේ සුන්බුන් මේ වන විට ඇත්තේ ඇල්ල පොලිස් ස්ථානයේය. රස පරීක්ෂක විශේෂඥයා විසින් පරීක්ෂාවට ලක්කරනු ලබන්නේ එම කොටස්. මෝටර් රථ පරීක්ෂකවරයාද හෙට (08) දිනයේ එම අවස්ථාවට එක්වන බව දැනුම්දී ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසුවා.

අනතුර සිදුව ඇත්තේ බස් රථය ජිප් රථයක පිටුපස ගැටීය. එම ජිප් රථයේ රියදුරුව අනතුරක් වලක්වා නොගැනීම සම්බන්ධයෙන් මුල් අවස්ථාවේදී අත්අඩංගුවට ගත්තද විමර්ශන වලින් අනාවරණය වී ඇත්තේ එම ජිප් රථය කන්ද දෙසට නියමිත මංතීරුවේ ධාවනය වී ඇති බවයි.

වේගයෙන් ඉහළ සිට පහළට මාර්ගයේ ධාවනය වූ බස් රථයේ පිටුපස කොටස ජිප් රථයේ පිටුපස ගැටී ඇතැයිද විමර්ශන වලින් තහවුරු වී තිබෙනවා. තමාගේ ජිප් රථයේ ගැටුණු බස් රථය වේගයෙන් උඩින් යන බවක් තමා දුටු බවත් ඒ ක්ෂණිකව බස් රථය අතුරුදන්වූ බවත් ජිප් රථයේ රියදුරු පොලිසියට පවසා තිබුණා.

බස් රථයට කුමක් සිදුවීදැයි කළ සොයා බැලීමේදී රථය ආරක්ෂිත වැටද කඩාගෙන මාර්ගයෙන් ඉවතට පැන පල්ලමට ගොස් ඇති බව දුටු ජිප් රථයේ රියදුරු ඒ බව පොලිසියටද දැනුම් දීමට පියවර ගෙන තිබෙනවා.

ජාත්‍යන්තරයේ සම්මත යැයි සඳහන් ආකාරයට උපරිම ආරක්ෂක ක්‍රමවේද මාර්ග සංවර්ධන අධිකාරිය විසින් මෙම මාර්ගයේ යොදා ඇති බව ද පොලිසිය සඳහන් කරනවා.

මාර්ග සංඥා පවා නිසි ලෙස සටහන් කර ඇති බවයි පොලිසිය පෙන්වා දෙන්නේ.

බස් රථය හෙළකට පෙරලෙන්නේද ආරක්ෂිත වැටද කඩාගෙන බවත් එසේ ආරක්ෂිත වැට කඩාගෙන බස් රථය පල්ලමට ගමන්කර ඇත්තේ අධික වේගය නිසා වියහැකි බවද පොලිසිය සැක කරනවා ෴

+++

ඇල්ල අනතුරේ තුවාලකරුවන්ගේ සුෂුම්නාවට හානි නොවූ හේතුව

(07.09.2025 – hirunews.lk)

ප්‍රපාතයකට ඇද වැටී තිබූ බස් රථය වෙත කඹ ආධාරයෙන් ඝන අඳුරේ වුවද ළඟා වෙමින්, තුවාලකරුවන්ව ‘ස්පයිනල් බෝඩ්’ මත රඳවමින් කඹ ආධාරයෙන් ඉහළට ගෙනවිත් ආරක්ෂිතව රෝහල් ගත කළ නිසා, කිසිම තුවාලකරුවෙකුගේ සුෂුම්නාවට බරපතළ හානි සිදුවීමක් නොවුණු බව බදුල්ල රෝහලේ වෛද්‍ය පාලිත රාජපක්ෂ පවසනවා.

ඔහු මේ බව සඳහන් කරන්නේ අනතුර පිළිබඳ සිය අත්දැකීම් පැහැදිලි කරමින්.

“බදුල්ල රෝහල සතුව spinal board 2 යි තිබුණේ. අපි කලින් කළ ඉල්ලීමකට අනුව බදුල්ල මුස්ලිම් ජුම්මා පල්ලියෙන් අපට spinal board 6 ක්ම ප්‍රදානයක් ලෙස ලැබුණා. මේ අනතුරේදී තුවාලකරුවන්ගේ සුෂුම්නාවන් ආරක්ෂා කරගන්න ඒවා හරියටම වැදගත් වුණා. ඒ විතරක් නෙවෙයි අද (07) උදේ ‘මොහොමඩ් සහරාන්’ කියන ව්‍යාපාරිකයා පැමිණ රුපියල් ලක්ෂ 15 ක වටිනාකමින් යුතු දැඩි සත්කාර ඒකක ඇඳක් රෝහලට ප්‍රදානය කළා. වෛද්‍යවරයෙක් ලෙස මේවා තමයි මම ඇතුළු වෛද්‍ය කණ්ඩායම හරි හම්බ කරගෙන තියෙන දේවල්.”

අඩි 1000 ක ප්‍රපාතයේ සිට මූලික ප්‍රතිකාර ලබා දුන් රෝගීන්ව ‘ස්පයිනල් බෝඩ්’ මත රඳවමින් ආරක්ෂිතව ගිලන්රථවලට දමා රෝහල් කරා ප්‍රවාහනය කිරීමෙන්, කිසිම රෝගියෙකුට ප්‍රවාහනයේදී සුසුම්නාවට අනතුර සිදු නොවීමට සියලුම වෛද්‍යවරුන් කටයුතු කර තිබෙනවා.

කෙසේ නමුත් මීට පෙර සිදුවූ මෙවැනි අනතුරු දෙකකදී (2) සුෂුම්නාවට බරපතළ හානි සිදුවූ පුද්ගලයින් 4-5 දෙනෙක් පමණ අදටත් නිවෙස්වල සිටින බවත්, ඔවුන්ට එය සිදුවූයේ අනතුරේදී ද නැතිනම් ප්‍රවාහනයේදීද යන්න නිවැරදිව කිව නොහැකි බවත් වෛද්‍ය පාලිත පැවසුවා ෴

ඇල්ල මාරක අනතුරේ බස් රියදුරුගේ රුධිර සාම්පල වැඩිදුර පරීක්ෂණ සඳහා අද (07) රජයේ රස පරීක්ෂකවරයා වෙත යවන බව ඇල්ල පොලිසිය පවසයි. එම අනතුරින් 15 දෙනකුට ජීවිත අහිමි වී 18 දෙනකුට බරපතළ තුවාල සිදු වී තිබුණි ෴

+++

අනවසර වෙනස්කිරීම් සහිත වාහනවලට හෙට (08) සිට වැඩ වරදී !

(07.09.2025 – hirunews.lk)

අනතුරුදායක සහ අනවසර වෙනස් කිරීම් සහිතව ධාවනය වන වාහනවලට එරෙහිව රජය හෙට (08) සිට නීතිය දැඩි ලෙස ක්‍රියාත්මක කිරීම ආරම්භ කරන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය ප්‍රසන්න ගුණසේන කියයි.

තම නිල ෆේස් බුක් ගිණුමේ සටහනක් තබමින් හෙතෙම ඒ බව සඳහන් කර තිබේ.

ධාවනයට නුසුදුසු තත්වයේ තිබියදී ධාවනය, වර්ණය වෙනස් කිරිම, නිවි නිවි දැල්වෙන විවිධ වර්ණ සහිත අමතර පහන් සවි කර ධාවනය, වාහනවල නලා භාවිතය, මෝටර් වාහන වල ඉදිරිපස, පිටුපස සහ බඳෙහි පැතිවල චිත්‍ර මොස්තර සහා වෙළඳ දැන්වීම් ප්‍රදර්ශනය කිරිම, නීති විරෝධි සවිකිරීම්, නිර්මාණ වෙනස් කිරිම් යන කරුණු කාරණා සම්බන්ධයෙන් නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව ද එහි සඳහන්ය.

ඇල්ල-වැල්ලවාය මාර්ගයේ 24 වන සැතපුම් කණුව අසල බ්‍රහස්පතින්දා (04) රාත්‍රියේ සිදු වූ මාරක අනතුරකින් පසු මෙම පියවර ගෙන තිබේ ෴


මහියංගනයේ ලංගම බස් දෙකකට ප්‍රහාරයක් : සේවකයින් දෙදෙනෙක් (2) රෝහලේ

(07.09.2025 – hirunews.lk)

මහියංගනය ඇසළ පෙරහැර විශේෂ ප්‍රවාහන සේවා සඳහා යොදවා තිබූ ලංගම බස් රථ දෙකකට (2) පහරදී ඇතැයි පොලිසිය පවසනවා.

හසලක, උඩදුම්බර ඩිපෝවේ බස් රථ දෙකකට (2) එල්ල කළ මෙම ප්‍රහාරයෙන් ලංගම සේවකයින් දෙදෙනෙකුට (2) තුවාල සිදුව තිබෙනවා.

ප්‍රහාරයෙන් බස් රථ දෙකට (2) දැඩි අලාභහානි සිදුව ඇති අතර තුවාල ලැබූ සේවකයින් දෙදෙනා (2) රෝහල්ගත කළ බවයි පොලිසිය පවසන්නේ.

මෙම ප්‍රහාරය ඊයේ (06) රාත්‍රි 11:30 ත් 12:00 අතර කාලයේදී සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මහියංගනය ලංගම බස් නැවතුමේදී මෙම ප්‍රහාරය එල්ල කොට ඇති බවයි පොලිසිය පවසන්නේ.

පහරදීමෙන් බස් රථවල වීදුරු රැසක් විනාශයට පත්ව ඇති අතර, සිදුව ඇති අලාභය රු. ලක්ෂ 2 ක් පමණ වනු ඇති බවයි උඩදුම්බර ඩිපෝ කළමණාකරු කියා සිටියේ.

මහියංගනය ලංගම බස් නැවතුම ඇතුළට යතුරුපැදියක් ධාවනය සඳහා ඉඩ ලබානොදුන් බව පවසමින් ලංගම බස් රථ රියදුරෙකුට පුද්ගලයෙකු පහරදී තිබෙනවා.

ප්‍රහාරය වැලැක්වීම සඳහා පැමිණි තවත් ලංගම සේවකයෙකුටද ඔහු පහරදී තිබෙන බවයි වාර්තා වෙන්නේ.

මෙහිදී ඇසළ පෙරහැර නරඹා නිවෙස් කර යාමට බස් රථ නැවතුමේ සිටි පුද්ගලයින් කිහිප දෙනෙකුද සුළු තුවාල ලබා තිබෙනවා.

මෙම ප්‍රහාරය සිදු කර ඇත්තේ මහියංගන, දොඩම්වත්ත ගෙවල් 20 ප්‍රදේශයේ පුද්ගලයෙක් බවට හඳුනාගෙන තිබෙන බවයි පොලිසිය පවසන්නේ.

ඓතිහාසික මහියංගන රජමහා විහාරස්ථානයේ සහ ශ්‍රී සුමන සමන් මහා දේවාලයේ 2025 ඇසළ මහා පෙරහැර මංගල්‍යයේ සිව්වන රන්දෝලි පෙරහැර අතරතුරයි මෙම ප්‍රහාරය එල්ලකර තිබෙන්නේ ෴


මිද්දෙනියේ ඉඩමට අත්අඩංගුවට ගත් සැකකරුට දින 7 ක රැඳවුම් නියෝග

(07.09.2025 – hirunews.lk)

‘අයිස් මත්ද්‍රව්‍ය’ නිෂ්පාදනයට යොදාගන්නා බව කියන රසායනික ද්‍රව්‍ය තොගයක් මිද්දෙණිය ප්‍රදේශයෙන් සොයාගැනීමට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුට දින 07 ක රැදවුම් නියෝග ලබාදී තිබෙනවා.

ඒ සැකකරු සම්බන්ධයෙන් වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුවයි.

සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු වූ ‘පියල් මනම්පේරි’ යි.

එමෙන්ම, ඔහුගේ වැඩිමහල් සහෝදරයා සිද්ධියට අදාළව අත්අඩංගුවට ගැනීමට නියමිත අතර, ඔහු ප්‍රදේශයෙන් පලාගොස් තිබෙනවා.

මීට අමතරව, තංගල්ල – නෙටොල්පිටිය, දමනියගහගොඩැල්ල ප්‍රදේශයේ තිබියදී ද ‘අයිස් මත්ද්‍රව්‍ය’ නිෂ්පාදනයට යොදාගන්නා බව කියන රසායනික ද්‍රව්‍ය තොගයක් සොයාගත්තා.

එම ප්‍රදේශයේ පාලු ඉඩමක දමාගොස් තිබියදී මෙම රසායනික ද්‍රව්‍ය තොගය සොයාගත් බවයි පොලිසිය සඳහන් කළේ.

ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘කෙහෙල්බද්දර පද්මේ’ට අයත් නුවරඑළියේ පිහිටි ‘අයිස් මත්ද්‍රව්‍ය’ නිෂ්පාදනාගාරයක් පිළිබඳව පොලිසිය තොරතුරු අනාවරණ කරගත්තේ පසුගිය සතියේදීයි ෴


රුපියල් කෝටි තුනක (3) මැණික් සොරකම් කළ සැකකරු කොටුවෙයි

(07.09.2025 – hirunews.lk)

බේරුවල චීන කොටුව මැණික් වෙන්දේසි පොළෙහි මැණික් ගනුදෙනු කළ චීන ජාතික කාන්තාවකට සහ ඇගේ හවුල්කරුවාට අයත් රුපියල් කෝටි තුනක් (3) වටිනා මැණික් තොගයක් එම නිවසට පැන සොරකම් කළ සැකකරුවෙකු සෙනසුරාදා (06) රාත්‍රියේ අත්අඩංගුවටගත් බවයි බේරුවල පොලීසිය සඳහන් කරන්නේ.

බේරුවල, හෙට්ටිමුල්ල මල්ලබොක්ක පාරේ පිහිටි මෙම නිවසේ සිටි විදෙස් ජාතිකයන් දිනපතා බේරුවල චීන කොටුවේ මැණික් වෙන්දේසි පොළ වෙත යෑම පුරුද්දක් ලෙස සිදුකොට තිබෙනවා. එවන් අවස්ථාවක නිවසේ තිබූ රුපියල් කෝටි තුනක (3) මැණික් තොගයක් කිසියම් අයෙකු නිවසේ ප්‍රධාන දොර ඇර නිවසට ඇතුළු වී සොරකම් කර ඇතැයි චීන කාන්තාව පසුගිය දා බේරුවල පොලීසිය වෙත පැමිණිලි කර තිබෙනවා.

ඒ අනුව වහා ක්‍රියාත්මක වී ආරක්ෂක කැමරා දර්ශන නිරීක්ෂණය කොට සිද්ධියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන එම මැණික් තොගයද පොලිස් භාරයට ගත් බවයි බේරුවල පොලිස් ස්ථානාධිපති එම්.ආර්. නවරත්න පවසන්නේ.

කෙසේවෙතත් සැකකරු ඒ වන විටත් එම මැණික් තොගය බේරුවල, මහගොඩ ප්‍රදේශයේ දෙවන පාර්ශ්වයකට ලබා දී, අලෙවි කර පසු මුදල් ලබා ගැනීමේ පොරොන්දුව මත එතෙක් සුළු අත්තිකාරම් මුදලක්ද ලබාගෙන තිබූ බවයි පොලීසිය සඳහන් කලේ.

පොලීසිය පවසන පරිදි සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීම් හමුවේ මෙම සොරකමට අදාළව වරද පිළිගෙන ඇති අතර, සැකකරු තදින් හෙරොයින් පානයට ඇබ්බැහි වූවෙක්. අත්අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේදී ඔහු සතුව තිබූ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක්ද අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කරනවා.

මෙම සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබාගෙන වැඩිදුර ප්‍රශ්න කිරීමට නියමිත බවද පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා ෴


පූර්ණ චන්ද්‍රග්‍රහණයක් පියවි ඇසින් දැකීමට අද (07) විරල අවස්ථාවක්

(07.09.2025 – hirunews.lk)

පූර්ණ චන්ද්‍රග්‍රහණයක් පියවි ඇසින් දැකගැනීමේ විරල අවස්ථාව ශ්‍රී ලංකා වාසීන්ට අද (07) රාත්‍රියේ උදාවනවා.

අද (07) රාත්‍රී 09:57 සිට හෙට (08) අලුයම 01:26 දක්වා එම චන්ද්‍රග්‍රහණය සිදුවන අතර, එහි ග්‍රහණ මධ්‍යය හෙවත් නැරඹීමේ හොදම වෙලාව, රාත්‍රී 11:42 බවයි කොළඹ විශ්ව විද්‍යාලයේ අභ්‍යාවකාශ හා තාරකා විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න සදහන් කළේ.

සූර්යා හා චන්ද්‍රයා අතරට පෘතුවිය, සරල රේඛාවක පිහිටා සූර්යයාගේ ආලෝකයෙන් පෘතුවියේ සෙවනැල්ල චන්ද්‍රයා මත වැටීම මෙහිදී සිදුවනවා.

යළි මෙවැනි පූර්ණ චන්ද්‍රග්‍රහණයක් දිස්වන්නේ 2028 වසරේ දෙසැම්බර් 31 වනදා බවයි මහාචාර්ය චන්දන ජයරත්න වැඩිදුරටත් පෙන්වා දුන්නේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *