‘කෙහෙල්බද්දර පද්මේ’ගේ නුවරඑළිය ‘අයිස් මත්ද්‍රව්‍ය’ නිෂ්පාදනාගාරය වටලයි – පාකිස්තානුවෝ 2 කුත් වැඩ කරලා

‘කෙහෙල්බද්දර පද්මේ’ගේ නුවරඑළිය ‘අයිස් මත්ද්‍රව්‍ය’ නිෂ්පාදනාගාරය වටලයි – පාකිස්තානුවෝ 2 කුත් වැඩ කරලා


‘කෙහෙල්බද්දර පද්මේ’ගේ නුවරඑළිය ‘අයිස් මත්ද්‍රව්‍ය’ නිෂ්පාදනාගාරය වටලයි – පාකිස්තානුවෝ 2 කුත් වැඩ කරලා

(05.09.2025 – dinamina.lk)

‘කෙහෙල්බද්දර පද්මේ’ විසින් මුදල් ආයෝජනය කර නුවරඑළියේ පවත්වාගෙන ගියේ යැයි හෙළිවී ඇති ‘අයිස් නමැති මත්ද්‍රව්‍ය’ නිෂ්පාදනය කළ ස්ථානය හඳුනාගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමත්ව ඇත. මෙම ස්ථානයේ පාකිස්තානුවන් දෙදෙනකු (2) ද ‘අයිස්’ නිෂ්පාදනයේ යෙදී සිට ඇති බව අනාවරණය වී ඇත.

කුලියට ගත් නි‍වෙසක මෙම ‘අයිස් නිෂ්පාදනාගාරය’ පවත්වාගෙන ගොස් ඇත්තේ මෙරට ‘අයිස් මත්ද්‍රව්‍ය’ බෙදාහැරීමේ තනි අයිතිය ‘කෙහෙල්බද්දර පද්මේ’ විසින් සියතට ගැනීමේ අපේක්ෂාවෙන් බවට සැක කරයි. නුවරඑළියේ ‘අයිස් මත්ද්‍රව්‍ය’ නිෂ්පාදනාගාරයක් ආරම්භ කිරීමට මුල්වූ ‘කෙහෙල්බද්දර පද්මේ’ගේ හවුල්කරුවන් ද හඳුනාගනිමින් සිටින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තොරතුරු අනාවරණය කළේය. එම හවුල්කරුවන් කොටුකර ගැනීමේ මෙහෙයුමක් ද මේ වන විට ක්‍රියාත්මක බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

මෙම ‘අයිස් මත්ද්‍රව්‍ය’ නිෂ්පාදන කර්මාන්තශාලාව සඳහා රුපියල් මිලියන 04 ක මුදලක් ‘කෙහෙල්බද්දර පද්මේ’ විසින් ආයෝජනය කර ඇතැයි අනාවරණය වී තිබෙන බව විමර්ශනවලදී සොයාගෙන ඇති බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු ඇමැති ආනන්ද විජේපාල මහතා පැවසීය. මත්ද්‍රව්‍ය නිෂ්පාදනාගාරය පවත්වාගෙන යෑමට නුවරඑළිය ප්‍රදේශයේ නි‍වෙසක් කුලියට ගෙන ඇති බවත්, ඒ සඳහා රසායන ද්‍රව්‍ය කිලෝ 2000 කට අධික ප්‍රමාණයක් මෙරටට ගෙන්වා ඇති බවත් ඇමැතිවරයා කියා සිටියේය. ‘අයිස් මත්ද්‍රව්‍ය’ මෙරට නිෂ්පාදනය කරන බව අවස්ථා කිහිපයකදීම පොලීසිය අනාවරණය කරගෙන තිබිණි.

‘අයිස් මත්ද්‍රව්‍ය’ සම්බන්ධයෙන් මෙරට නීතියක් ක්‍රියාත්මකව නොතිබුණු 2000 දශකයේ මුල කොස්ගම පිහිටි කර්මාන්තපුරය ආශ්‍රිතව කොරියන් ජාතිකයන් පිරිසක් විසින් ‘අයිස් නිෂ්පාදනය’ කර තිබුණු බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් හෙළිකරගෙන තිබිණි. නීතියක් නොමැතිකම හේතුවෙන් ඒ සම්බන්ධයෙන් එකල නිසි ක්‍රියාමාර්ග නොගත්තත් කොරියන් සමාගමට එම සමාගම හකුළාගෙන යෑමට වැඩ සිදුව තිබුණි.

අනතුරුව නැවතත් මෙරට ‘අයිස් මත්ද්‍රව්‍ය’ නිෂ්පාදනය කිරීමක් ගැන තොරතුරු අනාවරණය වන්නේ, 2023 වසරේ අප්‍රේල් 21 වැනිදා පොලීසිය කළ වැටලීමකදීය. මට්ටක්කුලියේ පිහිටි නි‍වෙසක් තුළ ඉතා රහසිගතව ‘අයිස් මත්ද්‍රව්‍ය’ නිෂ්පාදනය කර තිබුණේ 61 හැවිරිදි වියේ පසුවූ ඉංජිනේරුවරයෙකි. පොලීසිය මේ තැන වටලන විට ‘අයිස් නිෂ්පාදනය’ සඳහා යොදාගන්නා රසායනික ද්‍රව්‍ය බැරල් 02 ක් ද තිබී ඇත.

නැවතත් මෙරට ‘අයිස් නිෂ්පාදනය’ කිරීමේ ස්ථානයක් ගැන තොරතුරු අනාවරණය වන්නේ, 2024 වසරේ මැයි 14 වැනිදාය. යාපනය පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් යාපනයේ ක්‍රියාත්මක ‘කඩු කල්ලියේ’ සාමාජිකයන් සොයා යාපනය ඉනුවිල්හි පිහිටි නි‍වෙසක් වැටලීමේදී එම නි‍වෙසේ කාමරයක ‘අයිස් මත්ද්‍රව්‍ය’ නිෂ්පාදනය කරන බව අනාවරණය විය.

මාලබේ පිහිටි නිවාස සංකීර්ණයක නි‍වෙසක ද ‘අයිස් නිෂ්පාදනාගාරයක්’ පවත්වාගෙන ගොස් තිබුණේ ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය ද ලබාසිටි කෝටිපති ව්‍යාපාරිකයෙකි. ‘අයිස් නිෂ්පාදනය’ කිරීම සඳහා එම නි‍වෙස ඔහු මිලදී ගෙන තිබුණු බව එකල පැවති විමර්ශනවලින් පෙනී ගොස් තිබුණි.

වැඩි කාලයක් සිය බිරිය ජීවත්වූ කැනඩාවේත්, දියණිය ජීවත්වූ එංගලන්තයේත්, ඔස්ට්‍රේලියාවේත් ගතකරන ඔහු මෙරටට පැමිණ ගත කරන සුළු කාලය තුළ ‘අයිස් නිෂ්පාදනය’ කර ඇති බව විමර්ශනවලින් හෙළිවී තිබුණි. කිසිවකුටත් හොරා පවත්වාගෙන ගිය මාලබේ නි‍වෙසේ ‘අයිස් නිෂ්පාදනය’ ගැන තොරතුරු හෙළි වන්නේ 2024 වසරේ අගෝස්තු 12 වෙනිදා එම නි‍වෙස තුළ සිදුවූ පිපුරුමක් හේතුවෙනි.

‘අයිස් නිෂ්පාදනයේ’දී ඇතිවූ රසායනික සංසිද්ධියක් මත ඇතිවූ එම පිපුරුමෙන්, ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබා සිටි එම ‘අයිස්’ නිෂ්පාදනය කළ පුද්ගලයා ද ඔහුගේ රියැදුරු බව කියන පුද්ගලයා ද මියගියහ.

නැවතත් මෙරට ‘අයිස් නිෂ්පාදනාගාරයක්’ ගැන තොරතුරු හෙළි වන්නේ ‘කෙහෙල්බද්දර පද්මේ’ ඇතුළු පාතාල අපරාධකරුවන් ඉන්දුනීසියාවේ සිට අල්ලාගෙන මෙරටට රැගෙන ඒමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරනු ලබන ප්‍රශ්න කිරීම් හමුවේය.

ගයාන් කුමාර වීරසිංහ

+++

‘පද්මේ’ ගෙන්වූ අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදන රසායනික ද්‍රව්‍ය ගැන තවත් තොරතුරු එළියට

(05.09.2025 – 20:34 +0530 – sinhala.adaderana.lk)

‘අයිස් මත්ද්‍රව්‍ය’ නිෂ්පාදනයට භාවිත කරන රසායනික ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 50,000 ක් පමණ මිද්දෙණිය, තලාව ප්‍රදේශයේ නිවසක වළදමා තිබියදී බස්නාහිර උතුර අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අද (05) සොයාගනු ලැබීය.

එම කොට්ඨාසය භාරයේ රඳවා සිටින ‘බැකෝ සමන්’ නමැත්තාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඒවා සොයාගත් අතර ‘කෙහෙල්බද්දර පද්මේ’ නමැත්තා විසින් ‘අයිස් මත්ද්‍රව්‍ය’ නිෂ්පාදනයට අදාළ රසායනික ද්‍රව්‍ය මෙරටට ගෙන්වූ බවද ඔහු පවසා තිබේ.

පොලිසිය පැවසුවේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පළාත් පාලන මන්ත්‍රීවරයෙක් හා ඔහුගේ සහෝදරයා අදාළ රසායනික ද්‍රව්‍ය සඟවා තබාගෙන සිට ඇති බවය.

‘කෙහෙල්බද්දර පද්මේ’ ‘අයිස් නිෂ්පාදනය’ කිරීම සඳහා නුවරඑළිය ප්‍රදේශයේ නිවසක් කුලියට ගෙන පාකිස්තානුවන් දෙදෙනෙකු (2) ද මෙරටට ගෙන්වා ඇති බව පසුගියදා පොලිසිය අනාවරණය කරගෙන තිබුණි.

ඒ අනුව බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය භාරයේ පසුවන ‘බැකෝ සමන්’ නැමැත්තාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඒ පිළිබඳව තහවුරු කරගැනීමට පොලිසියට හැකි විය.

එහි ප්‍රතිඵලයක් ලෙස පසුගියදා ‘බැකෝ සමන්’ හා ‘තැඹිලි ලහිරු’ මිද්දෙණිය ප්‍රදේශයට රැගෙන ගොස් පොලිසිය විමර්ශන සිදුකරනු ලැබීය.

එහිදී කිසිවක් සොයාගැනීමට නොහැකි වූ අතර තවදුරටත් සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේ හෙළිවුණේ ‘පද්මේ’ විසින් මෙරටට පාකිස්තානුවකු මාර්ගයෙන් කන්ටේනර් පෙට්ටි දෙකක (2) රසායනික ද්‍රව්‍ය තොගයක් ‘අයිස් මත්ද්‍රව්‍ය’ නිෂ්පාදනයට ගෙන්වා ඇති බවය.

අනතුරුව බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය භාර සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල හා එහි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් සිල්වා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් අද (05) දිනයේදි මිද්දෙණිය, තලාව ප්‍රදේශයට ගොස් එහි වූ ඉඩමක් පරීක්ෂා කළේය.

එහිදී අදාළ ඉඩමේ වලදමා තිබූ ‘අයිස් මත්ද්‍රව්‍ය’ නිෂ්පාදනයට ගන්නා අමුද්‍රව්‍ය තොගය සොයාගනු ලැබීය.

පොලිසිය සිදුකළ විමර්ශනවලදී හෙළිවී ඇත්තේ ‘බැකෝ සමන්’ ඒවා තම මිතුරන්වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අඟුනුකොලපැලැස්ස ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකුට හා එම පක්ෂයෙන්ම මෙවර පළාත් පාලන මැතිවරණයට තරගවැදි පුද්ගලයෙකුට ලබාදී ඇති බවය.

සහෝදරයින් වන ඔවුන් ‘සම්පත් මනම්පේරි’ සහ ‘පියල් මනම්පේරි’ නැමැත්තන් බව පොලිසිය පැවසුවේය.

‘බැකෝ සමන්’ පසුගියදා මිද්දෙණියට රැගෙන ඒමෙන් පසුව බියවූ අදාළ සහෝදරයන් දෙදෙනා (2) වෙනත් ස්ථානයක තිබූ රසායනික ද්‍රව්‍ය බූම් ට්‍රක් රථයක් යොදාගෙන මෙම ඉඩමට ගෙනැවිත් වළදමා ඇති බවට විමර්ශනවලදී හෙළිවී තිබේ.

අද (05) දිනයේදී එම ස්ථානයට කොන්ක්‍රීට් දැමීමට සූදානම්ව සිට ඇති බව ද පොලිසිය පැවසුවේය.

මේ වන විට අදාළ සොහොයුරන් දෙදෙනා (2) ප්‍රදේශයෙන් පලාගොස් ඇත.

මෙම රසායනද්‍රව්‍ය භාවිත කර ‘අයිස් මත්ද්‍රව්‍ය’ කිලෝග්‍රෑම් 200 ක් පමණ සැකසීමේ හැකියාව තිබූ අතර ඒවා අලෙවි කර රුපියල් බිලියන දෙකක් (2) පමණ මුදලක් ඉපැයීමට හැකියාව තිබූ බවද පොලිසිය සඳහන් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

+++

‘පද්මේ’ගේ රු. කෝටි 250 ක බඩු තොගයක් මිද්දෙණියේ මන්ත්‍රීවරයෙකුගේ ඉඩමක පොළොව යටින් මතු වෙයි (05.09.2025)

+


ඇල්ල බස් අනතුරින් තුවාල ලැබූවන්ගේ නවතම තත්ත්වය

(05.09.2025 – 19:08 +0530 – sinhala.adaderana.lk)

ඇල්ල – වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ සිදු වූ බිහිසුණු අනතුර හේතුවෙන් තුවාල ලබා රෝහල් ගත කළ අයගේ තත්ත්වය මේ වන විට යහපත් අතට හැරෙමින් පවතින බවත් කිසිඳු අයෙකුට ජීවිත අවදානමක් නොමැති බවත් බදුල්ල ශික්ෂණ රෝහලේ වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා පවසයි.

අනතුරට පත්වූවන්ගේ ජීවිත බේරා ගැනීමට කැප වූ සියලු දෙනාට තමන් සිදු කළ කැපකිරීම හේතුවෙන් ජිවීත බේරා ගැනීමට හැකි වූ බව සිතා සතුටු විය හැකි බව එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් වෛද්‍යවරයා වැඩිදුරටහ් සඳහන් කර සිටියේය.

එමෙන්ම හමුදාවෙන් සහ ඇල්ල ප්‍රදේශවාසීන් විසින් ලබා දුන් සහයෝහය පිළිබඳව ද එහිදී ඔහු සිය කෘතඥතාවය පළ කර සිටියේය.

“සියලුම රෝගීන්ගේ ජීවිත අවදානම මේ වනවිට පහව ගිහින් තියෙන්නේ. මම කිව්වා වගේම හදිසි ශල්‍යකර්ම සියල්ල නිම කරලා දැන් රෝගීන් ඒගොල්ලොන්ගේ අදාළ වාට්ටුවල ඉන්නවා. කුඩා ළමයින්ගේ තත්වය යහපත්. ඒගොල්ලන්ට ජීවිත අවදානමක් නැහැ. ICU වල ඉන්නවා ලෙඩ්ඩු දෙන්නෙක් (2). ඒ දෙන්නටත් ලොකු ජීවිත අවධානමක් තියෙන දෙන්නෙක් නෙමෙයි. පවතින වාතාවරණය යහපත්. හැමෝම මහන්සි වුණා. හැමෝටම සතුටු වෙන්න පුළුවන් තමන් හින්දා ජීවිත මෙච්චර ප්‍රමාණයක් බේරුණා කියන එක.”

“නමුත් අපි ඒ වෙලාවේ අඩුම තුවාල ප්‍රමාණයක් සිදුවෙන ආකාරයට තමයි අපි ක්‍රියාත්මක වුණේ. ඒකට හමුදාවෙන් විශේෂ සහයෝගයක් හම්බ වුණා. ඇත්තටම ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් එතන තියෙන්නේ අපේ අරමුණ වෙන්නේ ජීවිතයක් බේරා ගැනීම. ඉතින් ඒ වෙලාවේ සමහරවිට මේ අපේ ජීවිතය උගසට තියන්න වෙන අවස්ථා තියෙනවා. එවැනි අවස්ථා කලිනුත් සිද්ධ වෙලා තියෙනවා. නමුත් ඒ තත්වය ඊට වැඩිය බොහොම බරපතලයි. මොකද අඩුම ගානේ පැය හයක් (6), හතක් (7) යනකල් මගෙන් කිසිම තොරතුරක් උඩට ගියේ නෑ. කිසි කෙනෙක් දන්නෑ. මාත් එක්ක ගිය වෛද්‍යවරු උඩ හිටියා. මං පල්ලෙහාට ගියේ. ඉතින් අවදානම කියන එක ඕනම දෙයක්. අපි කහ ඉරක් පැන්නත් අවදානමක් තියෙනවා. නමුත් මේ වගේ අවස්ථාවක අවදානමක් ගන්න යම්කිසි ශක්තියක් තියෙන්න ඕනේ. ඉතින් ඔබගේ තියෙනවා නම් යම්කිසි අරමුණක් මේ දේ කරන්න ඕනේ කියලා. ඒකට අවශ්‍ය ශක්තිය තියෙනවා. ඒක ක්‍රියාත්මක කිරීම තමයි වැදගත්ම කාරණය වන්නේ. මම හිතන්නේ මේක මම විතරක් නෙමෙයි එතන තව හමුදාවේ සෙබළු – රණවිරුවෝ සෑහෙන පිරිසක් හිටියා. ඊට අමතරව ප්‍රදේශයේ තරුණයින් – ඇත්තටම ඉතාමත් ආඩම්බරයි ඇල්ල ප්‍රදේශයේ තරුණයින් ගැන. ඒගොල්ලෝ ප්‍රදේශවාසීන් අපිට වතුර පවා පල්ලෙහාට එව්වා.”

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *