ජාතික රෝහලේ රු. කෝටි 250 ක දුෂිත ගණුදෙනු ගැන පරීක්‍ෂණ – විශේෂඥ වෛද්‍ය චමල් සංජීව

ජාතික රෝහලේ රු. කෝටි 250 ක දුෂිත ගණුදෙනු ගැන පරීක්‍ෂණ – විශේෂඥ වෛද්‍ය චමල් සංජීව


ජාතික රෝහලේ රු. කෝටි 250 ක දුෂිත ගණුදෙනු ගැන පරීක්‍ෂණ

(29.08.2025 – 18:20 +0530 – lankacnews.com)

විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිදු කරන ලද පැමිණිල්ලක් අනුව කොළඹ ජාතික රෝහලේ පසුගිය කාලයේදී සිදු වූ විගණන වාර්තාවක් මත විමර්ශන ආරම්භ කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැලසුම් කොට ඇත.

රසායනික ප්‍රතික්‍රියක මිලදී ගැනීමේදී සහ කල්ලිකුත් වූ හා කල්ලිකුත් වීමට ආසන්න ප්‍රතික්‍රියක මිලදීගෙන ඇති බවට පසුගියදා විගණකාධිපති කාර්යාලය විගණන වාර්තාවක් නිකුත් කළ අතර වෛද්‍ය සැපයුම් මේකේ නිශ්චිත අනුමැතියෙන් තොරව ඉහල තනතුරු දරණ පුද්ගලයන්ගේ සහභාගිත්වය ඇතිව රුපියල් මිලියන 2500 කට අධික රසායනික උපකරණ සහ ප්‍රතික්‍රියක මිලදීගෙන ඇති බවට මෙම පැමිණිල්ලේ සඳහන් වෙයි.

කොළඹ ජාතික රෝහලේ ආහාර මිලදී ගැනීමේ ටෙන්ඩරයක් සම්බන්ධයෙන්ද චෝදනා එල්ල වී ඇත.

මේ සම්බන්ධව පසුගියදා පාර්ලිමේන්තුව තුළදී චාමර සම්පත් මහතාද කරුණු මතු කරන ලදී.

වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව එම ආණ්ඩුවේ සෞඛ්‍ය බලධාරීන්ට විරුද්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරම්භ කරන පළමුව අපරාධ පරීක්ෂණය ලෙස මෙය එකතුවෙයි.

රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් වෛද්‍යවරුන් රසායනා කර ශිල්පීන් හිටපු රෝහල් අධ්‍යක්ෂකවරුන් ඇතුළු රැසකට මෙහිදී චෝදනා එල්ල වී ඇත.

මූලික කරුණු විමර්ශනයෙන් අනතුරුව අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිතය ෴


පරාක්‍රමබාහු රජතුමා අනුරලා වගේ හිතුවා නම් පරාක්‍රම සමුද්‍රයක් හදන්නේ නෑ … හදන්නේ ආඬි ළිඳක් … ! – පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර

(30.08.2025 – 00:02 +0530 – lankacnews.com)

පොහොසත් රටක් නිර්මාණය කිරීමේ අදහස් ඇතිව කටයුතු කරන ජනාධිපතිවරයෙකු විදෙස්ගත වූ විට රාජ්‍ය නායක පෞරුෂයට ඔබින ආකාරයට ඉහළම පහසුකම් භුක්ති විඳිමින් කටයුතු කරන බව සර්වජන බලය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර පවසයි.

“රාජ්‍ය නායකයෝ විදෙස්ගත වුණාම ඒ රටේ තියෙන හොඳම වාහනේ යනවා. ඒ රටේ හොඳම මිනිස්සු ආශ්‍රය කරලා. හොඳම වයින් එක බීල, හොඳම තේ බිලා තමයි වැඩකරන්නේ. මිනිස්සුන්ට ධනය නිර්මාණය කරන්න ඕන රටක් හදන්න උවමනාවක් තියෙන රාජ්‍ය නායකයෙක් කටයුතු කරන්නේ එහෙමයි.

සහෝදරයන්ගෙන් කාල, ලන්ඩන්වල කොත්තු කඩේකින් කාලා නෙමෙයි, ජනාධිපතිවරු රටවල් හදන්නේ. ජනාධිපතිවරයෙකුට අවශ්‍ය පෞරුෂය, ඒක නිර්මාණය වන පරිසරය හදා ගන්නේ එහෙම තමයි. මෝදි ඉන්දියාව දියුණු කරන්න කලින් ඇමරිකාවට ගියේ පෞද්ගලික ජෙට් යානයකින්. එහෙමයි ඒ රාජ්‍යයේ පෞරුෂය ජාත්‍යන්තරයේ ගොඩනගන්නේ.

අනුර ජනාධිපතිතුමා රට රටවල ගිහින් යාළුවන්ගේ ගෙවල්වල ඉඳලා වියදමට රජය වෙන් කළ සල්ලි ආයෙම ගෙනැත් ආඩම්බරෙන් භාරදෙනවා. මම දිගින් දිගටම කියනවා, එතුමාට ඔය ‘හිඟන වැඩේ’ කරන්න එපා කියලා. ඒ නිසා හිටපු ජනාධිපති රනිල් අත් අඩංගුවට ගැනීමේ තිරපිටපත ජාත්‍යන්තර මාධ්‍ය වර්තා කරන විදිහ දැක්කාම අපට ලැජ්ජායි. ‘මහ බැංකු වංචාවට රනිල් අත් අඩංගුවට ගත්තා’ නම් අපට ලෝකය ඉස්සරහා ඒ ගැන ආඩම්බරෙන් කතා කරන්න තිබුණා.

අපි හිඟන විදිහට හිතන්න නරකයි. අපි ලොකුවට හිතන්න ඕන. අපි ඉතිහාසයේ ලොකුවට හිතුව ජාතියක්. අපි හැදුවෙ මහ වැව්. වැව් නෙමෙයි සමුද්‍ර. පරාක්‍රම සමුද්‍රය හැදුවේ. මේ වගේ හිතුවා නම් ඒ කාලේ හදන්නේ ‘ආඬි ළිං’. මොකද දෙකෙන්ම වතුර ගන්න පුළුවන්. ‘ආඬි ළිං’ කපන ආණ්ඩුයි, පරාක්‍රම සමුද්‍ර හදන ආණ්ඩුයි එකක් නෙමෙයි, දෙකක්.”

දිලිත් ජයවීර මේ බව ප්‍රකාශ කළේ ‘මොනරා’ පුවත්පත සමග සාකච්ඡාවකට එකතු වෙමිනි ෴


සින්දු කියන සීවලීට රේගුවේ මුල් පුටුව | ජ්‍යෙෂ්ඨයින් කපාගෙන ආපු විදිහ මෙන්න (28.08.2025)

+

ශානි, ශේක්ෂෂ්පියර් මිස ෂර්ලොක් හෝම්ස් නොවේ. අත්අඩංගුවට ගන්න හදන ගම්මන්පිලගෙන් බරපතළ අනාවරණයක් (30.08.2025)

+


අපේ ඩිජිටල් හැඳුනුම්පත ඉන්දියාව කොල්ලකෑම වළක්වන්න දියත් කළ නොනිමි සටනේ… පිය සටහන්… (28.08.2025)

+


රුපියල් ලක්ෂ ගණන් අල්ලස්ගත් රේගු ලිපිකරුවෙකු අත්අඩංගුවට

(30.08.2025 – hirunews.lk)

කොළඹ ඔරුගොඩවත්ත බහාලුම් පර්යන්තයේ සේවය කරන වාප්පු ලිපිකරුවෙකු රුපියල් ලක්ෂ ගණනක අල්ලස් ලබා ගැනීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ව්‍යාපාරිකයෙකු විසින් ආනයනය කරන ලද බහාලුමක් නිෂ්කාශනය කර දීම සඳහා රේගු නිලධාරීන්ට රුපියල් ලක්ෂ 5 ක අල්ලසක් ලබා දීමට මැදිහත් වීම සහ අමතරව රුපියල් 330,000 ක මුදලක් තමාට තුටු පඬුරක් ලෙස ඉල්ලා ලබා ගැනීම සම්බන්ධවයි මොහුට චෝදනා එල්ල වී ඇත්තේ.

මෙම සිද්ධියට අමතරව මීට පෙරද තවත් බහාලුමක් නිෂ්කාශනය කර දීම වෙනුවෙන් මෙම ලිපිකරු විසින් රුපියල් 1,045,000 ක මුදලක් අල්ලස් ලෙස ලබාගෙන ඇති බවට පැමිණිලිකරු විසින් ප්‍රකාශ කර තිබෙනවා.

අත්අඩංගුවට ගැනීමෙන් පසු සිදු කළ වැඩිදුර පරීක්ෂාවකදී, රේගු නිලධාරීන්ගේ කාර්යාලයේ තිබූ අල්මාරියක් තුළ තිබී සැක කටයුතු රුපියල් 370,000 ක මුදලක් ද සොයාගෙන ඇති බව සඳහන්. අගෝස්තු 28 වන දා සවස 05:30 ට පමණ මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති අතර සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි ෴


ටියුෂන් ගුරුන්ටත් ලයිසන් දෙන කවුන්සිලයට විරුද්ධයි – ජෝශප් ස්ටාලින්

(30.08.2025 – hirunews.lk)

උපකාරක පන්ති ගුරුවරුන්, පෞද්ගලික පාසල් ගුරුවරුන් සහ පාසල් ගුරුවරුන් ඇතුළු උගන්වන ඕනෑම කෙනෙකුට බලපත්‍රයක් (ලයිසන්) ලබාදීම සඳහා වෘත්තීය සභාවක් පිහිටුවන්නේ නම්, ඊට විරෝධය දක්වන බව ‘ලංකා ගුරු සංගමයේ’ ලේකම් ජෝශප් ස්ටාලින් පවසනවා.

ගුරු-විදුහල්පති සේවාවන් සඳහා වෘත්තීය සභාවක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාවය මීට පෙර ද අවධාරණය වී ඇති නමුත්, එම උත්සාහයන් ව්‍යර්ථ වූ බව ජෝශප් ස්ටාලින් සඳහන් කළා.

“ගුරු සේවාව උසස් තත්ත්වයකට ගෙනල්ලා සේවා ව්‍යවස්ථාව ක්‍රියාත්මක කිරීම ගැන තමා අපි කතා කරන්නේ. පුද්ගලික අංශය ශක්තිමත් කරන එකක් සහ නීත්‍යානුකූල කරන වැඩක් තමයි මෙතන තියෙන්නේ”

මේ අතර රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව සමස්ත අධ්‍යාපනයේ ගුණාත්මක සංවර්ධනය අරමුණු කර ගනිමින් යෝජිත ‘අධ්‍යාපන කවුන්සිලය’ පිහිටුවීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පත් කරන ලද කමිටුව ඊයේ (29) රැස්වී තිබෙනවා.

‘අධ්‍යාපන කවුන්සිලයේ’ විෂය පථය, බලතල, සාමාජිකයන් පත් කිරීම ආදී කරුණු සම්බන්ධව සවිස්තර වාර්තාවක් කඩිනමින් අග්‍රාමාත්‍යවරිය වෙත ඉදිරිපත් කරන බව එහිදී ප්‍රකාශවී තිබෙනවා ෴


ගම්පොල නඩුවකට ආ විත්තිකරුවකුගේ මිතුරා පැහැර ගනී

(30.08.2025 – hirunews.lk)

ගම්‍පොල වෙලම්‍බොඩ පදිංචි කෝටිපති ව්‍යාපාරිකයෙකු රවටා රුපියල් කෝටි 22 ක මුදල් කොල්ලකෑමකට සම්බන්ධ නඩුවකට පෙනීසිටීමට විත්තිකරුවෙක් සමඟ ගම්පොළ උසාවියට පැමිණ නැවත යමින් සිටි පුද්ගලයෙක් ඊයේ (29) සවස පැහැරගෙන ඇතැයි ගම්පොල පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබෙනවා.

කිරම පුවක්ගස්ආරේ පදිංචිකරුවෙක් වන ‘එච්.ජී. නන්දන’ නැමැත්තා එසේ පැහැර ගැනීමට ලක්ව තිබුණා.

අවුරුදු 48 ක් වන ඔහු පැහැරගෙන ඇත්තේ නඩුව අවසන්ව සිය මිතුරා වන විත්තිකරු සමඟ බස් රථයක නැගීමට පා ගමනින් මින් සිටියදී බවයි පොලිසිය සඳහන් කරන්නේ.

ගම්පොල පාලම අසලදී මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම පැහැරගැනීම සිදුකර තිබෙනවා.

මංකොල්ලයට සම්බන්ධ විත්තිකරු යැයි සිතා ඔහු සමඟ සිටි මිතුරා පැහැර ගෙන ඇතැයි පොලිසිය සැකකරනවා.

ආරක්ෂක කැමරා පරීක්ෂා කරමින් සැකකරුවන් සොයා විමර්ශන පැවැත්වෙන බවත් පැහැරගත් පුද්ගලයා මෙතෙක් හමුවී නැති බවත් මහනුවර දිසා නියෝජ්‍ය පොලිස්පති සුදත් මාසිංහ මහතා සඳහන් කළා.

මෙම මුදල් කොල්ලය සිදුවන්නේ මෙම (2025) වසරේ මැයි 08 වෙනිදාය. තමන් සතුව කිලෝ 15 ක රන් බිස්කට් ඇතැයි ව්‍යාපාරිකයාට පවසා එම රන් බිස්කට් ගණුදෙනු කරන මුවාවෙන් ව්‍යාපාරියා සතු මුදල් කොල්ලය සිදුකර තිබුණා.

ඒ සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ පොලිසිය සැකකරුවන් කිහිප දෙනෙක් අත්අඩංගුවට ගත්තද කොල්ලකෑ මුදල් සියල්ල සොයාගෙන තිබුණේ නැහැ ෴


අතිකාල නැතිව තැපැල් භාණ්ඩ කෝටියක් ගොඩ ගැසේ

(30.08.2025 – hirunews.lk)

මධ්‍යම තැපැල් හුවමාරුවේ මේ වන විට කෝටියකට අධික තැපැල් භාණ්ඩ ප්‍රමාණයක් ගොඩගැසී ඇති බවත් දිනකට ලිපි ලක්ෂ 20 ක් එකතු වන බවත් ‘ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ’ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර පවසනවා.

මධ්‍යම තැපැල් හුවමාරුවේ ඇඟිලි සලකුණු යන්ත්‍ර ක්‍රියාත්මක කිරීමත් සමඟ තැපැල් සේවකයන්ගේ අතිකාල ගෙවීම නතර කිරීම හේතුවෙන් මෙම තත්ත්වය හටගෙන ඇති බවයි ඔහු පවසන්නේ.

සේවකයන්ගේ අතිකාල ගෙවීම සඳහා විශේෂ කමිටුවක් පත් කර ඇති නමුත් මේ වන විටත් එම කමිටුව තොරතුරු රැස්කරමින් පවතිනවා. එම වාර්තාව ලබන 04 වැනිදාට හෝ ඊට පෙර ලබා දෙන ලෙස තැපැල්පතිවරයා දන්වා ඇතැයි ද චින්තක බණ්ඩාර සඳහන් කළා.

දිනකට ලිපි ලක්ෂ 20 ක් එකතු වන බැවින් වාර්තාව ලැබෙන්නේ ලබන මස 04 වැනිදා නම්, එම දිනය වන විට එකතු වන ලිපි ප්‍රමාණය ලක්ෂ 160 ක් පමණ වනු ඇති බවද මෙහිදී කියැවුණා ෴


කිලෝමීටර් හතරක් (04) මහ මුහුදට ගසාගෙන ගිය විදේශිකයා බේරාගනී

(30.08.2025 – hirunews.lk)

පොතුවිල් කොට්ටුහල් මුහුදු තීරයේ ‘ස්කයි සර්ෆ්’ ක්‍රීඩාවේ නිරතව සිටි ස්වීඩන් ජාතිකයෙක් හදිසියේ ඇතිවූ සුළං තත්ත්වයක් හේතුවෙන් ඊයේ (29) කිලෝ මීටර් 04 ක් පමණ මුහුදට ගසාගෙන ගොස් ජලයට ඇද වැටී තිබෙනවා.

වයස අවුරුදු 40 ක් වන ජොනාස් මැරයින් නැමැති මෙම ස්වීඩන් ජාතික සංචාරකයා ‍දියේ ගිලී අනතුරට ලක්වීමේ අවදානමක්ද මෙහිදී ඇති වී තිබුණා.

මෙම අනතුර දුටු කොට්ටුහල් වෙරළේ රැඳී සිටි පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් වන පොලිස් සැරයන් රුවන් (63382), කොස්තාපල්වරු වන තරිඳු (96886) සහ කුමාර (96976) නිලධාරීන් විසින් මුහුදේ අනතුරට ලක්ව සිටි ස්විඩන් ජාතිකයා බේරාගෙන ගොඩබිමට රැගෙන විත් තිබෙනවා ෴


ඊජිප්තු තරුණියකට අතවර කළ සල්ලාලයා මාට්ටු

(30.08.2025 – hirunews.lk)

මෙරට සංචාරයක නිරත ඊජිප්තු ජාතික 19 හැවිරිදි තරුණියකට අම්බලන්තොට බස් නැවතුම්පොළ අසලදී ලිංගික අතවරයක් කළ පුද්ගලයෙක් පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අම්බලන්තොට මෝදරවිල පදිංචිකරුවෙක් වන 43 හැවිරිදි පුද්ගලයෙක් මෙසේ අත්අඩංගුවට ගත් බව අම්බලන්තොට පොලිසිය සඳහන් කළා ෴


පොලිසියේ අනීතික ක්‍රියා ගැන පැමිණිලි කිරීමට වෙනම ඒකකයක්

(30.08.2025 – hirunews.lk)

පොලිස් ස්ථානාධිපතිවරු ඇතුළු පොලිසියේ ඉහළ නිලධාරීන් සිදුකරන අනීතික හා විෂමාචාරි ක්‍රියාවන් ගැන පැමිණිලි කිරීම සඳහා වෙනම ඒකක ස්ථාපිත කිරීමට පොලිස් මූලස්ථානය සැලසුම් කර තිබෙනවා.

පොලිස් මූලස්ථාන ආරංචිමාර්ග සඳහන් කළේ, අල්ලස් ඉල්ලීම්, ව්‍යාපාරිකයන්ගෙන් මුදල් ලබාගැනීම්, සාමාන්‍ය ජනතාවගේ පැමිණිලි භාර නොගැනීම, මෙන්ම භාරගෙන ඇති පැමිණිලි සම්බන්ධයෙන් ක්‍රියාත්මක නොවීම් ඇතුළු වැරදි සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට මෙම ඒකක ස්ථාපිත කරන බවයි.

‘වලාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය’ මෙන් විශේෂ ඒකක ලෙස මෙය ස්ථාපිත කිරීමටයි සාකච්ඡා වී ඇත්තේ ෴


රනිල්ගෙන් 06 වෙනිදා විශේෂ ප්‍රකාශයක්

(30.08.2025 – hirunews.lk)

හිටපු ජනාධිපති, එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ විසින් ලබන 06 වෙනිදා විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බව වාර්තා වෙනවා.

ඵදිනට යෙදී තිබෙන එක්සත් ජාතික පක්ෂයේ 79 වෙනි සංවත්සර උත්සවයේදී රනිල් වික්‍රමසිංහ විසින් මෙම ප්‍රකාශය සිදු කිරීමට නියමිතව තිබෙන බවද වාර්තා වනවා.

වර්තමානයේ රට හමුවේ පවතින අභියෝග ඇතුළු කරුණු කාරණා රැසක් මෙම විශේෂ ප්‍රකාශයට ඇතුළත් කිරීමට නියමිත බවත් ඒ සම්බන්ධයෙන් දැනට විවේකී සුවයෙන් නිවසට වී ගත කරන රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂයේ සෙසු ජ්‍යෙෂ්ඨයන් සමග සාකච්ඡා කරමින් සිටින බවද දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වැඩිදුරටත් වාර්තා වෙනවා ෴


30.08.2025 දින සුව මෙහෙය සහ ආශිර්වාදය | අනුරාධපුර අප්පච්චි සුව මැදුරේ සිට

සුව මෙහෙය පවතින දවස් : සිකුරාදා – දරුසම්පත්, සෙනසුරාදා සහ ඉරිදා – සියලුම ලෙඩ රෝග සඳහා (සියල්ල නොමිලේ !)

(31.08.2025 (ඉරිදා) උදෑසන සජීව යූ-ටියුබ් විකාශයක් තිබේවි – අමරසර)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *