‘බනා මන්ත්‍රී’ ඝාතනයේ සැකකරු සියල්ල වමාරයි

‘බනා මන්ත්‍රී’ ඝාතනයේ සැකකරු සියල්ල වමාරයි


‘බනා මන්ත්‍රී’ ඝාතනයේ සැකකරු සියල්ල වමාරයි

(15.08.2025 – 11:32 +0530 – sinhala.adaderana.lk)

හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ‘ශාන්ත මුදුන්කොටුව’ හෙවත් ‘බනා මන්ත්‍රී’ නැමැත්තා ඝාතනය සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රැසක් බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය මඟින් අනාවරණ කරගෙන තිබේ.

ඒ අත්අඩංගුවට ගත්, අදාළ ඝාතනයේ මෝටර් රථය පැදවූ රියදුරාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදීය.

‘ලලිත් කන්නන්ගර’ හෙවත් ‘බස් ලලිත්’ අදාළ ඝාතනය වෙනුවෙන් තමන්ට රුපියල් ලක්ෂ 3 ක මුදලක් ලබාදෙන බවට පොරොන්දු වූයේයැයි ඔහු එහිදී පවසා තිබේ.

‘බස් ලලිත්’ තමන් අමතා “ශාන්ත මගේ යාළුවා. ඒ වුණාට ඌට ගහන්න ඕනේ. ඌ රෙස්ටූරන්ට් එකක් හදනවා. ඒකට ඉන්ටර් ලොක් ගල් අල්ලන්න ඕන කියලා ‘ලලිත් අයියා’ කිව්වා කියපන්. ඒකට ගෙනාපු බඩු බාන්න ඕනේ කියලා ‘ශාන්ත’ට කෝල් කරපන්. පස්සේ ලොකේෂන් එක එව්වම, එහෙම එන්න අමාරුයි, ඇවිල්ලා පාර පෙන්නන්න කියපන්. එහෙම ආවාම ගහපන්” කියලා මට ‘ලලිත් අයියා’ කිව්වා” යනුවෙන් සැකකරු පොලිසිය හමුවේ අනාවරණ කර තිබුණි.

එම උපදෙස් අනුව තමා ‘බනා මන්ත්‍රී’ව ගෙන්වාගෙන ඔහු පසුපස හඹාගොස් සැලසුම ක්‍රියාත්මක කළ බව සැකකරු වැඩිදුරටත් පවසා තිබේ.

එමෙන්ම වෙඩික්කරු සම්බන්ධයෙන් කිසිඳු තොරතුරක් තමන් නොදන්නා බවත් ඔහුව ප්‍රවාහනය කිරීම පමණක් සිදුකළ බවත් සැකකරු පවසා ඇති බව වාර්තා වේ.

‘බස් ලලිත්’ විසින් ඔහුගේ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම සඳහා තමන්ට ලබාදී තිබූ මෝටර් රථයෙන් ගොස් ඝාතනය සිදුකිරීමට සූදානම් වුවද, එහි හටගත් කාර්මික දෝෂයක් හේතුවෙන් වෙනත් මෝටර් රථයක් භාවිත කළ බව සැකකරු පොලීසිය හමුවේ පවසා තිබේ.

ඒ අනුව විශේෂ විමර්ශන කාර්යාංශයේ බුද්ධි තොරතුරු මත බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය මඟින් අදාළ මෝටර් රථය අද සිය භාරයට ගත් අතර එහිදී අනාවරණ වී තිබුණේ එයද ව්‍යාජ ලිපිලේඛන මඟින් ලියාපදිංචි කළ එකක් බවය.

ඝාතනය වූ ‘බනා මන්ත්‍රී’ නැමැත්තා ‘බස් ලලිත්’ සමග සමීප සබඳතාවක් පවත්වා ඇති අතර ‘බස් ලලිත්’ ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් කප්පම් ලබාගැනීම සඳහා තර්ජන සිදුකරන අවස්ථාවලදී ඒ පිළිබඳව ව්‍යාපාරිකයන් විසින් ‘බනා මන්ත්‍රී’ නැමැත්තාට දැනුම්දීමෙන් අනතුරුව ඔහු මැදිහත්වී එම කප්පම් මුදල් ලබානොගන්නා ලෙස ‘බස් ලලිත්’ගෙන් ඉල්ලීම් කර ඇතැයිද වාර්තා වේ.

ඒ අනුව අවශ්‍ය පරිදි කප්පම් ලබාගැනීමට නොහැකි වීම නිසා ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් තවදුරටත් බියගැන්වීමේ අරමුණින් ‘බස් ලලිත්’ නැමැත්තා විසින් මෙම ඝාතනය සිදුකර ඇති බවට තොරතුරු ලැබී ඇතැයිද පොලීසිය සඳහන් කළේය.

මේ අතර බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසයේ රඳවාගෙන ප්‍රශ්න කරනු ලබන සැකකාර රියදුරාගෙන් සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී ඔහු පවසා ඇත්තේ, ‘කොටහැර පොඩ්ඩා’ට හා ‘දෙමටගොඩ රුවන්’ට වෙඩිතැබීමට තැත්කිරීමේ සිද්ධිවල ද යතුරුපැදිකරු ලෙස තමන් කටයුතු කළ බවය.

සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය මඟින් සිදුකරයි.

+


ගුවන් තොටුපොළේ ආරක්ෂක නිලධාරියෙක් ගිනිඅවි සමග කොටුවෙයි

(15.08.2025 – 11:58 +0530 – sinhala.adaderana.lk)

මිනුවන්ගොඩ රෝහල ආසන්න ප්‍රදේශයේ නිවසක තිබී ටී-56 ගිනිඅවි සහ පතරොම් රැසක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

මිනුවන්ගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරුතුරක් මත අද (15) දිනයේ දී සිදුකළ වැටලීමකදී මෙම ගිනිඅවි සහ පතරොම් සොයාගෙන තිබුණි.

සැකකරු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලෙහි ආරක්ෂක නිලධාරියෙකු ලෙස සේවය කරන අතර, ඔහු මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි අවුරුදු 45 හැවිරිදි අයෙකි.

සැකකරු සන්තකයේ තිබී ටී-56 ගිනිඅවියක් (01), ටී-56 ගිනි අවියට යොදන මැගසිනයක් (01), ටී-56 පතොරම් 14 ක්, පිස්තෝල අවි 01 ක් හා එම මැගසින් 01 ක්, 2.5 mm පතොරම් 09 ක්, 9mm පතොරම් 09 ක්, පිස්තෝල හා රිවෝල්වරි වර්ගයේ ගිනිඅවි 02 ක්, කඩු 03 ක් සහ කිනිසි 02 ක් සොයා ගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් මිනුවන්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

+++

+


ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වෙයි

(15.08.2025 – 12:07 +0530 – sinhala.adaderana.lk)

හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වන ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වී තිබේ.

පවුලේ ආරංචි මාර්ග සඳහන් කළේ අසනීප තත්ත්වයක් මත කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත්ව ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මිය ගිය බවය.

මියයන විට ඔහු 57 වැනි වියෙහි පසුවිය ෴


හිටපු අමාත්‍ය විමල් වීරවංශ CIDයට

(15.08.2025 – hirunews.lk)

ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු අමාත්‍ය විමල් වීරවංශ මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ සිටිනවා.

ඔහු මෙලෙස පැමිණ ඇත්තේ එම දෙපාර්තමේන්තුවෙන් ලද කැඳවීමකට අනුවයි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමා සිදුකළ ප්‍රකාශයකට අදාළව මෙලෙස කැඳවන්නට ඇති බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඇතුලුවීමට පෙර හිටපු අමාත්‍ය විමල් වීරවංශ මාධ්‍ය හමුවේ කියා සිටියේ.

+++

+++

+


මහරගම ගිනි විජ්ජුම්බරයයි – මෙන්න දර්ශන | අරගලකරුවන්ගේ වේදිකාව කුඩු පට්ටම් | පොලීසියත් හොඳටම පැටලෙයි (15.08.2025)

+


ඉන්දීය අග්‍රාමාත්‍යවරයා විවෘත කළ දඹුල්ලේ උෂ්ණත්ව පාලිත කෘෂිකර්ම ගබඩාවේ ලයිට් කපලා

(15.08.2025 – hirunews.lk)

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදී විවෘත්ත කෙරුණු දඹුල්ලේ උෂ්ණත්ව පාලිත කෘෂිකර්ම ගබඩාවේ විදුලිය විසන්ධි කර ඇති බව අද (15) එහි නිරීක්ෂණයකට ගිය විපක්ෂයේ දේශපාලන නායකයන් පිරිසකට අනාවරණය කරගත හැකි වී තිබෙනවා.

නව ජනතා පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාර ප්‍රකාශ කරන්නේ ඊට හේතුව එම ගබඩාවට අධික විදුලි බිලක් ලැබී තිබීම බවයි.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් පසුගිය දා විවෘත කරන්නට යෙදුණ දඹුල්ලේ, උෂ්ණත්ව පාලිත කෘෂිකර්ම ගබඩාවේ සේවා ආරම්භයට පෙරම රු. 8,409,000 ක විදුලි බිලක් ලැබී ඇතැයිද එම පිරිසට අනාවරණය කරගත හැකි වී තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වාගේ යෝජනාවකට අනුව මීට වසර කිහිපයකට ඉහතදී ඉන්දියානු රජයේ ආධාර ඇතිව මෙම උෂ්ණත්ව පාලිත කෘෂිකර්ම ගබඩාව ඉදිකරනු ලැබුවා.

ඒ අනුව එහි විවෘත කිරීම පසුගිය අප්‍රේල් මස 05 වෙනිදා ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආරාධනයෙන් ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි දුරස්ථ පාලකයක් උපයෝගී කරගනිමින් විවෘත කරනු ලැබුවා.

එදා සිට අද දක්වාම එහි සේවා කටයුතු සිදුනොවීම පිළිබඳව සොයා බැලීම සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන උදය ගම්මමන්පිල, සංජීව එදිරිමාන්න, ප්‍රේමනාත් සී. දොළවත්ත, සුගීෂ්වර බණ්ඩාර, නිමල් පියතිස්ස, දඹුල්ල හිටපු නගරාධිපති ජාලිය ඕපාත ඇතුළු පිරිසක් බස් රථයකින් එහි පැමිණියා.

එහිදී කෘෂිකර්ම උෂ්ණත්ව පාලිත කෘෂිකර්ම ගබඩාවේ ගේට්ටු වසා දමා තිබෙනු දක්නට ලැබුණු අතර, පසුව එහි මුරකරු සම්බන්ධ කරගනිමින් හිටපු මන්ත්‍රී පිරිස ගබඩා පරිශ්‍රයට ඇතුළු වී තිබූ අතර එම අවස්ථාවට එක්වූ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් පෙන්වා දෙන්නේ මෙම ආහාර සුරක්ෂිත ගබඩාව ඉක්මනින්ම ක්‍රියාත්මකකර ගොවි ජනතාවගේ නිෂ්පාදන ගබඩා කිරීමට කඩිනමින් ක්‍රියා කළයුතු බවයි.

+++

ලංකාවට ආ මෝදිට කළේ බොරුවක් ද ? විවෘත කළාට තාම වැඩ නෑ විදුලිය නෑ – රටවල් අතර යුද්ධ ඇතිවෙන්න පුළුවන් වැඩ මේ (15.08.2025)

+


අත්අඩංගුවට පත් පොලිස් නිලධාරියාගේ පැටිකිරිය එළියට (15.08.2025)

+


අලුත් පොලිස්පතිගේ කතාවෙන් ගම්මන්පිලලා හොඳටම ඇවිස්සෙයි | කරුණාකරලා ඒ නම් හෙළිකරන්න… (15.08.2025)

+


නීති විරෝධී ලෙස ගෙන්වූ ලුනු කන්ටේනර් තොගය ප්‍රති අපනයනය කරනවා – රේගු මාධ්‍ය ප්‍රකාශක

(15.08.2025 – hirunews.lk)

නීති විරෝධී ආකාරයෙන් මෙරටට ගෙන්වන ලද ලුනු කන්ටේනර් 400 ට අධික ප්‍රමාණය ප්‍රතිඅපනයනය කිරීමට කටයුතු කරන බව අතිරේක රේගු අධ්‍යක්‍ෂ, රේගු මධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ පවසනවා.

අප කළ විමසීමකට පිළිතුරු ලබාදෙමින් හෙතෙම මේ බව පැවසුවා.

නියමිත දිනවලට අනුකූල නොවන ආකාරයට නීති විරෝධී ලෙස එම සීමාවලින් ඔබ්බට ගොස් මෙම ලුනු කන්ටේනර් ගෙනවිත් ඇති බවත් ලුනු ආනයනයකරුවන් ඒවාට අතිරේක ගාස්තු ගෙවමින් සිටින බවත් ප්‍රතිඅපනයනය කිරීමේ කටයුතු ද එම ආනයනකරුවන්ටම පැවරීමට කටයුතු කර ඇති බවත් රේගු අතිරේක අධ්‍යක්ෂ, රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා තවදුරටත් පවසනවා ෴


හඳුනා නොගත් මත්කරල් 600 ක් සමඟ සිව්දෙනෙක් (4) අත්අඩංගුවට

(15.08.2025 – hirunews.lk)

කළුතර සහ ගල්පාත ප්‍රදේශවල පදිංචි පුද්ගලයන් සිව්දෙනකු (4) හඳුනා නොගත් මත් කරල් 600 ක්, ‘අයිස් මත්ද්‍රව්‍ය’ සහ ‘හෙරොයින්’ සමඟ කළුතර අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බස්නාහිර පළාත් කළුතර බුද්ධි නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකළ බවයි පොලිසිය සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සන්තකයේ තිබී ‘අයිස් මත්ද්‍රව්‍ය’ මිලිග්‍රෑම් 6,800 ක් සහ ‘හෙරොයින්’ මිලිග්‍රෑම් 60 ක් ද සොයාගැනීමට වැටලීම සිදුකළ නිලධාරීන් සමත්ව තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *