කිසිදු ලියවිල්ලක් නැතිව රැඳවියන් 30 දෙනෙකු බන්ධනාගාරවලින් නිදහස් කරලා

කිසිදු ලියවිල්ලක් නැතිව රැඳවියන් 30 දෙනෙකු බන්ධනාගාරවලින් නිදහස් කරලා


කිසිදු ලියවිල්ලක් නැතිව රැඳවියන් 30 දෙනෙකු බන්ධනාගාරවලින් නිදහස් කරලා

(20.06.2025 – 20:52 +0530 – sinhala.adaderana.lk)

කිසිදු ලියවිල්ලක් නොමැතිව රැඳවියන් 30 දෙනෙකු බන්ධනාගාරවලින් නිදහස් කර ඇති බව ‘අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව’ සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී තිබේ.

ජනාධිපති සමාව අනීතිකව යොදාගනිමින් බන්ධනාගාර රැඳවියන් නිදහස් කිරීම සම්බන්ධයෙන් ‘අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව’ මේවන විටත් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර එහිදී මේ සම්බන්ධව හෙළිවී ඇත.

ඊට අදාළව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය ද මේ වනවිටත් සිටින්නේ බන්ධනාගාරගතවය.

නිදහස් කර ඇති එම පිරිස විවිධ කාණ්ඩ යටතේ නිදහස් කර ඇති අතර ඔවුන් නිදහස් කර ඇත්තේ, කුමන පදනමකින්ද යන්න පිළිබඳ ද සොයා බලන බව විමර්ශන නිලධාරීන් පවසයි.

මෙවන් පසුබිමක ‘මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජයපාල’ පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ, ජනාධිපති සමාව හිමිවූ පුද්ගලයන් 37 දෙනෙකු නිදහස් නොකිරීම සම්බන්ධයෙන් ද වාර්තාවී ඇති බවය.

මේ අතර ‘බන්ධනාගාර දෙපාර්තමේන්තුව’ පුළුල් ප්‍රතිසංවිධානයකට ලක් කිරීමට අධිකරණ අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබේ.

සියලුම බන්ධනාගාර අධිකාරීවරු එළැඹෙන 23 වනදා කොළඹට කැඳවා විෂයභාර අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවද වාර්තා වේ.

එදිනම පස්වරුවේ ‘වැඩබලන බන්ධනාගාර කොමසාරි ජනරාල්වරයා’ගේ ප්‍රධානත්වයෙන් තවත් සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය.

‘බන්ධනාගාර දෙපාර්තමේන්තුව’ මුහුණදී ඇති වත්මන් තත්ත්වය පිළිබඳ එහිදී අවධානය යොමුකිරීමට නියමිතව ඇත.

එමෙන්ම ඉදිරියේදී සියලුම ‘බන්ධනාගාර අධිකාරීවරුන්’ට ස්ථාන මාරුවීම් ලබාදීමට නියමිත බවද වාර්තා වේ ෴


හිටපු ජනපති මෛත්‍රීට එරෙහිව මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණිල්ලක්

(20.06.2025 – 21:55 +0530 – sinhala.adaderana.lk)

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව මුදල් අවභාවිත කිරීමේ සිද්ධියක් සම්බන්ධව පැමිණිල්ලක් ‘එප්පාවල සමූපකාර සමිතියේ උප සභාපති ලක්ෂ්මන් ජයවර්ධන’ විසින් මූල්‍ය අපරාධ කොට්ඨාසයට ඉදිරිපත් කර තිබේ.

ඒ පසුගිය 2019 වසරේදී එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ‘එප්පාවල සමුපකාර සමිතිය’ට අයත් භූමියක ගොඩනැගිල්ලක් ඉදිකිරීම වෙනුවෙන් ජනාධිපති අරමුදලින් රුපියල් දෙකෝටි හැත්තෑපන් ලක්ෂයක (2,75,00,000) මුදලක් අවභාවිත කිරීමේ සිදුවීමක් අනුවය.

පැමිණිලිකරු සිය පැමිණිල්ල මගින් දන්වා ඇත්තේ එප්පාවල සමුපකාර සමිතිය මගින් 2017 වසරේදී සම්මන්ත්‍රණ ශාලා ගොඩනැගිල්ලක් ලබා දෙන ලෙසට ඉල්ලීමක් කළ බවත් ඒ අනුව මෛත්‍රීපාල සිරිසේන මහතා සිය ජනාධිපති ධුරය දැරූ 2019 වසරේ ජනවාරි මස එම ගොඩනැගිල්ල ඉදිකිරීමේ කටයුතු ආරම්භ කළ බවත්ය.

ඊට අදාළ ගොඩනැගිල්ල ඉදිකිරීම වෙනුවෙන් එහි තිබූ කඩකාමර 07 ක් කඩා ඉවත් කර ඇති බවත් එහි තිබූ වටිනා දොර, ජනෙල්, උළුවහු, සීට් ඇතුළු භාණ්ඩ ද අස්ථානගත වී ඇති බවත් උප සභාපතිවරයා සිය පැමිණිල්ලේ සඳහන් කර තිබේ.

තවද උත්සව ශාලා ගොඩනැගිල්ලක් ඉදිකිරීම වෙනුවෙන් අදාළ ඉඩම ලබාගෙන තිබෙන බවත් ඒ සඳහා රුපියල් කෝටි 13 ක මුදලක් ඇස්තමේන්තුගත කර තිබූ බවත් පෙන්වා දෙන පැමිණිලිකරු එම ගොඩනැගිල්ල ඉදිකිරීමට යුද හමුදාවේ ශ්‍රම දායකත්වය ලබා ගැනීමට තීරණය කළ බැවින් රුපියල් හත් කෝටි හැත්තෑ තුන් ලක්ෂයකට (7,73,00,000) මෙහි ඉදිකිරීම් ආරම්භ කළ බවත් සිය පැමිණිල්ල මගින් පෙන්වා දී තිබේ.

ගොඩනැගිල්ල ඉදිකිරීම් ආරම්භ කිරීම වෙනුවෙන් පළමු අදියර යටතේ රුපියල් දෙකෝටි පනස් ලක්ෂයක (2,50,00,000) මුදලක් ලබා දී තිබෙන බවත් මේ වන විට ගොඩනැගිල් ඉදිකිරීමේ කටයුතු අතරමග නතර වී තිබෙන බවත් සඳහන් කර ඇති පැමිණිලිකරු පෙන්වා දී ඇත්තේ මෙහි මුදල් අවභාවිත කිරීමක් සිදුව තිබෙන බැවින් අදාළ ගොඩනැගිල්ල ලබා ගැනීමට ප්‍රශ්නයක් වී ඇති බවය.

පැමිණිලිකරුවන ලක්ෂ්මන් ජයවර්ධන මහතා පැවසුවේ නව ගොඩනැගිල්ල ඉදිකිරීමට පෙර පැවැති කඩ කාමරවල තිබූ භාණ්ඩ කවුරුන් විසින් රැගෙන ගියේද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති බවත් මේ සම්බන්ධව කඩිනමින් පරීක්ෂණයක් පවත්වන ලෙස දන්වමින් තමන් මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණිල්ලක් ඉදිරිපත් කළ බවය ෴


සිඟමන් යදින සහ අනාරක්ෂිත ලෙස භාණ්ඩ අළෙවි කරන බාල වයස්කාර දරුවන් භාරයට ගැනීම සඳහා මෙහෙයුමක්

(20.06.2025 – hirunews.lk)

‘ළමා හා කාන්තා අපයෝජන නිවාරණ හා විමර්ශන කාර්යංශ මූලස්ථානය’ හා ‘ජාතික ළමා ආරක්ෂක අධිකාරිය’ මගින් සිඟමන් යදිමින් සහ භාණ්ඩ අළෙවි කරමින් අනාරක්ෂිත ලෙස ගැවෙසෙන බාල වයස්කාර දරුවන් භාරයට ගෙන නිසි භාරකාරත්වයකට පත්කිරීම සඳහා අද (19) විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබෙනවා.

කොළඹ උතුර, කොළඹ දකුණ, කොළඹ මධ්‍යම, නුගේගොඩ, ගම්පහ, පානදුර, කැළණිය, මීගමුව, ගල්කිස්ස, කළුතර, තංගල්ල අනුරාධපුර, මහනුවර, කුරුණෑගල, හලාවත, රත්නපුර, ගාල්ල හා මාතර යන පොලිස් කොට්ඨාස වල ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යංශවල නිලධාරීන් යොදවා එම කොට්ඨාසයන්හි ජනාකීර්ණ ප්‍රදේශවල හා මහජනතාව ගැවසෙන වෙළදසැල් සාප්පු සංකීර්ණ, සංඥා පහන් ස්ථාපිතකර ඇති ස්ථාන ආවරණය වන පරිදි මෙම මෙහෙයුම දියත් කර ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී සිඟමන් යදිමින් සහ භාණ්ඩ අළෙවි කරමින් අනාරක්ෂිත ලෙස ගැවෙසෙන ලද බාල වයස්කාර දරුවන් 21 දෙනෙකු භාරයට ගෙන ඇති අතර ඔවුන් සුදුසු භාරකාරත්වයට පත්කිරීමට කටයුතු කර තිබෙනවා ෴


‘හෑෂ් මත්ද්‍රව්‍ය’ කිලෝග්‍රෑම් 7 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

(20.06.2025 – hirunews.lk)

‘කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ’ නිලධාරීන්ට ලද තොරතුරක් අනුව මෝදර, ලෙල්ලම ප්‍රදේශයේ කළ වැටලීමකදී ‘හෑෂ් මත්ද්‍රව්‍ය’ කිලෝග්‍රෑම් 7 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුගේ නිවස පරික්ෂා කිරීමේදී තවත් ‘හෑෂ් මත්ද්‍රව්‍ය’ කිලෝග්‍රෑම් 9 ක්,පාසල් සිසුන් ඉලක්ක කර අලෙවි කිරීමට සූදානම් වූ මත්පෙති දහසකට (1000) අධික ප්‍රමාණයක් සහ කේරළ ගංජා ග්‍රෑම් 750 ක් පොලිස් භාරයට ගෙන ඇති අතර එම මුළු මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් එක්කෝටි හැත්තෑපන් ලක්ෂයකට (1,75,00,000) අධික බව පොලිසිය සඳහන් කළා.

සැකකරු, දැනට විදේශගතව සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘බ්ලූමැන්ඩල් රවී’ගේ ගෝලයෙක් බවට අනාවරණය වී ඇති අතර රැඳවුම් නියෝග මත සැකකරුගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීමට නියමිතයි.

+


ජූලි 01 වෙනිදා සිට වාහනවලින් ගැලවෙන ගැජට් – ‘ගැසට් එකේ විදිහට කෑලි ගැලවීම කරන්න’ – සංගම් කියයි (20.06.2025)

+++

+


Online ණය මාෆියාවේ තවත් ප්‍රබල අනාවරණයක් | program එකට ඇවිල්ලා මූණ පෙන්නුවා නම් මුන් මාව මරලා දානවා (20.06.2025)

+


ව්‍යාජ මුදල් නෝට්ටු සමග තරුණයෙකු අත්අඩංගුවට

(21.06.2025 – hirunews.lk)

හතරලියද්ද පොලිස් වසමේ වෙළෙඳසැලකට පැමිණි පුද්ගලයෙකු ව්‍යාජ රුපියල් 5000 මුදල් නෝට්ටුවක් ලබාදීමක් සම්බන්ධයෙන් හතරලියද්ද පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විමර්ශන සිදුකර ව්‍යාජ මුදල් නෝට්ටු සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු ඊයේ (20) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු සන්තකයේ තිබී රුපියල් 5000 ව්‍යාජ මුදල් නෝට්ටු 03 ක්, රුපියල් 500 ව්‍යාජ මුදල් නෝට්ටු 02 ක්, රුපියල් 100 ව්‍යාජ මුදල් නොට්ටු 02 ක් හමුවී ඇති බව පොලිසිය පවසනවා.

එමෙන්ම සැකකරුගේ නිවස පරීක්ෂා කිරීමේදී ව්‍යාජ රුපියල් 50 නෝට්ටු මුද්‍රණය කරන ලද මුද්‍රිත කඩදාසි 09 ක්, ව්‍යාජ රුපියල් 100 නෝට්ටු මුද්‍රණය කරන ලද මුද්‍රිත කඩදාසි 04 ක්, ව්‍යාජ රුපියල් 500 නෝට්ටු මුද්‍රණය කරන ලද මුද්‍රිත කඩදාසි 04 ක්, ව්‍යාජ රුපියල් 5000 නෝට්ටු මුද්‍රණය කරන ලද මුද්‍රිත කඩදාසි 06 ක් තිබී සොයාගෙන තිබෙනවා.

සැකකරු වයස අවුරුදු 32 ක් වන උඩුව, මහනුවර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මෙම ව්‍යාජ මුදල් නොට්ටු මුද්‍රණය කල සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන නිලධාරීන් ගලගෙදර ප්‍රදේශයේ පිහිටි ආයතනයකට ගොස් ඇති අතර, සැකකරු එම අවස්ථාවේ ආයතනයේ සිට නොමැති බවත්, මුදල් නෝට්ටු මුද්‍රණය සඳහා යොදාගත් පරිඝණක යන්ත්‍රයක් හා මුද්‍රණ යන්ත්‍රයක් අත්අඩංගුවට ඇති බවත්, පොලිසිය පවසනවා.

හතරලියද්ද පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා ෴


අපි දෙන්නගෙ කතාව තවදුරටත් හංගන්න ඕනෙ නෑ කියලා හිතුණා | පෙම්වතාගෙ හදිසි මියයාමෙන් මට ජීවිතේ ගැන වැටහුණා (19.06.2025)

+


හය-හතර නොදත් මල් කැකුළු වෙනුවෙන් ආණ්ඩුව කරපු සුපිරිම වැඩේ | වෛද්‍යවරුත් පුදුම සතුටෙන් (21.06.2025)

+


වාහන 15,000 ක අංක තහඩු මුද්‍රණයට ගොඩගැසේ

(21.06.2025 – hirunews.lk)

වාහන අංක තහඩු මුද්‍රණය කිරීම මාසයක පමණ කාලයක් අඩාලවීම නිසා මේ වන විට වාහන 15,000 ක පමණ අංක තහඩු මුද්‍රණය කිරීම සදහා ගොඩගැසී ඇති බව මෝටර් ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ පවසනවා.

ඔහු කියා සිටියේ, අදාළ මුද්‍රණ සමාගමට මුදල් ගෙවීමේ ප්‍රමාද වීමක් මත පසුගිය අප්‍රේල් 30 වැනිදා සිට අංක තහඩු මුද්‍රණය කිරීමේ කටයුතු නවතා දමා ඇති බවයි.

කෙසේ වෙතත්, අංක තහඩු මුද්‍රණය කිරීම සඳහා නව සමාගමක් තෝරා ගැනීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය ආරම්භ කර ඇති බවත් මේ වන විට සමාගම් පහළොවක් (15) ඒ සඳහා ඉදිරිපත්ව තිබෙන බවයි මෝටර් රථ ප්‍රවාහන ජනරාල් කමල් අමරසිංහ වැඩිදුරටත් සදහන් කළේ ෴


ඉරානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට විශේෂ නිවේදනයක්

(21.06.2025 – 14:02 +0530 – sinhala.adaderana.lk)

ඉරානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් වෙත ‘විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය’ විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි සඳහන් ව ඇත්තේ ඉරානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් ඉන් ඉවත් වීමට කැමැත්තක් දක්වන්නේ නම් ඔවුන්ගේ ගුවන් ගමන් සම්බන්ධයෙන් පහසුකම් සැලසීමට ශ්‍රී ලංකා රජය ඉන්දීය රජය සමග කටයුතු කර ඇති බවය.

ඒ අනුව ඉරානයෙන් පිටවීමට අපේක්ෂා කරන ඕනෑම ශ්‍රී ලාංකිකයෙකුට ‘ටෙලිග්‍රෑම් නාලිකාව’ හරහා හෝ පහත සඳහන් හදිසි ඇමතුම් අංක ඔස්සේ ‘ටෙහෙරාන් හී පිහිටි ඉන්දීය තානාපති කාර්යාලය’ සමග සම්බන්ධ විය හැකිය.

ඒ අනුව +98 901 014 4557, +98 912 810 9115, +98 912 810 9109 යන දුරකතන අංක ඇමතීමෙන් ඉන්දීය තානාපති කාර්යාලය සමග සම්බන්ධ විය හැකිය.

තවද පහත සඳහන් අංක ඔස්සේ ‘ඉරානයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය’ සමග ද සම්බන්ධ විය හැකි බව ‘විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය’ නිවේදනය කර තිබේ.

+98 939 205 5161, +98 991 205 7522 (සිංහල / ඉංග්‍රීසි), +98 936 636 0260

+++

ඊජිප්තුව හරහා එන ලාංකිකයින්ට ඊශ්‍රායලයේ වලංගු වීසා අනිවාර්යය කෙරේ

(21.06.2025 – 12:18 +0530 – sinhala.adaderana.lk)

පවතින තත්ත්වය හමුවේ ඊශ්‍රායලයේ සිට ඊජිප්තුව හරහා ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයින් සතුව ඊශ්‍රායලයේ වලංගු වීසා බලපත්‍රයක් තිබීම අනිවාර්යය බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසා තිබේ.

ඊශ්‍රායලයේ ටෙල්අවිව් ගුවන්තොටුපල වසා තැබීම හේතුවෙන් එරටින් පිටවීමට අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයින්ට තානාපති කාර්යාලයෙන් අදාළ ලියකියවිලි ලබාගැනීමෙන් පසු ඊජීප්තු දේශ සීමාව හරහා පැමිණිය හැකි බවට ඊශ්‍රායල තානාපති කාර්යාලය මීට පෙර දැනුම්දීමක් සිදුකරන තිබිණි.

කෙසේවෙතත් ඊයේ (20) දිනයේ ඊජිප්තුව දේශසීමා පිවිසුම හරහා ගමන් කර එරට කයිරෝ ගුවන්තොටුපලින් ශ්‍රී ලංකාව බලා යෑමට පිටත්වූ ශ්‍රී ලාංකිකයින් සිව්දෙනා (4) අතර සිටි ඊශ්‍රායලයේ විසා නොමැති ශ්‍රී ලාංකිකයෙකු ඊජීප්තු බලධාරීන්ගේ දීර්ඝ ප්‍රශ්න කිරීම්වලට ලක්ව ඇත.

පසුව ඊජිප්තුවේ ශ්‍රී ලංකා තානාපතිවරයා වෙත ඒ පිළිබඳ දැනුම්දීමෙන් අනතුරුව ඊජිප්තු දේශසීමා හා ආරක්ෂක නිලධාරීන් සමඟ අදහස් හුවමාරු කර ගැනීමට හැකිවූ බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා සඳහන් කළේය.

හදිසි තත්ත්වයක් මත වුව ද ඊශ්‍රායලයේ වලංගු විසා බලපත්‍ර නොමැති හෝ කල් ඉකුත්වූ වීසා බලපත්‍රවලින් විදේශිකයින්ට ඊජිප්තුවට ඇතුළු වීමට නොහැකි වන අතර එලෙස ගමන් කිරීමට උත්සහ කළහොත් දීර්ඝ ප්‍රශ්න කිරිමකට ලක්වීමට මෙන්ම ඇතැම්විට අත්අඩංගුවට පත්වීමට පවා සිදුවිය හැකි බව ඊශ්‍රායල තානාපතිවරයා පෙන්වාදෙයි.

ඒ අනුව ඊශ්‍රායලයේ වීසා නොමැති හෝ වීසා කල් ඉකුත් වූ ශ්‍රී ලාංකිකයින් ඊජිප්තුව හරහා ශ්‍රී ලංකාවට පිටත් නොකෙරෙන අතර ඊශ්‍රායලයේ වලංගු විසා නොමැති පිරිසට ශ්‍රී ලංකාව බලා පිටත්වයාමට ටෙල්-අවිව් ජාත්‍යන්තර ගුවන් තොටුපල විවෘත වනතුරු සිටිය යුතු බව තානාපතිවරයා සඳහන් කළේය.

මේ අතර ඊයේ (20) දිනයේ ද ශ්‍රී ලංකාව වෙත පිටත්ව යාමට තවත් ශ්‍රීලාංකිකයින් දෙදෙනෙකු (2) තානාපති කාර්යාලයට පැමිණ අදාළ ලියකියවිලි ලබාගත් බව තානාපතිවරයා පවසයි ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *