ගාල්ලට කියා චීනෙට යවන්න හැදූ ‘පළිඟු පාෂාණ’ කන්ටේනර් – ‘හිරු CIA’ අනාවරණයකින් හෙළිවෙයි
ගාල්ලට කියා චීනෙට යවන්න හැදූ ‘පළිඟු පාෂාණ’ කන්ටේනර් – ‘හිරු CIA’ අනාවරණයකින් හෙළිවෙයි
(20.06.2025 – hirunews.lk)
චීනයට රැගෙන යෑම සඳහා කොළඹ – සේදවත්ත බහාලුම් අංගනයක නීති විරෝධීව රඳවා තිබු ‘පළිඟු පාෂාණ’ සහිත බහාලුම් 4 අධිකරණ නියෝග මත ‘භූ විද්‍යා කාර්යාංශ නිලධාරීන්’ විසින් යක්කල පිහිටි ඔවුන්ගේ ගබඩා සංකීර්ණයක් වෙත ඊයේ (19) රැගෙන ගියා.
ගාල්ලට රැගෙන යන බවට ව්‍යාජ තොරතුරු ලබාදී චීනයට රැගෙන යෑමට සැලසුම් කළ අදාල ඛණිජ අඩංගු බහාලුම් භූ විද්‍යා නිලධාරීන් සොයාගනු ලැබුවේ ‘හිරු සී.අයි.ඒ.’ කණ්ඩායම ලබාදුන් තොරතුරු මතයි.
මෙරටට ලැබිය යුතු අති විශාල විදේශ විනිමයක් අහිමි කරමින් කලක පටන් චීන ජාතිකයන් විසින් මාතලේ – කවුඩුපැළැල්ලේ පිහිටි මෙම අනාරක්ෂිත ඛණිජ නිධියෙන් වටිනා ‘පළිඟු පාෂාණ’ චීනයට පැන්නීමේ මහා පරිමාන ජාවාරමක් ක්‍රියාත්මකව පැවතියා.
‘භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශ නිලධාරීන්’ගේ සෘජු අධීක්ෂණය යටතේ මෙවැනි ඛණිජ නිධි පවත්වාගෙන යා යුතු වුවත් ‘හිරු සී.අයි.ඒ.’ හරහා මෙම ජාවාරම් පෙන්වා දෙන තෙක්ම ඊට නිසි පියවරක් ගෙන නොතිබීම විමතියට කරුණක්.
එවන් පසුබිමක් මත මාතලේ – කවුඩුපැළැල්ලේ සිට ගාල්ලට ගෙන යන බවට ප්‍රකාශ කර ගාල්ලේ සමාගමක් විසින් පසුගියදා ‘පළිඟු පාෂාණ’ සහිත බහාලුම් 04 ක් චීනයේ කුවීන්ඩාවෝ වෙත හොර රහසේ යැවීමට සැලසුම් කර තිබුණා.
එම බහාලුම් 04 ගාල්ලට ගෙන යන මුවාවෙන් කොළඹ – සේදවත්ත ගබඩා සංකීර්ණයක් වෙත රැගෙන ආ බව ‘හිරු සී.අයි.ඒ.’ දර්ශන සාක්ෂි සහිතව හෙළි කළ අතර, එම බහාලුම් 04 සේදවත්ත බහාලුම් අංගනයේදී ‘භූ විද්‍යා කාර්යාංශ නිලධාරී මඩුල්ලක්’ විසින් පරීක්ෂාවට ලක් කළා.
පරීක්ෂා කිරීම්වලින් පසුව නීති විරෝධීව මෙරටින් පිටකිරීමට ගිය මෙම බහාලුම් 04 පිළිබඳව ග්‍රෑන්ඩ්පාස් පොලිසියට පැමිණිල්ලක් සිදුකර ‘භූ විද්‍යා කාර්යාංශයේ නීති අධ්‍යක්ෂ දර්ශනී සමරවික්‍රම මහත්මිය’ ඇතුළු නීති අංශ නිලධාරීන් කොළඹ අළුත්කඩේ අංක 04 මහේස්ත්‍රාත් අධිකරණයට මේ පිළිබඳ කරුණු වාර්තා කළා.
කාර්යාංශයේ නීතිඥවරිය මහේස්ත්‍රාත්වරයා හමුවේ ප්‍රකාශ කලේ ‘භූ විද්‍යා හා පතල් කාර්යාංශ පනතේ 28 (1) වගන්තිය’ට අනුව ප්‍රවාහනය කිරීම, ගබඩා කිරීම හා අපනයනය කිරීම සදහා බලපත්‍ර ලබාගත යුතු වුවත් එය උල්ලංඝනය කර ඇති බවයි.
සේදවත්ත පෞද්ගලික බහාලුම් අංගනයේ ඇති ඛණිජ බහාලුම් 04 කාර්යාංශය සතු යක්කල ගබඩා සංකීර්ණය වෙත රැගෙනයාමටත් අධිකරණයෙන් ඉල්ලා සිටියා. ඊට අවසර ලබාදුන් මහේස්ත්‍රාත්වරයා නියෝග කලේ අදාළ බහාලුම් එම ගබඩා සංකීර්ණය වෙත රැගෙන යන ලෙසයි.
ඒ අනුව ඊයේ (19) පස්වරුවේ භූ විද්‍යා කාර්යාංශයේ නිලධාරීන් සේදවත්ත බහාලුම් අංගනය වෙත පැමිණ අදාල බහාලුම් 04 රැගෙන ගියා. භූ විද්‍යා කාර්යාංශය සතු යක්කල ගබඩා සංකීර්ණය වෙත ඊයේ (19) පස්වරුවේ රැගෙන ආ බහාලුම් 04 එහි රඳවා තැබීමට මෙලෙස කටයුතු කළා.
මෙම ඛණිජ බහාලුම් පිළිබඳ නඩුව ලබන 26 වැනිදා යළි කැඳවීමට නියමිතයි.
+
දක්ෂිණ අධිවේගයේ වැලිපැන්න සේවා ප්‍රදේශය අනූනව (99) අවුරුද්දකට බදු දී ඇත්තේ රුපියල් දසදහසකටයි (10,000) – සභානායක බිමල්ගෙන් මැතිසබයේදී හෙළිදරව්වක්
(20.06.2025 – hirunews.lk)
විවේක ගැනීම සදහා දක්ෂිණ අධිවේගී මාර්ගයේ, වැලිපැන්න ප්‍රදේශයේ ස්ථාපිත කර ඇති සේවා ප්‍රදේශය ‘අනූනව (99) අවුරුදු බද්දක’ට ලබා දී ඇත්තේ රුපියල් 10,000 ක් වැනි සුලු මුදලකට බව සභානායක අමාත්‍ය බිමල් රත්නායක අද (20) පාර්ලිමේන්තුවේදී අනාවරණය කළා.
ඒ මිල්ලණිය ප්‍රදේශයේ ඉදිකිරීමට සැලසුම් කර තිබූ පැල්පොළ අන්තර් හුවමාරුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන යොමු කළ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්.
මේ අතර, 2029 වසර දක්වා ශිෂ්‍යත්ව විභාගයේ පැවැත්වීමේ වෙනසක් සිදුනොකරන බව අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න ප්‍රකාශ කළා.
ඒ, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර යොමුකර තිබූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් ෴
සිංහරාජ වනාන්තරය හරහා මාර්ගයක් ඉදි කිරීම පිළිබඳ ගොනුකර තිබූ පෙත්සමක් විභාගයට ගැනේ
(20.06.2025 – hirunews.lk)
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පාලන සමයේ ලෝක උරුමයක් වශයෙන් නම් කර තිබෙන ‘සිංහරාජ වනාන්තරය’ හරහා මාර්ගයක් ඉදිකිරීම නීතියට පටහැනි බවට තීන්දු කරන ලෙස ඉල්ලා ගොනුකර තිබූ පෙත්සමක් විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද (20) අවසර ලබා දුන්නා.
‘පරිසර යුක්ති කේන්ද්‍රය’ ඇතුළු පරිසරවේදීන් පිරිසක් විසින් මෙම පෙත්සම ඉදිරිපත් කළා.
මෙම පෙත්සම අද (20) අභියාචනාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග ඉදිරියේ කරුණු තහවුරු කිරීමෙන් අනතුරුව එය ඉදිරියට පවත්වාගෙන යාමට ප්‍රමාණවත් කරුණු තිබෙන බවට තීන්දු කළ විනිසුරුවරයා ඉන් අනතුරුව අදාළ පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබා දුන්නා.
ඒ අනුව අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබූ වන ජීවී අධ්‍යක්ෂ ජෙනරාල්වරයා, මධ්‍යම පරිසර අධිකාරිය, පරිසර අමාත්‍යවරයා, වනජීවී අමාත්‍යවරයා, හිටපු වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ ඇතුළු පිරිසක් වෙත නොතිසි නිකුත් කරන ලෙසත් නියම කළා.
පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ රවින්ද්‍රනාත් දාබරේ අධිකරණය හමුවේ කරුණු දක්වමින් ‘ලෝක උරුමයක්’ ලෙස නම්කර තිබෙන ‘සිංහරාජ සංරක්ෂිත වනාන්තරය’ හරහා මාර්ගයක් ඉදි කිරීමට ගෝඨාභය රාජපක්ෂගේ මැදිහත්වීමෙන් ගනු ලැබූ තීරණය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බව සඳහන් කළා.
‘සිංහරාජ රක්ෂිත වනාන්තර කලාපය’ තුළ නීතියට පටහැනි ලෙස දේශපාලකයින් හා ඔවුන්ගේ හිතවාදීන්ගේ හෝටල් ඉදිකර තිබෙන අතර ඒවාට ගමන් පහසුකම් සැලසීමේ අරමුණින් මෙවැනි මාර්ගයක් ඉදිකර තිබෙන බවට චෝදනා එල්ල වී තිබෙන බවත් නීතිඥවරයා පෙන්වා දුන්නා.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරයා අනතුරුව අදාළ පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබා දුන්නා ෴
වසර 20 කට පසු රු.10 මුද්දර බද්ද රු.20 දක්වා වැඩි කරන්න යෝජනාවක්
(20.06.2025 – hirunews.lk)
2006 අංක 12 දරණ මුද්දර ගාස්තු විශේෂ විධිවිධාන පනත 2006 වසරේ සිට අද දක්වා සංශෝධනය කර නොමැති බැවින් එය සංශෝධනය කිරීමට යෝජනා කර ඇති බව මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම පැවසුවා.
වසර 20 කට ආසන්න කාලයක් සංශෝධනය කර නොමැති මෙම පනත මෙසේ සංශෝධනය කිරීමට යෝජනා කර ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
ඒ අනුව, රුපියල් 1000 කට රුපියල් 10 ක් ලෙස පැවති මුද්දර බද්ද රුපියල් 20 දක්වා වැඩි කිරීමටයි යෝජනා කර ඇත්තේ.
මෙම සංශෝධන යෝජනාව පිළිබඳව අමාත්‍යවරයා පවසා සිටියේ අද (20) පාර්ලිමේන්තුව අමතමින්.
ඒ අනුව, වසර 20 කට පසු සිදු කිරීමට යෝජනා කර ඇති සංශෝධන ගැන ඔහු මෙසේ පැවසුවා,
“ඕනෑම දේපලකට දැනට අය කරන බද්ද විශේෂයෙන්ම කල් බදු මත මුද්දර බදු අය කරනු ලබන රුපියල් 1000 කට රුපියල් 10 ක් වැනි මුදලක් තමයි දැනට ගාස්තුව ලෙස අය කරන්නේ. එම ගාස්තුව රුපියල් 20 ක් දක්වා වැඩි කිරීමට සංශෝධනය කර තිබෙනවා. කෙනෙකුට හිතෙන්න පුළුවන් රජයට අවශ්‍ය අදායම් උපයා ගැනීම සඳහා පුරවැසියාට බර වැඩි කරන්න ද මේ වගේ දේවල් කරන්නේ කියලා. එහෙම අරමුණකින් නෙවෙයි, මේ අන පනත් යාවත්කාලීන කිරීම සඳහා අවශ්‍ය පියවරක් ලෙස තමයි වසර 20 කට වඩා වැඩි ඒ කියන්නේ 2006 තියෙන අන්තිම සංශෝධනයටත් කළින් ඉඳලා තමයි රුපියල් 10 බද්ද ක්‍රියාත්මක වෙන්නේ.
විශේෂ කාරණය තමයි මේ මුද්දර බද්ද අයකර ගන්නේ නිශ්චල දේපල සඳහා පමණයි. මේ ලබා ගන්න බදු මුදල මධ්‍යම ආණ්ඩුව වෙනුවට පළාත් සභාවලට තමයි මේ මුදල් භාර දෙන්නේ. ඒ තුළින් පළාත් සභාවල අවශ්‍ය වැඩ කටයුතු සාර්ථක ලෙස කර ගැනීමට අවශ්‍ය දායකත්වය ලැබෙනවා වගේම මධ්‍යම ආණ්ඩුවට ඒ වෙනුවෙන් යන වැය බර අඩු කර ගනිමටත් මේ තුළින් අවස්ථාව ලැබෙනවා.”
+
ගිනිගත්හේන මහනුවර මාර්ගයේ ධාවනය කළ වාහන 44 ක් තාවකාලිකව ධාවනයෙන් ඉවත්කෙරේ
(20.06.2025 – hirunews.lk)
හැටන් මහනුවර ප්‍රධාන මාර්ගයේ ඊයේ (19) ධාවනය වූ ලංගම, පෞද්ගලික බස් රථ ඇතුළු පෞද්ගලික වාහන 44 ක් තාවකාලිකව ධාවනයෙන් ඉවත් කිරීමට නාරාහේන්පිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ මෝටර් රථ පරික්ෂක එම්.එස්.එල්. චන්දන බණ්ඩාර කටයුතු කර තිබෙනවා.
නුවරඑලිය දිස්ත්‍රික් ප්‍රධාන මෝටර් රථ පර්ක්ෂක ජාලිය බණ්ඩාරගේ ඉල්ලීමක් මත නාරාහේන්පිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වායු විමෝචන පරීක්ෂන අංශයේ නිළධාරීන් සමග පැමිණි මෝටර් රථ පරික්ෂක එම්.එස්.එල්. චන්දන බණ්ඩාර, ගිනිගත්හේන පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු රථවාහන අංශයේ නිළධාරීන් සමග එක්ව ගිනිගත්හේන නාවලපිටිය ප්‍රධාන මාර්ගයේ බගතොලුව ප්‍රදේශයේ දී එම මාර්ගයේ ධාවනය වූ වාහන 115 ක් පරික්ෂා කර තිබුණා.
ගුණාත්මක සහ ආරක්ෂිත ප්‍රවාහන සේවයක් පවත්වාගෙන යාම සහ රිය අනතුරු අවම කිරිමේ අරමුණින් සිදුකළ මෙම පරීක්ෂාවේදි අධික ලෙස වායු විමෝචනය තිබූ වාහාන, අඩුපාඩුකම් සහිතව ධාවනයට නුසුදුසු තත්ත්වයේ තිබූ වාහන සහ මගීන්ගේ ජීවිත වලට අවධානමක් සහිත බස් රථ ඇතුළු වාහනවල සවිකර තිබූ උපාංග ගලවා ඉවත් කිරිමටත් මෙම වාහන පරීක්ෂාවේදි මෝටර් රථ පරික්ෂකවරයා විසින් උපදෙස් ලබා දී තිබෙනවා.
තාවකාලිකව ධාවනය තහනම් කරන ලද වාහන අතර ලංගම සහ පෞද්ගලික බස් රථ 15 ක්ද ඇතුළත්.
ධාවනය තාවකාලිකව තහනම් කරන ලද වාහනවල වාර්ෂික ආදායම් බලපත්‍රය මෝටර් රථ පරීක්ෂකවරයාගේ භාරයට ගැණුනු අතර, එම වාහන අලුත්වැඩියා කර ජුනි 30 වැනිදා වාහන පරීක්ෂා සිදුකළ ස්ථානයටම රැගෙනවිත් යළිත් පරීක්ෂාවට ලක් කළ යුතු බවට සඳහන් ෴
චීන ජාතික රැඳවියන් 85 දෙනෙකු පිටුවහල් කෙරේ
(20.06.2025 – hirunews.lk)
මෙරට රැදී සිටිමින් පරිගණක ඇතුළු විවිධ අපරාධවලට වරදකරුවන් වූ චීන ජාතික රැඳවියන් 85 දෙනෙකු අද (20) අලුයම එරට වෙත පිටුවහල් කර තිබෙනවා.
මොවුන් මෙරට අධිකරණය මගින් වැරදිකරුවන් කිරීමෙන් අනතුරුව බන්ධනාගාර ගත කර සිටි අතර පසුව පිටුවහල් කිරීමේ තීරණය මත වැළිසර පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තුවේ රැදවුම් මධ්‍යස්ථානය වෙත මාරු කර එවා තිබුණා.
බස් රථ 05 කින් මෙම චීන ජාතිකයන් පිරිස කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් තිබූ අතර ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් අද (20) අලුයම චීනයේ ග්වැන්ෂෝ බලා මොවුන් පිටුවහල් කළ බවයි ‘හිරු ගුවන්තොටුපළ වාර්තාකරු’ සදහන් කළේ.
මෙම පිරිස සමග මෙරට පොලිස් නිලධාරීන් 85 දෙනෙකු ඇතුළු ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන්, ශ්‍රී ලන්කන් ගුවන් සේවා ආරක්ෂක නිලධාරීන් 172 මෙම ගුවන් යානයේ ගමන් කර තිබෙනවා ෴
ව්‍යාජ තොරතුරු ඇතුළත් හඬපටවලට නොරැවටෙන්න; ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර
(20.06.2025 – hirunews.lk)
හත් (7) වන දිනටත් ඉරාන – ඊශ්‍රායිල් ගැටුම් මධ්‍යයයේ ඊයේ (19) උදෑසන 07:15 සිට 07:30 දක්වා මිනිත්තු 15 ක් තුළ ඊශ්‍රායලයේ නාගරික කලාපවලට ඉරාන බැලස්ටික් මිසයිල 24 ක් එල්ල කර ඇති බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර සඳහන් කරනවා.
ඉන් එක් මිසයිලයක් කෙන්යානු, ඔස්ට්‍රියන් හා ලිතුවේනියන් තානාපති කාර්යාල පිහිටි ගොඩනැගිල්ල ආසන්නයේ පුපුරා ගොස් ඇති බවයි තානාපතිවරයා පවසන්නේ.
එමෙන්ම මේ පිළිබඳව කෙන්යානු විදේශ අමාත්‍යංශය ද නිවේදනයක් නිකුත් කර ඇති අතර, ජාත්‍යන්තර නීතිය අනුව, සෑම විටකම විදේශ දූත මණ්ඩල ආරක්ෂා කිරීමට අදාළ පාර්ශව කටයුතු කළ යුතු බව කෙන්යාවේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රධාන ලේකම් කොරිර් සිං’ඕයි පවසා ඇති බවයි තානාපතිවරයා සඳහන් කරන්නේ.
එමෙන්ම තානාපති නිමල් බණ්ඩාර මෙසේද සඳහන් කර තිබෙනවා :
“මේ අතර ඊශ්‍රායලයේ ඇති විශාලතම රෝහලක් වන බියර්ෂෙබා හි සොරොකා රෝහලට ද ඉරාන මිසයිල ප්‍රහාරයක් එල්ල විය. මේ හේතුවෙන් රෝහල් ගොඩනැගිලි රැසක් විනාශ වී ඇති අතර බොහෝ දරුවන් හා රෝගීන් ද තුවාල ලබා තිබේ. මෙහි ගාසා තීරයේ හා පලස්තීන රෝගීන් ද ප්‍රතිකාර ලබන අතර ගසා යුද්ධය ආරම්භ වනවිට එහි ප්‍රතිකාර ගත් රෝගීන් මාස 20 ක් පමණ රෝහල ආසන්නයේ නවාතැන් ගෙන සිටි. එහිදී එක් ශ්‍රී ලාංකික කාන්තාවක් තුවාල ලැබූ අතර අයගේ තත්ත්වය බරපතල නොවේ.
පවතින යුධමය තත්ත්වය හේතුවෙන් හා නිවාඩු කාලය ගත කිරීමට ශ්‍රී ලංකාවට යාමට අවශ්‍ය හතර දෙනෙකු (4) තානාපති කාර්යාලයට පැමිණ අතර ඉන් එක් (1) අයෙකු නිවාඩු ගතකර නැවත පැමිණීමට බලාපොරොත්තු වේ. ඉතිරි තිදෙනා (3) නැවත පැමිණීමේ බලාපොරොත්තුවක් නොමැත. ඔවුනට ඊශ්‍රායලයේ එලාට් නගරය හරහා ඊජිප්තුවේ ටබා දේශසීමාව හරහා කයිරෝ ගුවන්තොටුපලට යාමට අවශ්‍ය ලියකියවිලි ලබාදුන් අතර මේ පිළිබඳව ඊජිප්තුවේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දන්වන ලදී. එම තොරතුරු ඊජිප්තුවේ අදාළ නිලධාරීන්ට යොමු කිරීමට කයිරෝහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කටයුතු කරමින් ඔවුන් සම්බන්ධීකරණය කරනු ඇත.
ඊශ්‍රායලයේ පවතින යුධමය තත්ත්වය හා ඉදිරියට ඇතිවිය හැකි තත්ත්වයන් පිළිබඳව පමණ ඉක්මවා ව්‍යාජ තොරතුරු ඇතුළත් හඬපට ශ්‍රී ලාංකිකයන් කීප දෙනෙකු විසින් තම හිතවතුන්ට යවා තිබේ. ඊශ්‍රායලයේ ආරක්ෂක අංශයන්, PIBA ආයතනය මෙන්ම විදේශ කටයුතු අමාත්‍යංශය එල්ලවන ප්‍රහාරයන හා ඒවායින් ආරක්ෂා වන ආකාරය නිරන්තරයෙන් යාවත්කාලින කරන අතර මෙවැනි සත්‍ය නොවන පුවත් ප්‍රචාරය කිරීමෙන් හා විශ්වාස කිරීමෙන් වලකින ලෙස දන්වමි.
අද (2025 ජුනි මස 20) ඊශ්‍රායලයේ නිවාඩු දිනයක් වුව ද ශ්‍රී ලංකා තානාපති කර්යාලය විවෘතව පවතී. ශ්‍රී ලංකාවට යාමට අපේක්ෂා කරන පිරිස හෝ රාජකාරිමය කටයුතු සඳහා ශ්‍රී ලාංකිකයන්ට තානාපති කායාලයට පැමිණිය හැක. පවතින තත්ත්වය යටතේ උපකාර අවශ්‍ය ශ්‍රී ලාංකිකයන්ට තානාපති කාර්යාලය විසින් ලබාදී ඇති දුරකථන අංක වලට ඇමතීමෙන් උපදෙස් ලබාගත හැක” ෴
විදෙස් දේපොළ ආයෝජනය ගැන අවවාදාත්මක නිවේදනයක්
(20.06.2025 – 16:46 +0530 – sinhala.adaderana.lk)
විදේශයන්හි දේපොළ මිලදී ගැනීම සඳහා සිදුකරන ආයෝජන ප්‍රවර්ධනය කරමින් පළකරන වෙළෙඳ දැන්වීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහා බැංකුව නිවේදනයක් නිකුත්කර ඇත.
ඊට අදාළ නිවේදනය :
ශ්‍රී ලංකාවේ නේවාසික තනි පුද්ගලයන් අතර, විදේශයන්හි නිශ්චල දේපළ මිළ දී ගැනීම සඳහා සිදු කරන ආයෝජන (විදේශයන්හි දේපළ ආයෝජන) ප්‍රවර්ධනය කරමින් මුද්‍රිත සහ සමාජ මාධ්‍යවල පළ කරන ලද වෙළඳ දැන්වීම් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෑතක දී නිරික්ෂණය කර තිබේ. මෙම වෙළඳ දැන්වීම් මඟින් එවැනි ආයෝජන සඳහා විදේශයන්ගෙන් මූල්‍ය පහසුකම් ලබා ගැනීම සම්බන්ධයෙන් ද මග පෙන්වීම් ලබාදෙන බව නිරීක්ෂණය කර තිබේ.
2017 අංක 12 දරන විදේශ විනිමය පනත (විදේශ විනිමය පනත) යටතේ නිකුත් කර ඇති රෙගුලාසි සහ නියෝග මත පදනම් ව ඉහත සඳහන් ගනුදෙනු සම්බන්ධ පහත සඳහන් කරුණු පිළිබඳ ව මහජනතාවගේ අවධානය යොමු කරනු ලැබේ.
පුද්ගලික විදේශ ව්‍යවහාර මුදල් ගිණුම් (Personal Foreign Currency Accounts) හරහා ඇමරිකානු එක්සත් ජනපද ඩොලර් 20,000 ක් හෝ වෙනත් ඕනෑම නම් කරන ලද විදේශීය මුදල් වර්ගයකින් ඊට සමාන උපරිම අගයකට යටත් ව සිදු කරන ගෙවීම් හැර, විදේශයන්හි දේපළ ආයෝජන සඳහා ගෙවීම් සිදු කිරීමට ශ්‍රී ලංකාවේ නේවාසික තනි පුද්ගලයන් හට අවසරයක් නොමැත.
ව්‍යාපාරික විදේශ ව්‍යවහාර මුදල් ගිණුම් (Business Foreign Currency Accounts) හරහා විදේශයන්හි දේපළ ආයෝජන සඳහා ගෙවිම් සිදු කිරීමට ශ්‍රී ලංකාවේ නේවාසික ආයතනවලට හෝ තනි පුද්ගලයන්ට අවසරයක් නොමැත.
තව ද, විදේශයන්හි දේපළ ආයෝජන සඳහා අරමුදල් සපයා ගැනීම ඇතුළු වෙනත් කිසිඳු අරමුණක් සඳහා විදේශ ණය ලබා ගැනීමට හෝ විදේශයන්හි නේවාසික පුද්ගලයන්ගෙන් මූල්‍ය පහසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකාවේ නේවාසික තනි පුද්ගලයන හට අවසරයක් නොමැත.
ඉහත සඳහන් තත්ත්වයන් යටතේ, විදේශයන්හි දේපළ ආයෝජන ප්‍රවර්ධනය කරමින් සහ එවැනි ආයෝජන සඳහා විදේශයන්ගෙන් මූල්‍ය පහසුකම් ලබා ගැනීම පිළිබඳව මග පෙන්වීම් සිදු කරමින් මුද්‍රිත හා සමාජ මාධ්‍යවල පළ කරනු ලබන වෙළඳ දැන්වීම් පිළිබඳව සැලකිලිමත්ව කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මහජනතාවට දැනුම් දෙනු ලැබේ.
එවැනි අවසර නොලත් විදේශ විනිමය ගනුදෙනුවලට හවුල්වන හෝ එවැනි ගනුදෙනු සඳහා පහසුකම් සපයන ඕනෑම පුද්ගලයෙකුට එරෙහිව විදේශ විනිමය පනත යටතේ නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සිදු කෙරෙනු ඇත.
- අදාළ නිවේදනය : [සිංහල] – [ඉංග්‍රීසි] (pdf files)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴