හෝමාගම රෝහල් කාර්‍යය මණ්ඩලයට දැඩි චෝදනාවක් – ඇඟිල්ලක් නිසා ජීවිතය අහිමි වෙයි

හෝමාගම රෝහල් කාර්‍යය මණ්ඩලයට දැඩි චෝදනාවක් – ඇඟිල්ලක් නිසා ජීවිතය අහිමි වෙයි


හෝමාගම රෝහල් කාර්‍යය මණ්ඩලයට දැඩි චෝදනාවක් – ඇඟිල්ලක් නිසා ජීවිතය අහිමි වෙයි

(18.06.2025 – dasathalankanews.com)

එක් අතක ඇඟිල්ලක ඇති වූ තුවාලයකට ප්‍රතිකාර ගැනීම සඳහා හෝමාගම මූලික රෝහලට පැමිණ ප්‍රතිකාර ලබමින් සිටි රෝගියකු රෝහල් කාර්ය මණ්ඩලයේ අතපසුවීමක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බවට ලද පැමිණිල්ලක් මත විමර්ශන කටයුතු ආරම්භ කළ බව මීගොඩ පොලිසිය පවසනවා.

‘දසත ප්‍රාදේශීය වාර්තාකරු’ පැවසුවේ, මෙලෙස මියගොස් ඇත්තේ පනාගොඩ – බෝධිය පාර පැලෑදගොඩ ලිපිනයේ පදිංචිව සිටි මුදලිගේ ජයසිරි පෙරේරා නමැති 53 හැවිරිදි දෙදරු පියෙක් බවයි.

මියගිය පුද්ගලයා තලංගම ප්‍රදේශයේ නිවසක වැඩ කරමින් සිටියදී කකුල කැඩුන අල්මාරියක් වෙනත් ස්ථානයකට රැගෙන යාමට ඇල්ලීමේ දී මරණකරුගේ දකුණු අතේ මැදඟිල්ල අල්මාරියට යට වී තිබෙනවා.

එහිදී ඇඟිල්ලේ නියපොත්ත ගැලවී ඇඟිල්ල පළවෙනි පුරුක පුපුරා ගොස් ඇති බැවින් මරණකරු තලංගම රෝහල වෙත වෙත රැගෙන ගොස් ඇති අතර එහිදී භාර ගැනීමට හොහැකි බවට පැවසීම හේතුවෙන් කොළඹ ජාතික රෝහලට රැගෙන යන ලෙසට එම රෝහලෙන් දැනුම් දුන් බවත් අනතුරුව පෞද්ගලික රෝහලකට රැගෙන ගිය බවත් එහි දී ද භාර නොගැනීම හේතුවෙන් හෝමාගම රෝහල වෙත එදිනම පැමිණ ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ඇතුළත් වී ඇති බව අදාළ පැමිණිල්ලේ සඳහන් වන බව ද පොලිසිය පවසනවා.

එම පුද්ගලයා ඉකුත් (16) දින මියගොස් ඇතිමුත් අද (18) දින වන තෙක් ද දේහය ඥාතීන්ට භාරදීමට කටයුතු කර නොමැති බව ද එම ඥාතීහු චෝදනා කරනවා.

ඒ අනුව හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී එම පුද්ගලයා මියගොස් ඇති බවත් මෙම මරණය රෝහල් කාර්ය මණ්ඩලයේ වරදක් හේතුවෙන් සිදු වී ඇති බවටත් මේ සම්බන්ධව විමර්ශනයක් සිදු කරන ලෙසත් සඳහන් කර අදාළ පැමිණිල්ල ඉදිරිපත් කර ඇති බව මීගොඩ පොලිසියේ උසස් නිලධාරියකු සඳහන් කළා.

එම පැමිණිල්ල සම්බන්ධව විමර්ශනය කර හෝමාගම මහෙස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කිරීමට නියමිත බව ද එම උසස් නිලධාරියා වැඩිදුරටත් පැවසුවා.

කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් දසත පුවත් අංශය හෝමාගම මූලික රෝහල් වෛද්‍ය අධිකාරීවරිය ලෙස කටයුතු කරන වෛද්‍ය එරංගා රාජපක්ෂ මහත්මියගෙන් ද විමසීමක් සිදු කළා.

එහිදී වෛද්‍ය අධිකාරීවරිය පැවසුවේ, අදාළ සිදුවීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු පාර්ශ්වයකට නිශ්චිතවම චෝදනා එල්ල කළ නොහැකි බවත්, සිදු ව ඇත්තේ කුමක්ද යන්න සොයා බැලීමට රෝහල තුළ විශේෂ පරීක්ෂණයක් ද පැවැත්වෙන බවයි.

+++

+


හැත්තෑවේ පෙම්වතියගේ රන්බඩු කොල්ලකෑ පෙම්වතා මාට්ටු

(18.06.2025 – hirunews.lk)

හැත්තෑ හැවිරිදි (70) එක් දරු මවක සමග ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන ගිය 30 හැවිරිදි පෙම්වතකු ඇය සතු රු. 160,000 ක් වටිනා ස්වර්ණාභරණ කොල්ලකා පලාගොස් තිබෙනවා.

රන් පෙන්ඩනයක් සහිත මාලයක් සහ අත් පළඳනාවක් මෙසේ කොල්ලකා ඇති බවයි පොලිසිය පැවසුවේ.

මේ සඳහා ආධාර අනුබල දුන් 24 හැවිරිදි තරුණයෙක්ද සමග සැකකරු අත්අඩංගුවට ගත් බවයි වාහල්කඩ පොලිසිය පවසන්නේ.

පෙම්වතාගේ ඇරයුමක් මත මේ කාන්තාව වාහල්ක්ඩ වැව් බැම්ම අසළට පැමිණි අවස්ථාවේ කොල්ලය සිදුකර තිබෙනවා.

මෙම සැකකාර පෙම්වතා සහ මිතුරා වාහල්කඩ ප්‍රදේශයේ මසුන් අල්ලා ජීවත් වන අය බවයි පැවසෙන්නේ.

70 හැවිරිදි කාන්තාව වෙන්නප්පුව ප්‍රදේශයේ කාන්තාවක් වන අතර කොල්ලය සිදුකළ අවස්ථාවේ පොර බැදීම නිසා ඇය තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.

මෙම කාන්තාව සිය සැමියා සහ දරුවා ඇත්හැර විවිධ ප්‍රදේශවල රැකියා කරමින් සිටින බවත් මේ වනවිට නිවෙසක වැඩිහිටි අයෙක් බලාගනිමින් සිටින බවයි පැවසෙන්නේ.

ඇය ගලේවෙල ප්‍රදේශයේ නිවෙසක සේවය කරන අතරතුර වසරකට පමණ පෙර ජංගම දුරකථනයට මග හැරුණු ඇමතුමක් ලැබී තිබෙනවා.

පසුව ඊට නැවත ලබාගත් ඇමතුමක් මත දෙදෙනා හඳුනාගෙන අවස්ථා කිහිපයකදී ලැගුම්හල්වලට ගොස් තිබෙන බවත් අනාවරණය වී තිබෙන බවයි පොලිසිය පවසන්නේ ෴


නඩු භාණ්ඩ බාර නොදුන් පොලිසියේ 4 ක් රිමාන්ඩ්

(18.06.2025 – hirunews.lk)

නඩු භාණ්ඩ නිසියාකාරව උප සේවයට භාර නොදී ළග තබාගෙන සිටීම හේතුවෙන් වැඩ තහනමකට ලක්ව සිටින කුරුවිට පොලිස් ස්ථානයේ රාජකාරි කළ පොලිස් නිලධාරින් 4 දෙනකු මේ මස 23 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ ඔවුන් ඊයේ (17) රත්නපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

කුරුවිට – පොහොරබාව ප්‍රදේශයේ දී පසුගිය මැයි 29 දින මෙම නිලධාරීන් කරන ලද වැටලීමකදී නීති විරෝධි මත්පැන් ළග තබා ගන්නා ලද පුද්ගලයෙකු කුරුවිට පොලිස් ස්ථානයට ඉදිරිපත් කර ඇතත් වැටලීමේදී සොයා ගන්නා ලද නඩු භාණ්ඩ නිසියාකාරව උප සේවයට ලබා දී තිබුණේ නැහැ.

ඒ අනුව රත්නපුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ නියෝග මත රත්නපුර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය විසින් කරන ලද විමර්ශනයකට අනුවයි මොවුන්ගේ වැඩ තහනම් කර ඇත්තේ ෴


රත්නපුර – කොළඹ ප්‍රධාන මාර්ගය අවහිර කළ බිහිසුණු අනතුර

(18.06.2025 – 09:49 +0530 – sinhala.adaderana.lk)

රත්නපුර – කොළඹ ප්‍රධාන මාර්ගයේ මීන්නාන ප්‍රදේශයේ බස් රථයක් සහ බහාලුම් රථයක් එකිනෙක ගැටී බිහිසුණු අනතුරක් සිදුව තිබේ.

අනතුර අද (18) උදෑසන සිදුව ඇති අතර, අනතුරින් පසුව කොළඹ – රත්නපුර ප්‍රධාන මාර්ගය පැයක පමණ කාලයක් වාහන ගමනාගමනයට අවහිර වී තිබුණි.

අනතුරින් තුවාල ලැබු 18 දෙනෙකු පමණ ඇහැළියගොඩ රෝහලට ඇතුළත් කර ඇත.

ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන අතර අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ඇහැළියගොඩ පොලීසිය විසින් සිදුකරනු ලබයි.

+


බූලී සහ බැරල්වලට ඉන්ධන නිකුත් කිරීම අත්හිටුවයි

(18.06.2025 – 09:34 +0530 – sinhala.adaderana.lk)

බූලී සහ බැරල්වලට ඉන්ධන නිකුත් කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටවූ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

පාරිභෝගිකයින් විසින් අන්තනෝමතික ලෙස බූලි සහ බැරල්වලට ඉන්ධන ලබාගැනීම සඳහා පිරවුම්හල් වෙත ඒකරාශි වෙමින් අනවශ්‍ය තදබදයක් හා පෝලීම් ඇති කරමින් කටයුතු කරන බවට වාර්තාවී ඇති හෙයින් මෙම පියවර ගත් බවද තෙල් සංස්ථාව පෙන්වා දෙයි.

ඒ අනුව, ඉහත තීරණය ඉන්ධන පිරවුම්හල් හිමියන් වෙත දැනුම්දී ඇති අතර ඊට පටහැනිව කටයුතු කළහොත් බෙදුම්කාරත්ව ධූරය සම්බන්ධව දැඩි විනයානුකූල පියවර ගන්නා බවත් සංස්ථාව දන්වා තිබේ.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තවදුරටත් පෙන්වා දෙන්නේ සංස්ථාව සතුව ප්‍රමාණවත් ඉන්ධන සංචිත තිබියදී පාරිභෝගිකයින් විසින් අනියත බියක් ඇති කරගෙන මෙලෙස කටයුතු කරන බවට පෙනී යන බැවින්, වහාම ක්‍රියාත්මක වන පරිදි බූලි හා බැරල් වලට ඉන්ධන නිකුත් කිරීම තහනම් කර ඇති බවය ෴


දරුවා ඝාතනය කරන බව පවසා රුපියල් කෝටියක කප්පමක් ඉල්ලයි

(18.06.2025 – 07:03 +0530 – sinhala.adaderana.lk)

රුපියල් කෝටියක මුදලක් කප්පම් වශයෙන් ඉල්ලා ඉන් රුපියල් ලක්ෂ 20 ක මුදලක් කප්පම් වශයෙන් බලෙන් ලබාගත් සැකකරුවන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මඟිනි.

පසුගිය ජූනි 09 වන දින මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයට කප්පම් මුදල් වශයෙන් රු. කෝටියක මුදලක් ඉල්ලා තර්ජනය කර ඉන් රු. ලක්ෂ 20 ක මුදලක් කප්පම් මුදලක් ලෙස ගෙවන ලද බවට හා ඉතිරි කොටස නොගෙවන්නේ නම් බඩල්ගම පොලිස් වසමේ මැල්ලවගෙදර ප්‍රදේශයේ පදිංචි පැමිණිලිකරු සහ ඔහුගේ දරුවා ඝාතනය කරන බවට තර්ජනය කිරීම සම්බන්ධයෙන් පැමිණිල්ලකට අනුව මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මඟින් විමර්ශන ආරම්භ කර තිබුණි.

මේ සම්බන්ධයෙන් මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයට නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර රුපියල් කෝටියක කප්පම් මුදලක් ඉල්ලා සිටි සැකකරුවන් දෙදෙනෙකු (2) ඊයේ (17) සීදුව පොලිස් වසමේ දඹතුරේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන බඩල්ගම පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත.

සැකකරුවන් අවුරුදු 32 හා 46 වයස්වල පසුවන මැටියගනේ හා කොටුගොඩ ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

මෙම අපරාධය සඳහා සංවිධානාත්මක අපරාධකරුවන් දෙදෙනෙකුගේ (2) නම් භාවිතා කොට ඇති අතර ඔවුන් මෙම සිද්ධියට සම්බන්ධ නොවන බවත්, පැමිණිලිකරු බියට පත් කිරීම සඳහා මෙම නම් භාවිතා කර ඇති බවටත් සිදුකළ විමර්ශනයේදී අනාවරණය වී ඇත.

තවද මෙම අපරාධයට යොදා ගත් සෙල්ලම් පිස්තෝලය, අපරාධයට යොදාගත් යතුරුපැදිය, කප්පම් මුදලින් ලබාගත් නවීන යතුරුපැදිය හා ත්‍රීරෝද රථය පොලිස් භාරයට ගෙන ඇත.

මේ අතර, අපරාධයට යොදාගත් ජංගම දුරකථන කිහිපයක්, එම දුරකථනවල සියලුම සිම්පත්, විවිධ බැංකුවලට අයත් ඒටීඑම් කාඩ්පත්, යතුරුපැදිවල හා ත්‍රීරෝද රථයේ සියලුම ලියකියවිලි පොලිස් භාරයට ගෙන තිබේ.

බඩල්ගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි ෴


විශේෂඥ වෛද්‍යවරිය ඇතුළු තිදෙනා (3) රිමාන්ඩ්

(17.06.2025 – 22:23 +0530 – sinhala.adaderana.lk)

තුන්වන පාර්ශ්වයක් හරහා වැඩි මිලට ඖෂධ අලෙවි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍යවරිය ඇතුළු සැකකරුවන් තුන්දෙනා (3) රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් අදාළ වෛද්‍යවරිය ඇතුළු සැකකරුවන් තුන්දෙනා (3) එම කොමිසමේ නිලධාරීන් විසින් අද (17) රාත්‍රියේ කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා හමුවට ඉදිරිපත් කර තිබුණි.

අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු අවසන් වී නොමැති හෙයින් සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ඉල්ලා ඇත.

එම ඉල්ලීම පිළිගත් මහෙස්ත්‍රාත්වරයා සැකකරුවන් ලබන 24 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියම කළේය.

+++

+


හිටපු ඇමති කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ සහ දියණිය බන්ධනාගාරයට රැගෙන යයි

(18.06.2025 – 17:30 +0530 – sinhala.adaderana.lk)

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඇප මත මුදා හරින ලද හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ සහ දියණිය ඇප කොන්දේසි සපුරාලීමට නොහැකිවීම හේතුවෙන් බන්ධනාගාර නිලධාරීන් විසින් ඔවුන් තිදෙනාව බන්ධනාගාරය වෙත රැගෙන ගොස් තිබේ.

+++

+++

කෙහෙළිය, බිරිඳ සහ දියණියට ඇප

(18.06.2025 – 16:38 +0530 – sinhala.adaderana.lk)

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගන්නා ලද හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ කුසුම් ප්‍රියදර්ශනී ඈපා වීහේන සහ දියණිය වන චන්දුලා රමලී රඹුක්වැල්ල යන අය ඇප මත මුදාහරින ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලි ජයතුංග මහත්මිය අද (18) නියෝග කළේය.

ඒ අනුව එක් එක් සැකකරු රුපියල් 50,000 ක මුදල් ඇප සහ රුපියල් මිලියන 5 බැගින් වූ ශරීර ඇප තුනක් (3) බැගින් මුදා හරිණ ලෙස නියෝග කළ මහෙස්ත්‍රාත්වරිය සැකකරුවන්ගේ විදේශ ගමන් තහනම් කරමින් නියෝගයක් ලබා දී ඇත.

මෙම නඩුකරය මහෙස්ත්‍රාත්වරියගේ නිලමැදිරිය තුළ කැඳවූ අතර එහිදී අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සැකකරුවන් විසින් අයථා ලෙස රුපියල් මිලියන 97.35 ක් උපයා ගැනීම සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ සිදුකළ විමර්ශනයකට අදාළව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බව සඳහන් කළාය.

මෙම සැකකරුවන්ගේ සැකකටයුතු ගනුදෙනු පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි අංශය අල්ලස් කොමිසමට වාර්තා කර තිබූ අතර ඒ අනුව මෙම විමර්ශන සිදුකළ බව එම නිලධාරීන් කියා සිටියේය.

ඒ අනුව මෙම නඩුකරයේ දෙවන (2) සැකකාරිය වන හිටපු අමාත්‍යවරයාගේ බිරිඳ සහ තුන්වන (3) සැකකාරිය වන දියණියට අයත් රුපියල් ලක්ෂ 300 බැගින් වූ ස්ථාවර තැන්පතු ගිණුම් දෙකක් (2) විමර්ශනවලදී හමුවී ඇති බව සඳහන් කර තිබේ.

එමෙන්ම මෙම සැකකරුවන්ට අයත් ජීවිත රක්ෂණ ඔප්පු සම්බන්ධයෙන් ද විමර්ශන සිදුකරන බව කී අල්ලස් කොමිසමේ නිලධාරීන් මෙම සැකකරුවන්ට අයත් රුපියල් ලක්ෂ 150 බැගින් වූ බැංකු ගිණුම් තුනක් (3) වෙනත් පුද්ගලයින්ගේ නම් වලින් පවතින බවට තොරතුරු අනාවරණය වී ඇති බවත් පවසා ඇත.

මෙම විමර්ශනවලට අදාළව හිටපු අමාත්‍යවරයාගේ දියණිය වන ‘අමාලි රඹුක්වැල්ල’ නමැත්තියට අයත් සහාධිපත්‍ය දේපළක් තහනමට ගෙන තිබෙන අතර දියණියගේ සැමියා වන ‘පුරස්ථි බණ්ඩාර’ නමැත්තාට අයත් මෝටර් රථයක් තහනමට ගෙන අල්ලස් කොමිසම භාරයේ රඳවාගෙන තිබෙන බවත් එම නිලධාරින් ප්‍රකශ කර තිබේ.

මෙම විමර්ශනයට අදාළව අනාවරණය කරගත් එක් චෝදනාවක් සම්බන්ධයෙන් විත්තිකරුවන්ට එරෙහිව කොළඹ මහාධිකරණයේ අධි චෝදනා ගොනු කර තිබෙන බවත් ඔවුන් සඳහන් කළේය.

ඊට අමතරව සැකකාර හිටපු අමාත්‍යවරයා විසින් නිල නිවාස හා වාහන පරිහරණය කිරීම සම්බන්ධයෙන් මෙන්ම ඔහුගේ සමයේ සිදුවූ ප්‍රමිතියෙන් තොර බෙහෙත් ආනයනය කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන්ද අල්ලස් කොමිසම විසින් විමර්ශන සිදු කරන බව ඔවුන් කියා සිටියේය.

මෙම සිද්ධියට අදාළව සිදුකරන විමර්ශනවලදී සාක්ෂිකරුවන් සත්‍ය ප්‍රකාශ කිරීමට මැලිකමක් දක්වන බවත් ඔවුන් වෙත එල්ල වී තිබෙන බලපෑම හේතුවෙන් මෙවැනි තත්ත්වයක් උද්ගත වී ඇති බව සඳහන් කර සිටි අල්ලස් කොමිසමේ නිලධාරීන් ඒ අනුව සැකකරුවන් ඇප මත මුදා හරිනු ලැබුවොත් විමර්ශන කටයුතුවලට බාධා සිදුවිය හැකි බැවින් ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ඉල්ලා ඇත.

අල්ලස් කොමිසමේ ප්‍රකාශයට දැඩි විරෝධය පළ කළ සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කාංචන රත්වත්ත මහතා මෙම විමර්ශනවලට අවශ්‍ය සියලු සහාය සැකකරුවන් විසින් අල්ලස් කොමිසමට ලබා දී තිබෙන බව පවසා තිබේ.

සැකකරුවන් විසින් ඔවුන් ආදායම් උපයාගත් ආකාරය ලේඛන සහිතව අල්ලස් කොමිසම හමුවේ පැහැදිලි කර තිබියදී ඔවුන්ව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ඉල්ලා සිටීම යුක්ති සහගත නොවන බව ඔහු පවසා ඇත.

තම සේවාදායකයා නීති විරෝධී ලෙස මැණික් පතලක් පවත්වාගෙන ගිය බවට අල්ලස් කොමිසම විසින් චෝදනා එල්ල කළත් එය නිසි පරිදි රජයට බදු ගෙවා පවත්වාගෙන ගිය බවත් එම පතලින් තම සේවාදායකයාට මැණික් හමුවූ බවත් නීතිඥවරයා පැවසීය.

එසේ හමුවූ මැණික් ජාතික ස්වර්ණාභරණ අධිකාරිය විසින් සිදු කළ වෙන්දේසියකදී විකුණා රුපියල් මිලියන 610 ක් සහ මිලියන 125 ක් රජයට අය විය යුතු බදු ගෙවීමෙන් පසුව උපයා ගත් බවත් එම සියලු ආදායම් පිළිබඳ තොරතුරු අල්ලස් කොමිසමට පැහැදිලි කර තිබෙන බවත් කියා සිටියේය.

තම සේවාදායකයා මීට සති කීපයකට ඉහතදී මාසයක පමණ කාලයක් රක්ෂිත බන්ධනාගාරව සිටි අතර ඔහු යලි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කරනු ලබන ඉල්ලීම පිළිගත නොහැකි බවත් නීතිඥවරයා චෝදනා කර ඇත.

තම සේවාදායකයා සාක්ෂිකරුවන්ට බලපෑම සිදුකර ඇති බවට තහවුරු වන සාක්ෂි ඉදිරිපත් වී නොමැති බවත් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ඔවුන්ට එරෙහිව කිසිදු සාක්ෂියක් ඉදිරිපත් වී නොමැති නිසා සැකකරුවන් සියලු දෙනා ඇප මත මුදා හරින ලෙසත් නීතිඥවරයා අදිකරණයෙන් ඉල්ලා තිබේ.

ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරිය අනතුරුව මෙම සැකකරුවන් ඇප මත මුදාහරීමට නියම කළේය.

ඉන් අනතුරුව පැමිණිල්ල අගෝස්තු මස 24 වන දා කැඳවීමටද නියම කර ඇත ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *