ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍යවරිය ඇතුළු තිදෙනා (3) රිමාන්ඩ්

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍යවරිය ඇතුළු තිදෙනා (3) රිමාන්ඩ්


ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍යවරිය ඇතුළු තිදෙනා (3) රිමාන්ඩ්

(17.06.2025 – 22:23 +0530 – sinhala.adaderana.lk)

තුන්වන පාර්ශ්වයක් හරහා වැඩි මිලට ඖෂධ අලෙවි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍යවරිය ඇතුළු සැකකරුවන් තුන්දෙනා (3) රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් අදාළ වෛද්‍යවරිය ඇතුළු සැකකරුවන් තුන්දෙනා (3) එම කොමිසමේ නිලධාරීන් විසින් අද (17) රාත්‍රියේ කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා හමුවට ඉදිරිපත් කර තිබුණි.

අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු අවසන් වී නොමැති හෙයින් සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ඉල්ලා ඇත.

එම ඉල්ලීම පිළිගත් මහෙස්ත්‍රාත්වරයා සැකකරුවන් ලබන 24 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියම කළේය ෴


ඉරානයේ ටෙහෙරාන් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉවත් කර ගනියි

(17.06.2025 – hirunews.lk)

උද්ගතව ඇති යුදමය තත්ත්වය හමුවේ ඉරානයේ ටෙහෙරාන් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉන් ඉවත් කිරීමට පියවර ගත් බව විදේශ අමාත්‍ය විජිත හේරත් පවසනවා.

පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ වෙනස් ස්ථානයක සිට අදාළ කටයුතු සිදු කරමින් පවතින බවයි.

මැදපෙරදිග මතුව ඇති යුදමය තත්ත්වය හේතුවෙන් මේ වන විට ශ්‍රී ලාංකිකයින් සිව් දෙනෙකු (4) තුවාල ලබා ඇති බව පැවසූ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, ඉන් එක් අයෙකුගේ තත්ත්වය බරපතළ බවයි.

තුවාල ලැබූ ශ්‍රී ලාංකිකයන් සියලු දෙනා ඊශ්‍රායලයේ සේවය කරන්නන් වන අතර තානාපති කාර්යාලය මැදිහත් වීමෙන් ඔවුන් සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු සොයා බලමින් සිටින බවද අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට පැවසුවා.

“ඊශ්‍රායලයේ රැකියාවලට යවන එක අපි තාවකාලිකව නවත්වලා තියෙන්නේ. නිවාඩු ඇවිල්ලා ඉන්න අයටත් අවස්ථාවක් නැහැ ආපහු යන්න. අපි වීසා කාලය දීර්ඝ කරන්න කියලා ඉල්ලීම් කරලා තියෙනවා. අපි විශ්වාස කරනවා ඒක කරගන්න පුළුවන් කියලා. මේ වෙලාවේදී ඊශ්‍රායලයට යන එකත් අනතුරුදායකයි. ඊශ්‍රායලයට යන්න ගිහිල්ලා ඩුබායි එයාර්පෝට් එකේදී 10 දෙනෙක් හිටියා අපි ඒ අයව ලංකාවට ගෙන්න ගන්න කටයුතු කළා. ඊශ්‍රායලයේ රැකියා කරන අයව මෙරට ගෙන්න ගන්න ගුවන් යානයක් යවන එක අසීරු කටයුත්තක්. කොහොම වුණත් අපි නිරන්තරයෙන් තානාපතිවරුන් සමග සූම් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වෙලා අවශ්‍ය ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා.” යනුවෙන් ද අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට සඳහන් කළා ෴

+++

+


අනුරාධපුරයේ වෙළඳසැල් 105 කට නඩු

(17.06.2025 – hirunews.lk)

පොසොන් සතිය තුළ අනුරාධපුරයේ සිදුකළ වැටලීම්වලට අදාළව වෙළදසැල් 105 කට නීතිමය පියවර ගන්නා බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පවසනවා.

එම අධිකාරිය සඳහන් කළේ, වැඩි මිලට ආහාර අලෙවි කිරීම, කල් ඉකුත් වූ ආහාර අලෙවි කිරීම, තොරතුරු නොමැති පූජා භාණ්ඩ අලෙවි කිරීම සහ මිල ප්‍රදර්ශනය නොකර භාණ්ඩ අලෙවි කිරීම හේතුවෙන් අදාළ වෙළදසැල්වලට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි.

මෙම වැටලීම් අනුරාධපුර නගරය, අනුරාධපුර පූජා නගරය, මිහින්තලය, තිසා වැව යන ප්‍රදේශ ආශ්‍රිතව සිදු කර තිබුණා ෴


ඔරුගොඩවත්තේ A/C හදන තැනක ගින්නක්

(17.06.2025 – hirunews.lk)

ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ ඔරුගොඩවත්ත ප්‍රදේශයේ වායු සමිකරණ අලුත්වැඩියා කරනු ලබන ආයතනයක ගෑස් කාන්දුවීමක් හේතුවෙන් ගිනි ගැනීමකට ලක්ව තිබෙනවා.

එහිදී හටගත් ගින්න මැඩ පැවැත්වීම සඳහා කොළඹ මහ නගර සභාවේ ගිනි නිවන රථ 03 ක් යොදාගත් බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

එමෙන්ම, ඇතිවූ ගින්නෙන් එම ආයතනය සම්පූර්ණයෙන්ම විනාශවී ඇති අතර, ජීවිත හානි හෝ, තුවාල කිසිවක් සිදුවී නැහැ.

මේ වනවිට ගිණි නිවීමේ ඒකක මගින් ගින්න මැඩ පවත්වා ඇති අතර, මේ සම්බන්ධව වැඩිදුර විමර්ශන කටයුතු ග්‍රෑන්ඩ්පාස් පොලිස් ස්ථානය මගින් සිදුකරනු ලබයි.

+


ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාවේ හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

(17.06.2025 – hirunews.lk)

ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාවේ හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයාව අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ‘වේරැස් ගඟ’ ව්‍යාපෘතියේ රු. මි. 27.6 ක මුදලක් අයථා පරිහරණය කිරීමේ චෝදනා මතයි ෴


ජනාධිපතිවරයන්ගේ හිමිකම් පනත සහ පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් පනත අහෝසි කිරීමට අනුමැතිය

(17.06.2025 – hirunews.lk)

වත්මන් රජය විසින් මහජනතාව වෙත ඉදිරිපත් කරන ලද ‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව, හිටපු ජනාධිපතිවරුන්ට සහ ඔවුන්ගේ පවුල්වලට ලබා දී ඇති විශේෂ වරප්‍රසාද අහෝසි කිරීම සඳහා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වසර 05 කට පසු ලබා දෙන විශ්‍රාම වැටුප අහෝසි කිරීම සඳහා ජනතාව විසින් රජයට වරමක් ලබා දී තිබෙනවා.

ඒ අනුව, හිටපු ජනාධිපතිවරුන්ට සහ ඔවුන්ගේ පවුල් වලට ලබා දී ඇති විශේෂ වරප්‍රසාද අහෝසි කිරීමට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීමට හැකි වන පරිදි 1986 අංක 4 දරන ජනාධිපතිවරයන්ගේ හිමිකම් පනත සහ 1977 අංක 1 දරන පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් පනත පරිච්ඡින්න කිරීම සඳහා පනත් කෙටුම්පත් 02 ක් සකස් කිරීම පිණිස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම සඳහා ‘අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා’ ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කළා ෴


කිලෝ 04 කට අධික ‘අයිස් මත්ද්‍රව්‍ය’ සමඟ මෝටර් රථයක් පොලිස් භාරයට

(17.06.2025 – hirunews.lk)

වැඩබලන පොලිස්පතිවරයාගේ උපදෙස් මත දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා පොලිසිය සිදු කරගෙන යනු ලබන අපරාධ හා මත්ද්‍රව්‍ය මෙහෙයුමට අදාළව ඊයේ (16) දින රාත්‍රී කාලයේ වෙරළබඩ පොලිස් වසමේ රාත්‍රී යතුරු පැදි සංචාරයේ යෙදී සිටි නිලධාරීන් විසින් හෙට්ටියාවත්ත හන්දිය ආසන්නයේදී අධික වේගයෙන් ගමන් කරන ලද කාර් රථයකට නැවැත්වීමට සංඥා කර තිබෙනවා.

එහිදී, එම කාර් රථය අණ නොතකා ධාවනය කිරීම හේතුවෙන් යතුරු පැදි සංචාරයේ යෙදී සිටි නිලධාරියෙකු විසින් එම කාර් රථය පසුපස හබා ගොස් පිටකොටුව, රෙක්ලමේෂන් පාර, මුහුදු මාර්ගයේදී රථය නවතාගෙන රථය පරීක්ෂා කිරීමට කටයුතු කළ බවයි පොලිසිය සඳහන් කළේ.

එම අවස්ථාවේදී කාර් රථයේ රියදුරු පලාගොස් ඇති අතර, රථය තුළ ප්ලාස්ටික් පෙට්ටි 4 ක දමා තිබූ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 04 ග්‍රෑම් 112 ක් හා කාර් රථය පොලිස් භාරයට ගෙන තිබෙනවා.

පළාගිය සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා වෙරළබඩ පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

+


ආයතනික රැකවරණය හෝ භාරකාරත්වය යටතේ වන ළමුන් සහ වීදි ළමුන් සඳහා ජීවන වියදම් දීමනාවක්

(17.06.2025 – hirunews.lk)

ආයතනික රැකවරණය හෝ භාරකාරත්වය යටතේ වන ළමුන් සහ වීදි ළමුන් සඳහා ජීවන වියදම් දීමනාවක් ලබාදීම සඳහා කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යවරිය විසින් ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව, ආයතනික රැකවරණය හා භාරකාරිත්වයේ සිටින ළමුන් සහ වීදි ළමුන් සඳහා මාසිකව රුපියල් 5,000 ක දීමනාවක් ලබා දීම සඳහා රුපියල් මිලියන 1,000 ක ප්‍රතිපාදන 2025 වර්ෂය සඳහා වන අයවැය මඟින් වෙන් කරනු ලැබ තිබෙනවා.

එහිදී එම වැඩසටහන තිරසරව හා ඵලදායීව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය මග පෙන්වීම සහ පසු විපරම් කටයුතු සඳහා කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයේ ලේකම්ගේ සභාපතිත්වයෙන් සහ අනෙකුත් අදාළ ආයතනවල නිලධාරින්ගෙන් සමන්විත ජාතික මෙහෙයුම් කමිටුවක් පත් කිරීමටද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

රුපියල් 5,000 ජීවන වියදම් දීමනාවෙන්, රුපියල් 3,000 ක් භාරකාරීත්වය යටතේ සැලසිය යුතු අධ්‍යාපන, සෞඛ්‍ය සහ අනෙකුත් සුබසාධන වියදම් වෙනුවෙන් ළමයා රැඳී සිටින සංවර්ධන මධ්‍යස්ථානයට හෝ භාරකාරිත්වය දරන්නාට ‘ජාතික ඉතිරි කිරීමේ බැංකුව’ හරහා ලබා දීම සිදු කෙරෙනු ඇති.

තවද, ඉතිරි රුපියල් 2,000 ක මුදල දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් ‘ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ’ දරුවාගේ නමින් වූ ඉතිරි කිරීමේ ගිණුමක මාසිකව තැන්පත් කිරීම සිදුකිරීමට නියමිතයි ෴


ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා වන විශේෂ ස්ථාවර තැන්පතු යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට අනුමැතිය

(17.06.2025 – hirunews.lk)

2025 වර්ෂය සඳහා වන අයවැය කථාවෙහි යෝජිත පරිදි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා විශේෂ ස්ථාවර තැන්පතු ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට රජය විසින් තීරණය කර තිබෙනවා.

ඒ අනුව, පහත සඳහන් පරිදි යෝජිත විශේෂ ස්ථාවර තැන්පතු ක්‍රමය ක්‍රියාත්මක කිරීම පිණිස මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කළා.

  • වයස අවුරුදු 60 හෝ ඊට වැඩි ශ්‍රී ලාංකික පුරවැසියන් විසින් 2025-07-01 දින සිට 2025-12-31 දින දක්වා වන කාලසීමාව තුළ විවෘත කරනු ලබන ස්ථාවර තැන්පතු සඳහා මෙම යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම.
  • ස්ථාවර තැන්පතුවේ කාල සීමාව මාස 12 ක් (වර්ෂයක්) වන අතර, උපරිම තැන්පතු වටිනාකම රුපියල් මිලියනයකි.
  • බරිත සාමාන්‍ය ස්ථාවර කැන්පතු පොලී අනුපාතයට (AWFDR) අමතර වාර්ෂික 3% ක් එකතු කර ලැබෙන අගය හෝ අදාළ බැංකුවේ ප්‍රකාශිත ස්ථාවර තැන්පතු පොලී අනුපාතයට 3% ක් එකතු කර ලැබෙන අගය හෝ යන දෙකෙන් ඉහළ පොලි අනුපාතය ගෙවීම.
  • සමස්ත වැඩසටහන සඳහා පොලී සහනාධාර ගෙවීම පිණිස රුපියල් බිලියන 30 ක ප්‍රතිපාදන වෙන් කිරීම.

‘පිල්ලයාන්’ විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම ජූලි මස 23 වැනිදා

(17.06.2025 – hirunews.lk)

තමන්ව අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගෙන තිබෙන තීරණය තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා හිටපු අමාත්‍යවරයකු වන ‘සිවනේසතුරේ චන්ද්‍රකාන්තන්’ හෙවත් ‘පිල්ලයාන්’ විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා ජූලි මස 23 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා.

මෙම පෙත්සම අද (17) එස්. තුරෙයි රාජා, මේනකා විජේසුන්දර සහ සම්පත් විජේරත්නගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුහර්ෂි හේරත් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සමට අදාළ සීමිත විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා සති දෙකක (2) කාලයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියා.

ඒ අනුව සීමිත විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා වග උත්තරකාර පාර්ශවයට සති දෙකක (2) කාලයක් ලබාදුන් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඊට අදාල ප්‍රතිවිරෝධතා තිබේ නම් එතැන් පටන් සතියක් තුළ ගොනුකරන ලෙසත් පෙත්සම්කර පාර්ශවයට නියෝග කළා.

ඉන් අනතුරුව පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා ජූලි මස 23 වනද කැඳවන ලෙසත් අධිකරණය නියම කළා.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති මාධව ගුණවර්ධන, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙෂ්ඨ පොලිස් අධිකාරී ඉමේෂා මුතුමාල, වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය, ආරක්ෂක ඇමැති අනුර දිසානායක සහ නීතිපතිවරයා නම්කර තිබෙනවා.

පෙත්සම්කරු කියා සිටින්නේ ඉකුත් අප්‍රේල් මස 08 වනදා සිය පක්‍ෂයේ සංවිධාන කටයුතුවලට සහභාගි වෙමින් සිටියදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් පැමිණ තමන්ව මඩකලපුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවයි.

නැගෙනහිර විශ්වවිද්‍යාලයේ හිටපු කුලපති ‘සුභ්‍රමණියම් රවින්ද්‍රණාත්’ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින බව දැනගන්නට ඇතැයි සඳහන් කළ පෙත්සම්කරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුළ තමාට නිදාගන්නටවත් ප්‍රමාණවත් පහසුකම් නොමැති බවද සඳහන් කර තිබෙනවා.

ඊට අමතරව තමන්ට නීතිඥවරු හමුවීම සඳහා ප්‍රමාණවත් ඉඩකඩ නොලැබෙන බවත් ඔහු සිය පෙත්සමේ ප්‍රකාශ කර තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් තමන්ව රඳවා ගැනීම සඳහා නිකුත් කර තිබෙන රැඳවුම් නියෝගය බල රහිත කිරීමේ තීන්දුවක් ලබා දෙන ලෙසත් පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඊට අමතරව තමන්ට නීතිඥවරු හමුවීමට තිබෙන අවස්ථාව අවහිර කිරීම තුළින් සිය මූලික අයිතීන් කඩවන බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් සිය මූලික අයිතීන් කඩවීම වෙනුවෙන් රුපියල් මිලියන සීයක (100) වන්දියක් අයකර දෙන ලෙසත් ඉල්ලා පිල්ලයාන් සිය නීතිඥවරු මාර්ගයෙන් මේ පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා ෴


2029 සාමාන්‍ය පෙළ විභාගය නව විෂය නිර්දේශය යටතේ

(17.06.2025 – hirunews.lk)

2029 වර්ෂයේ සාමාන්‍ය පෙළ විභාගය නව විෂය නිර්දේශයක් යටතේ පවත්වන බව අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.

ලබන වසරේ (2026) සිට ක්‍රියාත්මක කිරීමට නියමිත නව අධ්‍යාපන පරිවර්තන ක්‍රියාවලියට අදාළ මාර්ගෝපදේශ ලබන අගෝස්තු මාසයේදී එළිදක්වන බවයි මහරගම ජාතික අධ්‍යාපන ආයතනය ඊයේ (16) පැවති සාකච්ඡාවට එක්වෙමින් ඇය කියා සිටියේ.

ඒ අනුව ලබන වසරේ සිට 1 සහ 6 ශ්‍රේණි සඳහා නව විෂය නිර්දේශ හඳුන්වා දෙන බවත්, 2028 වසරේ 10 ශ්‍රේණියට නව විෂය නිර්දේශ හඳුන්වා දෙන බවත් අග්‍රාමාත්‍යවරිය කියා සිටියා.

එම නව විෂය නිර්දේශය අනුව 2029 සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙනු ඇති.

එමෙන්ම 9 වන ශ්‍රේණියේ සිට වෘත්තීය අධ්‍යාපනය හඳුන්වා දෙන බව ද අග්‍රාමාත්‍යවරිය සඳහන් කළා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *