අනාරක්ෂිත කැණීම් සිදුකළ මාතලේ – කවුඩුපැළැල්ල පාෂාණ නිධියේ කැණීම් වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවයි

අනාරක්ෂිත කැණීම් සිදුකළ මාතලේ – කවුඩුපැළැල්ල පාෂාණ නිධියේ කැණීම් වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවයි


අනාරක්ෂිත කැණීම් සිදුකළ මාතලේ – කවුඩුපැළැල්ල පාෂාණ නිධියේ කැණීම් වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවයි

(11.06.2025 – hirunews.lk)

අනාරක්ෂිත කැණීම් හේතුවෙන් මිනිස් ජීවිත පවා බිලිගෙන අක්‍රමවත්ව පවත්වාගෙන ගිය මාතලේ – කවුඩුපැළැල්ල පාෂාණ නිධියේ කැණීම් වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට ‘භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය’ පියවර ගෙන තිබෙනවා.

භූ විද්‍යා බලධාරීන් එම පියවර ගත්තේ අදාළ කැණීම් භූමියේ අනාරක්ෂිත බව හා පළිඟු පාෂාණ බහාලුම් 4 ක් චීනයට හොර රහසේ පිටකිරීමේ ජාවාරම පිළිබඳව ‘හිරු සී.අයි.ඒ.’ කළ අනාවරණයෙන් පසුවයි.

අක්‍රමවත්ව කරගෙන ගිය කැණීම් හේතුවෙන් පස් හා ගල් කඩාවැටී මාතලේ කවුඩුපැළැල්ලේ මෙම සුදු පාෂාණ කැණීම් භූමියේදී මිනිස් ජීවිත පවා බිලිගෙන තිබුණා.

C ගණයේ කැණීම් බලපත්‍රයක් ලබාගෙන එය වසරින් වසර අලුත් කිරීම හරහා A ගණයේ අතිවිශාල අධි අවදානම් සහිත කැණීම් භූමියක් ලෙසට පරිවර්තනය වනතෙක් මෙම ස්ථානය නිරීක්ෂණය කර නීතිය ක්‍රියාත්මක කළ යුතු ‘භූ විද්‍යා නිලධාරීන්’ ඇස් කන් පියා බලා සිටීමත් විමතියට කරුණක්.

එසේම කැණීම්වලදී පරිසරයට සිදුවන විනාශවලට හානි පූර්ණය කළ යුතු බවට රජය කොන්දේසි පනවා තිබුණ ද ඒවා බලපත්‍ර කොළ කැබැල්ලට පමණක් සීමා වී තිබෙනවා.

සංචාරක වීසා මත මෙරටට පැමිණෙන චීන ජාතිකයින්ට මාතලේ කවුඩුපැළැල්ලේ කැණීම් භූමියේ කැණීම් කිරීමට ද මෙහි හිමිකරුවන් නීතිවිරෝධීව අවසර දී තිබුණා.

මෙවැනි අනීතික ක්‍රියා හරහා, මෙරටට ලැබිය යුතු විදේශ විනිමය රටට අහිමිවීමේ ප්‍රබල අවදානමක් පවතින බව ‘භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ’ වත්මන් වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් දීපානි වීරකෝන් මෙම වසරේ මාර්තු 11 වැනිදා ලිපියක් මගින් අදාළ අංශ දැනුවත් කිරීමට පියවර ගෙන තිබුණා.

එම දැනුවත් කිරීම් තඹයකට මායිම් නොකළ කැණීම් භූමි හිමිකරුවන්ට වැඩ වරදින්නේ, ගාල්ලේ පිහිටි ආයතනයක් බහාලුම් 4 කින් පළිඟු ඇතුළු වටිනා ඛනිජ මෙරටින් පිටකිරීමට සැරසීම ‘හිරු සී.අයි.ඒ.’ හරහා අනාවරණය කිරීමත් සමගයි.

ගාල්ල ප්‍රදේශයට ගෙන යන බව ව්‍යාජව හඟවමින් මෙම බහාලුම් 4 සේදවත්ත බහාලුම් අංගනයක රඳවා චීනයේ කුවීන්ඩාවෝ වෙත යැවීමට සැලසුම් කර තිබුණා.

විශාල පළිඟු ඛනිජ සහිත බහාලුම් 4 මාතලේ – කවුඩුපැළැල්ලේ සිට සේදවත්තට ගෙන එනතෙක්ම මෙහි ප්‍රවාහනය සම්බන්ධ කිසිදු තොරතුරක් සටහන් නොකිරීමත් තවත් නීතිවිරෝධී ක්‍රියාවක්.

පළිඟු පාෂාණ චීනයට පැන්නීම අවසන් මොහොතේ වැරදීමෙන් පසු ඊට උරණ වූ මීට සම්බන්ධ පිරිස් මෙම වංචාව රට හමුවේ හෙළි කළ මාධ්‍යවේදීන් ජංගම දුරකථන හරහා වීඩියෝ කිරීමට ද පිරිසක් යොදවා සිටියා.

‘හිරු සී.අයි.ඒ.’ පසුගිය සෙනසුරාදා කළ මෙම අනාවරණයෙන් පසුව අනාරක්ෂිතව කැණීම් කළ මාතලේ කවුඩුපැළැල්ල කැණීම් භූමිය පෙරේදා (09) දිනයේ වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කිරීමට භූ විද්‍යා හා පතල් කාර්යාංශය පියවර ගෙන තිබෙනවා.

මෙතෙක් කලක් මෙම අනාරක්ෂිත කැණීම් භූමිය නොදුටු දෑසින්, නෑසු කන්ව සිටි භූ විද්‍යා හා පතල් කාර්යාංශ නිලධාරීන්ට ‘හිරු අනාවරණයෙන්’ පසුව හෝ දෑස් විවර වී අවධානය යොමුවීම සතුටට කාරණයක්.

එලෙසින්ම නීතිවිරෝධීව මෙරටින් පිටකිරීමට සැලසුම් කළ බහාලුම් 4 පිළිබඳව වගකිව යුතු බලධාරීන්ට, ඉදිරියේදී නීතිය ක්‍රියාත්මක වන ආකාරය රට හමුවේ හෙළිකිරීමටත් ‘හිරු’ සුදානම්.

+


මාලිමා මන්ත්‍රිවරයෙකුගෙන් පොලිස් සැරයන්වරයෙකුට තර්ජන

(11.06.2025 – liveatsrilanka.lk)

නීති විරෝධී මත්පැන් ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් උරණ වූ ජාතික ජනබල වේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු විසින් වැලිපැන්න පොලිසියේ සැරයන්වරයෙකුට බැන තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මේ වන විට පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

ඊට අමතරව ජාතික ජනබලවේය මට්ටමින්ද සිද්ධිය පිළිබඳව සොයා බලමින් සිටින බව එම පක්ෂයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා පැවසුවා.

නීති විරෝධී මත්පැන් ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට ගැනීමෙන් පසුව ජාතික ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි සංජීව රණසිංහ මහතා තමන්ට දුරකතනයෙන් තර්ජනය කළ බවට සටහනක් වැලිපැන්න පොලිසියේ සැරයන්වරයෙකු විසින් පොලිස් සටහන් පොතේ යොදා තිබෙනවා.

පසුගිය 05 වැනිදා තමන්ට මෙම තර්ජනය කිරීම සිදුකළ බවත් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අසභ්‍ය වචනයෙන් බැන වැදී දුෂ්කර පළාතකට තමන්ව මාරුකරන බවට තර්ජනය කළ බවත් සැරුයන්වරයා තැබූ සටහටනේ දැකවෙනවා.

මේ අතර අදාළ සැරයන්වරයාට තර්ජනය කිරීම සඳහා මන්ත්‍රිවරයා සැරයන්වරයාගේ දුරකතන අංකය ලබාගෙන ඇත්තේ වැලිපැන්න පොලිසියේ ස්ථානාධිපතිවරයාගෙන් බවට ද තොරතුරු වාර්තා වනවා.

අදාළ බැනවැදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැරයන්වරයා පොලිස් ස්ථානාධිපතිවරයාට ද දැනුම් දීමෙන් පසුවයි පොලිස් සටහන් පොතේ සිද්ධිය සටහන් කර ඇත්තේ.

මේ සිද්ධිය සම්බන්ධයෙන් කලුතර ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාවින්ද පියසේකර මහතා විසින් විමර්ශනයක් සිදුකිරීම සඳහා සහකාර පොලිස් අධිකාරිවරයෙකු පත්කර තිබෙනවා.

ඒ අනුව ඉකුත් 07 වැනිදා සහකාර පොලිස් අධිකාරි සුනෙත් ශාන්ත මහතා විසින් මේ පිලිබඳ විමර්ශනක් අරඹා ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැලිපැන්න පොලිසියේ ස්ථානාධිපතිවරයාගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට ද කටයුතු කර තිබෙනවා.

කෙසේ වෙතත් මෙම සිද්ධියෙන් අනතුරුව අදාළ පොලිස් සැරයන්වරයා සේවයට වාර්තා නොකර ප්‍රදේශයෙන් බැහැරට ගොස් ඇති නිසා මෙතෙක් ඔහුගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට හැකිවී නැහැ.

අදාළ තර්ජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමසීමට අප පාර්ලිමේන්තු මන්ත්‍රි සංජීව රණසිංහ මහතා සම්බන්ධ කර ගැනීමට අවස්ථා කිහිපයකදීම උත්සාහ කළත් එය ව්‍යර්ථවී ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ‘ලයිව් ඇට් ශ්‍රී ලංකා’ වෙත ප්‍රකාශ කළේ අදාළ සිද්ධියේ සත්‍ය අසත්‍යතාවය සහ එහි බර පිළිබඳව සොයා බලමින් සිටින බවයි.

වැලිපැන්න පොලිසියේ ඉහළ නිලධාරීන් සඳහන් කළෙ අදාළ සිද්ධිය පිළිබඳව අධිකරණයට කරුණු වාර්තා කිරීමට ද අපේක්ෂා කරන බවයි ෴


උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමනය යථා තත්ත්වයට

(12.06.2025 – hirunews.lk)

උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමනය යථා තත්ත්වයට පත්කර තිබෙනවා.

අධික වර්ෂාවත් සමග මහනුවර හා පේරාදෙණිය දුම්රිය ස්ථාන අතර කොටසක් ගිලා බැසීමකට ලක්වීම හේතුවෙන් මහනුවර දක්වා දුම්රිය ධාවනය පේරාදෙණිය දුම්රිය ස්ථානය දක්වා සීමා කිරීමටයි සිදුවුණේ.

කෙසේ වෙතත් එම ස්ථානය යළි පිළිසකර කොට අද උදෑසන මහනුවර දුම්රිය ස්ථානය දක්වා ගමනාගමන කටයුතු යළි ආරම්භ කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළා ෴


බන්ධනාගාර දෙපාර්තමේන්තු මාධ්‍ය ප්‍රකාශක ඉල්ලා අස්වීමේ ලිපිය භාරදෙයි

(12.06.2025 – 10:50 +0530 – sinhala.adaderana.lk)

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස කටයුතු කළ, බන්ධනාගාර අධිකාරී ගාමිණී බී දිසානායක මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය වැඩබලන බන්ධනාගාර කොමසාරිස්වරයා වෙත යොමු කර ඇති බව වාර්තා වෙයි.

ජනාධිපති සමාව අවභාවිතා කරමින් අනුරාධපුර බන්ධනාගාරයේ රැඳවියෙකු නිදහස් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට මතුව ඇති තත්ත්වය හමුවේ මාධ්‍ය ප්‍රකාශකවරයා මෙලෙස සිය ඉල්ලා අස්වීම භාර දී ඇති බව සඳහන්ය.

මේ අතර බන්ධනාගාර දෙපාර්තමේන්තුව ප්‍රතිසංවිධානය කිරීමේ කටයුතු කෙරෙහි ආණ්ඩුවේ අවධානය යොමුව ඇත.

ඒ අනුව දිවයින පුරා බන්ධනාගාර අධිකාරී තනතුරුවල වෙනස්කම් රැසක් සිදුකිරීමට නියමිතය.

බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාගේ වැඩතහනමට ලක්කිරීමත් සමඟ එහි වැඩබැලීම අධිකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකු වන නිශාන් ධනසිංහ මහතාව පත් කෙරුණි ෴


දන්සල ඛේදවාචකයකින් අවසන් වෙයි

(12.06.2025 – 07:14 +0530 – sinhala.adaderana.lk)

මතුගම, අඹරුල්ලගහවත්ත ප්‍රදේශයේදී පිය පුතු දෙපළකට (2) පුද්ගලයෙකු විසින් කඩුවකින් සිදුකළ පහරදීමකදී පුත්‍රයා මියගොස් තිබේ.

පොලීසිය පැවසුවේ ඊයේ (11) රාත්‍රීයේ දෙපිරිසක් අතර ඇති වූ අරවුලක් දුරදිග යාමෙන් ඇති වූ ගැටුමකදී මෙම පහරදීම සිදුකර ඇති බවය.

පහරදීම හේතුවෙන් බරපතළ තුවාල ලැබූ පිය පුතු දෙපළ (2) කළුතර නාගොඩ රෝහලට ඇතුලත් කර ඇති අතර එහිදී පුත්‍රයා මෙලෙස මියගොස් ඇත.

මරණකරු වයස අවුරුදු 23 ක් වූ යටිදොල, නවුත්තුඩුව ප්‍රදේශයේ පදිංචිව සිටි අශේන් චාමික පෙරේරා නමැති අවිවාහක තරුණයෙකි.

තුවාලකරු වූ පියා වයස අවුරුදු 51 ක් වන එම ප්‍රදේශයේම පදිංචි පුද්ගලයෙකි.

ඊයේ (11) දහවල් මතුගම නවත්තුඩුව ප්‍රදේශයේ පොසොන් උත්සවය නිමිත්තෙන් බත් දන්සලක් මෙම පිරිස විසින් සංවිධානය කර තිබී ඇති අතර බත් දන්සලෙන් අනතුරුව එය සංවිධානය කළ පිරිස මතුගම කඩවක ප්‍රදේශයේ අවන්හලකට ගොස් මත්පැන් පානය කර තිබේ.

එහිදී මියගිය තරුණයාගේ වැඩිමහල් සහෝදරයා ඔහුගේ පියාගේ සහෝදරයෙකු සමඟ අරවුලක් ඇතිකරගෙන ඔහුට හෙල්මටයකින් පහරදී ඇති බව වාර්තා වේ.

එහි සිටි අනෙක් පිරිස විසින් ආරවුල සමතයකට පත්කර ඇති අතර පසුව පහරදුන් පුද්ගලයා අවමගුලකට සහභාගිවීම සඳහා එම ස්ථානයෙන් පිටත්ව ගොස් තිබේ.

මෙම අවස්ථාවේදි ඝාතනයට ලක් වූ තරුණයා සහ ඔහුගේ පියා වැඩිමහල් සහෝදරයා හමුවීමට ඔහු සිට ස්ථානයට ගොස් තිබේ.

එහිදී මාර්ගයේ රැකසිටි සැකකරුවන හෙල්මටයෙන් පහර කෑ පුද්ගලයා මෙම දෙපළට කඩුවකින් සහ පිහියකින් මෙලෙස පහර දී ඇති බව වාර්තා වේ.

මෙම පහරදීම සිදුකර ඇත්තේ පියාගේම සහොදරයෙකු බව සිදුකළ පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත.

සැකකරු සිද්ධියෙන් පසු පලාගොස් ඇති අතර අපරාධයට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා මතුගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.


මී උණ රෝගීන් සහ ළමුන් අතර පැතිර යන උණ රෝග ඉහළට

(12.06.2025 – 06:59 +0530 – sinhala.adaderana.lk)

දිවයින පුරා මී උණ රෝගීන් ඉහළ යාමේ ප්‍රවණතාවක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

එහි ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය තුෂානි දාබරේරා මහත්මිය සඳහන් කළේ, රත්නපුර, කුරුණෑගල, කෑගල්ල, ගම්පහ සහ කළුතර යන දිස්ත්‍රික්කවලින් වැඩි වශයෙන් රෝගීන් වාර්තා වන බවය.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විශේෂඥ වෛද්‍ය තුෂානි දාබරේරා මහත්මිය මෙම අදහස් පළ කළාය :

“මේ රෝගය බෝවෙන්නේ බැක්ටීරියාවකගෙන්. විශේෂයෙන් ක්ෂීරපායි සතුන්ගේ මූත්‍රා මඟින්. ඇත්තම කියනවා නම් මීයන්ගේ තමා මුත්‍රා පද්ධතියේ මේ බැක්ටීරියාව ජීවත් වෙන්නේ. මීයන් වතුර බොන අවස්ථාවන්වලදී මුත්‍රා ජලයට මුසු වෙනවා. එහෙම නැත්නම් පසට මුසුවෙනවා. ඒ පසෙන් හෝ ජලයෙන් අපි නිරාවරණය වුණොත් මිනිස්සුන්ට මේ රෝගය බොහෝදුරට වැලඳෙනවා. දිස්ත්‍රික්ක වශයෙන් ගත්තහම රත්නපුර, කුරුණෑගල, කෑගල්ල, ගම්පහ සහ කළුතර යන දිස්ත්‍රික්කවල මේ රෝගීන් වැඩි වශයෙන් දක්නට ලැබෙනවා. ඒ එක්කම අවධානම් කණ්ඩායම් ගැන අපි කතා කළොත් වී ගොවීන්, සමහර දිස්ත්‍රික්කවල පතල් කර්මාන්තයේ නියැලෙන අය, ගංවතුරට ආවරණය වුණොත් සහ කීරකොටුවල වගා කටයුතු නියැලෙන්නන් පෙන්වා දිය හැකියි.”

මේ අතර මේ දිනවල ළමුන් අතර පැතිර යන උණ රෝගී තත්ත්වයන් සම්බන්ධයෙන් එම මාධ්‍ය හමුවේ දී කොළඹ රිජිවේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය කෝසල කරුණාරත්න මහතා මෙලෙස පැහැදිලි කළේය :

“මේ දවස්වල ළමයින්ගේ අතර තද උණ රෝග පැතිරෙනවා. මේක අලුත් දෙයක් නෙමෙයි. මොකද මෝසම් වැසි සමඟ උණ රෝග කිහිපයක් පැතිරෙනවා. හැම අවුරුද්දේම. ඒවට අපි කියන්නේ ‘සවර් ෆීවර්’ කියලා. ඒ ප්‍රධාන කාණ්ඩයේ අපිට වැදගත්ම වෙන්නේ ඩෙංගු, මී උණ, ඉන්ෆ්ලුවෙන්සා සහ විකුන්ගුන්යා මෙන්ම උණ සමඟ එන පාචනය. මට දෙන්න ඕන ලොකුම පණිවුඩය තමා දරුවාට තද උණ සමග වමනය යනවා නම්, බඩ රිදෙනවා නම්, මුත්‍රා පිටවීමේ අඩුවක් තියෙනවා නම් බල බල ඉන්න එපා ඉස්පිරිතාලෙකට යොමු වෙන්න.”


W15 හෝටලයට වෙඩිතැබීම තවත් තොරතුරු රැසක් හෙළිවෙයි

(11.06.2025 – 21:25 +0530 – sinhala.adaderana.lk)

වැලිගම W15 හෝටලයට වෙඩිතැබීම සඳහා තමන් ඇතුළු කණ්ඩායමට නියෝග කළේ එවක කොළඹ අපරාධ කොට්ඨාසයේ වැඩබලන අධ්‍යක්ෂවරයා වූ සහකාර පොලිස් අධිකාරී නෙවිල් ද සිල්වා මහතා විසින් බව ඒම කොට්ඨාසයේ හිටපු ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඈන්ස්ලම් ද සිල්වා මහතා අද (11) ප්‍රකාශ කළේය.

ඒ, වැඩ තහනමකට ලක්ව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එල්ලවී ඇති චෝදනා විමර්ශනයට පත්කළ පාර්ලිමේන්තු විමර්ශන කමිටුව හමුවේ සාක්ෂි ලබාදෙමිනි.

ධුරයේ රාජකාරි කිරීම අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා, ඔහුට එරෙහිව ඇති චෝදනා පිළිබඳ විමර්ශනය කිරීමට පත්කළ පාර්ලිමේන්තු කමිටුව හමුවේ අද (11) සිව්වැනි (4) දිනටත් පෙනී සිටියේය.

එහිදී, 24 වැනි සාක්ෂිකරු ලෙස නම් කර ඇති දැනට වැඩතහනමකට ලක්ව සිටින කොළඹ අපාරධ කොට්ඨාසයේ හිටපු ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඈන්ස්ලම් ද සිල්වා මහතාගෙන් කමිටුව ඉදිරියේ සාක්ෂි විමසමින්, අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා ප්‍රශ්න කළේ, ‘නඳුන් චින්තක’ නොහොත් ‘හරක් කටා’ පිළිබඳ පරීක්ෂණයක් සිදුකිරීමට නියෝගයක් ලැබුණේද යන්නය.

ඊට පිළිතුරු ලෙස ඈන්ස්ලම් ද සිල්වා මහතා මෙලෙස සඳහන් කළාය :

“2023 දෙසැම්බර් 30 වැනිදා, එවකට කොළඹ අපරාධ කොට්ඨාසයේ වැඩබලන අධ්‍යක්ෂ නෙවිල් ද සිල්වා මට එන්න කිව්වා නිලධාරීන් කණ්ඩායමක් සමඟ වැලිගමට යන්න. එහි හෝටලයක පාතාලයට සම්බන්ධ පිරිසකගේ සාදයක් තිබෙන බවත්, එම ස්ථානයට ගොස් තාප්පයට සහ නම සඳහන් බෝඩ් එකට වෙඩි තබා එන ලෙසත් කිව්වා. ඒ සඳහා පිටත්ව ගිය කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළේ මම. වෙඩි තැබුවාට පස්සේ අපි පොඩ්ඩක් ඉස්සරහට ගියා. එහෙම ඉස්සරහට යනකොටම තවත් වෙඩි සද්දයක් ඇහුණා. එතකොට අපි දැක්කා අපිත් එක්ක ගිය උපුල් කියන නිලධාරියා වෙඩි වැදිලා වැටිලා ඉන්නවා. මම එතකොටම මා සමග සිටි අයට ‘ඉක්මණට පලයන්’ කියලා කිව්වා. එතන STF එකේ 20 ක් විතර හිටියා බස් එකක. ඒ බස් එක ස්ටාර්ට් වෙන්න පරක්කු වුණ නිසයි අපිත් අද ජීවතුන් අතර ඉන්නේ. නැත්නම් උපුල් එක්ක අපිත් මැරිලා.

ස්වාමීනි නෙවිල් ද සිල්වා අපිට කළේ බොරුවක්. අපි වෙඩි තියන්න යන එක වැලිගම පොලීසිය ඇතුළු පොලිස් ස්ථානවලට දැනුවත් කරලා තිබුණා කියලයි ඔහු අපිට කිව්වේ “

අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා එහිදී ප්‍රශ්න කළේ, “දේශබන්දු මේ ගැන ඔයාලගෙන් විමසුවාද?” යන්නය.

“නැහැ” යනුවෙන් ඈන්ස්ලම් ද සිල්වා මහතා පිළිතුරු ලබාදුන්නේය.

එවිට, අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා :

“මරණ පරීක්ෂණය සිදුකරන වෙලාවේ හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මුල් අවස්ථාවේදී සිදුකළ පරීක්ෂණයේදී ඔබ සඳහන් කරලා තියෙනවා තුන්වැනි (3) පාර්ශ්වයක් වෙඩි තිබ්බා කියලා. එතකොට මේ කතාව කවුද නිර්මාණය කළේ?” යනුවෙන් විමසීය.

“සිද්ධියෙන් පස්සේ නෙවිල් ද සිල්වා වැලිගමට ආවා. මේ විදියේ කතාවක් කිව්වොත් අපිට අවුලක් නැතිවෙයි කියලා කිව්වා. ඒ අනුව තමයි අපි මේ කතාව අධිකරණයට කියමු කියලා සාමූහික ස්ථාවරයකට ආවේ. ඒ නිසා අපි කතාව ඒ විදිහට කිව්වා. මරණ පරීක්ෂණයේදිත්, මහේස්ත්‍රාත් අධිකරණයේදීත්, පළමු වරට ප්‍රකාශ ලබාදීමේදී අපි කිව්වේ නිර්මාණය කළ කතාවක්. අපිට තේරුණා මේ ප්‍රශ්නය දිගටම යනවා කියලා. ඊට පස්සේ අපරාධ පරීක්ෂණයට ගිහින් මම ඇත්ත කතාව කිව්වා” යනුවෙන් ඈන්ස්ලම් ද සිල්වා මහතා පිළිතුරු ලබාදුන්නේය.

වැඩ තහනමට ලක්ව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකොන් වෙනුවෙන් පෙනීසිටි නීතිඥ එස්. වීරවික්‍රම සාක්ෂිකරුගෙන් ප්‍රශ්න විමසීම ආරම්භ කළේය.

“වැලිගම W 15 හෝටලයට වෙඩි තබන්නැයි නියෝග ලබාදුන් විටත් දණ්ඩ නීති සංග්‍රහය අනුව කිසිම දේපළකට වෙඩි තියන්න බැහැ කියලා පොලිස් නිලධාරියෙක් විදියට ඔබ දැනසිටියේ නැද්ද ?

“අපි දැනුවත්ව තමයි ඒ දේ කළේ. නෙවිල් ද සිල්වා මහතාගේ නියෝගයක් නිසා අපි වරදක් කරන්නේ කියලා දැන දැනම මේ දේ කළා.” යනුවෙන් පිළිතුරු ලබාදුන්නේය.

එහිදී නිතිඥවරයා විමසා සිටියේ, “නීති විරෝධී නියෝගයක් විට ඇයි ඒ බව පොලීසියේ ප්‍රකාශ සටහන්වල නොලිව්වේ?” යනුවෙනි.

“ඉහළින් ලැබෙන සියලු වැරදි නියෝග ක්‍රියාත්මක කරන්න අපි බැඳිලා නැහැ. හැබැයි පොලීසිය ඇතුළේ ඉන්නනම් අපිට ඉහළින් ඉන්න නිලධාරින් කියන දේවල් කරන්න වෙනවා. නැත්නම් අපිට පොලීසියේ රැඳීඉන්න බැහැ” යනුවෙන් සාක්ෂිකරු පිලිතුරු ලබාදුන්නේය.

‘නෙවිල් සිල්වා කියන අධ්‍යක්ෂවරයාට ඉහළින් ඉන්න පොලිස්පති හෝ නිලධාරීන්ට ඇයි මේ බව නොකිව්වේ?’ යනුවෙන් විමසීමේදී සාක්සිකරු සඳහන් කළේ “එහෙම කිව්වත් කිසි ප්‍රයෝජනයක් නැහැ. ඒ නිසයි මම කිව්වේ නැත්තේ” යනුවෙනි.

ඔබත් එක්ක වෙඩි තියන්න ගිය කණ්ඩායමේ 08 දෙනාගෙන් එක්කෙනෙක් (01) මැරුණා. 06 දෙනෙක් විතරයි මෙතන ඉදිරිපත්වෙලා තියෙන්නේ. එතකොට අනෙක් කෙනාට (01) මොකද වුණේ? යනුවෙන් නිතිඥවරයා සිදුකළ විමසීමට පිලිතුරු ලෙස සාක්ෂිකරු සඳහන් කළේ, ඔහු පසුගිය දෙසැම්බර් මාසයේදී විදෙස්ගතවී ඇති බවය.

එමෙන්ම, ‘එදින වැලිගමට යෑමේදී ව්‍යාජ අංක තහඩු දෙකක් (2) රැගෙන ගියේ මන්දැයි’ සිදුකළ විමසීමට පිළිතුරු ලෙස සාක්ෂිකරු මෙලෙස සඳහන් කළේය :

“අපි ගියේ පොලීසියේ වාහනයකින්. ඒක නිසා අංක තහඩු සියල්ල සටහන් වෙනවා. ඒ නිසා අපි ව්‍යාජ අංක තහඩු දෙකක් (2) අරන් ගියේය.

ඉහළ නිළධාරීන් අපිට ලබාදෙන තීන්දු තීරණ නිසයි මාව වැඩතහනමට ලක්වෙලා තියෙන්නේ. අද මට විශ්‍රාම වැටුපවත් ගන්න විදියක් නැහැ. අනෙක් සියලු නිළධාරීන් මේක ආදර්ශයක් කරගන්න. මේ වගේ නියෝග ක්‍රියාත්මක නොකර ස්ථාන මාරුවීමක් අරන් ගියත් මීට වඩා හොඳයි”

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *