බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණියට එරෙහි නඩුවේදී කරුණු රැසක් හෙළිවෙයි
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණියට එරෙහි නඩුවේදී කරුණු රැසක් හෙළිවෙයි
(10.06.2025 – 20:33 +0530 – sinhala.adaderana.lk)
= බන්ධනාගාර ඇතුළේ වෙනම අධිරාජ්‍යයක් =
ජනාධිපති සමාවට මුවාවී අවිධිමත් ලෙස රැඳවියෙකු මුදාහැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (09) රාත්‍රියේ අත්අඩංගුවට ගත් වැඩ තහනමට ලක්ව සිටින බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය හෙට (11) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් මංජුල රත්නායක මහතා අද (10) නියෝග කළේය.
මෙහිදී අධිකරණයට කරුණු දැක්වූ අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා කියාසිටියේ පසුගිය නත්තල් දින සහ නිදහස් දින රැඳවියන් 68 දෙනෙකු මේ ආකාරයෙන්ම අනීතිකව නිදහස් කර ඇති බවය.
වැඩතහනමට ලක්වූ බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා අද (10) දහවල් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් මංජුල රත්නායක මහතා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණය හමුවේ මෙලෙස ප්‍රකාශ කළේය :
“ස්වාමිනි, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන ව්‍යවස්ථාව ප්‍රකාරව ජනාධිපතිවරයාට ලැබී ඇති විධායක බලයක් වන ජනාධිපති පොදු සමාවට මුවාවෙලා බන්ධනාගාර නිලධාරින් සිය අභිමතය පරිදි අපරාධකරුවන් නිදහස්කර තිබෙනවා. බන්ධනාගාර නිලධාරින් ක්‍රියාකරලා තියෙන්නේ විනිසුරුවන් විදිහට. දඩ නොගෙවීම මත සිරගත කළ වරදකරුවන් බන්ධනාගාර අධිකාරිවරු කොහොමද ගෙදර යවන්නේ? මේක විධායක බලය අවභාවිත කිරීමක් පමණක් විතරක් නෙවෙයි අධිකරණ බලයත් අවභාවිත කිරීමක්. ස්වාමිනි, මීට පෙර රටේ පොලිස්පතිවරයා තමන්ගේ හතුරෙකුට පහරදෙන්න කියලා තම නිලධාරින් යවලා නඩුවක් දාගත්තා. ඊළඟට ආගමන විගමන පාලක ජනරාල්වරයා අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකර රිමාන්ඩ් වුණා. දැන් අධිකරණ නියෝග ක්‍රියාත්මක කරන ප්‍රමුඛතම ආයතනයේ ප්‍රධානියා අවිධිමත් ලෙස සිරකරුවෝ නිදහස් කිරීමකට ආධාර අනුබලදීමට අධිකරණය ඉදිරියට ඇවිල්ලා තියෙනවා. මේක කාලයක් තිස්සේ සිදුවූ ක්‍රියාවලියක්.
මොවුන් මේ රජයේ ආයතන තුළ කුඩා අධිරාජ්‍යය හදාගන්නවා. ලොක්කෝ ඉන්නේ රාජාසනයේ. හරියට පාතාල කණ්ඩායම් වගේ. ස්වාමිනි, ප්‍රශ්නගත වෙසක් පෝය දවසේ ක්ෂේත්‍ර 04 ක් යටතේ, රට වටේ තියෙන බන්ධනාගාර 28 කින් ජනාධිපති පොදුසමාව දිය හැකි රැඳවියන් ගැන නිර්දේශ ඇවිල්ලා තියෙනවා. විත්තිකූඩුවේ සිටින මේ බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා එම නිර්දේශ අධිකරණ අමාත්‍යාංශයටත්, ජනාධිපති ලේකම් කර්යාලයටත් යොමුකරලා තියෙනවා. ජනාධිපතිවරයාට අනුමැතිය දුන් ලේඛනයේ තිබූ නම් 388 අතරේ අනුරාධපුර බන්ධනාගාරයෙන් නිර්දේශ කරපු නම් 36 ක ලැයිස්තුවක් තිබිලා තියෙනවා. නමුත් නිදහස ලැබූ ප්‍රශ්නගත රැඳවියාගේ නම මේ කිසිවක නැහැ. 2024 නත්තලට ජනාධිපති පොදු සමාවට අනුමැතිය නොලද 57 දෙනෙකුත් මුදාහැර තිබෙනවා. 2025 නිදහස් දිනයේ පොදු සමාවට අනුමැතිය නොලද 11 ක් මුදාහැර තිබෙනවා. වෙසක් දවයේ එහෙම මුදාහැරපු ගාණ හරියටම කීයද කියලා තාම සොයනවා. මේ සියල්ල සිද්ධවෙන්නේ විනිසුරුවන්ගේ නියෝගයෙන් නොවෙයි. අර මම කියපු බන්ධනාගාර අධිරාජ්‍යයේ රජ්ජුරුවන්ගේ නියමයෙන්. ලක්ෂ 25, 20 දඩ ගෙවාගන්න නොහැකිව සිරගත වූ රැඳවියන් හොරෙන් මේ බන්ධනාගාර අධිකාරිවරුන්ගේ ලේඛනවලට ඇතුළත් වෙනවා. අපි දැන් ප්‍රධානියාගේ ඉඳලා සියලුම බන්ධනාගාර අධිකාරිවරුන් සම්බන්ධයෙන් විමර්ශන අරඹා තිබෙන්නේ. හැමෝම පරිස්සම් වෙන්න. හැමෝගෙම වත්කම් ගැනත් සොයනවා.”
ඒ අනුව විමර්ශන ක්‍රියාත්මක බැවින් සැකකරු ඇප මත මුදාහැරීමට පැමිණිල්ල විරුද්ධවන බවත් සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසත් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියි.
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල් දෙණිය මහතා වෙනුවෙන් නීතිඥ දර්ශන කුරුප්පු මහතා ඇප අයැද සිටියේය :
“ස්වාමීනි ජනාධිපති ලේකම් කාර්යාලයේ චක්‍රලේඛයට අනුවයි මාගේ සේවාදායකයා කටයුතු කර තිබෙන්නේ. වෙසක් දින හෝ නත්තල් දින නිදහස් කරනු ලබන රැඳවියන්ගේ නම් එවනු ලබන්නේ සෑහෙන කාලයකට පෙරයි. ඒ නම් ලැයිස්තු එව්වට පස්සේ ඒ කාලසීමාවේම තවත් පිරිසක් සමාව ලැබීමට සුදුසුකම් ලබනවා. අදාළ චක්‍රලේඛයට අනුව බන්ධනාගාර බලධාරීන්ට හැකියාව තිබෙනවා පසුව සුදුසුකම් ලබන පුද්ගලයින්ගේ නම් අධිකරණ අමාත්‍යාංශය වෙත යොමු කරන්න. එසේ එවනු ලබන නම් අර මුලින් එවන ලැයිස්තුවේ ඇතුළත් වන්නේ නැහැ. වැරදි පුද්ගලයෙක් නිදහස් කරලා තිබෙනවා නම් මේ නඩුවට අධිකරණ අමාත්‍යංශ ලේකම් වගේම ජනාධිපති ලේකම්වරයාත් සැකකරුවන් ලෙස නම් වියයුතුයි. අනික මේ නිදහස් කිරීම අනුරාධපුර බන්ධනාගාරය සිදුකර තිබේ නම් ඊට එම බන්ධනාගාර අධිකාරි වගකිවයුතුයි. නමුත්, මගේ සේවාදායකයා ඊට අනුබලදුන් බවට අඹමල් රේණුවක සාක්ෂියක් නැහැ. මගේ සේවාදායකයාට දැනට වැඩ තහනමට ලක්වෙලා තියෙන නිසා විමර්ශනයට බලපෑම් කරන්න ඔහුට හැකියාවක් නැහැ. එබැවින් ඕනෑම කොන්දේසියක් යටතේ ඔහු ඇපමත මුදාහරින ලෙස මා ඉල්ලා සිටිනවා.”
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අතිරේක මහෙස්ත්‍රාත් මංජුල රත්නායක මහතා, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය හමුවේ නඩුව හෙට (11) දිනයේ යළි කැඳවීමට නියම කරමින් සැකකාර තුෂාර උපුල් දෙණිය මහතා හෙට (11) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළේය.
මේ අතර අනුරාධපුර බන්ධනාගාරයෙන් නිදහස් වූ ඩබ්ලිව්.එම්. අතුල තිලකරත්න නැමැති පුද්ගලයා මේවන විට පදිංචි ප්‍රදේශයෙන් පලාගොස් ඇති බව වාර්තා වේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ, සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මක බවය.
+++
+++
+
උඩරට මාර්ගයේ පේරාදෙණිය සහ මහනුවර දුම්රිය ස්ථාන අතර දුම්රිය ධාවනය තාවකාලිකව අත්හිටුවයි
(11.06.2025 – hirunews.lk)
උඩරට මාර්ගයේ පේරාදෙණිය සහ මහනුවර දුම්රිය ස්ථාන අතර දුම්රිය ධාවනය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.
ඒ පේරාදෙණිය සහ මහනුවර දුම්රිය ස්ථාන අතර මහනුවර උසාවි සංකීර්ණය ආසන්නයේ මාර්ගය ගිලා බැසීම හේතුවෙන්.

මේ හේතුවෙන් මහනුවර බලා ධාවනය වන දුම්රිය පේරාදෙණිය දුම්රිය ස්ථානය දක්වා සීමා කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
කෙසේ වෙතත් බදුල්ල බලා ධාවනය වන දුම්රිය බාධාවකින් තොරව ගමන් කරන බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියා සිටියේ.
+++
මහනුවර – පේරාදෙණිය දුම්රිය ස්ථාන අතර මගීන් ප්‍රවාහනයට විශේෂ බස් රථ
(11.06.2025 – 12:32 +0530 – sinhala.adaderana.lk)
මහනුවර සහ පේරාදෙණිය දුම්රිය ස්ථාන අතර මගීන් ප්‍රවාහනය සඳහා විශේෂ බස් රථ යොදවා ඇති බව ‘දුම්රිය දෙපාර්තමේන්තුව’ පැවසීය.
මෙම ගිලා බැසීමට ලක්වු ස්ථානය පරීක්ෂා කිරීම සඳහා ‘ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ’ කණ්ඩායමක් ද ගොස් තිබේ.
පේරාදෙණිය හා මහනුවර දුම්රිය ස්ථාන අතර දුම්රිය ධාවනය තාවකාලිකව අත්හිටුවීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබුණි.
ඒ මහනුවර අධිකරණ සංකීර්ණය ආසන්නයේ දුම්රිය මාර්ගය ගිලා බැසීමකට ලක්වීම හේතුවෙන්ය.
මාර්ගය කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීම සඳහා මේ වනවිට අවශ්‍ය පියවර ගෙන ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා සඳහන් කළේය ෴
අද (11) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි ගාස්තු 15% කින් ඉහළට
(11.06.2025 – hirunews.lk)
2025 දෙවන (2) අර්ධය සදහා විදුලි ගාස්තු 15% කින් ඉහළ නංවන බව මහජන උපයෝගිතා කොමිසම පවසනවා.
අද (11) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ‘මහජන උපයෝගීතා කොමිසමේ’ සභාපති කේ.පී.එල්. චන්ද්‍රලාල් මේ පිළිබඳව සඳහන්කර සිටියා.
මෙය ඉතා සාධාරණ තීරණයක් බවයි සභාපතිවරයා පවසා සිටියේ.
මේ ජූනි මස පළමු (01) වැනිදා සිට විදුලි ගාස්තු සියයට 18.3 කින් ඉහළ නැංවීමට අදාළ යෝජනාව ‘ලංකා විදුලි බල මණ්ඩලය’ විසින් ‘මහජන උපයෝගීතා කොමිසම’ වෙත පසුගියදා යොමු කරනු ලැබුවා.
ඒ පිරිවැය ආවරණය වන පරිදි කඩිනමින් විදුලි ගාස්තු ගැලපීමක් සිදු කළ යුතු බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිර්දේශ කර තිබූ පසුබිමකයි.
ඊට අදාළව දිස්ත්‍රික් මට්ටමින් මහජන අදහස් විමසීම පසුගිය දිනවලදී සිදු කරනු ලැබුවා ෴
2024 නත්තල් දවසේදී රැදවියන් 332 කට පොදු සමාව ලබා දුන්නත් රැඳවියන් 389ක් නිදහස් කිරීම සම්බන්ධයෙන් පරික්ෂණයක් කරනවා – කැබිනට් මාධ්‍ය ප්‍රකාශක
(11.06.2025 – hirunews.lk)
අසත්‍ය ලේඛන ඉදිරිපත් කරමින් සිරකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් ඉතිහාසයේ එල්ල වූ පළමු චෝදනාව මෙය නොවන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.
පසුගිය දිනෙක සමාජයේ දැඩි කතාබහට ලක් වූ අනුරාධපුර බන්ධනාගාරයේදී සිර දඩුවම් නියම වූ සැකකරුවෙකු ජනාධිපති සමාව හිමි වු බවට අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර නිදහස් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ පිළිබඳව පවසා සිටියා.
අමාත්‍යවරයා මේ පිළිබඳව සඳහන්කර සිටියේ අද (11) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ තීරණයට එක්වෙමින්.
එහිදී මාධ්‍යවේදීන් විමසා සිටියේ, පසුගිය දිනෙක අනුරාධපුර බන්ධනාගාරයේදී සිර දඩුවම් නියම වූ සැකකරුවෙකු ජනාධිපති සමාව හිමි වු බවට අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර නිදහස් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අමාත්‍යවරයා පවසා සිටියේ මෙවැනි අදහසක් :
“ජනාධිපති සමාව ලබාදුන් පළමු අවස්ථාව මෙය නොවෙයි. වෙසක් පෝයට, නත්තලට ජනාධිපති සමාව සිරකරුවන් නිඳහස් කරනවා. මේ විශේෂ අවස්ථාවන්වලදී සිරකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් අයථා ලෙස කටයුතු කරන බවට වාර්තා වූ පළමු අවස්ථාව. ඒ අනුව එයට අදාළ විමර්ශන කටයුතු සිදුකරනවා. දැනට පේන හැටියට මීට කලිනුත් මෙවැනි සිදුවීම් වෙලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් විමර්ශන කටයුතු වෙනවා. විශේෂයෙන් 2024 නත්තල් දවසේදී රැදවියන් 332 කට පොදු සමාව ලබා දුන්නත් රැඳවියන් 389 ක් නිදහස් කිරීම සම්බන්ධයෙන් පරික්ෂනයක් කරනවා” ෴
අනුරාධපුර බන්ධනාගාර අධිකාරීවරයා ජුනි 13 වන දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා ෴
රුපියල් ලක්ෂ 36 ක් පමණ වටිනා ‘ගංජා හයිබ්‍රිඩ් කුෂ්’ පැළ තොගයක් සමග දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ ගිනිබටයෙක් අත්අඩංගුවට
(11.06.2025 – hirunews.lk)
දෙහිවල නැදිමාල රුපසිංහ පාරේ සුපිරි තෙමහල් නිවසක උඩුමහලේ සරුවට වගාකර තිබූ රුපියල් ලක්ෂ 36 ක් පමණ වටිනා ‘ගංජා හයිබ්‍රීඩ් කුෂ්’ පැල තොගයක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව දෙහිවල පොලිසිය පවසනවා.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 33 ක් වූ ‘දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ ගිනි නිවීම් ඒකකයේ’ ගිනිබටයෙක්.
එම සැකකරු සමග අඩි 2 සිට 3 ප්‍රමාණවලින් ‘ගංජා හයිබ්‍රිඩ් කුෂ්’ පැළ 36 ක් පොලිස් භාරයට ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.
දෙහිවල පොලිසියේ ස්ථානාධිපතිට ලද තොරතුරකට අනුව වැඩ බලන ස්ථානාධිපති පොලිස් පරික්ෂක සංජීව අලුත් ගෙදර ඇතුළු කණ්ඩායමක් මෙම වැටලීම සිදුකර තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී අන්තර්ජාලය හරහා ඇමෙරිකාවෙන් ආනයනය කරන ලද ‘ගංජා හයිබ්‍රිඩ් කුෂ් ඇට’ මගින් මෙම පැළ රෝපණය කරන බවට අනාවරණය වී ඇති බවයි පොලිසිය පවසන්නේ.
එමගින් නිෂ්පාදනය කරන මත්ද්‍රව්‍ය මිතුරන් අතරේ අලෙවි කරන බව පැවසුවත්, රාත්‍රී සමාජ ශාලාවල් සඳහා යොමු වන්නන්ට එම සැකකරු අධික මුදලකට එම මත්ද්‍රව්‍ය අලෙවිකර ඇති බවට සැක කරන බවයි පොලිසිය පවසන්නේ.
මෙම පැළ වේලීමෙන් අනතුරුව ග්‍රෑම් එකක් රුපියල් 8500/= මුදලකට අලෙවි කර ඇති බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.
+
ඔරුගොඩවත්තේදී බිහිසුණු රිය අනතුරක්
(11.06.2025 – hirunews.lk)
මොනරාගල සිට කොළඹ බලා ධාවනය වූ බස්රථයක් ඔරුගොඩවත්ත ප්‍රදේශයේ දී අනතුරකට පත්ව තිබෙනවා.
ඒම අනතුරෙන් පුද්ගලයන් 15 දෙනෙක් තුවාල ලබා ඇති බවයි සඳහන් වෙන්නේ.
මෙම අනතුරින් වාහන 10 කටද හානි සිදුවී ඇති බවයි වාර්තා වෙන්නේ ෴
+++
+++
ඔරුගොඩවත්ත ප්‍රදේශයේදී පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථයක් මාර්ගයේ පසෙක නවතා තිබූ ලොරි රථයක පිටුපස ගැටීමෙන් අද (11) අලුයම සිදුවූ අනතුරකින් බස් රථයේ ගමන්කල මගීන් කිහිප දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කෙරුනා ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴