බස් රථයේ දී තරුණියන්ට හිරිහැර කළ දෙදෙනෙක් කොන්දොස්තරට පොලුවලින් ගහලා
බස් රථයේ දී තරුණියන්ට හිරිහැර කළ දෙදෙනෙක් කොන්දොස්තරට පොලුවලින් ගහලා
(07.06.2025 – hirunews.lk)
නාවලපිටිය සිට කොළඹ බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක සිටි මවක, දියණියක ඇතුළු තරුණියන් කිහිප දෙනෙකුට ලිංගික හිරිහැර කළ යම් මත්ද්‍රව්‍යක් භාවිතා කර සිටි තරුණයින් දෙදෙනෙකුට (2) එරෙහි වූ බස් රථයේ කොන්දොස්‍තරට පොලුවලින් පහර දී තුවාල සිදුකර තිබෙනවා.
අද (07) උදේ 09:30 ට පමණ කඩවත, කිරිල්ලවල අධිවේගී පිවිසුම අසල වර්ණ සංඥාව ළඟදීයි මෙම පහර දීම සිදුකර තිබෙන්නේ.
සැකකාර තරුණයින් දෙදෙනා (2) අතරමගදී බස් රථයට ගොඩවී තිබෙන අතර පසුපස අසුන සම්පූර්ණයෙන්ම හිස්ව තිබියදීත් මොවුන් තරුණියන් අසලින් වාඩි වී තිබෙනවා.
එහිදී තරුණියන්ගේ ශරීරය ස්පර්ශ කිරීමටයි ඔවුන් කටයුතු කර තිබෙන්නේ.
මේ හේතුවෙන් අදාළ තරුණියන් වෙනත් අසුන්වලට ගොස් වාඩිවී තිබෙන අතර පෙරකී තරුණයින් ද නැවත නැවතත් සෙසු තරුණියන් ආසන්නයේ වාඩිවී ඔවුනට හිරිහැර සිදුකිරීමටයි ක්‍රියාකර ඇත්තේ.
අවස්ථා කිහිපයකදීම සිදුවූ මෙය බස් රථයේ මගීන්ගේ සහ කොන්දොස්තරවරයාගේද අවදානයට ලක්වුණා.
එහිදී එම සිදුවීමට එරෙහිව කතා කළ කොන්දොස්තරවරයාට බැණවැදී කුඩා පිහියකින් පහරදීමට එක් සැකකරුවෙක් උත්සාහ ගෙන තිබුණා.
ඒ වන තෙක්ම ධාවනය වෙමින් තිබූ බස් රථය කිරිල්ලවල අධිවේගී මාර්ග පිවිසුම අසළ වර්ණ සංඥාවේ නතර කරනවාත් සමග ගැටුම උත්සන්න වී සැකකරුවන් දෙදෙනා (2) හා කොන්දොස්තරවරයා රථයෙන් බිමට බැස තිබෙනවා.
ඉන් පසුව මාර්ගයේ සිටුවා තිබූ ලී කණුවක් බිඳගෙන සැකකරුවන් විසින් කොන්දොස්තරවරයාට අමානුෂික අයුරින් පහර දීමෙන් පසුවයි ඔවුන් එතැනින් පලාගොස් ඇත්තේ.
එහිදී බස් රථයේ මගීන් හා ප්‍රදේශවාසීන් එක්ව සැකකරුවන් දෙදෙනා (2) හඹාගොස් අධිවේගී මාර්ගය අසල පිහිටි ව්‍යායාම මන්තීරුව ආසන්නයේ වෙල්යායකදී අල්ලාගෙන පහර දී ගැටගසා තිබෙනවා.
අනතුරුව සැකකරුවන් දෙදෙනා (2) කඩවත පොලිසියට භාර දීමටයි පියවර ගෙන ඇත්තේ.
මේ සම්බන්ධයෙන් නාවලපිටිය – කොළඹ බස් රථයේ රියදුරු විසින් පොලිසියට පැමිණිල්ලක් සිදුකර තිබෙන අතර පහර කෑමෙන් තුවාල ලැබූ කොන්දොස්තරවරයා රෝහල්ගත් කිරීමට පියවර ගත්තා.
සැකකාර තරුණයින් දෙදෙනා (2) පොලිස් අත්අඩංගුවට ගත් බවත් ඔවුන් හෙට (08) මහර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද අපකළ විමසීමේදී කඩවත පොලිසියේ සථානාධිපතිවරයා ‘හිරු ප්‍රවෘත්ති’ වෙත පැවසුවා.
+++
(08.06.2025 – hirunews.lk)
නාවලපිටිය සිට කොළඹ බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක සිටි මවක, දියණියක ඇතුළු තරුණියන් කිහිප දෙනෙකුට ලිංගික හිරිහැර කිරීමේදී එරෙහි වූ බස් රථයේ කොන්දොස්‍තරවරයාට පොලුවලින් පහර දී තුවාල කළ සැකකරුවන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
ඒ එම සැකකරුවන් දෙදෙනා අද (08) මහර අධිකරණයට ඉදිරිපත් කළ පසුවයි.
මෙම සැකකරුවන් දෙන්නා හෙට (09) වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට පියවර ගෙන අති බවයි කඩවත පොලිසිය පවසන්නේ ෴
වැල්ලවත්ත මුහුදු මාවතේ රෑ කඩ හයකට (6) නඩු
(07.06.2025 – hirunews.lk)
බම්බලපිටියේ සිට වැල්ලවත්ත දක්වා මුහුදු මාවතේ පවත්වාගෙන යන රාත්‍රී වීදි ආහාර පාන අලෙවිසැල් ආශ්‍රිත හදසි පරීක්ෂාවක් ‘කොළඹ මහ නගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්’ විසින් සිදු කළා.
මෙහිදී පරිභෝජනයට නුසුදුසු සහ නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදවලින් තොරව ආහාර සැකසූ අලෙවිසැල් 6 කට එරෙහිව නීතිමය පියවර ගනු ලැබුවා.
බම්බලපිටියේ සිට වැල්ලවත්ත දක්වා මුහුදු මාවතේ මෙම රාත්‍රී වීදි ආහාර පාන අලෙවිසැල් දිනපතා රාත්‍රී 7 සිට මධ්‍යම රාත්‍රිය තෙක් විවෘත කර තැබෙනවා.
‘කොළඹ මහ නගර සභාවේ දිසා අංක 5 සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂවරුන්’ විසින් මෙම රාත්‍රී වීදි ආහාර පාන අලෙවිසැල් පරීක්ෂාවට ලක් කරනු ලැබූවා.
එම අලෙවිසැල්වල මස් මාංශ ගබඩා කර ඇති අධි ශීතකරණවල පිරිසිදුභාවය සහ නිසි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය නොකර ආහාර පිළියෙල කරන ස්ථාන කිහිපයක්ද මෙහිදී නිලධාරීන්ට නිරීක්ෂණය වුණා.
මිනිස් පරිභෝජනයට නුසුදුසු අයුරින් ආහාර පිළියෙල කෙරෙන එම අලෙවිසැල් හිමිකරුවන්ට නීතිමය පියවර ගැනීමටත් සෞඛ්‍ය නිලධාරීන් කටයුතු කළා.
ඒ අනුව නඩු කටයුතු 6 ක් අවවාද කිරීම් 5 ක් සහ නිවේදන 3 ක් නිකුත් කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගත් අතර මීට අදාළ පරීක්ෂණ වාර්තා මාලිගාකන්ද අධිකරණයට යොමු කිරීමටද නියමිතයි.
+
‘පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්’ගේ වර්ජන ක්‍රියාමාර්ගය හෙට (08) උදෑසන 08 න් අවසන්
(07.06.2025 – hirunews.lk)
‘පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්’ගේ වර්ජන ක්‍රියාමාර්ගය හෙට (08) උදෑසන 08:00 ට අවසන් කරන බව එම ඒකාබද්ධ බලමණ්ඩලයේ සභාපති රවී කුමුදේශ් පවසනවා.
ඒ අනුව, හෙට (08) උදෑසන 08:00 සිට සියළු සේවාවන් සුපුරුදු පරිදි සැපයෙන බවයි ඔහු සඳහන් කළේ.
උසස්වීම් ප්‍රමාදය, සම සෞඛ්‍ය උපාධිධාරීන් සේවයට බදවාගැනීමේ ගැටලු ඇතුළු කරුණු 05 කට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් විසඳුම් ලබානොදුන් බව පවසමින් මෙම වර්ජනය පරිපූරක වෛද්‍ය වෘත්තිකයින් නියෝජනය කරන වෘත්තීය සංගම් 5 ක් විසින් ආරම්භ කරනු ලැබුවා.
වර්ජනයේ නිරත වෘත්තිය සංගම් නියෝජිතයින් ජනාධිපති මහජන සම්බන්ධීකරණ කාර්යාලයේදී සාකච්ඡාවක නිරත වුණේ මේ අතරතුරයි.
එම සාකච්ඡාවෙන් අනතුරුව එම වෘත්තීය සමිතිවල විධායක සංගමය ඊයේ (06) රාත්‍රියේ රැස්වූ අතර වෘත්තීය සංගම් 4 ක් එම වර්ජන ක්‍රියාමාර්ගය තාවකාලිකව අත් හැරීමට පියවර ගත්තා.
කෙසේ වෙතත් රවී කුමුදේශ් නියෝජනය කරන ‘වෛද්‍ය රසායනාගාර වෘත්තීයවේදීන්ගේ සංගමය’ අද (07) දිනයේත් වර්ජනයේ නිරත වීමටයි තීරණය කරනු ලැබුවේ.
මේ අතර, සේවා ව්‍යස්ථාවේ පවතින ගැටලු වලට විසදුම් ඉල්ලා ‘රජයේ පශු වෛද්‍ය නිලධාරි සංගමය’ අනිද්දා (09) සංකේත වර්ජනයක නිරත වන බවයි එම සංගමයේ සභාපති උපුල් රංජිත් කුමාර පැවසුවේ ෴
විශේෂ පරීක්ෂණයක් ඉල්ලා ජනාධිපති කාර්යාලයෙන් CIDයට පැමිණිල්ලක්
(07.06.2025 – hirunews.lk)
ජනාධිපති සමාව යටතේ අනුමැතිය නොලැබූ සිරකරුවෙකු නිදහස් කිරීමක් සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි කර තිබෙනවා.
ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පැවැත්වෙනු ඇතැයි අපේක්ෂා කරන බවයි.
එම නිවේදනයේ දැක්වෙන්නේ අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටි ඩබ්.එච්. අතුල තිලකරත්න නමැති අයෙක් 2025 වෙසක් උත්සවය නිමිත්තෙන් ජනාධිපති සමාව යටතේ නිදහස් කර ඇති බවටත්, එම සිදුවීම පිටුපස බරපතළ අක්‍රමිකතාවක් ඇති බවටත් පළ වෙමින් තිබෙන පුවත් පිළිබඳ ජනාධිපති කාර්යාලයේ අවධානය යොමුව ඇති බවයි.
ඉහත සිදුවීමට අදාළව පසුගිය 06 වනදා බන්ධනාගාර කොමසාරිස් ජනරාල් විසින් ජනාධිපති කාර්යාලය වෙත එවන ලද පොදු සමාව හිමිවිය යුතු සිරකරු නාම ලේඛනය, නම් 388 කින් සමන්විත අතර එම ලේඛනයේ කිසිදු තැනක අනුරාධපුර බන්ධනාගාරයේ මුදල් වංචාවකට අදාළව සිරගතව සිටි පුද්ගලයාගේ නම ඇතුළත් නොවන බව එම නිවේදනයේ දැක්වෙනවා.
ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් අවධාරණය කරන්නේ සමාව දීම සඳහා ජනාධිපතිවරයා විසින් අනුමැතිය දෙන ලද, නම් 388 ට එම පුද්ගලයා කිසිසේත් ඇතුළත්ව නැති බවයි.
ඒ අනුව, මෙම සිදුවීම පිළිබඳව විශේෂ පරීක්ෂණයක් සිදුකරන ලෙස ජනාධිපති ලේකම් කාර්යාලය විසින් ඊයේ දින ‘ජනාධිපති සමාව යටතේ අනුමැතිය නොලැබූ සිරකරුවෙකු නිදහස් කිරීම සම්බන්ධව’ යන ශීර්ෂය යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් කළ බව ද එම නිවේදනයේ දැක්වෙනවා.
මේ සම්බන්ධව විධිමත් පරීක්ෂණයක් පැවැත්වීමටත්, වගකිවයුතු නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමටත් ඉදිරියේදී කටයුතු කෙරෙනු ඇති බව එහි වැඩිදුරටත් සඳහන් ෴
+++
ජනපති සමාව දුන් කෙනා ජනපති සොයයි | අනුරාධපුර මහා වංචාකාරයාට ජනාධිපති සමාව දුන්නෙ අනුර නෙවෙයිලු (07.06.2025)
+++
ජනපති අනුරගේ කනෙන් රිංගා ‘නිශාන්ත’ පන්නයේ ගේමක් ගැසූ ‘නිශාන්ත’ කවුද? (07.06.2025)
+++
ජනාධිපති සමාවේ සත්‍ය කතාව මෙන්න – ලඟම කෙනෙක් ජනාධිපති අමාරුවෙ දාලා (07.06.2025)
+
හොර රහසේ චීනයට පටවන්න හැදූ ‘පළිඟු පාෂාණ’ ගැන ‘හිරු CIA’ අනාවරණය
(07.06.2025 – hirunews.lk)
තිරුවානා පාෂාණ මුවාවෙන් වටිනා ‘පළිඟු පාෂාණ’ බහාලුම් 4 ක් වංචනික ලෙස චීනයට පැටවීමේ ජාවාරමක් පිළිබඳව ‘භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය’ විමර්ශන ආරම්භ කර තිබෙනවා.
‘හිරු සී.අයි.ඒ.’ ලබාදුන් තොරතුරු මත එම බහාලුම් 4 භූ විද්‍යා නිලධාරීන් සොයාගනු ලැබුවේ බලපත්‍ර කොන්දේසි සියල්ල උල්ලංඝනය කර සේදවත්ත බහාලුම් අංගනයක් තුළ ගාල් කර තිබියදීයී.
විනිවිද පෙනෙන අර්ධ මැණික් ලෙස හඳුන්වන මෙම වටිනා ඛනිජ නිධි මෙරට තුළ පැතිර පවතින්නේ මාතලේ, වැල්ලවාය, බලංගොඩ ආදී අතිශය සීමිත ප්‍රදේශයක පමණයි.
මෙම ඛනිජයෙන් නිපදවන ආභරණ පැළඳීමෙන් හා විසිතුරු නිර්මාණ ළඟ තබා ගැනීමෙන් ඉහළ ධන ආකර්ෂණයක් ලැබෙන බවට චීන ජාතිකයන් තුළ අධික විශ්වාසයක් පැවතීම හේතුවෙන් මීට ඇත්තේ ඉහළ ඉල්ලුමක්.
පසුගිය සමයේ මෙම ‘පළිඟු පාෂාණ තිරුවානා’ ලෙස හඳුන්වමින් ටොන් ගණනින් චීනයට මෙරටින් අපනයනය කර තිබුණා.
එම වංචා වැළැක්වීමට මේ වසරේ අප්‍රෙල් මස 17 වනදා ‘භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය’ දැනුම් දුන්නේ එදින සිට විනිවිද පෙනෙන වීදුරු පෙනුමැති ඛනිජ, ’මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය’ හරහා අපනයනය කරන බැවින් ඒ සඳහා තම කාර්යාංශය අවසර නොදෙන බවයි.
රජයේ ආයතන කුමන නීති පැනවුව ද මෙරට සතු වටිනා පළිඟු ඛනිජ හොර රහසේ රටින් පිටකිරීමට සංචාරක වීසා මත පැමිණි චීන ජාතිකයින් කණ්ඩායමක් මාතලේ කවුඩුපැලැල්ලේ කැණීම් භූමියේ නීති විරෝධීව ‘පළිඟු පාෂාණ’ සොයන බව ‘හිරු සී.අයි.ඒ.’ හෙළි කර ගත්තා.
දැඩි අනාරක්ෂිත තත්ත්වයෙන් පවත්වාගෙන යන මෙම කැණීම් භූමිය මිනිස් ජීවිත පවා බිළිගෙන ඇතත් ‘භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශයේ පතල් සුරක්ෂිතතා අංශයෙන්’ ඊට වගකිවයුත්තන් සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැහැ.
මේ අතරවාරයේ මෙරටින් පිට කිරීමට තහංචි පනවා ඇති විශාල ප්‍රමාණයේ පළිඟු ඛනිජ ඇතුළත් බහාලුම් 4 ක් හොර රහසේ මෙරටින් පිටකිරීමට ගාල්ලේ පිහිටි සමාගමක් උත්සාහ දරන බව ද ‘හිරු සී.අයි.ඒ.’ හෙළි කරගත්තා.
එම බහාලුම් 4 මාතලේ කවුඩුපැලැල්ලේ කැණීම් භූමියේ සිට කුරුණෑගල, වරකාපොල, හංවැල්ල හරහා ගාල්ල ප්‍රදේශයට රැගෙන යාමට අවසර ගෙන පසුව වංචනිකව ඒවා කොළඹ සේදවත්ත කන්ටේනර් අංගනයක් වෙත නීති විරෝධීව රැගෙන එන අයුරු හා එහි ගාල් කර ඇති අයුරු අප අනාවරණ කරගත්තේ දර්ශන සාක්ෂි ද සහිතවයි.
‘භූ විද්‍යා කාර්යාංශයෙන්’ නිකුත් කළ ප්‍රවාහන බලපත්‍ර කොන්දේසි අමු අමුවේ උල්ලංඝනය කරමින් එහි කිසිදු සටහනක් නොමැතිව මෙම බහාලුම් සේදවත්ත දක්වා ගෙනවිත් ඒවා චීනයට පිටකිරීම සැලසුම් කර තිබු බව අනාවරණ වූයේ අපනයනය සඳහා එම බහාලුම් ලබාගත් ආයතනයෙන් කළ විමසීම මතයි.
‘භූ විද්‍යා කාර්යාංශ නිලධාරියෙකු’ පසුගිය සඳුදා (02) එම නීති විරෝධී බහාලුම් 4 ට මුද්‍රා තැබූ අතර එහි නිලධාරී මණ්ඩලයක් මගින් ඊයේ (06) එම බහාලුම් පරීක්ෂා කළා.
එහිදී විනිවිද පෙනෙන විශාල ප්‍රමාණයේ ‘පළිඟු පාෂාණ’ ඇතුළු විවිධ වර්ගවල පාෂාණ, එම බහාලුම් 4 තුළම අන්තර්ගතව ඇති බව ‘භූ විද්‍යා නිලධාරීන්’ සනාථ කරගත්තා.
‘භු විද්‍යා කාර්යාංශයේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් දීපානි වීරකෝන් මහත්මිය’ ප්‍රකාශ කළේ මෙම නීති විරෝධී ක්‍රියා පිළිබඳ නීතිමය පියවර ගන්නා බවයි.
මෙම බහාලුම් චීනයට පැන්නීමට සැලසුම් කළ පාර්ශ්වවලට එරෙහිව භූ විද්‍යා නිලධාරීන් නීතිය ක්‍රියාත්මක කරන අයුරු රට හමුවේ අනාවරණය කිරීමටත් ‘හිරු සී.අයි.ඒ.’ ඉදිරියේදී සූදානම්.
+
බඹර ප්‍රහාරයෙන් කාන්තාවක් මරුට
(07.06.2025 – hirunews.lk)
වැලමඩ ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ මාදෝවිට ප්‍රදේශීයේ ගසක තිබු බඹර කූඩුවකට උකුස්සෙකු පහරදිම නිසා බඹරුන් ඇවිස්සී පුද්ගලයින් 10 දෙනෙකුට දෂ්ට කර තිබෙනවා.
එහිදී එක් කාන්තාවක් මියගොස් ඇති අතර ප්‍රහාරයට ලක්වූ තවත් හතර දෙනෙකු (4) වැලිමඩ මුලික රෝහලට ඇතුලත් කර ඇති බවයි වාර්තා වන්නේ.
මෙසේ මිය ගොස් ඇත්තේ මාදොවිට පදිංචි වයස අවුරුදු 88 අවිවාහක කාන්තාවක්.
මෙම ප්‍රදේශයේ ජනතාව නිතර නිතර බඹරුන් දෂ්ට කිරීමෙන් දැඩි ලෙස අසරණ තත්ත්වයට පත්වන අතර මේ සම්බන්ධව වනජීවී නිලධාරීන් මැදිහත් වී වහාම ක්‍රියා මාර්ගයක් ගන්නා ලෙසයි ප්‍රදේශවාසීන් ඉල්ලා සිටින්නේ ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴