රුපියල් 75,000 කට බිළිදා විකුණන්න හදපු මවට වසර හතක (7) සිර දඬුවම්
රුපියල් 75,000 කට බිළිදා විකුණන්න හදපු මවට වසර හතක (7) සිර දඬුවම්
(05.06.2025 – hirunews.lk)
දින දෙකක් (2) වයසැති කුඩා බිළිඳෙකු රුපියල් හැත්තෑ පන්දහසක (75,000) මුදලකට අලෙවි කිරීමට තැත් කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු 46 හැවිරිදි තිදරු මවකට කොළඹ මහාධිකරණය විසින් අද (05) බරපතළ වැඩ සහිත වසර හතක (7) සිර දඬුවම් නියම කළා.
කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ විසින් මෙම තීන්දුව ලබා දුන්නා.
සිර දඬුවමට අමතරව රුපියල් විසිදහසක (20,000) දඩයක් නියම කළ මහාධිකරණ විනිසුරුවරයා එම දඩ මුදල නොගෙවන්නේ නම් තවත් මාස හයක (6) ලිහිල් සිර දඩුවමක් නියම කරන බවත් සදහන් කළා.
මෙම විත්තිකාරිය හා ඇයගේ සැමියා විසින් පවත්වාගෙන ගිය නීති විරෝධි ගබ්සා මධ්‍යස්ථානයකට පැමිණි කාන්තාවක් හට දරුවා ගබ්සාවක් නොකර දරුවා බිහි කර අලෙවි කිරීමට පොළඹවා ගෙන තිබෙනවා.
දරුවා බිහි කිරීමෙන් අනතුරුව විත්තිකාරිය විසින් පොලිස් මූලස්ථානයේ කාන්තා පොලිස් සැරයන්වරියකට දින දෙකක් (2) වයසැති දරුවා රුපියල් හැත්තෑ පන්දහසට (75,000) විකිණීමට කටයුතු කර තිබෙන බවත් නඩුවේ විභාගයේදී සඳහන් වුණා.
පොලීසියේ උපාය දූතයෙකු මාර්ගයෙන් මුදල් ලබා දී අදාල දරුවා මිලදී ගැනීමට ගිය අවස්ථාවේදී පොලිස් නිලධාරීන් විසින් මෙම විත්තිකාරිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා සඳහන් කළේ පැමිණිල්ල විසින් විත්තිකාරියට එරෙහිව එල්ලකර තිබෙන චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට සනාථ කර තිබෙන බවයි.
තිදරු මවක් වශයෙන් විත්තිකාරිය විසින් සිදු කර තිබෙන වරද මිනිස් සංහතියම කම්පාවට පත් කරන අමානුෂික ක්‍රියාවක් බවත් විනිසුරුවරයා චෝදනා කළා.
විත්තිකාරිය සිදුකර තිබෙන්නේ ඉතා බරපතල මෙන්ම කණගාටුදායක ක්‍රියාවක් බවත් එවැනි වරදවල් ලිහිල්ව සැලකිය නොහැකි බව පෙන්වා දුන් විනිසුරුවරයා එවැනි වරදවල්වලට ලිහිල් දඬුවම් ලබාදීමට හැකියාවක් නොමැති බවත් සඳහන් කළා ෴
රාජ්‍ය පොසොන් උත්සව රැස්වීමේ මතභේදාත්මක තත්ත්වයක්
(04.06.2025 – hirunews.lk)
මිහින්තලේ රජමහා විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිත රාජ්‍ය පොසොන් උත්සවයට වෙනුවෙන් අද (04) පැවති ‘රාජ්‍ය පොසොන් කමිටු රැස්වීමේ’ දී මතභේදාත්මක තත්ත්වයක් මතු වුණා.
ඒ පොසොන් උත්සව සමයේදී මිහින්තලයට පැමිණෙන ජනතාව රථ වාහන ගාල් කිරීමේදී මුදල් අය කළ යුතු බව ‘මිහින්තලේ ප්‍රදේශීය සභා සභාපතිවරයා’ පැවසීමත් සමඟයි.
මෙම අවස්ථාවට මිහින්තලා රාජමහා විහාරාධිපති පුජ්‍ය වළවාහැංගුන වැවේ ධම්මරතන නාහිමියන් මිහින්තලා ප්‍රාදේශීය සභාවට ජාතික ජන බලවේගයෙන් පත්වූ සභාපති යූ.ජී. ධර්මදාස සහ ත්‍රීවිධ හමුදා ප්‍රධානීන් සහ රාජ්‍ය ආයතන ප්‍රධානීන් පිරිසක් එක්ව සිටියා.
එහිදී මිහින්තලේ ප්‍රදේශීය සභා සභාපතිවරයා පවසා ඇත්තේ පොසොන් උත්සවය සමයේදී මිහින්තලයට පැමිණෙන ජනතාව රථ වාහන ගාල් කිරීමේදී මුදල් අය කර ගත යුතු බවටයි.
ඊට මිහින්තලා රාජමහා විහාරාධිපතිහිමියන් විරෝධය පළ කිරීමත් සමඟ ‘රාජ්‍ය පොසොන් කමිටුවේ’ මතභේදාත්මක තත්ත්වයක් මතු වුණා.
මේ අතර මෙවර පොසොන් උත්සවයේ සූදානම පිළිබඳව ‘සමස්ත ලංකා ශාසනාරක්ෂක බල මණ්ඩලය’ විසින් ද අද (04) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී පැහැදිලි කළා.
+
සිදුවීමට ගිය බිහිසුණු දුම්රිය අනතුරක් වළක්වාගත් මෝදර වීරයා
(05.06.2025 – hirunews.lk)
සිදුවීමට ගිය බිහිසුණු අනතුරක් බේරාගත් පුද්ගලයෙක් පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා.
ඒ මොරටුව මෝදර ප්‍රදේශයෙන්.
එම ප්‍රදේශයේ දුම්රිය මාර්ගයේ පීල්ලක් කැඩී ඇති ආකාරය දුටු මෙම පුද්ගලයා වැලක තිබෙන රෙදි කැබැල්ලක් ගෙන දුම්රිය මාර්ගයේ පානදුර දෙසට ඉදිරියට ගොස් පැමිණෙමින් තිබු දුම්රියට ඒ පිළිබඳව දන්වා තිබෙන බවයි වාර්තා වෙන්නේ.
මෙසේ තැනට සුදුසු නුවණින් මෙම අනතුර වළක්වා ගනු ලැබුවේ එම ප්‍රදේශයේ පදිංචි සමන්ත ප්‍රනාන්දු නම් පුද්ගලයෙක්.
මෙම තත්ත්වය හේතුවෙන් දුම්රිය ඉහළ මාර්ගය පානදුරේ සිට මොරටුව දක්වා වසා දැමූ අතර මේ වන විට දුම්රිය මාර්ගයේ පිළිසකර කරමින් පවතිනවා.
දහවල් කාලය වන විට සම්පූර්ණයෙන්ම දුම්රිය මාර්ගය යථා තත්ත්වයට පත්කරන බවයි වැඩ අධීක්ෂණ නිලධාරියෙකු ‘හිරු ප්‍රවෘත්ති’ සමඟින් පවසා සිටියේ.
+++
+++
+++
කෝච්චිය ළඟටම එද්දි මිනිස්සු කෑගැහුවා යන්න එපා කියලා. සාගරිකා බේරාගත් මෝදර වීරයා කියූ කතාව (05.06.2025)
+
පැය 7 කට ආසන්න කාලයක් ප්‍රකාශයක් ලබා දීමෙන් පසු ශෂීන්ද්‍ර රාජපක්ෂ අල්ලස් කොමිසමෙන් පිටව යයි
(05.06.2025 – hirunews.lk)
හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ පැය 7 කට ආසන්න කාලයක් ප්‍රකාශයක් ලබා දීමෙන් පසු ‘අල්ලස් කොමිසමෙන්’ (CIABOC) පිටව ගොස් තිබෙනවා.
ඔහු අද (05) ‘අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම’ හමුවේ පෙනී සිටියේ ‘චීන සමාගමකින් ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර නැවක් ගෙන්වීමේ සිද්ධිය’ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහායි.
2021 වසරේදී කාබනික පොහොර තොගයක් රැගත් චීන නෞකාවක් මෙරටට ගෙන්වීමට මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යධුරය දැරූ ‘කෘෂිකර්ම අමාත්‍යාංශය’ පියවර ගත් අතර, එය රට තුළ දැඩි ආන්දෝලනයකට හේතු වුණා. ඒ, එලෙස පැමිණි පොහොර නෞකාව තුළ ජීවානුහරණය නොකළ අහිතකර බැක්ටීරියා සහිත කාබනික පොහොර අඩංගුවීම හේතුවෙන්.
මෙම සිදුවීම සම්බන්ධයෙන් කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම්වරයෙකු වන මහේෂ් ගම්මන්පිල සහ එවක කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැරීමට ද කටයුතු කර තිබුණා.
එවන් පසුබිමක අදාළ සිදුවීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා එවක කෘෂිකර්ම රාජ්‍ය ආමත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ ද අද (05) අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණියා.
+++
එළියට ආ ශශේන්ද්‍රගෙන් ආන්දෝලනාත්මක කතාවක් (05.06.2025)
+
සැකකරුවෙකු අල්ලන්න පොලිසිය මහජන සහාය පතයි
(05.06.2025 – hirunews.lk)
‘කොළඹ අපරාධ කොට්ඨාසය’ මඟින් සිදු කරනු ලබන විමර්ශනයකට අදාළව අවශ්‍ය කරන මෙම ඡායාරූපයේ සිටින සැකකරු සම්බන්ධ යම් තොරතුරක් වෙතොත් පහත සඳහන් දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස පොලිසිය ඉල්ලා සිටිනවා.

සහකාර පොලිස් අධිකාරි මෙහෙයුම් 01 කොළඹ දිසා අපරාධ කොට්ඨාසය : 071 859 1807
ස්ථානාධිපති / කොළඹ අපරාධ කොට්ඨාසය : 071 859 1735
ස්ථානාධිපති / ඒකක 04 කොළඹ අපරාධ කොට්ඨාසය : 071 859 6506
බන්දුල පෙතියාගේ නිජබිම සොයා ‘හිරු’ ගිය ගමන
(05.06.2025 – hirunews.lk)
මෙවර ලෝක පරිසර දිනයේදී මෙරට වඩාත් කතාබහට ලක් වූ පරිසර සම්පත බන්දුල පෙතියා බවට විවාදයක් නැහැ.
සබරගමුව පළාතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ මායිමක පිහිටි සුන්දර ගම් පියසක දොළ පහරකින් මීට වසර 50 කට පමණ ඉහතදී හමුවූ ‘බන්දුල පෙතියා’ ලොව අන් කිසිඳු ස්ථානයකින් හමු නොවන සුවිශේෂි මත්ස්‍ය විශේෂයක්.
මේ බන්දුල පෙතියාගේ නිජ භූමිය සොයා වේයන්ගොඩ ගලපිටමඩට ‘හිරු’ ගිය ගමනයි.
ගලපිටමඩ නම් සුන්දර ගම්මානය පිහිටා තිබෙන්නේ සබරගමුව පළාතේ කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේයි.
තෙත් කලාපීය සංවේදී පරිසර කලාපයකට හිමිකම් කියන ගලපිටමඩ, රබ්බිඩිගල ප්‍රදේශයයි මේ. ගලපිටමඩ, රබ්බිඩිගල ගම්මානය හරහා ගලා බසින මේ මනරම් දොල පහරවල්වල ලොවක් වටිනා අපේ රටට පමණක් ආවේණික වූ මත්ස්‍ය විශේෂයක් ජීවත් වන බවට මීට වසර 50 කට පමණ ඉහතදී කිසිවෙකුත් දැන සිටියේ නැහැ.
මේ සුන්දර පරිසර පද්ධතිය තුළ සැඟව සිටි ලොවක් වටින සම්පත ගම්මුන් දැන සිටියේ මේ ආකාරයෙන්.
එලෙස පර්යේෂණවලින් හඳුනාගත් මෙම ඒකදේශීය මත්ස්‍යයාට ‘බන්දුල පෙතියා’ නමැති නම පටබැඳුණු ආකාරයත් සුවිශේෂීයි එලෙස ‘බන්දුල පෙතියා’ මත්ස්‍යයා සොයා ගැනීමත් සමග ඒ ගැන දෙස් විදෙස් පාර්ශ්ව රැසක්ම ජාත්‍යන්තර මට්ටමේ පර්යේෂණ සිදුකළා.

ඒ පර්යේෂණවලදී ‘බන්දුල පෙතියා’ගේ අභිජනන ක්‍රියාවලිය පිළිබඳව අනාවරණ වී තිබෙන්නේ සුවිශේෂි කරුණක්.
අපිටම ආවේනික වූ එනම් ලොව අන් කිසිදු ස්ථානයකින් හමුනොවන මේ මත්ස්‍ය විශේෂය අනාගතය වෙනුවෙන් රැකගැනීමට අපට හැකිද? මෙවර පරිසර දිනයේදී ‘බන්දුල පෙතියා’ගේ වාස භූමිය අභය භූමියක් ලෙස ප්‍රකාශයට පත් කෙරුණේ ද මෙම සත්වයාගේ වටිනාකම ආරක්ෂා කිරීමේ අරමුණින්.
ඒ අනුව ‘බන්දුල පෙතියා’ට හෙට දවසේත් නිදහසේ පිහිනා යා හැකිවන පරිදි ඒ සුවිශේෂී පරිසර පද්ධතිය රැක ගැනීමත් අප සැමගේ යුතුකමක්.
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴