කොටහේන පාසල් දැරියගේ සිද්ධියට සැකකාර ගුරුවරයා සම්බන්ධ විමර්ශනවල ප්‍රගතිය අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නියෝග
(19.05.2025 – hirunews.lk/sinhala)
කොටහේන ප්‍රදේශයේදී සියදිවි නසාගත් පාසල් දැරිය අපයෝජනයට ලක් කිරීමේ සිද්ධියට අදාළ සැකකාර ගුරුවරයා සම්බන්ධ විමර්ශනවල ප්‍රගතිය අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (19) පොලිසියට නියම කළා.
ඒ අනුව ලබන ජුනි මස (23) වැනිදා එම කරුණු අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි නියෝග කර ඇත්තේ.
අදාල පැමිණිල්ල සම්බන්ධයෙන් ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන විසින් මෙම නියෝගය නිකුත් කර තිබෙනවා ෴
+++
+
චීන පොහොර නැවේ සිද්ධියට මහින්දානන්ද අලුත්ගමගේ 26 වැනිදා දක්වා රිමාන්ඩ්
(19.05.2025 – hirunews.lk/sinhala)
හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ලබන 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.
කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝගය නිකුත්කර තිබෙනවා.

ඉකුත් රජය සමයේ චීන සමාගමකින් ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර නැවක් ගෙන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර තිබෙන හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ අද (19) පෙරවරුවේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණයා.
එම නඩුව අද (19) දින කැඳවීම සඳහා ඔහුගේ නීතිඥවරු විසින් මෝසමක් ඉදිරිපත් කරනු ලැබුවා ෴
2025 වසරේ මේ දක්වා රිය අනතුරු මරණ 1,007 ක්
(19.05.2025 – hirunews.lk/sinhala)
2025 වසරේ මේ දක්වා සිදුවූ මාරක රිය අනතුරුවලින් පුද්ගලයින් 1,007 දෙනෙකු මියගොස් තිබෙනවා.
මෙම පිරිස මියගොස් ඇත්තේ රිය අනතුරු 944 කින් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග පවසන්නේ.
මේ අතර රිය අනතුරු පාලනය කිරීම සඳහා බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම, අපරික්ෂාකාරී ලෙස රිය ධාවනය කරන්නන් සෙවීමේ මෙහෙයුම් ඇතුළු විවිධ මෙහෙයුම් පොලිසිය විසින් ක්‍රියාත්මක කරනවා.
ඒ අනුව, ජනවාරි (01) සිට මැයි මස (18) දක්වා කාලය තුළ බීමත් රියදුරන් 26,413 ක් නීතිය හමුවට ඉදිරිපත් කොට තිබෙන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ ෴
උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව ඇතුලත් පාසල් ලැයිස්තුව (බාගත කිරීම්)
(19.05.2025 – hirunews.lk/sinhala)
අ.පො.ස. (සා/පෙළ) විභාගයේ සමත් අසමත්භාවය නොසලකා උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව සඳහා සිසුන් ඇතුළත් කරගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අයදුම්පත් කැඳවා තිබෙනවා.
උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව (13 වසරක සහතික කරන ලද අධ්‍යාපන වැඩසටහන) යටතේ 2025 වර්ෂය සඳහා පාසල්වල 12 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීම සඳහා අයදුම්පත් කැඳවනු ලැබේ.
ඒ අනුව වෘත්තීය විෂය ධාරාව සඳහා 12 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කරගැනීමේ දී අ.පො.ස. (සා/පෙළ) විභාගයේ සමත් අසමත් භාවය සලකා බලනු නොලබන බවයි එම අමාත්‍යංශය නිවේදනය කරන්නේ.
ඒ අනුව පහත සඳහන් විෂයයන් හැඳෑරීම සඳහා අවස්ථාව සලසා දී තිබෙනවා.
ඒ සඳහා සිසුන් බඳවාගන්නා පාසල් අඩංගු ලේඛනය සහ ඇතුළත් වීමේ අයදුම්පත පහත සබැඳිය මඟින් ලබා ගැනීමට හැකියි.
+

දෙහිවල, නැදිමාල වෙඩිල්ලේ ඉලක්කය ව්‍යාපාරිකයෙකුගේ පුතෙක්
(19.05.2025 – hirunews.lk/sinhala)
දෙහිවල – නැදිමාල ප්‍රදේශයේදී යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු (2), අද (19) දහවල් පොලිතීන් අලෙවි කරන වෙළෙඳසැලක හිමිකරුවෙකුගේ පුත්‍රයෙකු ඉලක්ක කර වෙඩි තැබීමක් සිදුකළා.
කෙසේ වෙතත්, ඉන් කිසිවෙකුට හානියක් සිදු නොවූ අතර වෙඩි තැබීමට සැකකරුවන් පැමිණි යතුරු පැදිය පසුව මීගොඩ – කලුවලදෙණිය ප්‍රදේශයේ වෙල්යායක් අසල දමාගොස් තිබියදී සොයාගත් බවයි පොලිසිය පැවසුවේ.
‘බෑග් ගාමිණී’ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන මෙම පොලිතීන් වෙළෙඳසැලේ හිමිකරු සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘බඩෝවිට අසංක’ගේ ඥාතියෙකු වනවා.
ඔහුගේ පුත්‍රයා ඉලක්ක කර මෙම වෙඩි තැබීම කර ඇති බවටයි මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ.
+++
+
මේ අතර, ගල්කිස්ස වෙරළ පාර පිරිසිදු කරමින් සිටි 19 හැවිරිදි තරුණයෙකු පසුපස හඹාගොස් වෙඩි තබා ඝාතනය කළ වෙඩික්කරු සහ යතුරු පැදිය පැදවූ පුද්ගලයා ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය පැවසුවේ, අදාළ ඝාතනයට සම්බන්ධ සියලු සැකකරුවන් මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බවයි. වෙඩික්කරු, යතුරු පැදිය පැදවූ පුද්ගලයාට අමතරව ඔවුන්ට ආධාර අනුබල දුන් පුද්ගලයින් දෙදෙනෙකු (2) එම පිරිසට අයත්.
වෙඩික්කරු සතු තිබී මෙරට නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් , මිලිමීටර් 9 වර්ගයේ ජීව උණ්ඩ 15 ක් හා යතුරු පැදි අංක තහඩු දෙකක් (2) ද සොයාගැනුණා.
කොට්ටාව – විහාර මාවතේදී අත්අඩංගුවට ගත් වෙඩික්කරු හිටපු ගුවන් හමුදා සෙබළෙකු වනවා.
වෙඩික්කරු පැමිණි යතුරු පැදිය කොටස් කර ව්‍යාජ අංක තහඩු දෙකක් (2) සමග කොට්ටාව මාඹුල්ගොඩ ප්‍රදේශයේ නිවසක පිටුපස වළ දමා තිබියදී සොයාගැනුණා.
මේ අතර, අදාළ ඝාතනය සඳහා ඝාතකයින්ට පිස්තෝලය ලබා දී ඇත්තේ අඹු සැමි යුවළක් බවත්, වෙඩි තැබීමෙන් පසු අදාළ ගිනි අවිය නැවත එම අඹුසැමි යුවලට භාර දී ඇති බවත් පොලිසිය සඳහන් කළා.
මෙම යුවළ අදාළ ගිනි අවිය වෙඩික්කරුට ලබා දී ඇත්තේ ‘බඩෝවිට අසංක’ගේ උපදෙස් මත බවට ද මේ වනවිට අනාවරණ වී තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකාර 28 හැවිරිදි හිටපු ගුවන් හමුදා සෙබළා මීට පෙර දෙහිවල – කඩවත ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරු බව ද පොලිසිය ප්‍රකාශ සඳහන් කළා ෴
+++
+
යුද තත්ත්වයෙන් පසු මෙරට හමුදාව ගැන සරත් ෆොන්සේකා දුටු අයුරු
(19.05.2025 – 16:58 +0530 – sinhala.adaderana.lk)
මෙරට පැවැති යුදමය වාතාවරණයෙන් පසුව මෙරට හමුදාවේ ප්‍රගතියක් තමන්ට දක්නට නොලැබුණු බව ‘හිටපු හමුදාපති ෆීර්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා’ මහතා පවසයි.
‘ජාතික රණවිරු දිනය’ නිමිත්තෙන් ‘අද දෙරණ Big Focus’ විශේෂ වැඩසටහන හා සම්බන්ධ වෙමින් ‘ෆීර්ඩ් මාර්ශල් සරත් ෆොන්සේකා’ මහතා පැවසුවේ යුද්දය පැවැති සමයේ තිබූ යුද ටැංකි ද අතුරින් සැලකිය යුතු ප්‍රමාණයක් මේ වන විට විනාශ වී ඇති බවය.
“මම හෘද සාක්ෂියට එකඟව පිළිගන්නේ නෑ යුද්දේ ඉවර වුණාට පස්සේ අවුරුදු 16 ක් ගිහිල්ලා හමුදාවේ තත්ත්වයේ යම්කිසි ප්‍රගතියක් ලැබුවා කියලා. මම එක උදාහරණයක් දෙන්නම් මම යුද්දේ කරන කොට මට තිබුණා යුද ටැංකි 80 ක්. ඒක 30 කට බැස්සා යුද්දේ ඉවර වෙනකොට 50 ක් විනාශ වෙලා. අද වෙනකොටත් යුද හමුදාවේ ඒ යුද ටැංකි 30 විතරයි තියෙන්නේ. රෙජිමේන්තුවලට යුද ටැංකි අවශ්‍යයි. මිනිස්සු විතරක් ඉඳලා මදි සන්නාහ සන්නද්ධ බල ඇණියක් ගත්තොත්.
එතකොට විනාශ වුණ 50 වෙනුවට 50ක් ගෙනත් දෙන්න ඕන නේ. එහෙමවත් උනන්දුවක් ගත්තේ නෑ. අයවැයක් ගෙනාවාම අයවැය පාලනය කරගන්නවා… මම එක්ලක්ෂ දාසයදාහේ හමුදාවට දුන්න අයවැයම තමයි මම ලක්ෂ දෙකේ හමුදාවත් නඩත්තු කළේ. කළේ. එකෙන් අදහස් කරන්නේ නෑ වියදම් කපන්න පුළුවන් කියලා.
මට ඇහෙනවා ආර්ථික විශේෂඥයොත් කියනවා ‘හමුදාව ලොකු වැඩියි, වියදම් කපන්න ඕනේ’ වගේ කතා. හැබැයි ඒ වගේ මානසිකත්වයෙන් හමුදාව සහ ආරක්ෂාව ගැන බලන්න බෑ. ඒවා ලෝකේ අනිත් රටවල් එක්ක තාක්ෂණිකව, පුහුණුව අතින් ඉදිරියට යන්න ඕනේ.
සිංගප්පූරුව කියන්නේ ජනගහනය මිලියන 3.5 යි. ඒ රටේ මිලියන 3 කට යුද පුහුණුව දීලා තියෙනවා. ඕනම රටක් සූදානම් වෙලා තියෙන්න ඕනේ.
යුද ටැංකියක් ගන්න අවුරුදු දෙකක් (2) යනවා. විශේෂ කාර්ය බළකායේ සෙබලෙක් හදන්න අවුරුදු දෙකක් (2) යනවා, කමාන්ඩෝ සෙබලෙක් පුරුදු කරන්න අවුරුදු දෙකක් (2) යනවා. යුද්ධය කියන්නේ බෝම්බ වැටෙන්න පටන් ගත්තාම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඕනම වෙලාවක අපි සූදානම් වෙලා ඉන්න ඕනේ.
මම හිතන්නේ අපේ රටේ යුද හමුදාවට තියෙන බජට් එක මේ කලාපෙම තියෙන අඩුම බජට් එක වෙන්න ඇති. එහෙම එකේ ආර්ථික විශේෂඥයෝ කියන කතා අනුව ආරක්ෂාවත් දිය කරලා හැරියොතින් ඉතිං .. අපිට දැනට තියෙන ටිකත් එච්චරයි ..
මේ අතර මෙම වැඩසටහන හා එක් වෙමින් ‘ෆීර්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා’ මහතා පැවසුවේ මිනිසුන් වෙනසක් සඳහා පෙළ ගැසුනද එම වෙනස 100% ක්ම සිදුවී ඇතැයි තමන් නොසිතන බවය.
“මම පහුගිය මැතිවරණවලදි කිව්වා පක්ෂවල වහල්ලු වගේ ඉන්නේ නැතිව ඔතැනින් ගැලවෙන්න කියලා. ගැලවෙන්නම ඕනේ නැත්නම් රට දියුණු වෙන්නේ නෑ. වාසනාවකට වගේ මම කියපු හින්දාද නැති හින්දාද දන්නේ නෑ මිනිස්සු ඒක කළා; කරලා වෙනසකට ගියා. ගියපු වෙනසත් මම හිතන්නේ නෑ 100% ක් සාර්ථකයි කියලා. විකල්පයක් නැති හින්දා මිනිස්සු ඒක කළා. නමුත් ජනතාව හරියට පෙළ හැදිලා හිටියොත් දේශපාලනඥයොත් හැදේවී, දේශපාලනඥයොන්ට විකල්පයක් නැති වේවි. මේ දේ කරගත්තේ නැතිනම් අද ජනතාව ගෙවන කරුමේ ඊළඟ පරම්පරාවටත් අනිවාර්යයෙන් ගෙවන්න වෙනවා.
+
වාහන වෙන්දේසියට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්
(19.05.2025 – 13:40 +0530 – sinhala.adaderana.lk)
ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන වෙන්දේසියට ගැන අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
‘ස්වර්ණ භූමි ජාතික ව්‍යාපාරයේ’ සභාපති අසංක රුවන් පොතුපිටිය මහතා විසින් ‘අල්ලස් කොමිසම’ට මෙම පැමිණිල්ල සිදුකර ඇත.
වාහන ටෙන්ඩර් ක්‍රමයකට ලබාදී ඇති අතර තක්සේරු වටිනාකම ඉතාමත් පහළ අගයක ඇති බවට ඔහු චෝදනා කරයි.
මෙසේ ටෙන්ඩර්වල සක්සේරු වටිනාකම අඩුවෙන් යෙදීම හේතුවෙන් රථ වාහන සඳහා ලබා දී ඇති මුදල් ප්‍රමාණවත් නොවන බව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා වැඩිදුරටත් පවසයි.
එමෙන්ම ඔහු පැවසුවේ නැවත පැවැත්වීමට නියමිත වාහන වෙන්දේසි නැවැත්වීමට ක්‍රියාකරන ලෙස ද ‘ස්වර්ණ භූමි ජාතික ව්‍යාපාරය’ ඉල්ලා සිටින බවය ෴
+++
ආණ්ඩුවේ ‘වාහන දන්සලේ’ ඇත්තම කතාව මෙන්න. ගේම ගහලා තියෙන්නේ වාහන තක්සේරු කරපු උන් (19.05.2025)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴