‘මා ජීවත්ව නොසිටියද මාතෘ භූමිය එක සිංහ ධජයක් සෙවනේ පවතීවා..’ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ ගෙන් රණවිරු සමරු නිවේදනයක්..

‘මා ජීවත්ව නොසිටියද මාතෘ භූමිය එක සිංහ ධජයක් සෙවනේ පවතීවා..’ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ ගෙන් රණවිරු සමරු නිවේදනයක්..


‘මා ජීවත්ව නොසිටියද මාතෘ භූමිය එක සිංහ ධජයක් සෙවනේ පවතීවා..’ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ ගෙන් රණවිරු සමරු නිවේදනයක්..

(18.05.2025 – 13:20 +0530 – lankacnews.com)

කොටි ත‍්‍රස්තවාදය පරදා වසර 16 ක් ගෙවීම නිමිත්තෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් නිකුත් කර ඇති නිවේදනයක් මෙහි දැක්වෙයි :

“ඔබ දැනටමත් දන්නා පරිදි, අපේ මාතෘ භූමිය බෙදුම්වාදී ත්‍රස්තවාදී ග්‍රහණයෙන් සම්පූර්ණයෙන්ම නිදහස් කරගෙන අවසානයි. ශ්‍රී ලංකාවේ සෑම බිම් අඟලක් තුළම මෙතැන් සිට ක්‍රියාත්මක වන්නේ මේ උත්තරීතර පාර්ලිමේන්තුව විසින් සම්මත‌ කෙරෙන නීති පමණි….”

සිංහ ධජය යටතේ එක්සේසත් කළ අභිමානවත් ඒකීය රටක, 2009 මැයි 19 වන දින ජනතා නියෝජනයේ සංකේතය වූ උත්තරීතර පාර්ලිමේන්තුවේ සිට පාර්ලිමේන්තු සිව්වන (4) සැසියේ ආරම්භක දේශනය පවත්වමින් විජයග්‍රාහී දේශයක ඔබේ ජනාධිපතිවරයා සහ සේනාධිනායකයා වශයෙන් සිදු කරන ලද ඉහත ප්‍රකාශය මා හට කිසිදා අමතක නොවේ.

ලොව මිලේච්ඡතම කුරිරු ත්‍රස්තවාදය සහමුලින් නැති කරමින්, මේ රටේ සෑම පුරවැසියෙකුටම මාතෘ භූමියේ සෑම බිම් අඟලකම මර බියෙන් තොරව, ආරක්ෂිතව සහ සමාන අයිතිවාසිකම් සහිතව ජීවත් විය හැකි රටක් නිර්මාණය කිරීම දශක ගණනාවක් පුරා අප සැම රටක් ලෙසින් සාමූහිකව දුටු සිහිනයකි. ජනතා නායකයෙකු ලෙස පෞද්ගලිකව මා ද දුටු සිහිනයකි.

2005 වර්ෂයේදී මා ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන විට ත්‍රස්තවාදීන් උතුරු නැගෙනහිර පළාත්වල නව රාජ්‍යකට අවශ්‍ය එල්.ටී.ටී.ඊ. පරිපාලන මධ්‍යස්ථාන ගොඩනගා තිබුණි. ත්‍රස්තවාදීන් යුධ, නාවික, ගුවන් බලයෙන් සන්නද්ධව අපේ මාතෘ භූමියෙන් තුනෙන් එකක් (1/3) සහ එහි වෙරළ තීරයෙන් කොටසක් තම පාලනයට නතු කරගෙන සිටියහ. උතුරේ දෙමළ භාෂාව කතා කරන අපේම ජනතාව බිය ගන්වා ප්‍රාණ ඇපයට තබා ගනිමින් කප්පම් ද, අසාධාරණ ලෙස බදු ද උපයමින් තිබිණි. තරුණ තරුණයින් ද, පාසල් වයසේ කුඩා දරුවන් ද බලහත්කාරයෙන් තම හමුදා වෙත බඳවා ගැනීමට කටයුතු කරමින් සිටි ත්‍රස්තවාදීන් ආර්ථික මර්මස්ථාන, ආගමික ස්ථාන හා දේශපාලන නායකයන් ඇතුළු සිවිල් ජනතාව ඉලක්ක කර ගනිමින් රට පුරා ප්‍රහාර දියත් කර තිබුණි. අවසානයේ ජනතාවගේ පිපාසය සන්සිඳවූ, කුඹූරු අක්කර දහස් ගණනක් අස්වැද්දූ ජල පහර පවා වසා දමමින් තම අන්තවාදී ත්‍රස්තවාදයේ කුරිරුබව ලොවටම පෙන්වා දෙන්නට තරම් ප්‍රාථමික විය. උපන් බිමත්, එහි උපන් මගේ ජනතාවගේ ප්‍රාණය නිරුද්ධ සිරුරු දහස් ගණනක් මතින් ලේ පැහැයෙන් නව සිතියමක් එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් නිර්මාණය කර තිබුණි.

ලෝකයේ බලවත්ම රාජ්‍යන් පවා ත්‍රස්තවාදයට බියවද්දී , එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවදයට එරෙහිව ප්‍රතිවාර දැක්වීමට මම තීරණය කළෙමි. ඒ මානුෂීය මෙහෙයුමකිනි. එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් 1975 දී යාපනය නගරාධිපති ‘ඇල්ෆ්‍රඩ් දුරෙයිඅප්පා’ ඝාතනය කිරීමට භාවිත කළ තුවක්තුවේ සිට පුදුමාතලන් ප්‍රදේශයෙන් බේරී පලා යෑමට තැත් කළ සියලුම අහිංසක ශ්‍රී ලාංකික ජනතාව දක්වාම එල්ල කළේ අවි ආයුධ පමණි. අපි ඔවුන් බේරා ගත්තෙමු. ඔවුන්ට නිදහස් රටක් ලබා දුන්නෙමු. අප කළේ දෙමළ ජනතාවට එරෙහි යුද්ධයක් නොවේ. දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුව දක්වා රටේ සියලුම ජනතාව අපේ ජනතාවයි. මගේ ජනතාවයි. අපගේ අරමුණ වූයේ මේ රටේ සිවිල් වැසියන්ගේ ජීවිත ආරක්ෂාකර ගැනීමයි. වීරෝදාර යුධ සෙබළුන් යුද්ධ කළේ තුවක්කු බර දෑතින් දරාගෙන, මානව අයිතීන් රැකීමේ බර හිසින් දරාගෙන සහ මනුෂ්‍යත්වයේ බර හිතින් දරාගෙනය. ලොව සිටින අංක එකේ මානුෂීය හමුදාවේ සේනාධි නායකයා වූ මා යුද්ධය අවසන් වී වසර 16 ක් ගෙවීයන අද දිනයේදී ද ඔවුන් වෙනුවෙන් ලෝකය සමඟ දේශපාලනිකව යුධ වදිමි.

පසුගිය දිනක ‘කැනඩාවේ බ්‍රැම්ප්ටන් නගරයේ’ ඊලාම් සිතියම නිරූපිත ‘දෙමළ ජන සංහාර ස්මාරකය’ විවෘත කිරීම, එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය අවසන් වී දීර්ඝ කාලයක් ගත වී ඇති මෙවැනි කාල වකවානුවක පවා ත්‍රස්තවාදයේ අඳුරු සෙවනැලි තව දුරටත් ක්‍රියාත්මක බව පෙන්වන අවාසනාවන්ත සිදු වීමකි. එම අවස්ථාවේදී ‘බ්‍රැම්ප්ටන් නුවර’ නගරාධිපති විසින් දෙමළ මිනිසුන් දහස් ගණනක් ශ්‍රී ලංකා රජය විසින් ඝාතනය කළ බවට දරුණු චෝදනාවක් අප රටට එල්ල කළේය. එවකට සිටි රාජ්‍ය නායකයා වශයෙනුත්, සේනාධිනායකයා වශයෙනුත් පදනම් විරහිත එම චෝදනා මා තරයේ ප්‍රතික්ෂේප කරමි. දෙමළ සිවිල් වැසියන් එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන්ගේ ප්‍රාණ ඇපකරුවන් බවට පත්ව සිටි අවස්ථාවක, දෙමළ සිවිල් වැසියන් මිනිස් බෝම්බ බවට පත් කර තිබූ අවස්ථාවක යුධ පිටියට ගොස් ප්‍රාණ ඇපකරුවන් මුදා ගනිමින් සිදු කරන ලද අති මානුෂීය මෙහෙයුම් ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව ලොව දක්ෂතම හා විනයගරුකම හමුදාව බවට පත් කළහ. එදා තම ජීවිත බේරා ගත් දෙමළ ජනතාව හෘද සාක්ෂියට එකඟව මෙයට සාක්ෂි දරනු ඇති බව මම විශ්වාස කරමි. බිම් බෝම්බ පුපුරා යද්දීත්, තුවක්කු උණ්ඩ ලය මතට එල්ල කර තිබියදීත්, විෂ වායු ප්‍රහාරයන්ට ලක් වද්දීත්, ෂෙල් වෙඩි වැටෙද්දීත් අපේ රණවිරු දරුවන් වර්ග වාදයකින් තොරව මහපොළවේ සැමට සමාන අයිතියක් වෙනුවෙන් සටන් වැදුණි. එවන් ධෛර්යය සම්පන්න වීරෝධාර හමුදාව කිසි දිනෙක මානව හිමිකම් කඩ කිරීමක් හෝ යුධ අපරාධයක් සිදු නොකළ බව මම තරයේ අවධාරණය කරමි. ශ්‍රී ලංකා හමුදාව පරාජය කරනු ලැබුවේ එක්සත් ජනපදයේ එෆ්.බී.අයි. ආයතනය පවා ‘ලෝකයේ දරුණුතම ත්‍රස්තවාදී සංවිධානය’ ලෙසට 2008 වර්ෂයේ නිල වශයෙන් නම් කරන ලද සංවිධානයි.

සටන් අපට නුහුරු නුපුරුදු දෙයක් නොවේ. එහෙත් සටන සම්බන්ධයෙන් ස්වයං විනයක් අප සතුව ඇත. සටන් වැදිය යුත්තේ කුමකට එරෙහිව ද යන්න අප හොඳින් තේරුම් ගෙන ඇත. අප රට දුටුගැමුණු, වළගම්බා, ධාතුසේන සහ විජයබාහු ආදී මහා රජවරුන් සතුරු ආක්‍රමණ පරාජය කර වීරත්වය තහවුරු කළ රටකි. දාඨිය, පලයමාර සහ එළාර වැනි ආක්‍රමණිකයන්ට එරෙහිව සටන් කළ රටකි. ලෝකයේ අධිරාජ්‍යන් ස්ථාපිත කළ පෘතුගීසි, ලන්දේසි හා ඉංග්‍රීසින්ට විරුද්ධව සටන් කළ හෙළ සටන්කාමීන් සිටි රටකි. අධිරාජ්‍යවාදයට එරෙහිව වීරත්වයෙන් සටන් කළ සංඝ පරම්පරාවක් ද කැප්පැටිපොළ සහ වීර පුරන් අප්පු වැනි වීරවරුන් ද සිටි රටකි. දශක තුනක් (3) පුරා පැවති අමිහිරි යුද්ධයක් අවසන් කරමින් වීරෝදාර රණවිරු දරුවන් දහස් ගණනකගේ ජීවිත පුදා රැකගත් රටකි. මා දණින් වැටී නමස්කාර කළේ අපේ වීරෝදාර රණවිරු දරුවන් දහස් ගණනකගේ ජීවිත පූජාකර රැකගත් ඒ උතුම් නිදහස් මාතෘ භූමියයි. මින් ඉදිරියටත්, මා ජීවත්ව නොසිටින දිනක දී වුවත් අප සැමගේ මාතෘ භූමිය ස්වෛරීය රාජ්‍යක් ලෙසින් එක සිංහ ධජයක් සෙවනේ පවතීවා! යන්න මගේ එකම ප්‍රාර්ථනයයි.

එවන් ඒකීය රටක් වෙනුවෙන් මින් වසර 16 කට පෙර යුධ බි‌මේ රුධිරය වගුරුවා ඇස්, ඉස්, මස් දන් දී අවසානයේ තම හුස්ම පවා රට වෙනුවෙන් කැප කළ වීරෝදාර යුධ, ගුවන්, නාවික, පොලිස් හා සිවිල් ආරක්ෂක බලකායේ දරු දැරියන්ව ද, අප වෙනුවෙන් අහිමි කර ගත් දෑත් දෙපා නිසා අබාධිත තත්ත්වටය පත්ව සිටින සියලුම රණවිරු දරු දැරියන්ව ද, විජයග්‍රාහී ගමනක පෙරමුණ ගත් එවකට ධූරයන් හෙබවූ ආරක්ෂක ලේකම්, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුධ, නාවික, ගුවන් හමුදාපතිවරුන්, පොලිස්පති තුමන්, සිවිල් ආරක්ෂක බලකා ප්‍රධානී ඇතුළු සියලුම නිලදරුවන් ද මම ගෞරවයෙන් සිහිපත් කරමින් ආචාරය පුද කරන්නෙමි. එවන් නිර්භීත දරුවන් බිහි කරමින් තම මව්බිම වෙනුවෙන් සංග්‍රාම භූමියට යන්නට නියත විවරණ දුන් මව්පියවරුන් ද, අපමණ කැපකිරීම් කළ බිරින්දෑවරුන් ද, ස්වාමිවරුන් ද මම ඉතා ගෞරවයෙන් සිහිපත් කරමි. පැවති සංකීර්ණ දේශපාලන, ආර්ථික හා සාමාජයීය තත්ත්වයන් මැනවින් තේරුම් ගනිමින් සියල්ල ඉවසා සහයෝගය ලබා දුන් සියලුම ශ්‍රී ලාංකික මගේම ජනතාවට ද මාගේ ප්‍රණාමය පුද කරමි.

රට වෙනුවෙන් දිවි පිදූ තම දරුවාගේ නම රණවිරු ස්මාරක නාම පුවරුවෙහි වියපත් දැසින් සොයන මව් වරුන්ද , පිය වරුන් ද මම දැක ඇත්තෙමි. නිල ඇඳුම ඇඳගත් රණවිරුවා මාතෘ භූමියේ අභිමානය වනවා සේම කිසි දිනෙක මිය නොයනා බව මම විශ්වාස කරමි.

මහින්ද රාජපක්ෂ
පස්වන විධායක ජනාධිපති

+++

මහින්දගේ ප‍්‍රධානත්වයෙන් රණවිරු සමරුවකට රජය අවසර නොදෙයි..

(18.05.2025 – 15:50 +0530 – lankacnews.com)

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රණවිරු සැමරුවක් පැවැත්වීමට අවසර දෙන්නයි කළ ඉල්ලීමක් ආරක්ෂක අමාත්‍යංශය විසින් ප්‍රතික්ෂේප කරන ලද බව ‘ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ’ මහ ලේකම් සාගර කාරියවසම් මහතා පවසයි.

කෙසේ නමුත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ජාතික යුතුකමක් ලෙස සලකා මේ මස 20 වන දින පස්වරුවේ ‘යුධ ස්මාරකය’ අසල රණවිරු සමරුවක් පැවැත්වීමට තීරණය කර ඇති බව ඒ මහතා පැවසීය.

හෙට (19) දිනයේ පැවැත්වෙන ‘ජාතික රණවිරු සැමරුම් උත්සවය’ සඳහා සහභාගී වන්නයි ජනාධිපති අනුර දිසානායක මහතාගෙනුත් අගමැතිනි හරිනි අමරසූරිය මහත්මියගෙනුත් ඉල්ලා සිටින බවත් ඒ මහතා පැවසීය.

ජනාධිපතිවරයා මෙම අවස්ථාවට සහභාගී නොවන බවට මුලින් වාර්තා වූ බවත් එය එසේ වන්නේ නම් ජීවිත පරිත්‍යාග කර රණවිරුවන් වෙනුවෙන් සිදු කරන විශාල වරදක් බවත් හෙතෙම කියා සිටියේය.

+++

+


මහින්ද, ත්‍රස්තවාදී නායකයින්ට පැනලා යන්න ඉඩ සැලසුවා (15.05.2025)

+

මහින්ද එක්ක Breakfast ගත්ත මාධ්‍යවේදීන් (30.04.2025)

+++

යුද්ධය ගැන ෆොන්සේකාගේ හොදම හෙලිදරව්ව – මහින්දලාගෙයි ගෝටලාගෙයි නාටක මාට්ටු – මිලියන 2 ක් බලපු ඒ කතාව නැවතත් (18.05.2025)

+


යුද්ධයෙන් මියගිය පිරිස් සිහිකරමින් රටපුරා රණවිරු සැමරුම්

(18.05.2025 – 20:01 +0530 – hirunews.lk/sinhala)

යුද්ධයෙන් මියගිය සහ අතුරුදන් වූවන් සිහිකරමින් දිවයිනේ ප්‍රදේශ කිහිපයක අද (18) සැමරුම් සංවිධාන කර තිබුණා.

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ ගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ රණවිරු ස්මාරකය අසල ද සැමරුම් උත්සවක් පැවැත්වුණා.

එහිදී එම රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වීම සිදු කෙරුණු අතර රණවිරු ජීවිත දහස් ගණනක් වෙනුවෙන් අලිමංකඩ දී සිය ජීවිතය පූජා කළ හසලක ගාමිණී රණවිරුවාගේ මව ද ඊට එක්ව සිටියා.

එමෙන්ම, තිස් වසරක කුරිරු යුද්ධය අවසන් කිරීමට දිවි හිමියෙන් කැපවූ, රට එක්සේත් කළ රණවිරුවන් ඇගයීම වෙනුවෙන් පිංකමක් තිස්සමහාරාම රජමහා විහාරයේදී සංවිධාන කර තිබුණේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ගේ සහභාගීත්වයෙන්.

මේ අතර, දියත උයනේ සිට පාර්ලිමේන්තු රණවිරු ස්මාරකය දක්වා පාගමනක් හිටපු අමාත්‍ය උදය ගම්මන්පිළ ඇතුලු‍ පිරිසකගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

ඒ සදහා භික්ෂුන් වහන්සේලා දෙසියකට ආසන්න ප්‍රමාණයක් එක්ව සිට තිබෙනවා.

මීට අමතරව සේරුනුවර මාවිල්ආරු සොරොව්ව අසල ද පැන් වඩා මතක වස්ත්‍ර පූජා කර රණවිරුවන් සිහිපත් කිරීම සිදුවුණා.

ඒ භික්ෂූන් වහන්සේ සහ ගම්වාසීන්ගේ සහභාගීත්වයෙන්. මේ අතර, යුද්ධයෙන් මියගිය සහ අතුරුදන් වූ පිරිස සිහි කරමින් මුල්ලිවයික්කාල් හිදී අනුස්මරණ උත්සවයක් පැවැත්වුණේ ඔවුන්ගේ ඥාතීන්ගේ ද සහභාගීත්වයෙන්.

එමෙන්ම, මියගිය පිරිස සිහිකරමින් වැල්ලවත්ත වෙරළ තීරයේදී ද තවත් සැමරුමක් අද පැවැත්වුණේ දැඩි පොලිස් රැකවල් මධ්‍යයේයි.

සිවිල් සංවිධාන කිහිපයක් මෙය සංවිධාන කර තිබූ අතර එහිදී පහන් දල්වමින් මියගිය පිරිස සිහිපත් කෙරුණා.

කෙසේවෙතත් එම ස්ථානයට පැමිණි තවත් පිරිසක් මෙම සැමරුමට විරෝධය පළ කළ අතර ඔවුන්ට සැමරුම පැවැති ස්ථානයට යෑමට ඉඩ දී තිබුනේ නැහැ ෴

+++

මම මේවා කියන්න හිටියේ නෑ – විමල් පළමු වරට අනුරගේ රහස් කියයි! විමල් හඬයි සභාවම නිහඬයි! (18.05.2025)

+++

පිස්සු බල්ලෙක් නාවන්න ගෙනියනවා වගේ ජනපතිට හොඳම එකෙන් කියයි – කලින්ම රණවිරු ස්මාරකයට ගිය ගම්මන්පිල (18.05.2025)

+++

මගේ පපුවේ මැහුම් 11යි මහත්තයෝ | ඇමති අරුණයි මායි එකට හිටියේ? අපි මහාපාරේ හිඟාකනවා… (18.05.2025)

+++

විජයග්‍රහණයේ ජාතික සැමරුමට මුලින් එන්නේ නෑ කියූ ජනපති දැන් එනවාලු (18.05.2025)

+++

සතුරාට සොහොන් ලකුණු පෙන්වූ වීරෝධාර රණවිරුවාගේ ශූරත්වයේ කතාව (18.05.2025)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *