කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත්වරියගේ නිල මැදිරිය මුද්‍රා තබයි
කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත්වරියගේ නිල මැදිරිය මුද්‍රා තබයි
(17.05.2025 – 10:58 +0530 – hirunews.lk/sinhala)
කඩුවෙල මහේස්ත්‍රාත්වරිය ලෙස කටයුතු කල ‘චාණිමා විජේබණ්ඩාර’ගේ කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ නිල මැදිරිය මුද්‍රා තැබීමට ‘අධිකරණ සේවා කොම්ෂන් සභාව’ විසින් කටයුතු කර ඇතැයි ‘කඩුවෙල පොලිසිය’ පවසනවා.
ඒ අනුව ලබන සඳුදා (19) දින හිටපු මහේස්ත්‍රාත් චාණිමා විජේබණ්ඩාරට අධිකරණය වෙත පැමිණ ඇයගේ නිල කාමරයේ තිබෙන ඇයට අයත් භාණ්ඩ ලබා ගැනීමට අවස්ථාව දී ඇති බවත් එතෙක් එම නිල කාමරය සඳහා පොලිස් ආරක්ෂාව ලබාදීමට කටයුතු කර ඇති බවයි ‘කඩුවෙල පොලිසිය’ පැවසුවේ.
‘හිටපු මහේස්ත්‍රාත් චාණිමා විජේබණ්ඩාර’ සම්බන්ධයෙන් ‘අධිකරණ සේවා කොම්ෂන් සභාව’ වෙත ලද පැමිණිලි කිහිපයක් මත සිදු කරනු ලබන පරීක්ෂණයන්ට යටත්ව මෙලෙස එම නිල කාමරය මුද්‍රා තබා ‘කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ’ වැඩ ආවරණ කටයුතු අත්හිටුවීමට කටයුතු කර ඇති බවට වාර්තා වී ඇතැයි ‘කඩුවෙල පොලිසියේ’ උසස් නිලධාරියෙකු වැඩිදුරටත් පැවසුවේ ෴
‘නව ත්‍රස්ත විරෝධී පනතක්’ කෙටුම්පත් කිරීම සඳහා මහජන අදහස් විමසයි
(17.05.2025 – 11:52 +0530 – hirunews.lk/sinhala)
‘නව ත්‍රස්ත විරෝධී පනතක්’ කෙටුම්පත් කිරීම සඳහා මහජන අදහස් ලබා ගැනීමට ‘අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශය’ පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව, මහජන අදහස්, නිර්දේශ සහ යෝජනා ඇත්නම් දින 14 ක් ඇතුළත අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශයට යොමුකළ හැකියි.
ශ්‍රී ලංකාවේ බල පැවැත්වෙන 1979 අංක 48 දරණ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත පරිච්ඡින්න කර ඒ වෙනුවට නව කෙටුම්පතක් සකස් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබුණා.
නව පනතක් හදුන්වාදීම තුළින් නූතන ගෝලීය ත්‍රස්තවාදී අභීයෝගයන්ට මුහුණ දීම, දේශීය සහ විදේශීය වශයෙන් පුද්ගලයින්ගේ මානව හිමිකම් සහ අන්තර්ජාතිකව පිළිගන්නා වූ ප්‍රමිතීන්ට අනුගත වීම අදහස් කෙරෙනවා ෴
විදුලි ගාස්තු 18.3% කින් ඉහළ දැමීමට අවශ්‍ය බව මණ්ඩලය පවසයි
(17.05.2025 – 12:36 +0530 – hirunews.lk/sinhala)
විදුලි ගාස්තු සියයට 18.3 කින් වැඩි කිරීමට අදාළ යෝජනා ඇතුළත් උපදේශන පත්‍රිකාව ‘ලංකා විදුලි බල මණ්ඩලය’ විසින් ‘මහජන උපයෝගිතා කොමිසම’ වෙත යොමු කර තිබෙනවා.
ඊයේ (16) මීට අදාළ උපදේශන පත්‍රිකාව තම කොමිසම වෙත ලැබුණු බවයි එහි සන්නිවේදන අධ්‍යක්ෂ ජයනාත් හේරත් සදහන් කළේ.
ඒ අනුව ජුනි මස පළමු වනදා (01) සිට ක්‍රියාත්මක වන පරිදි මෙම වැඩි කිරීම සිදු කරන ලෙසට ‘ලංකා විදුලි බල මණ්ඩලය’ යොජනා කර තිබෙනවා.
‘මහජන උපයෝගිතා කොමිසමේ’ සන්නිවේදන අධ්‍යක්ෂවරයා සදහන් කළේ, ‘විදුලි බල මණ්ඩල’ යෝජනාව සමාලෝචනය කර මේ සම්බන්ධයෙන් එළැඹෙන 20 වනදා වන විට මහජන අදහස් විමසීම සිදු කරන බවයි.
ඒ අනුව ඉදිරිපත් වන කරුණු මත ජුනි මස මුලදී මේ සම්බන්ධයෙන් ‘මහජන උපයෝගිතා කොමිසමේ’ තීන්දුව ප්‍රකාශයට පත් කරන බව ද ඔහු සදහන් කළා ෴
+++
+
අවුරුදු තුනහමාරක (3½) දරුවෙක් වතුර පිරුණු වලකට වැටී මරුට
(17.05.2025 – 12:51 +0530 – hirunews.lk/sinhala)
වතුර පිරුණු වලකට වැටී වයස අවුරුදු තුනහමාරක (3½) දරුවෙකු මිය ගොස් තිබෙනවා.
මෙලෙස මිය ගොස් ඇත්තේ නෑගම අලිවංගුව ප්‍රදේශයේ පදිංචිව සිටි දරුවෙක්.
ඊයේ (16) සවස් කාලයේ සෙල්ලම් කරමින් සිටි අවස්ථාවක එම දරුවා පදිංචි නිවසට මීටර් දෙසියයක් (200) පමණ දුරින් පිහිටි ඉඩමක කසල බැහැර කිරීම සදහා කපා තිබූ ජලය පිරුණු වලකට ඇදවැටී ඇති බවයි පොලිසිය පවසන්නේ.

දරුවා නිවසේ නොමැති බවට අනාවරණය කර ගත් දෙමව්පියන් රාත්‍රිය වන තෙක්ම ගම්වාසීන්ගේ සහය ඇතිව සිදුකළ සෝදිසි මෙහෙයුමකදී එම ජලය පිරිතිබුණ වලේ ගිලි සිටියදී දරුවා සොයා ගෙන තිබෙනවා.
ප්‍රතිකාර සදහා එම දරුවා ඊයේ (16) රාත්‍රියේ කඩිනමින් නෑගම්පහ රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර තිබූ අතර රෝහල් ගත කරන අවස්ථාව වන විටත් දරුවා මිය ගොස් ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.
මිය ගිය දරුවාගේ සිරුර මේ වනවිට නෑගම්පහ රෝහලේ තැන්පත් කර තිබෙනවා. එම දරුවාගේ හදිසි මරණය සම්බන්ධයෙන් ස්ථානීය මහේස්ත්‍රාත් පරීක්ෂණයක් පැවැත්වීමට නියමිත අතර කැකිරාව මහේස්ත්‍රාත් අධීකරණය මඟින් අද (17) එය පැවැත්වීමට නියමිතයි ෴
ජනාධිපති කාර්යාලයේ වෙන්දේසිය ගැන දයාසිරි ජයසේකර ‘අල්ලස් කොමිසම’ට පැමිණිලි කිරීමට යයි
(17.05.2025 – 13:06 +0530 – hirunews.lk/sinhala)
ජනාධිපති කාර්යාලය සතු වාහන වෙන්දේසියේදී ‘ව්‍යාජ ටෙන්ඩර් ගනුදෙණුවක්’ සිදුව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසනවා.
කොළඹදී අද (17) ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් ඔහු කියා සිටියේ එම වාහන අඩු මිලට අලෙවි කිරීම සම්බන්ධයෙන් ‘අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිෂන් සභාව’ට පැමිණිලි කිරීමට බලාපොරොත්තු වන බවයි ෴
+++
ජනාධිපති කාර්යාලය සතු වාහන ටෙන්ඩර් ක්‍රමයට විකිණීම සම්බන්ධයෙන් සිදුකරන අසත්‍ය පුවත් වාර්තාකරණය පිළිබඳවයි
(17.05.2025 – facebook.com/PresidentsMediaSriLanka)
+++
+++
+
අපි කිව්ව දේ කළානම් අනුරට අද ඔහොම කෑගහන්න වෙන්නේ නෑ | ආණ්ඩුවට මෙහෙම වුණේ උද්දච්චකමයි මෝඩකමයි නිසාද? (17.05.2025)
+
කොටහේන වෙඩිතැබීම : ‘පලනි ශිරාන්’ගේ වැඩක් – තුවාලකරු ‘පූකුඩු කන්නා’ගේ ගෝලයෙක්
(17.05.2025 – 13:43 +0530 – hirunews.lk/sinhala)
කොළඹ – කොටහේන – සුමිත්‍රාරාම පාරේ නිවසක් ඉදිරිපිට ඊයේ (16) සිදු වූ වෙඩි තැබීම පාතාල සාමාජිකයෙකු වන ඩුබායිහි සැඟව සිටින ‘පලනි ශිරාන්’ නමැත්තාගේ පාර්ශ්වය විසින් සිදු කර ඇතැයි දැනට සිදු කළ විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.
වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ඉන්දියාවේ රැඳී සිටින ‘මෝදර පූකුඩුකන්නා’ නමැත්තාගේ ගෝලයෙකු බවටයි අනාවරණය වී ඇත්තේ.
මෙම වෙඩි තැබීමෙන් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණේ ‘කනගරත්නම් චන්ද්‍රකුමාර්’ නැමති 42 හැවිරිදි පුද්ගලයා සහ ඔහුගේ මව වන 70 හැවිරිදි ‘මිසිලියා’ නම් කාන්තාවයි. වෙඩි ප්‍රහාරයේ ප්‍රධාන ඉලක්කය අදාළ පුද්ගලයා වනවා.
ඔහු සිය මවත් සමග නිවස ඉදිරිපිට සිටියදී යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු (2) පිස්තෝල අවියකින් මෙම වෙඩි තැබීම සිදු කර පළාගොස් තිබුණා.
මෙලෙස වෙඩි වැදීමෙන් තුවාල ලැබූ ‘කනගරත්නම් චන්ද්‍රකුමාර්’ට නමැත්තා පසුගිය වසරේදී (2024) සිදු වු මනුෂ්‍ය ඝාතනයකට ආධාර අනුබල දීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගත්අයෙක් ෴
ගල්කිස්ස වෙඩි තැබීමට ආ යතුරුපැදිකරු අල්ලයි
(17.05.2025 – 15:44 +0530 – hirunews.lk/sinhala)
ගල්කිස්ස, වෙරළ පාර – ගාලු පාර අසල ප්‍රදේශයේ දි තරුණයෙකු වෙඩි තබා ඝාතනය කිරීම සඳහා යතුරු පැදිය පැද වූ පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ පන්නිපිටිය මා කුඹුරේ දී බවයි ‘ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයය’ කියා සිටියේ.
එම වෙඩි ප්‍රහාරයෙන් ‘දෙහිවල-ගල්කිස්ස නගර සභාවේ’ ඝන අපද්‍රව්‍ය අංශයේ කම්කරුවෙකු මියගියා.
ඔහු එහි කොන්ත්‍රාත් පදනම මත රැකියාව කළ දෙහිවල, ඕබන් පෙදෙසේ පදිංචිව සිටි ‘ප්‍රවීන් නිසංක’ නැමැති අවුරුදු 19 ක පමණ තරුණයෙක්.
අත්අඩංගුවට ගත් සැකකරු, වෙඩික්කරු සමග පැමිණි යතුරු පැදිය කොටස් කර ව්‍යාජ අංක තහඩු 2 ක් ද සමග සිය නිවස පිටුපස වල දමා තිබියදී පොලිසිය සොයාගෙන තිබෙනවා.
+
2025 වසරේ මේ දක්වා විදේශ රැකියාවට ගිය පිරිස 100,000 ඉක්මවයි
(17.05.2025 – 14:11 +0530 – hirunews.lk/sinhala)
විදේශ රැකියා සඳහා ‘ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ’ ලියාපදිංචි වී පිටත් වූ සංඛ්‍යාව මේ වනවිට 100,000 ඉක්මවා ගොස් තිබෙනවා.
ඒ අනුව 2025 වසරේ මේ දක්වා කාලය තුළ 100,413 ක් ලියාපදිංචි වී රැකියා සඳහා විදේශ ගත වී ඇති බවයි ‘විදේශ සේවා නියුක්ති කාර්යාංශය’ සඳහන් කළේ.
එමෙන්ම, විදේශ රැකියා නියෝජිත ආයතනයක් හරහා ලියාපදිංචි නොවී විදේශ ගතවූ සංඛ්‍යාව 64,150 වන අතර, එවැනි ආයතනයක් හරහා ලියාපදිංචි වී විදේශ ගතවූ සංඛ්‍යාව 36,263 ක්.
ඊට කාන්තාවන් 39,496 ක් ද පිරිමින් 6,0917 ක් ද ඇතුළත්.
ඒ අතරින් වැඩිම පිරිසක් ලියාපදිංචි වී ඇත්තේ කුවේට් රාජ්‍යයේ රැකියා සඳහා වන අතර එම සංඛ්‍යාව 25,672 ක් වනවා.
එසේම, එක්සත් අරාබි එමීර් රාජ්‍ය සඳහා 18474 ක්, කටාර් රාජ්‍ය සඳහා 14,162 ක් ද, සෞදි අරාබිය සඳහා 12,625 පිටත්ව ගොස් තිබෙනවා.
ඒ අනුව, මේ වසරේ දී 340,000 ක් විදේශ ගත කිරීමට අපේක්ෂා කරන බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ ෴
අදත් (17) රාත්‍රි තැපැල් දුම්රිය නැහැ
(17.05.2025 – 15:01 +0530 – hirunews.lk/sinhala)
‘දුම්රිය ස්ථානාධිපති සංගමය’ ආරම්භ කර ඇති වර්ජනය හේතුවෙන් අද (17) දිනයේදීත් සියලු රාත්‍රි තැපැල් දුම්රිය ධාවනය නොවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
ඊයේ (16) මධ්‍යම රාත්‍රියේ ආරම්භ කළ මෙම වර්ජනය අද (17) මධ්‍යම රාත්‍රියෙන් අවසන් කිරිමටයි නියමිතව ඇත්තේ.
කෙසේ වෙතත්, ඒ හේතුවෙන් මගී ජනතාව දැඩි අපහසුතාවට පත්ව සිටිනවා.
‘දුම්රිය ස්ථානාධිපති සංගමයේ’ සභාපති සුමේධ සෝමරත්න පැවසුවේ, ඉදිරි සතියේ තම ඉල්ලීම්වලට විසඳුම් නොලැබුණෙහොත් අඛණ්ඩ වර්ජනයක් දියත් කරන බවයි ෴
+++
+
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴