කොටහේනේ සිසුවියගේ සිදුවීම ගැන මානව හිමිකම් කොමිසමෙන් විමර්ශනයක්

කොටහේනේ සිසුවියගේ සිදුවීම ගැන මානව හිමිකම් කොමිසමෙන් විමර්ශනයක්


කොටහේනේ සිසුවියගේ සිදුවීම ගැන මානව හිමිකම් කොමිසමෙන් විමර්ශනයක්

(16.05.2025 – 08:52 +0530 – hirunews.lk/sinhala)

කොටහේනේ මහල් නිවාස සංකීර්ණයකින් පැන සිසුවියක් සියදිවි හානි කර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබදව වාර්තාවක් ලබා දෙන ලෙස ‘ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම’ පොලිසියට සහ අධ්‍යාපන බලධාරීන්ට නියෝග කර තිබෙනවා.

එහි මාධ්‍ය ප්‍රකාශක නිහාල් චන්ද්‍රසිරි සඳහන් කළේ, බම්බලපිටිය සහ කොටහේන පොලිස් ස්ථානාධිපතිවරුන් හා දැරිය ඉගෙනුම ලැබූ පාසල අයත් කලාප අධ්‍යාපන කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා පෙරේදා (14) කොමිසම හමුවේ පෙනී සිටි අවස්ථාවේ මෙම දැනුම් දීම සිදු කළ බවයි.

එමෙන්ම, එදින (14) කොමිසම හමුවේ පෙනී නොසිටි දැරියගේ පාසලේ විදුහල්පතිනිය සහ ඇයව අපයෝජනයට ලක් කළ බව කියන එම පාසලේ ගණිත ගුරුවරයාට කොමිෂන් සභා පනත ප්‍රකාරව ක්‍රියා නොකිරීමට ඔවුන්ගෙන් හේතු විමසීමට ද ‘මානව හිමිකම් කොමිසම’ තීරණය කර තිබෙනවා.

දැරියගේ මිය යාම සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයෙන් අනතුරුව සිය නිර්දේශ ලබා දෙන බවයි එම කොමිසම සඳහන් කළේ ෴

+++

+++

කොටහේනේ සිසුවියගේ මව උසාවියට කී සංවේදී කතාව

(16.05.2025 – 14:13 +0530 – hirunews.lk/sinhala)

කොටහේන ප්‍රදේශයේ මහල් නිවාසයකින් පැන පසුගියදා සියදිවි නසාගත් පාසල් සිසුවිය එම සිදුවීමට පැයකට පෙර මිතුරෙකුට කතා කිරීම සඳහා ජංගම දුරකථනයක් ලබාගැනීමට උත්සාහ දරා ඇති බව එම මහල් නිවාස සංකීර්ණයේ සභාපතිවරයා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් සම්පත් ජයවර්ධන හමුවේ පැවසුවා.

ඒ සිද්ධියට අදාළ මරණ පරීක්ෂණය සඳහා මියගිය දැරිය පදිංචිව සිටි මහල් නිවාස සංකීර්ණයේ සභාපතිවරයා කොළඹ වැඩ බලන මහේස්ත්‍රාත් සම්පත් ජයවර්ධන ඉදිරියේ සාක්ෂි ලබාදෙමින්.

කොටහේන ප්‍රදේශයේ දැරියක සියදිවි නසා ගැනීමේ සිද්ධියට අදාළ මරණ පරීක්ෂණය සඳහා මියගිය දැරිය පදිංචිව සිටි මහල් නිවාස සංකීර්ණයේ සභාපතිවරයා වන ‘කරුප්පයියා සදීස් කුමාර්’ගෙන් සහ මිය ගිය දැරියගේ මවගෙන් සාක්ෂි සටහන් කර ගැනීම සිදුවුණා.

ඒ කොළඹ වැඩ බලන මහේස්ත්‍රාත් සම්පත් ජයවර්ධන ඉදිරියේදීයි.

කොටහේන පොලිසියේ පොලිස් කොස්තාපල් කැලුම්ගේ මෙහෙයවීම මත පැවති සාක්ෂි විභාගයේදී සිද්ධිය ඇසින් දුටු ‘කොටහේන එක්ස්පෝ මහල් නිවාස සංකීර්ණයේ’ සභාපති ‘කරුපයියා සතිස් කුමාර’ ප්‍රථමයෙන් සාක්ෂි ලබා දුන්නා.

“එක්ස්පෝ මහල් නිවාස සංකීර්ණයේ සභාපති වශයෙන් මම සේවය කරනවා, 2025 අප්‍රේල් 29 හවස 3 ට පමණ එහි වතුර මෝටරය වැඩ කරන්නේ නැති නිසා එය නැවත පිළිසකර කරමින් හිටියා. ඒ අවස්ථාවේදී එක පාරම ලොකු ශබ්දයක් ආවා. වාහන සද්දයක් වගේ ඇහුනේ මම ගිහින් බලද්දි ළමයෙක් වැටිලා හිටියා දැක්කා.

මරණයට පත් පාසැල් සිසුවිය මීට පෙර අවස්ථාවලදී මම දැක තිබෙනවා, මහල් නිවාස සංකීර්ණයේ පළවෙනි තට්ටුවේ 36/1/3 නිවසේ තමා මේ ළමයා පදිංචි වෙලා හිටියේ, ළමයා වැටිලා කියලා දැනගත්තට පස්සේ දරුවාගේ අම්මයි තාත්තයි ආවා. ඇවිත් ත්‍රිරෝද රථයකින් රෝහලට රැගෙන ගියා.

මෙම සිද්ධියට අදාළ දරුවා අසනීප තත්ත්වයකින් පෙළුණු බව මම දැනගෙන සිටියේ නැහැ, දරුවා ෆ්ලැට් එකෙන් පහළට පැන්නට පස්සේ මම විනාඩි පහකට පස්සේ ස්ථානයට ගියා, එතකොට පාවහන් යුගළක් සහ රෝස පාට බෑග් එකක් තිබෙනවා දැක්කා. ඊට අමතරව ස්ටූල් එකක් තියෙනවා මම දැක්කා, එම ස්ටූල් එක මීට පෙරත් එතන තියෙනවා මම දැකල තියෙනවා.

මේ ගෑණු ළමයා උඩුමහලට මීට පෙර ගිහින් මේසේ උඩ වාඩිවෙලා රෑ 07:30 ට විතර වෙනකම් ඉන්නවා මරණය සිදුවීමට සුමානයකට පෙර මගේ සේවකයෙක් දැක තියෙනවා.

මරණය සිදුවීමට දවස් තුන හතරකට (3-4) පෙර නිවසේ බැල්කනියේ සිට මෙම දරුවා රෑ දහයට (10:00) විතර ‘අම්මේ දොර අරින්න, අම්මේ දොර අරින්න’ යනුවෙන් කෑ ගසන හඬක් මහල් නිවාස සංකීර්ණයේ ආරක්ෂක නිලධාරියාට ඇසී ඇති බවට තමන්ට ප්‍රකාශ කළ බව මහල් නිවාස සංකීර්ණයේ සභාපතිවරයා සාක්ෂි ලබා දෙමින් පවසා තිබෙනවා.

අදාළ සිසුවිය සිද්ධියට පැයකට (1) පමණ පෙර මිතුරෙකුට කතා කිරීමට ජංගම දුරකථනයක් මහල් නිවාසයේ පුද්ගලයෙකුගෙන් ඉල්ලා ඇති නමුත් මහල් නිවාස සංකීර්ණයේ ආරක්ෂක නිලධාරියා එය ලබාදීම වළක්වා ඇති බවට තමාට පසුව දැනගන්නට ලැබුනු බවද ඔහු සඳහන් කළා.

පසුව සිද්ධිය සම්බන්ධයෙන් මියගිය දැරියගේ මව සාක්ෂි ලබාදුන්නා.

“මහල් නිවාස සංකීර්ණයට ඇවිත් මාස එකොළහක් (11) විතර වෙනවා. මට දරුවන් දෙන්නෙක් (2) ඉන්නවා. පුතාට අවුරුදු දෙක හමාරයි (2½), දුවට අවුරුදු පහළොවයි (15), මගේ දුව මෙම සිද්ධිය නිසා අධ්‍යාපනය ලැබූ පාසලෙන් ඉවත්ව කොටහේන ප්‍රදේශයේ පාසලක අධ්‍යාපනයට යොමු වුණා.

2024 වර්ෂයේ 10 පන්තියේ ගණිත ගුරුවරයා වැරදි විදිහට මගේ දුවත් එක්ක හැසිරිලා තියෙනවා. ගණිත විෂය භාර ගුරුවරයා විසින් ගණිතය පංති කාමරේදී දුව අතවරයකට ලක් කරලා තියෙනවා. 2024-11-12 දින ‘අම්මා මට දෙයක් කියන්න තියෙනවා, අම්මා මං ගැන වැරදියට හිතන්න එපා’ යනුවෙන් තමාට ප්‍රකාශ කිරීමට පෙර සතියක් තිස්සේ තම දරුවා තමාට යමක් ප්‍රකාශ කිරීමට තිබෙන බව පවසා ඇති බවත් ‘මම ඉස්කෝලෙ විදුහල්පති තුමියට විස්තරේ කිව්වා, අම්මා ගිහින් අහන්න’ යනුවෙන් තම දරුවා තමාට පැවසූ බවත් මියගිය දැරියගේ මව සාක්ෂි ලබා දෙමින් පැවසුවා.

ඉන්පසු තමා එම විද්‍යාලයේ විදුහල්පති තුමියගෙන් ඒ බව විමසා සිටි අවස්ථාවේදී එම සිද්ධිය සිදුවූ දිනයේ ගණිත ගුරුවරයා පාසලට සේවය සඳහා නොපැමිණි බවත් මෙම දරුවා චිත්‍රපටි බලා මනසින් සිතා ගන්නා ලද දෙයක් ප්‍රකාශයක් කරන බව විදුහල්පතිවරිය තමාට පැවසූ බවද ඇය සඳහන් කළා.

තම දරුවාව ගණිත ගුරුවරයා විසින් බදාගත් බව මියගිය සිසුවිය සඳහන් කර තිබූ බවද මව සාක්ෂි ලබා දෙමින් අධිකරණයට පෙන්වා දුන්නා.

සිද්ධියෙන් පසුව තම දියණිය පාසල් යෑමට අකමැත්ත දැක්වීම හේතුවෙන් ඇයව මානසික වෛද්‍යවරයෙකු හමුවට රැගෙන ගිය බවත් ඒ බව තමා විදුහල්පතිවරියට දැනුම් දුන් බවද මව මෙහිදි සඳහන් කළා.

‘මම කිසිදු වරදක් කරේ නැහැ , කළා නම් ‘එවිඩන්ස්’ ගෙනත් පෙන්නන්න’ යනුවෙන් ගණිත ගුරුවරයා තමාට සහ දරුවාට දෝෂාරෝපණය කළ බවද මව සාක්ෂි ලබා දෙමින් පැවසුවා.

පසුව දරුවා යහපත් තත්ත්වයට පත් වූ බැවින් මෙම වසරේ (2025) ජනවාරිවල සිට ප්‍රතිකාර ලබා නොගත් බවත් පසුව දියණිය ලිංගික අතවරයට ලක් වූ බවට වෛද්‍යවරයා දැනුවත් කිරීමෙන් පසුව නැවත ප්‍රතිකාර ගැනීමට ක්‍රියා කළ බවත් මව පැවසුවා.

වෛද්‍යවරයා හමුවීමෙන් පසුව තම දරුවාට ගුරුවරයාගෙන් සිදුවූ එම සිදුවීම පිළිබඳ සඳහන් කළ අවස්ථාවේදී දරුවා සමග පැය භාගයක (½) පමණ කාලයක් කතා කළ වෛද්‍යවරයා දරුවට සත්‍ය වශයෙන්ම ලිංගික අතවරයක් සිදුව ඇති බව ප්‍රකාශ කළ බවද ඇය පැවසුවා.

මේ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් කරන ලෙසට දැනුම් දුන් මානසික වෛද්‍යවරයා තම දරුවාව අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත ඉදිරිපත් කරන ලෙස තමාට දැනුම් දුන් බවද මව මෙහිදී සඳහන් කළා.

ඉන්පසුව දරුවා රැගෙන රෝහලට ගිය බවත් දින දෙකකට (2) පසු අධිකරණ වෛද්‍යවරයා හමුවට යොමු කළ බවත් ඉන්පසුව රිජ්වේ ආර්යා රෝහ‍ලේදී අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා සිදුකළ පරීක්ෂණයකදී තම දියණියට අතවරයක් සිදුව ඇති බව දැනගත් බවද ඇය පැවසුවා.

අධිකරණ වෛද්‍යවරයා සඳහන් කර පරිදි දරුවාව එම පාසලෙන් ඉවත් කරගෙන වෙන පාසලකට යොමු කළ ද එම නව පාසලේ සියලු දෙනා මෙම සිද්ධිය ගැන දැනගෙන ඇති බවත් දියණිය උපකාරක පන්ති වෙත ගොස් සිටියදී එම ආයතනයේ හිමිකරුත් දරුවාට නඩුවක් ඇති බැවින් පන්තියට සහභාගි නොවන ලෙස සඳහන් කළ බව මව සාක්ෂි ලබා දෙමින් පැවසුවා.

තම දරුවා නිතරම ‘මම ජීවත් වෙන්න කැමති නැහැ’ යනුවෙන් තමා හට පැවසූ බවද වැඩිදුරටත් සාක්ෂි ලබා දෙමින් දැරියගේ මව අධිකරණයට ප්‍රකාශ කළා.

සිද්ධියට අදාළ වැඩිදුර සාක්ෂි විභාගය මෙම මස 22 දිනට කල් තැබුණා.

+


වාහන අංක තහඩු හිඟයට තාවකාලික විසඳුමක්

(16.05.2025 – 13:04 +0530 – hirunews.lk/sinhala)

මෝටර් රථ සදහා නව අංක තහඩු නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවා ඇති බැවින් තහඩු නොමැතිව ධාවනය කරන නව ලියාපදිංචි මෝටර් රථවලට එරෙහිව නඩු ලබා නොගන්නා ලෙස රථවාහන මූලස්ථානය සියලු පොලිස් ස්ථාන වෙත දැනුම් දී තිබෙනවා.

නව අංක තහඩු නිකුත් කිරීම පසුගිය මස 28 වනදා සිට තාවකාලිකව අත්හිටුවා ඇත්තේ, ඒ සදහා නව ආයතනයක් තෝරා ගැනීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය ආරම්භ කර තිබීම හේතුවෙන්.

ඒ අනුව මේ වන විට ඊට අදාල තාක්ෂණ ඇගයිම් අවසන් වී ඇති අතර මොරටුව විශ්වවිද්‍යාලයෙන් ඊට අදාළ වාර්තාව ලැබුණු පසු නව සම්පාදකයෙකු තෝරාගෙන අංක තහඩු නිකුත් කිරීම යළි ආරම්භ කරන බවයි මෝටර් රථ කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ කියා සිටියේ.

ඒ සම්බන්ධයෙන් පොලිස්පතිවරයා, දිස්ත්‍රික් ලේකම්වරුන් මෙන්ම පළාත් ප්‍රධාන ලේකම්වරුන්ද දැනුවත් කර ඇති අතර අලුතින් මෝටර් රථ ලියාපදිංචි කරන මෝටර් රථ හිමියන්ට ද ලිපියක් මගින් දැනුම් දී තිබෙනවා.

ඒ අනුව, අලුතින් ලියාපදිංචි කරන මෝටර් රථවලට තාවකාලික අංක තහඩු සවි කර ධාවනය කිරීමට අවසර ලබාදී ඇති බව අප කළ විමසිමකදී පොලිස් රථවාහන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මනෝජ් රණගල සදහන් කළා ෴


සූර්ය පැනල හරහා මෙගාවොට් 1700 ක බලශක්ති ධාරිතාවක්

(16.05.2025 – 13:05 +0530 – hirunews.lk/sinhala)

මෙම වසරේ (2025) මැයි පළමු වනදා (01) වන විට රට පුරා ස්ථාපිත කළ සූර්ය පැනල හරහා මෙගාවොට් 1700 ක බලශක්ති ධාරිතාවක් උපයා ඇතැයි ‘ලංකා විදුලිබල මණ්ඩලය’ පවසනවා.

එය මෙරට ප්‍රධාන පුනර්ජනනීය බලශක්ති උත්පාදනයේ සන්ධිස්ථානයක් අත්කර ගැනීමක් බවයි එම මණ්ඩලය සදහන් කළේ.

එසේම, මෙම ප්‍රගතිය ශ්‍රී ලංකාව වඩාත් තිරසාර බලශක්ති අනාගතයක් සදහා පිළිබිඹු කරන්නක් බවද ‘ලංකා විදුලිබල මණ්ඩලය’ වැඩිදුරටක් සදහන් කළා ෴


සබරගමුව සිදුවීමට අදාළව අත්අඩංගුවට ගත් සිසුන් 10 දෙනා තවදුරටත් රිමාන්ඩ්

(16.05.2025 – 14:23 +0530 – hirunews.lk/sinhala)

‘ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ’ දෙවන (2) වසරේ සිසුවෙකුට නවක වධය ලබාදීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන තිබූ සිසුන් 10 දෙනා එළඹෙන 29 වැනිදා දක්වා යලි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස බලන්ගොඩ මහෙස්ත්‍රාත් භාග්‍යා දිල්රුක්ෂි නියෝග කළා.

සැකකාර සිසුන් අද (16) බලංගොඩ මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි මෙලෙස යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළේ.

ඉකුත් අප්‍රේල් 29 වැනිදා ‘සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ ඉංජිනේරු පීඨයේ දෙවැනි (2) වසරේ’ ඉගෙනුම ලැබූ ‘චරිත් දිල්ශාන්’ නමැති සිසුවා දිවි නසාගෙන තිබුණා.

විෂාදය හේතුවෙන් තමන් දිවි නසාගන්නා බවට ඔහු සිය අත්අකුරින් ලිපියක් ලියා තිබුණද ඔහුගේ ඥාතීන් හා මිතුරන් චෝදනා කළේ විශ්වවිද්‍යාලයේ ඇති නවකවධය දරාගත නොහැකිව ඔහු දිවි නසාගෙන ඇති බවයි.

ඒ සම්බන්ධයෙන් සිදුකෙරුණු විමර්ශනවලට අදාළව මෙම සිසුන් ‘අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව’ විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළා ෴


අන්තරයේ කැඳවුම්කරු ඇතුළු පිරිසට අධිකරණයෙන් වාරණ නියෝගයක්

(16.05.2025 – 14:40 +0530 – hirunews.lk/sinhala)

කොළඹ රෝහල් චතුරශ්‍රයට සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ පිහිටි ප්‍රදේශයට ඇතුල්වීම සහ රෝහල් කටයුතුවලට බාධා කිරීම වලක්වාලමින් ‘අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ’ කැදවුම්කරු ඇතුලු පිරිසකට අධිකරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව, අද (16) දහවල් 12 සිට හෙට (17) පස්වරු 5 දක්වා ඔවුන්ට එම ප්‍රදේශවලට ඇතුල්වීම තහනම් වනු ඇති.

මේ අතර, පරිපූරක වෛද්‍ය වෘත්තීන් සදහා සම සෞඛ්‍ය විද්‍යා උපාධිධාරීන් නොසලකා පෞද්ගලික විශ්ව විද්‍යාලවල උපාධිධාරීන් පමණක් බදවා ගැනීමට එරෙහිව සම සෞඛ්‍ය විද්‍යා උපාධිධාරී එකමුතුව කොළඹ අද විරෝධතාවක් ද සංවිධානය කර තිබෙනවා ෴

+++

අන්තරේ කැඳවුම්කරු ඇතුළු 09ක් අත්අඩංගුවට

(16.05.2025 – 16:39 +0530 – hirunews.lk/sinhala)

අධිකරණ නියෝගයක් උල්ලංඝනය කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වීම සම්බන්ධයෙන් සැකකරුවන් පිරිසක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ‘අවිශිබම’ කැඳවුම්කරු ඇතුළු 9 දෙනෙකු බවයි පොලිසිය සඳහන් කළේ.

කොළඹ රෝහල් චතුරශ්‍රයට සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ පිහිටි ප්‍රදේශයට ඇතුල්වීම සහ රෝහල් කටයුතුවලට බාධා කිරීම වලක්වාලමින් ‘අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ’ කැදවුම්කරු ඇතුලු පිරිසකට අද (16) අධිකරණ නියෝගයක් නිකුත් කරනු ලැබුවා.

ඒ අද (16) දහවල් 12 සිට හෙට (17) පස්වරු 5 දක්වා ඔවුන්ට එම ප්‍රදේශවලට ඇතුල්වීම තහනම් කරමින් ෴

+

+

+

+


වසර 04 ක් තුළ දුම්රියේ ගැටී වනඅලි 53 ක් මරුට

(16.05.2025 – 15:25 +0530 – hirunews.lk/sinhala)

2020 සිට 2024 දක්වා කාලය තුළ දුම්රියේ ගැටීම නිසා වනඅලි 53 ක් මියගොස් 17 ක් තුවාල ලබා ඇති බව පසුගිය දා රැස්වූ කෝපා කමිටුවේදී අනාවරණය වී තිබෙනවා.

මේ පිළිබඳ අනාවරණය වූයේ ‘ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ’ 2023 වර්ෂයේ විගණකාධිපති වාර්තාව හා වර්තමාන කාර්යසාධනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ‘රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව’ (COPA) පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද සෙනරත්ගේ සභාපතිත්වයෙන් පසුගියදා (09) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීයි.

මෙහිදී කමි‍ටුව පෙන්වා දුන්නේ වනඅලි අනතුරු අවම කර ගැනීම සඳහා 2018 ඔක්තෝම්බර් මස 11 දින සිට 15 දින දක්වා සමීක්ෂණයක් සිදුකර වනඅලි දුම්රියේ ගැටීමේ ස්ථාන හා වන අලි දුම්රිය මාර්ගයේ ගැවසෙන ස්ථාන පිළිබඳ අධ්‍යයනයක් සිදු කර තිබුණත් වනඅලි දුම්රියේ ගැටීම අවම වී නැති බවයි.

මෙහිදී නිලධාරීන් පෙන්වා දුන්නේ 2018 පැවති තත්ත්වය මේ වන විට වෙනස් වී ඇති බවත්, මෑත කාලීනව අලි 200 පමණ දිනපතා දුම්රිය මාර්ග අවට ගැවසෙන බවත් හඳුනාගෙන ඇති බවයි.

මේ නිසා දැනටමත් කෙටි කාලීන විසඳුම් ලබා දී ඇති බවත් මේ වන විට ‘වන ජීවී දෙපාර්තමේන්තුව’ සමග සාකච්ඡා කරමින් දීර්ඝකාලීන විසදුම් ලබාදීම සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගනිමින් සිටින බවත් නිලධාරීහු එහිදී පෙන්වා දී තිබෙනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *