රට පුරා ලුණු හිඟය උග්‍ර වෙයි
(15.05.2025 – 17:00 +0530 – hirunews.lk/sinhala)
කොළඹ සහ තදාසන්න ප්‍රදේශ රැසක ‘ලුණු හිඟය’ මේ වනවිට උග්‍ර වී තිබෙනවා.
රටේ දෛනික ලුණු අවශ්‍යතාව සපිරීම සඳහා ප්‍රමාණවත් තොග නොමැති වීම හේතුවෙන් රජය පසුගියදා ලුණු ආනයනය කිරීමටයි තීරණය කළේ.
එහිදී ‘ලංකා ලුණු සමාගම’ට ලුණු මෙට්‍රික් ටොන් 10,000 ක් සහ ‘ජාතික ලුණු සමාගම’ට ලුණු මෙට්‍රික් ටොන් 20,000 ක් ඉන්දියාවෙන් ආනයනය කිරීමට අවසර හිමිවුණා.
ඒ අනුව ‘ජාතික ලුණු සමාගම’ ගෙන්වන ලුණු තොගය බොහෝ දුරට ලබන සදුදා (19) වනවිට දිවයිනට රැගෙන ඒමට නියමිතයි.
රට තුළ ලුණු අර්බුදයක් මතු වූයේ ‘අලිමංකඩ ලුණු කර්මාන්තශාලාවේ නව මේස ලුණු නිෂ්පාදනාගාරයක්’ පවා පසුගිය මාර්තු මාසයේ සිට විවෘත කළ පසුබිමකයි.
මේ වන විට දිවයිනේ ප්‍රදේශ රැසක වෙළදසැල්වල අලෙවි කිරීමට ප්‍රමාණවත් තරම් ලුණු නොමැති බව අප කළ සොයා බැලීමකදී අනාවරණය වුණා.
එසේම, ලුණු මිල ගණන් ද සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර මේ වන විට ලුණු කැට කිලෝ එකේ පැකැට්ටුවක් රුපියල් 400 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඉහළ මිලකට හෝ ලබා ගැනීමට ‘මේස ලුණු’ වෙළදපොළේ නොපවතින බවයි පාරිභෝගිකයින් පෙන්වා දෙන්නේ.
ලුණු හිගය සම්බන්ධයෙන් ‘හිරු ප්‍රවෘත්ති’ කළ විමසීමකදී ‘ලංකා ලුණු සංස්ථාවේ’ සභාපති ඩී. නන්දන තිලක කියා සිටියේ ආනයනික ලුණු තොගය දිවයිනට පැමිණි පසු මෙම ලුණු හිගය මග හැරී යනු ඇති බවයි.
එමෙන්ම, ඊයේ (14) සහ අද (15) ලුණු පැකට් ලක්ෂය බැගින් ‘ලංකා සතොස’ හරහා වෙළදපොළට නිකුත් කිරීමට පියවර ගත් බව ද ‘ලංකා ලුණු සංස්ථාවේ’ සභාපතිවරයා ප්‍රකාශ කළා ෴
ආනයන සීමා ලිහිල් කරමින් ලුණු ආනයනය කිරීම සඳහා අවසර ලබා දීමට අද (15) දින රැස් වූ කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.
ඒ අනුව ජූනි 10 වන දින දක්වා එම ආනයනයන්ට අදාල අවසර ලබා දී ඇති අතර, කර්මාන්ත සඳහා අවශ්‍ය ‘අයඩිනීකරණය නොකරන ලද ලුණු’ සහ ආහාරයට ගන්නා ‘අයිඩිනීකරණය කරන ලද ලුණු’ ආනයනය සඳහා අවස්ථාව ලබා දී ඇති බවයි වාර්තා වන්නේ ෴
‘ෆෝබ්ස් සගරාවේ’ තිහෙන් (30) පහළ ආසියානු විශිෂ්ටයින් අතරට ලාංකිකයින් තුන්දෙනෙක් (3)
(15.05.2025 – 17:51 +0530 – hirunews.lk/sinhala)
සුප්‍රකට ෆෝබ්ස් සඟරාව විසින් පළ කළ ආසියාවේ අවුරුදු 30 න් පහළ විශිෂ්ටයින් තිස් දෙනාගේ (30) නම් ලැයිස්තුවට ශ්‍රී ලාංකිකයින් තුන් දෙනෙකු (3) ඇතුළත් වී තිබෙනවා.

එම තිදෙනා (3) වන්නේ ‘වයිල්ඩ් කුක් බුක්’ නමින් යූටියුබ් අවකාශය තුළ ලොව පුරා ජනාදරයට පත්ව සිටින සූපවේදියෙකු වන ‘චරිත් එන් සිල්වා’, ව්‍යාවසායිකාවක වන ‘යානිකා අමරසේකර’ සහ අලෙවිකරණ හා ප්‍රචාරන ක්ෂේත්‍රයේ කටයුතු කරන ‘නිකින් මාතරආරච්චි’ යි.
‘චරිත් එන් සිල්වා’, ග්‍රාහකයින් මිලියන 10 පසුකළ පළමු ශ්‍රී ලාංකික යූ ටියුබ් නාලිකාවේ හිමිකරුවා බවටද පසුගියදා පත් වුණා ෴
රටේ පළවෙනි විභාග කොමසාරිස්වරිය අද (15) වැඩ භාර ගනී
(15.05.2025 – 18:40 +0530 – hirunews.lk/sinhala)
එකොළොස් වන (11) විභාග කොමසාරිස් ජනරාල් ධුරයෙහි ප්‍රථම වරට කාන්තා නියෝජනයක් සිදු කරමින් ‘ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි ලියනගේ’ අද (15) විභාග කොමසාරිස් ජනරාල් ධුරයෙහි වැඩ භාර ගෙන තිබෙනවා.
මෙරට එකොළොස් (11) වන විභාග කොමසාරිස් ජනරාල් ධුරය හොබවන ඇය ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවාවේ 2005 කණ්ඩායමේ සාමාජිකාවක්.

එම සේවාවේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනියක් ද වන ඇය විභාග කොමසාරිස් ජනරාල් ධුරයට පත් වීමට පෙර විභාග දෙපාර්තමේන්තුවේ රහස්‍ය පාසල් විභාග ශාඛාව භාර විභාග කොමසාරිස්වරිය ලෙස මෙන් ම පාලන හා විමර්ශන ශාඛාව භාර විභාග කොමසාරිස්වරිය ලෙස ද කටයුතු කලා.
කොළඹ ඩී.එස්. සේනානායක විදුහලේ නියෝජ්‍ය විදුහල්පතිධූරය හා විදුහල්පතිධූරයත් හොබවා ඇති නව විභාග කොමසාරිස් ජනරාල්වරිය ගාල්ල සංඝමිත්තා විදුහලේ ආදි ශිෂ්‍යාවක්.
රුහුණු විශ්වවිද්‍යාලයෙන් ප්‍රථම උපාධිය ලබා ඇති ඇය කොළඹ විශ්ව විද්‍යාලයෙන් අධ්‍යාපනපති උපාධියත් කැලණිය විශ්වවිද්‍යාලයෙන් වාග්විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධියත් හදාරා තිබෙනවා.
+
හර්ෂාන් ද සිල්වා යළි රිමාන්ඩ්
(15.05.2025 – 18:45 +0530 – hirunews.lk/sinhala)
අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසුව ඇප මත මුදාහරින ලද ‘ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ’ හිටපු සභාපති හර්ෂාන් ද සිල්වා යළිත් රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.
ඒ අදාළ ඇප කොන්දේසි සපුරාලීමට නොහැකි වීමෙන්.
2014 වසරේ කොළඹ ගංවතුර පාලනය කිරීම සඳහා ආරම්භ කරන ලද ව්‍යාපෘතිය සඳහා වෙන් කරන ලද මුදල් ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තොරව උත්සව කටයුතුවලට වියදම් කිරීම තුළින් රජයට රුපියල් ලක්ෂ 276 ක පාඩුවක් සිදු කළේ යැයි කියන චෝදනාව මතයි ඔහු අත්අඩංගුවට ගනු ලැබුවේ.
අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් මෙම සැකකරු දහවල් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි හමුවට පමුණුවනු ලැබුවා.
ඒ අනුව සැකකරු රුපියල් මිලියනය බැගින් වූ ශරීර ඇප පහක් (5) මත මුදා හැරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරිය සැකකරුගේ විදේශ ගමන් තහනම් කරන බවත් නියම කළා.
කෙසේ වෙතත් අදාළ ඇප කොන්දේසි සපුරාලීමට නොහැකි වීමෙන් ඔහු නැවත රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා ෴
බාල පොහොර බෙදූ පොළොන්නරුවේ කෝටිපති ව්‍යාපාරිකයාගේ තවත් වංචා එළියට
(15.05.2025 – 19:28 +0530 – hirunews.lk/sinhala)
ප්‍රමිතියෙන් තොර බාල පොහොර බෙදාහැරීමේ ජාවාරමේ නිරත වූ පොළොන්නරුව – සිරිපුර කෝටිපති ව්‍යාපාරිකයා විසින් සිදුකරන ලද තවත් නීතිවිරෝධි ක්‍රියා රැසක් මේ වන විට අනාවරණ වී තිබෙනවා.
අදාළ කෝටිපති ව්‍යාපාරිකයාට අයත් ගබඩාවක තිබී ප්‍රමිතියෙන් තොර බාල පොහොර මිටි 1565 ක් සොයාගෙන තිබූ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් එහි කළමනාකාරවරයා ඇතුළු 12 දෙනකු අත්අඩංගුවට ගෙන තිබුණා.
පසුව අනාවරණ වුණේ අදාළ ව්‍යාපාරිකයා විසින් දෙහිඅත්තකණ්ඩිය, වැලිකන්ද, අරලගංවිල, දියබෙදුම, හිඟුරක්ගොඩ ඇතුළු පොලොන්නරුව දිස්ත්‍රික්කයේ තවත් ප්‍රදේශ කිහිපයකට මෙම බාල පොහොර වැඩි මිලට බෙදා හැර ඇති බවටයි.
මෙම පොහොර ‘සියයට 46 ක නයිට්‍රජන් ප්‍රමාණයක් ඇති බවට ලේබල් කර’ ගොවීන්ට සහ අලෙවි නියෝජිතයන්ට සැපයීමට සූදානම් කර තිබියදී පොළොන්නරුව අපරාධ විමර්ශන අංශය විසින් වටලා තිබුණා.
මීට අමතරව මෙම බාල පොහොර ගොවීන්ට අලෙවි කිරීම සදහා ව්‍යාජ ලෙස ලේබල් ගැසූ පොහොර මලු විශාල ප්‍රමාණයක්ද සොයාගත් බවයි පොලිසිය සදහන් කළේ.
එමෙන්ම ඇතැම් අවස්ථාවලදී පොහොර සදහා ‘පොල් කුඩු’ යොදාගෙන ඇති බවටද අනාවරණ වී තිබෙනවා.
මෙම ව්‍යාපාරිකයා සිය නිවසට, ගබඩාවට සහ පොහොර සකස් කිරීම සදහා යොදාගත් කර්මාන්තශාලාවට නීතිවිරෝධි අන්දමින් විදුලිය ගෙන ඇති බවටද අනාවරණ වී තිබුණා.
එමෙන්ම ව්‍යාපාරිකයාට අයත් තවත් නිවසක සහ ගබඩාවේ තිබී සඟවා තබන ලද ලියාපදිංචි නොකරන ලද සුඛෝපභෝගි වෑන් රථයක්, ජිප් රථයක් සහ ට්‍රැක්ටරයක් සොයාගත් බවයි පොලිසිය සදහන් කළේ.
අදාළ පොහොර ගබඩාව වැටලීම සිදුකරන අවස්ථාවට නිවාස සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් ඇතුලු කණ්ඩායමක්ද පැමිණ තිබුණා ෴
ජනාධිපති කාර්යාලයේ තිබූ සුඛෝපභෝගි වාහන වෙන්දේසියෙන් මිලියන 200 කට අධික ආදායමක්
(15.05.2025 – 21:17 +0530 – hirunews.lk/sinhala)
මිලියන 200 කට අධික ආදායමක් ජනාධිපති කාර්යාලයේ තිබූ සුඛෝපභෝගි වාහන අලෙවි කිරීමේ දෙවැනි (2) අදියර යටතේ අද (15) පැවති වෙන්දේසියේදී සුඛෝපභෝගී වාහන 17 ක් ,රුපියල් මිලියන 200 ඉක්මවූ මුදලකට අලෙවිකර තිබෙනවා.
මෙම වාහන වෙන්දේසිය සඳහා විශාල ඉල්ලුමක් පැවති බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.
නව රජය පත්වීමත් සමග ජනාධිපති කාර්යාලය සතුව තිබූ වාහන සම්බන්ධයෙන් දැඩි ආන්දෝළනාත්මක තත්ත්වයක් හටගත් අතර පෙර ආණ්ඩුවේ මැති ඇමතිවරුන්, උපදේශකයින් මෙන්ම ඉහළ රාජ්‍ය නිලධාරීන් භාවිත කළ බව කියූ ජිප් රථ ඇතුළු සුඛෝපභෝගී වාහන රැසක් ගාලු මුවදොර ගාල්කර තැබුණා.
පසුව මෙම සුඛෝපභෝගී වාහනවලින් කොටසක් වෙන්දේසි කිරීමට රජය තීරණය කළ අතර එම පළමු (1) අදියර යටතේ ඩිෆෙන්ඩර් ජිප් රථ 9 ක් ඇතුළු වාහන 15 ක් වෙන්දේසි කිරීමට රජය කටයුතු කළා.
මෙම වාහන වෙන්දේසියේ දෙවැනි (2) අදියර අද (15) ක්‍රියාත්මක කළ අතර එහිදී සුඛෝපභෝගී වාහන මෙන්ම භාවිතයෙන් ඉවත්කර ඇති වාහන 26 ක් අලෙවි කිරීමට කටයුතු යොදා තිබුණා.
ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ හිටපු ජනාධිපතිවරයා විසින් සිය ධුර කාලයේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලව පත්කරන ලද උපදේශකවරුන් හා කාර්යමණ්ඩලය වෙත ලබාදී තිබූ වාහන 26 ක් මෙලෙස වෙන්දේසියට යොමු කළ බවයි.
ඒ අනුව සුඛෝපභෝගී BMW මෝටර් රථයක්, ෆෝර්ඩ් එවරස්ට් ජීප් රථ දෙකක් (2) , ලෑන්ඩ් රෝවර් ජීප් රථ දෙකක් (2), මිට්ෂුබිෂි මොන්ටේරෝ රථයක්, පොර්ෂ් වර්ගයේ ජීප් රථයක් V8 රථ 6 ක්, නිසාන් පෙට්‍රල් රථ තුනක් (3), නිසාන් වර්ගයේ මෝටර් කාර් දෙකක් (2) සහ මිට්ෂුබිෂි රෝසා වර්ගයේ වායු සමනය කළ බස් රථයක් අද (15) දිනයේ වෙන්දේසියට තබා තිබුණා.
මෙම වෙන්දේසිය සඳහා ව්‍යාපාරිකයින් 108 දෙනෙකු පමණ එක්ව සිටි අතර ඉන් වාහන 17 ක් අද (15) දිනයේ අලෙවි වී තිබෙනවා.
මෙම වෙන්දේසියේදී උපයා ඇති ආදායම රුපියල් මිලියන 200 කට අධිකයි ෴
පාසලක දෙපිරිසක් අතර ඇති වූ ගැටුමෙන් සිසුවෙකුට බරපතලයි
(15.05.2025 – 21:31 +0530 – hirunews.lk/sinhala)
පුල්මුඬේ ප්‍රදේශයේ පාසලක සිසුන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් කැපුම් තුවාල ලැබූ එක් (1) සිසුවෙකු බරපතල තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.
සිසුවාගේ ගෙළ ප්‍රදේශයට තියුණු ආයුධයකින් පහර දී ඇති අතර ඔහුට ශල්‍යකර්මයක්ද සිදු කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
පුල්මුඩේ ප්‍රදේශයේ පාසලක සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ හදාරන සිසුන් දෙපිරිසක් අතර අද (15) පෙරවරුවේ ගැටුමක් හටගෙන ඇත්තේ පාසල් පරිශ්‍රය තුළදීයි එහිදි එක් (1) සිසුවෙකු විසින් තවත් සිසුවෙකුට තියුණු ආයුධයකින් තුවාල සිදු කර ඇති අතර එම අවස්ථාවේ ගෙලට සිදුවූ බරපතල හානි හේතුවෙන් අදාළ සිසුවා රෝහල් ගත කර තිබෙනවා.
අදාළ පහර දීම සිදු කළ සිසුවාද අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සදහන් කළේ. එම පාසලේම සිසුවියක් සමඟ පවතින ප්‍රේම සබධතාවයක් මත මෙම ගැටුම හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.
අනතුරින් තුවාල ලැබූ 16 හැවිරිදි සිසුවා පුල්මුඩේ රෝහලට ඇතුළත් කිරිමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සදහා ත්‍රිකුණාමල රෝහලට මාරුකර යවා තිබෙනවා.
මේ අතර මාතලේ කන්දේනුවර උඩංගමුව ප්‍රදේශයේ නිවසකදී අද (15) උදෑසන පුද්ගලයෙක් කාන්තාවකට පිහියෙන් ඇන ඝාතනය කර තිබෙනවා.
අදාළ කාන්තාව කඩිනමින් රෝහල් ගත කිරීමට කටයුතු කළත් රෝහල් ගත කිරීමේදී ඇය මියගොස් තිබෙනවා.
මියගිය කාන්තාව 29 හැවිරිදි එක් දරු මවක් වු අතර මෘත දේහය මෙ වන විට මාතලේ මහ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බවයි කන්දේනුවර පොලිසිය සදහන් කළේ ෴
මෙරට සෑම වැඩිහිටියන් තිදෙනෙකු (3) ගෙන් එක් (1) අයෙකුටම අධි රුධිර පීඩනය
(15.05.2025 – 21:41 +0530 – hirunews.lk/sinhala)
මෙරට සෑම වැඩිහිටියන් තිදෙනෙකු (3) ගෙන් එක් (1) අයෙකු අධි රුධිර පීඩනයෙන් පෙළෙන බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.
එම පිරිසෙන් අඩක් පමණම තමන් අධි රුධිර පීඩනයෙන් පෙළෙන බව නොදන්නා බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ නිරෝගී පුද්ගලයෙකුගේ සාමාන්‍ය රුධිර පීඩනය 140 / 90 මටට්මට පැවතිය යුතු අතර එම අගය ඊට වඩා වැඩි නම් එය අධි රුධිර පීඩනය තත්ත්වයක් ලෙස සැළකෙනවා.
වර්තමානයේ අධි රුධිර පීඩනය බාල මහලු භේදයකින් තොරව සුලබව වැළඳෙන රෝග තත්ත්වයක් බවට පත්ව ඇති අතර ඒ හේතුවෙන් තරුණ පිරිස් මිය ගිය අවස්ථාද මේ දිනවල වැඩි වශයෙන් වාර්තා වෙනවා ෴
කඩුවකින් පහරදීමට උත්සාහ කළ පුද්ගලයෙකුට පොලිසියෙන් වෙඩි
(15.05.2025 – 22:15 +0530 – hirunews.lk/sinhala)
නීති විරෝධී මත්පැන් සම්බන්ධයෙන් පොලිස් හදිසි ඇමතු අංශයට ලද පැමිණිල්ලක් මත තෙලිකඩ පොලිස් වසමේ ගිනිමැල්ලගහ ප්‍රදේශයේ නිවසක් වැටලීමට ගිය තෙලිකඩ පොලිස් නිලධාරීන්ට එහි සිටි පුද්ගලයකු විසින් කඩුවකින් පහරදීමට උත්සාහ කර තිබෙනවා.
එම අවස්ථාවේ පොලිස් නිලධාරියෙකු විසින් සිදුකළ වෙඩි තැබීමකින් අදාළ පුද්ගලයා තුවාල ලබා ගාල්ල ජාතික රෝහලට ඇතුලත් කර ඇති බවයි වාර්තා වන්නේ.
මෙලෙස තුවාල ලබා ඇත්තේ 30 හැවිරිදි පුද්ගලයෙක්.
ඔහුගේ තත්ත්වය බරපතල නොවන බවයි රෝහල් ආරංචි මාර්ග ප්‍රකාශ කළේ ෴
‘GovPay’ පහසුකම ශ්‍රේෂ්ඨාධිකරණ සේවාවන්ටත්
(15.05.2025 – 22:58 +0530 – hirunews.lk/sinhala)
ශ්‍රේෂ්ඨාධිකරණය තුළ මුදල් ගෙවීමේ කටයුතු, ‘GovPay’ ඩිජිටල් ගෙවීම් ක්‍රමවේදය සමග එක් කිරිම අද (15) සිදු කෙරුණා.
ඒ, අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දුගේ ප්‍රධානත්වයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණයේ පැවති උත්සවයේදීයි.
මේ හරහා ශ්‍රේෂ්ඨාධිකරණය තුළ නඩු ගොනු කිරිම, වන්දි ලබා ගැනීම, සහතික කළ පිටපත් ලබා ගැනීම, දිවුරුම් ප්‍රකාශ ලබා ගැනීම ඇතුළු සේවා සදහා ගෙවීම් සිදු කළ හැකි වනවා.
මීට පෙර රාජ්‍ය ආයතන 16 ක් තුළ ‘GovPay’ ඩිජිටල් ගෙවීම් ක්‍රමවේදය ආරම්භ කෙරුණා.
ශ්‍රේෂ්ඨාධිකරණය තුළ ඩිජිටල් ගෙවීම් ක්‍රමවේදය ආරම්භ කිරිමෙන් භෞතික මුදල් ගණුදෙනුව අවසන් වීම, දිගු පෝලිම්, පෝරම පිරවීම ඇතුළු සාම්ප්‍රදායික ක්‍රමවේදයන් අවසන් වනු ඇති බවයි අගවිනිසුරුවරිය එහිදි සදහන් කළේ ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴