ගැරඬිඇල්ල ආසන්නයේදීම පෙරලුණු වෑන් රථ අනතුරෙන් තුවාල ලැබූ 20 ක් තවමත් රෝහලේ
ගැරඬිඇල්ල ආසන්නයේදීම පෙරලුණු වෑන් රථ අනතුරෙන් තුවාල ලැබූ 20 ක් තවමත් රෝහලේ
(15.05.2025 – 09:16 +0530 – hirunews.lk/sinhala)
කොත්මලේ ගැරඬිඇල්ල ප්‍රදේශයේ මාරක බස් අනතුර සිදු වූ ස්ථානය ආසන්නයේ දී වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළී ඊයේ (14) සිදුවූ අනතුරින් තුවාල ලැබූ 20 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා.
ඒ අනුව ගම්පොළ මූලික රෝහලේ 13 දෙනෙකු මහනුවර ජාතික රෝහලේ සහ කොත්මලේ ප්‍රාදේශීය රෝහලේ 03 දෙනා බැගින් සහ පේරාදෙණිය සිරිමාවේ බණ්ඩාරනායක විශේෂිත ළමා රෝහලේ එක් (01) අයෙකු ප්‍රතිකාර ලබන බවයි පොලිසිය සඳහන් කළේ.
සිද්ධියෙන් පිරිමි පුද්ගලයින් 04 දෙනෙකු, කාන්තාවන් 10 දෙනෙකු සහ ළමයින් 06 දෙනෙකු තුවාල ලැබුවා.
ඊයේ (14) පස්වරුවේ නුවරඑළිය – මහනුවර මාර්ගයේ රන්බොඩ ප්‍රදේශයේදී නුවරඑළිය දෙස සිට මහනුවර දෙසට ධාවනය වූ වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළී ගොස් තිබුණා.
එහිදී තුවාල ලබා බරපතල තත්වයේ පසු වූ කාන්තාවන් 03 දෙනෙකු ගම්පොළ මූලික රෝහලේ සිට මහනුවර ජාතික රෝහල වෙත මාරු කර යැවුණා.
එමෙන්ම, පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක විශේෂිත ළමා රෝහලට මාරු කර යවා ඇත්තේ, කුඩා දරුවෙකු බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සදහන් කළේ.
මෙම පිරිස රාජාංගණයේ ප්‍රදේශයේ සිට බදුල්ල ප්‍රදේශයේ සංචාරයක් සඳහා ගොස් නැවත පැමිණෙමින් සිටියදී වෑන් රථයක් පස් කණ්ඩියක හා ගසක වැදී අඩි 50 ක පමණ ප්‍රපාතයකට පෙරළී තිබුණා.
වෑන් රථයෙහි තිරිංග පද්ධතියේ ඇති වූ දෝෂයක් අනතුරට හේතුව බවට පොලිසිය සැක පළ කරනවා.
මේ අතර, 23 දෙනෙකුට මරු කැදවූ ගැරඬිඇල්ල ප්‍රදේශයේ දී බස් රථයක් ප්‍රපාතයට පෙරලී යාමෙන් පසුගියදා සිදුවූ මාරක අනතුර සම්බන්ධයෙන් මෙතෙක් අවසන් නිගමනයක් ප්‍රකාශ කළ නොහැකි බව රථ වාහන පාලන හා මාර්ග ආරක්ෂාව පිළිබද කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මනෝජ් රණගල ප්‍රකාශ කළා.
සිද්ධිය සම්බන්ධයෙන් පාර්ශව කිහිපයකින්ම තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක අතර අනතුරින් මිය ගිය බස් රථ රියදුරාගේ පශ්චාත් මරණ පරීක්ෂයේදී විවෘත තීන්දුවක් ලබා දී ඇති බවයි කොළඹ ඊයේ (14) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඔහු සදහන් කළේ.
අදාළ අනතුරින් තුවාල ලැබූ පුද්ගලයන් හත්දෙනෙක් (07) තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා ෴
+++
ගැරඬිඇල්ලේ දී අනතුරට පත් බස් රථය, අදත් (15) පරික්ෂා කරයි
(15.05.2025 – 19:59 +0530 – hirunews.lk/sinhala)
23 දෙනෙකුට මරු කැදවමින් පසුගියදා කොත්මලේ – ගැරඬිඇල්ල ප්‍රදේශයේ දී ප්‍රපාතයකට පෙරලුණු බස් රථය අද (15) මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන් සැදුම්ලත් කමිටුව විසින් පරික්ෂාවට ලක්කළා.
ඒ අනුව එම කමිටුවේ නිර්දේශය වී ඇත්තේ බස් රථය අනතුරට පත්වීමෙන් සිදුවූ හානි හැරෙන්නට අනතුරට පෙර බස් රථයේ කිසිදු දෝශයක් තිබී නොමැති බවයි.
ඒ අනුව, අදාළ කමිටු වාර්තාව නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයටත්, මෝටර් රථ කොමසාරිස් ජනරාල්වරයාට සහ පොලිසියට ඉදිරිපත් කිරීමට නියමිත බවයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ තාක්ෂණික අංශයේ සහකාර කොමසාරිස් අරුණ බතීගම පැවසුවේ.
පසුගිය 11 වනදා සිදු වූ අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් 6 දෙනෙකු තවමත් ප්‍රතිකාර ලබන්නේ නුවරඑළිය මහ රෝහලේයි ෴
සීගිරියේ හෝටලයක් තුළ තිබී උණ්ඩ 40 ක් සොයාගැනේ
(15.05.2025 – 10:15 +0530 – hirunews.lk/sinhala)
සීගිරිය ප්‍රදේශයේ හෝටලයක තිබී මිලිමීටර් 9 වර්ගයේ ගිනි අවි සදහා යොදන උණ්ඩ 40 ක් පොලිසිය සොයාගෙන තිබෙනවා.
හෝටලයේ කළමණාකරු විසින් කරන ලද පැමිණිල්ලකට අනුවයි ඊයේ (14) මේවා සොයාගෙන ඇත්තේ.
හෝටලයේ කාමරයක අල්මාරියක් තුළ තිබු කුඩා පෙට්ටියක මෙම උණ්ඩ දමා තිබූ බවයි පොලිසිය සදහන් කළේ.
කවුරුන් විසින් හෝ මෙම උණ්ඩ තොගය එම ස්ථානයට ගෙනවිත් දමන්නට ඇති බවටයි පොලිසිය සැක පළ කරන්නේ ෴
වැලිකඩ පොලිස් භාරයේ දී රාජ කුමාරි මියයෑමේ සිද්ධියට අදාළ පොලිස් නිලධාරින් තිදෙනාට (3) එරෙහි නඩු විභාගය යළි කැඳවේ
(15.05.2025 – 11:28 +0530 – hirunews.lk/sinhala)
2023 වසරේ වැලිකඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබූ ‘ආර්. රාජ කුමාරි’ නමැති මෙහෙකාර සේවයේ නියුතු කාන්තාවකට පහරදී මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින එම පොලිසියේ හිටපු නිලධාරින් තුන් දෙනෙකුට (3) එරෙහි පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය ජූලි මස 21 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළා.
මෙම නඩුව අද (15) කොළඹ මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස් සපුවිද ඉදිරියේ කරනු ලැබුවා.
එහිදී විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුකරයට අදාළව ඉදිරිපත් කර තිබෙන ඇතැම් ලේඛන තමන්ට ලැබී නොමැති බව සඳහන් කළා.
ඒ අනුව විත්තිය විසින් ඉල්ලා සිටින ලේඛන කඩිනමින් ඔවුන් වෙත ලබාදීමට කටයුතු කරන ලෙසයි විනිසුරුවරයා රජයේ නීතිඥවරියට නියම කළේ.
ඉන් අනතුරුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරයා මෙම නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා ජූලි මස 21 වනදා කැදවීමට නියම කළා.
වැලිකඩ පොලිසියේ සේවය කළ උප පොලිස් පරීක්ෂකවරයකු ඇතුළු නිලධාරින් තුන්දෙනෙකුට (3) එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනු කර තිබෙනවා ෴
සාමාන්‍ය පෙළ විභාගයෙහි ප්‍රායෝගික පරීක්ෂණ ගැන විශේෂ දැනුම්දීමක්
(15.05.2025 – 12:00 +0530 – hirunews.lk/sinhala)
මෙවර පැවැත් වූ සාමාන්‍ය පෙළ විභාගයෙහි ප්‍රායෝගික පරීක්ෂණ 2025.05.21 දින සිට 2025.05.31 දින තෙක් පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත්කරමින් පවසනවා.
අපේක්ෂකයන් 171100 ක් සඳහා දිවයින පුරා පරීක්ෂණ මණ්ඩල 1228 කදී මෙම පරීක්ෂණය පැවැත්වෙනු ඇති.
41 – සංගීතය (අපරදිග) විෂයයෙහි ශ්‍රවණ පරීක්ෂණය 2025.05.25 දින එම විෂයෙහි ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වෙන මධ්‍යස්ථාන වලදී පැවැත්වෙන බව සඳහන්.
40 – සංගීතය (පෙරදිග) 42 – සංගීතය (කර්ණාටක) 45 – නැටුම් (හරත) 51 – නාට්‍ය හා රංග කලාව (දෙමළ) 41 – සංගීතය (අපරදිග) 44 – නැටුම් (දේශීය) 50 – නාට්‍ය හා රංග කලාව (සිංහල) 52 – නාට්‍ය හා රංග කලාව (ඉංග්‍රීසි) : මෙම විෂයන්හි අවසාන ප්‍රතිඵල නිර්ණය කිරීම සඳහා ලිඛිත පරීක්ෂණය හා ප්‍රායෝගික පරීක්ෂණය යන කොටස් දෙකෙහිම (2) ලකුණු උපයෝගී කර ගන්නා බැවින් එම කොටස් දෙකටම (2) පෙනී සිටීම අනිවාර්ය වෙන අතර ඒ සඳහා පෙනී නොසිටින අපේක්ෂකයන් සඳහා එම විෂයේ ප්‍රතිඵල ලබාදීම සිදු කරනු නොලබන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ.
පාසල් අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර හා කාලසටහන් අදාළ විදුහල්පතිවරුන් වෙත ද පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර ඔවුන් තම අයදුම්පතේ සඳහන් කර ඇති ලිපිනයට ද තැපැල් කර යවා තිබෙනවා.
පාසල් ප්‍රධානීන් වෙත හා පෞද්ගලික අයදුම්කරුවන් වෙත ලැබී ඇති ප්‍රවේශ පත්‍රවල විෂය සංශෝධන, මාධ්‍ය සංශෝධන හෝ වෙනත් සංශෝධනයක් වේ නම් වහාම විභාග දෙපාර්තමේන්තුවේ පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාව වෙත ඉදිරිපත් කර ඒවා සංශෝධනය කරවා ගත යුතු බවයි අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.
ප්‍රවේශ පත්‍ර නොලැබුණු විදුහල්පතිවරුන් තම පාසල් අංකය, පාසලේ නම, ලිපිනය සහ අදාළ තොරතුරු ද, පෞද්ගලික අයදුම්කරුවන් නම සහ ලිපිනය, විභාග අංකය, සෞන්දර්ය විෂයය ආදි තොරතුරු ද පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාව වෙත පහත සඳහන් දුරකථන ඔස්සේ දැන්වීය යුතු බවත්, විදුහල්පතිවරුන් හා පෞද්ගලික අයදුම්කරුවන් මේ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළ යුතු බවත් විභාග දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවිය වන https://www.doenets.lk/ වෙත පිවිස විභාග අංකය ඇතුළත් කිරීම මගින් ප්‍රවේග පත්‍ර 2025.05.19 වන දින සිට බාගත කරගත හැකි බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ ෴
අධික වේගයෙන් ධාවනය කළ මෝටර් රථයක් තලවකැලේ දී අනතුරට
(15.05.2025 – 12:22 +0530 – hirunews.lk/sinhala)
නුවරඑළියේ සිට තලවකැලේ සෙන්ක්ලෙයාර් වත්ත දක්වා අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථයක් ප්‍රධාන මාර්ගයේ කන්දක ගැටීමෙන් ඊයේ (14) අනතුරක් සිදු වූ බව ලිදුල පොලිසිය සඳහන් කරනවා.
ඊයේ (14) පස්වරු 5 ට පමණ මෙම අනතුර සිදු වී ඇත්තේ හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ තලවකැලේ ලිදුල මල්ලිඅප්පු ප්‍රදේශයේදීයි.

නීතීඥවරයෙකු විසින් ධාවනය කළැයි පැවසෙන මෙම මෝටර් රථයේ වේගය පාලනය කර ගත නොහැකිව කන්දේ ගැටී අනතුර සිදු වී ඇති බවත්, අනතුරින් ඔහුට කිසිදු අනතුරක් සිදු වි නොමැති බවත්, පොලිසිය පවසනවා.
එමෙන්ම අනතුරින් මෝටර් රථයට දැඩි අලාභ හානි සිදු වී ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.
අපරික්ෂාකාරී ලෙස රිය ධාවනය කිරීමේ චෝදනාව යටතේ රිය පැදවූ නීතීඥවරයාට එරෙහිව නුවරඑළිය මහ අධිකරණයේ කරුණු වාර්තා කරන බවයි ලිදුල පොලිසිය පවසන්නේ ෴
මාස පහට (5) ඩෙංගු රෝගීන් 20,000 කට ආසන්න වෙයි
(15.05.2025 – 12:40 +0530 – hirunews.lk/sinhala)
2025 වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 19,900 ඉක්මවා ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.
මැයි මාසයේ පළමු සති දෙක (2) තුළ පමණක් ඩෙංගු රෝගීන් 2,178 වාර්තා වී ඇති බවයි එම ඒකකය සදහන් කළේ.
ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන් වන අතර එම සංඛ්‍යාව 640 ක්.
රත්නපුර දිස්ත්‍රික්කයෙන්ද රෝගීන් 386 දෙනෙකු සොයාගෙන ඇති අතර වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු මරණ 07 ක්ද වාර්තා වී තිබෙනවා.
ඒ අනුව, ඩෙංගු මදුරු ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මේ මස 19 වැනිදා සිට 24 වැනිදා දක්වා විශේෂ මදුරු මර්දන සතියක් ප්‍රකාශයට පත් කරන බව කොළඹ ඊයේ (14) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ජාතික ඩෙංගු රෝග මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර ප්‍රකාශ කළා ෴
ගැරඬිඇල්ලේ වෑන් රථ අනතුරට හේතුව තිරිංග අක්‍රීය වීමක්?
(15.05.2025 – 14:52 +0530 – hirunews.lk/sinhala)
කොත්මලේ ගැරඬිඇල්ල ප්‍රදේශයේදී වෑන් රථයක් පෙරලී සිදුවූ අනතුරට හේතුව වෑන් රථයේ තිරිංග ක්‍රියාත්මක නොවීම බවට පොලිසිය සැක කරනවා.
සිද්ධියෙන් තුවාල ලැබූ පුද්ගලයින් 20 දෙනා මේ වන විට රෝහල් තුනක (3) ප්‍රතිකාර ලබන අතර, එක් (1) අයෙකුගේ තත්ත්වය බරපතල බවයි පොලිසිය සඳහන් කළේ.
කොත්මලේ ගැරඬිඇල්ල ප්‍රදේශයේ මාරක රිය අනතුර සිදුවූ ස්ථානයට කිලෝමීටර් දෙකක් (2) පමණ දුරින් වෑන් රථයක් ප්‍රපාතයට පෙරළී අනතුරක් සිදු වුණේ ඊයේ (14) පස්වරුවේයි.
ප්‍රදේශවාසීන් එක්ව තුවාලකරුවන් කඩිනමින් රොහල්ගත කළ අතර, තුවාල ලැබූ පුද්ගලයින් මේ වන විට ගම්පොල කොත්මලේ සහ පේරාදෙණිය යන රෝහල්වල ප්‍රතිකාර ලබනවා.
අනතුර සිදුවන අවස්ථාවේ වෑන් රථයේ පිරිමින් 4 ක් කාන්තාවන් 10 ක් සහ කුඩා දරුවන් 6 ක් ගමන් කර ඇති අතර ඒ අතුරින් එක් (1) අයෙකුගේ තත්ත්වය බරපතල බවයි පොලිසිය සඳහන් කළේ.
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන කොත්මලේ පොලිසිය සැක පළ කරන්නේ අනතුරට හේතුව වෑන් රථයේ තිරිංග ක්‍රියාත්මක නොවීම බවයි.
තිරිංග අක්‍රීය වීම හේතුවෙන් රියදුරු වෑන් රථය පස්කණ්ඩියක ගැටීමට සැලැස්වුවත් එය වේගයෙන් පැමිණීම හේතුවෙන් අසල ගස් කිහිපයක ගැටී පහළට ඇද වැටී ඇති බවටයි පොලිසිය සැක කරන්නේ.
මේ අතර කොත්මලේ ගැරඬි ඇල්ල ප්‍රදේශයේදීම පසුගිය 11 වනදා කතරගම සිට මහනුවර හරහා කුරුණෑගල බලා පිටත්ව ගිය ලංගම බස් රථයක්ද ප්‍රපාතයකට පෙරලී අනතුරක් සිදු වූ අතර එම අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් 6 දෙනෙකු තවමත් නුවරඑළිය මහ රෝහලේ ප්‍රතිකාර ලබනවා.
ඒ අතරින්ද එක් (1) අයෙකුගේ තත්ත්වය බරපතල අතර පුද්ගලයින් 23 දෙනෙකුට අනතුරින් දිවි අහිමි වුණා.
මේ අතර එම අනතුරට හේතුව බස් රථයේ කාර්මික දෝෂයක් දැයි පරීක්ෂා කිරීමට මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ජ්‍යේෂ්ඨ නිලධාරීන්ගෙන් සැදුම්ලත් කමිටුවක් පත් කළ අතර එම කමිටු වාර්තාව ඉදිරියේදී ලබා දීමට නියමිතයි.
මේ අතර මෙම 2025 වසරේ මේ දක්වා කාලය තුළ මාරක රිය අනතුරු 902 ක් සිදුව ඇති අතර ඉන් මරණයට පත්ව ඇති සංඛ්‍යාව 965 ක් ෴
කොටහේනේ දැරියගේ මරණ පරීක්ෂණය සිදු කෙරේ
(15.05.2025 – 15:03 +0530 – hirunews.lk/sinhala)
කොටහේන ප්‍රදේශයේ දැරියක සියදිවි නසා ගැනීමේ සිද්ධියට අදාළ මරණ පරීක්ෂණය අද (15) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැත්වුණා.
කොළඹ වැඩ බලන මහේස්ත්‍රාත් සම්පත් ජයවර්ධන ඉදිරියේ මෙම සාක්ෂි සටහන් කර ගැනීම සිදුවිය. මෙහිදී කොටහේන පොලිසියේ මෙහෙයවීම යටතේ සාක්ෂි සටහන් කර ගැනුණා.
මෙහිදී මුලින්ම මියගිය දැරිය පදිංචිව සිටි මහල් නිවාස සංකීර්ණයේ සභාපතිවරයා වන ‘කරුප්පයියා සදීස් කුමාර්’ගේ සාක්ෂි සටහන් කර ගැනීම සිදුවුණා.
ඉන් අනතුරුව මිය ගිය දැරියගේ මවගේ සාක්ෂි සටහන් කර ගැනීම සිදුවුණා.
ඉන් වැඩිදුර සාක්ෂි සටහන් කර ගැනීම ලබන 22 වනදා දක්වා කල් තැබු වැඩ බලන මහේස්ත්‍රාත්වරයා එදින දැරියගේ මවගෙන් වැඩිදුරටත් සාක්ෂි සටහන් කර ගැනීමට නියමිතව තිබෙනවා ෴
කොළඹ නැව් තටාකාංගන සමාගමේ කොටස් විකිණීම ගැන ගැටලුවක්
(15.05.2025 – 15:18 +0530 – hirunews.lk/sinhala)
මෙරට නාවික ඉදිකිරීම් ක්ෂෙත්‍රයේ ප්‍රමුඛ ස්ථානයක් හිමි කරගෙන සිටින ‘කොළඹ නැව් තටාකාංගන සමාගමේ’ ජපාන සමාගමකට අයත් 51% ක කොටස් ‘ඉන්දීය යුධ ප්‍රහාරක නෞකා නිෂ්පාදන සමාගමකට’ ලබාදීමට රජය තීරණය කර ඇති බවට වාර්තා පල වෙනවා.
කෙසේ වෙතත් ඒ හරහා රටේ ආරක්ෂාවට තර්ජනයක් එල්ල වන බවයි ‘ජන අරගල සන්ධානය’ පවසන්නේ.
කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත සමාගමක් වන ‘කලම්බු ඩොක්යාර්ඩ් පීඑල්සී සමාගම’ හෙවත් ‘කොළඹ නැව් තටාකාංගන සමාගම’ 1974 වසරේ ආරම්භ කෙරුණේ පූර්ණ රාජ්‍ය සමාගමක් ලෙසින්.
එමගින් ප්‍රධාන වශයෙන් සිදු කරනු ලැබුවේ නෞකා නිෂ්පාදනය සහ අලුත්වැඩියා කිරීමයි.
ආරම්භක අවධියේදී එහි කොටස්වලින් 15% ක් පෞද්ගලික අංශය සතුවූ අතර 85% ක් රජය සතුවුණා.
රජය සතු එම 85% ක කොටස්වලින් 51% ක වැඩි කොටස් ප්‍රමාණයක් 1993 වසරේදී ‘ජපාන ඔනිමිචි සමාගමට’ ලබාදීමටයි කටයුතු කෙරුණා.
එම සමාගම ‘කලම්බු ඩොක්යාර්ඩ් පීඑල්සී සමාගමේ’ කළමනාකාරීත්වයෙන් සහ කළමනාකාරීත්ව ගිවිසුමෙන් ඉවත්වන බවයි මීට මාස කිහිපයකට පෙර දැනුම් දී තිබුණේ.
ඒ ගැටලු කිහිපයක් මුල් කරගනිමින්.
ඒ අනුව අදාළ කොටස් හිමිකාරීත්වය ලබා දීම සඳහා විකල්ප ආයතනවලින් අභිලාෂ කැඳවීමට පියවර ගෙන තිබෙනවා.
එම කොටස් ඉන්දීය සමාගමකට ලබා දීමට රජය තීරණය කර ඇති බව පැවසෙන අතර, ඒ සම්බන්ධයෙන් අද (15) අවසන් තීරණකට එළැඹීමට නියමිතව තිබූ බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ‘ජන අරගල සන්ධානය’ සිය විරෝධය පළ කරනවා.
ඔවුන් අද (15) ජපාන තානාපති කාර්යාලයට පැමිණ තානාපතිවරයාට ලිපියක් භාරදීමට කටයුතු කළද තානාපති කාර්යාල නිලධාරීන් එම ලිපිය භාර ගෙන තිබුණේ නැහැ ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴