දු‍ර ගමන් සේවා බස් සම්බන්ධයෙන් ගන්න යන අලුත්ම තීරණය මෙන්න

දු‍ර ගමන් සේවා බස් සම්බන්ධයෙන් ගන්න යන අලුත්ම තීරණය මෙන්න


දු‍ර ගමන් සේවා බස් සම්බන්ධයෙන් ගන්න යන අලුත්ම තීරණය මෙන්න

(14.05.2025 – 14:51 +0530 – hirunews.lk/sinhala)

දුර ගමන් සේවා බස් රථ ධාවනයේදී මගී ආරක්ෂාව සඳහා ආරක්ෂිත ක්‍රමවේද කිහිපයක් අනුගමනය කිරීමට ‘ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය’ තීරණය කර තිබෙනවා.

එහි සභාපති ජීවක ප්‍රසන්න සඳහන් කළේ, ඒ අනුව පැය 6 කට වඩා වැඩි කාලයක් ගතවන දුරගමන් සේවා ගමන්වාර සඳහා බස් රථ දෙකක් (2) යෙදවීමටද අවධානය යොමුවී ඇති බවයි.

මේ අතර රාත්‍රී කාලයේ ධාවනය වන දුර ගමන් සේවා බස් රථ විශේෂ පරීක්ෂාවකට ලක් කරන ලෙස වැඩබලන පොලිස්පතිවරයා සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන්ට දැනුම් දී තිබෙනවා.

කතරගම සිට මහනුවර හරහා කුරුණෑගල බලා ධාවනය කෙරුණු කතරගම ඩිපෝවට අයත් ලංගම බස් රථයක් කොත්මලේ ගැරඬිඇල්ල ප්‍රදේශයේදී අඩි 100 ක පමණ ප්‍රපාතයකට පෙරළී අනතුරක් සිදුවුණේ ඉකුත් ඉරිදායි (11).

අනතුරින් පුද්ගලයින් 23 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර තුවාල ලැබූ ගණන 44ක්.

ඉන් හත්දෙනෙක් (7) තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා.

මෙම අනතුර සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පොලිස් කමිටුවක්ද පත්කෙරුණු අතර පොදු මගී ප්‍රවාහනයේදී සිදුවන අනතුරු අවම කර ගැනීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව එම කමිටුව නිර්දේශ ඉදිරිපත් කිරීමට නියමිතයි.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුව ඊයේ (13) අනතුර සිදු වූ ස්ථානය නිරීක්ෂණය කළ අතර පසුව ඔවුන් අනතුරින් තුවාල ලැබූ රෝගීන් ද හමුවී ප්‍රකාශ ලබා ගත්තා.

ඊට අමතරව අදාළ බස් රථයේ කොන්දොස්තර වරයාද සූම් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ කර ගනිමින් අනතුර සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීමට ඔවුන් කටයුතු කර තිබෙනවා.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අවසන් වාර්තාව ඉදිරිපත් කිරීම සඳහා මියගිය රියැදුරුගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව මෙන්ම මෝටර් වාහන පරීක්ෂකවරයාගේ සහ රස පරීක්ෂකවරයාගේ වාර්තාවද අවශ්‍ය බවයි කමිටුව සඳහන් කරන්නේ.

මේ අතර අනතුරින් පසු කතරගම කුරුණෑගල බස් මාර්ගය සඳහා මේ වන තෙක් ‘ලංකා ගමනා ගමන මණ්ඩලයෙන්’ වෙනත් බස් රථයක් යොදවා නැහැ.

ඒ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී ‘ලංකා ගමනා ගමන මණ්ඩලයේ’ සභාපති ජීවක ප්‍රසන්න මහතා සඳහන් කළේ එම ධාවන මාර්ගයට ලංගම බස් රථයක් යෙදවීම තව දින 3 ක් පමණ ගත වන බවයි.

පසුගියදා සිදුවූ මාරක බස් අනතුරින් පසු රියැදුරන්ගේ මානසික මට්ටම ව්‍යාකූල වී ඇති බැවින් එම තත්ත්වය යථා තත්ත්වයට පත්වන තුරු මෙම පියවර ගත් බවයි සභාපතිවරයා සඳහන් කළේ.

එසේම දුර ගමන් සේවා බස් රථ ධාවනයේදී ආරක්ෂිත ක්‍රමවේද කිහිපයක් අනුගමනය කිරීමටද ‘ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය’ තීරණය කර තිබෙනවා.

එහි සභාපති ජීවක ප්‍රසන්න මහතා සඳහන් කළේ ඒ අනුව පැය 6 කට වඩා වැඩි කාලයක් ගතවන දුරගමන් සේවා ගමන් වාර සඳහා ඩිපෝ දෙකක් (2) සම්බන්ධ කර ගනිමින් බස් රථ දෙකක් (2) යෙදවීමටද සැලසුම් කරන බවයි.

ඊයේ (13) පස්වරුවේ පැවැති සාකච්ඡාවකදී මෙම තීරණවලට එළැඹ තිබෙනවා.

එසේම මින් ඉදිරියට දුර ගමන් සේවා සඳහා යොදා ගන්නා සෑම බස්රථයකම පූර්ව තත්ත්ව පරීක්ෂා වාර්තාවක් කැඳවන බව ද ඔහු සඳහන් කළා.

මේ අතර කොත්මලේ ගැරඬි ඇල්ල ප්‍රදේශවාසීන් විසින් පසුගියදා එම අනතුර සිදුවූ ස්ථානයේ ආගමික වතාවත් සිදුකර අනතුරින් මියගිය පුද්ගලයින්ට පින් අනුමෝදන් කළ අතර තුවාල ලැබූවන්ට ඉක්මන් සුවයද ප්‍රාර්ථනා කළා ෴

+++

ගැරඩිඇල්ල අනතුරේ බස් රියදුරුගේ මරණය ගැන විවෘත තීන්දුවක්

(14.05.2025 – 16:13 +0530 – hirunews.lk/sinhala)

පුද්ගලයින් 23 දෙනෙකුට මරු කැදවමින් පසුගියදා කොත්මලේ ගැරඩිඇල්ල ප්‍රදේශයේදී සිදු වූ අනතුර සම්බන්ධයෙන් මෙතෙක් අවසන් නිගමනයක් ප්‍රකාශ කළ නොහැකි බව පොලිසිය පවසනවා.

කොළඹ අද (14) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් රථ වාහන පාලන හා මාර්ග ආරක්ෂාව පිළිබද කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මනෝජ් රණගල කියා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ශව කිහිපයකින්ම තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක බවයි.

මේ අතර අනතුරින් මිය ගිය බස් රථ රියදුරාගේ පශ්චාත් මරණ පරීක්ෂයේදී විවෘත තීන්දුවක් ලබා දී ඇති බවද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා සදහන් කළා ෴

+

+


රම්බොඩ ප්‍රදේශයේදී වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි; 17 කට තුවාල

(14.05.2025 – 17:30 +0530 – hirunews.lk/sinhala)

ගැරඬිඇල්ල බස් රථ අනතුර සිදුවූ ස්ථානයට ආසන්නයේ රම්බොඩ හින්දු විද්‍යාලය අසලදී අද පස්වරුවේ සිදුවූ වෑන් රථ අනතුරින් පුද්ගලයින් 11 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

පොලිසිය සදහන් කළේ, අදාළ වෑන් රථය ප්‍රපාතයකට පෙරළීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

අනතුරින් තුවාල ලැබූවන් කොත්මලේ රෝහලට ඇතුළත් කර තිබෙනවා ෴

රම්බොඩදී වෑන් රථයක් පෙරළී සිදුවූ අනතුරෙන් තුවාල ලැබූ සංඛ්‍යාව 17 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

+

+


දුර ගමන් බස් රථ හදිසි පරික්ෂාවට

(14.05.2025 – 17:37 +0530 – hirunews.lk/sinhala)

දුරගමන් සේවාවල යොදවා ඇති ලංගම සහ පෞද්ගලික බස් රථ හැටන් පොලිසිය මගින් අද (14) හදිසි පරික්ෂාවට ලක් කෙරුණා.

මෙම පරික්ෂාවේදි බස් රථයේ අඩුපාඩු සහිතව බස් ධාවනය කළ ලංගම සහ පෞද්ගලික බස රථ රියදුරන් කිහිප දෙනෙකුට එරෙහිව නීතිමය පියවර ගත්තා.

ඒ අතර, තවත් රියදුරන් පිරිසකට දැඩි ලෙස අවවාද කරනු ලැබූ බවයි හැටන් පොලිසිය පැවසුවේ.

හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ ශැන්නවත්ත ප්‍රදේශයේදි මෙම බස් රථ පරික්ෂාව සිදු කළා.

මෙම හදිසි පරික්ෂාව සිදුකළේ වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරියගේ නියෝගයක් මතයි ෴


පෙරලුණු බවුසරයෙන් තෙල් ගන්න ජනතාව පෝළිමේ

(14.05.2025 – 18:10 +0530 – hirunews.lk/sinhala)

ඉන්ධන ප්‍රවාහන බවුසර් රථයක් පෙරළීම නිසා තලවකැලේ, හරහා කිරිමැටිය මාර්ගයේ ගමනා ගමනය සම්පූර්ණයෙන්ම අවහිර වී තිබෙනවා.

කොළොන්නාවේ සිට වැලිමඩ දක්වා ඩීසල් සහ පෙට්‍රල් ලීටර් 33,600 ක් ප්‍රවාහනය කළ බවුසර් රථයක් මෙසේ අනතුරට පත්ව ඇති බවයි නානුඔය පොලිසිය පැවසුවේ.

අද (14) පස්වරු 04:00 ට පමණ මෙම අනතුර සිදු වි ඇත්තේ එම මාර්ගයේ කලාන්ට්‍රන් වත්ත ප්‍රදේශයේදීයි.

බවුසර් රථයේ ටැංකි කොටස මාර්ගය හරහා පෙරළීම නිසා ඉන් ඩීසල් සහ පෙට්‍රල් කාන්දු වන බවත්, එම ඉන්ධන ලබා ගැනීමට ජනතාව පෝළිමේ රැඳී සිටින බවයි අප වාර්තාකරු පවසන්නේ.

මේ අතර කාන්දු වෙමින් පවතින ඉන්ධන වෙනත් බවුසර් රථයකට මාරු කිරිමට මේ වන විට ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ නිලධාරීන් පියවර ගනිමින් සිටිනවා.

අනතුරෙන් කිසිවෙකුට හානියක් නැති අතර නානුඔය පොලිසිය පරික්ෂණ පවත්වනවා ෴

+

+++

+


රවී සෙනෙවිරත්නට විරුද්ධව නඩු විභාගය නැවතත්

(14.05.2025 – 18:13 +0530 – hirunews.lk/sinhala)

බීමතින් රිය පදවා 2023 වර්ෂයේ වැල්ලවත්ත මුහුදු මාර්ගයේදී අනතුරක් සිදු කිරීම සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍යාශ ලේකම් විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්නට විරුද්ධව පෙර ගොනු කර පැවති චෝදනා තුන (3) යටතේම නැවත නඩුව විභාගයට ගැනීමට ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් හේමාලි හාල්පන්දෙණිය අද (14) නියෝග කළා.

හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් බීමතින් පැදවූ මෝටර් රථය පසුගිය 2023 වර්ෂයේ ඔක්තෝම්බර් මස 28 වන දින වැල්ලවත්ත සමුද්‍රිය මාවතේ නවතා තිබූ ‘වැගන් ආර්’ රථයක සහ බස් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුවී තිබුණා.

තමාව අසාධාරණ ලෙසට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළ බවට පොලිස් විශේෂ විමර්ශන ඒකකයට රවී සෙනවිරත්ත විසින් කරන ලද පැමිණිල්ල විභාග කර ඒ සම්බන්ධ වාර්තාව නීතිය දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති රුවන් ගුණසේකරට භාරදීමෙන් අනතුරුව තවදුරටත් විමර්ශනය කර මෙම නඩුවේ විස්තර ඇතුළත් වාර්තාවක් උපදෙස් පතා ගරු නීතිපතිතුමා වෙත යොමු කර තිබූ අතර නීතිපතිතුමාගේ උපදෙස් අනුව පළමු වන චෝදනාව වන රිය අනතුරක් වළක්වා නොගැනීම හැර 2,3 චෝදනා වන අපරීක්ෂාකාරීව රිය පැදවීම, බීමත්ව රිය පැදවීම යන චෝදනා ඉවත් කිරීම සුදුසු බවට නීතිපතිතුමා විසින් නීතිය දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති රුවන් ගුණසේකරට ලබා දී තිබූ නීතිපති උපදෙස් ඍජුව මහේස්ත්‍රාත් අධිකරණයට යොමු නොකොට නීතිය දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති රුවන් ගුණසේකරට යොමු කර ඒ අනුව වැල්ලවත්ත පොලිස් ස්ථානාධිපතිවරයා විසින් ගොනුකරන ලද සංශෝධිත චෝදනා පත්‍රය අධිකරණයට භාර ගැනීමට හැකියාවක් නොමැති බව ප්‍රකාශ කරමින් පෙර ගොනු කර තිබූ 1,2,3 යන චෝදනා යටතේම ජුනි මස 25 වන දින නඩුව විභාගයට ගැනීමට මහේස්ත්‍රාත්වරිය නියෝග කරනු ලැබුවා ෴


පිරවුම්හලක් ළඟදි හෙල්මට්වලින් පහරදුන් පිරිස සොයා විමර්ශන

(14.05.2025 – 20:01 +0530 – hirunews.lk/sinhala)

සමාජ මාධ්‍යයේ සංසරණය වූ ඉන්ධන පිරවුම්හලක් ඉදිරිපිටදී හෙල්මට්වලින් තරුණයෙකුට සහ තරුණියකට පහරදීමේ වීඩියෝව සම්බන්ධයෙන් පොලිසිය මේ වනවිට විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

තරුණයින් පිරිසක් විසින් තවත් තරුණයෙකුට හෙල්මට්වලින් පහර දෙන අයුරු එහි දැක්වෙනවා.

මේ අතර, තරුණයා මුදා ගැනීමට උත්සහ කරන තරුණියට ද පහර කිහිපයක් එල්ල වනු දැකිය හැකියි.

මෙම සිදුවීම තිඹිරිගස්යාය ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක් ඉදිරිපිට සිදුව ඇති බවයි පොලිසිය අනාවරණය කරගෙන ඇත්තේ.

කොළඹ වෙසක් සිරි නරඹමින් සිටි දෙපිරිසක් අතර, අද (14) අලු‍යම මෙම ගැටුම හටගෙන තිබෙනවා.

කෙසේ වෙතත්, මෙම පහරදීම සම්බන්ධයෙන් කිසිදු පොලිස් ස්ථානයකට පැමිණිල්ලක් ලැබී නොමැති බවත් සී.සී.ටී.වී. දර්ශන ඔස්සේ මෙම තරුණයින් හඳුනා ගැනීමට විමර්ශන සිදු කරන බවත් පොලිසිය පැවසුවා ෴


රේගුවට බස් චැසි බව පවසා ලොරි චැසි ආනයනය කළ බවට හෙළිදරව්වක්

(14.05.2025 – 20:18 +0530 – hirunews.lk/sinhala)

ඇතැම් සමාගම් රේගුවට ‘බස් චැසි’ බව පවසා ‘ලොරි චැසි’ මෙරටට ආනයනය කරන බවත්, ඒවා වලක්වාගැනීමට රජය මැදිහත් විය යුතු බවත්, හිටපු රේගු අධ්‍යක්ෂ රංජන් දන්තනාරායන පවසනවා.

මෙවැනි චැසි පරික්ෂා කිරීමට රේගුව සතුව තාක්ෂණික නිලධාරීන් නොමැති නිසා රජයේ ආයතනයක වරලත් යාන්ත්‍රික ඉංජිනේරුවරයෙකු ලවා පරික්ෂා කර ඒවා වරායෙන් නිදහස් කිරීමට කටයුතු කළ යුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ.

එසේම, ‘ලොරි චැසි අංක’ පමණක් මෝටර් රථ දෙපාර්තමේන්තුවට යොමුකර ලියාපදිංචි කිරීමේදී ‘ලොරි චැසි යොදාගනිමින් එකලස්කරන ලද බස් රථ’ හදුනාගත හැකි බවද ඔහු අවධාරණය කළා.

කොත්මලේ බස්රථ අනතුරින් පසු මෙරට මගී ප්‍රවාහනයට යොදා ගන්නා බස් රථවල ප්‍රමිතිය සම්බන්ධයෙන් යළි කතාබහක් නිර්මණය වී ඇති අතර ඒ සම්බන්ධයෙන් ‘හිරු ප්‍රවෘත්ති අංශය’ සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනුයි හිටපු රේගු අධ්‍යක්ෂ රංජිත් දන්තනාරායන මෙම කරුණු අනාවරණය කළේ.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *