කොත්මලේ බස්රථ අනතුරින් මියගිය සංඛ්‍යාව 22 දක්වා ඉහළට, 38 කට තුවාල

කොත්මලේ බස්රථ අනතුරින් මියගිය සංඛ්‍යාව 22 දක්වා ඉහළට, 38 කට තුවාල


කොත්මලේ බස්රථ අනතුරින් මියගිය සංඛ්‍යාව 22 දක්වා ඉහළට, 38 කට තුවාල

(11.05.2025 – 19:22 +0530 – hirunews.lk/sinhala)

කොත්මලේ – ගැරඬිඇල්ල ප්‍රදේශයේදී ලංගම බස් රථයක් අඩි 100 ක පමණ ප්‍රපාතයකට පෙරලීයාමෙන් අද (11) අලු‍යම සිදුවූ බස් රථ අනතුරින් රියැදුරු ද ඇතුළු පුද්ගලයින් 22 දෙනෙකු මේ වන විට ජීවිතක්ෂයට පත්ව සිටිනවා.

එමෙන්ම, බස් රථයේ ගමන් ගත් කුඩා ළමුන් කිහිපදෙනෙකු ද ඇතුලු‍ව තවත් පුද්ගලයින් 38 කට අධික සංඛ්‍යාවක් තුවාල ලබා රෝහල් කිහිපයකම ප්‍රතිකාර ලබන බවයි පොලිසිය සදහන් කළේ. ඒ,කොත්මලේ ප්‍රාදේශීය රෝහල, නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහල, ගම්පොළ සහ නාවලපිටිය යන රෝහල්වලයි.

ඉන් තුවාලකරුවන් කිහිපදෙනෙකුගේ තත්වය බරපතල බවයි අප වාර්තාකරු සදහන් කළේ.

මෑත ඉතිහාසයේ මෙරට සිදුවූ බස් රථ අනතුරුවලින් මියගිය වැඩිම පිරිසක් වාර්තා වූ අනතුර ද මෙය වනවා.

එමෙන්ම මෙම බස් රථ අනතුර සම්බන්ධයෙන් ජාත්‍යන්තර මාධ්‍යයේද අවධානය යොමුව තිබෙනවා.

මෙලෙස අනතුරට ලක්ව තිබුණේ කතරගම සිට කුරුණෑගල දක්වා ධාවනය වූ ලංගම බස් රථයක්. එම බස් රථය නුවරඑලිය- ගම්පොළ ප්‍රධාන මාර්ගයේ කොත්මලේ රම්බොඩ ගැරඩි ඇල්ල ප්‍රදේශයේදි අඩි 100 ක් පමණ ප්‍රපාතයට පෙරළී ගොස් අනතුර සිදුව තිබූ අතර ධාවනය වෙමින් තිබූ බස් රථයේ හදිසියේ ඇති වූ කාර්මික දෝෂයක් අනතුරට හේතු වී ඇති බවටයි පොලිසිය සැක පළ කරන්නේ.

අනතුරට ලක්වූ මෙම එන්.සී. 1141 දරණ ලංගම බස් රථය සුපුරුදු පරිදි ඊයේ (10) රාත්‍රී 10 ට පමණ කතරගම ඩිපෝවෙන් ගමන් ආරම්භ කළේ, මහියංගණයට පැමිණ මහනුවර හරහා කුරුණෑගලට යාම සඳහායි.

ඒ අනුව එය පැය 6 කට ආසන්න ගමනකින් පසු බස් රථය අද (11) අළුයම 04 ට කොත්මලේට ළඟා වී තිබුණා.

කෙසේ වෙතත් ඒ අතරතුර, නුවරඑළිය – ගම්පොළ ප්‍රධාන මාර්ගයේ කොත්මලේ ගැරඬිඇල්ල ප්‍රදේශයේදී බස් රථය අද (11) අළුයම 04:15 ට පමණ ප්‍රපාතයකට පෙරළී තිබෙනවා.

අප වාර්තාකරු සදහන් කළේ ධාවනය වෙමින් තිබූ බස් රථය තුළ මගීන් 70 කට වැඩි පිරිසක් ගමන් කර ඇති බවයි.

අනතුරින් මිය ගිය පුද්ගලයින්ගේ සිරුරු කොත්මලේ ප්‍රාදේශීය රෝහලේ තැම්පත් කර ඇති අතර, මියගිය කිහිප දෙනෙකුගේ සිරුරු බස් රථයට යට වී තිබූ අයුරු ද වාර්තා වුණා.

ලෝක අම්මාවරුන්ගේ දිනය යෙදී තිබෙන අද (11) දිනයේදී, මවකගේ සෙනෙහසේ තරම කියාපාන ඉතා සංවේදී දර්ශනයක් ද මේ වන විට සමාජ මාධ්‍යයේ සංසරණය වනවා.

අනතුරට ලක්වූ බස් රථයේ සුන්බුන් අතර සිටි මාස 08 ක් වයසැති සිය දරුවා තුරුළු කරගෙන රැකවරණය සලසන ආකාරය එම දර්ශනවල සටහන් වුණා.

කෙසේ වෙතත් එම රූප රාමුවල සිටින මව රෝහළට ඇතුළත් කරන අවස්ථාවේදීත් මියගොස් ඇති බවත් අදාළ දරුවා මේ වන විට නුවරඑළිය දිස්ත්‍රික් රෝහලේ ප්‍රතිකාර ප්‍රතිකාර ලබන බවයි අප කළ විමසීමකදී රෝහල් අධ්‍යක්ෂවරයා සදහන් කළේ.

ප්‍රපාතයට පෙරලුනු බස් රථයේ සුන්බුන් අතර සිරව තිබූ සිරුරු ගොඩ ගැනීමට පොලිසිය, යුධ හමුදාව සහ ප්‍රදේශවාසීන් දැඩි උත්සහයක් නිරතවුණා.

මේ අතර, රෝහල්ගතව ප්‍රතිකාර ලබන පුද්ගලයින්ගේ සුවදුක් විමසීමට කථානායක ජගත් වික්‍රමරත්න සහ ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන ගම්පොළ සහ නුවරඑළිය රෝහල් වෙත අද (11) පෙරවරුවේ ගොස් තිබුණා.

එමෙන්ම අනතුරින් තුවාල ලැබූවන් කොළඹට රැගෙන ඒමට අවශ්‍ය නම් ඒ සඳහා බෙල් 412 හෙලිකොප්ටර් යානා දෙකක් (2) රත්මලාන ගුවන් හමුදා කඳවුරේ ස්ථානගත කළ බවයි ගුවන් හමුදාව ප්‍රකාශ කළේ.

මේ අතර ප්‍රපාතයකට පෙරලු‍ණු බස් රථය අද (11) පස්වරුවේ ගොඩගෙන ඉදිරි පරික්ෂණ කටයුතු සදහා කොත්මලේ පොලිසිය වෙත රැගෙන ගිය බව අප වාර්තාකරු සදහන් කළා.

පොලිසිය සහ යුධහමුදාව එක්ව විශාල දොඹකර ආධාරයෙන් අනතුරට ලක්වූ එම බස් රථය ගොඩගෙන තිබුණා ෴

+++

රියදුරු සහ බස් රථය ගැන ඩිපෝවෙන් පැහැදිලි කිරීමක්

(11.05.2025 – 19:34 +0530 – hirunews.lk/sinhala)

අනතුරට ලක්වූ බස් රථය සහ අනතුර සිදුවූ ස්ථානය නිරික්ෂණය කිරීම සදහා බස් රථය අයත් කතරගම ඩිපෝවේ ධාවන පරීක්ෂකවරයා ඇතුලු පිරිසක් එහි ගොස් තිබුණා.

අප කළ විමසීමකදී කතරගම ඩිපෝවේ ධාවන අංශයේ නිලධාරීයෙකු පැවසුවේ මෙම බස්රථය දෛනිකව කතරගම සිට කුරුණෑගල බලා ධාවනය කෙරෙන අතර, සෑම දිනතම ගමන් ආරම්භයට පෙර බස් රථය පරීක්ෂා කරන බවයි.

ඊයේ (10) රාත්‍රියේ ගමන් ආරම්භයට පෙරද බස් රථය පරික්ෂා කළ අතර, එහි කිසිදු දෝෂයක් නොතිබූ බව ද අදාළ නිලධාරියා ප්‍රකාශ කළා.

බස් රථය පැදවූ රියදුරු යහපත් සෞඛ්‍ය තත්ත්වයකින් සිටි බවත් ඔහුගෙන් කිසිදු ව්‍යාකූලත්වයක් දක්නට නොලැබුණු බවත්, කතරගම ඩිපෝවේ ධාවන අංශයේ නිලධාරියා හිරු ප්‍රවෘත්ති සමග පැවසුවා.

බස් රථයේ රියදුරු අනතුරින් ජීවිතක්ෂයට පත් වූ අතර ඔහු 44 හැවිරිදි වියේ පසුවනවා. එමෙන්ම, බස් රථයේ රිය සහයක අනතුරින් බලපතල තුවාල ලබා මේ වන විට රෝහල්ගතව පසුවන බවයි පොලිසිය සදහන් කළේ.

කතරගම ඩිපෝවේ කළමනාකරු සුසිල චමින්ද සිරිවර්ධන පැවසුවේ මෙම බස් රථයේ එක් ගමන් වාරයකට එක් රියැදුරෙකු පමණක් සේවය කරන අතර, ගමන්වාරයට පසුදින අදාළ රියැදුරුට නිවාඩු දිනයක් හිමිවන බවයි.

ඊයේ (10) රාත්‍රි 10:30 ට කතරගමින් ගමන් ආරම්භ කළ මෙම බස් රථය වැලිමඩ, නුවරඑළිය සහ තවලන්තැන්න යන ප්‍රදේශවල විනාඩි 15 බැගින් නවතා විවේක ලබාගැනීමෙන් පසු යළි ගමන් අරඹන බවද කතරගම ඩිපෝ කළමනාකාරවරයා සදහන් කළා.

බස් රථය සම්බන්ධයෙන් පරික්ෂා කළ එහි ගැටලුවක් තිබුණේ ද, නැද්ද යන්න පිළිබදව සොයා බලන බවද ඔහු කියා සිටියා.

+

+

රටේම අවධානය දිනූ පුංචි මල් කැකුළ තනිකර මවත් මරු තුරුළට

(11.05.2025 – 19:51 +0530 – hirunews.lk/sinhala)

කොත්මලේ ගැරඬිඇල්ල ප්‍රදේශයේ බස් අනතුර සිදුවූ අවස්ථාවේ මව් සෙනෙහසේ ප්‍රබලත්වය ලොවට කියාපාමින් සුන්බුන් අතර සිරව සිටියදීම සිය බිලිඳාට රැකවරණය සැලසූ මවත් අද (11) ජීවිතයට සමුදුන්නා.

ඇය වෙනුවෙන් සමාජ මාධ්‍ය තුළ පවා දැඩි අවධානයක් යොමුව තිබුණේ එම දර්ශනයේ තිබූ කම්පනය ක්ෂණිකව සමාජය පුරා විසිර යාම හේතුවෙන්.

කොත්මලේ ගැරඬිඇල්ල ප්‍රදේශයට අරුණලු උදවන්නට හෝරා කිහිපයක් තිබියදී අද සිදු වූ මේ ශෝකාන්තයෙන් ජීවිත 22 ක් සදහටම දෙනෙත් පියාගත්තා.

කාන්තාවන් 06 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 16 දෙනෙකු ඒ ජීවිත අතරට අයත් වෙද්දී 09 දෙනෙකුගේ අනන්‍යතාවය තවමත් තහවුරු කරගනිමින් සිටිනවා.

මේ, අද (11) සිදු වූ ශෝකාන්තයේ බොහෝ දෙනෙකුගේ දෑස කඳුළින් තෙත් කළ දර්ශනයයි.

බස් රථයේ සුන්බුන් අතර තවදුරටත් පොරබැදීමට තරම් සවියක් නොතිබුණත් මරණ මංචකය පෙනී පෙනී සිය බිලිඳාට උණුසුම දී රැකවරණය සැලසීමට තරම් ඇගේ මාතෘත්වය ශක්තිමත් වී තිබුණා.

ඇය වෙනුවෙන් සමාජ මාධ්‍ය තුළ පවා දැඩි අවධානයක් යොමුව තිබුණේ එම දර්ශනයේ තිබූ කම්පනය ක්ෂණිකව සමාජය පුරා විසිර යාම හේතුවෙන්. එහෙත් ඇයට ජීවිත වරමක් දීමට තරම් දෛවය පසුව කාරුණික වී තිබුණේ නැහැ.

මාස 08 ක් වූ ඒ බිලිඳා මෙලොව තනි කරමින් මවට මෙන්ම පියාට ද ජීවිතයට සමුදීමට සිදුවුණා.

මේ අතර මීරියබැද්ද ප්‍රදේශයේ පදිංචි මව්පිය යුවළක් සහ ඔවුන්ගේ දරුවන් තිදෙනාත් (3) මේ අනතුරට මුහුණ පා තිබූ අතර ඉන් මවට සහ පියාට දිවි අහිමිවුණේ දරුවන් තිදෙනා (3) මෙලොව තනි කරමින්.

ඒ, ඔවුන් කොස්ලන්ද ප්‍රදේශයේ පිහිටි ඥාති නිවසකට පැමිණ යළි නිවෙස බලා පිටව යාමේ අරමුණින් මේ බස් රථයට ගොඩවී තිබූ පසුබිමකයි. අනතුරින් තුවාල ලැබූ ඔවුන්ගේ අවුරුදු 10 ක දරුවා, අවුරුදු 16 ක දැරිය සහ මාස 09 ක් වයසැති බිලිඳිය නුවරඑළිය රෝහලේ ප්‍රතිකාර ලබනවා ෴

+++

බස් රථ අනතුරින් මිය ගිය පවුල් වෙත රුපියල් මිලියනයක වන්දි මුදලක් ලබා දීමට රජයෙන් තීරණයක්

(11.05.2025 – 14:20 +0530 – hirunews.lk/sinhala)

නුවරඑළිය – ගම්පොළ ප්‍රධාන මාර්ගයේ, කොත්මලේ ගැරඬිඇල්ල ප්‍රදේශයේදී අද (11) අලුයම සිදුවූ බස් රථ අනතුරෙන් මියගිය සියලු‍ දෙනාගේ පවුල්වල ඥාතීන් වෙත ජනාධිපති අනුර කුමාර දිසානායක සිය ශෝකය පළ කර තිබෙනවා.

එමෙන්ම, අනතුරෙන් තුවාල ලැබූවන් වෙත ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන බවත්, ඔවුන්ගේ ප්‍රතිකාර කටයුතු වෙනුවෙන් අදාළ සියලු‍ රෝහල් සූදානම් කිරීමටයි ජනාධිපතිවරයා උපදෙස් දී ඇත්තේ.

ඒ වෙනුවෙන් අවශ්‍ය සියලු‍ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමටත් ආරක්ෂක සහ සෞඛ්‍ය අංශ වෙත ජනාධිපති අනුර කුමාර දිසානායක උපදෙස් ලබා දී ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ.

මේ අතර, කොත්මලේ – ගැරඬිඇල්ල ප්‍රදේශයේ සිදුවූ බස් රථ අනතුරින් ජීවිතක්ෂයට පත් පිරිස් වෙත වන්දි ලබා දීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව එම අනතුරින් මියගිය එක් අයෙකුට රුපියල් මිලියනයක (10,00,000) වන්දි මුදලක් ලබා දීමට රජය තීරණය කර ඇති බවයි ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන ‘හිරු ප්‍රවෘත්ති’ වෙත ප්‍රකාශ කළේ ෴

කොත්මලේ බස් රථ අනතුරින් මියගිය පුද්ගලයින්ගේ පවුල්වලට ‘ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය’ සහ ‘රක්ෂණ අරමුදල’ මගින් ද වන්දි ලබාදීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව, මියගිය ඥාතීන්ට මෙම මුදල් කඩිනමින් ලබා දීමට පියවර ගන්නා බවයි ‘ලංකා ගමනාගමන මණ්ඩලය’ සදහන් කළේ.

එමෙන්ම, බස් රථ අනතුරින් මියගිය පුද්ගලයෙකුට ජනාධිපති අරමුදලින් රුපියල් ලක්ෂ 10 බැගින් ලබාදීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මීට පෙර එම අරමුදලට උපදෙස් ලබාදී තිබුණා.

මේ වන විට බස් රථ අනතුරින් පුද්ගලයින් 21 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති අතර, තවත් 39 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර සිටිනවා ෴


මාදුරුඔය ගුවන් අනතුර ගැන පුළුල් විමර්ශනයක් කර හේතුව දැනුම් දෙන ලෙස අධිකරණයෙන් පොලිසියට සහ ගුවන් හමුදාවට නියෝග

(11.05.2025 – 20:58 +0530 – hirunews.lk/sinhala)

මාදුරුඔය හෙළිකොප්ටර් යානා අනතුර පිළිබඳව පුළුල් විමර්ශනයක් සිදු කර අනතුරට හේතුව හා විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දෙහිඅත්තකණ්ඩිය වැඩබලන මහේස්ත්‍රාත්වරයා පොලිසියට හා ගුවන් හමුදාවට නියෝග කර තිබෙනවා.

මාදුරුඔය ජලාශයට ඉහළ අහසේ පියාසර කරමින් තිබූ ගුවන් හමුදාවට අයත් බෙල් 212 හෙලිකොප්ටර් යානයක් මාදුරුඔය ජලාශයට කඩා වැටීම ගුවන් අනතුර සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදුකර අනතුරට හේතුව අධිකරණයට දැනුම් දෙන ලෙසට අධිකරණය පොලිසියට සහ ගුවන් හමුදාවට නියෝග කර තිබෙනවා.

එමෙන්ම, විමර්ශන වල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි දෙහිඅත්තකන්ඩිය වැඩ බලන මහේස්ත්‍රාත් යූ රාජපක්ෂ නියෝග කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසුවයි මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේ. නිදර්ශනයක නියැළෙමින් පියසාර කරමින් තිබූ හිඟුරක්ගොඩ ගුවන් හමුදා කදවුරේ අංක 7 හෙලිකොප්ටර් බලඝනයට අයත් බෙල් 212 හෙලිකොප්ටර් යානයක් මාදුරුඔය ජලාශයට කඩා වැටී ගුවන් අවිකරුවන් දෙදෙනෙකු (2) සහ යුද හමුදා විශේෂ බළකා සෙබළුන් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා.

මේ අතර, හමුදා සෙබළුන් 06 දෙනෙකුට මරු කැඳවමින් මාදුරුඔය ජලාශයට කඩා වැටුණු බෙල්-212 හෙලිකොප්ටර් යානයේ, සුන්බුන් කොටස් කටුනායක ගුවන් හමුදා කඳවුරට රැගෙන යාමට නියමිතයි.

එහිදී සුන්බුන් කොටස් සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු සිදු කිරීමට නියමිත බවයි ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක, ගෲප් කපිතාන් එරන්ද ගීගනගේ ප්‍රකාශ කළේ.

අනතුරට ලක්වූ හෙළිකොප්ටර් යානයේ කොටස් ඊයේ (10) ගොඩගත් අතර ඊට අදාළ මෙහෙයුම් සිදුකෙරුණේ, නාවික හමුදා කිමිඳුම් අංශය මෙන්ම, වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ කණ්ඩායම් ද එක්වයි.

මෙම අනතුර සම්බන්ධයෙන් සොයා බැලීමට ගුවන් හමුදාපතිවරයා විසින් පත්කළ 09 දෙනෙකුගෙන් සමන්විත කමිටුව අනතුර සිදු වූ ස්ථානයේ ස්ථානීය පරීක්ෂණය, ඊයේ (10) දිනයේදීත් සිදුකර තිබුණා ෴


මෝටර් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි

(11.05.2025 – 18:01 +0530 – sinhala.adaderana.lk)

එකම පවුලේ පිරිසක් ගමනක් ගත් මෝටර් රථයක් හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ වටවල කැරොලයිනා වත්ත ප්‍රදේශයේ දී මාර්ගයෙන් ඉවතට පැන අඩි 20 ක පමණ ප්‍රපාතයකට පෙරළී අද (11) උදෑසන අනතුරක් සිදුව තිබේ.

වැල්ලම්පිටියේ සිට නුවරඑළියේ සංචාරයක් සඳහා ගමන්ගත් මව, පියා, දියණිය සහ දියණියගේ දරුවන් දෙදෙනා (2) මෙම අනතුරට මුහුණපා ඇත.

දියණිය විසින් මෝටර් රථය ධාවනය කර තිබේ.

ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ධාවනය වූ බස් රථයකට ඉඩදීමට යෑමේදී රියදුරුගේ පාලනයෙන් මෝටර් රථය ප්‍රපාතයට පෙරළී ඇත.

මෝටර් රථයේ ගමන් ගත් තිදෙනෙකු (3) තුවාල ලබා වටවල ප්‍රාදේශීය රෝහලට ඇතුළත්කර ඇති අතර, දරුවන් දෙදෙනාට (2) කිසිදු අනතුරක් සිදු වී නොමැත.

+


මෝල් ගස් පහරින් තරුණයෙක් මරුට

(11.05.2025 – 11:31 +0530 – hirunews.lk/sinhala)

නිවෙසකට බලහත්කාරයෙන් ඇතුල් වූ පුද්ගලයෙක් ඇතිකරගත් ආරවුලක් හේතුවෙන් පහර කෑමට ලක්ව මියගොස් ඇතැයි රිදීමාලියද්ද පොලිසිය පවසනවා.

මරණකරු අද (11) පාන්දර බලහත්කාරයෙන් දොර කඩා දමා අදාල නිවසට ඇතුල් වී තිබෙනවා.

එහිදී ඇති වූ ආරවුල මත නිවසට පැමිණි සැකකරු නිවෙස් හිමියාට පොල්ලකින් පහරදීමට උත්සාහ කර තිබෙනවා.

ඒ අවස්ථාවේ නිවෙස් හිමියා මෝල්ගසකින් පහරදීම නිසා පහරකෑ තැනැත්තා එම ස්ථානයේම මියගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.

මෙසේ ජීවිතක්ෂයට පත්වී ඇත්තේ රාජපක්ෂ මුදියන්සේලාගේ නිපුන් සංජුල නැමැති 28 හැවිරිදි පුද්ගලයෙක්.

සිද්ධියේ සැකකරු නිවස තුළදීම පොලිසියට භාර වීමෙන් පසුව අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු සමෘද්ධි සංවර්ධන නිලධාරියකු බවයි පොලිසිය කියා සිටියේ.

සැකකරුගේ දියණිය හා මරණකරු අතර පැවති ප්‍රේම සම්බන්ධයෙක් ආරවුලට හේතුවී තිබෙන බව පැවසෙනවා. රිදීමාලියද්ද පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා ෴


මත්පැන් පානය කර මගී බස් රථයක් පැදවූ රියදුරෙකු අත්අඩංගුවට

(11.05.2025 – 16:16 +0530 – hirunews.lk/sinhala)

මත්පැන් පානය කර මගීන් රැගෙන පෞද්ගලික බස් රථයක් ධාවනය කරමින් සිටි රියදුරෙක් බණ්ඩාරගම ගැලනිගම ප්‍රදේශයේදී පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම අවස්ථාවේදී බස් රථයේ මගීන් 50 කට අධික පිරිසක් සිට ඇති බවයි පොලිසිය සදහන් කළේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර – හොරණ පෞද්ගලික බස් රථයක රියදුරෙක්.

මෙම බස් රථය හොරණ සිට අපරික්ෂාකාරී අයුරින් ධාවනය කර ඇති අතර, පසුව පොලිසිය ඒ පිළිබදව නිරීක්ෂණය කොට රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් රියදුරු අද (11) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිසිය සදහන් කළේ ෴


අයියා එළොව යැවූ මල්ලීගේ හදිසි කෝපය

(11.05.2025 – 19:33 +0530 – hirunews.lk/sinhala)

එකම පවුලේ සහෝදරයින් දෙදෙනෙකු (2) අතර ඇති වූ ගැටුමකින් වැඩිමහල් සහෝදරයා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

බහින්බස් වීමක් දුරදිග යාමෙන් මල්ලී එල්ල කළ උදලු පහරකින් මෙසේ ඔහුගේම අයියා ජීවිතක්ෂයට පත්ව තිබෙන බවයි පොලිසිය පැවසුවේ.

මොවුන් දෙදෙනා (2) ජීවත්ව සිට ඇත්තේ තලවකැලේ, ලිඳුල ප්‍රදේශයේ එකම නිවෙසකයි.

සිද්ධිය සම්බන්ධයෙන් ලිඳුල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා ෴ (වයස?)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *