කොත්මලේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් 4 ක් මරුට, 35 කට තුවාල
කොත්මලේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් 4 ක් මරුට, 35 කට තුවාල
(11.05.2025 – 07:04 +0530 – hirunews.lk/sinhala)
නුවරඑළිය – ගම්පොල ප්‍රධාන මාර්ගයේ කොත්මලේ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් අනතුරක් සිදුව ඇති බව පොලිසිය පවසනවා.
ඒ අනුව, එම අනතුරෙන් පුද්ගලයින් 4 දෙනෙකු මියගොස් 35 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
කතරගම බලා ධාවනය වෙමින් තිබූ මගී ප්‍රවාහන ලංගම බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ ෴
අනතුරෙන් මියගිය සංඛ්‍යාව 08 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, පිරිමි පුද්ගලයින් 05 දෙනෙකු සහ කාන්තාවන් 03 දෙනෙකු ඒ අතර වන බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ ෴ (පෙ.ව. 08:00)
+
+
යාවත්කාලීන කිරීම (11/05/2025) පෙ.ව. 10.40 :
මෙම අනතුරෙන් මියගිය සංඛ්‍යාව 15 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, තවත් පිරිස් බස් රථය තුල සිරවී සිටින බවයි අප වාර්තාකරු සඳහන් කළේ ෴
+
වැලිමඩදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළී 20 ක පමණ පිරිසකට තුවාල
(10.05.2025 – 20:45 +0530 – hirunews.lk/sinhala)
මගී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් 20 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙනවා.
වැලිමඩ, ඩයර්බා ප්‍රදේශයේදී අනතුර සිදුව තිබෙන බවයි පොලිසිය පවසන්නේ.
එමෙන්ම, මෙම අනතුරෙන් එක් (1) අයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත් පොලිසිය සඳහන් කළා.
+
+
ශ්‍රීපාද වන්දනා සමය හෙටින් අවසන්
(11.05.2025 – 06:49 +0530 – hirunews.lk/sinhala)
පුරා මාස 06 ක පමණ කාලයක් තිස්සේ පැවති ශ්‍රීපාද වන්දනා සමය වෙසක් පුන් පෝය දින, එනම් හෙට (12) දිනයෙන් නිමාවට පත් වීමට නියමිතයි.
ඒ අනුව, වෙසක් පුන් පෝය දිනට පසුදින දහවල් ශ්‍රීපාදස්ථානාධිපති, බෙංගමුවේ ශ්‍රී ධම්මදින්න නායක හිමියන්ගේ අනුශාසනා මත ශ්‍රීපාද උඩ මළුවේදී සධාතුක කරඬුවට හා ශ්‍රී සුමන සමන් දෙවියන්ගේ රන් මුවා පිළිමයට බෞද්ධ වත් පිළිවෙත් අනුව වන්දනාවාරය නිමා කිරීමට ප්‍රථම චාරිත්‍රාණුකූල පුද පූජා පැවැත්වීම සිදු කෙරෙනවා.
ඉන් අනතුරුව සධාතුක කරඬුව, සමන්දේව රුව හා දේවාභරණ රැගත් විශේෂ පෙරහැර පැල්මඬුල්ල ගල්පොත්තාවෙල ශ්‍රීපාද රජමහා විහාරය දක්වා වැඩම කිරීම සඳහා ශ්‍රීපාදස්ථානයේ සිට නල්ලතන්නිය ශ්‍රීපාද ධර්ම මධ්‍යස්ථානය වෙත එදින පස්වරුවේ ගමන් ආරම්භ කරනු ලබයි.
ශ්‍රීපාද ධර්ම මධ්‍යස්ථානයේ සිට විශේෂ රියක තැන්පත් කරන සධාතුක කරඬුව, සමන් දේව පිළිමය හා දේවාභරණ එක් පෙරහැරක් මාවුස්සාකැලේ, ලක්ෂපාන, කළුගල, අවිස්සාවේල්ල මාර්ගයෙන් හා අනෙක් පෙරහැර මස්කෙළිය, නෝර්වූඩ්, බගවන්තලාව, බලංගොඩ මාර්ගයෙන් පැල්මඬුල්ල ගල්පොත්තාවෙල ශ්‍රීපාද රජමහා විහාරය දක්වා වැඩම කෙරෙනු ඇති.
මෙම පෙරහැරවල් දෙකට (2) සමගාමිව පෙර වසරවලදී මෙන්ම මෙවරද ශ්‍රීපාද උඩමළුවේ සිට එරත්න – රත්නපුර මාර්ගයෙන්ද සමන්දේව රුව හා දේවාභරණ රැගත් විශේෂ පෙරහැරක් ගල්පොත්තාවෙල ශ්‍රීපාද රජමහා විහාරය දක්වා වැඩම කිරීම සිදු කරනු ලබයි.
ශ්‍රීපාද වන්දනා සමය නිමා කිරීමෙන් අනතුරුව සධාතුක කරඬුව, ඓතිහාසික ශ්‍රී සුමන සමන්දේවියන්ගේ රන්මුව පිළිමය හා දේවාභරණ ශ්‍රීපාද අවාර සමයේ පැල්මඬුල්ල ගල්පොත්තාවෙල ශ්‍රීපාද රජමහා විහාරයේ සමන්දේවාලයේ තැන්පත් කෙරේ ෴
පිටරටින් ආ පාර්සලයක් තුළ රුපියල් මිලියන 68 කට ආසන්න මත්ද්‍රව්‍ය තොගයක්
(10.05.2025 – 19:46 +0530 – sinhala.adaderana.lk)
ඕමානයේ සිට මුහුදු මාර්ගයෙන් මෙරටට පැමිණි පාර්සලයක් තුළ මත්ද්‍රව්‍ය තොගයක් රේගු භාරයට ගැනීමට රේගු නිලධාරීන් සමත් වී තිබේ.
රේගුව පැවසුවේ මෙම මත්ද්‍රව්‍ය තොගය අතරට මෙතම්ෆෙටමීන් කිලෝ ග්‍රෑම් 2 ග්‍රෑම් 694 ක් සහ කොකේන් ග්‍රෑම් 5 ක් අන්තර්ගතව තිබූ බවය.
මෙම මත්ද්‍රව්‍ය අඩංගු පාර්සලය වත්තල පිහිටි ගබඩාවක තිබියදී රේගු නිලධාරීන් විසින් සිදුකළ පරීක්ෂාවකදී සිය භාරයට ගෙන තිබේ.
මෙම පාර්සලය ගම්පහ ප්‍රදේශයේ මුදුන්ගොඩ, බැලුම්මහර පදිංචි 66 හැවිරිදි කාන්තාවකගේ නමට පැමිණ ඇත.
මෙහිදී එම පාර්සලය නිෂ්කාෂණය කිරීමට බලයලත් නිෂ්කාශන නියෝජිතයෙකු පැමිණ ඇති අතර පසුව රේගු නිලධාරීන් විසින් ඔහුව අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන තිබේ.
රේගුව විසින් සිදුකළ මූලික විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ රේගු භාරයට ගත් මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් මිලියන 68 කට ආසන්න වන බවය.
ඒ අනුව සිද්ධිය සම්බන්ධව වැඩිදුර විමර්ශන ‘ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන ඒකක’ විසින් සිදුකරන අතර අත්අඩංගුවට ගත් සැකකරු සහ මත්ද්‍රව්‍ය වැඩිදුර නීතිමය කටයුතු සඳහා ‘පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය’ට භාර දීමට පියවර ගෙන ඇත ෴
ප්‍රවීන රංගන ශිල්පිනි සේමිණී ඉද්දමල්ගොඩ අත්අඩංගුවට
(11.05.2025 – 11:16 +0530 – sinhala.adaderana.lk)
ප්‍රවීන රංගන ශිල්පිනි සේමිණී ඉද්දමල්ගොඩ මහත්මිය වැලිකඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මූල්‍ය වංචා සම්බන්ධයෙන් වරෙන්තු 7 කට අදාළව ඇය අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.

තංගල්ල, මාතර සහ කොළඹ යන අධිකරණවලින් අදාළ වරෙන්තු නිකුත් කර ඇති බව සඳහන්ය.
වැලිකඩ පොලීසිය විසින් ඊයේ (10) රාත්‍රී අත්අඩංගුවට ගත් සේමිණී ඉද්දමල්ගොඩ මහත්මිය අද (11) දිනයේ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴