ගෙවුණු මාස 07 ට වෙඩි තැබීම් 79 කින් ජීවිත 52 ක් අහිමිවෙලා

ගෙවුණු මාස 07 ට වෙඩි තැබීම් 79 කින් ජීවිත 52 ක් අහිමිවෙලා


ගෙවුණු මාස 07 ට වෙඩි තැබීම් 79 කින් ජීවිත 52 ක් අහිමිවෙලා

(09.05.2025 – 18:27 +0530 – hirunews.lk/sinhala)

ගතවූ මාස 7 ට වෙඩි තැබීමේ සිදුවීම් 79 ක් වාර්තා වී ඇතිබවත් ඉන් ජීවිත 52 ක් අහිමි වී ඇති බවත් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල අද (09) පාර්ලිමේන්තුවේදී ඇසූ පැනයකට පිළිතුරු දෙමින් පවසා සිටියා.

පසුගිය වසරේ (2024) සැප්තැම්බර් මස 21 වනදා සිට ඊයේ (08) දක්වා වූ කාලය තුළ සිදුවූ එම වෙඩිතැබීම්වලින් පුද්ගලයින් පුද්ගලයින් 35 දෙනෙකු තුවාල ලබා ඇති බවද අමාත්‍යවරයා එහිදී සඳහන් කළා.

මෙම වෙඩි තැබීම්වලින්, වෙඩි තැබීම් 62 ක් සංවිධානාත්මක අපරාධ කල්ලිවලින් සිදුකර ඇති බවද අමාත්‍යවරයා පවසා සිටියා.

එමෙන්ම, අදාල වෙඩිතැබීම් සම්බන්ධයෙන් පුද්ගලයින් 260 ක් මේවනවිට අත්අඩංගුවට ගෙන ඇති බවත්, ඉන් පුද්ගලයින් 229 ක් සංවිධානාත්මක අපරාධ සම්බන්ධයෙන්වන බවත් මහජන ආරක්ෂක අමාත්‍යවරයා සඳහන් කළා.

+


කොටහේන සිදුවීමට අදාළ පාසල් ගුරුවරයා අනිවාර්ය නිවාඩු යවයි

(09.05.2025 – 19:42 +0530 – hirunews.lk/sinhala)

කොටහේන පාසල් සිසුවියට අතවර කළ බව කියන පාසල් ගුරුවරයා පොලිස් බී වාර්තාවක් ලැබීමෙන් පසු අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අනිවාර්ය නිවාඩු යවා තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වීමට පියවර ගෙන ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත්කළ නිවේදනයේ දැක්වුණේ ෴

+++

පාසල් සිසුවියගේ මරණය ගැන ළමා ආරක්ෂක අධිකාරිය දැන් කියන කතාව

(09.05.2025 – 20:09 +0530 – hirunews.lk/sinhala)

කොටහේන ප්‍රදේශයේ පදිංචිව සිටි 13 හැවිරිදි පාසල් දැරියක් සිය දිවි හානිකරගැනීමේ සිදුවීම සම්බන්ධයෙන් විමර්ශණයක් සිදුකරන බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසනවා.

එම අධිකාරිය සදහන් කළේ, මෙම සිදූවීම සම්බන්ධයෙන් කොටහේන සහ බම්බලපිටිය පොලිස් ස්ථානවලින් වාර්තා කැදවන බවයි.

එමෙන්ම ළමා හා කාන්තා කටයුතු අමාත්‍යංශයේ නිළධාරීන් පිරිසක් සහ පොලිස් ළමා හා කාන්තා කටයුතු අංශයේ නිළධාරීන් පිරිසක් ද අද (09) අදාල දැරියගේ නිවස වෙත ද ගොස් තිබුණා.

මේ අතර, අදාල සිදුවීමට සම්බන්ධ ගුරුවරයා පුත්තලම ප්‍රදේශයේ පාසලකට මාරු කර යවා තිබූ අතර, ඊට විරෝධය පළ කරමින් හේතුවෙන් එම පාසල ඉදිරිපිට අද (09) දෙමාපියන් පිරිසක් උද්ඝෝෂණයක නිරත වුණා.

‘ලංකා ගුරු සංගමයේ’ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාර්ලින් අද (09) කොළඹ දී ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැදවමින් ‘කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා පෝල්රාජ්’ ඊයේ (08) පාර්ලිමේන්තුවේ දී සිදු කල ප්‍රකාශය සම්බන්ධයෙන් විරෝධය පළ කළා.

මේ අතර මෙම සිදුවීම සම්බන්ධයෙන් දැනට සිදු කෙරෙන විමර්ශනවල ගැටලු‍ පවතින බව අද (09) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ වුණා. ඒ අදාළ සිද්ධිය පිළිබද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සභාවේ අවධානය යොමු කිරීමත් සමගයි.

මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුම ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වීමත් සමග සභාවේ උණුසුම් තත්වයක් ද හටගත්තා ෴

+++

+++

කොටහේන සිසුවියගේ සිද්ධියේ චෝදනා එල්ල වූ අධ්‍යාපන ආයතනයේ හිමිකරු CIDයට (10.05.2025)

+


පුංචි දරුවා පාසල් ගෙනා මාළුපාන් ගෙඩියේ ‘ගංජා’ (‘ගංජා’ අලෙවිකරන අලුත් ක්‍රමයක්)

(09.05.2025 – 20:15 +0530 – hirunews.lk/sinhala)

කඩවත ප්‍රදේශයේ ප්‍රාථමික පාසැලක ඉගෙනුම ලබන කුඩා දරුවෙකු උදෑසන ආහාරය සඳහා ගෙනා මාළු පාන් ගෙඩියක් තුළ තිබී ගංජා පැකට් දෙකක් (2) හමුවූ සිද්ධියක් වාර්තා වනවා.

මෙම දරුවා මාලුපාන් ගෙඩිය ආහාරයට ගනිමින් සිටියදී කුඩා පැකට් 02 ක් හමුවී ඇති අතර, ඒ පිළිබදව පන්තිභාර ගුරුතුමිය දැනුවත් කිරීමෙන් පසුවයි මෙම ජාවාරම පිළිබද අනාවරණය වන්නේ.

ගුරුතුමිය පසුව දරුවාගේ මව දුරතකනයෙන් අමතා ඇති අතර, එම අවස්ථාවේ මව පවසා ඇත්තේ ද පිලුණු වී ඇති බැවින් එම මාලුපාන් ගෙඩිය දරුවාට ලබා නොදෙන ලෙසයි.

බේකරි නිෂ්පාදන අලෙවි කරන ත්‍රිරෝද රථයකින් අදාළ මාළු පාන් ගෙඩිය මිල දී ගත් අතර, එහි රියදුරු පසුව යළි පැමිණ මාලුපාන් ගෙඩිය දරුවාට ලබානොදෙන ලෙස පැවසූ බවද ඇය එහිදී හෙළි කර තිබුණා.

පසුව සිද්ධිය සම්බන්ධයෙන් ඔවුන් පාසැලේ විදුහල්පතිවරිය දැනුවත් කර තිබෙනවා. එහිදී අනාවරණ වී ඇත්තේ ජංගම බේකරි නිෂ්පාදන අලෙවි රථයේ රියැදුරු බේකරි නිෂ්පාදන අලෙවිකරන මුවාවෙන් සූක්ෂමව ගංජා ජාවාරමේ ද නිරතවන බවයි.

ඔහු වෙනත් අයෙකුට ලබා දීමට ගෙනා ගංජා සහිත මාළු පාන් ගෙඩිය වැරදීමකින් මෙම මවට අලෙවි කර ඇති බව ද පසුව හෙළි වුණා. ඒ අනුව, සිද්ධිය සම්බන්ධයෙන් විදුහල්පතිවරිය අද (09) කඩවත පොලිසියට පැමිණිලි කර තිබෙනවා ෴


ගාලු මුවදොර අරගල භූමියේ සිටි විරෝධතාකරුවන් පිරිසට පහර දී අදට වසර 03 ක්

(09.05.2025 – 22:23 +0530 – hirunews.lk/sinhala)

ගාලු මුවදොර අරගල භූමියේ සිටි විරෝධතාකරුවන් පිරිසට පහර දී අදට (09) වසර 03 ක් සපිරෙනවා.

මෙම ප්‍රහාරය එල්ල වුණේ ‘ගෝඨා ගෝ ගම’ හා ‘මයිනා ගෝ ගම’ නමින් හැඳින්වූ භූමි දෙකක (2) ට යි.

රටේ පැවැති ආර්ථික සහ දේශපාලනික අර්බුදකාරී වාතාවරණය හේතුවෙන් 2022 වසරේදී ගාලු මුවදොර කේන්ද්‍ර කරගනිමින් විරෝධතාකරුවන් පිරිසක් අරගල භූමියක් ආරම්භ කළා.

එම අරගල භූමියේ සිටි විරෝධතාකරුවන්ට අරලියගහ මන්දිරයේ සිට පැමිණි පිරිසක් 2022 වසරේ මැයි මස 09 වැනිදා පහරදීමත් සමග උණුසුම් තත්ත්වයක් හටගත්තා.

අරගලකරුවන් චෝදනා කළේ, සාමකාමීව රැඳී සිටි තමත්ට එම පිරිස ගල් මුගුරු භාවිත කරමින් පහර දුන් බවයි.

එම ප්‍රචණ්ඩත්වයට එරෙහි ප්‍රතිප්‍රචණ්ඩත්වයක් එදිනම රටපුරා ව්‍යාප්ත වූ අතර නිට්ටඹුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු පහර දී ඝාතනය කළේ ද එහි ප්‍රතිඵලයක් ලෙසින්.

ප්‍රකෝපකාරී පිරිස් පහර දී මැතිඇමතිවරුන්ගේ නිවාස ඇතුළු දේපළ රැසකට හානි කළ අතර ඇතැම් නිවාස සම්පුර්ණයෙන් ගිනි තබා විනාශ කළා.
නිවාස අහිමි වූ මන්ත්‍රීවරුන්ට පසුව රජය වන්දි මුදල් ලබා දුන් අතර, පීඩාවට පත් සෙසු පාර්ශ්වවලට මෙතෙක් සාධාරණයක් ඉටු වී නැහැ.

ගාලු මුවදොර අරගල භූමියේ සිටි විරෝධතාකරුවන් පිරිසට පහර දී අදට (09) වසර 03 ක් පිරීම නිමිත්තෙන් ‘අරගලයට පහර දී වසර 03 යි’ මැයෙන් අද (09) පස්වරුවේ ගාලු මුවදොරදී සැමරුම් වැඩසටහනක් ද පැවැත්වුණා ෴


රාජ්‍ය වෙසක් සතිය අද (10) සිට 16 දක්වා

(10.05.2025 – 07:32 +0530 – hirunews.lk/sinhala)

රාජ්‍ය වෙසක් සතිය නුවරඑළිය නගරය කේන්ද්‍ර කරගනිමින් අද (10) සිට ආරම්භ වෙනවා.

ඒ අනුව, එම සතිය එළඹෙන 16 දක්වා ක්‍රියාත්මකයි.

අතිපූජ්‍ය මහානායක ස්වාමින් වහන්සේලාගේ සහ සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ අනුශාසනා පරිදි ශ්‍රී බුද්ධ වර්ෂ 2569 (2025) රාජ්‍ය වෙසක් උත්සවය බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය සහ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව එක්ව නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් ‘නුවරඑළිය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන විහාරස්ථානයේ’ දී පැවැත්වෙනවා.

මෙම වර්ෂයේ රාජ්‍ය වෙසක් මහෝත්සවය ‘හජෙථ මිත්තෙ කල්‍යාණ භජෙථ පුරිසුත්තමේ’ (කලණ ගුණ ඇති උතුම් මිතුරන් ඇසුරු කරමු) යන තේමාව යටතේ පැවැත්වීමටයි තීරණය කර ඇත්තේ ෴


බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානය කඩා වැටුණු ස්ථානය ගුවන් හමුදා කමිටුව පරීක්ෂා කරයි

(10.05.2025 – 08:49 +0530 – hirunews.lk/sinhala)

හය (06) දෙනෙකුට මරු කැඳවමින් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානය කඩා වැටීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත්කළ කමිටුව අදාළ ස්ථානයේ ස්ථානීය පරීක්ෂණයක් සිදුකර තිබෙනවා.

ගුවන් හමුදාපතිවරයා විසින් සිද්ධිය පිළිබද විමර්ශනය සදහා 09 දෙනෙකුගෙන් යුත් පරීක්ෂණ කමිටුවක් ඊයේ (09) පත් කරනු ලැබුවා.

ඒ අනුවයි එම පරීක්ෂණ කමිටුව ඊයේ (09) පස්වරුවේ යානය කඩා වැටුණු ‘මාදුරු ඔය’ ආශ්‍රීත ප්‍රදේශයට ගොස් තිබුණේ.

අනතුරින් පසු පොළොන්නරුව මහ රෝහලට ප්‍රතිකාර සදහා ඇතුළත් කළ සෙබලුන් 06 දෙනා තවදුරටත් එහි ප්‍රතිකාර ලබනවා. ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘප් කපිතාන් එරන්ද ගීගනගේ කියා සිටියේ වෛද්‍ය නිර්දේශ මත ඔවුන් එලෙස ප්‍රතිකාර ලබන බවයි.

අනතුරින් මියගිය සෙබලුන් 06 දෙනාගේ මරණ පරීක්ෂණ සිදු කිරීමෙන් අනතුරුව ඔවුන්ගේ දේහ ඥාතීන් වෙත භාරදීමට කටයුතු කරන බවයි ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේ.

ගුවන් හමුදාවේ අංක 07 හෙලිකොප්ටර් බලගණයට අයත් මෙම බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානය හිඟු‍රක්ගොඩ ගුවන් හමුදා කඳවුරෙන් ඊයේ (09) ගුවන්ගත වී තිබුණේ උදෑසන 06:48 ට පමණයි.

ඒ, යුද හමුදාපති ලුතිනල් ජනරාල් ලසන්ත රොද්‍රිගෝගේ ප්‍රධානත්වයෙන් ඊයේ (09) උදෑසන මාදුරුඔය විශේෂ බළකා පුහුණු පාසලේදී ආරම්භ වීමට නියමිතව තිබූ විසිර යාමේ උත්සවයට සහභාගි වීම සඳහායි.

එහි නියමුවන් දෙදෙනෙකු (02) ඇතුලු 12 දෙනෙකු ගමන් කර තිබුණා.

පෙරවරු 08:16 ට පමණ හෙලිකොප්ටර් යානය මාදුරුඔය ජලාශයට එලෙස කඩා වැටී තිබුණු අතර අනතුරෙන් පසුව, හෙලිකොප්ටර් යානයේ සිටි පිරිස සොයා මාදුරුඔය ජලාශයේ විශේෂ මෙහෙයුමක් ද ආරම්භ කර තිබුණා.

පසුව මොවුන් බේරාගෙන අරලගංවිල දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සදහා පොළොන්නරුව මහ රෝහළට ඇතුළත් කෙරුණා.

එලෙස මාරු කර යැවුණු 06 දෙනෙකු මිය ගිය අතර ඉතිරි 06 දෙනා රෝහලේ ප්‍රතිකාර ලබනවා ෴


රාජ්‍ය සේවකයින්ගේ ආපදා ණය ගැන දැනුම්දීමක්

(10.05.2025 – 09:33 +0530 – sinhala.adaderana.lk)

රාජ්‍ය සේවකයින් සඳහා ආපදා ණය ලබාදීම සම්බන්ධයෙන් නව විධිවිධාන ඇතුළත් නව චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය විසින් අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන් සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් දැනුවත් කරමින් නිකුත් කර ඇති එම චක්‍රලේඛය 2025.05.01 සිට ක්‍රියාත්මක කෙරේ.

එහි දැක්වෙන්නේ 2025 අයවැය යෝජනා මගින් රාජ්‍ය සේවකයන්ගේ අවම මූලික වැටුප වැඩිකිරීම සැලකිල්ලට ගෙන රාජ්‍ය සේවකයන් සඳහා ආපදා ණය ලබාදීමේ උපරිම සීමාව දැනට පවතින රු. 250,000 සිට රු. 400,000 දක්වා ඉහළ නැංවීමට රජය තීරණය කර ඇති බවය.


රටම දන්න ‘ටීචර් අම්මා’ව අත්අඩංගුවට ගන්න නියෝගයක් – තරුණයෙකුගේ ‘වෘෂණ කෝෂ’වලට පහරදීමක් සම්බන්ධව

(10.05.2025 – 10:48 +0530 – sinhala.adaderana.lk)

ශිෂ්‍යත්ව උපකාරක පන්ති පවත්වන ජනප්‍රිය ගුරුවරියක් වන ‘ටීචර් අම්මා’ හෙවත් ‘හයේශිකා ප්‍රනාන්දු’ විසින් තරුණයෙකුට සිදුකළ පහරදීමක් හේතුවෙන් ඇයව අත්අඩංගුවට ගැනීමට පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.

‘හයේශිකා ප්‍රනාන්දු’ විසින් තරුණයාට එල්ල කළ බව කියන පා පහරක් එම තරුණයාගේ ‘වෘෂණ කෝෂ’වලට වැදී ඇති අතර පසුව ඔහුව ප්‍රතිකාර සඳහා මීගමුව රෝහලට ඇතුළත් කර ඇත.

සිද්ධියෙන් පසු ‘හයේශිකා ප්‍රනාන්දු’ ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර ඇයගේ සැමියා හා ‘හයේශිකා ප්‍රනාන්දු’ගේ කළමනාකරු යන දෙදෙනාව (2) කටාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

ඒ අනුව සැකකරුවන් දෙදෙනාව (2) මීගමුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 14 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

සිද්ධියේ ප්‍රධාන සැකකාරිය වන ‘ටීචර් අම්මා’ හෙවත් ‘හයේශිකා ප්‍රනාන්දු’ නම් උපකාරක පන්ති ගුරුවරිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන සිදුකර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා කටාන පොලීසියට නියෝග කර තිබේ ෴

+

+

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *