ලිංගික අල්ලස් ඉල්ලූ ‘දිවි නැගුම සංවර්ධන නිලධාරියෙකු’ට වසර 20 ක සිරදඬුවම් (දඬුවම වසර 10 කින් ගෙවීයනු ඇත)
(09.05.2025 – 16:40 +0530 – hirunews.lk/sinhala)
සිය හත් (7) හැවිරිදි දරුවාගේ වකුගඩු සැත්කමක් සඳහා රජයෙන් ලබාදෙන සහනාධාර මුදල ලබා ගැනීමට අවශ්‍ය අනුමැතිය ලබාදීම සඳහා තිස් (30) හැවිරිදි තිදරු මවකගෙන් ලිංගික අල්ලස් ඉල්ලූ ‘දිවි නැගුම සංවර්ධන නිලධාරියෙකු’ට කොළඹ මහාධිකරණය විසින් අද (09) බරපතළ වැඩ සහිත වසර 20 ක් සිර දඬුවම් නියම කළා.
තීන්දුව ප්‍රකාශයට පත් කළ කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ නියෝග කළේ මෙම සිර දඬුවම වසර 10 කින් ගෙවී යා යුතු බවටයි.
ඊට අමතරව විත්තිකරුට ඡන්දය ප්‍රකාශ කිරීමට තිබෙන අයිතිය ඇතුළු සිවිල් අයිතිවාසිකම් අහිමිවන බවට මැතිවරණ කොමසාරිස්වරයාට දැනුම් දෙන ලෙසත් විනිසුරුවරයා විසින් නියෝග කළා.
එමෙන්ම ඔහුට රුපියල් විසිදහසක (20,000) දඩයක්ද නියම කෙරුණා.
තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා සඳහන් කළේ විත්තිකරු රජයේ නිලධාරියෙකු වශයෙන් තම වගකීම ඉටු කිරීම සඳහා අසරණ කාන්තාවකගෙන් ලිංගික අල්ලස් ඉල්ලා සිටීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බවයි.
වරදේ බරපතලභාවය සැලකිල්ලට ගැනීමේදී ලිහිල් දඬුවම් නියම කිරීමට හැකියාවක් නොමැති බවත් ඒ අනුව මෙම දඩුවම නියම කරන බවත් විනිසුරුවරයා සඳහන් කළා ෴
අල්ලස් කොමිසමෙන් ඇල්ලූ හිටපු ප්‍රාදේශීය සභා සභාපති අතුකෝරළට ඇප
(09.05.2025 – 16:48 +0530 – hirunews.lk/sinhala)
2018 වසරේ සිට 2022 වසර දක්වා කාල සීමාව තුළ අල්ලස් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ වළල්ලාවිට ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ‘උදේනි අතුකෝරළ’ ඇප මත මුදාහරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.
අල්ලස් කොමිසම විසින් සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

ඉන් අනතුරුව සැකකරු රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප 05 ක් මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී නියෝග කළා.
ඊට අමතරව සැකකරුගේ විදේශ ගමන් තහනම් කිරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරිය ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාරදිය යුතු බවටත් නියෝග කළා.
අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් වසර 2018 සහ 2022 කාලසීමාව තුළ මෙම සැකකරු වළල්ලාවිට ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළ අතර ඉඩම් කට්ටිකර විකුණන ව්‍යාපාරිකයෙකුගෙන් සැලසුම් අනුමත කිරීම සඳහා රුපියල් ලක්ෂ හැටකට (60,00,000) ආසන්න මුදලක් අල්ලස් වශයෙන් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඉදිරිපත් වූ පැමිණිල්ලකට අදාළව අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන බව සඳහන් කළා.
මෙම සැකකරු අදාල අනුමැතිය ලබාදීම සඳහා එක් අවස්ථාවකදී රුපියල් ලක්ෂ 25 ක මුදලක්ද තවත් අවස්ථාවකදී රුපියල් ලක්ෂ 20 ක මුදලක් ද අල්ලස් වශයෙන් ලබාගෙන ඇති බවත් පැවසුවා.
තවත් අවස්ථාවක තම නිවසේ මිදුලේ ගල් ඇතිරීම සඳහා අල්ලස් වශයෙන් රුපියල් දොළොස් ලක්ෂ පනස් දහසක (12,50,000) මුදලක් ලබාගෙන ඇති බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇතැයි ද එම නිලධාරින් පෙන්වා දුන්නා.
එම වකවානුවේ ජීවිතයට පවතින බිය නිසා පැමිල්ලකරු මෙම පැමිණිල්ල ඉදිරිපත් නොකළ බවත් අල්ලස් කොමිසමේ නිලධාරීන් මහේස්ත්‍රාත්වරිය නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සඳහන් කළා.
විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් තම සේවාදායකයා ඇපමත මුදාහරිණ ලෙස ඉල්ලා සිටියා.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය අනතුරුව ඇප නියෝගය ප්‍රකාශයට පත් කළා.
පැමිණිල්ල නැවත ජූලි මස 18 වනදා කැඳවීමටද නියම වුණා ෴
කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප නියම කළ වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති උදේනි අතුකෝරළ, ඇප කොන්දේසි සපුරාලීමට අපොහොසත් වීම හේතුවෙන් නැවත රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා ෴
45,000කට විශ්වවිද්‍යාල වරම්
(09.05.2025 – 07:44 +0530 – hirunews.lk/sinhala)
මෙවර උසස් පෙළ විභාග ප්‍රතිඵලවලට අනුව අවම වශයෙන් සරසවි වරම් හිමිකරගත් සිසුන්ගෙන් 45,000 කට ආසන්න පිරිසකට පමණක් විශ්ව විද්‍යාල වෙත ඇතුළත් වීමේ අවස්ථාව හිමි වෙන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොම්ෂන් සභාව පවසනවා.
සිසුන් 177,588 ක් මෙවර ප්‍රතිඵලට අනුව විශ්ව විද්‍යාලය සදහා ඇතුළත් වීමට අවශ්‍ය මූලික සුදුසුකම් ලැබූ අතර ඉතිරි සිසුන්ට රජයේ සහ පෞද්ගලික අනෙකුත් උසස් අධ්‍යාපන ආයතනවලට යොමු වීමේ අවස්ථාව ඇති බවයි එම කොමිෂන් සභාවේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.
එම ප්‍රමාණය 132,000 ක් පමණ වන බව ද ඔහු කියා සිටියා.
මෙවර 9457 දෙනෙකු විෂයන් තුනටම (3) විෂයන් තුනටම විශිෂ්ඨ සම්මාන ලබා ගෙන ඇති අතර විෂයන් 3 ම අසමත් සංඛ්‍යාව 29,244 ක් ෴
+++
විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම්පත් භාර ගැනීම අද (09) සිට
(09.05.2025 – 14:06 +0530 – hirunews.lk/sinhala)
උසස් පෙළ විභාග ප්‍රතිඵල මත විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම්පත් අද (09) සිට මැයි 30 වන දින මධ්‍යම රාත්‍රී 12 දක්වා මාර්ගගතව ඉදිරිපත් කළ හැකි බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව පවසනවා.
ඒ අනුව https://www.ugc.ac.lk/ වෙබ් අඩවියට පිවිසීමෙන් අදාළ අයදුම්පත් ඉදිරිපත් කළ හැකි බවයි එම කොමිෂන් සභාව පවසන්නේ ෴
වෙසක් නිවාඩුවට විශේෂ දුම්රිය සේවාවක්
(09.05.2025 – 09:16 +0530 – hirunews.lk/sinhala)
වෙසක් උත්සවය සහ දීර්ඝ සති අන්ත නිවාඩුව හේතුවෙන් විශේෂ දුම්රිය කිහිපයක් යෙදවීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව, අද (09) සිට 13 වැනිදා දක්වා මෙය ක්‍රියාත්මක බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
කොටුව සිට බදුල්ල දක්වාත් බදුල්ලේ සිට කොටුව දක්වාත් මෙය ක්‍රියාත්මක වනු ඇති.
මීට අමතරව 09, 12 සහ 13 යන දිනවල කොළඹ – කොටුවේ සිට කන්කසන්තුරේ දක්වා ද විශේෂ දුම්රිය සේවාවක් යොදවා ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ෴
රුපියල් දෙකෝටි අටලක්ෂයක කොල්ලයේ සැකකරුවෙකු අල්ලයි
(09.05.2025 – 10:40 +0530 – hirunews.lk/sinhala)
රුපියල් 2,08,40,000 ක් වටිනා මුදල් සහ රන් භාණ්ඩ කොල්ලකෑමේ සිද්ධියේ සැකකරුවෙකු බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පසුගිය 03 වනදා සපුගස්කන්ද හෙයියන්තුඩුව ප්‍රදේශයේදී ව්‍යාපාරිකයෙකුගේ නිවසට ඇතුලු වී අවිපෙන්වා බිය ගන්වා මෙම කොල්ලය සිදු කර තිබුණා.
එම ව්‍යාපාරිකයාට විටින් විට දුරකතන ඇමතුම් දී තර්ජනය කර ඇති බවයි පොලිසිය පැවසුවේ.
ඊයේ (08) කිරිඳිවැල – රඳාවාන, මාහේන හන්දිය ප්‍රදේශයේදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 61 ක් හැවිරිදි කලගෙඩිහේන ප්‍රදේශයේ පදිංචිකරුවෙක් ෴
අපනයනකරුවන් SVAT ඉවත් කිරීම ගැන විරෝධය පළ කරයි
(09.05.2025 – 11:06 +0530 – hirunews.lk/sinhala)
‘සරල වටිනාකම් එකතු බදු ක්‍රමය’ (SVAT) ඔක්තෝබර් 2025 වන විට අහෝසි කිරීම සඳහා රජය ගෙන ඇති තීරණය ශ්‍රී ලංකාවේ අපනයනකරුවන්ට දරාගත නොහැකි බව ‘ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලය’ පවසනවා.
එම මණ්ඩලය ඊයේ (08) නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ අපනයන ක්ෂේත්‍රය දැනටමත් දැඩි ආර්ථික පීඩනයක් යටතේ පවතින අවස්ථාවක, ‘සරල වටිනාකම් එකතු බදු ක්‍රමය’ අහෝසි කිරීම සඳහා රජය ගෙන ඇති තීරණය ප්‍රමාද කරන ලෙසයි.
NCE සභාපති ‘ඉන්ද්‍ර කෞශල් රාජපක්ෂ’ සඳහන් කළේ, ‘නිකුත්කරුවන්ට අඛණ්ඩ ආරක්ෂාවක් අවශ්‍ය නොවෙයි, නමුත් වත්මන් දුෂ්කර ආර්ථික තත්ත්වය මත මෙම සංශෝධනයක් කල්දැමිය යුතු බව’යි.
දැනටමත් ඉන්ධන, ප්‍රවාහන හා දේශීය මිල ඉහළ යාමෙන් අපනයන ව්‍යාපාර සීරුවෙන්ම පීඩනයට ලක්වී තිබෙන අතර මෙවැනි වේලාවක විදේශ විනිමය උපයා දෙන මූලික ක්ෂේත්‍රයකට බාධා කිරීම වටින දෙයක් නොවන බවයි සභාපතිවරයා පවසා සිටියේ ෴
ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා ඇමරිකානු තීරුබදු මගින් ඊ-වාණිජ්‍ය භාණ්ඩ මංතීරුවක් විවෘත කෙරේ
(09.05.2025 – 11:58 +0530 – hirunews.lk/sinhala)
ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය වන ශ්‍රී ලංකන් ගුවන් සේවයට ඊ-වාණිජ්‍ය වෙබ් අඩවි පාරිභෝගික ඉලෙක්ට්‍රොනික භාණ්ඩ ප්‍රවාහනය කිරීමේ අවස්ථාවක් ලැබී ඇති බව ශ්‍රී ලංකන් ගුවන් සේවයේ භාණ්ඩ ප්‍රවාහන ප්‍රධානී චමින්ද පෙරේරා පවසනවා.
ඔහු මේ පිළිබඳව පවසා සිටියේ ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමයෙන් (IATA) වාහකයාගේ CEIV ලිතියම් බැටරි සහතිකය විවෘත කිරීම සඳහා පැවති මාධ්‍ය හමුවකදීයි.
එම භාණ්ඩ සිංගප්පූරුව හරහා හෝ හොංකොං හරහා ඕස්ට්‍රේලියාව, ඉන්දියාව හෝ මැදපෙරදිග වෙත ගමන් කරන්නේ නම්, අපට එහි විශාල අවස්ථාවක් තිබෙන බවයි ඔහු පවසා සිටියේ.
සාමාන්‍යයෙන් ‘තෙමූ, අලිබබා සහ අලි එක්ස්ප්‍රස්’ වැනි වෙබ් අඩවිවල මාර්ගගත මිලදී ගැනීම් ගුවන් භාණ්ඩ ප්‍රවාහනය හරහා සිදු කෙරේ. “දැනට ගුවන් භාණ්ඩ ප්‍රවාහනයේ වැඩිපුරම කතාබහට ලක්වන අංශය ‘ඊ-වාණිජ්‍යය’ යි. එය 20% ක වේගයකින් වර්ධනය වන අතර ඉදිරි වසර පහ (5) තුළ එය වසරකට 9% කින් වර්ධනය වනු ඇතැයි පුරෝකථනය කර ඇත” යනුවෙනුයි ඔහු වැඩිදුරටත් සඳහන්කර සිටියේ.
චීනයේ ඊ-වාණිජ්‍ය වෙළඳපොළ ලොව විශාලතම වන අතර, 2024 දී එහි වටිනාකම ආසන්න වශයෙන් ඩොලර් ට්‍රිලියන 3.5 ක් වන අතර, 2027 වන විට එය ඩොලර් ට්‍රිලියන 4 දක්වා ළඟා වනු ඇතැයි පුරෝකථනය කර තිබෙනවා.
එය ගෝලීය වශයෙන් විශාලතම මාර්ගගත සිල්ලර වෙළඳපොළ වන අතර, එය සියලුම ගෝලීය ඊ-වාණිජ්‍ය ගනුදෙනු වලින් අඩකට ආසන්න ප්‍රමාණයක් ෴
බංගලාදේශ ජාතිකයන් 34 දෙනෙකු ආගමන විගමන දෙපාර්තමේන්තුව භාරයට
(09.05.2025 – 12:35 +0530 – hirunews.lk/sinhala)
වීසා කාලය ඉක්මවා, නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි බංගලාදේශ ජාතිකයන් 34 දෙනෙකු ආගමන විගමන දෙපාර්තමේන්තු විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ ඊයේ (08) සීදුව ප්‍රදේශයේ නවාතැන්පොළක රැදී සිටියදීයි.
අවුරුදු 19 ත් 54 ත් අතර වයසේ පසුවන මොවුන්, වැලිසර ආගමන විගමන දෙපාර්තමේන්තුවට අයත් රැදවුම් මධ්‍යස්ථානය වෙත යොමු කර තිබෙනවා.
මෙම පිරිස කඩිනමින් බංගලදේශය වෙත පිටුවහල් කිරීමට කටයුතු කරන බවයි ආගමන විගමන දෙපාර්තමේන්තුව සදහන් කළේ ෴
කොට්ටාවේ වෙඩි වැදී මියගිය පුද්ගලයා ගැන තවත් කරුණු රැසක් හෙලිවෙයි
(09.05.2025 – 13:13 +0530 – hirunews.lk/sinhala)
කොට්ටාව මාලපල්ල ප්‍රදේශයේදී වෙඩිතබා ඝාතනය කළ පුද්ගලයා කළුතර – එතනමඩල ප්‍රදේශයේදී පාතාල නායක ‘සමයං’ ඇතුළු පිරිස ඝාතනය කිරිමේ සිද්ධියේ අටවන (8) විත්තිකරු බවට අනාවරණය වී තිබෙනවා.
මීට අමතරව උඩවලව ප්‍රදේශයේදී පුද්ගලයන් හතර දෙනෙකු (4) ඝාතනය කිරිම සම්බන්ධයෙන් ද මොහුට චෝදනා එල්ල වී ඇති බවයි පොලිසිය කියා සිටියේ.
ඊයේ (08) රාත්‍රි 08:00 ට පමණ කොට්ටාව – මාලපල්ල – පංසල පාර ප්‍රදේශයේදී යතුරු පැදියකින් යමින් සිටියදී එල්ල වූ වෙඩි ප්‍රහාරයෙන් මිය ගිය මෙම පුද්ගලයා, ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි අයෙක් ෴
ඩෑන්ගේ ඝාතනයට අදාල සැකකරුවන් දෙදෙනෙකුව (2) සාක්ෂිකරුවන් විසින් හඳුනාගනී
(09.05.2025 – 13:58 +0530 – hirunews.lk/sinhala)
ඩෑන් ප්‍රියසාද් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි සැකකරුවන් දෙදෙනෙකු (2) අද (09) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති හඳුනාගැනීමේ පෙරට්ටුවකදී සාක්ෂිකරුවන් විසින් හඳුනා ගත්තා.
කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවලගේ නියෝගයකට අනුව මෙම පෙරෙට්ටුව අද (09) පැවැත්වුණා.
එහිදී සාක්ෂිකරුවන් තුන්දෙනෙකු (3) විසින් මෙම සැකකරුවන් දෙදෙනා (2) හඳුනාගත් බව අධිකරණයට දැනුම් දෙනු ලැබුවා.
ඉන් අනතුරුව සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම විමර්ශනය වැරදි පාරක යන බව සඳහන් කර සිටියා.
අත්අඩංගුවේ පසුවන සැකකරුවන් දෙදෙනාම (2) මෙම සිද්ධියට කිසිසේත්ම සම්බන්ධ නොමැති බවත් නියම වෙඩික්කරුවන් නිදැල්ලේ සිටින බවත් ඔහු පැවසුවා.
මෙම හඳුනා ගැනීමේ පෙරෙට්ටුව සඳහා ඉදිරිපත් කළ සාක්ෂිකරුවන් දෙදෙනෙකු (2) දෙවන (2) සැකකරුගේ ඥාතීන් බව සඳහන් කළ නීතිඥවරයා සැකකරුවෝ හොඳින් හඳුනන ඥාතීන් දෙදෙනෙකු (2) ඔහු හඳුනා ගැනීම සඳහා පෙරට්ටුවකට ඉදිරිපත් කිරීම නීත්‍යානුකූල නොවන බවත් පැවසුවා.
එහෙත් විමර්ශන සිදු කරන බස්නාහිර පළාත් දකුණ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරියා අධිකරණය හමුව සඳහන් කළේ, සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව සහ සීසීටීවී දර්ශන වලින් අනාවරණය කරගත් තොරතුරු මත මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි.
සිද්ධියට සම්බන්ධ විමර්ශන තවදුරටත් සිදු කෙරෙන බවත් එම නිලධාරියා සඳහන් කර සිටියා.
ඉන් අනතුරුව අදාල සැකකරුවන් ලබන 23 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටද නියම කළා ෴
ජනාධිපති කාර්යාලයේ අධි සුඛෝපභෝගී වාහන වෙන්දේසියේ දෙවන (2) අදියර ඇරඹේ
(09.05.2025 – 14:56 +0530 – hirunews.lk/sinhala)
ජනාධිපති කාර්යාලයේ සුඛෝපභෝගී වාහන සහ භාවිතයෙන් ඉවත් කර ඇති වාහන 27 ක් විකිණීම සඳහා දෙවැනි (2) අදියර යටතේ මිල ගණන් කැඳවා තිබෙනවා.
විකිණීමට නියමිත වාහන 1991 සිට 2016 දක්වා වූ විවිධ වර්ෂවල නිෂ්පාදිත වාහන ඇතුළත් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
මෙම වාහන අතර,
බී.එම්.ඩබ්ලිව්. මෝටර් රථ 02 ක්, ෆෝර්ඩ් එවරස්ට් ජීප් රථ 02 ක්, හුන්ඩායි ටෙරකන් ජීප් රථ 01 ක්, ලෑන්ඩ් රෝවර් ජීප් රථ 02 ක්, මිට්සුබිෂි මොන්ටේරෝ රථ 01 ක්, නිසාන් පෙට්‍රල් රථ 03 ක්, | නිසාන් මෝටර් කාර් 02 ක්, පෝර්ෂ් (Porsche) කේයින් මෝටර් රථ 01 ක්, ස්සෑන් යං රෙක්ස්ටන් ජීප් රථ 05 ක්, ලෑන්ඩ් කෘසර් සහරා ජීප් රථ 01 ක්, V8 රථ 06 ක්, සහ මිට්සුබිෂි රෝසා A/C බස් රථ 01 ක් |
ඇතුලත්.
මීට අදාළ ටෙන්ඩර් පත්‍රිකා මැයි 14 වැනිදා දක්වා කාර්යාල දිනයන්හිදී පෙරවරු 09:00 සිට පස්වරු 03:00 දක්වා ජනාධිපති කාර්යාලයේ, සෙමා ගොඩනැගිල්ලේ, 2 වන මහලේ පිහිටි මූල්‍ය අංශයෙන් ලබා ගත හැකි බවයි ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ.
එමෙන්ම මැයි 14 වැනිදා දක්වා අංක 93, ජාවත්ත පාරේ පිහිටි සළුසල ආයතන පරිශ්‍රයේදී එම වාහන පරීක්ෂා කිරීමට ද අවස්ථා සලසා තිබෙනවා.
ජනාධිපති කාර්යාලයේ අධි සුඛෝපභෝගී වාහන වෙන්දේසියේ පළමු (1) අදියර යටතේ මීට පෙර සුඛෝපභෝගී වාහන 14 ක්, භාවිතයෙන් ඉවත් කරන ලද වාහන 6 ක් සහ වාහන අමතර කොටස් අලෙවි කිරීමට අදාළ වෙන්දේසියක් පවත්වනු ලැබුවා.
රජයේ වියදම් කපා හැරීම සහ මූල්‍ය වගවීම ප්‍රවර්ධනය කිරීම අරමුණු කර ගනිමින් මෙම වාහන විකිණීමට තීරණය කර ඇති අතර, පෙර වෙන්දේසියේදී ඩිෆෙන්ඩර් ජීප් රථ 09 ක් ඇතුළු විවිධ වර්ගයේ වාහන 15 ක් විකුණා ඇති බවද සඳහන්.
මෙම වාහන ජනාධිපති ලේකම් කාර්යාලයේ නිත්‍ය කාර්ය මණ්ඩල වෙත ලබා දී තිබූ වාහන නොවන අතර, හිටපු ජනාධිපතිවරයා විසින් සිය ධුර කාලයේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41(1) වගන්තිය යටතේ පත් කරන ලද උපදේශකවරුන් සහ කාර්ය මණ්ඩලය විසින් භාවිතා කළ වාහනයි ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴