රුපියල් 8,058,814 කට අධික රජයේ මුදල් වංචාකලැයි හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල බන්ධනාගාරගත කරයි

රුපියල් 8,058,814 කට අධික රජයේ මුදල් වංචාකලැයි හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල බන්ධනාගාරගත කරයි


රුපියල් 8,058,814 කට අධික රජයේ මුදල් වංචාකලැයි හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල බන්ධනාගාරගත කරයි

(07.05.2025 – 17:48 +0530 – hirunews.lk/sinhala)

‘අල්ලස් කොමිසම’ විසින් ‘දූෂණය’ නැමැති වරද සිදු කළේ යැයි සැකපිට පැමිණිලි තුනකට (3) අදාළව අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ලබන 20 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය නියෝග කළා.

‘අල්ලස් කොමිසම’ විසින් අත්අඩංගුවට ගත් මෙම සැකකාර හිටපු අමාත්‍යවරයා අද (07) සවස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළා.

අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම 2021 වසරේ සිට 2023 වසර දක්වා කාලසීමාව තුළ මෙම සැකකරු ‘ජන මාධ්‍ය, සෞඛ්‍ය හා පාරිසරික අමාත්‍යවරයා’ වශයෙන් කටයුතු කර තිබෙන බව සඳහන් කළා.

එම අවස්ථාවේදී තම පෞද්ගලික කාර්ය මණ්ඩලයේ සේවය කළ ‘මෝදිත රත්නායක’ සහ ‘සුමිත් යසරත්න’ යන පුද්ගලයින් දෙදෙනාට (2) ‘පිළිමතලාව ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික බැංකුවක’ ගිණුමක් විවෘත කරන ලෙස මෙම සැකකරු විසින් උපදෙස් ලබා දී ඇති බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇතැයි එම නිලධාරීන් පැවසුවා.

පසුව පුද්ගලයින් පස්දෙනෙකු (5) ගේ නම් නාමිකව සිය පුද්ගලික කාර්ය මණ්ඩලයට ඇතුළත් කර ඔවුන්ට ලැබෙන වැටුප්, දීමනා හා අතිකාල දීමනා මෙම සැකකරුගේ උපදෙස් මත පිළිමතලාව ප්‍රදේශයේ අදාළ පෞද්ගලික බැංකුවේ විවෘත කරන ලද ගිණුමට යොමු කර ඇති බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී තිබෙනවා.

පසුව ‘මහනුවර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් 15 දෙනෙකු’ ගේ ගිණුම් වලට මුදල් ප්‍රේක්ෂණය කරන ලෙස මෙම සැකකරුගේ උපදෙස් මත පිළිමතලාව බැංකු ශාඛාවට ස්ථාවර නියෝග ලබාදී ඇති බවත් ‘අල්ලස් කොමිසමේ නිලධාරීන්’ පැවසුවා.

මෙසේ මුදල් ලබාගත් මහනුවර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් ‘සැකකරුගේ ආධාරකරුවන් මෙන්ම හිතවතුන්’ බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇතැයි සඳහන් කළ ‘අල්ලස් කොමිසමේ නිලධාරීන්’ මේ ආකාරයෙන් අදාළ ගිණුමේ මුදල් ලබාගෙන මෙම සැකකරු සිය ජල බිල්පත් හා විදුලි බිල්පත් ගෙවා ඇති බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇතැයි ද සඳහන් කර සිටියා.

මෙසේ හිටපු අමාත්‍යවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයට නාමිකව ඇතුළත් කරන ලද පුද්ගලයින් පස්දෙනා (5) කැඳවා ප්‍රශ්න කළ බවත්, සැකකරු අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ තමන් එවැනි රැකියාවක් කර නොමැති බව ප්‍රකාශ කළ අතර, එවැන්නක් තමන් දැන ගත්තේ ‘අල්ලස් කොමිසම’ විසින් කැඳවා ප්‍රශ්න කළ අවස්ථාවේදී බව එම පුද්ගලයින් විසින් ප්‍රකාශ ලබාදෙමින් සඳහන් කළ බවද එම නිලධාරීන් සඳහන් කළා.

මෙම ක්‍රියාව තුළින් සැකකාර හිටපු අමාත්‍යවරයා රුපියල් 8,058,814 කට අධික මුදලක් රජයට පාඩු සිදු කරමින් ‘දූෂණය’ නැමැති වරද සිදුකර ඇතැයි සඳහන් කළ ‘අල්ලස් කොමිසමේ නිලධාරීන්’ මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු අවසන් කර නොමැති හෙයින් සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ඉල්ලීමක් කලා.

සැකකාර හිටපු අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම පෞද්ගලික කාර්ය මණ්ඩලය සඳහා සේවකයින් බඳවා ගැනීමට අමාත්‍යවරයෙකුට බලය තිබෙන බවත් එසේ බඳවා ගන්නා සේවකයින් අමාත්‍යංශයට වාර්තා කළ යුතු බවට නීතියක් නොමැති බවත් කියා සිටියා.

ඇතැම් පෞද්ගලික කාර්ය මණ්ඩල සේවකයින් අමාත්‍යවරයාගේ දේශපාලන බල ප්‍රදේශයේ සේවයට යොදවන බවත් මෙම සිද්ධියට සම්බන්ධ මුදල් කිසිදු අවස්ථාවක තම සේවාදායකයාගේ ගිණුමට බැර වී නොමැති බවත් ජනාධිපති නීතිඥවරයා පැවසුවා.

එමෙන්ම මෙම මුදල් සැකකරු විසින් ලබාගෙන නොමැති අතර ‘අල්ලස් කොමිසම’ විසින් තම සේවා දායකයා හිරිහැරයට පත් කිරීම සඳහා මෙවැනි නඩු ඉදිරිපත් කරන බවත් ජනාධිපති නීතිඥවරයා චෝදනා කළා.

තම සේවාදායකයා 2015 වසරේ සිට අධිකරණයට පැමිණෙන බවත් කිසිදු අවස්ථාවක ඔහු අධිකරණය මගහැරීම හෝ සාක්ෂිකරුවන්ට තර්ජනය කිරීමක් සිදුකර නොමැති නිසා මෙම සැකකරු ඇපමත මුදා හරින ලෙසත් ජනාධිපති නීතීඥ වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය සැකකරු ලබන 20 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළ අතර එදින විමර්ශන අවසන් කර කරුණු ඉදිරිපත් කරන ලෙසත් අල්ලස් කොමිසමට නියම කළා ෴

+

+


විවෘත වරෙන්තු පිට සිටි, හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න රණවීර අධිකරණයට භාරවෙයි

(07.05.2025 – 10:12 +0530 – hirunews.lk/sinhala)

හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහර මහේස්ත්‍රාත් අධිකරණයට භාර වී තිබෙනවා.

කිරිබත්ගොඩ ප්‍රදේශයේ රජයට අයත් ඉඩමක් ව්‍යාජ ඔස්පු සකස් කර විකිණීමේ සිද්ධියකට අදාළව ඔහුව අත්අඩංගුවට ගැනීමට විවෘත වරෙන්තු නිකුත් කර ඇති පසුබිමකයි ෴

මහර අධිකරණයට භාර වූ හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර ලබන 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

කිරිබත්ගොඩ ප්‍රදේශයේ රජයට අයත් ඉඩමක් කූඨ ලේඛන සකස් කර අලෙවි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී තිබූ අතර මාස දෙකකට (2) අධික කාලයක් සැගව සිටි ඔහු නීතිඥවරයෙකු මාර්ගයෙනුයි අද (07) උදෑසන අධිකරණයට භාර වුණේ.

මෙම සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇතුළු සැකකරුවන් 04 දෙනෙකු ද ලබන 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගතකර සිටිනවා.

+

+


ජ’පුර සරසවියේ, හෝමාගම පිටිපන පිහිටි තාක්ෂණ පීඨයේ සිදුවූ නවකවද සිද්ධියේ සිසුන්ට ඇප

(07.05.2025 – 16:19 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට අනුබද්ධ හෝමාගම පිටිපන පිහිටි තාක්ෂණ පීඨයේ තුන්වන (3) වසරේ ඉගෙනුම ලැබූ සිසුවකුට අමානුෂික ලෙස පහරදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එම විශ්ව විද්‍යාලයේ සිසුන් හත්දෙනෙකු (7) අද (07) ඇපමත මුදා හැරුණා.

ඒ අනුව හෝමාගම මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය නියෝග කළේ, එක් අයෙකු රුපියල් ලක්ෂ තුන (3) බැගින් වූ ශරීර ඇපයක් මත මුදා හරින ලෙසයි.

ලද පැමිණිල්ලක් මත සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ හෝමාගම පොලිසිය විසින්.

එම විශ්වවිද්‍යාලයේ තුන්වන (3) වසරේ ඉගෙනුම ලැබූ මාතර වැලිගම ප්‍රදේශයේ ශිෂ්‍යයෙකුට හෝමාගම පිටිපන ප්‍රදේශයේ නවතැන්පොලක් තුළදී සැකකාර සිසුන් විසින් ඉකුත්දා පහරදීම සිදුකර තිබුණා.

අදාල සිසුවා විශ්ව විද්‍යාලය තුළ නවක වදයට එරෙහිවීම, සවස හයෙන් පසු විශ්ව විද්‍යාලය තුල සැරිසැරීම සහ අන්වර්ථ නමක් භාවිතා නොකිරීම හේතුවෙන් මෙලෙස පහරදී ඇති බවටයි අදාළ පැමිණිල්ලේ සදහන් ව ඇත්තේ ෴


ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් බිලියනයක මූල්‍යාධාරයක්

(07.05.2025 – 20:27 +0530 – hirunews.lk/sinhala)

ලෝක බැංකු සභාපති අජේ බංගාගේ සංචාරයේදී ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් බිලියනයක මූල්‍යාධාරයක් ලබා දීමට පොරොන්දු වී තිබෙනවා.

මෙරටට පැමිණ සිටින ලෝක බැංකු සමූහයේ සභාපති අජේ බංගා (Ajay Banga) මහතා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර හමුවක් අද (07) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු වූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

මෙලෙස ලෝක බැංකු සභාපතිවරයෙක් ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ වසර 20 කට පමණ පසුව වීමද විශේෂත්වයක්.

ශ්‍රී ලංකාවේ ඉදිරි සංවර්ධන අරමුණු ජය ගැනීමට ලෝක බැංකු සමූහයේ සහාය ලබා දිය හැක්කේ කෙසේද යන්න පිළිබඳව මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කර තිබෙනවා.

ඩිජිටල්කරණය, සංචාරක කර්මාන්තය, කෘෂි කර්මාන්තය සහ යටිතල පහසුකම් ක්ෂේත්‍රය ඇතුළු කෙටිකාලීව ප්‍රතිලාභ ලබා ගත හැකි ක්ෂේත්‍ර හඳුනා ගනිමින් එහි ප්‍රවර්ධනයට කටයුතු කිරීම මෙන්ම උතුරු නැගෙනහිර සංවර්ධනය පිළිබඳවද මෙහිදී විශේෂ අවධානය යොමු වී තිබෙනවා.

නව ආයෝජන මෙරටට ආකර්ෂණය කර ගැනීම සඳහා අවශ්‍ය නෛතික රාමුව සකස් කිරීමට මේ වන විට ශ්‍රී ලංකා රජය ගෙන ඇති පියවර සහ ඒ වෙනුවෙන් වූ රජයේ ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළ පිළිබඳවද මෙහිදී සාකච්ඡා වූ බවද ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා ෴


පාසල් දැරිය හා මව බිය ගැන්වූ සැකකරු කොටුවෙයි

(07.05.2025 – 18:46 +0530 – sinhala.adaderana.lk)

මෝටර් රථයකට අනවසරයෙන් ඇතුළු වී වයස අවුරුදු 08 ක දැරියක් හා දැරියගේ මව බියට පත් කරන ලද සැකකරුවෙකු කුරුඳුවත්ත පොලීසිය විසින් අද (07) අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ සැකකරු ඉකුත් 02 වනදා කුරුඳුවත්ත, මල්පාර ප්‍රදේශයේදී මෝටර් රථයකට අයුතු ලෙස ඇතුළු වී එහි සිටි වයස අවුරුදු 08 ක දැරියක් තල්ලු කරමින් තර්ජනය කර තිබුණි.

ඒ සම්බන්ධයෙන් ලද පැමිණිල්ල අනුව කුරුඳුවත්ත පොලීසිය විසින් සිදුකළ විමර්ශනයට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

අදාළ සැකකරු පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් කොළොන්නාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

ඔහු වයස අවුරුදු 36 ක් වන කොළොන්නාව, වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව පොලීසිය පවසයි.

දැරියගේ මව තම දැරිය පාසල නිමවීමෙන් පසුව නිවසට රැගෙන යාම සඳහා මෝටර් රථයෙන් පැමිණ, දියණිය පිටුපස අසුනෙහි වාඩි කර මෝටර් රථයට පිටුපසින් ගොස් රියදුරු අසුනෙහි වාඩි වන අවස්ථාවේදී, පසුපස ආසනයේ සිටි මෙම අත්අඩංගුවට ගත් පුද්ගලයා තම දැරියවද තල්ලු කර තර්ජනය කරමින් බියට පත් කර ඇති බව සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත.

එම අවස්ථාවේදී දැරියගේ මව දැරියද රැගෙන කාර් රථයෙන් පිටතට පැමිණ කෑ ගසා උදව් ඉල්ලා තිබේ.

එම අවස්ථාවේදී සැකකරු පලා ගොස් සිට ඇති අතර, පෞද්ගලික කුලී රථ සේවයක මෝටර් රථයක් උපයෝගී කරගෙන පිටව ගොස් ඇත.

කෙසේ නමුත් එම තොරතුරු අනාවරණය කර ගැනීමෙන් පසු ඒ ඔස්සේ දීර්ඝ විමර්ශනයක් සිදුකර මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබේ ෴

+

+


දන්සැල් සංවිධායකයන්ට මාර්ගෝපදේශ මාලාවක්

(07.05.2025 – 21:36 +0530 – sinhala.adaderana.lk)

එළඹෙන වෙසක් සහ පොසොන් උත්සවය වෙනුවෙන් පවත්වනු ලබන දන්සැල් සඳහා ‘සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය’ විසින් පොදු උපදෙස් මාලාවක් නිකුත් කර තිබේ.

දන්සල් යනු ශ්‍රී ලංකාවේ ඉතා වටිනා සම්ප්‍රදායකි. විශේෂයෙන් වෙසක්, පොසොන් සහ අනෙකුත් ආගමික හා සංස්කෘතික උත්සව වලදී දන්සල් දක්නට ලැබේ.

නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය පැවසුවේ මේ දිනවල බොහෝ අය නොමසුරුව සියලු පුද්ගලයන්ට නොමිලේ ආහාර පාන පිරිනැමීම සඳහා දන්සල් කුටි ඉදිකරමින් සිටින බවය.

මෙම ප්‍රජා සේවය පුළුල් ලෙස අගය කරනු ලැබුවද, එය මහජන සෞඛ්‍ය අභියෝග ද ඇති කිරීමට ද හේතු විය හැකි බව සඳහන් වේ.

එබැවින් දන්සල් ක්‍රියාත්මක කිරීම ආහාර මගින් බෝවන රෝග ඇතිවීමේ අවදානම සමඟ සම්බන්ධ වී ඇති අතර, ප්‍රධාන වශයෙන් නුසුදුසු ආහාර සැකසීමේ ක්‍රම, නුසුදුසු ගබඩා කිරීම සහ සනීපාරක්ෂක පිළිවෙත් නොමැතිකම ඒ සඳහා හේතු විය හැකිය.

වාර්තා වන රෝගීන් සංඛ්‍යාව වැඩිවීම නිසා, නිසි ආහාර සනීපාරක්ෂක පිළිවෙත් සහතික කිරීම මහජන සෞඛ්‍යය ආරක්ෂා කිරීම සඳහා අත්‍යවශ්‍ය බව පෙන්වා දී ඇත.

එබැවින් දන්සලක් සංවිධානය කිරීමේදී පහත මාර්ගෝපදේශ දැඩි ලෙස අනුගමනය කළ යුතුය බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් දැනුම් දී තිබේ.

+++

+


+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *