සබරගමු සරසවි සිසුවාගේ සිද්ධිය ගැන සාක්ෂි දෙන්න සිසුන් පිරිසක් පොලිසියට

සබරගමු සරසවි සිසුවාගේ සිද්ධිය ගැන සාක්ෂි දෙන්න සිසුන් පිරිසක් පොලිසියට


සබරගමු සරසවි සිසුවාගේ සිද්ධිය ගැන සාක්ෂි දෙන්න සිසුන් පිරිසක් පොලිසියට

(02.05.2025 – 14:08 +0530 – hirunews.lk/sinhala)

සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ දෙවැනි (2) වසර සිසුවෙක් ගෙළ වැළ ලාගෙන සිය දිවි නසා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සරසවි සිසුන් 5 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.

ඒ සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් සමනළ වැව පොලිසියට කර ඇති පැමිණිල්ලක් අනුවයි.

එලෙස චෝදනා එල්ලවන ප්‍රධාන සැකකාර සරසවි සිසුවා ඇතුලු සරසවි සිසුන් 16 දෙනෙකුට අද (02) පොලිසිය හමුවේ පෙනී සිටින ලෙස දැනුම්දුන් බවයි පොලිසිය සඳහන් කළේ.

පුස්සැල්ලාව ඉහළගම ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි ‘චරිත් දිල්ශාන්’ නමැති මෙම තරුණයා සියදිවි නසාගෙන තිබුණේ පසුගිය 29 වැනිදා රාත්‍රියේ දීයි.

සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ දෙවැනි (2) වසරේ ඉගෙනුම ලැබූ චරිත්, මෙලෙස සියදිවි නසා ගැනීමට හේතුව ඔහු මුහුණ දුන් නවක වදය බවට සැකයක් ඇතැයි පවසමින් එම සරසවියේම සිසුන් පිරිසක් සමනළ වැව පොලිසියට පැමිණිල්ලක් ද කර තිබුණා.

එමෙන් මියගිය සිසුවාගේ ඥාතීන්ද සිද්ධිය සම්බන්ධයෙන් පුස්සැල්ලාව පොලිසියට පැමිණිලි කර තිබු අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා සඳහන් කළේ එම පැමිණිලි සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශණ ආරම්භ කළ බවයි ඒ අනුව සමනල වැව පොලිසියට කළ පැමිණිල්ල යටතේ සරසවි සිසුන් 5 දෙනෙකුගෙන් මේ වන විට ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.

නවක වද සිද්ධියක් මුල්කරගනිමින් අදාළ සිසුවා මිය ගිය බවට චෝදනා එල්ලවන අතර එම ප්‍රධාන සැකකාර සරසවි සිසුවා ඇතුළු සිසුන් 16 දෙනෙකුට ද සමනලවැව පොලිසිය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇති අතර, ඔවුන් අද (02) දිනයේ පොලිසිය හමුවේ පෙනී සිටීමට නියමිතයි.

මේ අතර, සබරගමු විශ්වවිද්‍යාලයේ සිදුවූ බව පැවසෙන මෙම ඛේදජනක සිදුවීම පිළිබඳව විශ්වවිද්‍යාල ආචාර්ය සමිකති සම්මේලන සිය අප්‍රසාදය පළ කරමින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මෙවැනි ක්‍රියා මානුෂීය ගරුත්වයට හානිකර බවත්, ඒ හරහා රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියට ඇති මහජන විශ්වාසය පළුදුවන බවත් එම නිවේදනයේ සඳහන්.

විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය වැඩිදුරටත් සඳහන් කරන්නේ මිය ගිය සිසුවාට සාධාරණයක් ඉටුවන තෙක් සමස්ථ විශ්වවිද්‍යාල පද්ධතිය වෙනුවෙන් පෙනී සිටින අතර මෙම සිද්ධිය සම්බන්ධව අපක්ෂපාතී පරීක්ෂණයක් කඩිනමින් සිදුකරන ලෙසයි.

+++

සබරගමු සිසුවාගේ මරණය ගැන සොයන්න ත්‍රිපුද්ගල කමිටුවක්

(02.05.2025 – 20:33 +0530 – hirunews.lk/sinhala)

සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ දෙවැනි (2) වසරේ ඉගෙනුම ලබන සිසුවෙකු ගෙළ වැළලාගෙන සිය දිවි නසා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු සොයා බැලීම සඳහා එම විශ්ව විද්‍යාලයේ පාලන අධිකාරිය විසින් ත්‍රිපුද්ගල (3) කමිටුවක් පත්කර තිබෙනවා.

ඒ එහි ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඒ.ඒ.වයි. අමරසිංහගේ සභාපතීත්වයෙන්.

මේ වන විට අදාල සිද්ධිය සම්බන්ධයෙන් එම විශ්වවිද්‍යාලයේම සිසු සිසුවියන් 16 දෙනෙකුගෙන් පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි සටහන් කරගත් බවයි පොලිසිය සදහන් කළේ.

අදාල සිසුවාගේ මරණය සම්බන්ධයෙන් විමර්ෂණ සිදුකිරිම සඳහා ඊයේ (01) උසස් අධ්‍යාපන අමාත්‍යංශය විසින් ද පරීක්ෂණ මණ්ඩලයක් පත්කර තිබූණා.

පුස්සැල්ලාව ඉහළගම ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි ‘චරිත් දිල්ශාන්’ නමැති මෙම තරුණයා සියදිවි නසාගෙන තිබුණේ පසුගිය 29 වැනිදා රාත්‍රියේදීයි.

මිය ගිය ‘චරිත්’ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඊයේ (01) සිදුකෙරුණා.

සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ දෙවැනි (2) වසරේ ඉගෙනුම ලැබූ චරිත්, මෙලෙස සියදිවි නසා ගැනීමට හේතුව ඔහු මුහුණ දුන් නවක වදය බවට සැකයක් ඇතැයි පවසමින් එම සරසවියේම සිසුන් පිරිසක් ද සමනළ වැව පොලිසියට පැමිණිල්ලක් ද කර තිබුණා.

මේ අතර, සබරගමු විශ්වවිද්‍යාලයේ සිදුවූ බව පැවසෙන මෙම ඛේදජනක සිදුවීම පිළිබඳව විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලන සිය අප්‍රසාදය පළ කරනවා ෴


ඡන්දෙට බෙදන්න තිබූ පැදුරු සහ ඇඳ ඇතිරිලි තොගයක් සොයාගනී

(02.05.2025 – 11:39 +0530 – hirunews.lk/sinhala)

2025 පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ඡන්ද දායකයන්ට බෙදා දීම සඳහා මන්නාරම අඩම්පන් ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ පැදුරු සහ ඇඳ ඇතිරිලි තොගයක් සොයාගත් බව අඩම්පන් පොලිසිය පවසනවා.

එහිදී ප්ලාස්ටික් පැදුරු 1400 ක් අඩංගු පාර්සල් 28 ක් සහ ඇඳ ඇතිරිලි 1400 අඩංගු පාර්සල් 14 ක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

මැතිවරණය වෙනුවෙන් ඡන්දදායකයන්ට බෙදා දීම සඳහා ස්වර්ණපූරි ගම්මානයේ පාළු නිවසක භාණ්ඩ තොගයක් සඟවා ඇති බවට පොලිසියට ලද තොරතුරකට අනුව ඊයේ (01) එම නිවස සෝදිසියට ලක් කර තිබෙනවා.

මෙම සියලු දේපළ පොලිසිය බාරයට ගෙන ඇති අතර සිද්ධියේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භ කර ඇති බවයි සඳහන් වෙන්නේ ෴


තුසිත හල්ලොලුව ඇපමත මුදාහරිණ ලෙස අධිකරණයෙන් නියෝගයක්

(02.05.2025 – 12:54 +0530 – hirunews.lk/sinhala)

‘ජාතික ලොතරැයි මණ්ඩලයේ’ ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයා වශයෙන් කටයුතු කළ අවධියේ එම ආයතනයෙන් ලබාගත් රුපියල් 4,70,000 අධික වටිනාකමකින් යුත් ‘පරිගණකයක් හා ජංගම දුරකථනයක්’ සාවද්‍ය ලෙස පරිහරණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අධිකරණයට ඉදිරිපත් වූ ‘තුසිත හල්ලොලුව’ ඇපමත මුදාහරිණ ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (02) නියම කළා.

ඒ අනුව සැකකරු රුපියල් ලක්ෂ දෙක (2) බැගින් වූ ශරීර ඇප දෙකක් (2) මත මුදා හැරීමට නියෝග කළ කොළඹ කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර සැකකරුගේ විදේශ ගමන් තහනම් කරන බවයි නියෝග කර සිටියේ.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් කරුණු දක්වූ ඔහුගේ නීතිඥ අජිත් පතිරණ කියා සිටියේ තම සේවා දායකයා 2017 වසරේ සිට 2019 වසර දක්වා කාලය තුළ ‘ජාතික ලොතරැයි මණ්ඩලයේ’ ක්‍රියාකාරි අධ්‍යක්ෂවරයා වශයෙන් කටයුතු කළ අතර අධ්‍යක්ෂවරුන්ට ලබා දෙන පරිගණකය හා ජංගම දුරකථනය තම සේවා දායකයාටද ලැබුණු බවයි.

පසුව සේවයෙන් ඉවත් වන අවස්ථාවේදී එම පරිගණකය හා ජංගම දුරකථනය වෙනුවෙන් ගෙවිය යුතු ගෙවීම් ලබාදීමට තම සේවා දායකයා ඉදිරිපත් වුණත් එම මුදල ලොතරැයි මණ්ඩලයේ විසින් බාර නොගත් බවයි පවසා සිටියේ.

පසුව තම සේවා දායකයා ඉකුත් ඔක්තෝබර් මස එම ගෙවිය යුතු මුදල් තැපැල් කාර්යාලයෙන් මුදල් ඇනවුමක් මාර්ගයෙන් ගෙවීමට කටයුතු කර ඇති බවත් නීතිඥ පතිරණ පවසා සිටියා.

කොටුව පොලිසිය වෙනුවෙන් පෙනී සිටි ප්‍රධාන පොලිස් පරීක්ෂක දිලීප පෙරේරා අධිකරණයේ කරුණු දක්වමින් කියා සිටියේ මෙම සැකකරු විසින් අදාළ මුදල් ගෙවීම සිදුකර තිබෙන්නේ සිද්ධියට අදාළ පැමිණිල්ල ඉදිරිපත් වීමෙන් පසුව බවයි.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය මෙම සැකකරුට ඇප ප්‍රතික්ෂේප කිරීමට තරම් ප්‍රමාණවත් කරුණු ඉදිරිපත් නොවන හෙයින් ඔහු ඇපමත මුදාහරිණ බව නියෝග කළා.

ඉන් අනතුරුව නඩුව නැවත මැයි මස 30 වන දා කැඳවීමටද නියම කෙරුණා. මෙම සැකකරු අද අධිකරණයට ඉදිරිපත් වුණේ සිය නීතිඥවරු ඉදිරිපත් කළ මෝසමක් මාර්ගයෙන් ෴

තුසිත හල්ලොලුව

අහංගම දී ත්‍රීරෝද රථයක් දුම්රියේ ගැටෙයි

(02.05.2025 – 13:25 +0530 – hirunews.lk/sinhala)

අහංගම – ගොවියාපාන දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රිය හරස් මාර්ගයේදී ත්‍රී රෝද රථයක් දුම්රියේ ගැටී අද (02) පෙරවරුවේ සිදුවූ අනතුරින් එක් (1) අයකු මිය ගොස් තවත් පුද්ගලයෙකු (1) බරපතළ තුවාල ලබා තිබෙනවා.

බෙලිඅත්ත සිට අනුරාධපුරය සහ වවුනියාව බලා ධාවනය වූ ‘රජරට රැජිණ සිඝ්‍රගාමි දුම්රියේ’ ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය සදහන් කළේ.

අනතුරින් ත්‍රී රෝද රථයේ ගමන් කළ 62 හැවිරිදි කාන්තාවක් මියගොස් ඇති අතර, බරපතල තුවාල ලැබූ පුද්ගලයා (1) රෝහල් ගත කර තිබෙනවා ෴

+


‘විදෙස් ගමන් බලපත්‍ර එක්දින සේවය’ දින තුනකට (3) නවතයි

(02.05.2025 – 14:03 +0530 – hirunews.lk/sinhala)

ලබන 05, 06 සහ 07 යන දිනවල විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ පැය 24 පුරා ක්‍රියාත්මක ‘එක්දින සේවාව’ ක්‍රියාත්මක නොවන බව ‘ආගමන – විගමන දෙපාර්තමේන්තුව’ පවසනවා.

එම දෙපාර්තමේන්තුව සදහන් කළේ, පළාත් පාලන මැතිවරණ රාජකාරි හේතුවෙන් මෙලෙස එක්දින සේවාව ක්‍රියාත්මක නොවන බවයි.

මේ අතර, පළාත් පාලන ආයතන ඡන්ද විමසීම හේතුවෙන් ‘කොළඹ කොටස් වෙළඳපොළ’ ගනු දෙනු ලබන 06 වන අඟහරුවාදා දහවල් 12:30 ට අවසන් කිරිමට නියමිතයි ෴


පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ සියලු ප්‍රචාරණ කටයුත හෙට (03) මධ්‍යම රාත්‍රියෙන් අවසන්

(02.05.2025 – 14:42 +0530 – hirunews.lk/sinhala)

ලබන 06 වනදා පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ සියලු‍ ප්‍රචාරක කටයුතු හෙට (03) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතයි.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක කොළඹ අද (02) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කියා සිටියේ, ඉන් අනතුරුව එළැඹෙන නිහඬ කාලයේදී කිසිදු අපේක්ෂකයෙකුට පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව කිසිදු ප්‍රචාරක කටයුත්තක් සිදු කිරීමට අවස්ථාව හිමි නොවන බවයි.

එසේම, පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී ඡන්දය ප්‍රකාශ කළ යුතු ආකාරය සම්බන්ධයෙන්ද සභාපතිවරයා එහිදී පැහැදිළි කළා.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී පෞද්ගලික අංශයේ සේවකයින්ට නිවාඩු නිකුත් කිරීම සම්බන්ධයෙන් වූ චක්‍රලේඛයක්ද මැතිවරණ කොමිසම නිකුත් කර තිබෙනවා.

මේ අතර, පළාත්පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පොලිසිය මේ වන විට අපේක්ෂකයින් 38 දෙනෙකු සහ ආධාරකරුවන් 168 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහිදී පොලිස් භාරයට ගෙන ඇති වාහන සංඛ්‍යාව 36 ක්. ඡන්ද විමසීමට අදාළව අපරාධමය පැමිණිලි 101 ක් මෙන්ම නීති උල්ලංඝනය කිරීමේ පැමිණිලි 388 ක් ද පොලිසියට වාර්තා වී තිබෙනවා.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම වෙනුවෙන් ඡන්ද දායකයින්ට බෙදාදීම සදහා මන්නාරම – අඩම්පන් ප්‍රදේශයේ නිවසක සගවා තිබූ පැදුරු සහ ඇඳ ඇතිරිලි තොගයක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

එහිදී ප්ලාස්ටික් පැදුරු සහ ඇඳ ඇතිරිලි 1400 බැගින් සොයාගත් බවයි පොලිසිය පැවසුවේ.

ඉදිරි පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ පූර්ව මැතිවරණ කාලය සම්බන්ධයෙන් මැතිවරණ නිරීක්ෂකයින්ද අදහස් පළ කළා ෴


‘කුඩු අංජු’ගේ ගෝලයාගේ ඝාතනයට අයෙකු අත්අඩංගුවට

(02.05.2025 – 15:15 +0530 – hirunews.lk/sinhala)

ගල්කිස්ස, හුළුදාගොඩ මාර්ගයේ පාලු ඉඩමක් තුළ ඊයේ (01) වයස අවුරුදු 23 ක පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කිරීමේ අපරාධයට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් සැකකරුවෙකු අද (02) අළුයම් කාලයේ දී ගල්කිස්ස ප්‍රදේශයේදී ගල්කිස්ස පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 52 ක් වන ශාන්ත රීටා පාර, ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ගල්කිස්ස පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා ෴


කොටින් විසින් ගත් සිවිල් වැසියන්ගේ රන් හා රිදී තොගයක් වැඩබලන පොලිස්පතිට භාරදෙයි

(02.05.2025 – 16:30 +0530 – hirunews.lk/sinhala)

යුධ සමයේ දී එල්ටීටීඊ ත්‍රස්තවාදීන් විසින් බලහත්කාරයෙන් අත්පත් කරගෙන තිබූ සිවිල් වැසියන්ට අයත් රන් හා රිදී තොගයක් වැඩබලන පොලිස්පතිවරයා වෙත නිල වශයෙන් භාර දී තිබෙනවා.

ඒ අකුරේගොඩ හමුදා මූලස්ථානයේ දීයි.

එම වකවානුවේ දී එල්ටීටීඊ ත්‍රස්තවාදීන් විසින් බලහත්කාරයෙන් ලබා ගෙන තිබූ එම රන් හා රිදී තොගය යුධ හමුදා භාරයේ පැවතියා ෴

+

+


ශ්‍රී ලාංකික සාත්තු සේවා වෘත්තිකයින්ට ලැබෙන ඊශ්‍රායල් රැකියා ඉහළට

(02.05.2025 – 17:00 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලාංකික සාත්තු සේවා වෘත්තිකයින්ට ලැබෙන ඊශ්‍රායල් රැකියා ඉහළ ගොස් ඇති බව ‘විදේශ සේවා නියුක්ති කාර්යාංශය’ පවසනවා.

එම කාර්යාංශය සදහන් කළේ, පසුගිය මාස 4 තුළදී පමණක් 278 දෙනෙකු ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා සදහා පිටත්ව ගිය බවයි.

ඊශ්‍රායල් රජය හා ශ්‍රි ලංකා රජය අතර ඇති කරගෙන ඇති අවබෝධතා ගිවිසුමක් අනුව මේ වන විට ශ්‍රි ලාංකිකයින් 2,168 දෙනෙකු සඳහා ඊශ්‍රායලයේ සාත්තු සේවා අංශයේ රැකියා අවස්ථා හිමි ව තිබෙනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *