සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුවෙක් සිය දිවි හානිකර ගනී
(01.05.2025 – 13:26 +0530 – hirunews.lk/sinhala)
සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ දෙවැනි (2) වසර සිසුවෙක් සිය නිවසේදී ගෙළ වැළ ලාගෙන සිය දිවි හානිකරගෙන තිබෙනවා.
සිය දිවි නසා ගැනීමට පෙර ඔහු ලියූ ලිපියක දැක්වෙන්නේ මානසික පීඩනය දරා ගැනීමට නොහැකිව මෙම තීරණය ගත් බවයි.
මෙම සිසුවා දිගින් දිගටම සරසවියේදී නවක වදයට ලක් ඇති බවයි ඔහුගේ මව්පියන් පවසන්නේ. පුස්සැල්ලාව ඉහළගම ප්‍රදේශයේ පදිංචි ‘චරිත් දිල්ශාන්’ නමැති මෙම තරුණයා සිය නිවසේදී සිය දිවි නසාගෙන තිබුණේ ඊයේ (30) දිනයේදියි.

සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ දෙවැනි (2) වසරේ ඉගෙනුම ලැබු ඔහු ඊයේ (30) සිය නිවසට පැමිණීමෙන් අනතුරුව මෙලෙස සිය දිවි හානිකරගෙන තිබුණා.
පොලිසිය පැවසුවේ සිය ගෙවත්තේ කුකුල් කූඩුවක බාල්කයක එල්ලී ඔහු සිය දිවි නාසාගෙන තිබු බවයි.
මියගිය චරිත් දරුවන් දෙදෙනෙකු (2) ගෙන් යුත් පවුලේ වැඩිමහල් දරුවා වන අතර, සිය දිවි නසා ගැනීමට පෙර ඔහු ලිපියක් ද ලියා තිබු බවයි පොලිසිය සඳහන් කළේ. ඔහු කිසියම් මානසික පීඩාවකින් සිටි බව එම ලිපියේ දැක්වෙනවා.
“මම ඉගෙන ගන්න ආසයි. දියුණුවෙන්න ආසයි. දෙමාපියන්ට සලකන්න ආසයි. මට දෙමාපියන්ගෙන් කරදරයක් නැහැ. ඒත් මේ මානසික පීඩනය මට දරාගන්න අමාරුයි. ඒ නිසා මේ තීරණය මම ගන්නවා. මේකට කවුරුත් වගකියන්න ඕන නැහැ.”
පේරාදෙණිය මධ්‍ය විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබු චරිත් වැඩිදුර අධ්‍යාපනය සඳහා සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයට ඇතුළත් වී තිබුණා. විශ්වවිද්‍යාල ආරංචි මාර්ගවල දැක්වුණේ ඔහු අවස්ථා කිහිපයකදීම විශ්වවිද්‍යාලය තුළදී නවක වදයට ගොදුරු වූ බවයි.
ඊට ආසන්නතම සිදුවීම පසුගියදා එම විශ්වවිද්‍යාලයේ බක්මහ උළෙල පැවැති දිනට පෙර දින සිදුවූ බවද විශ්වවිද්‍යාල අභ්‍යන්තර තොරතුරුවලින් දැක්වෙනවා.
කොට කලිසමක් ඇඳ විශ්වවිද්‍යාලය තුළ සිටීම නිසා චරිත් නවක වදයට ලක්ව ඇති බවටයි එම තොරතුරුවල දැක්වුණේ.
එම විශ්වවිද්‍යාලයේම ඉගෙනුම ලබන සිසුවියක් චරිත්ගේ සිය දිවි නසා ගැනීමෙන් අනතුරුව ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ මෙවැනි සටහනක් පළ කර තිබුණා.
‘මම ඉගෙන ගන්නේ මේ කැම්පස් එකේ. ඇතුළේ ඉන්න ෆස්ට් ඉයර්, සෙකන්ඩ් ඉයර් කොල්ලන්ගෙන් අහලා බලන්න මොනවද වෙන්නේ කියලා. උඩ බැච්වලින් අහලා වැඩක් නැහැ. හොඳට හොයලා බලන්න. හැම ෆැකල්ටියකම සෙකන්ඩ් ඉයර් බැච් එකේ වුණත් බහුතරයක් බෝඩිම් ගියේ ඇතුළේ නිදහසේ ඉන්න බැරි නිසා. මහ රෑ දැනුවත් කිරීම්, මීටින් අරවා මේවා දාලා උන් ආතල් ගන්නවා. මේ කොල්ලට හොඳටම රැග් එක දුන්නේ මෙහේ අවුරුදු උත්සවයට කලින් දවසේ රෑ. ඒ රැග් කරේ ෂෝටක් ඇඳන් කාමරේකින් කාමරේකට මාරු වුණා කියලා. අපි හැමෝවම ගෙන්වලා ෆ්ලෝ එකේ හාවෝ පැන්නුවා. ඌව වෙනම අරන් ඌට හෙණ වදයක් දීලා. ඌට හෙණ වදයක් දීලා තියෙන්නේ බාගෙට ඇඳුම් ගලව ගලවා. පහුවදා අවුරුදු උත්සවය දවසේත් බයිට් කළා. ඊට කලිනුත් මූට පුදුම වද දුන්නේ. ඊට පහුවදා ඌ ගිහින් එන්නම් කියලා ගෙදර ගියේ.”
කෙසේ වෙතත් චරිත්ගේ මරණයට හේතුව මෙතෙක් නිශ්චිතවම හඳුනාගෙන නැහැ.
+
+
+
(තම මානසික රෝගයට නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබාගත්තා නම් මෙබඳු විපතක් සිදු නොවනු ඇත – අමරසර)
+++
සබරගමුව සරසවි සිසුවාගේ හදිසි මරණය ගැන පූර්ණ පරීක්ෂණයක්
(01.05.2025 – 16:08 +0530 – hirunews.lk/sinhala)
‘සබරගමුව විශ්ව විද්‍යාලයේ’ තාක්ෂණ විද්‍යා පීඨයේ දෙවන (2) වසරේ ශිෂ්‍යයෙකුගේ හදිසි මරණයට හේතුවූ කරුණු සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් සිදු කිරීමට මේ වන විට පරීක්ෂණ මණ්ඩලයක් පත්කර ඇති බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.
එම පරීක්ෂණ මණ්ඩල වාර්තාව ලැබුණු වහාම ඒ සම්බන්ධයෙන් ගතයුතු සියලු පියවර, විශ්ව විද්‍යාල පාලනාධිකාරිය සහ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් ගනු ලබනු ඇති බවයි එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ.
මෙම හදිසි මරණය නවක වදය හේතුවෙන් සිදුවූ මරණයක් ලෙස විවිධ සමාජ මාධ්‍යන්හි සංසරණය වන තොරතුරු සම්බන්ධයෙන් ද අමාත්‍යංශයේ අවධානය යොමු වී තිබෙනවා.
එවැනි සිදුවීමක් අනාවරණය වුවහොත්, වගකිවයුතු සියලු පාර්ශවයන්ට, පවත්නා නීතියට අනුකූලව උපරිම ක්‍රියාමාර්ග ගන්නා බවද එම නිවේදනයේ සදහන්.
එසේම මෙම සිදුවීම සම්බන්ධයෙන් නිසි තොරතුරු හෙලිකර ගන්නා තුරු විවිධ පුද්ගලයන්ගේ පෞද්ගලිකත්වයට හානි වන තොරතුරු සංසරණය කිරීමෙන් වලකින ලෙස ද එම අමාත්‍යාංශය ඉල්ලීමක් කරනවා.
මෙම සිසුවා පෙරේදා (29) සිය නිවසේදී ගෙල වැළලාගෙන සියදිවි හානිකරගෙන තිබුණේ, ඊට පෙර ලිපියක්ද ලියා තබමින් ෴
+++
සබරගමුව සරසවි සිසුවාගේ මරණයට හේතුව නවක වදය ද? : පොලිසියෙන් විමර්ශන අරඹයි
(01.05.2025 – 18:08 +0530 – hirunews.lk/sinhala)
සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුවෙකු ගෙල වැලලාගෙන මියායාමට හේතු වූයේ ඔහුට නවක වදය ලබා දීම බවට සැක කරමින් එම විශ්වවිද්‍යාලයේම
තවත් සිසුවෙකු විසින් පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.
ඒ අනුව මෙම සිසුවාගේ සිය දිවි නසා ගැනීමට හේතු වී ඇත්තේ නවක වදය ලබා දීමද යන්න පිළිබදව හා එසේ නවක වදය ලබා දුන්නේ නම් එම පුද්ගලයින් කවුරුන්ද යන්න හඳුනා ගැනීම සඳහා මේ වන විට විමර්ශන ක්‍රියාත්මක බවයි පොලිසිය සඳහන් කරන්නේ.
එමෙන්ම නවක වදය යනු අපරාධමය වැරැද්දක් බැවින් යම් පුද්ගලයෙකු නවක වදය ලබා දීමට සහභාගී වී ඇත්නම් ඔවුන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවයි පොලිසිය වැඩිදුරටත් පවසන්නේ ෴
+++
සබරගමුව සරසවි සිසුවාගේ මරණය ගැන අන්තරෙන් නිවේදනයක්
(01.05.2025 – 22:18 +0530 – hirunews.lk/sinhala)
සබරගමුව විශ්ව විද්‍යාලයේ, තාක්ෂණ පීඨයේ, ඉංජිනේරු තාක්ෂණ දෙපාර්තමේන්තුවේ දෙවන (2) වසරේ ඉගෙනුම ලැබූ ‘චරිත් දිල්ෂාන්’ගේ හදිසි අභාවය පිළිබඳ ‘අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය’ කණගාටුව ප්‍රකාශ කරමින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
මෙයට හේතුව නවකවද සිදුවීමක් බවට වූ චෝදනාවක් ඇති බැවින් මේ පිළිබඳව පටු න්‍යාය පත්‍රවලින් තොර වූ පුර්ණ අපක්ෂපාතී විමර්ශනයක් පවත්වන ලෙසත් චොදනා සත්‍ය නම් විත්තිකරුවන්ට දඬුවම් පමුණුවන ලෙසත් ඔවුන් එම නිවේදනය හරහා ඉල්ලා සිටිනවා.
එමෙන්ම නවකවදය වැනි පසුගාමීත්වයන්ගේ පැවතීම විසින් පරාජයන් විනා ශිෂ්‍ය ව්‍යාපාරයට අත් කරදුන් ජයග්‍රහණ කිසිවක් නොමැති බවද එහි සඳහන්.
විශේෂයෙන්ම මෙවැනි සිදුවීම් ප්‍රබල තර්කයන් බවට පත් කර ගනිමින් පාලකයින් අධ්‍යාපන පෞද්ගලිකකරණයට අදාළ තර්ක තහවුරු කරගැනීමට කටයුතු කරන අතර දැවැන්ත ප්‍රචාරක ව්‍යාපෘති බවට පත්කර ගෙන සිටින බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.
කෙසේ වෙතත් ‘අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය’ සියලු විශ්ව විද්‍යාල සිසු සිසුවියන්ගෙන් ඉල්ලා සිටින්නේ පවතින පසුගාමී සංස්කෘතික ශේෂයන් විශ්ව විද්‍යාලවලින් තුරන් කිරීමට මැදිහත්වන ලෙසයි ෴
+++
රටම කතාවෙන සබරගමුව නවකවද සිද්ධියේ පසුබිම් කතාව මෙන්න (01.05.2025)
+
රනිල්ගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියාට කන්කසන්තුරේට මාරුවක්
(01.05.2025 – 12:06 +0530 – hirunews.lk/sinhala)
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා වන ‘ප්‍රධාන පොලිස් පරීක්ෂක අශෝක ආරියවංශ’ට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවක් ලබා දීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන තිබෙන බව වාර්තා වනවා.
ඒ අනුව අද (01) සිට බලපැවැත්වෙන පරිදි කන්කසන්තුරේ දක්වා මෙම ස්ථාන මාරුව සිදුකර ඇතැයි පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පවසන්නේ.
එමෙන්ම මේ සඳහා පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය හිමිව ඇති බව ද වාර්තා වනවා.
මෙලෙස ස්ථාන මාරු ලද ප්‍රධාන පොලිස් පරීක්ෂක ‘අශෝක ආරියවංශ’ වසර 23 ක් පුරා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක ඒකකයේ කටයුතු කළ අතර ඔහුගේ ප්‍රධාන පෞද්ගලික ආරක්ෂක නිලධාරියා ලෙස වසර 15 ක් සේවය කර තිබෙනවා ෴
අල්ලස් ලබාගත් ආදායම් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට
(01.05.2025 – 13:09 +0530 – hirunews.lk/sinhala)
අක්මීමන ප්‍රාදේශීය සභාවේ ආදායම් පරීක්ෂකවරයෙකු රුපියල් 25,000 ක අල්ලස් මුදලක් ලබා ගැනීම සම්බන්ධයෙන් ‘අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව’ විසින් ඊයේ (30) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ගාල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව, ගාල්ල උණවටුන, මැටරඹ ප්‍රදේශයේ පිහිටි පැමිණිලිකරු, කළමණාකරු වශයෙන් සේවය කරන හෝටලය පවත්වා ගෙන යාමට අවශ්‍ය 2025 වර්ෂය සඳහා වූ වෙළඳ බලපත්‍රය ලබාදීමේ කටයුතු සිදු කරදීම වෙනුවෙන් මෙම අල්ලස් මුදල ලබාගෙන තිබෙනවා.
‘අල්ලස් කොමිසම’ විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, මෙලෙස අත්අඩංගුවට ගත් තැනැත්තා මෙවර ප්‍රාදේශීය සභා මැතිවරණයේ අපේක්ෂකයෙකු වශයෙන් රාජකාරි නිවාඩු ලබා සිටින අයෙකුද වන බවයි.
අත්අඩංගුවට ගන්නා ලද සැකකරු ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවත් එම කොමිසම සඳහන් කළා ෴
‘කුඩු අංජු’ගේ ගෝලයෙකු බව කියන තරුණයෙකුගේ පිළිස්සුණු මළසිරුරක් හමුවෙයි
(01.05.2025 – 17:10 +0530 – hirunews.lk/sinhala)
තියුණු ආයුධවලින් පහරදී පුළුස්සා ඝාතනය කෙරුණු පුද්ගල මළසිරුරක් ගල්කිස්ස – හුලුදාගොඩ ප්‍රදේශයේ පාලු ඉඩමක තිබී සොයාගෙන තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ රත්මලාන – මහින්දාරාම පාරේ පදිංචිව සිටි ‘කාවින්ද ගයාෂාන්’ හෙවත් ‘ටිකිරා’ නැමැති 23 හැවිරිදි තරුණයෙක්.
එසේම ඔහු ‘කුඩු අංජු’ නැමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන අයෙකු බවට ද වාර්තා වනවා ෴
‘පොඩි ලැසී’ගේ බිරිඳගේ මවට අයත් ආභරණ තොගයක් පොලිස් භාරයට
(01.05.2025 – 17:51 +0530 – hirunews.lk/sinhala)
සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘පොඩි ලැසී’ හෙවත් ‘ජනිත් මධුසංඛ ද සිල්වා’ නැමැත්තාගේ බිරිදගේ මවට අයත් අම්බලන්ගොඩ ප්‍රදේශයේ බැංකුවක ආරක්ෂක සේප්පුවේ තැන්පත් කර තිබූ රන් භාණ්ඩ යැයි සැකකෙරෙන ආභරණ කිලෝ 01 කට අධික ප්‍රමාණයක් ‘නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය භාරයට’ ගෙන තිබෙනවා.
මෙම ආභරණ නීතිවිරෝධි ලෙස උපයා ගන්නා ලද මුදල්වලින් මිලට ගෙන ඇත්ද යන්න සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මකයි.
මේ අතර පසුගිය මාසය දෙක (2) තුළ දිවයින පුරා ක්‍රියාත්මක කළ වැටලීම්වලදී දේශීය හා විදේශීයව නිෂ්පාදනය කළ නීතිවිරෝධි ගිනි අවි 329 ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා ෴
මින්නේරියේදී මාරක අනතුරක්
(01.05.2025 – 18:18 +0530 – hirunews.lk/sinhala)
මින්නේරිය – හබරණ මාර්ගයේ හමුදා කඳවුර ඉදිරිපිටදී බස් රථ දෙකක් (2) මුහුණට මුහුණ ගැටීමෙන් මාරක අනතුරක් සිදුව තිබෙනවා.
එහිදී පුද්ගලයින් දෙදෙනෙකු (2) මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
එමෙන්ම පුද්ගලයින් 30 කට වැඩි පිරිසක් රෝහල් ගත කර ඇති බවද සඳහන් ෴
+
+
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴