ඉන්ධන මිල පහළට – ලීටරයක් රුපියල් 05 කින්, 06 කින්, 12 කින්, 20 කින්
ඉන්ධන මිල පහළට – ලීටරයක් රුපියල් 05 කින්, 06 කින්, 12 කින්, 20 කින්
(30.04.2025 – 21:07 +0530 – hirunews.lk/sinhala)
රුපියල් 299 ක්ව පැවති ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 06 කින් පහත දමා ඇති අතර නව මිල රුපියල් 293 ක්.
රුපියල් 361 ක්ව පැවති ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 20 කින් පහත දමා ඇති අතර නව මිල රුපියල් 341 ක්.
මේ අතර, රුපියල් 286 ක්ව පැවති සුදු ඩීසල් ලීටරයක් රුපියල් 12 කින් පහත දමා ඇති අතර නව මිල රුපියල් 274 ක්.
රුපියල් 331 ක්ව පැවති ලංකා සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 06 කින් පහත දමා ඇති අතර නව මිල රුපියල් 325 ක්.
රුපියල් 183 ක්ව පැවති භුමිතෙල් ලීටරය රුපියල් 05 කින් පහත දමා ඇති අතර නව මිල රුපියල් 178 ක්.
SINOPEC ඉන්ධන මිලද ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන මිල ගණන්වලට සමානව සංශෝධනය කර තිබෙනවා.
එමෙන්ම ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සංශෝධිත ඉන්ධන මිල ගණන්වලට සමගාමීව Lanka IOC මිලත් සංශෝධනය කර තිබෙනවා.
+
විදුලි ගාස්තුව යළි වැඩිවන ලකුණු
(30.04.2025 – 20:12 +0530 – hirunews.lk/sinhala)
පිරිවැය ආවරණය වන පරිදි විදුලි ගාස්තු ක්‍රමය සකස් විය යුතු බවට ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟ වී ඇතැයි ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත පවසනවා.
ඔහු පෙන්වා දෙන්නේ එම එකඟතාවලට අනුව මීළග විදුලි ගාස්තු සංශෝධනය මෙම මාසයේදී සිදු කිරීමට නියමිතව තිබුණද එය ජූනි මාසයේදී සිදු කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟතාවයකට පැමිණි බවයි.
ශ්‍රී ලංකාවට ලබාදෙන විස්තීරණ ණය පහසුකමට අදාළව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සිව්වැනි සමාලෝචනය සඳහා කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවය පසුගියදා හිමි වූ අතර ඊට විධායක මණ්ඩලයේ ද අනුමැතිය ලැබීමෙන් පසු පස්වැනි (5) වාරිකය ලෙස අමෙරිකානු ඩොලර් මිලියන 344 ක් ඉදිරියේදී ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතයි.
ඒ සම්බන්ධයෙන් දැනුම් දීමේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වුණේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා මෙහෙයුම් ප්‍රධානි එවන් පැපජෝර්ජියෝගේ ප්‍රධානත්වයෙන්.
එහිදී පිරිවැය අනුව තීරණය වන විදුලි ගාස්තු ක්‍රමයක් මෙරට තුළ කඩිනමින් ක්‍රියාත්මක වියයුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අවධාරණය කළ අතර ඒ යටතේ විදුලි ගාස්තු තීරණය කිරීමේ යාවත්කාලීන මිල සූත්‍රයක් ක්‍රියාත්මක කිරීම ඔහු සදහන් කළේ ෴
ලෝක කම්කරු දිනය හෙටයි (01) – කොළඹ දී රැලි 15 ක්
(30.04.2025 – 14:44 +0530 – hirunews.lk/sinhala)
වැඩ කරන ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් නම් කෙරුණු ‘ජාත්‍යන්තර කම්කරු දිනය’ හෙටයි (01).
ඒ නිමිත්තෙන් දේශපාලන පක්ෂ මැයි දින රැළි සහ පෙළපාලි රැසක් සංවිධාන කර ඇති අතර, කොළඹ නගරයේ පමණක් ප්‍රධාන මැයි රැළි, පෙළපාලි , රැස්වීම් හා සැමරුම්, ස්ථාන 15 කදී පැවැත්වීමට නියමිතයි.
‘ජාත්‍යන්තර කම්කරු දිනය’ වෙනුවෙන් මෙරට පළමු මැයි දින සැමරුම් රැළිය කම්කරු නායක ඒ.ඊ. ගුණසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණේ 1934 වසරේදීයි.
රාජ්‍ය අනුග්‍රහය සහිතව මෙරට පළමු මැයි රැළිය 1956 වසරේදී ‘සමගි පෙරමුණු රජය’ යටතේ පැවැති අතර, ඉන් අනතුරුව එවක පැවති රජය, මැයි දිනය රජයේ නිවාඩු දිනයක් බවට පත් කිරීමට පියවර ගත්තා.
එදා කම්කරු සහ වෘත්තිය සමිතිවලට සීමා වූ ජාත්‍යන්තර මැයි දිනය, අද වනවිට දේශපාලන පක්ෂ විසින් ද සමරනු ලබනවා.
කොළඹ නගරය සහ ඒ ආශ්‍රිත ප්‍රදේශවල මෙන්ම දිවයිනේ ප්‍රදේශ කිහිපයකදී දේශපාලන පක්ෂ සහ වෘත්තිය සමිති සංවිධාන කරන ප්‍රධාන මැයි දින සැමරුම්, පෙළපාලි සහ රැළි හෙට (01) පැවැත්වීමට නියමිතයි.
රට හදන ජන බලය පෙළ ගැසෙන මැයි රැළිය යන්න තේමා කරගත් ‘ජාතික ජන බලවේගයේ’ මැයි දින රැළිය ‘කොළඹ ගෝල්ෆේස්’ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ගම දිනවන ගමනට කම්කරු බලය යන්න තේමා කරගත් ‘සමගි ජන බලවේගයේ’ මැයි දින රැළිය පැවැත්වෙන්නේ ‘නුවරඑළිය තලවාකැලේ’දීයි.
රැවටිල්ල ඉවසුවා ඇති දැන් ඉතින් නැගිටිමු තේමාවෙන් ‘ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ’ මැයි දින රැළිය ‘නුගේගොඩ ආනන්ද සමරකෝන් එළි මහන් රංග පීඨයේ’දී පැවැත්වෙනවා.
බොරුව නවතා පොරොන්දු ඉටු කරනු යන්න තේමා කරගත් ‘ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ’ මැයි දින රැළිය පැවැත්වෙන්නේ ‘ඩාර්ලි පාර පක්ෂ මූලස්ථානයේ’දීයි.
IMF මර උගුලට , ඉන්දියානු විජිතකරණයට එරෙහි එළිය බලයක් යන්න තේමා කරගනිමින් ‘පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ’ මැයි දින රැළිය ‘කිරුළපන ලලිත් ඇතුලත්මුදලි ක්‍රීඩාංගනයේ’දී පැවැත්වෙනවා.
‘ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය’ සංවිධාන කරන මැයි දින රැළිය පැවැත්වීමටයි නියමිතව ඇත්තේ ‘කොළඹ හයිඩ් පිටියේ’දීයි.
මේ අතර මැයි දිනය පැවැත්වීමට කොළඹ හයිඩ් පිටිය වෙන් කිරීම සම්බන්ධයෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂය සහ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය අතර අර්බුදයක් ද හටගෙන තිබෙනවා.
ඒ, පක්ෂ 2 කම හයිඩ් පිටිය වෙන් කිරීම හේතුවෙන්.
කොළඹ මහ නගර සභාව අදාළ ක්‍රීඩාංගණය පක්ෂ 2 සඳහාම ලබා දී ඇති බවට පෙරටුගාමී සමාජවාදී පක්ෂය චෝදනා කරනවා.
කෙසේ වෙතත් මුලින් ක්‍රීඩාංගණය වෙන් කළ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයට මැයි දින රැළිය පැවැත්වීම සඳහා එය ලබාදීමට තීරණය කර ඇතැයි කොළඹ මහ නගර සභාව ප්‍රකාශ කළා.
මේ අතර ලෝක කම්කරු දිනය යෙදෙන හෙට (01) මැයි දින පෙළපාලි සඳහා පොලිසිය විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් සහ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙනවා.
පිට පළාත්වල පැවැත්වෙන මැයි දින පෙළපාලි , රැස්වීම් හා සැමරුම් සම්බන්ධයෙන් සුදුසු පරිදි අවශ්‍ය ආරක්ෂාව, රථවාහන පාලනය සහ ආරක්ෂාව සැලසීමට කටයුතු කරන ලෙසට පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට දිසා භාර නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට මෙන්ම කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන්ට මේ වනවිටත් පොලිස් මූලස්ථානය අවශ්‍ය උපදෙස් හා නියෝග ලබා දී ඇති බව ද පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත් කළ නිවේදනයක සඳහන්.
කොළඹ නගරය සහ ආශ්‍රිත ප්‍රදේශවල පැවැත්වෙන මැයි දින පෙළපාලි, රැළි හා සැමරුම් උත්සව හේතුවෙන් යම් රථවාහන තදබදයක් ඇති වුවහොත් එම ප්‍රදේශ මගහැර විකල්ප මාර්ග ඔස්සේ රථවාහන ධාවනය කරන ලෙස පොලිසිය රියැදුරන්ට උපදෙස් දී තිබෙනවා.
එමෙන්ම විකල්ප මාර්ග පිළිබඳ තොරතුරු අවශ්‍ය විටකදී, ඒ සඳහා රථ වාහන පොලිස් නිලධාරීන්ගෙන් සහය ලබාගත හැකි බව ද අදාළ නිවේදනයේ සඳහන් ෴
මහනුවර කසළ ටොන් 633 ක් කොළඹ යවා පිළිස්සීම ගැටළුවක්
(30.04.2025 – 16:05 +0530 – hirunews.lk/sinhala)
‘සිරි දළදා දැක්මෙන්’ පසුව මහනුවර නගරයේ රැස් වූ කසළ මෙට්‍රික් ටොන් 633 ක් තවමත් ‘ගොහාගොඩ කසළ අංගණයේ’ ගොඩ ගැසී තිබෙනවා.
එම කසළ තොගය කොළඹට රැගෙන ගොස් විනාශ කිරීම අර්බුදකාරි තත්ත්වයක පවතින බවයි ‘මහනුවර නගර සභාව’ පවසන්නේ.
එම දිනවලදී කසළ බඳුන් 450 කට වර්ගීකරණය කළ නගරයේ කසළ රැස් කිරීමට කටයුතු සලසා තිබුණද එය සාර්ථක වී නැහැ.
ඒ හේතුවෙන් මිශ්‍ර කසළ වශයෙන් මෙම කසළ මෙට්‍රික් ටොන් 633 රැස්වී තිබෙන බව නගර සභාව පවසනවා.
මෙම කසළ තොගය කොළඹට රැගෙන යාම සඳහා වන ප්‍රවාහන වියදම ඉතා අධික බැවින් ඒ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කෙරෙන බවයි නගර සභාව පවසන්නේ ෴
හැඳුනුම්පත තියන මාධ්‍යවේදීන්ට විතරක් ‘කැබිනට් ප්‍රෙස්’ එකට එන්න කිව්වාට ‘වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයෙන්’ විරෝධයක්
(30.04.2025 – 17:05 +0530 – hirunews.lk/sinhala)
ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යවේදීන්ගේ අනන්‍යතාවය හඳුනා ගැනීම සඳහා ‘ජනමාධ්‍ය අමාත්‍යාංශය’ මගින් නිකුත් කොට ඇති හැඳුනුම්පත අනිවාර්ය කිරීම පිළිබඳ රජයේ තීරණය සම්බන්ධව ‘ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්’ විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එහි සඳහන් වන්නේ ලංකාවේ රජය මගින් මාධ්‍ය හැඳුනුම්පතක් නිකුත් කිරීම මගින්ම ජන මාධ්‍යවේදීන් හීලෑ කරගැනීමක් මෙන්ම රජය මාධ්‍යවේදීන් වෙත තම බලාධිකාරය පැටවීමක් වන බවයි.
එමෙන්ම සතිපතා පැවැත්වෙන ‘කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව’ සඳහා සහභාගි වීමට මින් ඉදිරියට අවසර ලබා දෙන්නේ ‘රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ හැඳුනුම්පත’ හිමි ජනමාධ්‍යවේදීන්ට පමණක් බව ‘රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ’ පැවති ‘කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේ’දී ජනමාධ්‍ය අමාත්‍ය ‘වෛද්‍ය නලින්ද ජයතිස්ස’ විසින් ප්‍රකාශ කිරීම සම්බන්ධයෙකන් ද සිය ඔවුන් සිය අප්‍රසාදය පළ කර තිබෙනවා.
මෙම ප්‍රකාශය නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමට ජනමාධ්‍යවේදීන්ට ඇති ඇති අයිතියට කළ තර්ජනයක් වන අතර එය රජයට හීලෑ ජනමාධ්‍යවේදීන් පිරිසක් පමණක් ‘ප්‍රවෘත්ති සාකච්ඡාව’ සඳහා කැඳවීමට ගත් උත්සාහයක් ලෙසයි එම නිවේදනයේ සඳහන් වන්නේ.
එමෙන්ම එහි වැඩිදුරටත් සඳහන් වන්නේ රට තුළ නිදහස් මාධ්‍යයක් පවත්වා ගෙන යාමට අනුබල දෙන වගකිව යුතු රජයක් යටතේ සිදුවිය යුත්තේ ‘හැඳුනුම්පත් නිකුත් කිරීම ස්වාධීන ආයතන ව්‍යුහයක් වෙත පවරා’ සියළු මාධ්‍යවේදීන් වෙත තම ‘කැබිනට් රැස්වීම’ ආවරණයට අවසර ලබා දිය යුතු බවයි ෴
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්
(30.04.2025 – 17:17 +0530 – hirunews.lk/sinhala)
පොලී ආදායම මත රඳවා ගැනීමේ බද්දට යටත් වන, නමුත් බදු අයකළ හැකි ආදායමක් නොමැති පුද්ගලයින් බැංකු හා මූල්‍ය ආයතන වෙත අදාල ස්වයං ප්‍රකාශණය භාරදීමේ අවසාන දිනය ‘2025 අප්‍රේල් 30’ බවට ‘ව්‍යාජ ප්‍රකාශයක්’ සංසරණය වෙමින් තිබෙනවා.
නමුත් එවැනි ‘අවසාන දිනයක්’ නියම කර නොමැති බව ‘දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්’ පවසනවා.
අදාළ තැන්පතු සඳහා පොලී ගෙවීම් ලැබීමට පෙර ‘ප්‍රකාශය’ (WHT අඩු කිරීමෙන් නිදහස් කිරීම ඉල්ලා සිටීම) ඉදිරිපත් කළ යුතු බවයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසන්නේ.
මෙම ‘ප්‍රකාශය’ ඉදිරිපත් කිරීම සඳහා ‘බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකයක්’ (TIN) අවශ්‍ය නොවන බවයි දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් පවසන්නේ.
අපි වැටුප් ගන්නේ නෑ කියලා නෑ! : මාලිමා මන්ත්‍රිනී ලක්මාලි කියයි
(30.04.2025 – 17:19 +0530 – hirunews.lk/sinhala)
‘ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරු’ වැටුප් නොගන්නා බවක් කොතැනක දී හෝ කියා නොමැති බවත්, තමන්ගේ ගිණුමට වැටුප බැර වන බවත් එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර පවසනවා.
දේශපාලන සාකච්ඡාමය වැඩසටහනක දී ඇය මේ බව සඳහන් කර තිබුණේ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රේමනාත් සී. දොලවත්ත විසින් මතුකරන ලද ප්‍රශ්න හමුවේ පිළිතුරු දෙමින්.
මේ අතර අද (30) පෙරවරුවේ ‘ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මාධ්‍ය හමුවේ’දී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න සඳහන් කළා, ‘පඩිය පක්ෂයේ ගිණුමට බැරවීම සමානයි වැටුප් නොගැනීම වගේ බොරුත් කියනවා මේගොල්ලෝ’ යනුවෙන් ෴
රජය පොහොර මිල ඉහළ දමලා – ගොවීන්
(30.04.2025 – 20:04 +0530 – hirunews.lk/sinhala)
මෙවර යල කන්නය ආරම්භ වී ඇතත් රජය පොහොර මිල ඉහළ දමා ඇති බවට ගොවීන් චෝදනා කරනවා.
ඇළහැර ව්‍යාපාරයේ ගොවීන් පෙන්වා දෙන්නේ, ගොවිතැන සඳහා අවශ්‍ය මඬ පොහාර මිල ද පසුගිය කන්නයට සාපේක්ෂව මේ කන්නයේ රුපියල් 1,100 කින් ඉහළ දමා ඇති බවයි.
2025 යල කන්නයේ කුඹුරු අස්වැද්දීම ආරම්භ වීමත් සමග තමන් ගැටලු රාශියකට මුහුණ පා ඇති බවට විවිධ ප්‍රදේශවල ගොවීන් පසුගිය දින කිහිපයේම පෙන්වා දුන්නා.
එමෙන්ම, වගාව සඳහා අවශ්‍ය පොහොර සහනාධාර මුදල් ක්‍රමවත්ව බැංකුගත කර නොතිබීම ද ගොවීන් මුහුණ දෙන එක් ගැටලුවක්.
මේ අතර පසුගිය වසර 10 ක කාලය තුළ විදෙස් අධාර ලෙස මෙරට කෘෂිකර්මාන්තයේ සංවර්ධනය වෙනුවෙන් ලැබී තිබූ ඩොලර් මිලියන 750 කට වැඩි මුදලක් නිසි ලෙස ව්‍යපෘති සඳහා යොදාව ඇද්ද යන්න පිළිබදව තොරුතුරු දැන ගැනීම සඳහා ‘ජාතික ගොවිජන එකමුතුවේ’ සභාපති අනුරාධ තෙන්නකෝන් අද (30) කෘෂිකර්ම අමාත්‍යංශයට පැමිණියා ෴
ප්‍රදේශ රැසකට ඉදිරි කාලයේ මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි
(30.04.2025 – 22:56 +0530 – hirunews.lk/sinhala)
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් හෝ රාත්‍රි කාලයේදි තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
මධ්‍යම, සබරගමුව, ඌව, නැගෙනහිර, සහ උතුරු මැද පළාත්වලට මිලිමීටර් 100 ක පමණ තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.
මේ අතර සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදි විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර ප්‍රකාශ කළේ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාවද පවතින අධික වර්ෂාවත් සමග වර්ධනය වීමේ අවදානමක් පවතින බවයි.
අන්තර් නිවර්තන අභිසාරි කලාපය සක්‍රීය වීමෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට මේ දිනවල වැසි ඇද හැලෙනවා.
වර්ෂාව හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසකම ජනතාව අපහසුතාවට පත්වුණා.
හාලිඇල ප්‍රදේශයට ඇද හැලුණු ධාරානිපාත වර්ෂාවත් සමග ‘හාලිඇල ක්වීන් ටවුන් වතුයායේ’ කොටසක පිහිටි නිවසක් මතට ගසක් කඩා වැටී තිබෙනවා.
එම අවස්ථාවේදී නිවසෙහි ඇඳක් මත නිදා සිටි පුද්ගලයෙකු හිස මතට සිවිලිමේ කොටස් වැටීමෙන් තුවාල ලබා ඇතැයි අප වාර්තාකරු ප්‍රකාශ කළා.
එම ප්‍රදේශයට විදුලිය සපයන විදුලි රැහැන් පද්ධතියට වර්ෂාව සහ දැඩි සුලං හේතුවෙන් බලපෑම් එල්ලවී ඇති බවයි ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ. මේ අතර තලවකැලේ ලිදුල ප්‍රදේශය හරහා හමා ගිය දැඩි සුළගකින් ගසක් කඩා වැටී වතු නිවාස පෙළකට හානි සිදුව තිබෙනවා.
මේ අතර බදුල්ල රිලපොල් එගොඩවැලිවත්ත ප්‍රදේශයේ නිවසක් මතටද පස් කන්දක් කඩා වැටීමෙන් නිවසට දැඩි ලෙස හානි සිදුව තිබෙනවා.
මේ දිනවල ප්‍රදේශයට ඇද හැලෙන දැඩි වර්ෂාපතනයත් සමග රාජාංගනය ජලාශයේ ජල මට්ටම සීඝ්‍ර ලෙස ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව රාජාංගනය ජලාශයේ වාන් දොරටු හයක් විවෘත කිරීමට කටයුතු කර තිබෙනවා.
මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ අන්තර් මෝසම් කාලගුණ තත්ත්ව ස්ථාපිතවීමත් සමග ප්‍රබල අකුණු ඇතිවීමේ අවදානමක් පවතින බවයි.
මේ අතර ඉදිරි කාලගුණික තත්ත්වය පිළිබඳව සිය දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරන නිල අනාවැකි සහ පූර්ව අනතුරු ඇඟවීම් පිළිබඳව පමණක් අවධානයෙන් කටයුතු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ඇතැම් සමාජ මාධ්‍ය හරහා මේ දිනවල සංසරණය වන ඉදිරි කාලගුණ තත්ත්වය පිළිබඳ අසත්‍ය තොරතුරුවලට නොරැවටෙන ලෙසයි.
නාච්චාදූව වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලය පවසන්නේ ඉහළ ජල පෝෂිත ප්‍රදේශවලට තවදුරටත් වැසි තත්ත්වයන් ඇති වුවහොත් මෙම ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමට සිදුවන බැවින් පහත් බිම්වල ජනතාවට ඒ සම්බන්ධයෙන් විමසිලිමත්ව සිටින ලෙසයි.
මේ අතර පසුගිය දින කිහිපය පුරා කන්තලේ ප්‍රදේශයට ඇදහැලුණු වර්ෂාවත් සමග කන්තලේ වැවේ වාන් දොරටු 10 ක් විවෘතව පවතින අතර වැවේ වාන් ඇලේ බැම්ම කැඩී යාම හේතුවෙන් එම ප්‍රදේශයේ කුඹුරු අක්කර 800 ක් පමණ ජලයෙන් යටවී තිබෙනවා.
ඒ හේතුවෙන් කන්තලේ වැවේ, වාන් ඇලේ බැම්ම ස්ථාන කිහිපයකින් පිටාර ගැලීමට ආසන්නව ඇති අතර එහි එක් ස්ථානයකින් අඩි 30 ක පමණ ප්‍රමාණයක් කැඩී ගොස් තිබෙනවා. ගොවි ජනතාව මැසිවිලි නගන්නේ වාරි මාර්ග නිලධාරීන් අදාළ ස්ථානය නිරීක්ෂණයට හෝ නොපැමිණි බවයි.
මේ හේතුවෙන් පවුල් 1000 ක පමණ ගොවීන් පිරිසක් පීඩාවට පත්වී ඇති අතර ඔවුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ කන්තලේ වැවේ, වාන් ඇලේ බැම්ම හැකි ඉක්මනින්,පිළිසකර කර දෙන ලෙසයි.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ප්‍රදේශය භාර වාරි ඉංජිනේරුවරයාගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ කන්තලේ වැවේ, වාන් ඇල හැරීමේ කටයුතු පසුගිය දිනවලදී සිදුවූ බවත්, ඉන් ගොඩගත් පස් ඇලේ බැම්ම මත අතුරා ඇති බවයි.
වර්ෂාවත් සමග සේදී ගොස් ඇත්තේ අදාළ පස් තට්ටු බවද ඔහු සඳහන් කළා.
මේ අතර සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදි ජාතික ඩෙංගු මර්දන ව්‍යාපාරයේ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර ප්‍රකාශ කළේ මෙම වර්ෂයේදි මෙරටින් ඩෙංගු රෝගීන් 17459 ක් වාර්තා වී ඇති අතර ඉන් මරණ 6 ක් වාර්තාවන බවයි.
ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ පවතින අධික වර්ෂාවත් සමග ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් වර්ධනය වීමේ අවදානමක් පවතින බවයි ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴