රුපියල් කෝටි හතේ (7) මුදල් වංචාවකට පළාත් සභාවේ හිටපු ලේකම් ඇතුළු දෙදෙනෙකු (2) බන්ධනාගාරයට

රුපියල් කෝටි හතේ (7) මුදල් වංචාවකට පළාත් සභාවේ හිටපු ලේකම් ඇතුළු දෙදෙනෙකු (2) බන්ධනාගාරයට


රුපියල් කෝටි හතේ (7) මුදල් වංචාවකට පළාත් සභාවේ හිටපු ලේකම් ඇතුළු දෙදෙනෙකු (2) බන්ධනාගාරයට

(29.04.2025 – 18:17 +0530 – hirunews.lk/sinhala)

රුපියල් කෝටි හතකට (7,00,00,000) අධික රාජ්‍ය මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සබරගමු පළාත් සභාවේ හිටපු ලේකම්වරයකු සහ සබරගමු පළාත් මාර්ග අමාත්‍යාංශයේ හිටපු සහකාර සැලසුම් අධ්‍යක්‍ෂ අධ්‍යක්‍ෂවරියක ලබන මස 08 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් තිළිණ මහේෂ් පීරිස් අද (29) නියෝග කළා.

මෙසේ රක්‍ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ සබරගමු පළාත් සභාවේ පළාත් මාර්ග, ග්‍රාමීය යටිතල පහසුකම්, සංචාරක සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයකු ලෙස කටයුතු කර විශ්‍රාම ලබා ඇති ‘දේවප්‍රිය විජයරාජ’ සහ සබරගමු පළාත් මාර්ග අමාත්‍යාංශයේ හිටපු සහකාර සැලසුම් අධ්‍යක්‍ෂ අධ්‍යක්‍ෂවරියක වු ‘කුසුම්ලතා කුමානායක’ යන දෙදෙනා (2) යි.

සබරගමු පළාත් සභා අරමුදල්වලින් ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවට ලබාදුන් රුපියල් හත්කෝටි දහසය ලක්‍ෂ හතළිස් පන් දහස් දෙසිය විසි හයක (71,645,226) මුදලක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මෙම දෙදෙනා (2) ද සැකපිට අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණා.

එම මුදල් වංචාව සම්බන්ධයෙන් මේවනවිට ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ හිටපු ලේකම්වරයකු, ලිපිකරුවකු සහ තාක්‍ෂණ නිලධාරියකුද පසුගියදා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා ෴


ලංගම හිටපු උප සභාපතිවරයෙකු අත්අඩංගුවට

(29.04.2025 – 12:53 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය හිටපු උප සභාපතිවරයෙකු වන එල්.ඒ. විමලරත්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (29) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ මැණික් ගඟ රක්ෂිතයේ වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් ඉඩමක ඉදිකර ඇති රාජපක්ෂ පවුලට අයත් බව කියන නිවස සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයට අදාළවයි.

මේ සම්බන්ධයෙන් මීට පෙර කතරගම ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති අශෝක වික්‍රමසිංහ ද අත්අඩංගුවට ගත් අතර, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ, රුහුණු කතරගම මහ දේවාලයේ බස්නායක නිලමේ ඩිශාන් ගුණසේකර ඇතුලු පිරිසකගෙන් පොලිසිය ප්‍රකාශ ද සටහන් කර ගත්තා ෴

+

+


වංචාකරුවෙක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහය පතයි

(29.04.2025 – 14:31 +0530 – hirunews.lk/sinhala)

රුපියල් එක් කෝටි හැටපන් ලක්ෂයක් (16,500,000) වටිනා ජිප් රථයක් කොළඹ ජාතික රෝහලේ රථ ගාලේ නවතා තිබියදී සොරකම් කිරීම සම්බන්ධයෙන් හා 2023.12.18 වැනිදා වාහනයක් ලබා දෙන බව පවසා රුපියල් එක්කෝටි විසිපන් ලක්ෂයක (12,500,000) මුදලක් ලබාගෙන වංචා කිරීම සම්බන්ධයෙන් මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමට නියමිතයි.

මෙම සැකකරු ව්‍යාජ නම් කිහිපයකින් පෙනී සිටින බව සඳහන්.

එමෙන්ම අපරාධ රැසකට සම්බන්ධ බව අනාවරණය වී තිබෙනවා.

මොහුට භාෂා කිහිපයක් හැසිරවීමට හැකියාව ඇති බවත්, මොහු ගමන් කරන වාහනවල රජයේ නිල ලාංඡන ප්‍රදර්ශනය කරමින් ගමන් කරන බවටද තොරතුරු අනාවරණය වී තිබෙනවා.

මේ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මහජන සහය පතයි.

සැකකරු, රෆික් මොහොමඩ් ෆාරිස් නැමැත්තෙකු වන අතර ජා.හැ.ප අංකය : 761850466v ලෙස සඳන් වන අතර ඔහුගේ උපන්දිනය 1976.07.03 වැනිදා ලෙසද සඳහන්.

සැකකරු සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් පහත සඳහන් දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ස්ථානාධිපති, කොළඹ අපරාධ කොට්ඨාසය : 071 859 1735

ස්ථානාධිපති, විමර්ශන ඒකක : (05) 071 859 6507


‘මුතුරාජා ඇතා ශ්‍රී ලංකාවට නැවත භාර දෙන්නේ නෑ’ – තායිලන්ත රජය

(29.04.2025 – 11:00 +0530 – hirunews.lk/sinhala)

දෙහිවල ජාතික සත්වෝද්‍යානය භාරයේ සිටියදී තායිලන්තයට රැගෙන ගිය ‘මුතුරාජා’ නම් ඇතා යළි ශ්‍රී ලංකාවට භාර නොදෙන බව තායිලන්ත රජය දැනුම් දීමක් කර තිබෙනවා.

‘මුතුරාජා’ නම් වූ මෙම ඇතා ශ්‍රී ලංකාවේ සිට තායිලන්තයට රැගෙන යනු ගියේ තුවාල සඳහා ප්‍රතිකාර කිරීමෙන් අනතුරුව යලිත් මෙරටට භාරදෙන බවට දැනුම් දීමෙන් අනතුරුවයි.

මේ වන විට ‘මුතුරාජා’ ඇතා සම්පූර්ණයෙන් සුවය ලබා ඇති බවයි වාර්තා වෙන්නේ.

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ අධ්‍යක්ෂක ජෙනරාල් පශු වෛද්‍යය චන්දන රාජපක්ෂ සඳහන් කළේ එම ඇතා මේ වන විට සම්පූර්ණයෙන්ම සුවය ලබා ඇති බවයි.

පසුගිය වසරේදී තායිලන්ත රජයේ ආරාධනය මත දෙහිවල ජාතික සත්වෝද්‍යානයෙ වෛද්‍ය කණ්ඩායමක් ඇතුළු නිලධාරීන් පිරිසක් තායිලන්තයට ගොස් ඔහුගේ සුවදුක් විමසා තිබුණා.

එහිදී තායිලන්තේ නියෝජිතයන් පිරිසක් මෙරට වෛද්‍ය කණ්ඩායම ඇතුළු නිලධාරීන්ට දැනුම් දී ඇත්තේ එම ඇතා සුවය ලබා ඇති බවයි.

එහෙත් මෙම හස්තියා ශ්‍රී ලංකාවට ලබා නොදීමට තායිලන්ත රජය පසුව දැනුම් දී ඇත්තේ එරට රජු විසින් තීරණයක් ගෙන ඇති බවයි.

මෙම ‘මුතුරාජා’ ඇතා මාස 4 ක පමණ කාලයක් දෙහිවල සත්තුවෝද්ද්‍යානය බාරයේ ප්‍රතිකාරය ලැබූ බවත් එම අවස්ථාවේදී බොහෝ දුරටත් ඔහුගේ තුවාල සුව අතට පත්වෙමින් තිබුණු බවත් එහි අධ්‍යක්ෂක ජනරාල් පශු වෛද්‍ය චන්දන රාජපක්ෂ පවසා සිටියා.

මෙම හස්තියා ‘අලුත්ගම, කන්දේ විහාරය භාරයේ සිටියදී දැඩි ලෙස හිංසනයට ලක්වීම’ නිසා තුවාල සිදුවීම හේතුවෙන් දෙහිවල සත්තු උද්‍යානය භාරයට පත් කරනු ලැනුවා.

මෙම ඇතා වසර 12 ක පමණ කාලයක් අලුත්ගම විහාරයේ සිටි අතර ‘මුතුරාජා’ ඇතා නැවත රැගෙන යෑමේ ක්‍රියාවලියට තායිලන්ත රජය රුපියල් කෝටි 20 කට අධික මුදලක් වැය කල බව මාධ්‍ය පෙන්වා දෙන්නේ.

තායිලන්තයට රැගෙන යාමෙන් අනතුරුව ඇතාගේ ඉදිරි පාදයට ජල චිකිස්තක ප්‍රතිකාර ලබා දීමට සැලසුම් කර තිබෙනවා.

‘මුතුරාජා’ හස්තියා යලි තායිලන්තයට රැගෙන යාමෙන් පසු, ශ්‍රී ලංකාවට ප්‍රදානය කර ඇති සෙසු තායි ඇතුන් පිළිබඳවද තායිලන්ත රජය කරණු විමසීමක් විමසීමක් ද සිදුකර ඇති බව වාර්තා වූ අතර 2001 වසරේ දී තායිලන්ත රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු ‘මුතුරාජා’ 2023 වසරේ ජූලි 02 වැනි දින යලි තායිලන්තයට රැගෙන යනු ලැබුවා.

මේ අතර සත්ව හුවමාරු වැඩසටහන යටතේ ඉදිරියේදී සීබ්‍රා සතුන් තුන්දෙනෙකු (3), ජිරාෆ් සතුන් දෙදෙනෙකු (2) සහ ඇනකොන්ඩා සත්ව විශේෂ ඇතුලු දුර්ලභ සතුන් කිහිපයක් ගෙන්වීමට අපේක්ෂා කරන බව දෙහිවල ජාතික සත්වෝද්‍යානය පවසනවා.

එහි අධ්‍යක්ෂ ජනරාල් පශූ වෛද්‍ය චන්දන රාජපක්ෂ කියා සිටියේ, එම වැඩසටහන යටතේ මෙරටින් ද සත්ව විශේෂ ලබාදීමට කටයුතු කරන බවයි ෴


මත්ද්‍රව්‍ය චෝදනාවට වරදකරු වූ තරුණයෙකුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්

(29.04.2025 – 12:11 +0530 – hirunews.lk/sinhala)

හෙරොයින් මත්කුඩු කුඩු ග්‍රෑම් 6.95 ක් සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු 37 හැවිරිදි දෙදරු පියෙකුට කොළඹ මහාධිකරණය අද (29) ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කළා.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ විසින් මෙම තීන්දුව ලබාදුන්නා.

2013 වසරේ අප්‍රේල් මස 07 වැනිදා කොටහේන ප්‍රදේශයේදී මෙම විත්තිකරු ‘හෙරොයින් මත්කුඩු’ සමග අත්අඩංගුවට ගෙන තිබුණා.

ඉන් අනතුරුව ‘හෙරොයින් මත්කුඩු’ සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීම යන චෝදනා යටතේ නීතිපතිවරයා විසින් මෙම විත්තිකරුට එරෙහිව අධි චෝදනා ගොනු කරනු ලැබුවා.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කළ මහාධිකරණ විනිසුරුවරයා විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කර තිබෙන චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු වී තිබෙන බව සඳහන් කළා.

ඒ අනුව විත්තිකරුට ජීවිතාන්තය දක්වා සිට දඩුවම් නියම කරන බවත් විනිසුරුවරයා නියෝග කළා ෴


සම සෞඛ්‍ය උපාධිධාරින් බඳවා ගැනීම ගැන විශේෂ දැනුම්දීමක්

(29.04.2025 – 12:49 +0530 – hirunews.lk/sinhala)

පරිපූරක වෘත්තීන්ගේ සේවාවට අයත් වෛද්‍ය රසායනාගාර කාර්මික විද්‍යාඥ හා භෞතික චිකිත්සක තනතුරු සඳහා පැවැත්වූ තරග විභාගයේ ප්‍රතිඵල සති දෙකක් (2) ඇතුළත නිකුත් කිරීමට පියවර ගන්නා බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.

අමාත්‍යවරයා මේ පිළිබඳව සඳහන්කර සිටියේ අද (29) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින්.

මැයි මාසය අවසන් වීමට පෙර මෙම උපාධිධාරීන්ට වෛද්‍ය රසායනාගාර කාර්මික විද්‍යාඥ සහ භෞතික චිකිත්සක අනුස්ථාපන සහ සමායෝජන පුහුණුවක් ලබා දෙන අතර ඉන් අනතුරුව ඔවුන් රාජ්‍ය සේවයට බඳවා ගන්නා බවයි අමාත්‍යවරයා පවසා සිටියේ.

පුහුණු පාඨමාලාවට බඳවා ගැනීමේදී ඔවුන්ට රු. 45000 ක දීමනාවක් සහ රාජ්‍ය සේවයට බඳවා ගැනීමේදී රුපියල් 75000 ට වඩා ඉහළ වැටුප් ලබා දීමක් සිදුකරන බවයි අමාත්‍යවරයා පවසා සිටියේ.

එමෙන්ම මෙම පිරිස බඳවා ගැනීමට පෙර අනෙක් කණ්ඩායමට විභාගය පැවැත්විය හැකි බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන්කර සිටියේ.

+


පාස්කු විමර්ශන ගැන රනිල්ගෙන් කිසිවෙක් නොසිතු අනාවරණයක් | එක්කෙනක් වෙනුවෙන් මුස්ලිම් අය පාවා දෙනවද..? (29.04.2025)

+


ලොව විශාලතම බහලු නෞකාවක් කොළඹට

(29.04.2025 – 17:31 +0530 – hirunews.lk/sinhala)

ලොව විශාලතම බහලු නෞකාවක් වන MSC MARIELLA නෞකාව කොළඹ වරායේ නැගෙනහිර ජාත්‍යන්තර බහලු පර්යන්තය වෙත මෙහෙයුම් කටයුතු සඳහා පැමිණ තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකාවේ බහලු පර්යන්තයකට පැමිණි විශාලතම බහලු නෞකාව ලෙසින් මෙය හැඳින්විය හැකි බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසනවා.

2023 වර්ෂයේ දී නිෂ්පාදිත මෙම MSC MARIELLA බහලු නෞකාව දිගින් මීටර් 399.90 ක් වන අතර නෞකාවේ පළල මීටර් 61.30 ක්.

එමෙන්ම නෞකාව ටොන් 2,40,739 ක ධාරිතාවයකින් සමන්විතයි.

එම නෞකාවේ රැගෙන යා හැකි බහලු ධාරිතාව 24,246 ක් බව සඳහන්.

මෙම නෞකාව ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් ‘නැගෙනහිර ජාත්‍යන්තර බහලු පර්යන්තය’ වෙත පැමිණීමෙන් එම පර්යන්තය සතු අතිවිශාල බහලු නෞකා මෙහෙයවීමේ ශක්‍යතාවය තහවුරු වනවා ෴

+

+


මැයි දින විශේෂ රථවාහන සැලැස්ම ගැන පොලිසියෙන් දැනුම් දීමක්

(29.04.2025 – 22:50 +0530 – hirunews.lk/sinhala)

ලෝක කම්කරු දිනය නිමිත්තෙන් සංවිධාන කෙරෙන මැයි දින පෙළපාලි, රැස්වීම් හා සැමරුම් උත්සව වෙනුවෙන් ආරක්ෂාව, රථ වාහන පාලනය හා මාර්ග ආරක්ෂාව සැලසීම සහ සාමාන්‍ය රථ වාහන ගමනාගමනය වෙනුවෙන් පොලිසිය මේ වන විටත් සැලසුම් කොට තිබෙනවා.

ඒ අනූව කොළඹින් පිට පළාත්වල පැවැත්වෙන මැයි දින පෙළපාලි, රැස්වීම් හා සැමරුම් උත්සව සම්බන්ධයෙන් සුදුසු පරිදි අවශ්‍ය ආරක්ෂාව, රථවාහන පාලනය හා මාර්ග ආරක්ෂාව සැලසීමට කටයුතු කර තිබෙනවා.

ඒ සඳහා පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට, දිසා භාර නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට මෙන්ම කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන්ට මේ වන විටත් පොලිස් මුලස්ථානය මගින් අවශ්‍ය උපදෙස් හා නියෝග ලබා දී තිබෙනවා.

මේ අතර කොළඹ නගරයේ, ගාලුමුවදොර ක්‍රීඩා පිටිය, කෙසෙල්වත්ත ප්‍රේමදාස පිළිරුව අභියස මෙන්ම කොටුව දුම්රිය ස්ථානය ඉදිරි පිටින්, ආරම්භ කර ඕල්කට් මාවත, ටෙක්නිකල් හන්දිය, සංඝරාජ මාවත ඔස්සේ පී.ඩී. සිරිසේන ක්‍රීඩාංගනය දක්වා පෙළපාලියක් හා රැළියක් පැවැත්වීම ඇතුළු රැලි හා පෙලපාලි රැසක් පැවැත්වීමට නියමිත බව පොලිස් මූලස්ථානය පවසනවා.

මේ පිළිබඳව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නික්කුත් කළ නිවේදනය :
[පිටුව 1][පිටුව 2][පිටුව 3]

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *