සිරි දළදා වන්දනාවේ හයවැනි (6) දිනය අදයි (23)

සිරි දළදා වන්දනාවේ හයවැනි (6) දිනය අදයි (23)


සිරි දළදා වන්දනාවේ හයවැනි (6) දිනය අදයි (23)

(23.04.2025 – 15:41 +0530 – hirunews.lk/sinhala)

දළදා වහන්සේ සියැසින් දැක වන්දනාමාන කිරීමේ අවස්ථාව ලංකාවාසී සහ ලෝකවාසී සැදැහැවතුන්ට හිමිවන ‘සිරි දළදා වන්දනාව’ හයවැනි (6) දිනය අදයි (23).

ඊයේ (22) දිනය තුළ පමණක් සැදැහැවතුන් 180,000 ක පිරිසක් දළදා වහන්සේ වන්දනාමාන කර තිබූ අතර තවත් සැහැදැවතුන් විශාල පිරිසක් මේ වන විට පෝලිම්වල රැදී සිටිනවා.

ගෙවුණු දින 5 තුළ දළදා වහන්සේ වන්දනාමාන කිරීමට නොහැකි වූ සැදැහැවතුන් අද (23) දිනයේ දළදා වහන්සේ වන්දනා කිරීමේ අපේක්ෂාවෙන් ඊයේ (22) රාත්‍රියේ මග දෙපස රැය පහන් කළා.

සිරි දළදා වන්දනාවට පැමි‍ණෙන සැහැදැවතුන් වෙනුවෙන් වෙන්කර ඇති ප්‍රවේශ මාර්ග තුනම (3) අදත් වෙනදා මෙන්ම සැදැහැවතුන්ගෙන් පිරී පැවතියා.

සැදැහැවතුන් වැඩි පිරිසකට දළදා වහන්සේ වන්දනාමාන කිරීමට ඉඩ සැලසීමේ අරමුණින් අදත් (23) පෙරවරු 11:00 ට ‘සිරි දළදා වන්දනාව’ ආරම්භ කෙරුණා.

ඊයේ (22) දිනයේ සැදැහැවතුන් අධික පිරිසක් දළදා වහන්සේ වන්දනාමාන කර ගැනීමට මහනුවරට පැමිණීම හේතුවෙන් පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටියේ අද (23) දිනයේ දළදා වහන්සේ වන්දනාමාන කිරීමට පැමිණීමෙන් වළකින ලෙසයි.

අද (23) දිනයේත් පස්වරු 05:30 දක්වා සිරි දළදා වන්දනාවට සැදැහැවතුන්ට අවස්ථාව හිමිවනවා.

+++

“ඉදිරි දින දෙක (2) තුළ සිරි දළදා වන්දනාවට පැමිණීමෙන් වළකින්න” – පොලිසියෙන් ඉල්ලීමක්

(23.04.2025 – 17:34 +0530 – hirunews.lk/sinhala)

‘සිරි දළදා වන්දනාව’ සඳහා බැතිමතුන්ගේ පැමිණීම වැඩිවීම හේතුවෙන් ඉදිරි දින දෙක (2) තුළ වන්දනාමාන කටයුතු සිදු කිරීම සඳහා පැමිණිමෙන් වළකින ලෙස ‘ශ්‍රී ලංකා පොලිසිය’ බැතිමතුන්ගෙන් ඉල්ලීමක් කරනවා.

‘සිරි දළදා වන්දනාව’ 2025.04.18 වන දින ආරම්භ වූ අතර අඛණ්ඩව සයවෙනි (6) දිනටත් අද (23) පැවත්වුණා.

දළදා වන්දනාව පැවැත්වෙන අද (23) දින මේ වන විටත් බැතිමතුන් ලක්ෂ තුනකට (3) අධික සංඛ්‍යාවක් ‘සිරි දළදා වන්දනාව’ සඳහා මහනුවර නගරයේ පෝලීම්වලට ඒකරාශීව සිටින අතර එබැවි හෙට (24) සහ අනිද්දා (25) යන දෙදින (2) තුළ තවත් බැතිමතුන් පැමිණිමක් සිදුවුවහොත් අලුතින් පැමිණෙන බැතිමතුන් හට වන්දනාමාන කටයුතු සිදු කර ගැනීම සඳහා අවස්ථාව නොලැබෙන අතර එබැවින් ඉදිරි දෙදින තුළ ‘සිරි දළදා වන්දනාව’ සඳහා පැමිණීමෙන් වලකින ලෙසයි ශ්‍රී ලංකා පොලිසිය බැතිමතුන්ගෙන් ඉල්ලා සිටින්නේ ෴

විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින් සහ ආබාධිත පුද්ගලයින් ද දළදා වහන්සේ වන්දනාමානා කිරීමට අදත් (23) පැමිණ සිටියා.

ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලැත්තන් ඇතුළු ආදි වාසීන් පිරිසක් ශ්‍රී දළදා වහන්සේට මී පැණි පූජා කිරීම සඳහා ශ්‍රී දළදා මාලිගාවට පැමිණියා.

සිරි දළදා වන්දනාව සඳහා පැමිණෙන සැදැහැවතුන් නිවැරදිව ගණනය කිරීම සඳහා මධ්‍යම පළාත් ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය හා තවත් ආයතනයක් එක්ව AI තාක්ෂණය භාවිතයෙන් වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබෙනවා.

පස්වරු 05:30 දක්වා සිරි දළදා වන්දනාවට සැදැහැවතුන්ට අවස්ථාව හිමි වූ අතර අද (23) දිනයේත් දළදා වහන්සේ වන්දනාමාන කිරීමට නොහැකි වූ සැදැහැවතුන් තවමත් පෝලිම්වල රැඳී සිටින්නේ හෙට (24) දිනයේ හෝ දළදා වහන්සේ වැඳපුදා ගැනීමේ අපේක්ෂාවෙන් ෴

මේ අතර ‘රතු බෝක්කුව’ දෙසින් වන පෝළිමේ රැඳී සිටි කාන්තාවකට (1) ඇතිවූ හෘද රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගතකිරීමෙන් පසුව මරණයට පත්වූ සංවේදී සිදුවීමක් වාර්තා වූ බවද පොලිසිය පවසනවා.

මේ නිසා බැතිමතුන්ගේ ආරක්ෂාව, සනීපාරක්ෂක අවශ්‍යතා හා අනවශ්‍ය ගැටළු ඇති නොවීම සලකා මෙම ඉල්ලීම සිදුකරන බවයි විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් මධ්‍යම පළාත භාර ජ්‍යේෂ්ට නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක කියා සිටියේ.

කෙසේ වෙතත් සිරි දළදා වන්දනාවේ 06 වැනි දිනය වූ අද 83,000 කට අධික බැතිමතුන් පිරිසක් දළදා වහන්සේ වැඳ පුදාගෙන තිබෙන බවයි ජ්‍යේෂ්ට නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් පැවසුවේ.

+

‘සිරි දළදා වන්දනාව’ සඳහා මහනුවරට පැමිණ පෝලිම්වල සිටින බැතිමතුන් හඳුනා ගැනීමට ‘විශේෂ ස්ටිකර් එකක්’ ලබාදීමට පොලිසිය තීරණය කර තිබෙනවා.

අද (23) රාත්‍රියේ සිටම මෙය ක්‍රියාත්මක කරන බවද සඳහන්.

මේ අතර සිරි දළදා වන්දනාවේ හෙට (24) දිනය සඳහා සැදහැවතුන් 400,000 ක් පමණ මේ වන විට පෝළිම්වල රැඳී සිටින බව පොලිසිය පවසනවා.

පොලිසියේ ඇස්තමේන්තුව අනුව මේ වන විටත් මහනුවර නගරයේ මෙම සැදහැවතුන් දළදා වන්දනාවට සූදානමින් සිටින බව හඳුනාගෙන තිබෙනවා ෴

+++

‘සිරි දළදා වන්දනාව’ වෙනුවෙන් ක්‍රියාත්මක විශේෂ දුම්රිය අත්හිටුවයි

(23.04.2025 – 23:44 +0530 – sinhala.adaderana.lk)

‘සිරි දළදා වන්දනාව’ වෙනුවෙන් කොළඹ කොටුවේ සිට මහනුවර දක්වා ක්‍රියාත්මක කර තිබූ විශේෂ දුම්රිය හෙට (24) සිට නැවත දැනුම්දෙන තුරු ක්‍රියාත්මක නොකිරීමට තීරණය කර ඇත.

පොලීසියේ ඉල්ලීම පරිදි මෙම තීරණය ගත් බව දුම්රිය සාමාන්‍යාධිකාරී පැවසීය ෴


මත්ද්‍රව්‍ය ගැන දුන් ඔත්තුව මායිම් නොකළ ‘අනුරපුර පොලිසිය’ ගැන විමර්ශනයක්

(23.04.2025 – 20:10 +0530 – hirunews.lk/sinhala)

කුලී පදනම මත ලබාගත් මෝටර් රථයක් යොදාගෙන ‘හෙරොයින් ජාවාරම් කරන බවට’ ලද පැමිණිල්ලකට අදාළව ‘අනුරාධපුර පොලිස් නිලධාරීන්’ නිසි ලෙස ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේ වැඩබලන පොලිස්පතිවරයාගේ නියෝගයට අනුව කැබිතිගොල්ලෑව දිසාව භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිය යටතේ අදාළ විමර්ශනය සිදුවන බවයි‍.

මෝටර් රථයේ හිමිකරු විසින් කළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් නිසි පියවර නොගෙන අනුරාධපුරයේ පොලිස් නිලධාරීන් ක්‍රියා කළ ආකාරය සම්බන්ධයෙන් ‘හිරු ප්‍රවෘත්ති’ ඊයේ (22) තොරතුරු වාර්තා කළා.

එහිදී අදාළ පුද්ගලයා ‘අනුරාධපුර දිස්ත්‍රික් අපරාධ විමර්ශන අංශය’ට, ‘අනුරාධපුර මූලස්ථාන පොලිසිය’ට මෙන්ම ‘අනුරාධපුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරියවරයා’ට දුරකථන ඇමතුම් ලබාදුන්නත් තමාට ලැබුනේ අයහපත් ප්‍රතිචාරයක් බවයි ඔහු අනාවරණය කළේ ෴


ධාවනය වෙමින් තිබූ ත්‍රීරෝද රථයක් ගිනි ගනියි

(23.04.2025 – 20:38 +0530 – hirunews.lk/sinhala)

හැටන් සිට මහනුවර දක්වා ධාවනය වූ ත්‍රිරෝද රථයක් අද (23) ගිනිගෙන විනාශ වී ඇති බව හැටන් පොලිසිය පවසනවා.

එම ත්‍රිරෝද රථය ගිනිගෙන ඇත්තේ හැටන් මහනුවර ප්‍රධාන මාර්ගයේ හැටන් ස්ට්‍රැඩන් වත්ත ප්‍රදේශයේදීයි.

ගිනි ගනිමින් තිබුණු ත්‍රිරෝද රථයේ ගින්න පාලනය කිරිමට ප්‍රධාන මාර්ගයේ ගමන් ගත් වාහනවල රියදුරන් සහ ප්‍රදේශවාසීන් කටයුතු කර තිබෙනවා.

අනතුරින් කිසිවෙකුටත් තුවාල සිදු වී ‍නොමැති අතර ගින්නෙන් ත්‍රිරෝද රථයට දැඩි අලාභ හානි සිදු වී ඇති බවයි වාර්තා වන්නේ.

හැටන් පොලිසිය පවසන්නේ ගින්නට හේතුව ඉන්ධන කාන්දුවක් බවට සැකකරන බවයි ෴


‘ආරක්ෂිත හිස් වැසුම්’ පැළඳ සැක කටයුතු ලෙස හැසිරෙන පුද්ගලයින් පරීක්ෂාවට පොලිසියට අවසර

(24.04.2025 – 06:41 +0530 – hirunews.lk/sinhala)

පසුගිය කාලය තුළ දිවයිනේ විවිධ ප්‍රදේශවල සිදු වූ වෙඩි තැබීම් හා මනුෂ්‍ය ඝාතන ඇතුළු විවිධ අපරාධ සඳහා සැකකරුවන් පැමිණීමේදී හිස හා මුහුණ ආවරණය වන පරිදි ‘ආරක්ෂිත හිස් වැසුම්’ (හෙල්මට්) පැළඳ අපරාධ සිදු කර ඇති බව නිරීක්ෂණය වී ඇති බව පොලිසිය සඳහන් කරනවා.

හිස් වැසුම් පැළඳ සිටීම අවශ්‍යවනුයේ යතුරු පැදියක ගමන් කරන අවස්ථාවන්හිදීවන අතර එය පැදිකරුගේ හා පසුපැදිකරුගේ ආරක්ෂාව සඳහා පමණක් බව සඳහන්,

ඒ අනුව, එබැවින් යම් පුද්ගලයෙකු යතුරු පැදියක ගමන් නොකරන අවස්ථාවකදී ආරක්ෂිත හිස් වැසුම් පැළඳ සැකකටයුතු ලෙස හැසිරෙන බව නිරික්ෂණය වූ විට එම පුද්ගලයා සහ ඔහු සන්තකයේ ඇති බඩු බාහිරාදිය පරීක්ෂා කිරීම සිදු කළ යුතු බවට දන්වා පොලිස් මූලස්ථානය මගින් සියලුම පොලිස් නිලධරයන් සඳහා උපදෙස් ලබා දී ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කරන්නේ ෴


ලිපි – හඬපට – වීඩියෝ රැසක් එළියට දමමින් සිදුකළ විශේෂ අනාවරණයක් | මේ සේරම ඩීල් විතරයි (24.04.2025)

+


පුංචි ඡන්දයේ තැපැල් ඡන්ද විමසීම අදින් (24) ඇරඹේ

(24.04.2025 – 09:15 +0530 – hirunews.lk/sinhala)

පළාත් පාලන ආයතන 339 සඳහා පැවැත්වෙන ජන්ද විමසීමට අදාළව තැපැල් ජන්ද විමසීම අද (24) ආරම්භ වනවා.

එය හෙට (25) සහ ලබන 28, 29 යන තෙදින (3) තුළද මැතිවරණ කොමසාරිස් කාර්යාලය, පොලිස් දෙපාර්තමේන්තුව, දිස්ත්‍රික් ලේකම් කාර්යාල ඇතුලු රාජ්‍ය ආයතනවලදී සිදු කෙරෙන බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ.

මෙවර පළාත් පාලන ජන්ද විමසීමේදී තැපෑලෙන් ඡන්දය ප්‍රකාශ කිරීම සදහා අයදුම්පත් 663,499 ක් ලැබී ඇති නමුත් ඉන් පිළිගෙන ඇත්තේ 648,490 ක් පමණයි.

තැපැල් ඡන්ද විමසීම පෙරවරු 8 ට ආරම්භ වීමට නියමිත අතර ඡන්ද මධ්‍යස්ථාන ලෙස යොදා ගන්නා රාජ්‍ය ආයතනවලට පොලිස් ආරක්ෂාව ලබා දී තිබෙනවා. එමෙන්ම, සිරි දළදා වන්දනාවේ රාජකාරීවල නිරත වී සිටින නිලධාරීන්ට තැපැල් ඡන්දය භාවිතා කිරීම සඳහා විශේෂ මධ්‍යස්ථානයක් මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ ස්ථාපිත කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක ප්‍රකාශ කළා.

එමෙන්ම, ‘පැෆරල් සංවිධානය’ තැපැල් ඡන්ද විමසීමේ කටයුතු නිරීක්ෂණය කරනවා.

ලබන මස 06 වනදා පැවැත්වීමට නියමිත පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව මේ වන විට පැමිණිලි 2298 ක් ලැබී ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කළේ ෴


පාසල් සිසුන් සඳහා ලබාදෙන පෝෂ්‍යදායී ආහාරවේල අඛණ්ඩව

(24.04.2025 – 09:29 +0530 – hirunews.lk/sinhala)

පාසල් සිසුන් සඳහා පෝෂ්‍යදායී ආහාර වේලක් ලබාදීමේ වැඩසටහන ඒ අයුරින්ම අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බව ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක ප්‍රකාශ කළා.

අදාළ වැඩසටහනට සම්බන්ධ සියලු‍ පාර්ශවයන් සමග ජනාධිපති ලේකම් කාර්යාලයේ ඊයේ (23) පැවති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කර තිබෙනවා.

පාසල් සිසුන්ගේ රක්තහීනතාව අඩු කිරීම ඉලක්ක කරගනිමින් ලෝක ආහාර වැඩසටනේ ආධාර මත පෝෂ්‍යදායී ආහාරවේලක් ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මකයි ෴


සමාජ මාධ්‍ය වීඩියෝ සඳහා යුද හමුදා ඇදුම් එපා – යුද හමුදා මූලස්ථානය

(24.04.2025 – 09:41 +0530 – hirunews.lk/sinhala)

වර්තමානයේදී සමාජ මාධ්‍ය තුළ ප්‍රචලිත විවිධ යෙදවුම් තුළින් සිදුකරනු ලබන රූප රචනා, ගීත හා කෙටි වීඩියෝ සඳහා හමුදා නිල ඇඳුම් අනුමැතියකින් තොරව භාවිත කිරීමේ ප්‍රවනතාවයක් මතුව ඇති බවට යුද හමුදා මූලස්ථානය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් කියා සිටියේ මේ හේතුවෙන් යුද හමුදාවේ ප්‍රතිරූපයට හානි සිදුවන බවයි.

මෙලෙස යුද හමුදා නිල ඇදුම් අවසරයකින් තොරව නිර්මාණ කටයුතු සඳහා භාවිත කිරීම නීති විරෝධි ක්‍රියාවක් වුවද, බොහෝදෙනා නොදැනුවත්කම මත මෙවැනි ක්‍රියාකාරකම් සිදුකරන බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

මෙලෙස නොදැනුවත්කමින් සිදුකරන ක්‍රියාවන් හේතුවෙන් මව්බිම වෙනුවෙන් තම ජිවිත, මෙන්ම ශරීර කොටස් පූජාකළ හමුදා සාමාජිකයින් අභිමානයෙන් පලදින නිල ඇදුම හෑල්ලු‍වට ලක් වන බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ෴


කාන්තාවක් ඝාතනය කළ අයෙකුට වසර 10 කට පසු මරණ දණ්ඩනය

(24.04.2025 – 10:02 +0530 – hirunews.lk/sinhala)

2015 වසරේ කොළඹ හෙට්ටි වීදියේ පිහිටි ලැගුම්හලකදී කාන්තාවක් ඝාතනය කර ගමන් මල්ලක දමාගෙන විත් කොළඹ බැස්ටියෙන් පාරේ පිහිටි බස් නැවතුම්පොලේ දමා යෑමේ සිද්ධියට සම්බන්ධ චෝදනාවලට වරදකරු කෙරුණු පුද්ගලයෙකුට කොළඹ මහාධිකරණය ‘මරණීය දණ්ඩනය’ නියම කළා.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ විසින් මෙම තීන්දුව ලබා දුන්නා.

2015 වසරේ ජූලි මස 29 වනදා කොළඹ හෙට්ටිවීදියේ පිහිටි ලැගුම්හලකදී ‘ධර්ම රාජා කාර්තිකා’ නමැති කාන්තාවක් ඝාතනය කර ඇයගේ මෘත ශරීරය ගමන් මල්ලක බහා කොළඹ බැස්ටියෙන් මාවතේ පිහිටි බස් නැවතුම්පොලේ දමා යාමේ සිද්ධිය සම්බන්ධයෙන් ‘පැට්‍රික් ක්‍රිෂනරාජා’ නමැති විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබුණා.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කළ කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ විත්තිකරු අදාළ චෝදනාවලට වරදකරු කරන බව සඳහන් කළා.

දඬුවම් නියම කිරීමට පෙර අධිකරණය හමුවේ කරුණු දැක්වූ විත්තිකරු කියා සිටියේ තමන් මෙම චෝදනාවලට නිවැරදිකරු බවයි.

කෙසේ වෙතත් විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කළ චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු වී ඇති බැවින් ඔහු එම චෝදනාවලට වරදකරු කරන බවත් ඒ අනුව ඔහුට මරණීය දණ්ඩනය නියම කරන බවත් විනිසුරුවරයා තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *