ආණ්ඩුව සඟවන මහ මොලකරු මෙන්න.. – නීතිඥ උදය ගම්මන්පිල

ආණ්ඩුව සඟවන මහ මොලකරු මෙන්න.. – නීතිඥ උදය ගම්මන්පිල


ආණ්ඩුව සඟවන මහ මොලකරු මෙන්න.. – නීතිඥ උදය ගම්මන්පිල

(21.04.2025 – 15:00 +0530 – lankacnews.com)

‘පිවිතුරු හෙළ උරුමය’ මාධ්‍ය හමුවේ දී පක්ෂ නායක ‘නීතිඥ උදය ගම්මන්පිල මහතා’ මෙසේ අදහස් පල කලේය :

“අද මට දැනෙන්නේ මම රැම්බෝ වගේ. පුංචි කාලේ විශාල හමුදාවක් එක්ක රැම්බෝ තනියම සටන් කරන දර්ශන දැක්කාම මට එදා හිතුනේ මේවා චිත්‍රපටිවල මිස සැබෑ ජීවිතයේ සිදුවන දේවල් නොවේ කියලා. ජනාධිපතිගේ සිට නන්නාඳුන මන්ත්‍රිවරුන් දක්වා කතාවක් පැවත්වුවහොත් සමස්ත ආණ්ඩුවම පහර දෙන්නේ තනි මට. ටිල්වින් සිල්වා මහතාගේ සිට ජවිපෙ සිටින සියළුම නායකයින් සිට පහළම සාමාජිකයා දක්වාම පහර දෙන්නේ තනි මට. ‘කණ්ඩායමක් තනි ඔබට පහර දීමට පැමිණෙත් නම් සටන ඇරඹීමට පෙරම ජයග්‍රහණය ඔබ සතුය’ කියා කියමනක් තිබෙනවා. මුළු ආණ්ඩුවම එක මිටට එකතු වී මම සුවිශේෂී වීරයෙකු කළ මාලිමාවේ නායකයින්ට ප්‍රණාමය පුද කරන්න මේක අවස්ථාව කර ගන්නවා.

ආණ්ඩුවේ මහ මොලකරු කෝ?

මාලිමා ආණ්ඩුව තවත් වටයකින් මේ රටේ ජනතාව රවටන්න දැරූ උත්සාහයක් අපට පරාජය කරන්න පුළුවන් වුණා. ආණ්ඩුවට මාස හයක් (6) සම්පූර්ණ වුණාම කාදිනල්තුමා ආණ්ඩුවට තර්ජනයක් කළා. පාස්කු ප්‍රහාරයට අවුරුදු හයක් (6) සම්පූර්ණ වන අප්‍රේල් 21 වන විටත් පාස්කු ප්‍රහාරයේ මහ මොලකරු හෙලිදරව් කරන්න ආණ්ඩුව අසමත් වුණොත් තමන් කතෝලික ජනතාව සමග පාරට බහිනවා කියලා. මේකෙන් තැති ගත්ත ජනාධිපතිතුමා මාර්තු 30 දා මැතිවරණ වේදිකාවේ සිට පොරොන්දුවක් දෙනවා අප්‍රේල් 21 ට පෙර පාස්කු ප්‍රහාරයට වගකිවයුතු පිරිසක් හෙලිදරව් කරන බවයි. ඒ නිසා හැමෝම බලා ගෙන හිටියා 21 ට පෙර ජනාධිපතිතුමා මොකක් හරි හෙලිදරව්වක් කරාවි කියලා. අද අප්‍රේල් 21. හෙලිදරව්ව කලා ද? කරගන්න පුළුවන් උනේ නෑ. ඒකත් ආණ්ඩුවේ තවත් එක් ‘කඩවුණු පොරොන්දුවක්’ වුණා. එහෙම වුණේ ඇයි?

ආණ්ඩුව සැලසුම් කරලා තිබුණේ ‘පිල්ලෙයාන්’ව රැඳවුම් නියෝග මත රඳවා ගෙන ඉන්න අතරේ පිල්ලෙයාන් පපොච්චාරණ කළ විධියට තමන්ගේ හිතේ ඉන්න කෙනා මහ මොලකරු බවට ප්‍රකාශ කරන්න. ඒ නිසා තමයි පිල්ලෙයාන්ව අත්අඩංගුවට අරන් කාත් එක්කවත් කතා කරන්න නුදුන්නේ. ඒ නිසා තමයි නීතියෙන් හිමි නීතිඥවරයෙකුට සහය ලබා ගැනීමට පිලලෙයාන්ට අවස්තාව නොදුන්නේ. ඒ නිසා තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් අත්අඩංගුවට ගැනීමට හේතුවක් දැක්වීම පොලීසියෙන් ප්‍රතික්ෂේප කරේ. ඔය අතරේ ජනාධිපති කිව්වේ අත්අඩංගුවට ගත්තේ පාස්කු ප්‍රහාරයට කියලා. හැබැයි කර්මාන්ත ඇමති කියනවා පාස්කු ප්‍රහාරයට නොවේ මහචාර්යවරයෙකු අතුරුදහන් වීමකට කියලා. පොලිස් ඇමති පාර්ලිමේන්තුවට කිව්වේ පිල්ලෙයාන් පාස්කු ප්‍රහාරය ගැන වැදගත් තොරතුරු හෙලි කරමින් ඉන්නවා කියලා. ඒ පොලිස් ඇමතිගේ ප්‍රකාශයට සමගාමිව තමයි මාලිමාවේ ‘කුලී සමාජ මාධ්‍යකරුවන්’ ‘පිල්ලෙයාන් සියල්ල වමාරයි’, ‘පිල්ලෙයාන් පාස්කු ප්‍රහාරයට සම්බන්ධයි’ වැනි සිරස්තල හැදුවේ. ඒ වගේම මාලිමාවෙන් නඩත්තු වෙන පුද්ගලයින් ලවා මාධ්‍ය හමු පවත්වමින් මේ මතය සමාජ ගත කලේ.

අපේ රටට සාමය උදා කරන්න ජීවිතය පරදුවට තැබූ මනුස්සයෙකුගේ ජීවිතය ඔට්ටුවට තියලා ආණ්ඩුව කරන මේ අශීලාචාර සෙල්ලම මම දැක්කා. ඒ අසාධාරණ සෙල්ලම කොහොම හරි නතර කරනවා කියා මම අධිෂ්ඨාන කර ගත්තා. ඒ නිසා ආණඩුවේ උපක්‍රම පරාජය කරලා මම නීති ගැටයක් ගහලා පිල්ලෙයාන් බලන්න ගියා. ‘ඔබව අත්අඩංගුවට ගැනීමට හේතුව කියන්න පොලිසිය ව්‍යවස්ථාවෙන් බැඳිලා ඉන්නවා. හේතුව කිව්වා ද?’ කියා මම පිල්ලෙයාන් ගෙන් ඇහුව්වා. ඔහු, අත්අඩංගුවට ගැනීමේ ලදුපත පෙන්නුවා. ඒකේ අත්අඩංගුවට ගැනීමේ හේතුව කියන තැන ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතේ වගන්ති කිහිපයක අංක දාලා තිබුණා මිස හේතුවක් ලියලා තිබුණේ නෑ. ඒ කියන්නේ පිල්ලෙයාන් අත්අඩංගුවට ගැනීමට හේතුව අඩුම ගණනේ පොලිසියවත් දන්නේ නෑ.

‘පාස්කු ප්‍රහාරය ගැන ඔබෙන් ප්‍රශ්න කරනවා කියන්නේ ඇත්ත ද?’ කියා මම ඇහුව්වා. ‘මගෙන් පාස්කු ප්‍රහාරය ගැන කිසිම දෙයක් ඇහුව්වෙත් නෑ. ඇහුව්වත් උත්තර දෙන්න කිසිම දෙයක් දන්නෙත් නෑ’ කියා පිල්ලෙයාන් උත්තර දුන්නා. මොකද ඔහු 2015 සිට 2020 දක්වාම පොලිස් අත්අඩංගුවේ පසු වූයේ. මම පසුව ඔහුගේ එකඟතාවය මත ඒ බව රටට කියූ නිසා ‘ආණ්ඩුවේ මහ මොලකරු නිෂ්පාදනය කිරීමේ මෙහෙයුම’ එතැනින්ම කඩාකප්පල් වුණා. ආණ්ඩුව වියරු වැටිලා මට මඩ ගහන එක පුදුම වෙන්න දෙයක් නෑ. මිලියන 22 ක් රැවටීමට ගත් උත්සාහයක් තනිවම පරාජය කිරීමට පුළුවන් වීම ගැන මම අවංකවම සතුටු වෙනවා. ආණ්ඩුවේ ලොක්කන් වියරු වැටිලා මට බනින ප්‍රමාණය තමයි මගේ සාර්ථකත්වය මනින මීටරේ බවට පත් වෙලා තියෙන්නේ.

ආණ්ඩුව සඟවන මහ මොලකරු මෙන්න

දැන් ආණ්ඩුවට මහමොළකරු සොයාගන්න බැරි වුණාට ලෝකයේ තිබෙන විශිෂ්ටතම අපරාධ විමර්ශන ආයතනය ලෙස සලකන්නේ ඇමෙරිකාවේ Federal Bureau of Investigations නැතිනම් ‘එෆ්.බී.අයි.’ ආයතනය. ඔවුන් සතු සම්පත්, තාක්ෂණය සහ අත්දැකීම් වලින් ඔවුන්ට සම කළ හැකි ආයතනයක් ලෝකයේ නෑ. ඇමෙරිකාව සමග සටන් කරන ‘අයි.එස්.අයි.එස්.’ සංවිධානය පාස්කු ප්‍රහාරයේ වගකීම භාරගත් නිසාත් ප්‍රහාරයෙන් ඇමෙරිකානුවන් මිය ගිය නිසාත් විමර්ශන කටයුතු වලට සම්බන්ධ වෙන්න ‘එෆ්.බී.අයි.’ ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වුණා. මේ අය සාක්ෂිකරුවන් වගේම සැකකරුවන් ගෙන් ද ප්‍රශ්න කලා. බෝම්බ පත්තු වුණු ස්ථාන වල තිබුණු සාක්ෂි නවීන තාක්ෂණය භාවිතා කරලා විශ්ලේෂණය කළා. ත්‍රස්තවාදින් භාවිත කල ජංගම දුරකතන වගේම ‘උකුළු පරිගණක’ (Laptop) වල අඩංගු තොරතුරු වගේම මැකූ තොරතුරුත් සියල්ල පරික්ෂාවට ලක් කලා. ‘තව්හිත් ජමාත්’ සංවිධානයේ පොත්පත් අධ්‍යනය කළා. ‘අයි.එස්.අයි.එස්.’ පිළිබඳ ලෝකයේ සිටින විශේෂඥයින්ගෙන් තොරතුරු අරගෙන ලංකාවෙන් ලැබුණු සාක්ෂි සමග සැසඳුවා. මේ සියල්ල කරලා අවසානයේ දී ‘එෆ්.බී.අයි.’ ආයතනය තීරණය කරනවා ලංකාවේ පාස්කු ප්‍රහාරයේ මහ මොලකරු අන්කවුරුත් නොවේ ‘තව්හිත් ජමාද් සංවිධානයේ නායක මොහමඩ් සහරාන් හසීම්’ කියලා. ඒ වගේම ඔහු ‘අයි.එස්.අයි.එස්.’ සංවිධානයේ ලංකා ශාඛාවේ ප්‍රධානියා බවත් ‘නවුෆර් මවුලවී’ එහි දෙවෙනියා බවත් . ‘අයි.එස්.අයි.එස්.’ සංවිධානයේ නියෝගය මත තමයි ‘සහරාන්’ මේ ත්‍රස්ත ප්‍රහාරය සිදු කරන්නේ කියලා.

මේ සියළු කරුණු අඩංගු පිටු 72 ක දිවුරුම් ප්‍රකාශයක් ‘එෆ්.බී.අයි.’ වෙනුවෙන් එහි විශේෂ නියෝජිත ‘මෙරිලි ආර් ගුඩ්වින්’ ඇමෙරිකානු අධිකරණයට ඉදිරිපත් කරලා තිබෙනවා. ඉංග්‍රීසි කියවන්න පුළුවන් හැමෝටම මං ආරාධනා කරනවා https://udayagammanpila.com/ වෙබ් අඩවියෙන් බා ගත කර ගන්න කියලා. පාස්කු ප්‍රහාරය සිදු වු ආකාරය පිළිබද ඉතාම වෘත්තීය මට්ටමේ විශ්ලේෂණයක් ඒ හාරහා දැන ගන්න පුළුවන්. ඒ විතරක් නොවේ සමස්ත ලෝකයේම ඉන්න විශිෂ්ටතම ත්‍රස්ත විශේෂඥයෙකු වන ‘මහචාර්ය රොහාන් ගුණරත්න’ මැතිතුමා ‘එෆ්.බී.අයි.’ වගේම සැකකරුවන් ප්‍රශ්න කරලා, තිබෙන තොරතුරු සියල්ලම විශ්ලේෂණය කලා. ‘එෆ්.බී.අයි.’ ආයතනයට වගේම ලෝකයේ ඕනෑම රටක් ත්‍රස්ත සැකකරුවන් ප්‍රශ්න කරන්න ඕනේ කිව්වොත් ඒ අවස්ථාව මහචාර්ය ගුණරත්න මැතිතුමාට දෙනවා. මොකද ඔහුගේ සුවිශේෂී දැනුමෙන් ඒ රටට ප්‍රයෝජනයක් ගන්න පුළුවන් නිසා. මේ සියල්ල විශ්ලේෂණය කරලා මහචාර්ය රොහාන් ගුණරත්න නිගමනය කලෙත් ‘අයි.එස්.අයි.එස්.’ අණින් බෝම්බ ප්‍රහාරය සැලසුම් කළ මහ මොලකරු ‘සහරාන් හසීම්’ කියලා. පසුව ඔහු තමන් ලබා ගත් තොරතුරු ඇතුලත් කරලා Sri Lanka Easter Sunday Massacre ඉංග්‍රීසියෙන් පොතක් ලිව්වා. පසුව සිරිල් ගුණවර්ධණ මැතිතුමන් එය සිංහලයට පර්වර්තනය කරලා තියෙනවා.

මහාචාර්ය රොහාන් ගුණරත්න මහතාටත් වඩා වඩා දක්ෂ ත්‍රස්ත විමර්ශකයින් පිරිසක් අපේ ‘එන්ජිඔ’ නඩයේ ඉන්නවා. ඒ අය යූටියුබ් නාලිකා පවත්වා ගෙන යමින් විවිධ ‘කුමන්ත්‍රණ න්‍යායන්’ conspiracy theories සමාජ ගත කරමින් ඉන්නවා. මම ඒ අයට ආරාධනාකරනවා ‘වීව්ස්’ (නැරඹුම් වාර) වැඩි කරගන්න සමාජ මාධ්‍ය ඉදිරියේ ඔවැනි කරුණු කියන්නේ නැතුව, තමන්ගාව පාස්කු ප්‍රහාරය ගැන ඒ අය දන්නා දෙයක් තිබෙනවා නම් වහාම පොලිසියට කියන්න. මොකද ජනපතිතුමා දුන්නු දිනය ඇතුලත මහ මොලකරු සොයා ගන්න බැරිව ඒ අයට විපතක්නෙ වෙලා තිබෙන්නේ.

ජූඩ් ප්‍රනාන්දු පියතුමා දෙවියන් වහන්සේටත් අකීකරු වේ

ජූඩ් ප්‍රනාන්දු පියතුමා ඊයේ (20) මාධ්‍ය හමුවක් පවත්වමින් පිල්ලෙයාන් ගැන බොරු වැලක් කිව්වා. අරන්තලාවේ භික්ෂු ඝාතනය කළ, නැගෙනහිර දී පොලිස් නිලධාරින් හය සීයක් (600) මරා දැමූ පිල්ලෙයාන් වෙනුවෙන් ගම්මන්පිල මහතා පෙනී සිටින්නේ කෙසේද කියා ප්‍රශ්න කළා. අරන්තලාවේ භික්ෂු ඝාතනය සිදු වෙන්නේ 1987 ජූනි 02. පොලිස් නිලධාරින් හය සීයක් (600) මරා දැමීම සිදු වෙන්නේ 1990 ජූනි 11. නමුත් ‘උගත් පාඩම් කොමිසම’ට පිල්ලෙයාන් දුන් සාක්ෂිය අනුව ඔහුව ‘කොටි සංවිධානය’ට බඳවා ගන්නේ 1991 දී. ඒකත් ළමා සොල්දාදුවෙකු විධියට. එහෙම නම් අරන්තලාව භික්ෂු ඝාතනයට සහ පොලිස් නිලධාරින් ඝාතනයට පිල්ලෙයාන් සම්බන්ධ යැයි පියතුමා කියන්නේ කොහොමද? අනුන් ලියා දෙන ඒවා සොයා නොබලා කියෙව්වාම මෙවැනි විපත් සිදු වෙනවා. දෙවියන් වහන්සේ ඔබතුමාට ඇස් දෙකක් සහ එක් කටක් ලබා දී තිබෙන්නේ හොඳින් කරුණු කියවා ඉන්පසු කතා කරන්නයි. ගරු පියතුමනි, දෙවියන් වහන්සේගේ ‘දස පනතේ’ අටවන (8) නියමය ‘බොරු නොකියව’ යන්නයි. ගරු පියතුමනි, ඔබතුමා දෙවියන් වහන්සේට කීකරු වන සේක්වා!

+

+


මෙන්න පුද්ගලයා – ඡායාරූප ලීක් කරයි.. (21.04.2025)

+


පුංචි ඡන්දයේ නාම යෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කළ රිට් පෙත්සම් ගණන 60 ක් වෙයි

(21.04.2025 – 13:15 +0530 – hirunews.lk/sinhala)

පසුගිය පළාත් පාලන ඡන්ද විමසීම සඳහා ඉදිරිපත් කළ නාම යෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව ගොනු කර තිබූ පෙත්සම් 60 ක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය අද (21) නියම කළා.

මෙම පෙත්සම් නිසි කාල සීමාව තුළ ඉදිරිපත් කර නොතිබීම සැලකිල්ලට ගෙන මෙම තීන්දුව ප්‍රකාශයට පත්කරන බව අභියාචනාධිකරණයේ වැඩ බලන සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කළා.

එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ඇතුළු දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් විසින් මෙම ඉදිරිපත් කර තිබුණා.

මෙම පෙත්සම් සම්බන්ධයෙන් ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව තීරණය ප්‍රකාශයට පත්කළ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා උප්පැන්න සහතික වල මුල් පිටපත් ඉදිරිපත් කිරීම, උප්පැන්න සහතික සාම විනිසුරුවරයා විසින් සහතික කිරීම , ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 07 වන උපලේඛනය යටතේ දිවුරුම සම්බන්ධයෙන් වූ ගැටලු සහ නිසි වේලාවට භාරදී නොතිබීම යන කරුණු මත ප්‍රතික්ෂේප කෙරුණු නාම යෝජනා පත්‍ර යලි භාරගන්නා ලෙස තම අධිකරණය විසින් මීට පෙර තේරීම් භාර නිලධාරීන්ට නියෝගයක් ලබාදී තිබූ බව සඳහන් කළා.

ඉහළ අධිකරණයකින් එම තීන්දුව සම්බන්ධයෙන් නියෝගයක් නිකුත් කරන තුරු තම තීන්දුව බලාත්මකව පවතින බව පෙන්වා දුන් සභාපති විනිසුරු වරයා එම නියෝග වලට අනුව වගඋත්තරකරුවන් කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කරන බවත් සඳහන් කළා.

නාමයෝජනා ප්‍රතික්ෂේප වීම සම්බන්ධයෙන් ඉදිරිපත් කෙරෙන පෙත්සම් වල අන්තර්ගත කරුණු පිරික්සීමේදී මැතිවරණ නීතියේ කිසියම් ගැටලුකාරී තත්ත්වයක් තිබෙන බව පෙනී යන බවත් එය නිවැරදි කිරීම සඳහා ව්‍යවස්ථාදායකය අවධානය යොමු කරන්නේ නම් වඩා සුදුසු බවත් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා පැවසුවා.

මෙම අධිකරණ ක්‍රියාමාර්ගය හේතුවෙන් මැතිවරණ ක්‍රියා මාර්ගයේ ඇති වූ ප්‍රමාද නිසා මේ වන විටත් රජයට රුපියල් මිලියන 30 ක 40 ක පමණ අලාභයක් සිදු වී ඇති බව අධිකරණය හමුවේ ප්‍රකාශ වූ බවත් විනිසුරුවරයා සඳහන් කළා.

මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන නිසි වේලාවට මෙම පෙත්සම්කරුවන් අධිකරණයට නොපැමිණීම නිසාත් මැතිවරණ ක්‍රියාදාමය අනවශ්‍ය ලෙස ප්‍රමාද වීම වැළැක්වීම යන කරුණු සැලකිල්ලට ගෙන මෙම තීන්දුව ප්‍රකාශයට පත්කරන බවද විනිසුරු මඩුල්ල කියා සිටියා ෴


බස් ලොරි අනතුරෙන් හමුදා සෙබළු 22 ක් රෝහලට

(21.04.2025 – 14:08 +0530 – hirunews.lk/sinhala)

නිට්ටඹුව – කිරිඳිවැල පාරේ මනමාල වංගුව ප්‍රදේශයේදී යුද හමුදා සෙබළුන් රැගත් බස් රථයක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ලොරි රථයක ගැටී සිදුවූ අනතුරකින් සෙබළුන් 22 දෙනෙකු තුවාල ලබා වතුපිටිවල රෝහලට ඇතුළත් කර තිබෙනවා.

තුවාල ලැබු පිරිස අතර බස් රථයේ රියදුරුද සිටින බවයි පොලීසිය පවසන්නේ.

මේ වන විටත් ඔවුන්ගෙන් 20 දෙනෙකු ප්‍රථිකාර ලබාගෙන පිටව ගොස් තිබෙන අතර තවදුරටත් රියදුරු සහ හමුදා සෙබළෙකු රෝහලේ ප්‍රථිකාර ලබනවා.

ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන අතර අද (21) උදෑසන එම අනතුරු සිදුව ඇති බවයි පොලීසිය පැවසුවේ.

කිරිඳිවැල පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනවා ෴

+

+


රුපියල් ලක්ෂ 02 ක් අල්ලස් ගත් ‘ක්වාසි විනිසුරු’ අත්අඩංගුවට

(21.04.2025 – 16:52 +0530 – hirunews.lk/sinhala)

රුපියල් ලක්ෂ 02 ක අල්ලසක් ගත් ගෙලිඔය ප්‍රදේශයේ ‘ක්වාසි විනිසුරෙකු’ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අල්ලස් හෝ දූෂණ චෝදන විමර්ශන කොමිෂන් සභාව සඳහන් කළේ මහනුවර ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මෙම විනිසුරුවරයා අත්අඩංගුවට ගත් බවයි.

එම ව්‍යාපාරිකයාගේ පුත්‍රයා ගොනුකර තිබූ දික්කසාද නඩුවකට අදාළ තීන්දුව කඩිනමින් ලබාදීමට අවශ්‍යය කටයුතු සලසා එහි තීන්දුවේ පිටපතක් ලබාදීමට ඔහු මෙම මුදල අල්ලස් වශයෙන් ලබාගෙන තිබෙනවා ෴


ඇවරිවත්තේ දී ත්‍රී රෝද රථ දෙකක් (2) එකිනෙක ගැටේ

(21.04.2025 – 19:06 +0530 – hirunews.lk/sinhala)

ත්‍රී රෝද රථ දෙකක් (2) එකිනෙක ගැටීමෙන් බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා.

එක් ත්‍රිරෝද රථයක ඇක්සලය ගැලවී යාම නිසා රියදුරුට එහි පාලනය ගිලිහී ගොස් ඉදිරියෙන් පැමිණි ත්‍රිරෝද රථයේ ගැටීමෙන් අනතුර සිදුව තිබෙනවා.

අනතුරෙන් ත්‍රිරෝද රථ දෙකේ ගමන්කළ කුඩා දරුවන් ඇතුළු කිහිප දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බවද පොලිසිය පැවසුවා.

වත්තල, ඇවරිවත්ත පාරේ ධාවන කල ත්‍රිරෝද රථ දෙකක් (2) මෙසේ අනතුරට ලක්ව ඇති බවයි පොලිසිය පවසන්නේ.

ඊයේ (20) දින සවස 5 ට පමණ මේ අනතුර සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ ෴

+

+


තැපැල් ඡන්ද හිමියන්ට මැතිවරණ කොමිසමෙන් දැනුම්දීමක්

(21.04.2025 – 18:16 +0530 – sinhala.adaderana.lk)

2025 මැයි 06 පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට ඔබගේ අනන්‍යතාව තහවුරු කෙරෙන පිළිගත් ලියවිල්ලක් රැගෙන යාම අනිවාර්ය වී තිබේ.

ඒ අනුව,

  • ජාතික හැඳුනුම්පත
  • වලංගු රියදුරු බලපත්‍රය
  • වලංගු විදේශ ගමන් බලපත්‍රය
  • මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කරන තාවකාලික හැඳුනුම්පත
  • ජාතික හැඳුනුම්පත වෙනුවට පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මඟින් නිකුත් කරනු ලබන තොරතුරු තහවුරු කිරීමේ ලිපිය

යන පිළිගත් ලියවිලි අතරින් ඕනෑම එකක් ඉදිරිපත් කිරීමට හැකියාව තිබේ.

එළැඹෙන 24, 25, 28 සහ 29 යන දිනවලදී පමණක් අදාළ තැපැල් ඡන්ද සළකුණු කිරීමේ කටයුතු සිදුකරන බව මැතිවරණ කොමිසම පවසයි.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *