‘ගම්පහ ඔස්මන්’ ඇතුළු පිරිසක් ඝාතනයට සූදානමින් සිටි ‘කෙහෙල්බද්දර පද්මේ’ගේ ගෝලයන් 07 ක් අත්අඩංගුවට

‘ගම්පහ ඔස්මන්’ ඇතුළු පිරිසක් ඝාතනයට සූදානමින් සිටි ‘කෙහෙල්බද්දර පද්මේ’ගේ ගෝලයන් 07 ක් අත්අඩංගුවට


‘ගම්පහ ඔස්මන්’ ඇතුළු පිරිසක් ඝාතනයට සූදානමින් සිටි ‘කෙහෙල්බද්දර පද්මේ’ගේ ගෝලයන් 07 ක් අත්අඩංගුවට

(19.04.2025 – 16:52 +0530 – hirunews.lk/sinhala)

‘ගම්පහ ඔස්මන්’ නැමැත්තා ඇතුළු පිරිසක් ඝාතනයට සූදානමින් සිටි ‘කෙහෙල්බද්දර පද්මේ” නැමති සංවිධානාත්මක අපරාධකරුගේ ගෝලයන් 07 දෙනෙක් ගම්පහ තම්මිටදී ‘පොලිස් විශේෂ කාර්ය බළකාය’ විසින් අත්අඩංගුවට ගනුලැබ තිබෙනවා.

ඔවුන් සන්තකයේ තිබී T56 අවි 2 ක්, මැගසින් 2 ක්, උණ්ඩ 105 ක් පොලිස් භාරයට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම ඔවුන් ළඟ තිබී ජංගම දුරකථන 15 ක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා ෴

+++

නගර සභා සංගීතයේදී ‘ගම්පහ ඔස්මන්’ ඝාතන සැලසුම හෙළිවේ (19.04.2025)

+


වනඅලි පහරදීමකින් සිය ගෙවත්තේදීම පුද්ගලයෙකු මරුට

(19.04.2025 – 16:45 +0530 – hirunews.lk/sinhala)

හොරොව්පොතාන ප්‍රදේශයේ ගෙවත්තකදී වනඅලියකු සිදුකළ පහරදීමකින් පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි හොරොව්පොතාන පොලිසිය පවසනවා.

අද (19) අළුයම් කාලයේදී හොරොව්පොතාන, අලපත්තෑව ප්‍රදේශයේ ගෙවත්තක දී මෙම වනඅලි පහරදීම සිදුව ඇති අතර, එම ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අලපත්තෑව, සියඹලාවැව ප්‍රදේශයේ පදිංචිව සිටි පියදාසගේ අමිල ප්‍රදීප් කුමාර නමැති 44 හැවිරිදි පුද්ගලයෙක්.

තම අවශ්‍යතාවයක් සඳහා අළුයම් කාලයෙ නිවසේ දොර විවෘත කර එළියට පැමිණි අවස්ථාවේ එම ගෙවත්තේ රැඳී සිටි වනඅලියකු විසින් ඔහුට පහරදී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

වනඅලියාගේ පහරකෑමට ලක්ව බරපතළ තත්ත්වයේ සිටි එම පුද්ගලයා ප්‍රතිකාර සඳහා කඩිනමින් හොරොව්පොතාන රෝහලට ඇතුලත් කිරීමට කටයුතු කර ඇති නමුත් රෝහල්ගත් කරන අවස්ථාවේදී ඔහු ජීවිතක්ෂයට පත්ව සිට තිබෙනවා.

පුද්ගලයකුට මරු කැඳවූ මෙම වනඅලි පහරදීම සම්බන්ධයෙන් හොරොව්පොතාන වනජීවී කාර්යාලය මඟින් ද මේ වනවිට විමර්ශනයක් ආරම්භකර තිබෙනවා ෴


රුපියල් මිලියන 33 ක පමණ මත්ද්‍රව්‍ය සමග කාන්තාවක් ගුවන්තොටේදී අත්අඩංගුවට

(19.04.2025 – 14:32 +0530 – hirunews.lk/sinhala)

රුපියල් මිලියන 33 ක් පමණ වටිනා ‘කුෂ්’ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 3 ක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී ඉන්දියාවේ සිට මෙරටට පැමිණි කාන්තාවක් මෙලෙස අත්අඩංගුවට ගත් බවයි රේගුව සඳහන් කළේ.

මෙම සැකකාරිය කොළඹ 10 ප්‍රදේශයේ පදිංචි තරුණියක් වන බවත්, රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන්ට ඇතිවූ සැකයක් මත් සිදුකළ පරීක්ෂාවකදී මෙම මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගැනීමට හැකිව තිබෙනවා.

එමෙන්ම, සැකකාරිය හා මත්ද්‍රව්‍ය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා සැකකාරිය හා මත්ද්‍රව්‍ය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත බාර දී තිබෙනවා ෴


මත්ද්‍රව්‍ය තොගයක් සමග කාන්තාවන් තුන්දෙනෙකු (3) අත්අඩංගුවට

(19.04.2025 – 09:27 +0530 – hirunews.lk/sinhala)

‘කුෂ් නැමැති මත්ද්‍රව්‍ය’ තොගයක් සමග කාන්තාවන් තුන්දෙනෙකු (3) කටුනායක ගුවන්තොටුපළේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සදහන් කළේ, බැංකොක් සිට ඊයේ (18) රාත්‍රියේ පැමිණි ගුවන් යානයකින් මෙම කාන්තාවන් මෙරටට පැමිණ තිබූ අතර ඔවුන් පරීක්ෂා කිරීමේදී මෙම මත්ද්‍රව්‍ය තොගය හමු වූ බවයි.

එහිදී එක් කාන්තාවක් ළග තිබී කුෂ් කිලෝ ග්‍රෑම් 1 ග්‍රෑම් 104 ක් ද, තවත් කාන්තාවක් ළග තිබී කුෂ් කිලෝ 1 ග්‍රෑම් 856 ක් සොයාගෙන තිබුණා.

එමෙන්ම අනෙක් කාන්තාව ළග තිබී තවත් කුෂ් කිලෝ 2 ග්‍රෑම් 288 ක් සොයාගෙන ඇති අතර ඔවුන් අවුරුදු 25, 48 සහ 50 යන වයස්වල පසුවන වැල්ලම්පිටිය සහ මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචිකාරිණියන් ෴


පියා පැදවූ ටිපර් රථයට යටවී මල් කැකුලක් මරුට

(19.04.2025 – 10:05 +0530 – hirunews.lk/sinhala)

කිලිනොච්චිය පොලිස් වසමේ අම්බාල්කුලම් ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට මිදුලේ නවතා තිබූ ටිපර් රථයකට ඊයේ (18) දැරියක් යටවීමෙන් මියගොස් ඇති බවට කිලිනොච්චිය පොලිසිය සඳහන් කරනවා.

මියගිය දැරිය වයස අවුරුදු 1½ ක් වූ අම්බාල්කුලම්, කිළිනොච්චිය ප්‍රදේශයේ පදිංචි දැරියක්.

මියගිය දැරියගේ පියා නිවසෙහි මිදුලේ නවතා තිබූ ටිපර් රථය පණ ගන්වා ධාවනය කිරීමට සුදානම් වූ අවස්ථාවේදී දැරිය ටිපර් රථයට යට වීමෙන් මරණය සිදුව ඇති බවට සිදුකළ විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.

මෘත ශරීරය කිලිනොච්චිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, කිලිනොච්චිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා ෴


ආනන්තරීය පාප කර්මයක් : පුතාගේ පහරින් පියාට දිවි අහිමිවෙයි

(19.04.2025 – 09:58 +0530 – hirunews.lk/sinhala)

ග්‍රෑන්ඩ්පාස් ඔරුගොඩවත්ත ප්‍රදේශයේදී ඊයේ (18) රාත්‍රී කාලයේදී පහරදීමක් හේතුවෙන් රෝහල් ගත කල පුද්ගලයෙකු මියගොස් ඇති බවට ග්‍රෑන්ඩ්පාස් පොලිසිය සඳහන් කරනවා.

මෙසේ මියගොස් ඇත්තේ, වයස අවුරුදු 54 ක් වූ අවිස්සාවේල්ල පාර, ඔරුගොඩවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මරණකරු හා ඔහුගේ පුත්‍රයා අතර ඇති වූ ආරවුලක් දුරදිග යාම හේතුවෙන් පුත්‍රයා විසින් යකඩ පොල්ලකින් මරණකරුගේ හිසට පහරදී ඇති අතර, එම පහරදීමෙන් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව මියගොස් ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශනයේදීයි අනාවරණය වී ඇත්තේ.

මෘත ශරීරය කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, අපරාධය සිදුකළ වයස අවුරුදු 20 ක් වන මරණකරුගේ පුත්‍රයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ග්‍රෑන්ඩ්පාස් පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා ෴

(ආනන්තරීය පාප කර්මයේ විපාක අතිශයින්ම ප්‍රබලය. මරණින් මතු අවිචී මහා නරකයෙහි ඉපිද දුක් විඳීන්නට සිදුවේ.)


මනම්පිටිය වෙඩි තැබීමේ සිද්ධියේ වෙඩික්කරු අත්අඩංගුවට

(19.04.2025 – 07:06 +0530 – hirunews.lk/sinhala)

මනම්පිටිය ආයුර්වේද පෙදෙසේ පිහිටි ‘ජීවමාන ක්‍රිස්තු දේවස්ථානය’ නම් වූ සිද්ධස්ථානයට ඊයේ (18) රාත්‍රී කාලයේ දී වෙඩි තැබූ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බව මනම්පිටිය පොලිසිය පවසනවා.

වෙඩි තැබීමෙන් පසු පලාගිය පුද්ගලයා වෙඩි තැබීම සඳහා යොදා ගන්නා ලද මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමගයි අත්අඩංගුවට ගෙන ඇත්තේ.

සැකකරු වයස අවුරුදු 38 ක් වන ප්‍රධාන පාර, මනම්පිටිය ලිපිනයේ පදිංචිකරුවෙක්.

වෙඩි තැබීමෙන් ජීවිත හානි කිසිවක් සිදුව නොමැති අතර, දේවස්ථානයේ ජනේලයකට අලාභ හානි සිදුව තිබෙනවා.

සැකකරු දේවස්ථානයේ ගේට්ටුව අසලට පැමිණ විපරම් කර බැලීමෙන් අනතුරුවයි නැවත මාර්ගයට ගොස් මෙම වෙඩි තැබීම සිදු කර පලාගොස් ඇත්තේ.

මෙම සිද්ධස්ථානයේ දේවගැතිවරයා සමග තිබූ පුද්ගලික ආරවුලක් හේතුවෙන් වෙඩි තැබීම සිදු කර ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇති අතර මනම්පිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා ෴


සිරි දළදා වන්දනාවට තවත් විශේෂ දුම්රිය දෙකක් (2)

(19.04.2025 – 18:11 +0530 – hirunews.lk/sinhala)

ලබන 27 වැනිදා දක්වා මහනුවර දළදා මාලිගා පරිශ්‍රයේ පැවැත්වෙන සිරි දළදා වන්දනාවට පැමිණෙන සැදැහැවතින්ගේ වැඩිවීමක් පෙන්නුම්කරන හේතුවෙන් ඔවුන්ගේ ගමනාගමන පහසුව තකා තවත් විශේෂ දුම්රිය දෙකක් (2) ධාවනයට එක් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව, අද (19) සිට එළැඹෙන 28 වැනිදා දක්වා මෙම විශේෂ දුම්රිය දෙක ධාවනය කෙරෙන බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.

එහිදී එක් දුම්රියක් මහනුවර දක්වා සෑම දිනකම පස්වරු 07:55 ට ‍කොළඹ කොටුවෙන් ආරම්භ කිරීමට පියවර ගෙන ඇති අතර, එම දුම්රිය රඹුක්කන දුම්රිය ස්ථානයට පස්වරු 10:27 ළඟා වෙනු ඇති.

අනතුරුව රඹුක්කනින් පස්වරු 10:40 ට යළි පිටත්වන එම දුම්රිය මහනුවර දුම්රිය ස්ථානයට මධ්‍යම රාත්‍රී 12:00 ට ළඟා වීමටද නියමිතයි.

තවද මහනුවර සිට කොළඹ බලා සෑම දිනකම පස්වරු 08:30 ට තවත් දුම්රියක් ධාවනය කිරීමට පියවර ගෙන ඇති අතර, එම දුම්රිය රඹුක්කන දුම්රිය ස්ථානයට පස්වරු 09:50 ට ළඟා වීමට නියමිතයි.

ඉන් අනතුරුව රඹුක්කනින් පස්වරු 10:35 ට යළි කොළඹ බලා පිටත් වීමටද නියමිත එම දුම්රිය කොළඹ කොටුවට දුම්රිය ස්ථානයට මධ්‍යම රාත්‍රී 12:00 ට ළඟා වීමට නියමිතයි ෴

+++

දළදා වන්දනාවට පැමිණෙද්දී විශාල ප්‍රමාණයේ ගමන් මලු රැගෙන නොඑන්නැයි ඉල්ලීමක්

(19.04.2025 – 13:57 +0530 – hirunews.lk/sinhala)

සිරි දළදා වන්දනාව සදහා මහනුවර නගරයට පැමිණෙද්දි විශාල ප්‍රමාණයේ ගමන් මලු රැගෙන නොඑන ලෙස යුද හමුදාව සැදැහැවතුන්ගෙන් ඉල්ලීමක් කරනවා.

මීට පෙර ද යුද හමුදාව මෙම ඉල්ලීම කර තිබූ නමුත්, ඒ පිළිබදව සැදැහැවතුන් අවධානයක් යොමු කර නොමැති බවයි ඔවුන් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

එමෙන්ම, දළදා ප්‍රද්ර්ශනය පැවැත්වෙන කාලය තුළ දළදා වහන්සේගේ හා දළදා මාළිගාව අවට ආරක්ෂාව මෙන්ම, බැතිමතුන්ගේ ද ආරක්ෂාව සදහා විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙළක් ක්‍රියාත්මකයි ෴


හල්දුම්මුල්ලේදී මෝටර් රථයක් මතට ගල් පෙරලෙයි

(19.04.2025 – 11:33 +0530 – hirunews.lk/sinhala)

හල්දුම්මුල්ල නගරය ආසන්නයේදී මෝටර් රථයක් මතට ගල් කිහිපයක් වැටීමෙන් එම මෝටර් රථයට දැඩි හානි සිදුව තිබෙනවා.

මෙලෙස හානි සිදුව ඇත්තේ අද (19) උදෑසන කඩවත සිට බණ්ඩාරවෙල බලා ධාවනය වෙමින් තිබූ මෝටර් රථයකටයි.

අනතුර සිදුවන අවස්ථාවේදී මෝටර් රථයේ සිව්දෙනෙකු (4) ගමන් කර ඇති අතර, ඉන් කිසිවෙකුටත් හානි සිදුවී නොමැත.

කෙසේ වෙතත්, මේ දිනවල පවතිව වර්ෂාව සමග කඳුකර මාර්ගවලට ඉහළින් පිහිටි කඳුවලින් බුරුල් වූ ගල් පහළට පෙරළි ඒමේ අවධානමක් ඇති බැවින් ඒ පිළිබදව කල්පනාකාරීව රිය ධාවනය කරන ලෙසටයි පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ ෴


පාස්කු ප්‍රහාරයේ විමර්ශන වත්මන් ආණ්ඩුව වසන් කරන බවට හිටපු ජනපති මෛත්‍රීගෙන් චෝදනා

(19.04.2025 – 13:57 +0530 – hirunews.lk/sinhala)

අමෙරිකාවේ සී.අයි.ඒ. සංවිධානය විසින් නිකුත් කළ වාර්තාවකට අනුව පාස්කු ප්‍රහාරයේ මහමොලකරු වන්නේ අයි.එස්.අයි.එස්. සංවිධානය බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසනවා.

‘හිරු ප්‍රවෘත්ති’ සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු කියා සිටියේ, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමා ලබාදුන් රහස් තොරතුර රට හමුවේ හෙළි කරන්නේදැයි ආණ්ඩුව තීරණය කළයුතු බවයි.

+++

උන් දෙන්නා ඇවිත් මාව මරයිද දන්නේ නෑ (19.04.2025)

+


තේ දළු ප්‍රවාහනය කරන ලද ටිපර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අනතුරක්

(19.04.2025 – 17:12 +0530 – hirunews.lk/sinhala)

තේ දළු ප්‍රවාහනය කරන ලද ටිපර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අනතුරට පත්වීමෙන් එම ටිපර් රථයේ ගමන් ගත් තිදෙනෙකු (3) තුවාල ලබා දික්ඔය මූලික රෝහල වෙත අද (19) දින ඇතුලත් කල බව නොර්වුඩ් පොලිසිය පවසනවා.

අද (19) පස්වරු 03:30 ට පමණ මෙම අනතුර සිදුවී ඇත්තේ හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ නෝර්වුඩ් සෙන්ජෝන්ඩිලරි වත්ත ප්‍රදේශයේ දීයි.

බගවන්තලාව, ලොයිනෝන් වතුයායේ සිට හැටන් වනරාජා වත්ත දක්වා තේ දළු ප්‍රවාහනය කරමින් තිබු ටිපර් රථයේ හදිසියේ ඇති වු කාර්මික දෝෂයක් හේතුවෙන් ලොරි රථය රියදුරුගේ පාලනයෙන් මිදි ටිපර් රථය මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදු වී තිබෙනවා.

ටිපර් රථය අනතුරට පත්වන අවස්ථාවේ ටිපර් රථය තුළ හත්දෙනෙකු (7) ගමන් කර ඇති බවයි, අනතුර පිලිබද පරික්ෂණ පවත්වන නොර්වුඩ් පොලිසිය සඳහන් කළේ ෴


කොරියානු භාෂා පරීක්ෂණයේ දින වෙනස් වෙයි

(19.04.2025 – 17:17 +0530 – hirunews.lk/sinhala)

කොරියානු භාෂා පරීක්ෂණය පැවැත්වීමට නියමිතව තිබූ දින වෙනස් වීම සම්බන්ධයෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ, ලබන මස 06 වනදා පැවැත්වීමට නියමිතව තිබූ විභාගය ලබන මස 10 වනදාත්, ලබන 07 වනදා පැවැත්වීමට තිබූ නියමිතව තිබූ විභාගය ලබන මස 17 වනදාත් පැවැත්වෙන බවයි.

පළාත් පාලන ආයතන ඡන්ද විමසිම හේතුවෙන් මෙලෙස කොරියානු භාෂා පරීක්ෂණයට අදාළ විභාග දින වෙනස් කළ බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය වැඩිදුරටත් සදහන් කළා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *