බලපිටිය වෙඩිතැබීම සිදුකර ඇත්තේ ‘බබා’ගේ ගෝලයෙක්

බලපිටිය වෙඩිතැබීම සිදුකර ඇත්තේ ‘බබා’ගේ ගෝලයෙක්


බලපිටිය වෙඩිතැබීම සිදුකර ඇත්තේ ‘බබා’ගේ ගෝලයෙක්

(18.04.2025 – 12:56 +0530 – hirunews.lk/sinhala)

අහුන්ගල්ල – බලපිටිය රේවත ප්‍රාථමික විද්‍යාලය අසලදී ඊයේ (17) රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු (1) තුවාල ලබා බලපිටිය මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මෙලෙස රෝහල් ගත කර ඇත්තේ, වැලිකන්ද අහුන්ගල්ල ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි ‘ලක්ෂාන් මධුශංඛ’නැමති තරුණයෙක්.

අහුන්ගල්ලේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘බබා’ නමැත්තාගේ ගෝලයෙකු මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවයි පැවසෙන්නේ.

ඊයේ (17) රාත්‍රියේ මෙම වෙඩි තැබීම සිදු වුණේ අහුන්ගල්ල බලපිටිය රේවත ප්‍රාථමික විද්‍යාලය අසලදීයි.

‘ලක්ෂාන් මධුශංඛ’ නමැත්තා කුලී ත්‍රිරෝද රථයකින් බලපිටියට ප්‍රදේශයට ගොස් තිබෙනවා.

එහිදී රේවත විද්‍යාල මාවතට පැමිණෙන ලෙසට උපදෙස් ලැබී ඇති අතර ඔහු ත්‍රිරෝද රථයෙන් බැස පාසල අසලින් ගමන් කරන අවස්ථාවේදී වෙඩි තැබීම් 3 ක් සිදුකර ඇති අතර ඉන් එක් (1) වෙඩිල්ලක් ඔහුගේ ඉන ප්‍රදේශයට වැදී ඇති බවට වාර්තා වෙනවා.

එහිදී වෙඩිවැදුණු ‘ලක්ෂාන් මධුශංඛ’ දිවගොස් තමා පැමිණි ත්‍රිරෝද රථය ගෙන්වාගෙන අහුන්ගල්ල පොලීසියට ගොස් තමාට ‘බබා’ගේ පාර්ශ්වයෙන් වෙඩි තැබූ බවට පැමිණිලිකර තිබෙනවා.

පසුව අහුන්ගල්ල පොලීසිය ගිලන් රථයකින් ඔහුව බලපිටිය මූලික රෝහලට රැගෙන ගොස් තිබෙන බවටයි තොරතුරු වාර්තා වන්නේ.

තුවාල ලැබූ පුද්ගලයාගේ තත්ත්වය බරපතළ නොවන බවයි රෝහල් පොලිසිය ප්‍රකාශ කළේ.

මේ අතර 2025 වසරේ මේ දක්වා කාලය තුළ වෙඩි තැබීමේ සිදුවීම් 34 කින් පුද්ගලයින් 24 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා ෴


ඊශ්‍රායලයේ රැදී සිටින ශ්‍රී ලාංකිකයන්ට දැනුම්දීමක්

(18.04.2025 – 14:59 +0530 – hirunews.lk/sinhala)

සිංහල අවුරුදු උත්සව සමයේ ආරක්ෂාව සම්බන්ධයෙන් සැලකිලිමත් වන ලෙස ඊශ්‍රායලයේ රැදී සිටින ශ්‍රී ලාංකිකයන්ට තානාපති කාර්යාලය දැනුම් දෙනවා.

යේමනයේ හවුති කැරලිකරුවන් විසින් ඊශ්‍රායලය ඉලක්ක කොට මිසයිල ප්‍රහාර එල්ල විය හැකි බැවින් ඒ සම්බන්ධයෙන් යොමු කරමිනුයි තානාපති කාර්යාලය මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ.

හෙට (19) සිට අප්‍රේල් 26 වනදා දක්වා එරට ප්‍රදේශ කිහිපයක අවුරුදු උත්සව ඇතුලු විවිධ ඉසව් සංවිධාන කර තිබෙනවා.

එම අවුරුදු උත්සව පැවැත්වෙන ස්ථාන විවෘත ප්‍රදේශයන් බැවින් හදිසි අවස්ථාවකදී ආරක්ෂා වීමට අවශ්‍ය උපදෙස් පිළිපදින ලෙසයි ඊශ්‍රායලයේ තානාපති කාර්යාලය දැනුම් දෙන්නේ ෴


විදුලි රැහැන් කැපීමට ගොස් විදුලි සැර වැදීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

(18.04.2025 – 16:50 +0530 – hirunews.lk/sinhala)

ට්‍රාන්ස්ෆෝමර් එකකට සම්බන්ධ විදුලි රැහැන් කැපීමට ගොස් විදුලි සැර වැදීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

විදුලි සැර වැදීම හේතුවෙන් ඔහු සිටි තාපයෙන් බිමට වැටී ඇති අතර එහිදී හිසට බරපතල ලෙස තුවාල සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

මෙසේ මිය ගොස් ඇත්තේ ගම්පහ රඹුටන්වත්ත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 44 ක් පමණ වන පුද්ගලයෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් ගම්පහ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

+


තෙමහල් ගොඩනැගිල්ලකට ගින්නෙන් හානි

(18.04.2025 – 17:36 +0530 – hirunews.lk/sinhala)

අළුත්ගම ප්‍රදේශයේ නිවසක් සහ වෙළඳ සැලක් සහිත තෙමහල් ගොඩනැඟිල්ලක් ගිනි ගැනීමකට ලක්ව තිබෙනවා.

අද (18) දින උදෑසන කාලයේ මෙම ගින්න හටගෙන තිබෙන බවයි පැවසෙන්නේ.

ලද පණිවිඩයක් මත අළුත්ගම පොලිස් ස්ථානයේ නිලධාරීන් එම ස්ථානය වෙත ගොස් ගිනි නිවීමේ ඒකකයේ නිලධාරීන් සමඟ එක්ව ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කර තිබෙනවා.

ගිනි ගැනීමට ලක් වූ ගොඩනැඟිල්ලේ ස්වර්ණාභරණ සහ ලී කැටයම් භාණ්ඩ වෙළඳසැලක් පවත්වාගෙන ගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.

ගින්න ඇති වූ අවස්ථාවේ එක් (1) සේවකයෙකු පමණක් වෙළඳසැලේ සිට ඇති බවද පොලිසිය පැවසුවා.

ගිනි ගැනීම හේතුවෙන් ජීවිත හානියක් සිදුව නොමැති අතර අළුත්ගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා ෴


දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරක්

(18.04.2025 – 18:09 +0530 – hirunews.lk/sinhala)

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොළඹ සිට දොඩම්ගොඩ දෙසට ධාවනය වූ ලොරි රථයක් කිලෝමීටර් 17 කණුව අසලදී අනතුරට ලක්ව තිබෙනවා.

ලොරි රථයේ පසුපස රෝදය ගැලවී යෑම හේතුවෙන් ලොරිය පෙරළී යාම නිසා මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

මෙසේ අනතුරට ලක්ව ඇත්තේ පරිප්පු ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක්.

කෙසේ වෙතත් මෙම අනතුර හේතුවෙන් එම ප්‍රදේශයේ දැඩි රථ වාහන තදබදයක් හටගෙන තිබෙනවා ෴


නිල ඡන්ද පත්‍රිකා බෙදා හැරීමේ විශේෂ දිනය 27 වැනිදා

(18.04.2025 – 19:15 +0530 – hirunews.lk/sinhala)

පළාත් පාලන මැතිවරණයේ නිල ඡන්ද පත්‍රිකා බෙදා හැරීමේ විශේෂ දිනයක් ලෙස ලබන 27 වැනි ඉරිදා යොදාගෙන තිබෙන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා.

මැතිවරණ කොමිසමෙන් තැපැල් ඡන්ද රක්ෂිත පැකට් 418,985 ක් ලැබුණු බවයි තැපැල් දෙපාර්තමේන්තුව පවසන්නේ.

ඉන් 92% ක් හෙවත් පැකට්ටු 384,923 ක් බෙදා අවසන් බවද එම දෙපාර්තමේන්තුව පවසනවා.

මේ අතර සෙසු තැපැල් ඡන්ද පැකට්ටු සහ මේ මස 21 වැනිදා ලැබීමට නියමිත තැපල් ඡන්ද පත්‍රිකා ඉදිරි දිනවලදී බෙදා අවසන් කිරීමට නියමිතව තිබෙනවා ෴


ත්‍රෛභාෂා සෙල්ලිපිය සහ පානදුරාවාද ලේඛන යූනෙස්කෝ ‘Memory of the World’ ලේඛනයට එක් කරයි

(18.04.2025 – 19:32 +0530 – hirunews.lk/sinhala)

යූනෙස්කෝ විසින් ආරම්භ කරන ලද ‘Memory of the World’ ලේඛන සංග්‍රහය සඳහා ශ්‍රී ලංකාව සම්බන්ධ ලේඛන කිහිපයක් ඇතුළත් කර තිබෙනවා.

මෙම ලේඛන, පොත්, පත්‍රපත්, සිතියම්, ඡායාරූප, ශ්‍රව්‍ය හා දෘශ්‍ය පට ඇතුළු ලේඛනික ද්‍රව්‍යයන් වන අතර, මනුෂ්‍යත්වයේ පොදු උරුමයට සාක්ෂි සපයන වටිනා සංග්‍රහ ලෙස සැලකෙනවා.

මෙම ලේඛන, ස්වාධීන ජාත්‍යන්තර උපදේශක කමිටුවක ඇගයීම්වලට අනුව යූනෙස්කෝ විධායක මණ්ඩලය විසින් තීරණය කරමින් ලේඛන සංග්‍රහයට ඇතුළත් කරනු ලබනවා.

ඒ අනුව ත්‍රෛභාෂා සෙල්ලිපිය සහ පානදුරාවාද ලේඛනයන් මෙසේ ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.

ත්‍රෛභාෂා සෙල්ලිපිය (Trilingual Inscription)

මෙය චීන, පර්සියානු සහ ද්‍රවිඩ (දෙමළ) භාෂාවලින් රචිත ශිලා ලිපියක්. බුදුරජාණන් වහන්සේ, විෂ්ණු දේවිය සහ අල්ලාහ්වන් වහන්සේ සම්බන්ධයෙන් ප්‍රශංසා කරන මෙම ශිලා ලිපිය 1409 පෙබරවාරි 15 වන දිනදී චීන නාවිකාධිපති ශෙන් හෙ (Zheng He) විසින් සෑදූවක්. මුල් වශයෙන් නාන්ජිං හි Treasure Boat Shipyard උද්‍යානයේ පිහිටුවන ලද මෙය, ශෙන් හෙගේ තුන්වන ගමනේදී ශ්‍රී ලංකාවට ගෙන එන ලදී. 1911 දී බ්‍රිතාන්‍ය ඉංජිනේරුවරයෙකු විසින් ශ්‍රී ලංකාවේ සොයාගන්නා ලද මෙම ශිලා ලිපිය මේ වනවිට කොළඹ ජාතික කෞතුකාගාරයේ තැන්පත් කර ඇති අතර, එහි පිටපතක් ගාල්ල ජාතික කෞතුකාගාරයේද පෙන්වා තිබෙනවා. චීන, දෙමළ සහ පර්සියානු යන තුන් භාෂාවලින් යුතු ලෝකයේ එකම ශිලා ලිපිය වීම මෙම ලේඛනයේ විශේෂත්වයක්.

පානදුරා වාදය සම්බන්ධ ලේඛන (1873)

මෙම ලේඛන සතර පවතින්නේ පානදුර රන්කොත් විහාරය තුළ වෙනවා. 19 වන ශතවර්ෂයේ මධ්‍ය භාගයේදී බෞද්ධයින් සහ ක්‍රිස්තියානුවෝ අතර පැවති ආගමික ගැටුමක් අතරතුර මෙය සිදුවිය. බෞද්ධ සහ ක්‍රිස්තියානි නායකයින් අතර විවෘත සංවාදයකට උපදෙස් දෙන ලිපියක් සහ අදාළ සංවාදයේ සම්පූර්ණ සටහන් මෙයට අයත් වෙනවා.

[සේයාරුව 1][සේයාරුව 2]


අනියම් පෙමක් හේතුවෙන් යතුරුපැදිකරුවෙකුට තියුණු ආයුධයකින් පහරදී ඔහුගේ යතුරුපැදිය ගිනිතබයි

(18.04.2025 – 10:56 +0530 – hirunews.lk/sinhala)

අනියම් පෙමක් දුර දිග යෑම හේතුවෙන් යතුරුපැදිකරුවෙකුට තියුණු ආයුධයකින් පහරදී ඔහුගේ යතුරුපැදිය ගිනි තැබූ සැකකරුවන් දෙදෙනෙකු (2) ඊයේ (17) දිඹුලපතන පොලිසියට භාර වී තිබෙනවා.

තුවාල ලැබූ යතුරුපැදිකරු හැටන් කොටගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු කොටගල ප්‍රදේශයේම කාන්තාවක් සමග මීට වසර පහකට (5) පමණ ප්‍රථම නීත්‍යානුකූලව විවාහ වී ඇති බව සඳහන්.

තුවාලකරු කොටගල ප්‍රදේශයේම පදිංචි තවත් කාන්තාවක් සමග අනියම් ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇති අතර, එයට විරුද්ධ වූ නීත්‍යානුකූල බිරිඳට අලවංගුවකින් හිසට පහර දී තිබෙනවා.

එම පහරදීම සම්බන්ධයෙන් නීත්‍යානුකූල බිරිඳ, ඇයගේ පවුලේ සාමාජිකයන් සහ සැමියා ඊයේ (17) දිඹුලපතන පොලිසියට කැඳවා ඇති අතර, එහිදි සැමියා විසින් සිය බිරිඳ සමග සමගියෙන් සිටින බවට පොරොන්දු වී ඇති බවටයි වාර්තා වෙන්නේ.

පොලිසියෙන් පිටතට පැමිණි සැමියා සිය අනියම් බිරිද සමග හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ ඡායාරූප ගිනිමින් සිටියදී නීත්‍යානුකූල බිරිඳගේ සහෝදරයන් විසිනුයි මෙසේ තියුණු ආයුධයකින් පහරදී ඇත්තේ.

එමෙන්ම මාමණ්ඩිය විසින් ඔහුට ලබා දුන් යතුරුපැදිය ද එම ස්ථානයේදීම ගිනි තබා සැකකාර සහෝදරයන් දෙදෙනා පොලිසියට භාර වූ බවයි දිඹුලපතන පොලිසිය පවසන්නේ.

තුවාලකරු වැඩිදුර ප්‍රතිකාර සඳහා දික්ඹය මූලික රෝහල වෙත යොමුකර ඇති අතර, අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අද (18) හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව දිඹුලපතන පොලිසිය සඳහන් කරනවා.

මේ අතර, යතුරුපැදිය ගිනි තැබීම හේතුවෙන් කොටගල උමං මාර්ගය අසල දැඩි වාහන තදබදයක්ද ඇති වී තිබුණා ෴


‘සිරි දළදා වන්දනාව’ සමාරම්භක අවස්ථාවට රාජ්‍යතාන්ත්‍රිකයෝ දුම්රියෙන් මහනුවරට

(18.04.2025 – 11:21 +0530 – hirunews.lk/sinhala)

වසර 16 කට පසු පැවැත්වෙන ‘සිරි දළදා වන්දනාව’ අද (18) සිට ආරම්භ වන අතර එහි සමාරම්භක අවස්ථාවට ජනාධිපති අනුර කුමාර දිසානායක සමග රටවල් රැසක තානාපතිවරුන්, මහකොමසාරිස්වරුන් ඇතුළු රාජ්‍යතාන්ත්‍රිකයන් එක්වීමට නියමිතයි.

වියට්නාමය, බංග්ලාදේශය, ඉන්දුනීසියාව, නේපාලය, නෙදර්ලන්තය, ඉන්දියාව, මියන්මාරය, පලස්තීනය, ප්‍රංශය, නවසීලන්තය, කියුබාව, ඊජිප්තුව, ජපානය, බ්‍රිතාන්‍යය, තායිලන්තය, කැනඩාව, කොරියාව යන රටවල් නියෝජනය කරමින් එක් වන මෙම කණ්ඩායම අද (18) පෙ.ව. 07:00 ට පමණ කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට මහනුවර දක්වා ධාවනය වූ දුම්රියේ විශේෂ නැරඹුම් මැදිරියකින් මහනුවර බලා ගමන් කරනු ලැබුවා.

ශ්‍රී ලංකාව නැවත ආර්ථික වශයෙන් නැගී සිටිමින් පවතින බවත්, මෙතෙක් රට වෙළාගෙන තිබු සියලු බාධාවන් ඉවත් වී රට තුළ සහජිවනය ගොඩනැගී ඇති බවටත් වන පණිවිඩය මිත්‍ර රටවල් වෙත ලබාදීම සහ එකී ගමනට එම සියලුදෙනාගේ සහාය ලබා ගැනීමේ අපේක්ෂාවෙන් මෙම අවස්ථාව සංවිධානය කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.

මහනුවරට ළඟා වූ පිරිස පළමුව මහවැලි රීච් හෝටලය වෙත පැමිණී අතර එහිදී ඔවුන් වෙනුවෙන් දේශීය චරිත්‍රානුකූලව විශේෂ සිංහල – දෙමළ අලුත් අවුරුදු සංග්‍රහයක් සූදානම් කර තිබුණා.

එහිදී මෙම කණ්ඩායම සමඟ තවත් රාජ්‍යතාන්ත්‍රිකයන් පිරිසක් එක්විමට නියමිත අතර 44 දෙනෙකුගෙන් යුත් මෙම කණ්ඩායම ‘සිරි දළදා වන්දනාව’ සමාරම්භක අවස්ථාවට එක් වීම සඳහා දළදා මාළිගාව වෙත පැමිණීමට නියමිත අතර, පසුව එම දුම්රියෙන් නැවත මෙම කණ්ඩායම කොළඹ බලා පිටත්වනු ඇති.

ජනාධිපතිවරයාගේ ඉල්ලීම මත මල්වතු, අස්ගිරි මහා නා හිමිවරුන්ගේ අනුශාසකත්වයෙන් සහ මහනුවර ඓතිහාසික දළදා මාළිගාවේ දියවඩන නිලමේවරයාගේ මඟපෙන්වීමෙන් සංවිධානය කෙරෙන සිරි දළදා වන්දනාව අද (18) සිට අප්‍රේල් 27 වැනිදා දක්වා දින 10 ක් පුරා පැවැත් වීමට නියමිතයි.

ආරම්භක දිනය වන අද (18) දින ප.ව. 03:00 සිට ප.ව. 05:00 දක්වා සැදැහැවතුන්ට දළදා සමිඳුන් වැඳ පුදා ගැනීමට අවස්ථාව සලසා දී තිබෙන අතර, හෙට (19) සිට දිනපතා දහවල් 12:00 සිට ප.ව. 05:00 දක්වා එම අවස්ථාව උදා වෙනවා.

සිරි දළදා වන්දනාවට පැමිණෙන ජනතාවගේ සනීපාරක්ෂක පහසුකම් සැලසීම වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබෙනවා.

ඒ අනුව, ඒ සඳහා පැමිණෙන සැදැහැවතුන් වෙනුවෙන් තාවකාලික සහ ජංගම වැසිකිළි පද්ධති, සෞඛ්‍ය මධ්‍යස්ථාන ඇතුලු පහසුකම් රැසක් සලසා ඇති බවයි මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත කියා සිටියේ.

+


හිටපු රාජ්‍ය ඇමති පිල්ලෙයාන්ගේ රියදුරු CID අත්අඩංගුවට

(18.04.2025 – 20:08 +0530 – hirunews.lk/sinhala)

හිටපු රාජ්‍ය ඇමති ‘සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන්’ හෙවත් ‘පිල්ලෙයාන්’ගේ රියදුරු ලෙස කටයුතු කළ පුද්ගලයා CID අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නැගෙනහිර විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපති ‘මහාචාර්ය ශිවසුබ්‍රමනියම් රවීන්ද්‍රනාත්’ පැහැරගෙන අතුරුදන් කිරීමේ සිද්ධියට අදාලවයි ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *