බටලන්ද විවාදය උණුසුම් වෙයි – ‘ජවිපෙ ඝාතන’ යැයි රෝහිනී කවිරත්න දීර්ඝ ලැයිස්තුවක් හැන්සාඩ්ගත කරයි
බටලන්ද විවාදය උණුසුම් වෙයි – ‘ජවිපෙ ඝාතන’ යැයි රෝහිනී කවිරත්න දීර්ඝ ලැයිස්තුවක් හැන්සාඩ්ගත කරයි
(10.04.2025 – sinhala.asianmirror.lk)
88-89 කාලයේදී ‘ජනතා විමුක්ති පෙරමුණ’ විසින් ඝාතනය කළේ යැයි පවසමින් ‘සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිනී කවිරත්න මහත්මිය’ විසින් දීර්ඝ ලේඛණ කිහිපයක් පාර්ලිමේන්තුවේ සභාගත කරනු ලැබීය.
අද (10) පාර්ලිමේන්තුවේදී ආරම්භ වූ ‘බටලන්ද කොමිෂන් සභා වාර්තාව පිළිබඳ විවාදයේ’දී ඇය අදහස් පළ කළේ මේ ආකාරයෙනි :
1985 – 1991 භීෂණ සමය කියන්නේ වලක්වා ගත හැකිව තිබූ, නමුත් මෝඩ, උද්දච්ච, බලලෝභී දේශපාලනය විසින් සිදු කළ විනාශයකි.
මානව සංහතියේ අඛණ්ඩ පැවැත්ම තීරණය වන්නේ අතීතයෙන් අප ඉගෙන ගන්නා පාඩම්වලින්.
මිහිමත නැවත ඇති නොවිය යුතු ඛෙදවාචකයක් ගැන සිදු කරන මේ විවාදයේ කතාවක් පැවැත්වීම 89 දී ජවිපෙ භිෂණයෙන් – මරණයෙන් බේරිලා අතිරික්ත ජීවිත කාලයක් ගෙවන මට ලැබුණු දෛවෝපගත අවස්ථාවක් හැටියට සලකනවා.
‘යම් අරගලයක් මල්එල ගැන්වීමට තිබෙන හැකියාව ස්වල්ප නිසාම, සාධාරණ යැයි විශ්වාස කෙරෙන අරමුණක් වෙනුවෙන් සහාය දැක්වීමෙන් වැලකී නොසිටිය යුතුය’ කියලා ඒබ්‍රහම් ලින්කන් කියනවා.
මට 87 -89 යුගයේ කුරිරු බව නිසා දෛවය විසින්ම වගකීම පැවරී තිබෙනවා යැයි මම සිතනවා.
මම මේ කතා කරන්නේ කිසිවෙකුත් ජයග්‍රහණය නොලැබූ පරාජය, දුක වේදනාව, පසුතැවීම, ආබාධිතයෝ, ඉතිරි කරපු තවමත් සුවපත් නොවූ ඛෙදවාචකයක් ගැන.
1985 – 1991 ජවිපෙ දෙවන (2) කැරැල්ල ශ්‍රී ලංකා රාජ්‍යයේ පාලනයට ආපු සෑම පාලකයාම – ජනාධිපතිවරයාම – අගමැතිවරයාම හිතේ කහටක් නැතුව අමතක කරලා දාපු දෙයක්.
1992 සිට 2024 දක්වා කිසිම රාජ්‍ය නායකයෙක් ’87 – 89′ කර තබාගෙන යන්නට උත්සහ කළේ නෑ.
1991 දී ජනාධිපති ආර්. ප්‍රේමදාස, ‘තරුණ අසහන කොමිසම’ දාලා දෙවන (2) කැරැල්ලට හේතු සොයලා, නැවත අරගලයක් ජනසංහාරයක් දකුණේ සිදු නොවන තත්වයකට පත් කරන්න උත්සහ දැරැවා.
1992 සිට ඩී.බී. විජේතුංග ජනාධිපතිතුමා ජවිපෙ ට රට තුල දේශපාලනය කරන්න කිසිම බාධාවක් ඇති කළේ නෑ. ඒ නිසා තමයි 1994, ‘ජාතිය ගලවා ගැනීමේ පෙරමුණේ’ ජනිත් විපුලගුණ ට හම්බන්තොටින් පාර්ලිමේන්තුවට එන්න පුළුවන් වුණේ.
1994 දී බලයට ආපු චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය ජවිපෙ එක්ක ආණ්ඩු කළා. විජය කුමාරතුංග මරපු ‘ලයනල් රණසිංහ’ගේ ජවිපෙ නායකයෝ එක්ක පරිවාස ආණ්ඩු හැදුවා.
2004 දී අවු. 2 ක එජාප ආණ්ඩුව පෙරළන්න කටයුතු කළා. චන්ද්‍රිකා ජනාධිපතිතුමිය අතීතය අමතක නොකලා නම් එහෙම කරන්න බෑනේ.
2005 දී මහින්ද රාජපක්ෂ මැතිතුමා ජවිපෙ එක්ක ආණ්ඩු පිහිටෙව්වා. 1990 දී ජවිපෙ මහින්ද රාජපක්ෂ මන්ත්‍රීතුමාට කිව්වේ ‘පාවාදුන්න ද්‍රෝහියා’ කියලයි.
2010 දී එජාපය – ජවිපෙ සරත් ෆොන්සේකා වෙනුවෙන් එකම වේදිකාවට නැග්ගා. එජාපය අතීතය අමතක නොකළා නම් එහෙම වෙන්නේ නෑනේ.
2015 දී යහපාලනය වෙනුවෙන් මෛත්‍රී යුගයක් ගේන්න එජාපය එක්ක ජවිපෙ වේදිකා ගැහුවා
2018 දවස් 52 දී අපිටත් වැඩිය රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව රකින්න විජිත හේරත් මන්ත්‍රීතුමා විශ්වාස භංගයත් අරගෙන කතානායකතුමා ලඟට දුවපු හැටි අපි දැක්කා. දවස් 52 ආණ්ඩුව කාළේ මලික් සමරවික්‍රම මැතිතුමායි, ජවිපෙයි වැඩ කරපු හැටි මතකයි.
2024 ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව මාලිමාවට තල්ලුව දුන්න කෝච්චි ඇන්ජිම වුණා.
2024 දී රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිතුමා, ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මැතිතුමා බලයට ගේන්න වක්‍රව උපකාර කලා.
1990 සිට 2024 දක්වා රාජ්‍ය පාලකයෝ 85-91 භිෂණ යුගය අමතක කරලා දැම්මා කියන්නේ ඒකයි.
ඔබට මතක ඇති, මගෙත් එක්ක ‘ගමගෙදර දිසානායක’ ඇමතිතුමා භිෂණ සමය ගැන පැටලිලා සතියකට පස්සේ, රනිල් වික්‍රමසිංහ මැතිතුමා ‘අල්ජසීරා සාකච්ඡාවේ’ පැටලුණා. ඇත්තටම, ‘පෙරටුගාමී පක්ෂය’ ආණ්ඩුව මේ උගුලේ පටලැව්වා! ආණ්ඩුව වලේ වැටුණා.
අද 87 – 91 ගැන නොදන්න පරම්පරාවක්, ලෝකයක් මේ භිෂණය ගැන කතා කරනවා. එහි එක් තැනක තියෙනවා, ‘කඩාකප්පල්කාරීන්ගෙන් එල්ලවූ තර්ජනය කාර්යක්ෂමව මර්ධනය කිරීමට හැකිවූයේ ඒ ඒ ප්‍රදේශවල කඩාකප්පල්කාරී මර්ධන ඒකකවලට බව’
ඒ කියන්නේ කුමක්ද? ලංකාව පුරා තිබුණු රැඳවුම් මධ්‍යස්ථාන, පොලිස් හමුදා ඒකක නැත්තම් දිගටම ප්‍රචණ්ඩ ක්‍රියා සිදු වනු ඇති බව නේද?
ජවිපෙ විසින් ඝාතනය කරපු 6,661 කින් කොටසක් වන, එජාප සමාජිකයින්ගේ ලැයිස්තුව සභාගත කළා.
‘අමන දේශපාලන බල පොරය’ නිසා වලක්වා ගන්නට බැරිවුණු අවස්ථාව – ‘මළමිණී 41,813 ක් මතින් ගොඩනැගුණු ඛේදවාචකය’ ගැන මුලින්ම කියන්න ඕනේ. 1987 – 1990 භිෂණයේ දී පුද්ගලයින් 67,652 ක් මැරණා කියන එක ගැන කිසිම සාක්ෂියක් නෑ.
ලංකා රජයේ සංඛ්‍යා ලේඛන අනුව දකුණේ ජවිපෙ යුද්ධයෙන් මැරුණේ 41,813 යි.
මේ ඝාතන ගැන පසුගිය වසර 35 පුරා හංගලා තිබුණු, ලිපි ලේඛන රැසක් මම අද (10) සභාගත කරන්නට කටයුතු කරනවා.
භිෂණ සමයේ ඝාතනය වුණු, මේ සභාවේ නියෝජනයක් නැති ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පක්ෂ වෙනුවෙන් මට යුතුකමක් තියෙනවා.
සමගි ජනබලවේගයේ / එජාපයේ හවුල්කාර පක්ෂ නොවන පක්ෂ නායකයින්, සමාජිකයින්, පවුල්වල උදවිය මගෙන් ඉල්ලීමක් කලා ඔවුන්ගේ ඥාතීන්ට හිතවතුන්ට වෙච්ච දේ කියන්න කියලා.
ජවිපෙ විසින් ඝාතනය කරපු පුද්ගලයින්ගේ ලැයිස්තු කිහිපයක් මම දැන් සභාගත කරනවා.
- ලැයිස්තුව එක (1) : නව සම සමාජ පක්ෂයේ 24 ක්,
- ලැයිස්තුව දෙක (2) : ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය 43 ක්,
- ලැයිස්තුව තුන (3) : සමසමාජ 22 ක් (සමාජිකයෝ නොවන හිතවත්තු 3 කුත් මැරුවා),
- ලැයිස්තුව හතර (4) : නවසමසමාජ පක්ෂයේ 24 ක්,
- ලැයිස්තුව පහ (5) : මහජන පක්ෂයේ 141 ක්,
- ලැයිස්තුව හය (6) : ස්වාධීන ශිෂ්‍ය සංගමයේ 4 ක් / ජනතා සංගමය 24 ක් / සමාජවාදී සමානතා පක්ෂය සහ අනෙකුත් වාමාංශිකයින්,
- ලැයිස්තුව හත (7) : ඝාතනය වූ භික්ෂූන් වහන්සේලා ගේ ලේඛනය
මියගිය අයගේ නම් ගම් විතරක් නෙවෙයි, මේ පක්ෂ කණ්ඩායම්වලට එල්ල වූ බෝම්බ ප්‍රහාර ඇතුළු සිදුවීම් ගැන වාර්තා 7 ක් මම සභාගත කරනවා.
සහාසික ලෙස ඝාතනය වන්නට මේ අය කරපු වරද මොකක්ද? මේ අය කරපු වැරැද්ද අපි මැද ඉදලා බලන්න ඕනේ.
‘ඉන්දියන් රජය සමඟ කටයුතු කිරීම’ , ‘පළාත් සභා ක්‍රමය විශ්වාස කිරීම’ , ‘බලය බෙදීම විශ්වාස කිරීම’ , ‘බලයේ හිටපු එජාප, ශ්‍රීලනිප ආණ්ඩුවලට විරුද්ධව වාමාංශික දේශපාලන බලවේගයක් බවට පත්වීම’.
කුමන පක්ෂයක් නියෝජනය කළත්, කුමන මතයක් දැරුවත්, මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන අයිතිය වෙනුවෙන් පෙනී සිටීම නිසා ඝාතනය වූ පිරිසයි.
ඔය 67,000 කතාව හදපු දේශපාලනඥයෝ තුන් දෙනාම (3) අද දේශපාලනයේ නෑ.
පසුගිය සතියේ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මැතිතුමා, ‘අපේ ගම’ භුමියට ගිහින් ජවිපෙ විසින් මරනු ලැබූ ඉන්දීය සාම හමුදාවේ සෙබළුන් 29 ඇතුළු ඉන්දීය සෙබළුන් අනුස්මරණය කළා. ලංකාවේ ජනමාධ්‍ය ඒ ප්‍රවෘත්තිය ආවරණය කළේ නෑ. හැබැයි ඉන්දීය මාධ්‍ය මෝදි අගමැතිතුමා මල්වඩම් තියන ඒ ප්‍රවෘත්තියට මුල් තැන දුන්නා.
ඉන්දීයන් සාම සාධක හමුදා සෙබළු 1,165 ක් ලංකාවේ දී ඝාතනය වුණා. තවත්, 3,009 ක් තුවාල වුණා.
මේ සංඛ්‍යාවත් 1987 – 89 භිෂණයේ ප්‍රතිඑල.
2014 මැයි 30 දින අනුර කුමාර දිසානායක මැතිතුමා ‘භිෂණ සමයේ ඝාතන පිළිබඳ සමාව ඉල්ලනවා’ කියලා බීබීසී සංදේශයට ශ්‍රේෂ්ඨ ප්‍රකාශයක් කලා. (ඇමුණුම 8 සභාගත කරනවා)
අනුර කුමාර මන්ත්‍රීතුමා 2017 නොවැම්බර් 22 දින මේ පාර්ලිමේන්තුවේ දී කිව්වා, 87 – 89 ඇති වුණේ ‘සිවිල් යුද්ධයක්’ කියලා.
එතුමා එදා මාඕ සේතුං උපුටා දක්වමින් කිව්වා ‘යුද්ධය කියන්නේ රාත්‍රී භෝජන සංග්‍රහයක්’ නොවන බව.
යුද්ධයක දී සිදු නොවිය යුතු දේ සිදුවන බවත් තම පක්ෂය අතින් ද එවැනි දේ සිදුවී ඇති බවත් ඒ සම්බන්ධයෙන් අවංක කණගාටුවක් හා වේදනාවක් ඇති බවත් කිව්වා. (සභාගත කරනවා ඇමුණුම 9)
‘ඒ දේවල් ගැන කම්පන සහ කණගාටුව දැනටමත් පළ කර තිබේනවා’ අනුර කුමාර මන්ත්‍රීතුමා 2024 අගෝස්තු 09 දින ‘ඩේලි මිරර්’ සහ ‘ලංකාදීප’ පුවත්පත් වලටත් කිව්වා. (සභාගත කරනවා – අමුණුම 09)
මේ ප්‍රකාශ අති විශිෂ්ඨයි. අති ශ්‍රේෂ්ඨයි!
‘සිවිල් යුද්ධයක්’ මැඩපැවැත්වීමේ නෛතික බලය රාජ්‍යයට තියෙනවා.
අනුර කුමාර මැතිතුමා නිවැරදිව කිව්ව ‘සිවිල් යුද්ධය’ වලක්වා ගැනීමට ජනතා විමුක්ති පෙරමුණට අවස්ථා 5 ක් ලැබුණා.
අතහැරුණු පළමුවෙනි (1) අවස්ථාව :
ජේ.ආර්. ජයවර්ධන විසින් මාලිංග හර්මන් ගුණරත්න කියන දකුනේ වැවිලිකරුවා හරහා සාකච්ඡා සඳහා ජවිපෙට 1988 මාර්තු ආරාධනා කිරීමයි.
(මම හර්මන් ගුණරත්න මහතා රෝහණ විජේවීර ට යැවූ ලිපිය සභාගත කරනවා – පිටු අංක 111 සිට 113 දක්වා)
මේ වන කොට දකුණේ යුද්ධය නිසා 100 ක් වත් මැරිලා තිබුණේ නෑ.
ඒ ගැන හර්මන් ගුණරත්න ලියා තියෙන ‘කටු ඉඹුලේ රැඳුණු රටක්’ කෘතියේ කොටසක් මම සභාගත කරනවා. (ඇමුණුම … ) (පිටුව 93 සිට 119 දක්වා)
නැවත කිසිම දිනයක මේ රටේ එවැනි අවසනාවන්ත සිද්ධියක් ඇති නොවේවා කියලා ප්‍රාර්ථනා කරමින් සභාගත කරනවා.
ගුණරත්න මහතා, ශාන්ත බණ්ඩාර කියන ජවිපෙ නායකයා නිදහස් කරගෙන පිටකෝට්ටේ ගෙදරට ගිහින් සහෝදරියට බාරදුන්නා.
ශාන්ත බණ්ඩාර විසින් හර්මන් ගුණරත්නට එවූ පිළිතුරු ලිපියත් මම සභාගත කරනවා.
(අමුණුම… පිටුව 150 සිට 151 දක්වා)
මේ ගැන සවිස්තර වාර්තාවක් තිබෙන ‘කටු ඉඹුලේ රැඳුණු රටක්’ කෘතියේ අදාළ කොටස් අනාගතයේ නැවත ව්‍යසනයක් ඇති නොවේවා යැයි පතමින් මම සභාගත කරනවා.
ශාන්ත බණ්ඩාර නිදහස් කිරීමෙන් පසුව මොකද වුනේ, ජවිපෙ ඝාතන ප්‍රමාණය දෙතුන් ගුණයකින් වැඩි කළා.
රවී ජයවර්ධන විසින් ශාන්ත බණ්ඩාරට යවනු ලැබූ ලිපියේ මෙසේ සඳහන් වෙනවා :
‘අපි ඔබව නිදහස් කළේ සාකච්ඡා සඳහා මාවතක් සොයා ගැනීමටයි. මේ කාර්ය ඉටු නොවීය. ඒ වෙනුවට ප්‍රචණ්ඩ ක්‍රියා උත්සන්න වුණා. ඔබගේ පක්ෂය ඝාතන සිදු කිරීමේ අනුපාතය වැඩි කළා. එහි ප්‍රතිඑලයක් වශයෙන් ඔබ නිදහස් කිරීම මඟින් රට තුළ ප්‍රචණ්ඩ ක්‍රියා උත්සන් කිරීමට සෘජුව වගකිව යුත්තා වශයෙන් මා රජයේ අපකීර්තියට ලක්වී සිටිනවා.
(රවී ජයවර්ධන ලිපිය සභාගත කරනවා) (පිටුව 152 -154)
රවී ජයවර්ධනට අනුව යුද්ධය කියන්නේ සොල්දාදුවෝ වෙඩි හුවමාරු කර ගැනීම යි. මේ ලිපිය ශාන්ත බණ්ඩාරට යවලා, රවී ජයවර්ධන තමන් හොඳටම දන්නා දේ, ඉලක්කයට වෙඩි තැබීම පටන් ගත්තා!
අතහැරුණු දෙවැනි (2) අවස්ථාව :
ශ්‍රීලනිප පොදු අපේක්ෂකයා ලෙස සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය පත් කිරීමේ යෝජනවයි. ජවිපෙ එදා එයට සහාය දුන්නා නම්, අනිවාර්යයෙන්ම එජාපය පරාජයට පත් කරලා, ඔවුන්ට බලය ගන්නට හැකියාව තිබුණා.
ජවිපෙට චන්ද්‍රිකා දුවත් එක්ක නෙවෙයි එහෙනම් සිරිමාවෝ මැතිනියත් එක්ක සන්ධාන ආණ්ඩු කරන්න, ඇමති ධුර දරන්න තිබුණා. සුප්‍රකට, 1988 නොවැම්බර් 23 ජවිපෙ පුවත්පත් නිවේදනය බලන්න.
හුදෙකලා ඝාතන, ඝාතන රැල්ලක් බවට පත්වුණේ ශ්‍රීලනිප – ජවිපෙ මධු සමය අවසානයත් එකකයි. ශ්‍රීලනිප යේ 150 – 200 ක් ඝාතනය වුණා.
අතහැරුණු තුන්වන (3) අවස්ථාව :
1989 ජනවාරි 02 තෝරාපත්කර ගන්නා ලද ජනපති ආර්. ප්‍රේමදාස මහතා පත්තිරිප්පුවේ කළ කතාවේ දී මෙහෙම කියනවා :
අර්ථදායක විසඳුම් සඳහා ඕනෑම සාකච්ඡාවකට මම සුදානම්. ඒ සඳහා අවශ්‍ය සෑම ආරක්ෂාවක්ම මම සලසා දෙනවා. (කතාව සභාගත කරනවා. ඇමුණුම …)
ප්‍රේමදාස මැතිතුමා හදිසි නීතිය ඉවත් කළා. හිරබාරයේ හිටපු 1,800 ක් නිදහස් කලා. මාව විශ්වාස කරලා ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට ජවිපෙ ට පැමිණෙන්න කිව්වා. එහෙම නිදහස් වෙච්ච අය මේ සභාවේ ඇති.
පොඩි මිනිහාගෙන් ආපු ප්‍රේමදාස, පොඩි මිනිහාගෙන් හැඳුණු ජවිපෙ එක්ක එකට වැඩ කරන්න පුලුවන් වෙයි කියලා හිතුවා. ඊට පස්සේ විපක්ෂයේ සියලු පක්ෂ ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කළා. මේවා හර්ෂණ නානායක්කාර ඇමතිතුමාගේ ලොකු අප්පච්චි වාසුදේම නානායක්කාර මැතිතුමා හොඳටම දන්නවා. එතුමන් මේ සාකච්ඡාවේ හිටියා.
ප්‍රේමදාස ජනාධිපතිතුමා විජේවීරට ලිපියක් ලියනවා. විජේවීර ඒ ආරාධනය ප්‍රතිකේෂප කරනවා.
ඒ විතරක් නෙවෙයි, මහා නායක හිමිවරු පවා 1989 ජනවාරි මාසේ යුද්ධය නවත්වන්න ආයාචනා කළා.
මහනායක හිමිවරුන්ගේ මේ ඉල්ලීමට ජවිපෙ උත්තර දුන්නේ 1989 පෙබරවාරි 08 දින දළදාව විනාශ කරන්න ප්‍රහාරයක් එල්ල කිරීමෙන්.
අතහැරුණු හතරවන (4) අවස්ථාව :
ජවිපෙ පැහැර හැරපු හතරවන අවස්ථාව මොකක්ද? 1989 අප්‍රේල් 10 දී ආර්. ප්‍රේමදාස ජවිපෙ ට සාකච්ඡා සඳහා පැමිණිනෙන ලෙස ගිරාදුරුකෝට්ටේ දී කළ ආරාධනා කළා. ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රී ධූර 6 ක් හා තරුණ කටයුතු ඇමතිකම රෝහණ විජේවීර ට දෙන්න කැමැත්ත පළ කලා.
අතහැරුණු පස්වන (5) අවස්ථාව :
රුක්මන් සේනනායක, දොස්තර ගාමිණී විජේසේකර මැදිහත්වීමෙන් පැවති සාකච්ඡා අවස්ථාව.
ඩී.එම්. ආනන්දගේ ඉල්ලීම පරිදි ජවිපෙ සැකකරුවන් 17 ක් එදා නිදහස් කලා. පුංචි හෝ නම්‍යශීලිත්වය තිබුනා නම් ඒ ව්‍යසනය වලක්වා ගන්නට තිබුණා. මේ අවස්ථාවේ දී එකඟාවයකට ආවා නම් මිනිස්සු 5,000 ක් විතර මැරිලා මේ ව්‍යසනය නවතිනවා.
දෙපැත්තේම වැරදි තීරණ නිසා අපට කියන්න සිදුවෙනවා 1987 -1990 තිබුණේ ‘සාධාරණ සිවිල් යුද්ධයක්’ කියන එක. 1989 මහා මැතිවරණයෙන් පසුව රට ලේ විලක් බවට පත් වුණා. මහා විනාශයක් වුණා. ඡන්දයකින් බලයට ආපු ආණ්ඩුව එක පැත්තක. අනික් පැත්තෙන් ඉන්දියන් හමුදාව එක්ක සටන් කරන එල්.ටී.ටී.ඊ. එක. දකුණේ කල්කටස්, තුවක්කු, කඩු, මාළු පිහි, මන්නා අරගෙන අත පය කපලා වැටවල්වල එල්ලන ‘දේශප්‍රේමී බලකාය’.
1989 අලුත් අවුරුද්ද ඔබට මතක ඇති. ලංකා ඉතිහාසයේ කැවුම් කොකිස් අලුවා වෙනුවට මරපු මිනිස්සුගේ මස්, ඔළු, තැටියක තියලා බෙදපු අලුත් අවුරුද්ද මට නම් තවම මතකයි.
1989 ජූලි – අගෝස්තු වන විට ලංකාවේ සමහර දවසකට මිනිස්සු 1,000 ක් ඝාතනය වුනා කියලා ‘රොයිටර් පුවත්සේවයේ’ වාර්තාවක් තිබෙනවා. දවසකට 1,000 ක් මරණ යුගයක ‘සිවිල් යුද්ධයක්’ එල්.ටී.ටී.ඊ. සංවිධානය සමඟවත් ලංකා රජයට තිබුණේ නෑ.
දවසකට 1,000 ක් මරණ සිවිල් යුද්ධයක් – රාත්‍රී භෝජන සංග්‍රහයක් වුනේ නෑ. මාඕ සේතුං – අනුර කුමාර සහෝදරවරු නිවැරදියි.
උණ්ඩවලින් මිනිස්සු මැරෙනකොට පපුවේ ලේ සලකුණු තියෙනවා. එක ගමේ, එකට කාලා බීලා රෑ ට කඩු, පිහි, කිණිසි වලින් මරණකොට තුවාල පාරවල් හැම තැනම!
වේළුපිල්ලේ ප්‍රභාරකන් විසින් ලංකාවේ හමුදා සෙබළු ඝාතනයවුනත්, ලංකාවේ හමුදා සෙබළු ප්‍රභාරකන්ගේ මිනිය කර මතින් ඔසවාගෙන ආවා. හැබැයි දණ හිසෙන් පහළට මිනිය ඔසවාගෙන ගිහින් මිහිදන් වෙන්න බැරි වුණු මිනිස්සු කොටසක් මේ රටේ පස් කඳු යට මිහිදන් වෙලා තියෙනවා.
ඒ මිනිස්සු වෙනුවෙන්, මිහිකත කම්පා වුනෙත් නෑ ! ගුගුරා දෙස් දුන්නෙත් නෑ !
භිෂණ දුෂණ රජවූ යුගයක ඒ උතුරේ දකුණේ මිනිස්සු මරපු වලදාපු හැටි ගැන සුනිල් ආරියරත්න කවි ලිව්වෙත් නෑ; නන්දා මාලනී ගී ගැයුවෙත් නෑ.
‘පිළිම නොලා නැති විරුවන් පිරිසක්’ සිංදුව ඇහෙනකොට, තවත් මිනිස්සු කොටසකට, දණහිසෙන් ඉහළට මිනිය ඔසවන්න ඉඩ නොදුන් අතීතය මතක් වෙනවා.
මේක උතුරටත් – දකුණටත් පොදු තත්වයක්.
අපි සතියකට දවස් 5 ක් වත් පරිප්පු එක්ක බත්, පාන්, රොටී කනවා. රටේම මිනිස්සු එහෙම තමයි. පරිප්පු කන්න නැති ලාංකිකයෝ ඉන්නවා ද? රාත්‍රී භෝජන සංග්‍රහයක් නොවන යුද්ධයේ දී, පරිප්පු කන එකත් තහනම් කියලා අපේ ‘ඉසෙඩ් ජෙනරේෂන් එක’ තියා, 1985 න් පස්සේ ඉපදුණු දරුවෝවත් මේවා දන්නේ නෑ.
දුවේ පුතේ, තරුණ තරුණියනි, මේ රටේ පරිප්පු කන එක තහනම් යුගයක් තිබුණා. අපි අලුත් අවුරුද්දට දවස් දෙකක් තියලා මේ කතා කරන්නේ එහෙම යුගයක් ගැන. අලුත් අවුරුද්දට ආච්චිලා සීයලා ලඟට ගියාම අහලා බලන්න.
ලග්ගල පල්ලේගම ‘අග්‍රා ස්ටොර්ස්’ එකේ පරිප්පු ගෝනි එළියට ඇඳලා දාලා ගිණි තිබ්බා. දුප්පත් මිනිහෙකුට අරගෙන යන්න දුන්නේ නෑ. අම්මලා තාත්තලා සීයලා ගෙන් අහලා බලන්න.
ඉන්දියන් ‘එවරෙඩි’ බැටරිය විකුණපු මුදලාලිලා මැරුවා. බැටරි ටික පැහැරගෙන ගියා.
+
+
ජවිපෙ කට්ටිය අතීතයේ කරපු විනාසය ගැන දයාසිරි ජයසේකර පාර්ලිමේන්තුවේදී කළ සැර කතාව (10.04.2025)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴