සිව්දෙනෙකුට (4) මරු කැඳවූ කුරුණෑගල – වැහැර ඉන්ධන – ගෑස් හලේ ගින්නෙන් නිවාස කිහිපයකටත් හානි

සිව්දෙනෙකුට (4) මරු කැඳවූ කුරුණෑගල – වැහැර ඉන්ධන – ගෑස් හලේ ගින්නෙන් නිවාස කිහිපයකටත් හානි


සිව්දෙනෙකුට (4) මරු කැඳවූ කුරුණෑගල – වැහැර ඉන්ධන – ගෑස් හලේ ගින්නෙන් නිවාස කිහිපයකටත් හානි

(08.04.2025 – 13:46 +0530 – hirunews.lk/sinhala)

සිව්දෙනෙකුට (4) මරු කැඳවමින් කුරුණෑගල – කොළඹ ප්‍රධාන මාර්ගයේ වැහැර ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලකට අයත් ගෑස් පිරවුම් ගබඩාවක සිදු වූ පිපිරීම සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

පොලිසිය සහ ලාෆ් ගෑස් සමාගම විසින් මෙම විමර්ශන ක්‍රියාත්මකයි.

ගින්නෙන් තුවාල ලැබූ සිව් දෙනෙකු (4) කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන අතර ඔවුන්ගෙන් එක් (1) අයෙකුගේ තත්වය බරපතල බවයි රෝහල් ආරංචි මාර්ග සදහන් කළේ.

පිපිරීමත් සමග පිරවුම්හල ආසන්නයේ පිහිටි නිවාස ආසන්නයට ගෑස් සිලින්ඩර් කිහිපයක් විසිවී තිබූ අතර ඉන් නිවාස කිහිපයකට ද හානි සිදුව තිබෙනවා.

කුරුණෑගල – කොළඹ ප්‍රධාන මාර්ගයේ වැහැර ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක පිහිටි ලාෆ්ස් ගෑස් පිරවුම් ගබඩාවක ඊයේ (07) රාත්‍රි 11 ට පමණ මෙම ගින්න හටගෙන තිබුණා.

මෙම පිරවුම්හලේ ලීටර් 6,000 ගෑස් ටැංකි 2 ක් තිබුන අතර, කුරුණෑගල පිහිටි පෞද්ගලික අංශයේ කර්මාන්ත ශාලාවකට අයත් ලොරියක් කිලෝග්‍රෑම් 47 බැගින් ගබඩා කළ හැකි ගෑස් සිලින්ඩර් සඳහා ගෑස් පුරවා ගැනීමට පැමිණ තිබූ අවස්ථාවේ මෙම ගින්න හටගෙන තිබුණා.

එහිදි ගින්න පිරවුම්හලේ තිබූ ලීටර් 6,000 ගෑස් ටැංකි සහ ලොරි රථයේ තිබූ සිලින්ඩර් දක්වා පැතිර ගොස් ඇති අතර ලොරි රථයෙන් රැගෙනවිත් ගෑස් පුරවමින් තිබූ ටැංකිය ද පුපුරා ගොස් තිබෙනවා.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ, පිරවුම්හලේ කළමනාකරු, ගෑස් පුරවමින් සිටි සේවකයා, ගෑස් සිලින්ඩර රැගෙන පැමිණි ලොරි රථයේ රියදුරු සහ සහායකයා බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත්, ඔවුන්ගේ සිරුරු සම්පූර්ණයෙන්ම දැවී ගොස් ඇති බව පොලිසිය සදහන් කළා. පිපිරීමෙන් තුවාල ලබා ඇත්තේ, ඉන්ධන ලබා ගැනීමට පැමිණ සිටි ත්‍රිරෝද රථ රියැදුරෙකු ඇතුළු සිව් දෙනෙක් (4).

කුරුණෑගල මහ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකය බවුසර් 10 ක පමණ ජලය භාවිත කරමින් ගින්න මැඩ පැවැත්වූ අතර, අද (08) අලු‍යම 2 ට පමණ ගින්න සම්පූර්ණයෙන්ම නිවා දැමීමට හැකි වූ බවයි ‘හිරු වාර්තාකරු’ සදහන් කළේ.

කුරුණෑගල මහේස්ත්‍රාත් බන්දුල ගුණරත්න අද (08) පෙරවරුවේ පැමිණ ස්ථානීය පරීක්ෂණ කටයුතු සිදුකර තිබෙනවා.

මේ අතර ‘ලාෆ් ගෑස් සමාගම’ සදහන් කළේ අදාළ ඉන්ධන පිරවුම්හලේ පිහිටි ගෑස් ගබඩාවෙන් ගෑස් පිරවීම දීර්ඝ කාලයක සිට සිදුකරන බවයි.

ඊයේ (07) දින ගෑස් පිරවීම සදහා යොදාගත් ටැංකිවල ගැටලු‍වක් පැවතියේද යන්න පිළිබදවද විමර්ශන ආරම්භ කර ඇති අතර ඒ වෙනුවෙන් එම සමාගමෙන් කණ්ඩායමක් අදාළ ස්ථානයට පිටත්ව ගොස් තිබෙනවා.

+


‘කැලිප්සෝ දුම්රිය’ නානුඔයෙන් දෙමෝදරට ගමන් අරඹයි

(08.04.2025 – 14:20 +0530 – hirunews.lk/sinhala)

දේශීය සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරිම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් අලුතින් නිර්මාණය කළ ‘කැලිප්සෝ දුම්රිය’ අද (08) දින උදෑසන නානුඔය දුම්රිය ස්ථානයේ සිට දෙමෝදර දුම්රිය ස්ථානය දක්වා ගමන් ආරම්භ කළා.

මේ අනූව නානුඔය සිට දෙමෝදර දක්වා එම දුම්රිය සෑම අගහරුවාදා දිනකම ගමන් කරනු ඇති.

එම දුම්රියෙන් ගමන් කරනා දෙස් විදෙස් සංචාරකයන්ට දුම්රිය මාර්ගයට දිස්වෙන සුන්දර දියඇලි ඇතුලු ආකර්ෂණිය ස්ථාන දැකබලා ගෙන ඡායාරූප ගැනීමට පහසුවන පිරිදි එම දුම්රිය මැදිරි සකස්කර තිබෙනවා.

එක් මැදිරියක වහළක් නොමැතිව විවෘතව පවතින ලෙසයි නිමවා ඇත්තේ.

එම දුම්රියේ විශේෂ භොජනාගාරයකින්ද සමන්විතවන අතර එම දුම්රියෙන් නානුඔය සිට දෙමෝදර දක්වා ගමන් කරනා එක් සංචාරකයෙකුගෙන් රු. 10,000 මුදලක් අය කරනු ලබනවා.

දෙමෝදර දක්වා ධාවනය වන එම දුම්රිය බණ්ඩාරවෙල දක්වා ධාවනය කර පසුව දෙමෝදර සිට බදුල්ල දක්වාද ධාවනය කරනවා.

මේ අතර මෙවැනිම තවත් කැලිප්සෝ දුම්රියක් ධාවනයට එක් කිරිමට සැලසුම්කර ඇති බවයි එම දුම්රිය ගමනට එක් වූ අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරි ජී.එස්. පොල්වත්ත කියා සිටියේ.

දේශීය සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරිම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් මේ වන විට දුම්රිය ගණනාවක් ධාවනයට එක් කර තිබෙන බවයි
අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා වැඩිදුරටත් කියා සිටියේ ෴


පෞද්ගලික අංශයේ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීම ගැන තීරණයක්

(08.04.2025 – 14:42 +0530 – hirunews.lk/sinhala)

2016 අංක 3 දරන සේවකයන්ගේ ජාතික අවම වේතනය පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

2025 අයවැය යෝජනා මගින් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට සමගාමීව පෞද්ගලික අංශයේ සේවකයන්ගේ ද වැටුප් ඉහළ නැංවීමට යෝජනා කර තිබුණා.

ඒ අනුව, පහත සඳහන් පරිදි ජාතික අවම මාසික වේතනය සහ ජාතික අවම දෛනික චේතනය සංශෝධනය කිරීමටත්, ඊට අදාළ අනෙකුත් නීතිමය ක්‍රියාමාර්ග අනුගමනය කිරීමටත්, කම්කරු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

  • 2025-04-01 දින සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 17,500 සිට රුපියල් 27,000 දක්වා රුපියල් 9,500 කින් ජාතික අවම මාසික වේතනය ඉහළ නැංවීම.
  • 2025-04-01 දින සිට ක්‍රියාත්මක වන පරිදි ජාතික අවම දෛනික චේතනය රුපියල් 700 සිට රුපියල් 1,080 දක්වා රුපියල් 380 කින් ඉහළ නැංවීම.
  • 2026-01-01 දින සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 27,000 සිට රුපියල් 30,000 දක්වා රුපියල් 3,000 කින් ජාතික අවම මාසික චේතනය ඉහළ නැංවීම.
  • 2026-01-01 දින සිට ක්‍රියාත්මක වන පරිදි ජාතික අවම දෛනික චේතනය රුපියල් 1,080 සිට රුපියල් 1,200 දක්වා රුපියල් 120 කින් ඉහළ නැංවීම.

නව ජාතික හැඳුනුම්පත් හදන්න පෙර මුද්‍රිත පොලිකාබනේට් කාඩ්පත් මිලියන 15 ක් ගන්න කැබිනට් අනුමැතිය

(08.04.2025 – 15:03 +0530 – hirunews.lk/sinhala)

ඩිජිටල් ආර්ථික අමාත්‍ය වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවකට අනුව, ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම සඳහා පෙර මුද්‍රිත පොලිකාබනේට් කාඩ්පත් මිලියන 15 ක් මිලදී ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

නව හැඳුනුම්පත් නිකුත් කිරීම සඳහා කාඩ්පත් මිලියන 17 ක පමණ අවශ්‍යතාව පවතින අතර පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම සඳහා සුහුරු කාඩ්පත් භාවිත කිරීම ආරම්භ කෙරුණේ 2017 වර්ෂයේ සිටයි.

මේ අතර ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත ඉලෙක්ට්‍රොනික ජාතික හැඳුනුම්පත ව්‍යාපෘතිය මගින් හඳුන්වාදී ඇති නව ක්‍රමවේදය යටතේ වයස අවුරුදු 15 සම්පූර්ණ වූ සියලු ශ්‍රී ලාංකික පුරවැසියන් නැවත ලියාපදිංචි කළ යුතු වනවා.

ඒ සඳහා මුද්‍රිත පොලිකාබනේට් කාඩ්පත් මිලියන 17 ක අවශ්‍යතාව පවතින අතර එය සපුරා ගැනීම සඳහායි ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවීමට ද අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත්තේ ෴


වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය පිහිටුවීමට අනුමැතිය

(08.04.2025 – 15:12 +0530 – hirunews.lk/sinhala)

‘ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය’ (Chartered Institute of Media Professionals – Sri Lanka) පිහිටුවීමේ පනත් කෙටුම්පතට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

වරලත් ජනමාධ්‍ය වෘත්තීය වේදීන් බිහි කිරීමේ සහ මෙරට මාධ්‍ය සමාජයේ ගුණාත්මකභාවය සහ ප්‍රමිතිය ඉහළ නැංවීම උදෙසා නිපුණතාවෙන් යුත් පිරිපුන් විද්වත් මාධ්‍ය වෘත්තීයවේදීන් පිරිසක් බිහි කිරීමේ අරමුණින් අදාළ අධ්‍යයනයන් සිදු කිරීමට අවශ්‍ය පුහුණු ආයතනයක අවශ්‍යතාව සපුරාලීම සඳහා ‘ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය’ පිහිටුවීමේ අවශ්‍යතාව හඳුනාගෙන තිබුණා.

ඒ අනුව, එම ආයතනය පාර්ලිමේන්තුවේ සම්මත පනතක් මගින් සංස්ථාපනය කිරීමට හැකිවන පරිදි පනත් කෙටුම්පතක් සකස් කිරීම පිණිස 2022-08-15 දිනැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබෙනවා.

එකී පනත් කෙටුම්පත සකස් කිරීමේ කාර්යය නිම කිරීම සඳහා වත්මන් අමාත්‍ය මණ්ඩලයේ ප්‍රතිපත්තිමය අනුමැතිය ලබා දීම පිණිස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසිනුයි අනුමත කර ඇත්තේ ෴


රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක පාර්ලිමේන්තුවට

(08.04.2025 – 15:22 +0530 – hirunews.lk/sinhala)

රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක පාර්ලිමේන්තුවට රැගෙන විත් තිබෙනවා.

ඒ, දැන් පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිය සඳහායි.

ඌව පළාත් සභාවට අයත් ස්ථාවර තැන්පතු ගිණුම් 06 ක් කල් පිරීමට පෙර ඉවත් කිරීම තුළින් රුපියල් ලක්ෂ 173 කට අධික පාඩුවක් සිදුකිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක ඇප මත මුදාහැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා.

කෙසේ වෙතත් ඔහුට තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතව සිටීමට සිදුව ඇත්තේ බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවකට අදාලවයි.

අල්ලස් කොමිසම විසින් එම නඩුව පවරා ඇත්තේ, ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයාව සිටියදී 2016 වසරේ පෙර පාසැල් දරුවන්ට බෑග් බෙදා දීමට බව සඳහන් කරමින් රාජ්‍ය බැංකුවකින් රුපියල් ලක්ෂ දහයක අනුග්‍රහයක් ලබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන්.

+

+


‘මෛත්‍රිපාල සිරිසේන බලයට ගේන්න අපට හිටපු ජනපති රනිල් සල්ලි දුන්නා’ – සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන

(08.04.2025 – 16:08 +0530 – hirunews.lk/sinhala)

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති කිරීමට හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මුදල් දුන් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන පවසනවා.

මහ බැංකුවේ අධිපති ලෙස අර්ජුන මහේන්ද්‍රන් පත් කිරීමට කටයුතු කරන බවට වන කොන්දේසියට එකඟ වූ නිසා මෙම මුදල් ලබාදුන් බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

මන්ත්‍රීවරයා මේ බව පවසා සිටියේ අද (08) පාර්ලිමේන්තුවේදීයි.

එහිදී ඔහු මෙසේද පැවසුවා,

“අපිට දුන්න මුදල් ටික ඩබල්, ට්‍රිබල් කරලා ගත්තා ඒ මනුස්සයා, අරගෙන අදත් නෑ. ඇයි මාව කැඳවන්නේ නැත්තේ, ඇයි මගෙන් අහන්නේ නැත්තේ. මම මැතිවරණයට ඉස්සර වෙලා වේදිකාවේ මේවා කිව්වා. මාව හංවඩු ගැහුවා.”

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *