ශ්‍රී ලංකාවට බටහිර මුහුදේදී කිලෝ 800 කට අධික හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග 07 ක් නාවික හමුදා අත්අඩංගුවට

ශ්‍රී ලංකාවට බටහිර මුහුදේදී කිලෝ 800 කට අධික හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග 07 ක් නාවික හමුදා අත්අඩංගුවට


ශ්‍රී ලංකාවට බටහිර මුහුදේදී කිලෝ 800 කට අධික හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග 07 ක් නාවික හමුදා අත්අඩංගුවට

(05.04.2025 – 22:27 +0530 – hirunews.lk/sinhala)

නාවික හමුදාව සහ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය ඒකාබද්ධව ශ්‍රී ලංකාවට බටහිර මුහුදේ කළ විශේෂ මෙහෙයුමකදී හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 671 ග්‍රෑම් 452ක් සහ හෙරොයින් කිලෝ 191යි ග්‍රෑම් 752ක ප්‍රමාණයක් නාවික හමුදාව භාරයට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් 7 දෙනෙකු ද සමග නාවික හමුදාව එම බහුදින ධීවර යාත්‍රාව රැගෙන ආවේ දික්ඕවිට වරායටයි.

මෙහිදී අත්අඩංගුවට ගත් සැකකරුවන් 7 දෙනා වයස අවුරුදු 20 ත් 58 ත් අතර අය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

නාවික හමුදාව සහ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත ලැබුණු බුද්ධි තොරතුරකට අනුව නාවික හමුදාව මෙම මෙහෙයුම කර තිබුණේ, ශ්‍රී ලංකාවට බටහිර මුහුදු ප්‍රදේශයේයි.

එහිදී සැකකටයුතු බහුදින ධීවර යාත්‍රාවක් පරීක්ෂා කිරීමේදී හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් 7 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

විමර්ශනවලින් අනාවරණ වී ඇත්තේ, තුෂාන් පුතා 6 නමැති මෙම බහුදින යාත්‍රාව බලපිටිය වතුරුගම ප්‍රදේශයෙන් මීට දින කිහිපයකට පෙර, ධීවර කටයුතු සඳහා පිටත්ව ගිය යාත්‍රාවක් බවයි.

මත්ද්‍රව්‍ය අඩංගු මලු 50කට අධික සංඛ්‍යාවක් යාත්‍රාව තුළ තිබී නාවික හමුදාව භාරයට ගත් අතර, සැකකරුවන් සහ යාත්‍රාව දික්ඕවිට වරාය වෙත රැගෙනවිත් තිබෙනවා.

මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම මෙතෙක් තහවුරු නොකළ බවයි නාවික හමුදාව සඳහන් කළේ.

+


විදුලි වාහන බලපත්‍ර ලබාදීමේදී අක්‍රමිකතා රැසක්

(04.04.2025 – 15:12 +0530 – sinhala.adaderana.lk)

විදේශ ප්‍රේෂණ මත එතෙර රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයින් වෙත ‘පූර්ණ විදුලි වාහන’ ආනයනය කිරීම සඳහා බලපත්‍ර ලබාදීමේ දී විශාල අවභාවිතයක් සිදු වී ඇති බව ‘කෝපා කමිටුවේ’දී අනාවරණය වී තිබේ.

එහිදී විගණකාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ බලපත්‍ර නිකුත් කිරීමේදී ‘මුදල් විශුද්ධිකරණයක්’ සිදුවී තිබේදැයි සැක සහිත බවයි.

2024 සැප්තැම්බර් 30 දක්වා ආනයනය කර තිබූ වාහන 921 ක් සඳහා සුඛෝපබෝගී බදු නිදහස් සීමාව ඉහළ දැමීම හේතුවෙන්, රජයට අහිමි වූ බදු ආදායම රු. බිලියන 2.42 ක් බව මෙහිදී අනාවරණය වී තිබේ.

එමෙන්ම ප්‍රධාන ආයතන දෙකක් (2) බලපත්‍රලාභීන් 640 ක් සඳහා පහසුකම් සපයන ආනයනකරු ලෙස කටයුතු කර ඇති බව ද මෙහිදී හෙළිව ඇත.

‘කෝපා කමිටුවේ’ දී අනාවරණය වූ කරුණු පිළිබඳ ‘පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව’ නිවේදනයක් නිකුත්කරමින් මේ බව පවසා සිටියේය.

එම කරුණු අනාවරණයට අනුව බලපත්‍ර නිකුත්කිරීමේ මුවාවෙන් ව්‍යාපාරයක් සිදුවී ඇති බවට ‘කෝපා කමිටුව’ට කරුණු හෙළි වී ඇත.

අදාළ කාල සීමාවේ විදේශ ගත නොවූ පුද්ගලයින් හතරදෙනෙකු (4) වෙනුවෙන් ද විදුලි වාහන බලපත්‍ර නිකුත් කර ඇති බව හෙළිව තිබේ.

එමෙන්ම හිටපු අමාත්‍යවරයාගේ වුවමනාව මත පෙර පැවති කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයා මේ සියල්ල සිදුකර ඇති බවටත් ‘කෝපා කමිටුව’ට කරුණු වාර්තා වී ඇත ෴

+

+++

+++

+++

+


බස් රථයේ ‍රි‍යදුරු පොලිස් නිලධාරියෙකු හප්පා පලායයි

(05.04.2025 – 11:30 +0530 – hirunews.lk/sinhala)

පොළොන්නරුව පොලිසියට අනුයුක්තව සේවය කරන ලද පොලිස් නිලධාරියකු ඊයේ (04) රාත්‍රීයේ සිදු වූ අනතුරක් හේතුවෙන් මිය ගොස් තිබෙනවා.

කොළඹ සිට මඩකලපුවට ධාවනය වූ බස් රථයක ගැටී මෙම අනතුර සිදුව ඇති අතර අදාළ බස් රථයේ රියදුරු මෙම අනතුර සිදු කර පලාගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ඊයේ (04) මෙම පොලිස් නිලධාරියා තවත් මිතුරන් කිහිපදෙනෙකු සමඟ ගල්ලෑල්ල ප්‍රදේශයට ගොස් පැමිණෙමින් සිටින අතරතුර මෙම අනතුරට මුහුණ දී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ ඔහු මාර්ගයේ ගමන් කරමින් සිටියදී මෙම බස් රථයේ ගැටී ඇති අතර බස් රථය ඔහු මගහැර පලාගොස් ඇති බවයි.

කෙසේ වෙතත් අදාළ බස් රථය සහ රියදුරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙසේ මිය ගොස් ඇත්තේ පොළොන්නරුව පොලිසියට අනුයුක්තව සේව‍ය කළ 55 හැවිරිදි තිදරු පියෙක්.

+


විපක්ෂ නායක සහ ඒකාබද්ධ ඇඟලු‍ම් සංගම් සංසදයේ නියෝජිතයින් අතර හමුවක්

(05.04.2025 – 14:07 +0530 – hirunews.lk/sinhala)

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකා ඒකාබද්ධ ඇඟලු‍ම් සංගම් සංසදයේ නියෝජිතයින් සමග සාකච්ඡාවක නිරතව තිබෙනවා.

ඇඟලු‍ම් ක්ෂේත්‍රයේ 3,50,000 කට අධික සෘජු රැකියා සහ මිලියනයකට අධික වක්‍ර රැකියා ආරක්ෂා කරගැනීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා වී තිබෙනවා.

නව වෙළෙඳපොළ අවස්ථා විවෘත කරගනිමින් අපනයන වෙළෙඳාම ආරක්ෂා කරගැනීමේ අවශ්‍යතාවය විපක්ෂ නායකවරයා මෙහිදී පෙන්වා දී තිබෙනවා.

මේ අතර, රජය විසින් බලයට පත්වීමට පෙර ජනතාවට ලබාදුන් බලාපොරොත්තු, මේ වන විට බිඳ වැටී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව කියා සිටියේ, අඹතලේ – බෝධිය පටුමග ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවකට ඊයේ එක්වෙමින් ෴


මීගමුව මහ රෝහලේ වෛද්‍යවරයෙකු තමන්ට ලිංගික හිරිහැර කළ බවට ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි තරුණියකගෙන් පැමිණිල්ලක්

(05.04.2025 – 15:46 +0530 – hirunews.lk/sinhala)

‘මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ බාහිර රෝගි අංශය’ට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණි තරුණියකට එම රෝහලේ වෛද්‍යවරයෙකු විසින් ලිංගික හිංසනයක් සිදුකළ බවට පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍ය නිලධාරි වාර්තාව ලබා ගැනීමෙන් අනතුරුව වැඩිදුර විමර්ශන සිදුකරන බවයි පොලිසිය සඳහන් කළේ.

අදාල තරුණිය පසුගිය 01 වැනිදා ‘මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ බාහිර රෝගි අංශය’ වෙත පැමිණ ඇත්තේ ‘චර්ම රෝගයක්’ සඳහා ප්‍රතිකාර ලබා ගැනීමටයි.

ප්‍රතිකාර ලබාගන්න අවස්ථාවේදී අදාළ වෛද්‍යවරයා විසින් තමන්හට හිංසනයක් සිදුකළ බවටයි අදාළ තරුණිය පොලිසියට පැමිණිලි කර ඇත්තේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ‘රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ’ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස කියා සිටියේ මෙම වෛද්‍ය වරයා තම සංගමයේ සාමාජිකයෙකු නොවන බවයි.

+


‘ග්‍රෑන්ඩ්පාස්, මුවදොර උයන මහල් නිවාස සංකීර්ණයේ’ ඝාතනයක්

(05.04.2025 – 15:57 +0530 – hirunews.lk/sinhala)

තියුණු ආයුධයකින් සිදුකළ පහරදීමක් හේතුවෙන් කාන්තාවක් (1) ඝාතනය කර තවත් පුද්ගලයෙකුට (1) තුවාල සිදු කර තිබෙන බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය පවසනවා.

‘ග්‍රෑන්ඩ්පාස්, මුවදොර උයන මහල් නිවාස සංකීර්ණයේ’ කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු මෙසේ කැපුම් තුවාල ලබා තිබෙනවා.

අද (05) දින අළුයම් කාලයේ වූ පහරදීමෙන් පසුව අදාල කාන්තාව සහ පිරිමි පුද්ගලයෙකු කැපුම් තුවාල සහිතව ‘කොළඹ ජාතික රෝහල’ට ඇතුලත් කර ඇති බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය පවසන්නේ.

එහිදී තුවාලකාරිය වෛද්‍යවරුන් පරීක්ෂාවට ලක්කරන අවස්ථාව වන විටත් ඇය මිය ගොස් සිට ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර අනෙක් තුවාලකරු තවදුරටත් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි පැවසෙන්නේ.

මරණකාරිය වයස අවුරුදු 60 ක් වූ තැනැත්තියක් බවත් තුවාලකරු වයස අවුරුදු 26 ක් වන මෝදර උයන මහල් නිවාස සංකීර්ණයේ පදිංචිකරුවන් බවයි පොලිසිය පවසන්නේ.

මරණකාරියගේ ස්වාමිපුරුෂයා සමඟ ඇති වූ පවුල් ආරවුලක් හේතුවෙන් ඇගේ සැමියා විසින් මෙම ඝාතනය සිදු කර ඇති බවට හා දෙදෙනා (2) අතර ඇති වූ ආරවුලට මැදිහත් වූ අනෙක් පුද්ගලයාට ද මරණකාරියගේ ස්වාමිපුරුෂයා විසින් පහරදී තිබෙන බවයි පැවසෙන්නේ.

සිද්ධියට සම්බන්ධ සැකකරු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන සිදු කරනවා ෴


ත්‍රිවිධ හමුදා සහන කණ්ඩායමක් මියන්මාරයට

(05.04.2025 – 17:04 +0530 – hirunews.lk/sinhala)

පසුගියදා ඇතිවූ භූමිකම්පාව හේතුවෙන් ආපදාවට පත් මියන්මාරයේ ජනතාව වෙත සහන සැලසීමේ අරමුණින් බ්‍රිගේඩියර් පුණ්‍යා කරුණාතිලක ප්‍රමුඛ ත්‍රිවිධ හමුදා සාමාජිකයන් 26 දෙනෙකුගෙන් සමන්විත වෛද්‍ය හා විශේෂ සහන සේවා කණ්ඩායමක් අද (05) විශේෂ ගුවන් යානයකින් මියන්මාරය බලා පිටත්ව තිබෙනවා.

අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ උපදෙස් පරිදි ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) ගේ පූර්ණ අධීක්‍ෂණය මතයි මෙම ආපදා සහන සේවා මෙහෙයුම් ක්‍රියාත්මක වන්නේ.

සීමිත කාලයක් තුලයි ත්‍රිවිධ හමුදාපතිවරුන්ගේ මූලිකත්වයෙන් මෙම ආපදා සහන සේවා කණ්ඩායම් සූදානම් කිරීමට කටයුතුකර තිබෙන්නේ.

ආපදා සහන මානුෂීය සේවාවන්ට අමතරව ත්‍රෛනිකායික මහනාහිමිවරුන් ප්‍රමුඛ ගරුතර මහා සංඝරත්නයේ මූලිකත්වයෙන්, දිවයින පුරා විසිර සිටින ශ්‍රී ලාංකික ජනතාව විසින් පරිත්‍යාග කරනු ලදුව එක්‍ රැස් කරනු ලැබූ වෛද්‍යාධාර ඇතුළු සහනාධාර තොගයක් ද, මෙම කණ්ඩායම සමග මියන්මාර රජය වෙත ලබාදීමට කටයුතු කෙරුණා.

විදේශ කටයුතු අමාත්‍යවරයා, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා ප්‍රමුඛ විදේශ කටයුතු අමාත්‍යාංශ කාර්ය මණ්ඩලය මෙම මෙහෙයුම සඳහා අවශ්‍ය රාජ්‍යතාන්ත්‍රික කටයුතු සිදු කිරීමට කටයුතු කළා.

මෙරට ජාතික ගුවන් සේවය වන ශ්‍රී ලංකන් ගුවන් සේවා සමාගම ද, මේ සඳහා සහයෝගය දක්වා තිබෙනවා.

මේ අතර මෙවැනි මානුෂීය මෙහෙයුම් මගින් කලාපීය සහයෝගීතාව ශක්තිමත් කිරීමට, හදිසි ආපදා තත්ත්වයකදී අපගේ මිත්‍ර පාර්ශ්වික රාජ්‍යයන් වෙත අවශ්‍ය සහාය දැක්වීම සඳහා ශ්‍රී ලංකා රජය ප්‍රමුඛ ආරක්‍ෂක අමාත්‍යාංශයේ හා ත්‍රිවිධ හමුදාවේ කැපවීම මනාව පිළිඹිබු කරනවා ෴


කුලියාපිටියේ ඔයක නාදුනන මළ සිරුරක්

(05.04.2025 – 18:33 +0530 – hirunews.lk/sinhala)

ඔයක පාවෙමින් තිබූ නාදුනන මළ සිරුරක් (1) සොයාගෙන ඇතැයි කුලියාපිටිය පොලිසිය පවසනවා.

කුලියාපිටිය, කෝන්ගහගෙදර විහාරස්ථානයේ, කබලෑවලාන පත්තිනි දේවලය පිටුපස ඔයේ තිබියදී මෙම මළ සිරුර සොයාගෙන තිබෙනවා.

දේවාලයේ පූජාව සඳහා පැමිණි පිරිසක් විසින් මළ සිරුර දැක තිබෙන අතර ඒ අනූවයි පොලිසියට දැනුම්දී ඇත්තේ.

පොලිසිය එහි පැමිණෙන විටත් මළ සිරුර අධික ලෙස නරක්වී තිබූ බවයි පොලිසිය පැවසුවේ.

ඒ වන විටත් කබරයින් කා දමා තිබූ සිරුර වයස අවුරුදු 60 ත් 65 ත් අතර අයෙකුගේ බවයි පොලිසිය සැක කරන්නේ.

මළ සිරුර සම්බන්ධයෙන් කුලියාපිටිය වැඩ බලන මහේස්ත්‍රාත් මාධව අධිකාරි මහේස්ත්‍රාත් පරීක්‍ෂණය සිදුකළා.

මේ අතර එම සිරුරේ තිබූ නවරත්න මුදුවක් හා සුරයක් නිසා යම් පිරිසක් විසින් අතුරුදන් වූ අයෙකු සම්බන්ධයෙන් පොලිසියට තොරතුරක් ලබාදී ඇති බවයි වාර්තා වන්නේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *