ප්‍රතික්ෂේප කළ නාමයෝජනා භාරගන්නැයි අභියාචනාධිකරණයෙන් නියෝගයක් !
ප්‍රතික්ෂේප කළ නාමයෝජනා භාරගන්නැයි අභියාචනාධිකරණයෙන් නියෝගයක් !
(04.04.2025 – 11:00 +0530 – sinhala.adaderana.lk)
ඉදිරි පළාත් පාලන ඡන්ද විමසීම සඳහා භාරදී ප්‍රතික්ෂේප කෙරුණු නාමයෝජනා පත්‍ර 37 කට ආසන්න සංඛ්‍යාවක් යළි භාරගන්නා ලෙස අභියාචනාධිකරණය අද (04) අදාළ තේරීම් භාර නිලධාරීන්ට නියෝග කර තිබේ.
+++
ඉදිරි පලාත් පාලන ඡන්දයේ ප්‍රතික්ෂේප කෙරුණු නාම යෝජනා යලි භාර ගන්නා ලෙස අභියාචනාධිකරණය නියෝග කරයි
(04.04.2025 – 11:03 +0530 – hirunews.lk/sinhala)
ඉදිරි පලාත් පාලන ඡන්ද විමසීම සඳහා භාරදී, ප්‍රතික්ෂේප කෙරුණු නාම යෝජනා පත්‍ර 37 කට ආසන්න සංඛ්‍යාවක් යලි භාර ගන්නා ලෙස අභියාචනාධිකරණය අද (04) අදාළ තේරීම් භාර නිලධාරීන්ට නියෝග කර තිබෙනවා.
සිය නාම යෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව පිළිගත් දේශපාලනය පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් විසින් ගොනුකර තිබූ රිට් පෙත්සම් විභාග කිරීමෙන් අනතුරුවයි අභියාචනාධිකරණයේ වැඩ බලන සභාපති මොහොමඩ් ලෆාර් තාහීර් සහ කේ.පී.ප්‍රනාන්දුගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කළේ.
තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් මහතා කියා සිටියේ සාම විනිසුරුවරුන් විසින් සහතික කිරීමේ දී ඇතිවූ ගැටලු, දිවුරුම සම්බන්ධයෙන් ඇතිවූ ගැටලු මත ප්‍රතික්ෂේප කෙරුණු නාම යෝජනා පත්‍ර 37 කට ආසන්න සංඛ්‍යාවක් ප්‍රතික්ෂේප කරමින් තේරීම් භාර නිලධාරීන් විසින් නිකුත් කළ නියෝග බල රහිත කරන බවයි.
එසේ ප්‍රතික්ෂේප කරන ලද නාමයෝජනා පත්‍ර යළි භාර ගන්නා ලෙස අදාළ තේරීම් බාර නිලධාරීන් වෙත තවත් නියෝගයක් නිකුත් කරන බවත් විනිසුරුවරයා සඳහන් කළා.
මේ අතර උප්පැන්න සහතික වල ඡායා පිටපත් ඉදිරිපත් කිරීම සම්බන්ධව ප්‍රතික්ෂේප කෙරුණු නාමයෝජනා යළි භාර ගන්නා ලෙස නියෝගයක් නිකුත් කරන්නයි ඉල්ලා ගොනු කර තිබූ පෙත්සම් තුනක් (3) නිශ්ප්‍රභ කිරීමටද අධිකරණයක් තීන්දු කළා.
+
වෙරළ තීරයකින් කාන්තා මළ සිරුරක් සොයාගැනේ
(04.04.2025 – 07:15 +0530 – hirunews.lk/sinhala)
මොරටුව පොලිස් වසමේ උස්වත්ත රවුම් පාර ප්‍රදේශයේ වෙරළ තීරයේ ඊයේ (03) කාන්තා මෘත ශරීරයක් තිබූ බව මොරටුව පොලිසිය සඳහන් කරනවා.
මරණකාරිය වයස අවුරුදු 58 ක් වූ කෙසෙල්වත්ත ප්‍රදේශයේ පදිංචිකාරිනියක් බවයි පොලිසිය සඳහන් කරන්නේ.
මෘත ශරීරය සම්බන්ධයෙන් හදිසි මරණ පරික්ෂණයෙන් පසු පශ්චාත් මරණ පරික්ෂණය සඳහා කළුබෝවිල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, මොරටුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා ෴
නිවසක් බිඳ දේපල සොරකම් කල කාන්තාවන් තිදෙනෙකු (3) අත්අඩංගුවට
(04.04.2025 – 07:31 +0530 – hirunews.lk/sinhala)
මොරටුව ප්‍රදේශයේ පිහිටි නිවසක විවෘත දොරෙන් ඇතුළු වී පසුගිය 24 වැනිදා නිවසේ තිබූ රුපියල් 639,000 ක මුදලක් සොරකම් කිරීමේ අපරාධයට අවශ්‍ය කර සිටි සැකකාරියන් තිදෙනෙකු (3) මොරටුව පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් වැටලීමක් සිදුකර ඊයේ (03) කොරළවැල්ල හා මොරටුවැල්ල ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකාරියන් අවුරුදු 33 – 47 වයස්වල පසුවන කොරළවැල්ල හා මොරටුවැල්ල ප්‍රදේශවල පදිංචිකාරියන්.
සොරා ගන්නා ලද දේපලවලින් කොටසක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.
මොරටුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා ෴
15 හැවිරිදි බාල වයස්කාර පාසල් දැරියක් දූෂණය කළ බව කියන 7 ක් අත්අඩංගුවට
(04.04.2025 – 10:19 +0530 – sinhala.adaderana.lk)
15 හැවිරිදි බාල වයස්කාර පාසල් දැරියක සමූහ දූෂණයට ලක්කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් එම දැරියගේ ‘පෙම්වතා’ බව කියන පාසල් සිසුවා ඇතුළුව පාසල් සිසුන් 5 ක් හා තවත් දෙදෙනෙකු (2) හෝමාගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
දූෂණයට ලක් වූ එම දැරියගේ දෙමාව්පියන් විසින් දැරිය සමග පොලීසියට පැමිණ සිදුකළ පැමිණිල්ලක් අනුව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලීසියට හැකිව තිබේ.
සමූහ දූෂණයට ලක් වූ බව කියන පාසල් දැරිය හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර වෛද්‍ය පරීක්‍ෂණයකට ලක් කිරීමට කටයුතු කළ බව පොලීසිය පැවසීය.
දූෂණයට ලක් වූ පාසල් සිසුවිය උපකාරක පන්තියකට සහභාගි වන බව පවසා තම පෙම්වතා බව කියන පාසල් සිසුවා හමුවීම සඳහා ගොස් තිබේ.
එම අවස්ථාවේදී සැකකාර පෙම්වතා බව කියන සිසුවා විසින් දැරිය රැගෙන ඔහුගේ මිතුරෙකු සිටින හෝමගම ප්‍රදේශයේ නිවසකට ගොස් එම නිවසේදී දැරිය දූෂණයට ලක්කර ඇත.
ඒ අනුව උදෑසන 9 ත් සවස 3 ත් අතර පැය හයක (6) කාලයක් ඇතුළත තවත් නිවාස තුනකට (3) රැගෙන ගොස් වින්දිත දැරිය සැකකාර පාසල් පෙම්වතා ඇතුළු ඔහුගේ මිතුරන් විසින් වරින්වර බරපතළ ලිංගික අපයෝජනය ලක් කර ඇති බව විමර්ශනයේදී අනාවරණය වූ බව පොලීසිය පැවසීය.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ හෝමාගම ප්‍රදේශයේම පාසල්වල ඉගෙනුම ලබන එම ප්‍රදේශයේම පදිංචිකරුවන්ය.
ඔවුන්ගෙන් පාසල් සිසුන් පස්දෙනා (5) අවුරුදු 15 ත් 16 ත් අතර වයස්වල සිටින අතර, අනෙක් දෙදෙනා (2) අවුරුදු 17 ත් 19 ත් අතර බව පොලීසිය පවසයි.
සැකකරුවන් විසින් පාසල් දැරිය ප්‍රවාහනයට යොදාගත් යතුරුපැදියක් ද අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් හත්දෙනා (7) හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද (04) ඉදිරිපත් කිරීමට නියමිතය ෴
+
+
‘යෝෂිත රාජපක්ෂ’ට සහ ‘ඩේසි ආච්චි’ට අධි චෝදනා පත්‍ර භාරදෙයි
(04.04.2025 – 09:46 +0530 – hirunews.lk/sinhala)
‘මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත’ යටතේ චෝදනා එල්ල වී සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් ‘යෝෂිත රාජපක්ෂ’ සහ ඔහුගේ මිත්තණිය වන ‘ඩේසි ෆොරස්ට්’ යන අයට අධි චෝදන පත්‍ර භාරදීමෙන් අනතුරුව ඔවුන් ඇප මත මුදාහැරීමට කොළඹ මහාධිකරණ නියම කළා.

නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ එම අධි චෝදනා පත්‍ර අද (04) කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ ඉදිරියේ භාරදීම සිදුවුණා.
ඉන් අනතුරුව විත්තිකරුවන් රුපියල් ලක්ෂ පහ (5) බැගින් වූ ශරීර ඇප දෙකක් (2) මත මුදා හැරීමටද නියම කෙරුණා.
ඉන් අනතුරුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය මැයි මස 30 වැනිදා පැවැත්වීමටයි අධිකරණය නියම කළේ ෴
මෙම වසරේ (2025) ගත වූ මාස 3 තුළ රිය අනතුරුවලින් 592 ක් මරුට
(04.04.2025 – 10:36 +0530 – hirunews.lk/sinhala)
මෙම වසරේ (2025) ගත වූ මාස 3 ක පමණ කාලය තුළ රිය අනතුරුවලින් පුද්ගලයින් 592 දෙනෙකු මියගොස් ඇති බව පොලිස් රථවාහන අංශ ප්‍රධානී, නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ ප්‍රකාශ කළා.
අලුත් අවුරුදු සමයේ අනතුරු අවම කරගැනීම සඳහා ඊයේ (03) කොළඹ දී පැවති දැනුවත් කිරීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනුයි නියෝජ්‍ය පොලිස්පතිවරයා මේ බව පවසා ඇත්තේ.
එහිදී ඔහු කියා සිටියේ මාරක රිය අනතුරු 565 කින් මෙම මරණ වාර්තා වී ඇති බවයි ෴
මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ ශ්‍රී ලාංකිකයන් පහක් (5) එක්ක ‘අශෙන් පුතා’ මාලදිවයිනේදී අත්අඩංගුවට
(04.04.2025 – 10:42 +0530 – hirunews.lk/sinhala)
‘හෙරොයින්’ කිලෝ ග්‍රෑම් 124 ක් සහ ‘අයිස් මත්ද්‍රව්‍ය’ කිලෝ ග්‍රෑම් 344 ක් සමග මාලදිවයින වෙරළාරක්ෂක නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබ සිටි ‘අශේන් පුතා’ ධීවර යාත්‍රාවේ සිටි ශ්‍රී ලාංකික ධීවරයින් පස්දෙනා (5) මෙරටට පිටුවහල් කළ බව ‘පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය’ පවසනවා.
මාලදිවයින් රජය මගින් මෙම සැකකරුවන්ට එරෙහිව නීති මාර්ගයෙන් කටයුතු කිරීමට අදහස් නොකරන බවට පවසමින් මෙරටට පිටුවහල් කර ඇති බවයි වාර්තා වන්නේ.
මෙලෙස පිටුවහල් කර ඇත්තේ දෙව්නුවර ප්‍රදේශයේ සහ ත්‍රිකුණාමල ප්‍රදේශයේ පදිංචිකරුවන් පස්දෙනෙක් (5).
ඉහත මත්ද්‍රව්‍ය තොගය මෙරටට ප්‍රවාහනය කරමින් සිටියදී 2024 නොවැම්බර් මස 14 දින මාලදිවයින වෙරළ ආරක්ෂක නිලධාරීන් විසින් මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙරටට පිටුවහල් කළ එම සැකකරුවන් ‘පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය’ මගින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ ෴
රුපියල් මිලියන 50 කට අධික වටිනාකමකින් යුත් මත්පෙති තොගයක් සමග අයෙක් මීගමුවේදී අත්අඩංගුවට
(04.04.2025 – 10:50 +0530 – hirunews.lk/sinhala)
ඉන්දියාවේ සිට යාත්‍රාවකින් මෙරටට රැගෙන එමින් තිබූ රුපියල් පන්කෝටි පනස් පන් ලක්ෂයක් (5,55,00,000) පමණ වටිනා මත්පෙති තොගයක් සමග සැකකරුවෙකු ‘සුරාබදු දෙපාර්තමේන්තුවේ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ’ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ මීගමුව – පෝරුතොට ප්‍රදේශයේ අද (04) අලුයම සිදුකළ විශේෂ මෙහෙයුමකදීයි.
එහිදී යාත්‍රාවේ සඟවා තිබූ මත්පෙති 375,000 ක් පමණ සොයා ගැනුණා.
මෙය ඩුබායි සිට මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාලයේ කොටසක් බවට සැකකරන සුරාබදු නිලධාරීන් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකර තිබෙනවා ෴
රු. 2,500 ට දෙන රු. 5,000 සේ සහන මල්ල බෙදා දීම නතරකරන්න; ඡන්දෙන් පසු බෙදා දෙන්න – මැතිවරණ කොමිෂන් සභාව
(04.04.2025 – 10:59 +0530 – hirunews.lk/sinhala)
රජය විසින් අලුත් අවුරුද්ද වෙනුවෙන් බෙදා දීමට පියවර ගෙන තිබූ සහන මල්ල අත්හිටුවීමට ‘මැතිවරණ කොමිෂන් සභාව’ දැනුම් දී තිබෙනවා.
ඒ අනුව එම සහන මල්ල පළාත් පාලන මැතිවරණය අවසන් වූ පසු බෙදා දිය හැකි බවයි මැතිවරණ කොමිෂන් සභාව විසින් ලිඛිතව දන්වා ඇත්තේ.
අස්වැසුම ප්‍රතිලාභ අපේක්ෂා කරන ලක්‍ෂ 8 ක පමණ පිරිසකට මෙම සහන මල්ල එළැඹෙන අප්‍රේල් 01 සිට 13 වෙනිදා දක්වා ‘සතොස අලවිසැල් ජාලය’ හරහා බෙදා දීමට කටයුතු කරමින් තිබුණා.
අදාළ සහන මල්ලෙහි අන්තර්ගත වූ භාණ්ඩ පැස රුපියල් 5,000 ක වටිනාකමකින් යුතු වුවත් එය රුපියල් 2,500 කට ලබාදෙන බවයි රජය නිවේදනය කළේ ෴
අවුරුදු 08 කට පසුවත් ‘හික්කඩුව ලොකූ’ගේ ඝාතන පලිය ගනී
(04.04.2025 – 13:01 +0530 – hirunews.lk/sinhala)
හික්කඩුව කුමාරකන්ද ප්‍රදේශයේ වෙළෙඳසැලක් ඉදිරිපිට වෙඩි තැබීමකින් එහි හිමිකරු මියගොස් ඔහුගේ බිරිඳ බරපතළ තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.
පොලිසිය පැවසුවේ, තුවාල ලැබූ කාන්තාව කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන බවයි.
මෙම වෙඩි තැබීම සිදුව තිබුණේ, ඊයේ (03) රාත්‍රියේයි.
යතුර පැදියකින් නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු (2) පැමිණ, ටී 56 ගිනි අවියකින් සහ පිස්තෝල වර්ගයේ ගිනි අවියකින් වෙළෙඳසැලේ හිමිකරුට සහ ඔහුගේ බිරිඳට වෙඩි තබා ඇති බව පොලිසිය ප්‍රකාශ කළා.
වෙඩි වැදීමෙන් වෙළෙඳසැලේ හිමිකරු වන ‘යක්දෙහිගේ කීර්තිවංශ’ නමැති 61 හැවිරිදි පුද්ගලයා මියගොස් ඇති අතර, ඔහුගේ බිරිඳ (ශර්ලි ඇන්ජලා වන්නකුකෝරාල) බරපතල තුවාල ලබා තිබෙනවා.
ඔවුන් හික්කඩුව දොඩන්දූව ප්‍රදේශයේ පදිංචිකරුවන්.
වෙඩි වැදීමෙන් පසු ඔවුන් දෙදෙනා (2) අසළ සිටි පිරිසකගේ මැදිහත්වීමෙන් රෝහලගත කර ඇති අතර තුවාල ලැබූ කාන්තාව මේ වනවිට කරාපිටිය ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා.
පොලිසිය පැවසුවේ, වෙඩි තැබීම සඳහා වෙඩික්කරුවන් පැමිණ ඇත්තේ කළු පැහැති ‘පල්සර්’ වර්ගයේ යතුරු පැදියකින් බවයි.
වෙඩි වැදීමෙන් මියගිය පුද්ගලයාගේ පුත්‍රයෙකු වූ ‘සජිත් හිමාල්’ නමැත්තා ද 2017 වසරේ මැයි 23 වැනිදා හික්කඩුවේදී නාඳුනන තුවක්කුකරුවෙකුගේ වෙඩි ප්‍රහාරයකින් මියගොස් තිබෙනවා.
ඒ, ‘හික්කඩුව ලොකූ’ නමැත්තාගේ ඝාතනය සම්බන්ධයෙන්.
‘සජිත් හිමාල්’ නමැත්තා ස්ටිකර් අලෙවිසැලක් පවත්වාගෙන ගොස් තිබූ අතර, ‘ලොකූ’ නමැත්තා ඔහුගේ පවුලේ සමීප හිතවතෙක්.
‘සජිත් හිමාල්’ නමැත්තා රත්ගම ප්‍රදේශීය සභාවේ හිටපු සභාපති ‘මනෝජ් මෙන්ඩිස්’ගේ සහාය ඇතිව ‘ලොකූ’ නමැත්තා ඝාතනයට සහය දී ඇත්තේ රුපියල් ලක්ෂ 5 ක කොන්ත්‍රාත්තුවක් මත බව පසුව ‘මීටියාගොඩ පොලිසිය’ සොයාගෙන තිබුණා.
‘සජිත් හිමාල්’ නමැත්තා ‘අසංක සුමිත්’ නොහොත් ‘ලොකූ’ නමැත්තාගේ ඝාතනය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිට ඇප ලබා පැමිණි අයෙක්.
හික්කඩුව බද්දේගම මාර්ගයේ ‘සජිත් හිමාල්’ නමැත්තා පවත්වාගෙන ගිය ‘ඩිජිටල් ප්‍රින්ටින් ආයතනය’ තුළදීම ඔහු සහ ඔහුගේ සහයකයා ඝාතනය වූයේ, ‘ලොකූ’ නමැත්තාගේ ඝාතනයට පළිගැනීමක් වශයෙන් බව පොලිසිය සොයාගෙන තිබෙනවා.
ඊයේ (03) රාත්‍රියේ ‘සජිත් හිමාල්’ නමැත්තාගේ ‘මවට සහ පියාට’ වෙඩි තබා ඇත්තේ ද එම සිද්ධියට අදාළව බව පොලිසිය ප්‍රකාශ කළා.
2025 වසරේ මේ දක්වා කාලය තුළ සිදුව ඇති වෙඩි තැබීමේ සිදුවීම් 28 කින් මියගොස් ඇති පුද්ගලයින් ගණන 23 ක්.
+
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴