හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යළි රිමාන්ඩ් – අප්‍රේල් 03 දක්වා

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යළි රිමාන්ඩ් – අප්‍රේල් 03 දක්වා


හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යළි රිමාන්ඩ් – අප්‍රේල් 03 දක්වා

(20.03.2025 – 15:00 +0530 – hirunews.lk/sinhala)

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අප්‍රේල් 03 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

ඒ ඔහු අද (20) මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

අත්අඩංගුවට ගන්නා ලෙස විවෘත වරෙන්තු නිකුත් කර තිබූ දේශබන්දු තෙන්නකෝන් ඊයේ (19) පෙරවරුවේ අධිකරණයට භාර වූයේ නීතීඥවරුන් විශාල පිරිසක් සමගයි.

ඒ එම නියෝගය නිකුත් කර දින 20 ක කාලයක් සැඟව සිටීමෙන් අනතුරුවයි.

2023 වසරේ දෙසැම්බර් 31 වැනිදා මාතර වැලිගම හෝටලයක් ඉදිරිපිට සිදුවූ වෙඩි තැබීමකදී මනුෂ්‍ය ඝාතනයකට කුමන්ත්‍රණය කිරීමේ චෝදනා මත මොහු ඇතුළු 08 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස පසුගිය මස 27 වනදා අධිකරණය නියෝග කළා.

එවන් පසුබිමක නමන් අත්අඩංගුවට ගැනීමේ නියෝගය ක්‍රියාත්මක කිරීම වලක්වාලමින් අතුරු තහනම් නියෝගයක් ඉල්ලා දේශබන්දු තෙන්නකෝන් ඉදිරිපත් කළ රිට් පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය පසුගිය දා තීන්දු කළා.

මෙවැනි තත්වයක් හමුවේ දේශබන්දු තෙන්නකෝන් සොයා ඔහුගේ නිවස ඇතුලු ස්ථාන කිහිපයක් අපරාධ පරීක්ෂණ නිලධාරීන්ගේ සෝදිසියට ලක් වූ අතර එහෙත් ඔහු සොයා ගැනීමට හැකි වූයේ නැහැ.

පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල කියා සිටියේ, පොලිස්පතිවරයා අධිකරණයට භාර වූයේ ඔහුගේ වන්කම් තහනම් කිරීම සදහා නියෝගයක් ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණ සිටි අවස්ථාවේදී බවයි.

ඒ අනුව ඊයේ (19) අධිකරණයට භාර වූ දේශබන්දු තෙන්නකෝන් අද (20) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි මාතර මහේස්ත්‍රාන් අරුණ බුද්ධදාස ඊයේ (19) නියෝග කළා ෴

+++

දේශබන්දු සැඟව සිටි කාලයේ භාවිත කළ සියලු විද්‍යුත් උපකරණ ගැන විමර්ශන

(20.03.2025 – 22:04 +0530 – hirunews.lk/sinhala)

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඉදිරිපත් කර තිබූ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් ඔහුව ලබන මස 03 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මාතර මහේස්ත්‍රාත් අරුණ බුද්ධදාස අද (20) නියෝග කළා.

සැකකරු අධිකරණ නියෝග පැහැර හැරීම සහ විමර්ශන සඳහා නිසි සහයක් ලබා නොදීම හේතුවෙන් තීරණාත්මක විමර්ශන පියවර කිහිපයක් සම්පූර්ණ කර ගැනීමට නොහැකි වී ඇති බවයි මහේස්ත්‍රාත්වරයා අවධාරණය කළේ.

මෙම සිද්ධියට අදාළ සියලුම පාර්ශ්වයන් පිළිබඳ පුළුල් විමර්ශනයක් කඩිනමින් සිදුකරන ලෙසද මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා.

2023 වසරේ දෙසැම්බර් 31 වැනිදා වැලිගම ප්‍රදේශයේ හෝටලයක් ඉදිරිපිට සිදුවූ වෙඩි තැබීමකදී මනුෂ්‍ය ඝාතනයකට කුමන්ත්‍රණය කිරීමේ චෝදනාව මත හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු සැකකරුවන් 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි මාතර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ පසුගිය 27 වැනිදායි.

කෙසේ වෙතත් හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා දින 20 ක් ගතවන තුරුම සොයා ගැනීමට විමර්ශන නිලධාරීන්ට හැකි වුණේ නැහැ.

එවන් පසුබිමක ඊයේ (19) පෙරවරු 08:30 ට පමණ හිටපු පොලිස්පතිවරයා මෝසමක් ඉදිරිපත් කරමින් මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට භාර වුණා.

එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ හිටපු පොලිස්පතිවරයා අද දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි.

එලෙස රිමාන්ඩ් කළ හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ සිට අද (20) යළි මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා රැගෙන එනු ලැබුවා.

දේශබන්දු තෙන්නකෝන්ගේ ඇප ඉල්ලීම සලකා බැලීමට අදාල නඩුව කැඳවනු ලැබුවේ මාතර මහේස්ත්‍රාත් අරුණු බුද්ධදාස මහතා හමුවේයි.

පිටු 12 කින් සමන්විත අදාළ නියෝගය ප්‍රකාශයට පත්කරමින් මාතර මහේස්ත්‍රාත් අරුණ බුද්ධදාස මහතා සඳහන් කළේ අභියාචනාධිකරණයේ තීන්දුවට අනුව මෙම සිද්ධියට අදාළව ඉදිරි විමර්ශන සිදුකෙරන බැවින් සහ නීතිපති දෙපාර්තමේන්තුවේ විරෝධතාවලට අනුව ඇප ලබාදීම සිදු කළ නොහැකි බවයි.

සැකකරු අධිකරණ නියෝග පැහැර හැරිම සහ විමර්ශන සඳහා නිසි සහයක් ලබා නොදීම හේතුවෙන් තීරණාත්මක විමර්ශන පියවර කිහිපයක් සම්පූර්ණ කර ගැනීමට පැමිණිල්ලට හැකි වී නොමැති බවද මහේස්ත්‍රාත්වරයා අවධාරණය කළා.

එමෙන්ම සැකකරු සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් පවත්වා එම ප්‍රගතිය අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාරතමේන්තුවට නියෝග කළා.

සැකකරුට සැඟවී සිටීමට ආධාර අනුබල දුන් තැනැත්තන් කුමන තරාතිරමේ අය වුවත් ඔවුන් පිළිබඳව පුළුල් විමර්ශනයක් සිදුකර අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මාතර මහේස්ත්‍රාත් අරුණ බුද්ධදාස මහතා පැමිණිලිකාර පාර්ශවයට නියෝග කළා.

එමෙන්ම මහේස්ත්‍රාත්වරයා මාතර බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළේ සැකකරු අධිකරණයේ සිට බන්ධනාගාරය දක්වාත් බන්ධනාගාරයේ සිට අධිකරණය දක්වාත් රැගෙන එන අවස්ථාවලදී මෙන්ම බන්ධනාගාරයේ රඳවා සිටියදීත් සැකකරුට පුළුල් ආරක්ෂාවක් ලබාදෙන ලෙසයි.

අනතුරුව නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ දිලීප පීරිස් මහතා කරුණු දැක්වූවා.

“ස්වාමිනි, සැකකාර හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ ගෙදර තිබිලා අපි ජංගම දුරකථන දෙකක් (2) භාරයට ගෙන දැනටමත් විමර්ශන සිදුකරනවා. නමුත් ස්වාමීනි සැකකරු සැඟවී සිටි දින 20 තුළ භාවිත කළ සියලුම විද්‍යුත් උපකරණ විමර්ශන සඳහා අවශ්‍යකර තිබෙනවා ඒ උපකරණ විමර්ශන අංශවලට භාර දෙන ලෙස නියෝගයක් නිකුත් කරන්න”

එහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ එම සියලු විද්‍යුත් උපකරණ විමර්ශන සඳහා භාර දෙන ලෙසයි.

“ස්වාමීනි මේ නඩු තීන්දුව මගේ වෘත්තිය ජීවිතයේ ඓතිහාසික සන්ධිස්ථානයක්. මෙවැනි නඩු තීන්දු හරහා නීතියේ ආධිපත්‍ය සහ නීතියේ අවභාවිතය ගැන පණිවුඩයක් රැගෙන යනවා. අභියාචනාධිකරණයට මෙන්ම මාතර මහේස්ත්‍රාත් අධිකරණයටත් මම මගේ ප්‍රසංසාව පළකර තිබෙනවා. ස්වාමීනි මම අද අධිකරණයට ආවේ ලැජ්ජාවෙන්. ඊට හේතුව අපිට අධිකරණයට එන්න යන්න වෙලා තියෙන්නෙත් පොලිස් ආරක්ෂාව යටතේ. ඒක ලැජ්ජා විය යුතු කරුණක්. ස්වාමීනි ඒක අසාර්ථක රාජ්‍යක සලකුණක්. මේ අධිකරණ පරිශ්‍රයේ මේ වන විට නියෝජ්‍ය පොලිස්පතිවරු කී දෙනෙක් ඉන්නවාද? අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීනුත් ඉන්නවා. ඔබ සියලු දෙනා මාධ්‍යයට මුහුණ පෙන්වීමට විතරක් එන්න එපා. සියලුම විමර්ශන නිලධාරීන් කඩිනමින් මෙම විමර්ශන අවසන් කර සැකකරුවන්ට එරෙහිව නඩු පැවරීමට කටයුතු කළ යුතුයි”

සියලු කරුණු සලකා බැලූ මාතර මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ලබන මස 03 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි ෴

+++

දේශබන්දු අපරාධකාරයෙක් වුනේ දේශපාලකයන්ගේ අස්සේ රිංගන්න ගිහින් – හිටපු පොලිස්පතිගේ පාවාදීමේ කුමන්ත්‍රණය (20.03.2025)

+


ඉදිරියේදී වාහන මිළට වෙන දේ

(20.03.2025 – 20:48 +0530 – hirunews.lk/sinhala)

වාහන මිළදී ගැනීමට ජනතාව තුළ පවතින උනන්දුව අඩුවීම හේතුවෙන් වාහන ආනයනය හරහා රජය අපේක්ෂා කළ ආදායම උපයා ගැනීමේ අර්බුදයක් නිර්මාණය විය හැකි බව ‘ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය’ පවසනවා.

එම සංගමයේ ලේකම් අරෝෂ රොද්‍රිගෝ මේ බව ප්‍රකාශ කළේ ‘හිරු ප්‍රවෘත්ති’ සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් .

පසුගිය මස 01 වැනිදා සිට පෞද්ගලික පරිහරණය සඳහා වාහන ආනයනයට අවසර ලබා දීමට රජය තීරණය කළා.

කෙසේ වෙතත්, එලෙස හම්බන්තොට වරාය වෙත ආනයනය කළ වාහන 400 කට ආසන්න ප්‍රමාණයක් රේගුවෙන් නිදහස් කිරීමට නොහැකි වුණේ අපනයන පරීක්ෂණ සහතිකයේ මතුව තිබූ ගැටලු‍වක් හේතුවෙන්.

ඒ අනුව එම බාධා ඉවත් කරමින් මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අති විශේෂ ගැසට් පත්‍රයක් ඊයේ (19) නිකුත් කළා.

එමගින් අදාළ වාහන මෙරටට එවීම සඳහා අපනයන පරීක්ෂණ සහතික ලබාගෙන තිබූ ‘බියුරෝ වෙරිටාස්’ කාර්යාංශයට බලය ලැබෙන අතර වාහන රේගුවෙන් නිදහස් කිරීමට තිබෙන අනෙකුත් බාධාකද ඉවත් කර තිබෙනවා.

කෙසේ වෙතත් වරාය නිශ්කාශන කටයුතු ප්‍රමාද වීම ඇතුළු ගැටළු කිහිපයක් හේතුවෙන් ඉදිරියේදී පාරිභෝගිකයාට ඉහළ මිළකට වාහන මිලදී ගැනීමට සිදුවිය හැකි බවයි ‘ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ’ ලේකම් අරෝෂ රොද්‍රිගෝ කියා සිටියේ ෴


මහා බෝධි විහාරයේ පාලනය ඉල්ලා ඉන්දියාව පුරා දැවැන්ත විරෝධතා

(20.03.2025 – 21:30 +0530 – sinhala.adaderana.lk)

ඉන්දියාවේ මහා බෝධි විහාරයේ පාලනය බෞද්ධයින් අතට පත්කරන්නැයි බලකරමින් බිහාර් ප්‍රාන්තය පුරා විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කර තිබේ.

එමෙන්ම මෙම විරෝධතා මේ වනවිට රාජස්ථාන්, ගුජරාට්, මධ්‍ය ප්‍රදේශ්, කර්ණාටක, තෙලඟානා සහ තමිල්නාඩු යන ප්‍රාන්ත දක්වා ද ව්‍යාප්ත වී ඇති බව වාර්තා වේ.

පසුගිය පෙබරවාරි මස 12 වනදා සිට විවිධ පිරිස් මහා බෝධි විහාරය වෙත පැමිණ මාරාන්තික උපවාසයන් හි පවා නිරත වී ඇත.

ඔවුන් අවධාරණය කරන්නේ එම විහාරයේ පරිපාලනය සම්බන්ධව 1949 වසරේදී සකස් කළ නීති වෙනස් කළ යුතු බවයි.

එම නීතිය යටතේ නව දෙනෙකු (9) ගෙන් යුතු මහා බෝධි විහාර පරිපාලනයේ වැඩි බලයක් හින්දූන්ට හිමිවීම පිරිසගේ විරෝධයට ලක්ව තිබේ.

+


අවිස්සාවේල්ල නගරයේ සමාජ ශාලාවක පාතාල කල්ලි දෙකක් (2) දරුණු ගැටුමක.. හයක් (6) රෝහලේ.. හතරකට (4) බරපතලයි..

(20.03.2025 – 17:30 +0530 – lankacnews.com)

අවිස්සාවේල්ල නගරයේ පිහිටි සමාජ ශාලාවක දෙපිරිසක් අතර ඇති වූ ආරවුලකින් හය දෙනෙකු (6) තුවාල ලබා අවිස්සාවේල්ල දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව බරපතළ තුවාල ලැබූ හතර දෙනෙකු (4) කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යැවූ බව අවිස්සාවේල්ල මූලස්ථාන පොලිසිය පවසයි.

එලෙස කොළඹ ජාතික රෝහලට මාරු කර යැවූ හතර දෙනා (4) ගේ තත්ත්වය බරපතළ බවත් පොලිසිය පවසයි.

අදාළ සමාජ ශාලා පරිශ්‍රය තුළදී දෙපිරිසක් අතර ඇති වූ ආරවුලක් නිසා සමාජ ශාලාවේ සිටි පිරිසට පිටතින් පැමිණි වෙනත් පිරිසක් පහරදීමක් සිදු කර ඇති බවත් ‘කොටහැර පොඩ්ඩා’ නමින් හඳුන්වන පාතාල කල්ලි හා සම්බන්ධ පුද්ගලයකු ඇතුළු පිරිසක් මෙම පහරදීම සිදුකර ඇති බවට මේ වන විට තොරතුරු අනාවරණය වී ඇති බවත් අවිස්සාවේල්ල මූලස්ථාන පොලිසියේ උසස් නිලධාරියෙක් පැවසීය.

තුවාල ලැබූ පිරිස අතර අවුරුදු 23, 28, 29, 32, 33, 38 යන වයස්වල පසුවන්නන් වන අතර ඔවුහු කුරුවිට, මානියංගම, අවිස්සාවේල්ල යන
ප්‍රදේශ වල පදිංචිකරුවෝ වෙති.

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට අවිස්සාවේල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශය ඇතුළු විශේෂ පොලිස් කණ්ඩායමක යොදවා ඇත

කඩුවෙල කේ බුද්ධික කුමාරසිරි


විදුහල්පති දරුවාගේ පොත් වවුචරයටත් විදලා

(20.03.2025 – lankadeepa.lk)

තම දරුවාට පොත් හා පාසල් උපකරණ ලබා ගැනීමට රජයෙන් ලබා දුන් රුපියල් 6000 ක වවුචරය කදුරුවෙල වෙළෙද ආයතනයකට ලබාදී විදුහල්පතිවරයා‍ භාණ්ඩ ලබාගත් බවට චෝදනා කරමින්, දිඹුලාගල අධ්‍යාපන කලාපයේ වැලිකන්ද මහා විද්‍යාලයක පළමු (1) වසරේ ඉගෙනුම ලබන සිසුවකුගේ පියෙක් ‘අල්ලස් හා දූෂණ කොමිෂන් සභාව’ට සහ ‘දිඹුලාගල කලාප අධ්‍යාපන කාර්යාල’ට ලිඛිතව පැමිණිල්ලක් කළේය.

විදුහල්පතිවරයා අදාළ භාණ්ඩ ලබාගත් පසු තමාගේ ජංගම දුරකථනයට එම පණිවිඩය ලැබුණු බවද ඔහු එම ලිපියේ සඳහන් කර ඇත.

ත්‍රිකෝණමඩුව මහා විද්‍යාලයක 01 වසරේ ඉගෙනුම දරුවාට පාසල් පොත් හා උපකරණ ලබා ගැනීමට එම වවුචරය ලබාදී තිබිණි ෴


රට සවාරිවලට හිතුමතේ සල්ලි අරන්: මැතිසබේ ප්‍රොටොකෝල් අංශය පීරයි

(20.03.2025 – lankadeepa.lk)

පාර්ලිමේන්තුවේ විදේශ සබඳතා සහ සන්ධානගත (Foreign Relations and protocol) කාර්යාලයේ පසුගිය වසර දහයේ (10) දී සිදුවී ඇතැයි පැවසෙන බරපතළ මූල්‍ය වංචා සම්බන්ධයෙන් එහි මූල්‍ය අධ්‍යක්ෂ ජී. සරත් කුමාර මහතා විසින් විමර්ශනයක් අරඹනු ලැබ ඇත.

මෙම විමර්ශනය ආරම්භ කර ඇත්තේ කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ උපදෙස් අනුවය.

මෙම කාර්යාලයේ සියලුම ගිණුම් සහ වියදම් කාලයක සිට නිශ්චිත විගණනයකට ලක්වී නොතිබූ බව කතානායකවරයාට තොරතුරු අනාවරණය වීමෙන් පසු එහි සියලු කටයුතු රජයේ විගණකාධිපතිවරයා යටතට පත් කිරීමට කතානායකවරයා පසුගියදා පියවර ගත්තේය.

පාර්ලිමේන්තුවේ හිටපු නිලධාරීන් කීපදෙනකු විදේශ සංචාරවලදී මෙහි විදේශ මුදල් (ඩොලර්) අයථා ලෙස පාවිච්චි කර ඇති බවට ලැබී ඇති තොරතුරක් සම්බන්ධයෙන්ද කතානායකවරයාගේ අවධානය යොමුවී ඇත.

එසේම එම අංශයේ වාහන පාවිච්චිය සම්බන්ධයෙන්ද චෝදනා එල්ලවී ඇත. ඒ පිළිබඳවද විගණන කණ්ඩායම්වල අවධානය යොමු වී ඇත.

මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මූල්‍ය අංශයේ නිලධාරියකුගෙන් ඊයේ (19) අප කළ විමසුමකදී ඔහු පැවසුවේ මූල්‍ය අධ්‍යක්ෂවරයා විදේශ සබඳතා අංශයේ පසුගිය කටයුතු කිහිපයක් ගැන මේ දිනවල පුළුල්ව සොයා බලාගෙන යන බවයි.

මේ අතර පාර්ලිමේන්තුවේ මුදල් අක්‍රමිකතා ඇති වීමට ඉඩ ඇති මාර්ග වසා දැමීමට කතානායකවරයා උපදෙස්දී ඇත ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *