‘බොදුබල සේනා සංවිධානයේ’ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිට ඇප

‘බොදුබල සේනා සංවිධානයේ’ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිට ඇප


‘බොදුබල සේනා සංවිධානයේ’ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිට ඇප

(25.02.2025 – 10:30 +0530 – hirunews.lk/sinhala)

ඉස්ලාම් දහමට අපහාසාත්මක ප්‍රකාශයක් සිදු කිරීම සම්බන්ධයෙන් මාස 09 ක ලිහිල් සිර දඬුවම් ලබා සිටි ‘බොදුබල සේනා සංවිධානයේ’ ලේකම් ‘පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්’ ඇප මත මුදාහරින ලෙස කොළඹ මහාධිකරණය නියම කළා.

එම දඬුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර ඇති නිසා තමන්ව ඇපමත මුදාහරින ලෙස ඉල්ලා ඥානසාර හිමියන් විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුවයි මහාධිකරණ විනිසුරු මාපා බණ්ඩාර විසින් මෙම නියෝගය ලබා දුන්නේ.

ඒ අනුව ඥානසාර හිමියන් රුපියල් 50,000 ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් (2) මත මුදා හරිනු ලැබුවා.

2016 වසරේ කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී පලකළ අදහස්වලින් ඉස්ලාම් ධර්මයට අපහාසයක් සිදු කළේ යැයි චෝදනා කරමින් ගොනු කර තිබූ නඩුවකට වරදකරු කෙරුණු ඥානසාර හිමියන්ට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් මාස 09 ක ලිහිල් සිර දඬුවමක් සහ රුපියල් 1500 ක දඩයක් නියම කළේ පසුගිය මස 09 වනදායි.

එම දඬුවමට එරෙහිව ඥානසාර හිමියන් විසින් කොළඹ මහාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කළා.

එම අභියාචනය විභාග කර අවසන් වන තෙක් තමන් වහන්සේව ඇප මත මුදා හරින ලෙස ඉල්ලා ඥානසාර හිමියන් ඇප ඉල්ලීමක් ඉදිරිපත් කළ ද එය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කළා.

තමන්ට ඇප ප්‍රතික්ෂේප කරමින් මහේස්ත්‍රාත්වරයා දුන් තීන්දුව නීතියට පටහැනි බවත් එය ප්‍රතිශෝධනය කොට තමන්ව ඇප මත මුදා හරින ලෙස ඉල්ලා ඥානසාර හිමියන් සිය නීතිඥවරු මාර්ගයෙන් කොළඹ මහාධිකරණයට මෙම ප්‍රතිශෝධන පෙත්සම ඉදිරිපත් කළා.

එම පෙත්සම අද (25) විභාගයට ගත් අවස්ථාවේදී ඥානසාර හිමියන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් කියා සිටියේ, මහේස්ත්‍රාත් අධිකරණය මගින් වරදකරු කරනු ලැබූ විත්තිකරුවකු අභියාචනයක් ඉදිරිපත් කළ විට ඔහු ඇපමත මුදාහළ හැක්කේ ඇප පනතේ 19(2) වගන්තියට අනුව පමණක් බවයි.

එම වගන්තියට අනුව ඇප ඉල්ලීමක් සලකා බැලිය හැක්කේ යම් විත්තිකරුවකුට එල්ල වී තිබෙන චෝදනාවල බරපතල භාවය සහ ඔහුගේ පෙර ක්‍රියා කලාපය යන කරුණු මත පමණක් බව ද ඔවුන් සදහන් කළා.

එහෙත් මහේස්ත්‍රාත්වරයා එම නීතිමය ප්‍රතිපාදනය සැලකිල්ලට නොගෙන ඇප ලබාදීමට සුවිශේෂ කරුණු නොමැති බව සඳහන් කරමින් ඇප ප්‍රතික්ෂේප කිරීම සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවයි නීතිඥවරු සදහන් කළේ.

මහේස්ත්‍රාත්වරයා දුන් තීන්දුව නීතියට අනුව දුන් නියෝගයක් නොවන බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරිය ද අධිකරණය හමුවේ කියා සිටියා.

ඒ අනුව අධිකරණයට සුදුසු නියෝගයක් නිකුත් කරන ලෙසයි ඇය ඉල්ලා සිටියේ.

ඒ අනුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරු මාපා බණ්ඩාර ඥානසාර හිමියන් ඇප මත නිදහස් කරන ලෙස නියෝග කළා.

+


‘ස්මාර්ට් යූත්’ සල්ලි පිල්ලි ගැහිල්ල | රනිල්ටයි හරීන්ටයි නිලධාරීන්ටයි | හොඳම එකෙන් වැඩ වරදින්නයි යන්නේ (25.02.2025)

+


මතක තියාගන්න…අපි දෙන්නේ දවස් 07 යි | සෞඛ්‍ය වෘත්තිය සමිතිවලින් ආණ්ඩුවට රතු එළි (25.02.2025)

+


දළඳා වහන්සේ වැඩ සිටින්නේ කොහේ ද? – මහනුවරින් රජෙක් පහළ කරන්නේ කොහොමද? – දියවඩන නිලමේ යනු ..? – ධම්මරාජ මහා බෝසතානෝ (ලසන්ත බණ්ඩාර මහතා) (26.02.2025)

+


මිද්දෙණිය ත්‍රිත්ව ඝාතනය සම්බන්ධයෙන් තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

(26.02.2025 – 07:18 +0530 – hirunews.lk/sinhala)

මිද්දෙණිය ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් තැබීමකින් පියා, දියණිය සහ පුත්‍රයා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවෙකු (1) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම ඝාතනයට ආධාර අනුබලදීම සහ කුමන්ත්‍රණය කිරීමේ චෝදනා යටතේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, 37 හැවිරිදි හකුරුවෙල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඒ අනුව ඊයේ (25), මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ දක්වා අත්අඩංගුවට ගත් මුලු සැකකරුවන් සංඛ්‍යාව 06 ක්.

පසුගිය 18 වනදා මිද්දෙණිය ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමෙන් ‘අරුණ විදානගමගේ’ හෙවත් ‘කජ්ජා’ නැමැත්තා, ඔහුගේ පුත්‍රයා සහ දියණිය මිය ගියා.

+


රුපියල් මිලියන 12 ක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමග කාන්තාවක් කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට

(26.02.2025 – 08:51 +0530 – hirunews.lk/sinhala)

ආහාර පැකට් තුළ සඟවා රුපියල් මිලියන 12 ක් වටිනා ‘කුෂ් මත්ද්‍රව්‍ය’ කිලෝග්‍රෑම් 1.2 ක් සමග කාන්තාවක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, හොංකොං සිට බැංකොක් හරහා පැමිණි 38 හැවිරිදි කාන්තාවක්.

ඒ අනුව, එම කාන්තාව ශ්‍රී ලංකා රේගුව විසින් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට භාර දී තිබෙනවා ෴


පාවිච්චි කළ මෝටර් රථ පළමු (1) කාණ්ඩය කොළඹ වරායට

(26.02.2025 – 10:31 +0530 – hirunews.lk/sinhala)

තායිලන්තයේ සිට පාවිච්චි කළ මෝටර් රථ පළමු (1) කාණ්ඩය කොළඹ වරායට පැමිණ ඇති බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව ඉදිරියේදී ජපානය, එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව යන රටවලින් මෙලෙස වාහන ගෙන්වීමට නියමිත බවයි ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ ලේකම් අරෝෂ රෝද්‍රිගෝ කියා සිටියේ.

මේ අතර රජය විසින් ආනයන සීමා ඉවත් කිරීමත් සමග භාවිතා කළ මෝටර් රථවල දෙවන (2) කාණ්ඩය අනිද්දා (28) හම්බන්තොට වරායට පැමිණීමට නියමිතව තිබෙනවා.

එහිදී වාහන 196 ක් මෙරටට පැමිණිමට නියමිත බවයි වරාය ආරංචි මාර්ග සදහන් කළේ ෴


ෂෙල්, මෙරට පළමු ඉන්ධන පිරවුම්හල අඹතලේ දී විවෘත කරයි

(26.02.2025 – 14:40 +0530 – hirunews.lk/sinhala)

‘ඇමරිකාවේ ආර්. එම්. පාක්ස් සහ ට්‍රයිස්ටාර් සමාගම් හවුල්කාරීත්වය’ යටතේ ‘ෂෙල් වෙළද සන්නාමය’ සහිත මෙරට මුල්ම ඉන්ධන පිරවුම්හල අද (26) අඹතලේ ප්‍රදේශයේ විවෘත කර තිබෙනවා.

ඒ, ඊට අදාළ සිල්ලර වෙළඳනාම බලපත්‍ර ගිවිසුමට පසුගිය මාර්තු මාසයේ දී අත්සන් කිරීමත් සමගයි.

‘ආර්. එම්. පාක්ස් පුද්ගලික සමාගම’ ශ්‍රී ලංකාව පුරා පිහිටි ඉන්ධන පිරවුම්හල් 150 ක ජාලයක්, ‘ෂෙල්’ ලෙස යළි සන්නාමකරණයට ලක් කර තිබෙනවා.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තිය ලෙස එක්වුණේ මෙරට ඇමරිකානු තානාපතිනි ජුලි චන්ග්.

+


කැලිප්සෝ දුම්රියෙන් ආදායම් වාර්තාවක්

(26.02.2025 – 14:59 +0530 – hirunews.lk/sinhala)

දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත් ‘කැලිප්සෝ දුම්රියේ’ දෛනික ආදායම රුපියල් ලක්ෂ 8 ත් 10 ත් අතර පවතින බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

මෙම දුම්රිය දිනපතා බණ්ඩාරවෙල සිට බදුල්ල දක්වා ධාවනය වන අතර, එහිදී දෙමෝදර පාලම සහ ඇල්ල ආරුක්කු 9 පාලම අසලදී මිනිත්තු 10 බැගින් නතර කර සංචාරකයන්ට සිරි නැරඹීමට අවස්ථාව ලබාදෙනවා.

දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර සදහන් කළේ, මෙම දුම්රියේ ආදායම පසුගිය 17 වනදා රුපියල් ලක්ෂ දහයේ (10) සීමාව ඉක්මවූ බවයි.


හම්බන්තොට වරායේ වැලි, රොන්මඩ ඉවත් කිරීමේ මෙහෙයුමක්

(26.02.2025 – 17:17 +0530 – hirunews.lk/sinhala)

හම්බන්තොට ජාත්‍යන්තර වරායේ ප්‍රකාශිත ගැඹුර යථා තත්ත්වයට පත් කිරීම සදහා එහි එකතු වී ඇති වැලි, රොන් මඩ ඉවත් කිරීමේ මෙහෙයුමක් මේ වන විට දියත් කර තිබෙනවා.

ඒ සදහා මාස දෙකක (2)පමණ කාලයක් ගතවනු ඇති බවයි හම්බන්තොට වරායේ පාලනාධිකාරිය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

මේ තුළින් වරායේ නාවික කටයුතුවල සැලකිය යුතු වර්ධනයක් මෙන්ම, වරාය ගොඩනැගීමේදි සැලසුම් කරන ලද ප්‍රමිතීන්වලට නැවත එළඹීමට හැකි වනු ඇති බව සදහන්.

මෙම මෙහෙයුම අවසානයේදි නැවතත් මුහුදු ගවේෂණයක් මගින් වරායේ සම්මත ගැඹුර මීටර් 17 ක් බව තහවුරු කර ගැනීමට නියමිතව තිබෙනවා ෴


ප්‍රවීණ රංගන ශිල්පී වසන්ත විට්ටච්චි අභාවප්‍රාප්ත වෙයි

(26.02.2025 – 20:58 +0530 – hirunews.lk/sinhala)

ප්‍රවීණ රංගන ශිල්පියෙකු සහ වේශ නිරූපණ ශිල්පියෙකු වන ‘වසන්ත විට්ටච්චි’ අභාවප්‍රාප්ත වී තිබෙනවා.

අද (26) වේරහැර කොතලාවල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මෙසේ මියගොස් ඇති බවයි වාර්තා වන්නේ ෴


පාරක් අයිනේ සිසුවෙකු දණගස්වා පහරදෙයි – තිදෙනෙක් (3) අත්අඩංගුවට

(26.02.2025 – 17:35 +0530 – sinhala.adaderana.lk)

මාර්ගයක් අසල සිසුවෙකු දණගස්වා පහරදෙන වීඩියෝවක් පසුගියදා සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය විය.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් 16 හැවිරිදි සැකකරුවන් තිදෙනෙක් (3) ‘කෑගල්ල පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය’ මගින් අද (26) අත්අඩංගුවට ගත්තේය.

පසුගිය 20 වනදා කෑගල්ල පිටිහුම ප්‍රදේශයේදී බස් රථය එනතුරු රැඳීසිටි දමුණුපොල ප්‍රදේශයේ සිසුවෙක්ට මෙම අමානුෂික ප්‍රහාරය එල්ලකර තිබුණි.

සිද්ධියට පස්දෙනෙකු (5) ගෙන් යුත් කණ්ඩායමක් සම්බන්ධවී ඇති බවට තොරතුරු වාර්තා වී ඇත.

අනෙක් සැකකරුවන් දෙදෙනා (2) සොයා පොලිස් විමර්ශන ක්‍රියාත්මක අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් හෙට (27) කෑගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *