‘ගනේමුල්ලේ සංජීව ඝාතනයේ’ ප්‍රධාන සැකකාරිය රට තුළ බවට තොරතුරු
‘ගනේමුල්ලේ සංජීව ඝාතනයේ’ ප්‍රධාන සැකකාරිය රට තුළ බවට තොරතුරු
(25.02.2025 – 22:37 +0530 – hirunews.lk/sinhala)
සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ‘ගනේමුල්ලේ සංජීව ඝාතන සිද්ධියේ’ ප්‍රධාන සැකකාරිය ලෙස හදුන්වන ‘ඉෂාරා සෙව්වන්දි’ තවමත් රට තුළ සිටින බවට තොරතුරු අනාවරණය වී ඇතැයි පොලිසිය පවසනවා.

මේ අතර අත්අඩංගුවට ගත් ඇගේ මව සහ සොහොයුරා රැඳවුම් නියෝග මත රඳවා තබා ප්‍රශ්න කරන බවයි ‘කොළඹ අපරාධ කොට්ඨාසය’ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේ.
ඔවුන් අද (25) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පොලිසිය මේ බව අධිකරණයට දැනුම් දුන්නා.
එහිදී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් සදහන් කළේ අධිකරණයට ඉදිරිපත් කරන සැකකරුට හා සැකකාරියට මෙම සිද්ධිය පිළිබඳව දැනුවත් භාවයක් තිබූ බවයි.
ඔවුන් තොරතුරු වසන් කර තිබෙන බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇති බව ද එහිදී හෙළි කෙරුණා.
මෙම සිද්ධියට පෙර වෙඩික්කරුගේ මැසෙන්ජර් ගිණුමෙන් ‘උසාවිය ළඟදි සංජීවට ගහනවා’ යනුවෙන් ප්‍රධාන සැකකාරිය සිය සොහොයුරාට පණිවිඩයක් එවා තිබූ බවත්, වෙඩි තැබිමේ සිද්ධියෙන් පසුව ‘වැඩේ ඉවරයි’ යනුවෙන් තවත් පණිවිඩයක් ඒවා තිබූ බවත් පොලිසිය අධිකරණය හමුවේ පැවසුවා.
එමෙන්ම ප්‍රධාන සැකකාරිය මුදල් හුවමාරු කිරීම සහ මීගමුව ප්‍රදේශයේදී රෙදි මිලදී ගැනීම සිදුකර ඇත්තේ සිය මවගේ බැංකු ගිණුම හරහා බව ද පොලිසිය සඳහන් කළා.
ඒ අනුව මෙම ඝාතනයට ආධාර අනුබල දීමේ සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් මෙම සැකකරු හා සැකකාරිය රඳවා තබා විමර්ශනය කරන බවයි පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේ.
සැකකාරියගේ මව සහ සොහොයුරා ඊයේ (24) අත්අඩංගුවට ගෙන තිබුණේ වෙඩි තැබීමට පෙර ඔවුන් දිවුලපිටිය ප්‍රදේශයේ ලැගුම්හලකට ගොස් වෙඩික්කරු සහ සැකකාරිය හමුවී ඇති බවට පරීක්ෂණවලින් අනාවරණය වීමෙන් අනතුරුවයි.
මේ අතර ‘මෙම සැකකාරියගේ අනියම් සැමියා’ ලෙස සැලකෙන පුද්ගලයෙකු කලකට ඉහතදී ගිනි අවියක් සහ මත්ද්‍රව්‍ය ළග තබා ගැනීම පිළිබද අත්අඩංගුවට පත්ව තිබු බව ද පොලිසිය සදහන් කළා.
‘ගනේමුල්ලේ සංජීව ඝාතනය’ සිදු කර දින 06 ක කාලයක් ගතව ඇතත් නීතිඥ වෙසින් අලුත්කඬේ මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණි 25 හැවිරිදි ‘ඉෂාරා සෙව්වන්දි’ නම් මෙම සැකකාරිය අත්අඩංගුවට ගැනීමට මේ දක්වා හැකියාව ලැබී නැහැ.
එවැනි පසුබිමක අදාළ කාන්තාව පිළිබදව නිවැරදි තොරතුරක් ලබාදෙන්නෙකුට රුපියල් ලක්ෂ 10 ක ත්‍යාග මුදලක් පිරිනැමීමට තීරණය කර ඇතිබවයි කොළඹ අද (25) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග ප්‍රකාශ කළේ.
මෙම ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකාරිය ලෙස හදුන්වන ‘ඉෂාරා සෙව්වන්දි’ නැමැත්තියගේ රුවට සමාන තැනැත්තියක් ද මතුගම පොලිසියට කැඳවා ප්‍රශ්න කිරීමක් සිදුකර තිබෙනවා.
සිදුකරන ලද වැඩිදුර ප්‍රශ්නකිරීම්වලදී අදාළ කාන්තාව මත්ද්‍රව්‍ය ළග තබා ගැනීමේ චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ලබන 14 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළ බවයි පොලිසිය සදහන් කළේ.
එසේම අදාළ කාන්තාවගේ නිවස පිහිටි මතුගම රන්නගල සහ අවට ප්‍රදේශ පොලිසිය විසින් පරීක්ෂා කිරීමකට ද ලක්කර තිබුණා.
+
‘ගණේමුල්ල සංජීව ඝාතනයේ’ ප්‍රධාන සැකකාරියගේ මව සහ සොහොයුරා අත්අඩංගුවට
(25.02.2025 – 06:57 +0530 – hirunews.lk/sinhala)
‘සංජීව කුමාර සමරරත්න’ නොහොත් ‘ගනේමුල්ල සංජීව’ යන අය වෙඩි තබා ඝාතනය කිරීමට සම්බන්ධ තවත් සැකකරුවෙකු (1) හා සැකකාරියක් (1) ඊයේ (24) අත්අඩංගුවට ගෙන ඇති බව ‘කොළඹ අපරාධ කොට්ඨාසය’ සඳහන් කරනවා.
ඒ අනුව, කටුවැල්ලේගම, මීගමුව ලිපිනයෙහි පදිංචි 23 හැවිරිදි ‘පිංපුර දේවගේ චමිදු තිවංක’ සහ එම ලිපිනයෙහිම පදිංචි 48 හැවිරිදි ‘සේසත්පුර දේවගේ සමන්ති’ යන අයයි මෙසේ අත්අඩංගුවට ගෙන තිබෙන්නේ.
එමෙන්ම මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, මෙම අපරාධයට ආධාර අනුබල දුන් ප්‍රධාන සැකකාරිය වන ‘ඉෂාරා සෙව්වන්දි’ නැමති කාන්තාවගේ මව හා බාල සොහොයුරා බවටයි අනාවරණය වී ඇත්තේ.
මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන් දැනීමක් තිබියදී ඒ සම්බන්ධව තොරතුරු වසන් කර අපරාධයට ආධාර අනුබල දීම සම්බන්ධයෙනුයි මොවුන්ව අත්අඩංගුවට ගෙන තිබෙන්නේ.
තවද, මේ දක්වා මෙම අපරාධයට අදාලව සැකකරුවන් 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ‘කොළඹ අපරාධ කොට්ඨාසය’ වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
+
සෙව්වන්දිගේ මව සහ සහෝදරයා රැඳවුම් නියෝග මත රඳවා තබා ප්‍රශ්න කෙරේ
(25.02.2025 – 15:23 +0530 – hirunews.lk/sinhala)
‘ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ’ අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටින ප්‍රධාන සැකකාරිය වන ‘ඉෂාරා සෙව්වන්දි’ නමැත්තියගේ මව සහ සහෝදරයා රැඳවුම් නියෝග මත රඳවා තබා ප්‍රශ්න කරන බව කොළඹ අපරාධ කොට්ඨාශය අද (25) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නා.
කොළඹ අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගත් එම සැකකාරිය හා සැකකර අද (25) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී හමුවට ඉදිරිපත් කළා.
එහිදී කොළඹ අපරාධ කොට්ඨාශය මෙම දැනුම්දීම සිදුකළා.
මෙලෙස අත්අඩංගුවට ගැනුණේ මීගමුව, කටුවැල්ලේගම, ජය මාවත ලිපිනයේ පදිංචි 48 හැවිරිදි ‘සේසත්පුර දේවගේ සමන්ති’ සහ 23 හැවිරිදි ‘පින්පුර දේවගේ තිවංක වීරසිංහ’ යන අයයි.
මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් දැනුවත්ව සිටියදී ඒ සම්බන්ධයෙන් තොරතුරු වසන් කර අපරාධයට ආධාර අනුබල දීම යන චෝදනා ඔවුන්ට එල්ල කර තිබෙනවා.
මව සහ සහෝදරයා මෙම ඝාතන සිදුවීමෙන් පසු ඔවුන් සිටි නිවස අත්හැර දමා ගොස් තිබුණු අතර, තමන්ට එල්ල වන මරණ තර්ජන හමුවේ නිවස අත්හැර දමා ගිය බවටයි තොරතුරු වාර්තා වුණේ.
‘ඉෂාරා සෙව්වන්දි’ නමැති කාන්තාව සහ මෙම ඝාතනයේ වෙඩික්කරු වන ‘කමාන්ඩෝ සමිඳු’ පසුගිය පෙබරවාරි 15 වැනිදා සිට 18 වැනිදා දක්වා දිවුලපිටියේ ලැගුම්හලක රැඳී සිටි අතරවාරයේ මෙම මව සහ සහෝදරයා එම ලැගුම්හලට පැමිණ ඇති බව අනාවරණ වී තිබෙනවා.
පසුව ‘ඉෂාරා සෙව්වන්දි’ගේ සොහොයුරා වෙඩික්කරු සමග යතුරුපැදියකින් විවිධ ස්ථාන වෙත ගොස් ඇති බවත් විමර්ශන නිලධාරීන් අනාවරණ කර ගත්තා ෴
+
+
‘ගනේමුල්ලේ සංජීව ඝාතනයේ ඉෂාරා සෙව්වන්දි’ සොයා මතුගම රන්නගල ප්‍රදේශය පීරයි
(25.02.2025 – 16:43 +0530 – hirunews.lk/sinhala)
‘ගනේමුල්ලේ සංජීව ඝාතන සිද්ධියේ’ මහ මොළකාරිය බව කියන, ‘ඉෂාරා සෙව්වන්දි’ නමැති කාන්තාව තෙබුවන, රන්නගල වතුයායේ නිවසක සිටින බවට ලැබුණු තොරතුරක් මත ඊයේ (24) රාත්‍රී එම නිවස වටලා එහි සිටි කාන්තාවන් තිදෙනෙකු (3) අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.
අනතුරුව ඊයේ (24) රාත්‍රීයේ එම නිවසට යුද හමුදාව, විශේෂ කාර්ය බලකාය හා තෙබුවන පොලිසියේ නිලධාරින් එක්ව ආරක්ෂාව ලබා දී තිබුණා.
මේ අතර අද (25) උදෑසන මතුගම ජේෂ්ඨ පොලිස් අධිකාරී ඇතුළු නිලධාරීන් එම ස්ථානයට ගොස් නිවස අවට ප්‍රදේශය යුද හමුදාව හා පොලිසිය සමග එක්ව පූර්ණ පරීක්ෂාවට ලක් කළා.
එහිදී කිසිදු සැකකටයුතු කිසිවක් සොයා ගැනීමට හැකිව නැති බවයි අප වාර්තාකරු පැවසුවේ.
සැක කටයුතු කාන්තාව ඇඹිලිපිටිය ප්‍රදේශයේ සිට සති දෙකකට (2) පමණ ඉහත දී තෙබුවන පොලිස් වසමට අයත් මතුගම රන්නගල ප්‍රදේශයේ හිතවතියක ගේ නිවසට පැමිණ ඇති බව පැවසෙනවා.
මේ අතර ප්‍රදේශවාසීන් මේ කාන්තාවට පිළිබඳව විමසිලිමත්ව සිට පොලීසිය වෙත තොරතුරු ලබාදී තිබෙනවා.
පසුව ඊයේ (24) රාත්‍රී නිවස වටකර සෝදිසි කිරීමත් සමග මෙම කාන්තාව නිවසින් පිටතට දිව ගොස් කෑලෑවේ සැඟවී ඇති බවයි වාර්තා වන්නේ.
ඒ සමගම සෝදිසි මෙහෙයුම වේගවත් කළ ආරක්ෂක අංශ නිලධාරීන් අද (25) උදෑසන සිට යුද හමුදාව, විශේෂ කාර්ය බලකාය, තෙබුවන, අගලවත්ත, දොඩංගොඩ පොලීසි එක්ව සෝදිසි මෙහෙයුම් දියත් කර තිබෙනවා.
මේ සමග හොරණ මූලස්ථාන පොලිසියට අනුයුක්ත මත්ද්‍රව්‍ය සඳහා විශේෂ පුහුණුව ලැබූ ‘රොමී’ නැමති නිල සුනඛයාද මෙහෙයුම සඳහා එක් කරගෙන තිබෙනවා.
මෙම නිවසේ ආරක්ෂක කැමරා පද්ධතියක් සවිකර ඇති අතර පරිගණකයක් අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ.
එම නිවස අයිති පුද්ගලයා මීට සති කිහිපයකට ඉහතදී ‘විෂ මත්ද්‍රව්‍ය’ ළඟ තබා ගැනීම හේතුවෙන් රක්ෂිත බන්ධනාගාර ගත කොට ඇති බව පොලිසිය පවසනවා.
මේ අතර අත්අඩංගුවට ගත් කාන්තාවන්ගෙන් දිගින් දිගටම ප්‍රශ්න කරමින් අති බවයි පොලිස් ආරංචි මාර්ග පවසන්නේ.
+
‘ගනේමුල්ල සංජීව ඝාතනය’ට තවත් පුද්ගලයින් රැසකගෙන් ප්‍රකාශ ගැනීමට සැරසේ
(25.02.2025 – 09:23 +0530 – hirunews.lk/sinhala)
‘ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධිය’ට අදාළව තවත් පුද්ගලයන් රැසකගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිත බව පොලිසිය පවසනවා.
මේ වනවිට සිද්ධියට අදාළව එදින අධිකරණ පරිශ්‍රයේ රාජකාරියේ නිරතව සිටි පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය, බන්ධනාගාර නිලධාරීන් ඇතුලු 40 දෙනෙකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.
මේ වන විට සිද්ධියට අදාළව අත්අඩංගුට ගෙන ඇති සැකකරුවන් සංඛ්‍යාව 10 ක් ෴
+
+
‘කෙසෙල්බද්දර පද්මේ’ නැමැත්තාගේ බිරිඳගේ නිවස වීඩියෝගත කළ දෙදෙනෙකු (2) අත්අඩංගුවට
(25.02.2025 – 19:17 +0530 – hirunews.lk/sinhala)
‘කෙසෙල්බද්දර පද්මේ’ නැමැත්තාගේ බිරිඳට අයත් නිවස හා අවට ප්‍රදේශය වීඩියෝගත කළ සැකකරුවන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම නිවස පන්නල ප්‍රදේශයේ පිහිටි එකක් බවයි පොලිසිය පවසන්නේ.
‘ගණේමුල්ලේ සංජීවගේ ඝාතනය’ සම්බන්ධයෙන් මෙම ‘කෙසෙල්බද්දර පද්මේ’ නැමැත්තාට චෝදනා එල්ල වනවා.
ඒ අනුව ඔහුගේ බිරියට අයත් නිවසක් වීඩියෝගත කළ බව කියන චෝදනාවක් මතයි එම සැකකරුවන් දෙදෙනා (2) අත්අඩංගුවට ගෙන ඇත්තේ ෴
කොටහේනේ සිදුකළ ඝාතනයට අදාළ සැකකරුවන් දෙදෙනෙක් (2) අත්අඩංගුවට
(25.02.2025 – 07:54 +0530 – hirunews.lk/sinhala)
කොටහේන පොලිස් වසමේ බ්ලුමැන්ඩල් දුම්රිය මාර්ගය අසලදී කොටහේන පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත ඊයේ (24) වැටලීමක් සිදු කර ‘අයිස් මත්ද්‍රව්‍ය’ ග්‍රෑම් 12 මිලිග්‍රෑම් 400 ක් හා ‘අයිස් මත්ද්‍රව්‍ය’ ග්‍රෑම් 10 මිලිග්‍රෑම් 200 ක් සන්තකයේ තබා ගෙන සිටි සැකකරුවන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙසේ අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 30 හා 31 යන වයස්වල පසුවන බ්ලූමැන්ඩල් හා කොච්චිකඩේ ප්‍රදේශවල පදිංචිකරුවන්.
සැකකරුවන් සම්බන්ධව සිදුකළ වැඩිදුර විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ, පසුගිය 18 වැනිදා රාත්‍රී කාලයේ කොටහේන පොලිස් වසමේ බ්ලූමැන්ඩල් දුම්රිය මාර්ගය අසල ප්‍රදේශයේදී පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කිරීමේ අපරාධයට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු බවටයි.
සිද්ධිය සම්බන්ධයෙන් ‘කොටහේන පොලිසිය’ වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා ෴
කොටහේන වෙඩි තැබීමට ආධාර අනුබල දුන් අයෙකු රිමාන්ඩ්
(25.02.2025 – 16:33 +0530 – hirunews.lk/sinhala)
පසුගියදා කොටහේන ප්‍රදේශයේ ජංගම දුරකථන අලෙවි සැලකට වෙඩි ප්‍රහාරයක් එල්ල කර පුද්ගලයකු මරා දැමීමේ සිද්ධියට ආධාර අනුබල දුන්නේ යැයි අත්අඩංගුවට ගත් සැකකරුවකු (1) ලබන මස 06 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.
කොටහේන පොලිසිය මගින් රඳවාගෙන ප්‍රශ්න කරන ලද මෙම සැකකරු අද (25) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරාජ හමුවට පමුණුවනු ලැබුවා.
මෙම සැකකරු රැඳවුම් නියෝග මත රඳවා තබා ප්‍රශ්න කළ බවත්, ඔහු රක්ෂිත බන්ධනාගර ගත කරන ලෙසත් පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියා.
ඉදිරිපත් වූ කරුණ සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය අදාළ සැකකරු ලබන 06 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළා.
කොළඹ-15, මෙත්සඳ සෙවණ නිවාස ක්‍රමයේ මෙම සැකකරු පදිංචිව සිටි අතර, මෙම සැකකරු කොටහේන ප්‍රහාරය එල්ල කළ වෙඩික්කරුවන්ට ආයුධය ලබාදී ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට ගෙන තිබුණා ෴
උස්වැටකෙයියාවේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියට 07 ක් අත්අඩංගුවට
(25.02.2025 – 07:32 +0530 – hirunews.lk/sinhala)
උස්වැටකෙයියාව මෝගන්වත්ත වෙරළ තීරයේදී පුද්ගලයෙකුට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් කාන්තාවක් (01) ඇතුළු 07 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙසේ ඝාතනයට ලක්වූයේ, මීට මාස කිහිපයකට පෙර ඩුබායි සිට පැමිණි පහළ කරගමුන ප්‍රදේශයේ පදිංචි ‘අයන් ශාන්ත බෝපේආරච්චි’ නමැති 35 හැවිරිදි ‘මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු’ගේ බවටයි පොලිසිය හඳුනා ගත්තේ.
ටී 56 ගිනි අවියක් භාවිතා කර මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව පවසන පොලිසිය, සිද්දිය වූ ස්ථානයේ තිබී උණ්ඩ 9 ක් සොයාගෙන තිබෙනවා.
එසේම, මරණකරු ‘බටුවත්තේ චාමර’ නැමැති සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයාගේ ඥාතියෙකු බවටද වාර්තා වනවා.
‘බටුවත්තේ චාමර’ගේ ඥාති නිවසකට පසුගියදා වෙඩි ප්‍රහාරයක් ද එල්ල වුණා.
එසේම, ‘ගනේමුල්ල සංජීව’ගේ ප්‍රතිවිරුද්ධ පාර්ශවය නියෝජනය කරන අයෙකු ලෙසයි බටුවත්තේ චාමර හැදින්වෙන්නේ.
අදාළ පුද්ගලයාට ඊට පෙර දින රාත්‍රියේ ඩුබායිහි සිටින ‘ඉෂාර’ නැමැත්තෙකු විසින් දුරකතන ඇමතුමක් ලබාදී උස්වැටකෙයියාව ප්‍රදේශයට යන ලෙස පවසා තිබෙනවා.
එම දුරකතන ඇමතුම අනුව ඔහු ත්‍රිරෝද රථයකින් අදාළ ප්‍රදේශයට ගොස් තිබුණා.
එසේම, මියගිය පුද්ගලයාගේ නිවස පරික්ෂා කිරීමේදී මත්ද්‍රව්‍ය භාවිතයට යොදා ගන්නා උපකරණද පොලිසිය සොයාගෙන තිබුණා.
මොහු කළක් ‘කණ්දකාඩු පුනරුත්තාපන කදවුරේ’ රදවා සිටි අයෙකු බවටයි වාර්තා වන්නේ ෴
පොලිස් වෙඩිතැබීම් ගැන ‘නීතිඥ සංගමය’ අපක්ෂපාතී පරීක්ෂණයක් ඉල්ලයි
(25.02.2025 – 15:04 +0530 – sinhala.adaderana.lk)
අපරාධ ක්‍රියාකාරකම් වැඩිවීමට පිළියම් යෙදීමට අනීතික ලෙස පුද්ගලයින් ඝාතනය කිරීම කිසිවිටෙකත් විසඳුමක් නොවන බව ‘ශ්‍රී ලංකා නීතිඥ සංගමය’ පවසයි.
නීතියේ ආධිපත්‍යයට අනුගත වන විට අපරාධ මැඩපැවැත්විය හැකි බව ද ‘ශ්‍රී ලංකා නීතිඥ සංගමය’ සදහන් කළේය.
නිවේදනයක් නිකුත් ‘ශ්‍රී ලංකා නීතිඥ සංගමය’ මේ බව අවධාරණය කර තිබේ.
පසුගියදා පොලිස් වෙඩිතැබීමෙන් පුද්ගලයන් දෙදෙනකු (2) මියයෑමට හේතු වූ තත්වයන් පිළිබඳව අපක්ෂපාතී පරීක්ෂණයක් කඩිනමින් ආරම්භ කරන ලෙස ද ‘ශ්‍රී ලංකා නීතිඥ සංගමය’ සිය නිවේදනය මගින් ඉල්ලීමක් සිදු කර තිබේ.
එමෙන්ම අනාගතයේදී මෙවැනි ඝාතන සහ අත්අඩංගුවේ පසුවන පුද්ගලයන් මරණයට පත්වීම වැළැක්වීමට අවශ්‍ය සියලු පියවර ගන්නා ලෙසත් එම සංගමය වැඩබලන පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටී ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴