අනියම් සැමියා ගල් ගුහාවක සිර කර දුන් දඬුවම

අනියම් සැමියා ගල් ගුහාවක සිර කර දුන් දඬුවම


අනියම් සැමියා ගල් ගුහාවක සිර කර දුන් දඬුවම

(24.02.2025 – 14:14 +0530 – hirunews.lk/sinhala)

රුපියල් ලක්ෂ 10 ක කොන්ත්‍රාත්තුවක් මත පුද්ගලයින් දෙදෙනෙකු (2) පැහැරගෙන ගොස් වද හිංසා පමුණුවා ඝාතනය කිරීමට තැත් කළ සිදුවීමක් මාතලේ ප්‍රදේශයෙන් වාර්තා වනවා.

පොලිසිය පැවසුවේ, මෙම පැහැර ගැනීමට අදාළ තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ලබන මස 6 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවයි.

පැහැර ගැනීමට ලක්ව තිබුණේ, මාතලේ ඕවිලිකන්ද ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් දෙදෙනෙක් (2).

පැහැරගත් පුද්ගලයින් දෙදෙනා (2) මාතලේ ඕවිලිකන්ද ප්‍රදේශයේ කැළෑවක ගල් ගුහාවක් තුළට ගෙනගොස් දැඩි ලෙස පහර දී, කපා කොටා ඝාතනය කිරීමට උත්සහ දරා තිබෙනවා.

පොලිසිය පැවසුවේ, එක් (1) පුද්ගලයෙකුගේ හිසට කළු ගලකින් ද පහර දී බරපතල හානි කර ඇති බවයි.

තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනා (2) මේ වනවිට මාතලේ දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබනවා.

කොරියාවේ වෙසෙන පුද්ගලයකුගේ බිරිඳ සමග අනියම් සබඳතාවක් පැවැත්වූ බව කියන සිද්ධියක් මත මෙම පැහැර ගැනීම සිදුව ඇති බවත්, තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනා (2) මාතලේ නගරයේ කරණවෑමියන් ලෙස සේවය කරන බවත් පොලිසිය ප්‍රකාශ කළා.

පහරදුන් සැකකරුවන් බියගම සහ ලග්ගල ප්‍රදේශවලට පළා ගොස් තිබූ අතර, පහරදීම මෙහෙයවූ ලග්ගල ප්‍රදේශයේ ටිපර් රථ රියැදුරෙකු සහ තවත් දෙදෙනකු (2) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොරියාවේ වෙසෙන පුද්ගලයා මේ සඳහා රුපියල් ලක්ෂ 10 ක කොන්ත්‍රාත්තුවක් මෙම පුද්ගලයින්ට ලබා දී ඇති බවත් විමර්ශනවලදී හෙළව ඇතැයි පොලිසිය සඳහන් කළා.

පැහැර ගැනීම සඳහා යොදා ගත් මෝටර් රථය ද මේ වනවිට පොලිස් භාරයට ගෙන ඇති අතර, එය රාගම ප්‍රදේශයේ පුද්ගලයෙකුගෙන් කුලී පදනම මත ලබා ගෙන ඇති බවත් පොලිසිය පැවසුවා.

සැකකරුවන් මාතලේ වැඩ බලන මහේස්ත්‍රාත් ජාලිය ධර්මකීර්ති මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන මස 06 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරිමට පියවර ගත්තා.

+


‘ලග්ගල ප්‍රාදේශීය රෝහලේ’ නොසැලකිල්ලෙන් මල් කැකුළක් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට

(24.02.2025 – 13:17 +0530 – hirunews.lk/sinhala)

‘ලග්ගල ප්‍රාදේශීය රෝහලේ’ නොසැලකිල්ල හේතුවෙන් අවුරුද්දයි (1) මාස 9 ක් වයසැති බිළිඳියක මියගිය බවට මව්පිය දෙපළක් චෝදනා කරනවා.

මිය ගිය බිළිඳා රෝහලට ඇතුළත් කර තිබුණේ උණ රෝගයට ප්‍රතිකාර ගැනීම සඳහායි.

ලග්ගල හත්තොටඅමුණ, කන්දෙපිටවල, ගම්මානයේ පදිංචිව සිටින සුරංග පුෂ්පකුමාර සහ ඔහුගේ බිරිඳ, උණ රෝගයට ප්‍රතිකාර ගැනීම සඳහා අවුරුද්දයි (1) මාස නවයක් (9) වයසැති සිය දියණිය පසුගිය දිනෙක ලග්ගල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබුණා.

දින 2 කට අධික කාලයක් බිළිඳිය එහි රඳවාගෙන ප්‍රතිකාර කරමින් සිටි බව මෙම මවුපියන් පවසනවා.

බිළිඳිය අසාධ්‍ය තත්ත්වයේ සිටි බැවින් දින දෙක හමාරකට (2½) පසුව ‘දඹුල්ල මූලික රෝහල’ට මාරු කර යවා තිබෙනවා.

බිළිඳියගේ රෝගී තත්ත්වය උත්සන්න වීම හේතුවෙන් ‘දඹුල්ල මූලික රෝහලෙන්’ ‘අනුරාධපුර ශික්ෂණ රෝහල’ට මාරු කර යැවූ බවත්, එහිදී ඇය ජීවිතක්ෂයට පත්වූ බවත් මවුපියන් ප්‍රකාශ කළා.

‘ලග්ගල ප්‍රාදේශීය රෝහලේ’ වෛද්‍යවරුන්ගේ නොසැලකිල්ල හේතුවෙන් දරුවා මියගිය බවට ඔවුන් චෝදනා කරනවා.

මේ සම්බන්ධයෙන් ‘ලග්ගල ප්‍රාදේශීය රෝහලෙන්’ අප කළ විමසීමකදී ඔවුන් පැවසුවේ මෙම සිදුවීම සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බවයි.

අනුරධපුර අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා මරණය සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ලබා දී ඇති අතර ශරීර කොටස් රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට යොමු කර තිබෙනවා.

මේ අතර මියගිය බිළිඳිය වෙනුවෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන්නැයි ඉල්ලා ‘ලග්ගල ප්‍රාදේශීය රෝහලේ’ පරිපාලනයට එරෙහිව මවුපියන් මධ්‍යම පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයට, විෂය භාර අමාත්‍යවරයාට, මාතලේ සෞඛ්‍ය අධ්‍යක්ෂකවරයාට සහ පොලිසියට පැමිණිලි කර තිබුණා.

+


අතුරුදන් වූ දැරියක් සොයන්න පොලිසිය මහජන සහාය පතයි

(24.02.2025 – 14:22 +0530 – hirunews.lk/sinhala)

2024.12.06 වන දින සිට තම මිණිබිරිය අතුරුදන් වී ඇති බවට ඇයගේ මිත්තණිය විසින් කන්දෙනුවර පොලිස් ස්ථානයට සිදු කරන ලද පැමිණිල්ලක් මත කන්දෙනුවර පොලිස් ස්ථානය මඟින් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

මෙසේ අතුරුදන්ව ඇත්තේ වයස අවුරුදු 16 ක් වන ‘තරුෂි චම්පිකා’ නැමැති සිසුවියක්.

ඇය අවසන් වරට ක්‍රීම් පාට කොට කලිසමක් හා කලු පැහැති මල් සහිත සුදු පැහැ ටිර්ෂටයක් හැඳ සිටි බවයි වාර්තා වන්නේ.

මෙම දැරිය සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් පහත සඳහන් දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

  1. ස්ථානාධිපති කන්දෙනුවර : 071 859 2943
  2. පොලිස් ස්ථානය කන්දෙනුවර : 066 306 0954

‘හරක් කටා’ CIDයෙන් පන්නන්න හැදූ පොලිස් කොස්තාපල් දින 90 ක් රඳවා ප්‍රශ්න කිරීමට අවසර

(24.02.2025 – 14:40 +0530 – hirunews.lk/sinhala)

‘අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව’ භාරයේ රඳවා සිටියදී ‘හරක් කටා’ හෙවත් ‘නඳුන් චින්තක’ ඉන් පැන්නීමට සැලසුම් කළ සිද්ධියේ විදේශයක සිට මෙරටට රැගෙන පැමිණි පොලිස් කොස්තාපල් ‘සංදීප චින්තක ගුණසේකර’ යන අය දින 90 ක් රඳවා ප්‍රශ්න කිරීමට අවසර ලැබී තිබෙනවා.

සැකකාර පොලිස් කොස්තාපල් පසුගිය (19) වැනිදා ඉන්දියාවේ සිට මෙරටට රැගෙන ආවා.

‘හරක් කටා’, ‘අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව’ භාරයේ රඳවාගෙන දීර්ඝ ලෙස ප්‍රශ්න කරමින් සිටියදී මොහු ඉන් පලායෑමට සැලසුම් සකස් කර තිබුණේ ඉකුත් 2023 වර්ෂයේ සැප්තැම්බර් මස 23 වැනිදායි.

එම සැලසුම ‘මිදිගම රුවන්’ නමැති පාතාල නායකයා විසින් මෙහෙයවූ අතර ඊට ‘අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ’ සේවය කළ සැකකාර පොලිස් කොස්තාපල් එම සැලසුමේ ප්‍රධානියකු ලෙස කටයුතු කර තිබෙනවා.

ඉරිදා දිනයකදී ‘හරක් කටා’ගෙන් ප්‍රශ්න කරමින් සිටියදී ඔහු ඉන් පලායෑමට සැලසුම් කර තිබුණා.

එදින රාජකාරියේ යෙදී සිටි නිලධාරීන්ට ‘මත්වන බෙහෙත් ගැල්වූ කිරිටොෆි’ කෑමට ලබා දී ඇති සැකකාර පොලිස් කොස්තාපල්වරයා ‘හරක් කටා’ට ඉන් පලායෑමට අවශ්‍ය පහසුකම් සලසා දී තිබෙන බවයි හෙළිවී ඇත්තේ.

ඒ අනුව ‘හරක් කටා’ වැසිකිළියට රැගෙන ගිය අවස්ථාවේ ඔහුගේ දෑතේ විලංගු ගලවා එයට නැවත යතුරු නොදමා රැගෙන ඒමට කටයුතු කර තිබුණේ මෙම කොස්තාපල් විසින් බවයි අනාවරණය වී තිබෙන්නේ.

+


නව ‘ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල්’ ලෙස ‘ප්‍රසන්න පෙරේරා’ පත් කෙරේ

(24.02.2025 – 17:48 +0530 – hirunews.lk/sinhala)

නව ‘ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල්’ ලෙස ‘ප්‍රසන්න පෙරේරා’ පත් කර තිබෙනවා.

ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක විසින් අද (24) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ඔහු වෙත භාර දී ඇති බවයි වාර්තා වන්නේ.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍ර වේදී උපාධිය ද, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් සන්නිවේදන පශ්චාත් උපාධි ඩිප්ලෝමාවද ලබා ඇති ප්‍රසන්න පෙරේරා කැලණිය විශ්ව විද්‍යාලයෙන් ජනසන්නිවේදන පශ්චාත් උපාධිය ලබාගෙන තිබෙනවා ෴


‘චන්දන සූරියබණ්ඩාර’ට සහ ‘අනුරුද්ධ ලොකුහපුආරච්චි’ට ජනාධිපති මාධ්‍ය අංශයේ ලොකු තනතුරු

(24.02.2025 – 19:26 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපති උපදේශක (මාධ්‍ය) ලෙස ප්‍රවීණ මාධ්‍යවේදී ‘චන්දන සූරියබණ්ඩාර’ පත් කර තිබෙනවා.

මේ අතර ජනාධිපති මාධ්‍ය අංශයේ, ජාත්‍යන්තර මාධ්‍ය සහ උපායමාර්ගික සන්නිවේදන අධ්‍යක්ෂ ලෙස ප්‍රවීණ මාධ්‍යවේදී ‘අනුරුද්ධ ලොකුහපුආරච්චි’ පත් කර ඇති බවයි වාර්තා වන්නේ.

ඔවුන් අද (24) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක අතින් සිය පත්වීම් ලිපි ලබා ගත්තා.

ප්‍රවීණ මාධ්‍යවේදියෙක් වන චන්දන සූරියබණ්ඩාර වසර 30 කට අධික කාලයක් ශ්‍රී ලංකාවේ මාධ්‍ය ක්ෂේත්‍රයේ සුවිශේෂී කාර්‍යභාරයක් ඉටු කර තිබෙනවා.

දේශීය ජනමාධ්‍ය ඡායාරූපකරණයේ කැපී පෙනෙන මෙහෙවරක් ඉටු කළ අනුරුද්ධ ලොකුහපුආරච්චි ජාත්‍යන්තර රොයිටර් ප්‍රවෘත්ති සේවයේ දශක දෙකකට ආසන්න කාලයක් සේවය කරමින් ඩිජිටල් ඡායාරූපකරණය මෙරට පුවත්පත් කලාවට හඳුන්වා දුන්නා.

ඔහු ඡායාරූපකරණය සහ ඩිජිටල් ඡායාරූපකරණය පිළිබඳ ගෞරව උපාධිධාරියෙක්.


රුපියල් ලක්ෂ 680 ක ‘කේරල ගංජා’ තොගයක් කිලිනොච්චියෙන් අල්ලයි

(24.02.2025 – 18:47 +0530 – hirunews.lk/sinhala)

කිලිනොච්චිය, පරන්තන් ප්‍රදේශයේදී කුඩා ලොරි රථයකින් ඉතා සූක්ෂමව සඟවා රැගෙන යන ලද රුපියල් මිලියන 60 කට අධික වටිනාකමින් යුතු කේරල ගංජා කිලෝ ග්‍රෑම් 400 කට ආසන්න ප්‍රමාණයක් අද (24) උදෑසන අත්අඩංගුවට ගත් බවට ‘කිලිනොච්චිය පොලීසිය’ පවසනවා.

‘කිලිනෙච්චිය යුද හමුදා බුද්ධි අංශය’ට ලැබුණු තොරතුරකට අනුව ‘කිලිනොච්චිය පොලිස් නිලධාරීන්’ කණ්ඩයමකගේද සහභාගීත්වයෙන් පරන්තන් ප්‍රදේශයේදී විශේෂ මාර්ග මුරකාවල් යොදා සෝදිසි කිරීමක් සිදුකර තිබුණා.

එහිදී සැකකටයුතු ලෙසින් යාපනය දෙස සිට කිලිනොච්චිය දෙසට ධාවනය වූ මසුන් ප්‍රවාහනය කෙරෙන කුඩා ලොරි රථයක් නවතා සිදුකරන ලද සෝදිසියකදී එහි පොහොර උරවල සඟවා තිබූ ‘කේරල ගංජා’ පාර්සල් තොගය සොයාගෙන තිබෙනවා.

ලොරි රථය ධාවනය කල කිලිනොච්චිය ධර්මපුරම් ප්‍රදේශයේ පදිංචි සැකකරුවෙකු ද අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

අදාල ‘කේරල ගංජා’ තොගය ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් යාපනයට රැගෙනවිත් දකුණු ප්‍රදේශයට ප්‍රවහනය කිරීමට ජාවාරම් කරුවන් සැලසුම් කොට ඇති බවටත් අදාල ‘කේරල ගංජා’ තොගය රැගෙන ආ ස්ථානය පිළිබඳව සොයා පරික්ෂණයක් අරඹා ඇතැයිද ‘කිලිනොච්චිය පොලීසිය’ වැඩිදුරටත් පැවසීය ෴


අණ නොතකා ධාවනය කළ කාර් රථයකට වෙඩි

(24.02.2025 – 11:42 +0530 – hirunews.lk/sinhala)

මාලඹේ පොලිස් වසමේ හෝකන්දර, විස්කම් මාවත ප්‍රදේශයේදී මාලඹේ පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදු කර ‘කේරළ ගංජා’ කිලෝ 01 ග්‍රෑම් 800 ක් කාර් රථයකින් ප්‍රවාහනය කළ සැකකරුවෙකු හා සැකකාරියක් කාර් රථයද සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 30 ක් හා සැකකාරිය වයස අවුරුදු 33 ක් වන දෙල්ගොඩ ප්‍රදේශයේ පදිංචි අඹු සැමි යුවලක්.

මෙම සැකකරු හා සැකකාරිය පැමිණි කාර් රථය නැවැත්වීම සඳහා පොලිස් නිලධාරීන් විසින් සංඥා කිරීමේදී කාර් රථය එක්වරම අධික වේගයෙන් පිටුපසට ධාවනය කර ඇති අතර එම අවස්ථාවේ නිලධාරියෙකු විසින් කාර් රථයේ රෝදයකට වෙඩි තබා තිබෙනවා.

එහිදී කාර් රථය අසල විදුලි කණුවක ගැටී නතර වී ඇති අතර අනතුරුව පොලිස් නිලධාරීන් විසින් සිදු කළ පරීක්ෂාවේදී කාර් රථයේ රියදුරු අසුන යට සඟවා තිබියදී මෙම කේරළ ගංජා සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

සිදුකළ වැඩිදුර විමර්ශනයේදී සැකකරුවන් පදිංචිව සිටින නිවසේ තිබී තවත් කේරළ ගංජා කිලෝ 01 ක් පමණ ප්‍රමාණයක් හා ජාවාරම සඳහා යොදා ගත් තරාදියක් සොයාගෙන තිබෙනවා.

+


හිරවුණ සියළුම පාස්පෝට් තව මාසයකින් අතට

(24.02.2025 – 19:13 +0530 – hirunews.lk/sinhala)

නිකුත් කිරීමට ඉතිරිව පවතින සියලු ගුවන් ගමන් බලපත්‍ර මාසයක් තුළ නිකුත් කර, එම ක්‍රියාවලිය සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය කටයුතු මේ වනවිටත් ක්‍රමිකව සිදු කෙරෙමින් පවතින බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල පවසනවා.

අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ 10 වැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරයේ මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව පළමුවරට ඔහුගේ සභාපතිත්වයෙන් පසුගිය 22 වැනිදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීයි.

ගුවන් ගමන් බලපත්‍රයක් ලබා ගැනීම පිළිබඳව ජනතාව තුළ බිඳවැටී ඇති විශ්වාසය නැවත ඇති කිරීම මුලික අරමුණ කරගෙන පැය 24 පුරා ගුවන් ගමන් බල පත්‍ර නිකුත් කිරීම ආරම්භ කළ බව සභාපතිවරයා මෙහිදී අවධාරණය කර තිබෙනවා.

එමෙන්ම ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සේවකයින් ඒ වෙනුවෙන් සිදු කරන කැපවීම වෙනුවෙන් සභාපතිවරයා ඔවුන් වෙත සිය ස්තුතිය පළ කළා.

ගුවන් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ කාර්යාලයක් අදාළ මුද්‍රණ යන්ත්‍ර ලබා ගැනීමෙන් පසු යාපනයේ ස්ථාපිත කිරීමට සැළසුම් කර ඇති බවත් ප්‍රාදේශීය කාර්යාලවල ගමන් බලපත්‍ර නිකුත් කිරීම දෙගුණ කරන බවත් කාරක සභා සභාපතිවරයා මෙහිදී වැඩිදුරටත් පවසා තිබෙනවා.

මේ අතර විපක්ෂ මන්ත්‍රීවරුන්ට ආරක්ෂාව ලබාදෙන ලෙසට කරන ලද ඉල්ලීම සම්බන්ධව කාරක සභාවේ දී සාකච්ඡා කරන ලද අතර ඒ අනුව එම මන්ත්‍රීවරුන්ට අවශ්‍ය ආරක්ෂාව ලබාදීම සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බවත් මේ වන විට මන්ත්‍රීවරුන්ට පවතින තර්ජන සම්බන්ධයෙන් විමර්ශනය කරමින් අවසන් වාර්තා සකස් කරමින් පසුවන බව කාරක සභා සභාපතිවරයා මෙහිදී පැවසුවා.

එමෙන්ම පාතාල ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් මේ වනවිට පවතින තත්ත්වය හා එය මැඩ පැවැත්වීම සම්බන්ධයෙන් ක්‍රියාත්මක වැඩසහටන් පිළිබඳව ද කාරක සභාව තුළ සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *