‘ගනේමුල්ල සංජිව ඝාතනයේ’ වෙඩික්කරු මගදි විසිකළ ගමන් මල්ල සොයා විමර්ශනයක්
‘ගනේමුල්ල සංජිව ඝාතනයේ’ වෙඩික්කරු මගදි විසිකළ ගමන් මල්ල සොයා විමර්ශනයක්
(23.02.2025 – 20:12 +0530 – hirunews.lk/sinhala)
‘ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධිය’ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තවත් සැකකරුවන් තුන්දෙනෙකු (3) පැය 48 ක රැඳවුම් නියෝග මත පොලිසිය භාරයේ රඳවාගෙන ප්‍රශ්න කරන බව කොළඹ අපරාධ කොට්ඨාශය අද (23) අධිකරණයට දැනුම් දුන්නා.
ඒ අත්අඩංගුවට ගන්නා ලද මෙම සැකකරුවන් තුන්දෙනා (3) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුනවල හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
එහිදි ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීමට පොලිසියට අවසර දුන් අතර පරීක්ෂණවල ප්‍රගතිය අධිකරණයට දැනුම් දෙන ලෙසත් නියෝග කළා.
මෙම සැකකරුවන් තුන්දෙනෙකු (3) අත්අඩංගුවට ගෙන තිබුණේ ඝාතනයට යොදා ගත් ගිනි අවිය සන්තකයේ තබා ගැනීම සහ එය ඝාතනයට පෙර දින වෙඩික්කරු හට ලැබීමට සැලැස්වීම මෙන්ම ඝාතනය සිදු කල වෙඩික්කරු සහ ‘ඉෂාරා සෙව්වන්දි’ නම් සැකකාරිය ත්‍රී රෝද රථයකින් ප්‍රවාහනය කිරීමේ චෝදනාවටයි.
එම සැකකරුවන් අතරින් දෙදෙනෙකු (2) එකම පවුලේ සහෝදරයින් වනවා.
ඔවුන් වයස අවුරුදු 19 සහ 25 හැවිරිදි තරුණයින් වන අතර අස්ගිරි වල්පොළ ප්‍රදේශයේ පදිංචිකරුවන්.
ඔවුන් මීගමුව ප්‍රදේශයේ ‘දුරකථන සන්නිවේදන ආයතනයක’ සේවය කරන අතර, පැමිණ ඇති ත්‍රිරෝද රථය ද එම ආයතනයට කුලී පදනම මත ලබාගෙන තිබූ බවටයි විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.
ඔවුන්ගෙන් වැඩිදුරටත් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී පවසා ඇත්තේ, වෙඩි තැබීමෙන් පසුව එම වෙඩික්කරු කඩොල්කැලේ ප්‍රදේශයෙන් ත්‍රිරෝද රථයට නංවාගෙන කොච්චිකඩේ රිදීවැල්ල මාර්ගයට ගිය බවත් එහිදී වෙඩික්කරු විසින් ඔහු සන්තකයේ තිබූ ගමන් මල්ලක් ත්‍රිරෝද රථයෙන් පිටතට විසිකළ බවත්ය.
පසුව වෙනත් ත්‍රිරෝද රථයකින් එම ස්ථානයට පැමිණි ‘ඉෂාරා සෙව්වන්දි’ නැමති සැකකාරිය තමන් පැමිණි ත්‍රිරෝද රථයට ගොඩවී වයික්කාල ප්‍රදේශයට ගිය බවද අනතුරුව ‘කමාන්ඩෝ සලිඳු’ නැමති වෙඩික්කරු වයික්කාල දුම්රිය ස්ථානය අසළින් සහ ‘ඉෂාරා සෙව්වන්දි’ නැමති කාන්තාව ‘කොප්පරා හන්දිය’ ප්‍රදේශයෙන් බැස ගොස් තිබෙනවා.
එමෙන්ම, අත්අඩංගුවට ගත් අනෙක් තරුණයා වයස අවුරුදු 22 වන අතර ඔහු ගම්පහ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මේ අතර, අත්අඩංගුවට ගත් වෙඩික්කරු වන ‘කමාන්ඩෝ සමිඳුගේ පෙම්වතිය’ දීර්ඝ ලෙස ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව මුදා හැර තිබුණේ අවශ්‍ය වුවහොත් යළි කැඳවීමට සිදුවන බවට තොරතුරු පැහැදිලි කිරීමෙන් අනතුරුවයි.
එමෙන්ම, ‘සංජීවගේ ඝාතකයා’ වූ ‘කමාන්ඩෝ සමිඳු’ පළා යමින් සිටි වෑන් රථය සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් 37 හැවිරිදි ‘හසිත රොෂාන්’ නැමති ‘අතුරුගිරිය පොලිසියේ කොස්තාපලයෙකු ද ඊයේ (22) අත්අඩංගුවට ගෙන තිබුණා.
එම වෑන් රථයේ තිබී ‘මිස්ටර් රොෂාන්’ යනුවෙන් සඳහන් බිල්පතක් තිබී හමුවූ අතර, ඔහු අත්අඩංගුවට ගෙන තිබුනේ එහි සඳහන් ජංගම දුරකථන අංකය ඔස්සේ සිදුකළ විමර්ශන අනුවයි.
කොට්ටාවේ පිහිටි නිවසේදී ඔහු අත්අඩංගුවට ගෙන ඇති අතර, කලක් තිස්සේ තමන් සතුව තිබූ එම වෑන් රථය, ඝාතනයට පෙර දින වෙඩික්කරු ප්‍රවාහන කළ රියදුරුට ලබාදී තිබෙනවා.
එම වෑන් රථය දැනට විදේශගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන ‘රුවින්ද’ නැමැත්තෙකු විසින් තමන්ට ලබා දුන් බවයි, ඔහු ප්‍රකාශ කර ඇත්තේ.
එමෙන්ම, ඔහුගේ උපදෙස් මත එම වෑන් රථය වෙඩික්කරු ප්‍රවාහනය කළ රියදුරුට ලබාදුන් බවත් ‘හසිත රොෂාන්’ නැමති අතුරුගිරිය පොලිසියේ කොස්තාපල් පාපොච්චරණය කර තිබෙනවා.
මෙම කොස්තාපල්ගේ නිවස වැඩිදුරටත් කළ පරීක්ෂාවේදී එහි සඟවා තිබූ බෝර 12 වර්ගයේ ගිවි අවි සඳහා භාවිත කරන ජීව උණ්ඩ 7 ක්, එම් 16 වර්ගයේ ගිනි අවි සඳහා භාවිත කරන ජීව උණ්ඩයක් (1), ‘අයිස් මත්ද්‍රව්‍ය’ තැවරුණු විද්‍යුත් තරාදියක් සහ ‘ඇක්වා මෝටර් රථයක්’ සොයාගත් බව පොලිසිය පවසනවා.
එමෙන්ම, දැනට පලාගොස් සිටින නීතීඥ වෙසින් පැමිණි 25 හැවිරිදි ‘ඉෂාරා සෙව්වන්දි’ නම් සැකකාරිය වට්ස්ඇප් ඔස්සේ ඝාතනය සම්බන්ධ සියලු පුද්ගලයින් මෙහෙයවා ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.
කෙසේ වෙතත්, නීතිඥවරියක ලෙස වෙස් ගෙන ‘කමාන්ඩෝ සමිඳු’ සමග අධිකරණ භූමියේ සිටි 25 හැවිරිදි ‘ඉෂාරා සෙව්වන්දි’ නමැති සැකකාරිය මෙතෙක් අත්අඩංගුවට ගැනීමට හැකිව නැහැ.
ඒ අනුව සැකකාරිය ලැගුම්ගෙන සිටි බව පැවසෙන දෙහිවල පිහිටි ලැගුම්හලක් අද (23) පරීක්ෂා කර තිබෙනවා.
එවන් පසුබිමක ඇගේ මිත්තණිය, මව සහ සහෝදරයා ද මරණ තර්ජන ඇතැයි පවසමින් ඔවුන් පදිංචිව සිටි මීගමුව පාරේ, ජය මාවතේ නිවස හැරගොස් තිබෙනවා.
මෙම ඝාතනය සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් 08 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඒ අතරින් දෙදෙනෙකුම (2) පොලිස් කොස්තාපලයන් වනවා.
එමෙන්ම, හිටපු කමාන්ඩෝ සෙබලුන් දෙදෙනෙකු (2) ද සිටින බවයි පොලිසිය සදහන් කළේ ෴
+++
‘ගනේමුල්ල සංජීව ඝාතනයේ’ සැකකාර කාන්තාව සොයා විශේෂ මෙහෙයුමක්
(24.02.2025 – 07:21 +0530 – hirunews.lk/sinhala)
‘ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ මහා මොලකරු’ ලෙස සැලකෙන, නීතීඥ වෙසින් අධිකරණයට ගිනි අවිය රැගෙන ආ 25 හැවිරිදි ‘ඉෂාරා සෙව්වන්දි’ නැමති සැකකාරිය සොයා දිවයින පුරා මේ වන විට විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.
ඒ අදාළ කාන්තාව මෙරට රැදී සිටින බවට ලද තොරතුරුවලට අනුවයි.
ඝාතනයෙන් පසුව ඇය අතුරුදන් වී ඇති අතර, ඇය විදෙස් රටකට පළාගොස් ඇති බවට ඇතැම් වාර්තා වල පළවූණා.
කෙසේ වෙතත්, එම කාන්තාව මෙරට රැදී සිටින බවට ලද තොරතුරුවලට අනුව ඊයේ (23) දිනයේදී දෙහිවල සහ මතුගම යන ප්‍රදේශවල ස්ථාන කිහිපයක විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කළා.
එහෙත් ඇය සම්බන්ධයෙන් තොරතුරක් වාර්තා නොවූ බවයි පොලිසිය සදහන් කළේ.
එවන් පසුබිමක එම කාන්තාවගේ මිත්තණිය, මව සහ සහෝදරයා මරණ තර්ජන ඇතැයි පවසමින් ඔවුන් පදිංචිව සිටි මීගමුව පාරේ, ජය මාවතේ නිවස හැරගොස් තිබෙනවා.
+

+
මිද්දෙණිය ත්‍රිත්ව (3) මනුෂ්‍ය ඝාතනයට අදාලව තවත් අයෙකු අත්අඩංගුවට
(23.02.2025 – 07:18 +0530 – hirunews.lk/sinhala)
මිද්දෙණිය ප්‍රදේශයේ දී තිදෙනෙකුට (3) මරු කැඳවමින් පසුගිය 18 වැනිදා සිදුවූ වෙඩි තැබීමට අදාලව තවත් සැකකරුවෙකු (1) අත්අඩංගුවට ගැනීමට ‘තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය’ විසින් සමත්ව තිබෙනවා.
ඒ ඊයේ (22) දින පස්වරුවේ වීරකැටිය පොලිස් වසමේ තෙලඹුයාය ප්‍රදේශයේදී යි.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 29 ක් වන තෙලඹුයාය, වෑකඳවල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලිසිය සඳහන් කලේ.
ඒ අනුව මෙම අපරාධයට අදාලව මේ දක්වා සැකකරුවන් පස් දෙනෙකු (5) අත්අඩංගුවට ගෙන ඇති අතර මිද්දෙණිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි ෴
බස් රථයක ගමන්මලු රඳවනයක් තුළ තිබී ජීව පතරොම් 123 ක් සොයාගැනේ
(23.02.2025 – 09:12 +0530 – hirunews.lk/sinhala)
බස් රථයක ගමන්මලු රඳවනය තුළ තිබූ බෑගයක තිබී ජීව පතරොම් 123 ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.
ඒ බණ්ඩාරවෙල පොලිස් ස්ථානයට ලද තොරතුරක් මතයි.
මෙම ජීව පතරොම් තොගය බස් රථයේ ගමන්මලු රඳවනය තුළ තිබූ බෑගයක් තුළ කුඩා යකඩ පෙට්ටියක දමා තිබියදී සොයාගෙන ඇත්තේ.
ඊයේ (22) පස්වරුවේ බණ්ඩාරවෙල නගරයේ බස් නැවතුම්පොළ අසලදී කොළඹ සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ බස් රථයක් පරික්ෂා කර තිබූ අතර, එහිදී මෙලෙස ජීව පතරොම් 123 සොයාගත්තා.
ඒ අතර, පිස්තෝල පතරොම් 113 ක්, ටී-56 පතරොම් 09 ක් හා එල්.එම්.ජී. පතරොමක් (1) තිබී ඇති අතර, සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා බණ්ඩාරවෙල පොලීසිය විසින් විශේෂ විමර්ශනයක් සිදු කරනු ලබනවා ෴
+

+
ඇඳේ මෙට්ටයෙන් ගිනි අවි, උණ්ඩ සහ කඩු හමුවෙයි
(23.02.2025 – 10:11 +0530 – hirunews.lk/sinhala)
ගිනි අවි, උණ්ඩ සහ කඩු නිදන කාමරයේ මෙට්ටය තුළ සඟවා ගෙන සිටි කාන්තාවක් ඊයේ (22) රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව හබරාදූව පොලිසිය පවසනවා.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ හබරාදුව, හරුමල්ගොඩ, වැල්ලගේවත්ත පදිංචි 27 හැවිරිදි කාන්තාවක්.
පොලිසියට ලද තොරතුරක් අනුව පොලිස් නිලධාරින් කණ්ඩායමක් ගොස් අදාල නිවස පරික්ෂා කිරිමේදී ඇයගේ නිදන මෙට්ටය තුළ සඟවා තිබු මෙරට නිෂ්පාදිත රිවෝල්වරයක් (1), විදේශිය රටක නිෂ්පාදිත රිවෝල්වරයක් (1) සහ මිලි මිටර් 09 උණ්ඩ 02 ක් සහ කඩු දෙකක් (2) සොයාගත් බවයි පොලිසිය සඳහන් කළේ ෴
බස් නැවතුමේ රැඳී සිටි මගියෙකුට තියුණු ආයුධයකින් පහරදීමක්
(23.02.2025 – 11:15 +0530 – hirunews.lk/sinhala)
හැටන් පෞද්ගලික බස් නැවතුම්පොලේ ගාල් කර තිබූ බස් රථයක් පිටුපසදී ඊයේ (22) පස්වරුවේ මගියෙකුගේ ගෙලට උල් ආයුධයකින් පහරදී පුද්ගලයෙකු පළාගොස් තිබෙනවා.
එහිදී තුවාල ලැබූ තැනැත්තා දික්ඔය මූලික රෝහල වෙත ගොස් ඇතුලත් කර ඇති අතර, තුවාලකරුගේ තත්ත්වය බරපතල වීම හේතුවෙන් පේරාදෙණිය ශික්ෂණ රෝහල වෙත මාරුකර යවා තිබෙනවා.
තමාගේ ගෙලට උල් ආයුධයකින් පහර දුන් පුද්ගලයා තමන් නොහඳුනන බවත්, තමන්ට පහර දීමට හේතුවද තමා නොදන්නා බවත් තුවාලකරු විසින් පොලිසිය හමුවේ පවසා තිබෙනවා.
තුවාලකරු හැටන් දික්ඔය ලෙතන්ටි වතුයායේ පදිංචි අවුරුදු 27 ක තරුණයෙකු බවත්, තුවාලකරු නිවසට යෑම සදහා බස්නැවතුම්පොලට පැමිණි අවස්ථාවේ මෙම පහරදීම සිදුව ඇති බවත් පොලිසිය සඳහන් කළා ෴
ඌව සරසවියේ ගැටුමකින් තුන්දෙනෙක් (3) රෝහලේ
(23.02.2025 – 14:18 +0530 – hirunews.lk/sinhala)
ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකදී තුවාල ලැබු සිසුන් තුන්දෙනකු (3) බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
එම විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ දෙවන (2) සහ තෙවන (3) වසරේ අධ්‍යාපනය ලබන සිසුන් දෙපිරිසක් අතර මෙම ගැටුම හටගෙන තිබූ බවයි පොලිසිය සදහන් කළේ.
බදුල්ල ශික්ෂණ රෝහලේ වාට්ටු අංක 9 හි ප්‍රතිකාර ලබන මොවුන්ගේ මුහුණට තුවාල සිදු ව ඇති බවත් රෝහල් ප්‍රකාශයකු පැවසීය.
තාක්ෂණ පීඨයේ දෙවන (2) සහ තෙවන (3) වසරේ අධ්‍යාපනය ලබන සිසුන් දෙපිරිසක් අතර ඇති වූ ආරවුලක් විසදීමට ගිය එම පීඨයේම අවසන් වසරේ සිසුන් පිරිසක් මෙලෙස පහර කෑමට ලක්ව ඇති බව සදහන් ෴
වෙඩි ප්‍රහාරයකින් ගොවිපලක සිටි අයෙක් මරුට
(23.02.2025 – 15:28 +0530 – hirunews.lk/sinhala)
පෞද්ගලික ගොවිපලක් තුළ බඳින තුවක්කුවක් පත්තුවීමෙන් පුද්ගලයකු (1) මියගොස් ඇති බව දෙහිඅත්තකන්ඩිය පොලිසිය පවසනවා.
දෙහිඅත්තකණ්ඩිය, මුවපැටිකේවල, හුලංබඳනාගල ප්‍රදේශයෙන් සිදුවීම වාර්තා වනවා.
මෙලෙස මිය ගොස් ඇත්තේ, වීරකැටිය, එතරම්දෙනිය, කිරාවේල ප්‍රදේශයේ පදිංචි 35 වියති අයෙක්.
ඊයේ (22) මෙම අනතුර සිදු වී ඇති අතර තුවාලකරු දෙහිඅත්තකණ්ඩිය රෝහල වෙත රැගෙන යන අතරතුර මියගොස් ඇති බවයි දෙහිඅත්තකන්ඩිය පොලිසිය සඳහන් කළේ.
මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි ෴
තෝරයාය මාරක බස් අනතුරේ රියැදුරන්ගේ බලපත්‍ර අත්හිටුවයි
(23.02.2025 – 21:38 +0530 – hirunews.lk/sinhala)
සිව් දෙනකුට මරු කැඳවමින් 24 දෙනකුට තුවාල සිදු කළ කුරුණෑගල, තෝරයායේ මාරක බස් රථ අනතුරට සම්බන්ධ බස් රථ දෙකේම (2) රියැදුරන් දෙදෙනාට (2) ඇප නියම කර තිබෙනවා.
ඒ කුරුණෑගල අතිරේක මහේස්ත්‍රාත් නුවන් කෞෂල්‍ය විසින්.
මේ අතර සැකකරුවන් දෙදෙනාගේ (2) රියැදුරු බලපත්‍ර නැවත දැනුම් දෙනතුරු අත්හිටුවන ලෙසද මෝටර් රථ කොමසාරිස්වරයාට අතිරේක මහේස්ත්‍රාත් විසින් නියෝග කර තිබෙනවා.
ඒ අනුව සැකකාර රියදුරන් දෙදෙනාට (2) වෙන් වෙන් වශයෙන් රුපියල් ලක්ෂ දෙකක් (2) වටිනා ශරීර ඇප නියම කළ අතිරේක මහේස්ත්‍රාත්වරයා මාර්තු මස 20 දින යළි අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට ද නියෝග කළා.
සැකකාර රියදුරන්ගේ රියදුරු බලපත්‍ර අත් හිටුවන නියෝගය මෝටර් රථ කොමසාරිස්වරයාට වාහාම දන්වන ලෙසට ද අතිරේක මහේස්ත්‍රාත්වරයා අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයාට නියෝග කර තිබෙනවා.
මෙසේ ඇප මත මුදා හැරියේ අරලගංවිල ජයමුතුගම නිශ්ශංක සඳරුවන් සහ මැල්සිරිපුර ජී. රනිල් සංදීප නැමැති දෙදෙනෙක් (2) ෴
රුපියල් කෝටි ගාණක සබන් සොරකම් කළ පුද්ගලයෙක් අත්අඩංගුවට
(23.02.2025 – 22:52 +0530 – hirunews.lk/sinhala)
විවිධ වෙළෙඳ ආයතනවලින් සොරකම් කරන ලද රුපියල් කෝටි එකහමාරකට (1½) ආසන්න වටිනාකමින් යුත් සබන් තොගයක් කුරුණෑගල, ඉබ්බාගමුව ප්‍රදේශයේ ගරාජයක ලොරියක් තුළ සඟවා තැබූ 48 හැවිරිදි සැකකරුවෙකු කිරිබත්ගොඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගැනුණා.
සැකකරු මෙලෙස විවිධ ආයතනවලින් සොරකම් කරන ලද භාණ්ඩ පසුව රැගෙන ගොස් විවිධ ප්‍රදේශවලට අලෙවි කරන බවත් හෙළිවුණා ෴
කොටහේනේ වෙඩික්කරුට සහාය දුන් සැකකරුවෙකු (1) අත්අඩංගුවට
(24.02.2025 – 06:56 +0530 – sinhala.adaderana.lk)
කොටහේන ප්‍රදේශයේ දී පුද්ගලයෙකුට වෙඩිතබා සිදුකළ ඝාතනයට ආධාර අනුබල දුන් සැකකරුවෙකු (1) අත්අඩංගුවට ගෙන තිබේ.
පසු ගිය 21 වනදා කොටහේන ප්‍රදේශයේ දී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු (2) විසින් වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමේ අපරාධය සම්බන්ධයෙන් කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මගින් විමර්ශනයක් ආරම්භ කර තිබිණි.
ඒ අනුව, විමර්ශන නිලධාරීන්ට ලද තොරතුරක් මත අපරාධයට සම්බන්ධ සැකකරුවෙකු (1) ඊයේ (23) දහවල් කාලයේදී මෝදර, මෙත්සඳ සෙවණ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 28 ක් වන මෝදර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සැකකරු සම්බන්ධයෙන් සිදු කරන ලද වැඩිදුර විමර්ශනයේදී, මොහු විදෙස් රටක සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සමඟ සමීප සම්බන්ධතා පවත්වමින් මෙරට අපරාධ ක්‍රියාකාරකම් මෙහෙයවනු ලබන පුද්ගලයෙකු බවට තොරතුරු අනාවරණය වී තිබේ.
එමෙන්ම මෙම සැකකරු විසින් කොටහේන වෙඩි තැබීමට පැමිණි වෙඩික්කරු කොළඹ කොටුව ප්‍රදේශයේ සිට ඔහුගේ ත්‍රීරෝද රථයෙන් කොස්ගස්හන්දිය ප්‍රදේශයේ පිහිටි සිය බිරිඳගේ නිවසට කැඳවාගෙන විත් අපරාධය සඳහා ගිනි අවිය හා පතොරොම් ලබා දී ඇති බවටත් අනාවරණය වි ඇත.
තවද මෙම සැකකරු විසින් පසුගිය 10 වනදා ද කොටහේන ප්‍රදේශයේ පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ අපරාධය සඳහා ද ගිනි අවිය ලබා දුන් පුද්ගලයා බවට අනාවරණය වී ඇති බව පොලීසිය පවසයි.
ඉදිරි විමර්ශන සඳහා සැකකරු කොටහේන පොලිස් ස්ථානය වෙත භාරදී ඇත ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴