‘ගණේමුල්ල සංජීව ඝාතනය’ට පෙර වෙඩික්කරුගේ WhatsApp කෝල් එක එළියට

‘ගණේමුල්ල සංජීව ඝාතනය’ට පෙර වෙඩික්කරුගේ WhatsApp කෝල් එක එළියට


‘ගණේමුල්ල සංජීව ඝාතනය’ට පෙර වෙඩික්කරුගේ WhatsApp කෝල් එක එළියට

(22.02.2025 – 23:15 +0530 – hirunews.lk/sinhala)

‘ගණේමුල්ල සංජීව’ නැමැති සංවිධානාත්මක අපරාධකල්ලි නායකයා ඝාතනයේ සැකකාර වෙඩික්කරු ‘කමාන්ඩෝ සමිඳු’ සහ විදෙස් රටක සැඟවී සිටින තවත් සංවිධානාත්මක කල්ලි සාමාජිකයෙකු වන ‘කමාන්ඩෝ සලින්ද’ සම්බන්ධයෙන් තොරතුරු රැසක් අනාවරණය වී තිබෙනවා.

ඒ අනුව සැකකාර ‘කමාන්ඩෝ සමිඳු’, ‘ගනේමුල්ල සංජීව’ නැමැති සංවිධානාත්මක අපරාධකල්ලි නායකයා ඉකුත්දා අධිකරණය තුළදී වෙඩි තබා ඝාතනය කිරීමට පෙර විදෙස් රටක සැඟවී සිටින තවත් සංවිධානාත්මක කල්ලි සාමාජිකයෙකු වන ‘කමාන්ඩෝ සලින්ද’ සමග වට්සැප් පණිවුඩ හුවමාරු කරගෙන තිබෙනවා.

එහිදී වෙඩික්කරු කමාන්ඩෝ සලින්දට ‘මම ආවා’ යනුවෙන් දැනුම් දී ඇති අතර එය සලින්ද විසින් ‘OK’ යනුවෙන් තහවුරු කර තිබුණා.

‘මට මෙතන සැටිස් නැහැ පොලිසියයි STF එකයි ඉන්නවා’ යනුවෙන් වෙඩික්කරු තවත් පණිවිඩයක් ‘කමාන්ඩෝ සලින්ද’ට යවා ඇති අතර ඊට ප්‍රතිචාර ලෙස සලින්ද එවා ඇත්තේ ‘වැඩේ කරන්න’ යනුවෙන් පණිවිඩයක්.

මීට අමතරව ඝාතනය සඳහා වෙඩික්කරු කඩුවෙල සිට අලුත්කඩේ අධිකරණය දක්වා පැමිණීමේ සිට ඝාතනයෙන් පසුව පුත්තලම පාලවිය ප්‍රදේශයේදී අත්අඩංගුවට පත්වූ අවස්ථාව දක්වා කාලය තුළ ඔවුන් දෙදෙනා (2) අතර ‘වට්ස්ඇප්’ ඔස්සේ දුරකථන ඇමතුම් 100 කට ආසන්න සංඛ්‍යාවක් හුවමාරු වී ඇතැයි ද විමර්ශනවලදී හෙළිව තිබුණා.

‘සංජීව ඝාතනයෙන්’ පසු ‘වට්ස්ඇප්’ ඔස්සේ දීර්ඝ වීඩියෝ ඇමතුමක් ද දෙදෙනා (2) අතර පවත්වා ඇතැයි වාර්තා වනවා.

වෙඩික්කරු පලායමින් සිටියදී පුත්තලම පාලවිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට ‘පොලිස් විශේෂ කාර්‍ය බලකාය’ සම්ත්ව තිබුණා.

‘ගණේමුල්ල සංජීව’ නැමැති සංවිධානාත්මක අපරාධකල්ලි නායකයා ඉකුත්දා අධිකරණය තුළදී වෙඩි තබා ඝාතනය කළ සැකකරු පළා ගිය වෑන් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන දින 90 ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට ආරක්ෂක අමාත්‍යංශයේ අනුමැතිය ලැබී තිබෙනවා.

මේ අතර වෙඩික්කරු පළා යෑමට භාවිත කළ වෑන් රථය සන්තකයේ තබාගත් අතුරුගිරිය පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ ‘හසිත රොෂාන්’ නමැති පොලිස් කොස්තාපලයෙකු කොළඹ ආපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

+

+

‘ගණේමුල්ල සංජීව’ ඝාතනයට තවත් දෙදෙනෙක් (2) අත්අඩංගුවට

(22.02.2025 – 17:09 +0530 – hirunews.lk/sinhala)

‘ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධිය’ සම්බන්ධයෙන් තවත් සැකකරුවන් දෙදෙනෙකු (2) ‘කොළඹ අපරාධ කොට්ඨාශය’ විසින් අත්අඩංගුවට ගනුලැබ තිබෙනවා.

මෙසේ අත්අඩංගුවට ගත් එක් සැකකරුවෙකු වන්නේ ‘ජනක උදය කුමාර’ නැමැති වයස අවුරුදු 43 ක් වන ගම්පහ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මෙම පුද්ගලයා වෙඩි ප්‍රහාර එල්ල කළ සැකකරුව කඩුවෙල සිට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය දක්වා ප්‍රවාහනය කළ රියදුරු බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගත් අනෙක් සැකකරු ‘හසිත රොෂාන්’ නැමැති වයස අවුරුදු 37 ක් වන පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

වෙඩික්කරු පලා යාමට භාවිතා කරන ලද වෑන් රථය මොහු සන්තකයේ තිබී ඇති අතර එම වෑන් රථයේ චැසි අංකය, එංජින් අංකය හා වෑන් රථයේ අංක තහඩු ව්‍යාජ ඒවා බවට තහවුරු වී තිබෙනවා ෴

‘ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධිය’ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනෙකු (2) මාර්තු මස 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

‘කොළඹ අපරාධ කොට්ඨාශය’ විසින් අත්අඩංගුවට ගැනුනු මෙම සැකකරුවන් දෙදෙනා (2) අද (22) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනි හමුවට පමුණුවනු ලැබුවා.

‘ගනේමුල්ල සංජීව’ට වෙඩි ප්‍රහාර එල්ල කළ සැකකරු කඩුවෙල සිට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය දක්වා ප්‍රවාහනය කළ රියදුරු බව කියන ‘දොන් ජනක උදය කුමාර’ සහ මෙම සිද්ධියට අදාලව අත්අඩංගුවට ගත් අතුරුගිරිය පොලිසියේ පොලිස් කොස්තාපලයකු වන ‘හසිත රොෂාන්’ යන සැකකරුවන් දෙදෙනා අද (22) අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

සිද්ධියට අදාළව සිදුකරන ලද විමර්ශන පිළිබඳ වාර්තාවක්ද පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කළා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය අදාළ සැකකරුවන් දෙදෙනා මාර්තු මස 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළා ෴


කොටහේනේදී වෙඩි වැදී මියගිය පුද්ගලයාට පෙර වැරදි නැහැලු

(22.02.2025 – 21:31 +0530 – hirunews.lk/sinhala)

කොටහේන – ගල්පොත්ත හංදිය ප්‍රදේශයේ දුරකතන අලෙවිසැලකදී වෙඩි තබා ඝාතනය කෙරුණු පුද්ගලයා පෙර වැරදි වාර්තා නොවුණූ අයෙකු බව පොලිසිය පවසනවා.

එමෙන්ම, ‘ආයුධ පෙන්වීම සඳහා’ කාක දූපතට ගිය අවස්තාවේ දී පොලිසියට වෙඩි තැබීමට උත්සාහ කර පසුව පොලිස් වෙඩි පහරින් මිය ගිය සැකකරුවන් දෙදෙනා (2) පිලියන්දල සහ මෝදර ප්‍රදේශවල පදිංචි පුද්ගලයින් බවයි වාර්තා වන්නේ.

එහිදී වෙඩික්කරු ලෙස කටයුතු කල පුද්ගලයා යුද හමුදාවේ සිට 2015 වසරේ දී ඉවත් වූ අයෙක් බවට ද අනාවරණය වී තිබෙනවා.

මෙම සිද්ධියේදී පොලිස් නිලධාරියෙකු ද තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ අතර ඔහු තවදුරටත් එහි ප්‍රතිකාර ලබමින් සිටිනවා.

සැකකරුවන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම් හමුවේ ඔවුන් පවසා ඇත්තේ අදාළ ඝාතනය ‘මෝදර නිපුන’ නැමැත්තාගේ කොන්ත්‍රාත්තුවක් මත සිදු කළ බවයි.

තමන් මෙම කොන්ත්‍රාත්තුව භාර ගත් නමුත් මියගිය පුද්ගලයා සහ ‘මෝදර නිපුණ’ අතර ඇති සම්බන්ධතාව නොදන්නා බවත් සැකකරුවන් පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ සදහන් කර තිබෙනවා.

එමෙන්ම පොලිසිය සදහන් කළේ මොවුන් කුලී ඝාතකයින් බවයි. ඊයේ (21) රාත්‍රියේ යතුරුපැදියකින් පැමිණි මෙම සැකකරුවන් දෙදෙනා (2) විසින් සිදු කළ වෙඩි තැබීමෙන් කොටහේන ප්‍රදේශයේ දුරකතන අලෙවිසැලක සිටි 37 හැවිරිදි ‘ශෂි කුමාර්’ නැමැති පුද්ගලයෙකු මියගියා.

ටී 56 ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති අතර වෙඩි තැබීමෙන් පසු සැකකරුවන් පැමිණි යතුරු පැදියෙන්ම පලා ගොස් තිබුණා.

කෙසේ වෙතත් යතුරුපැදියෙන් පළා යමින් සිටි වෙඩික්කරු සහ පැදිකරු ග්‍රෑන්ඕපාස් ප්‍රදේශයේදී ප්‍රදේශවාසීන් සහ පොලිසිය එක්ව අත්අඩංගුවට ගනු ලැබුවා.

ඉන් අනතුරුවයි ඔවුන් ‘සඟවා ඇති ආයුධ පොලිසියට පෙන්වීම’ සඳහා කාක දුපත ප්‍රදේශයට රැගෙනවිත් තිබුණේ.

+

+

+


රිතූ ආකර්ෂාට අසනීපලු, ආර්ථික අර්බුදය මැද රනිල්ගේ ආණ්ඩුව සල්ලි කාපු හැටි කෝප් කමිටුවේදී එලියට (22.02.2025)

+


ඝාතකයත් ගනේමුල්ල සංජීව අතර තිබ්බේ අඩියකට වඩා අඩු දුරක් | ඝාතනයේ ඇසින් දුටු සාක්ෂිකරුගේ පළමු අනාවරණය (23.02.2025)

+


ගණේමුල්ල සංජීව ඝාතනය’ට තවත් තිදෙනෙකු (3) අත්අඩංගුවට

(23.02.2025 – 06:35 +0530 – hirunews.lk/sinhala)

‘ගණේමුල්ල සංජීව’ වෙඩි තබා ඝාතනය කිරීමට අදාලව තවත් සැකකරුවන් තිදෙනෙකු (3) අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.

එහිදී, ‘කොළඹ අපරාධ කොට්ඨාසය’ විසින් මෙම අත්අඩංගුවට ගැනීම් ඊයේ (22) දිනයේ දී සිදුකර තිබෙනවා.

ඒ අනුව, අපරාධය සදහා යොදා ගත් ගිනි අවිය සන්තකයේ තබා ගෙන සිට අපරාධයට පෙර දින වෙඩික්කරු හට ලැබීමට සලස්වා අපරාධයට ආධාර අනුබල දීම යන චෝදනාව යටතේ ‘හොරණෑකාරගේ දමිදු ලක්ෂාන්’ නැමති 22 හැවිරිදි මල්වත්ත පාර, අස්ගිරිය, ගම්පහ පදිංචි අයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එමෙන්ම, අපරාධයෙන් පසු වෙඩික්කරු සහ සෙසු සැකකාරිය ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කර අපරාධයට ආධාර අනුබල දීම යන චෝදනාව යටතේ ‘පුල්ලේපෙරුම ආරච්චිගේ දමිත් අංජන නයනජිත්’ නමැති 25 හැවිරිදි අස්ගිරිවල්පොල, උඩුගම්පොල පදිංචි අයෙකුද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තවද, ඉහත චෝදනාව යටතේම ‘පුල්ලේපෙරුම ආරච්චිගේ වමෝත් ගිම්හාන’ නමැති 19 හැවිරිදි අස්ගිරිවල්පොල, උඩුගම්පොල පදිංචි අයෙකුද අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

සිද්ධියට සම්බන්ධ ත්‍රිරෝද රථය ද විමර්ශන නිලධාරීන් භාරයට ගෙන ඇති අතර, ඒ අනුව මේ දක්වා මෙම අපරාධයට අදාලව සැකකරුවන් 08 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා ෴


නියෝජ්‍ය ඇමති නලීන්ගේ ප්‍රකාශයට මාලිමා මන්ත්‍රීවරියකගෙන් දැඩි විරෝධය

(23.02.2025 – 08:29 +0530 – hirunews.lk/sinhala)

නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ විසින් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණී කවිරත්නට සිදුකළ ප්‍රකාශයට සිය විරෝධය පළකරන බව ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී ආචාර්ය කෞශල්‍යා ආරියරත්න පවසනවා.

ඒ සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින්.

එමගින් ඇය සඳහන් කර ඇත්තේ තමන් එම අවස්ථාවේ සභාගර්භයේ නොසිටිය ද විපක්ෂ මන්ත්‍රීවරියකට පාර්ලිමේන්තුව තුළ නොගැලපෙන ප්‍රකාශයක් සිදුකිරීම සම්බන්ධයෙන් ස්ත්‍රීවාදී මූලධර්ම වෙනුවෙන් පෙනී සිටින කාන්තාවක් ලෙස එම ප්‍රකාශය අනුමත කළ නොහැකි බවයි.

නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය හර්ෂ ද සිල්වා අතරද මේ සම්බන්ධයෙන් ඊයේ (22) පාර්ලිමේන්තුවේ දී උණුසුම් කතාබහක් හටගත්තා.

එම අවස්ථාවේ මූලාසනයේ සිටි, සේන නානායක්කාර මන්ත්‍රීවරයා මෙන්ම, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ද ඊට මැදිහත් වුණා.

අයවැය දෙවන වර කියවීම විවාදයේ 05 වන දිනය වූ ඊයේ (22) විවාදය අතරතුරයි මෙම උණුසුම් සංවාදය හටගත්තේ.

+


නිවාඩු ඇවිත් මහා පරිමාණයෙන් කසිප්පු පෙරූ නාවික සෙබලා මාට්ටු

(23.02.2025 – 10:36 +0530 – hirunews.lk/sinhala)

ඌව පරණගම – කැටගොඩ ප්‍රදේශයේ දී සිය නිවස තුළ මහා පරිමාණයෙන් අලෙවිය සඳහා කසිප්පු පෙරූ නාවික සෙබලෙකු අඹගස්දෝව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සෙබළා නිවාඩු ලබා පැමිණ මෙම කටයුත්ත සිදු කරමින් සිට ඇති අතර, දිගු කලත් තිස්සේ මෙලෙස මහා පරිමාණයෙන් නීතිවිරෝධී මත්පැන් ජාවරම කරගෙන ගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙහිදී ගෝඩා ග්‍රෑම් 18,000 ක් සහ මත්පැන් පෙරීමට යොදා ගන්නා උපකරණ රැසක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මෙම කටයුත්තට සහය දී වැටලීම අතරතුර පලාගිය තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.

+


ප්‍රමිති ලාංජනය ව්‍යාජ ලෙස මුද්‍රණය කළ පෞද්ගලික සමාගමක අධ්‍යක්ෂකවරයෙකුට සහ කළමණාකරුවෙකුට දඩ

(23.02.2025 – 16:00 +0530 – hirunews.lk/sinhala)

‘ශ්‍රී ලංකා ප්‍රමිති ලාංජනය’ ව්‍යාජ ලෙස මුද්‍රණය කොට භාණ්ඩ වෙළදපොළට නිකුත් කිරීමේ සිද්ධියකට පෞද්ගලික සමාගමක අධ්‍යක්ෂකවරයෙකුට සහ කළමණාකරුවෙකුට රුපියල් ලක්ෂය (100,000) බැගින් දඩ නියම කිරීමට පියවර ගෙන තිබෙනවා.

මෙලෙස දඩ නියම කර ඇත්තේ ‘පානීය ජල බෝතල් නිෂ්පාදන ආයතනයක’ අධ්‍යක්ෂකවරයෙකුට සහ කළමණාකරුවෙකුටයි.

එමෙන්ම, ව්‍යාජ ලෙස ප්‍රමිති ලාංඡනය මුද්‍රණය කොට වෙලදපොලට නිකුත් කිරීමට නියමිතව තිබූ රුපියල් මිලියනකට (10,00,000) අධික වටිනාකමකින් යුත් පානීය ජල බෝතල් 6800 කට වැඩි ප්‍රමාණයක් විනාශ කිරීමටද පියවර ගත් බවයි පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය ප්‍රකාශ කළේ ෴

+

+


‍‍කීරි සම්බා සහල් වැඩිමිලට අලෙවිකිරීමේ ජාවාරමක්

(23.02.2025 – 16:48 +0530 – hirunews.lk/sinhala)

වෙළදපළේ කීරි සම්බා සහල් වැඩිමිලට අලෙවිකිරීමේ ජාවාරමක් සම්බන්ධයෙන් තොරතුරු ලැබී ඇති බව ‘පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය’ පවසනවා.

ඒ අනුව ඊට සම්බන්ධ වෙළදුන් සොයා වැටලීම් අඛණ්ඩව ක්‍රියාත්මක බවයි එම අධිකාරිය සදහන් කළේ.

ජනවාරි පළමුවනදා (01) සිට මේ දක්වා කාලය තුළ වැඩිමිලට ‍වෙළදපළේ අත්‍යවශ්‍ය ආහාර අලෙවිකිරීමේ වැටලීම් 3177 ක් ‘පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය’ විසින් සිදුකර ඇති අතර ඊට අදාළව රුපියල් මිලියන 46 ක දඩමුදල් අයකරගෙන තිබෙනවා.

ඒ අතරින් වැඩි මිලට සහල් අලෙවිකරන වෙළදුන්ට එරෙහිව රුපියල් මිලියන 24 ක දඩමුදල් නියම කර ඇති බවයි ‘පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය’ ප්‍රකාශ කළේ.

මේ අතර වැඩි මිලට සහල් අලෙවිකරණ සහ සහල් වෙළදසැලේ තිබියදී නොමැති බවට ප්‍රකාශ කරන වෙළදුන් සොයා ඊයේ (22) පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය මගින් කෑගල්ල සහ ගම්පහ දිස්ත්‍රික්කයේ විශේෂ කණ්ඩායම් යොදවා වැටලීම් සිදුකර තිබෙනවා.

එහිදී වෙළදුන් 39 දෙනෙකුට සම්බන්ධව නීතිමය පියවර ගැනීමට නිලධාරීන් සමත්වී ඇති අතර, වැඩි මිලට සහල් අලෙවිකළ කෑගල්ල ප්‍රදේශයේ පුද්ගලික සමාගම් දෙකක් (2) ද නිලධාරීන් විසින් වටලනු ලැබ තිබෙනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *